රැකියා විරහිත උපාධිධාරින්ගේ ප්රශ්නය පුපුරණ සුලු තත්ත්වයකට වර්ධනය වෙමින් පවතී. තිස් දාහක් පමණ වන උපාධිධාරින් රැකියා විරහිත තත්ත්වයක සිටින බව කියනු ලැබේ. තමන්ගේ ගැටලුවට මාස තුනක් තුළ ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා අරලියගහ මන්දිරයට ගිය රැකියා විරහිත උපාධිධාරි උද්ඝෝෂකයින් පිරිසකට පොලිසිය විසින් පහර දෙනු ලැබූ බව ද කියනු ලැබේ. ආණ්ඩුවේ මතය වී ඇත්තේ ආණ්ඩුවේ සාම වැඩ පිළිවෙළ කඩාකප්පල් කිරීම පිණිස ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම රැකියා විරහිත උපාධිධාරින් පිළිබඳ ප්රශ්නය යොදාගනිමින් තිබෙන බව ය .
රැකියා විරහිත උපාධිධාරින් පිළිබඳ ප්රශ්නය ආණ්ඩු කරවන අයගේත් ප්රතිපත්ති සම්පාදකයින්ගේත් නොමඳ අවධානයට යොමුවිය යුතු ගැටලුවකි. දැනට ක්රියාත්මක වන අධ්යාපන ක්රමයේ ඇති දිළිඳුභාවයේ තරම ද එයින් මනා ලෙස පෙන්නුම් කරයි.
උපාධිධාරී තත්ත්වයක් හිමිකර ගැනීමට අවශ්යතාව ලැබෙන්නේ අධ්යාපනයට එකතුවන අයගෙන් සියයට එකකට පමණ ය. දිර්ඝ කාලයක් අධ්යාපනයේ යෙදි උපාධි ලබාගන්නා ඒ සියයට එක්දෙනාටත් උපාධි ලැබීමෙන් පසුව රැකියාවක් ලබාගැනීම සඳහා දිර්ඝ කාලයක් ගත කිරීමට සිදු වේ නම් එය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත.
රටේ පවතින විශ්වවිද්යාල අධ්යාපනය හා රැකියා වෙළෙඳපොළේ වුවමනාවන් අතර නොගැළපීමක් පවතී. එහෙත් ඊට ශිෂ්යයන් වගකිවයුතු නැත. විශ්ව විද්යාල අධ්යාපනයේ තිබෙන එම නොගැළපීම ගැන දිගින් දිගට කථාකරමින් සිටිනවා විනා ඊට පිළියම් යොදන තත්ත්වයකට රට යොමු වී නැත. සිදුවිය යුතුව තිබෙන්නේ අධ්යාපන ක්රමයේ ඇති එම නොගැළපීම ඉවත්කිරීම සඳහා ක්රියා කරන අතර දැනට තිබෙන උපාධිධාරින්ගේ රැකියා ප්රශ්නය විසඳීම පිණිස ඔවුන්ගේ උපාධි අධ්යාපනයට ගැළපෙන වෘත්තීය පුහුණුවක් ලබාදිම පිණිස කඩිනම් වැඩ පිළිවෙළක් ඉදිරියට ගැනීම ය.
තමන් මුහුණ දි තිබෙන ගැටලුව ඉතාමත් වේදනාකාරි විය හැකි වුවත් ඉවසීමෙන් ක්රියාකිරීමේ වගකීමක් ඔවුන් තුළ ද තිබිය යුතු ය. උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීමෙන් තිබෙන ප්රශ්නයේ බැරෑරුම්කම රටට පෙන්වා දිය හැකි වුවත් ඔවුන් රටේ කටයුතු අවුල් කරන තැනකට නොයා යුතු ය. ඔවුන් මුහුණ දි තිබෙන රැකියා විරහිතභාවය පිළිබඳ ගැටලුව හා සාමය දිනා ගැනීමේ ප්රශ්නය අතර පරස්පර සම්බන්ධයක් ඇති බව ද ඔවුන් අමතක නොකළ යුතු ය. නව රක්ෂෂා උත්පාදනය සඳහා ආර්ථික වර්ධනයක් අත්යවශ්ය ය. රාජ්ය අංශයේ පුරප්පාඩු ඇතත් දැන් දිර්ඝ කාලයක් තිස්සේ ඒ පුරප්පාඩු නොපුරවන ප්රතිපත්තියක් හැම ආණ්ඩුවක් විසින් ම පවත්වාගෙන යමින් සිටින්නේ රජයේ සේවකයන් සඳහා වන වැටුප් බිල තවදුරටත් රට දැරිය නො යුතු බවට ලෝක බැංකුවෙන් පැනවී තිබෙන කොන්දේසිය නිසා ය. එවැනි කොන්දේසියක් ලෝක බැංකුව විසින් ද පනවා තිබෙන්නේ රජයට ලැබෙන ආදායම් තත්වය අනුව එම වැටුප් බිල සීමා කිරීමකින් තොරව රටට ඉදිරියට යා හැකි තත්ත්වයක් නැති නිසා ය.
ආර්ථිකය තිබෙන්නේ වේගය අනුව සෘණ තත්ත්වයක ය. ශීඝ්ර ආර්ථික වර්ධනයක් සඳහා සාමය දිනා ගැනීම අත්යවශ්ය කොන්දේසියකි. රැකීරක්ෂෂා ක්ෂෙෂ්ත්රයේ ශීඝ්ර වර්ධනයක් සඳහා සාමය දිනාගැනීම අත්යවශ්ය වේ නම් රැකියා විරහිත උපාධිධාරින් සාමය දිනාගැනීමේ කාරියට සහාය විය යුතු ය. එසේම මේ ප්රශ්නය ජේවීපී ප්රශ්නයක් ලෙස නොසලකා අඩුම වශයෙන් දේශපාලන බලපෑමෙන් තොරව සුදුසුකම් මත ආණ්ඩුවේ රැකියා ලබාදෙන පිළිවෙතක් ප්රමාදයකින් තොරව ඇති කිරිමේ වගකීමක් ආණ්ඩුවට ද ඇත්තේ ය.