අවශ්‍ය ව්‍යාජ වෙනසක් නොව, අව්‍යාජ වෙනසකි (මංගල සමරවීරට පිළිතුරක්)

October 29, 2026
Publication:
Samaraweera's reply avoids the arguments and re-describes the man making them: someone who thinks nobody else may change his mind, who has softened a hard position on the ethnic question, who is now propping up the Rajapaksas. Ivan answers each, and says what he actually objects to — a change of government that leaves the right to plunder intact, which is a false change standing in the way of a real one.

මංගල මගේ ලිපියට දී තිබෙන පිළිතුර අපූරුය. මෙවැනි වාදයකදී සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ තමන්ට එරෙහිව ඉදිරිපත් කරන තර්කවලට දෙන තර්කානුකූල පිළිතුරු මගින් එම තර්ක ඛණ්ඩනය කොට ප්‍රතිතර්ක සමග ප්‍රතිඅර්ථකථනයක් ඉදිරියට ගැනීමය. එහෙත් මෙහිදී මංගල තමන්ට එරෙහිව ඉදිරිපත් කරන ප්‍රධාන තර්ක මගහැර ප්‍රති අර්ථකථනයක් පමණක් ඉදිරිපත් කරයි. ඔහු කියන්නේ මා ““තමාට මිස අනෙකෙකුට වෙනස් වන්නට හෝ දේශපාලනය අලුතෙන් තේරුම් ගන්නට අයිතියක් නැතැ”යි සිතන”” පුද්ගලයෙකු බවය. දශක ගණනක් තර්ක කර හදාගත් වාර්ගික ගැටලුව පිළිබඳව දැඩි ස්ථාවරය පවා අලුතෙන් වෙනස් කොට ලියන්නෙකු බවය. ““මේ ආණ්ඩුවේ යුද්ධය හරි කියා දැන් රාජපක්ෂලාට මුක්කු ගසන කෙනෙකු”” බවය. කිසිවකුට දේශපාලන වෙනසක් ගැන කතා කරන්නට ඉඩ නොතබා ඔවුන් විනාශ කරන්නෙකු බවය.

මට පමණක් නොව, මංගලට සේ ම වෙනත් ඕනෑම කෙනෙකුට වෙනස් වන්නට, දේශපාලනය අලුතින් තේරුම් ගන්නට අයිතියක් ඇති බව මම පිළිගනිමි. එහෙත් මංගල සම්බන්ධයෙන් මට තිබෙන ප්‍රශ්නය ඔහුගේ වෙනස් වන ක්‍රමයයි. නිදහසින් පසු පසුගිය අවුරුදු 60 බලයට පත් හැම ආණ්ඩුවක්ම රට පාලනය කළ හැම පක්ෂයක්ම හැම නායකයකුම අඩු වැඩි වශයෙන් මේ රට පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වයට වගකිවයුතු බව හා හිටපු ඇමතිවරයෙකු වශයෙන් ඒ වගකීම තමාටද ඇති බව කීමෙන් පමණක් අතීත වගකීම්වලින් නිදහස්වීමේ හැකියාවක් මංගල වැන්නෙකුට තිබේද? මෙයද එක්තරා ආකාරයක ස්වයංවිවේචනයක් ලෙස සැලකිය හැකි වුවත්, අවංක ස්වයංවිවේචනයක් ලෙස සැලකිය නොහැකිය. එය සටකපට හා වංක ස්වයංවිවේචනයකි. ඔහු ද පෝරිසාද ආණ්ඩුවක පළමු පෙළේ භූමිකාවක් රඟපෑ පෝරිසාද ඇමතිවරයෙකි. වඩා වැදගත්වන්නේ බලයෙන් පිටස්තරව සිටින අද කියන ලස්සණ කතා නොව, බලයේ සිටියදී කරන ලද ක්‍රියාය.

ඔහු චන්ද්‍රිකා ආණ්ඩුවේ අලුගෝසු ක්‍රියාවලට කොතරම් ප්‍රමාණයකට හවුල්වීද? ඒ කාලයේ සිදුවූ වස්තු කොල්ලයට කොපමණ ප්‍රමාණයකට හවුල්වීද? දේශපාලනය නිසා ඔහු දුප්පත්වීද? පොහොසත්වීද? 78 න් පසු එළඹෙන යුගය තුළ ද තමන් දරන අදහස් මොනවා වුවත්, ප්‍රතිපත්තිගරුක දේශපාලනයෝ අයථා ලෙස වස්තුව උපයා නොගත් දේශපාලකයන් කලාතුරකින් හෝ සිටියහ. ගාමිණී ජයසූරිය හා දොස්තර නෙවිල් ප්‍රනාන්දු අයත්වන්නේ ඒ ගණයටය. මා නොදන්නා තවත් එවැනි අය සිටියා විය හැකිය. එවැනි පිරිසිදුකමක් තමන්ට ඇතැ”යි මංගලට කිව හැකිද?

