චොකා ප්‍රජාතන්ත්‍රවාදය

March 17, 2002
Publication:
Under the People's Alliance 'Choka Malli', chairman of the Nivitigala Pradeshiya Sabha and now an MP, ruled Ratnapura as 'Chandi Malli' ruled Hambantota. With power changed, two of his followers have disappeared and their dismembered bodies been found. The editorial warns that revenge by past victims must not be allowed, since punishment outside the law ends the rule of law, and that no new 'Choka' system should take root.

පොදු පෙරමුණු පාලන යුගයේදි රත්නපුර දිස්ත්‍රික්කයේදි “චොකා මල්ලීට” ලැබී තිබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේදි “චණ්ඩි මල්ලීට” ලැබී තිබුණු වැදගත්කමට සමාන කමකි. චොකා මල්ලී නිවිතිගල ප්‍රාදේශීය සභාවේ සභාපති වුවත්, ඔහු ප්‍රදේශයට සිටි ලොකුම ගණන්කාරයා විය. සිය අණට කීකරු නොවන විට ඔහු අධිකරණයට පවා සිය ගණන්කාරකම් පෙන්වීය.

දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ බලය ලැබී ඇත්තේ පොදු පෙරමුණට නොව, එක්සත් ජාතික පක්ෂයටය. ප්‍රාදේශීය සභාවේ සභාපතිකමේ සිටි චොකා මල්ලී දැන් පාර්ලිමේන්තුවේය. පාර්ලිමේන්තුවේ බලය වෙනස් වී ඇතත්, අලුත් ආකාරයක චොකා ප්‍රජාතන්ත්‍රවාදයක් දැන් ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රියාත්මක වේ.

චොකා මල්ලීගේ ගෝලයන් දෙදෙනෙක් අතුරුදහන් වී ඔවුන්ගේ කැබලි කළ, කුණු වූ මළ සිරුරු දෙක සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇති අතර, මෙම සිද්ධියෙන් ප්‍රදේශයේ පොදු පෙරමුණු පාක්ෂිකයන් කුපිත වී ඇති බව ද කියනු ලැබේ.

චොකා මල්ලී වැනි පුද්ගලයන් රජ කළ ප්‍රදේශවල පීඩාවට පත්වූවන් තුළ තිබිය හැකි දරුණු වෛරය හේතු කොට ගෙන විනාශකාරි ලෙස ප්‍රතික්‍රියා දක්වන තත්ත්වයක් තිබිය හැකි වුවත්, එවැනි තත්ත්වයකට ඉඩ නොහැරිම ආණ්ඩුවේ වගකීමයි. වැරදි කළවූවන්ට එරෙහිව පවා නීතියෙන් පරිබාහිරව දඬුවම් කරන තත්ත්වයකට ඉඩ දෙතොත් නීතියේ පාලනයක් තිබිය නොහැකිය. විශේෂයෙන් එක් ආකාරයක හෝ තවත් ආකාරයක චොකා ක්‍රමයක් ඇතිවීමට හෝ පවත්වාගෙන යාමට ඉඩ දිය යුතු නැත.