මීට පෙර මැතිවරණවල දී ඡන්දය පාවිච්චි කළ ඡන්දදායකයන් විශාල පිරිසකට මේ මැතිවරණයේ දී ඔවුන්ගේ නම් ඡන්ද ලේඛනයේ සටහන් නොවීම නිසා ඡන්ද පාවිච්චි කිරීමට තිබෙන අයිතිය අහිමි වී තිබෙන බවට චෝදනාවක් එල්ල වී තිබේ. ඡන්ද අයිතිය අහිමි අයගේ සංඛ්යාව කොතෙක් ද යන්න හරිහැටි කිව නොහැකි නමුත්, කිසියම් විශාල පිරිසකගේ ඡන්ද අයිතිය ඒ නිසා අහිමි වී ඇති බව ලැබෙමින් තිබෙන තොරතුරු අනුව පෙනී යයි.
ඡන්ද අයිතියට හිමිකම් කියන අලුත් පුද්ගලයෙකුගේ නම ඡන්ද නාමලේඛනයට ඇතුළත් නොවී නම්, එය තේරුම් ගත හැකි ය. එහෙත් පසුගිය මැතිවරණයේදි ඡන්දය පාවිච්චි කළ විශාල පිරිසකට ඔවුන්ගේ නම් ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කිරීම නිසා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය අහිමි වී ඇත් නම් එය බරපතළ ප්රශ්නයක් වන බව අමුතුවෙන් කිවයුතු නැත.
ඡන්ද නාමලේඛනය සකස් කිරීම සඳහා විධිමත් ක්රමයක් නො පවත්නා බව පෙනෙන්නට තිබේ. මැතිවරණ ලේකම් කාර්යාලය සුපුරුදු ලෙස කියන්නේ තාවකාලික ප්රතිශෝධන ලේඛන මහජන ප්රදර්ශනය සඳහා මැතිවරණ කාර්යාලවලත්, ප්රාදේශීය ලේකම් කාර්යාලවලත් ප්රදර්ශනය කරන බැවින් මහජනයා එම ලේඛන පරික්ෂා කොට බලා තමන්ගේ නම් ඊට ඇතුළත් නැතිනම් බලධාරින්ට ඒ බව දැනුම් දිය යුතු බවය.
එහෙත් ඒ පිළිතුර මතුවී තිබෙන ප්රශ්නයට දිය හැකිව තිබෙන සාධාරණ පිළිතුර නොවන බව අමතක නො කළ යුතු ය.
ලියාපදිංචියට අවශ්ය පෝරම මහජනයාට නිකුත් කරනු ලබන්නේ ග්රාමනිලධාරින් විසිනි. පෝරමය ගෘහ මූලිකයාට භාරදිමෙන් පසු ගෘහ මූලිකයා එය පුරවා ග්රාම නිලධාරියාට භාරදිමේදි පෝමය පුරවා ලබා ගත් බවට ලදුපතක් නිකුත් කෙරෙන්නේ ද නැත. මොනයම් හේතුවක් නිසා හෝ පෝරමය පුරවාදිමෙන් වැළකී සිටින ගෘහයක සාමාජිකයන්ගේ නම් කිසිදු සොයා බැලීමකින් තොරව ඡන්ද නාමලේඛනයෙන් කපා හරින්නේ නම් එය ද නීතියට පටහැනි සාහසික ක්රියාවක් ලෙස සැලකිය හැකි ය. ලැයිස්තුවේ තිබුණු නමක් කපා හරින්නට පෙර එම ගෘහයේ ලැයිස්තුවට ඇතුළත් පුද්ගලයන් තවදුරටත් පදිංචිව සිටින්නේ ද යන්න සොයා බලන ක්රමයක් තිබිය යුතු ය. ඡන්ද නාමලේඛන පරිගණක ගතකර තිබෙන නිසා ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කරන්නට යන නම් හඳුනා ගැනීම අමාරු විය නො හැකි ය. නාමලේඛනයේ තිබෙන නමක් ඉවත් කරන්නට පෙර ඒ ගැන හරිහැටි සොයා බලන ක්රමයක් මැතිවරණ ලේකම් කාර්යාලය සතු නොවේ නම් එය ඔවුන් අතින් සිදුවන බරපතළ වරදක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම විෂය මහජනයාගේ පරමාධිපත්ය බලයට අදාළ හා මානව හිමිකම්වලට අදාළ සංවේදි විෂයයක් වන බව මැතිවරණ කොමසාරිස්වරයා අමතක නො කළ යුතු ය.
මැතිවරණ පවත්වනවාට අතිරේක ව මැතිවරණ ලේකම් කාර්යාලය විසින් කරනු ලබන අනෙක් ප්රධාන කාර්යය ලෙස සැලකෙනුයේ වාර්ෂිකව සිදු කෙරෙන ඡන්ද නාමලේඛන ප්රතිශෝධනයයි. ඒ සඳහා පමණක් මැතිවරණ ලේකම් කාර්යාලය කෝටි ගණනක වියදමක් දරයි. ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති පත්ර නිකුත් කිරීමේ සිට නාමලේඛන පොත් සකස් කිරීම දක්වා වන ක්රියාවලියට සම්බන්ධ පුද්ගලයන්ට කෑලි ගණනට ගෙවීම් කරන අතර, ඒ සඳහා පමණක් රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක් මැතිවරණ ලේකම් කාර්යාලය වැය කරයි. ඒ සියලු වියදම්වල අවසාන ඵලය ඡන්දදායකයන් විශාල සංඛ්යාවකගේ ඡන්ද අයිතිය අහිමි කිරීම නම් එය ඛේදජනක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.
ඇත්තට ම සිදුවී තිබෙන්නේ කුමක් ද? ඊට වගකිවයුත්තේ කව්ද යන්න සොයා බලා මැතිවරණ කොමසාරිස්වරයා ඒ ගැන රටට පැහැදිලි කළ යුතු ය.