මාගේ මතය අනුව මෙම දේශපාලන ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ පාලක පක්ෂයට පොදු වස්තුව කොල්ලකෑමේ අයිතිය ලැබෙන ආකාරයටය. එය මෙම දේශපාලන ක්‍රමයේ තිබෙන මුඛ්‍ය ලක්ෂණය වන අතර, මෙම දේශපාලන ක්‍රමය තුළ ඇති අනෙකුත් අශෝභන ලක්ෂණ පළමු කී කරුණේ අතුරු ප්‍රතිඵල ලෙස සැලකිය හැකිය. රටේ අවාසනාවන්තභාවය කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධකය වී තිබෙන්නේද එයයි. එහිදී මංගල මෙම දේශපාලන ක්‍රමය තුළ ඇති වස්තු කොල්ලයට විරුද්ධ නැත. ඒ වෙනුවට ඔහු අපේක්ෂා කරනුයේ වස්තුව කොල්ලකෑමේ අයිතිය ඇති ගුණයහපත් පාලන ක්‍රමයකි.

මංගලගේ යුද්ධ විරෝධය ද ඔහුගේ අවස්ථාවාදී දේශපාලනයේ තවත් වැදගත් පැතිකඩක් ලෙස සැලකිය හැකිය. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පරාජය කිරීමේ අරමුණ ඇතිව රට තුළ ජාතිවාදී වටපිටාවක් ඇති කළ මොළකාරයා වූයේ මංගලය. සටන් විරාම ගිවිසුමක් ඇති කිරීම මගින් රනිල් ප්‍රභාකරන්ට රට පාවාදී ඇති බව කියමින් ජාතිවාදී බලවේගයන්ට පණපොවන ලද්දේ මංගලය.

ජනවාර්ගික අර්බුදය පිළිබඳව මට මාගේම වූ විචාරයක් හා ස්ථාවරයක් තිබූ බව ඇත්තකි. එහෙත් මගේ ස්ථාවරය ජනප්‍රිය යුද්ධ විරෝධී ස්ථාවරයට වෙනස් විය. ප්‍රශ්නයට තුඩුදී තිබෙන සමහර මූලික කාරණා පිළිබඳ මට මගේම වන විවේචනයක් තිබුණි. උතුරු නැගෙනහිර එකතු කිරීම ගැන මට හැමදාමත් විවේචනයක් තිබුණි. එල්ටීටීඊයේ ප්‍රචණ්ඩ මාවත ගැන ද මට විවේචනයක් තිබුණි. මේ ලක්ෂණය මාගේ පැරණි ලියවිලි තුළ දැකිය හැකිය.

එල්ටීටීඊය සමග සාකච්ඡාමය විසඳුමකට ඉඩක් ඇත්තේම නැතැ”යි කියන අදහස දැඩි ලෙස මා තුළ ඇතිවූයේ පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කළ ප්‍රතිපත්තියත් සමගය. ඊට පෙර ද ඒ ගැන මා තුළ සැකයක් තිබුණද කාලයාගේ ඇවෑමෙන් ඔවුන් වෙනස් වනු ඇතැ”යි මම විශ්වාස කළෙමි. එහෙත් ඔවුන් රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියෙන් මා තේරුම් ගත්තේ ඔවුන් සමග සාකච්ඡාමය විසඳුමකට කොහෙත්ම ඉඩක් නැති බවයි. ඒ බව රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයට යන්නට පෙර, එල්ටීටීඊයට අනුග්‍රහය දක්වන දෙමළ ඩයස් පොරාවේ ප්‍රමුඛ පිරිසකගේ සහභාගිත්වයෙන් ස්විට්සර්ලන්තයේදී (2006 අප්‍රේල් 7 -9 යන දිනවල) පැවති ජාත්‍යන්තර සම්මේලනයකදී මම ප්‍රකාශ කළෙමි. මා එම සම්මන්ත්‍රණයට ඉදිරිපත් කළ පත්‍රිකාවක් මගින් එල්ටීටීඊයට මුහුණ දෙන්නට සිදුවී තිබෙන අර්බුදය විග්‍රහ කළෙමි.

එහිදී මා ඉදිරිපත් කළ මතය අනුව එල්ටීටීඊය වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස අත් නොහරී. වෙනම රාජ්‍යයක් සාම සාකච්ඡා මගින් ලබාගත නොහැකිය. ආත්ම ගෞරවයක් ඇති මොනම පාලකයකුටවත් එවැනි ඉල්ලීමකට එකඟවිය නොහැකිය. එය යුද්ධයෙන් පමණක්ම දිනාගත යුතු ඉල්ලීමකි. එහෙත් එවැන්නක් ලෝකයේ පවත්නා නව පෙළගැසීම් තුළ යුද්ධයකින් පවා ජයගත නොහැකිය. එවැන්නකට අසල්වැසි බලවතා වන ඉන්දියාව ද ඉඩ දෙන්නේ නැත. මේ තත්ත්වය තුළ යුද්ධයක් ඇතිවීම නොවැළැක්විය හැකි බව එම යුද්ධයෙන් එල්ටීටීඊය ඉතිහාසයේ කවදාවත් නැති අර්බුදයකට තල්ලු වනු ඇති බව මගේ මතය විය.

සාධාරණ හේතු ඇති වුවත් කිසියම් පිරිසකට නිදහසේ මනුෂ්‍ය ඝාතනවල යෙදීමට රජයක් ඉඩ නොදිය යුතුය යන්න මා හැමදාමත් දරන ලද මතය විය. 1987-89 කැරැල්ල පැවති අවස්ථාවේදී රට පාලනය කළ එජාප ආණ්ඩුව කෙරෙහි මට දැඩි විවේචනයක් තිබුණ ද, මා එම කැරැල්ල අනුමත කළේ නැත. ජවිපෙ කැරැල්ල අත්නොහරින බව පෙනෙන විට එය මර්දනය කරන ප්‍රතිපත්තියට මම පක්ෂව පෙනී සිටියෙමි. රන්ජන් විජේරත්න බොහෝ අය අලුගෝස්වකු ලෙස හඳුන්වන විට ඔහු කැරැල්ල මර්දනය කිරීම වෙනුවෙන් පෙන්නුම් කළ ධෛර්යය, නිර්භීතභාවය හා ඇප කැපවීම මම ප්‍රසිද්ධියේ අගේ කළෙමි. ජවිපෙ කැරැල්ල මර්දනය කරන්නට අසමත් වී එය දිග්ගැසුණු යුද්ධයක් බවට පත්වී නම් රටට විය හැකිව තිබූ විනාශය කොතරම්ද?

අද මම එල්ටීටීඊය දෙස බලන්නේ ද ඊට සමාන ආකාරයකටය. මම දෙමළ විරෝධියෙක් නොවෙමි. දෙමළ ජනතාවට විසඳාගන්නට සාධාරණ ප්‍රශ්න ඇති බව මම පිළිගනිමි. එල්ටීටීඊය සමග සාකච්ඡාමය විසඳුමකට ඉඩක් නැති නිසා එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කළ යුතුය යන්න මා දරන මතයයි. එදා එජාප ආණ්ඩුව ජේවීපී කැරැල්ල මර්දනය කරනවාට මා පක්ෂ වූ ආකාරයටම අද රාජපක්ෂ ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයට මම පක්ෂ වෙමි. ජේවීපී කැරැල්ල පරාජය කිරීමේදී එදා රංජන් විජේරත්න රඟපෑ භූමිකාව ගෝඨාභය රාජපක්ෂ රඟපාමින් තිබේය යන්න මගේ මතයයි. දැඩි අවිහිංසාවාදියකු වූ ගාන්ධි පවා හිට්ලර් හා මුසලෝනිගේ පරාජයක් මිත්‍ර ජාතීන්ගේ ජයග්‍රහණයක් වෙනුවෙන් කතා කළේය.

මංගලගේ මතය අනුව දැන් මම කරන්නේ කිසිවකුට දේශපාලන වෙනසක් ගැන කතා කිරීමට ඉඩ නොතියා විනාශ කිරීමය. එය රාජපක්ෂ පාලනයට කදිමට ගැලපෙන වැඩපිළිවෙලකි.

මංගල කියන දෙයෙහි එක්තරා ප්‍රමාණයකට ඇත්තක් තිබේයැ”යි මම ද සිතමි. දේශපාලන වෙනසක් ලෙස මංගල අදහස් කරන්නේ නැවත පොදු වස්තුව කොල්ලකෑමේ අයිතිය ඇති සරල ආණ්ඩු වෙනසක් නම් මාගේ ඊට අදහස් බාධාවක් ලෙස ක්‍රියාකළ හැකිය. එය රාජපක්ෂ ආණ්ඩුවේ තාවකාලික වාසියට ද හේතුවිය හැකිය. එහෙත් වාසිය තාවකාලික මිස, දීර්ඝකාලීන නැත. මගේ අදහස්වලින් එල්ල වන බාධාව ව්‍යාජ වෙනසක් සඳහා තිබෙන හැකියාව සීමා කොට සැබෑ වෙනසක් සඳහා වන සමාජ වටාපිටාව ශක්තිමත් කරන බව මගේ විශ්වාසයයි. මංගල වැනි අය කළ යුත්තේ ටිකක් වෙනස් වනවා වෙනුවට හුඟාක් වෙනස්වීමට හිත හදා ගැනීමය. බොරුවට වෙනස් නොවී ඇත්තටම වෙනස්වීමය.