අවුරුද්දක් සම්පූර්ණ වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිට තිබෙන බලය සීමා කිරීමට ආණ්ඩුව උනන්දු වූයේ අවශ්ය වෙතොත් ජනාධිපතිනිය චෙක්මේට් කළ හැකි තත්ත්වයක් ලබාගැනීම පිණසය. එහෙත් අධිකරණය 19 වැනි සංශෝධනයට තිබුණු ඉඩ ඇහිරිම නිසා ඒ බලාපොරොත්තුව අත්හැරිමට ආණ්ඩුවට සිදුවී තිබේ. දැන් ආණ්ඩුව ඉන්නේ එක්තරා ප්රමාණයකට පරාජිත තත්ත්වයකය. ජනාධිපතිනිය ඉන්නේ ජයග්රාහී තත්ත්වයක වුවත්, අගමැති රනිල් වික්රමසිංහ චෙක්මේට් කිරිමේ හැකියාව ඇයට ද ලැබී නැත.
අවශ්යතාවක් ඇතොත් ජනාධිපතිනිය ක්රමානුකූලව කොටු කොට හිරකිරිමේ හැකියාවක් ආණ්ඩුවට තිබුණේය. එහෙත් 19 වැනි සංශෝධනය නමැති මෝඩ ඇඳීමක් නිසා ඒ සඳහා තිබුණු සමස්ත හැකියාව ආණ්ඩුව අහිමි කරගත්තේය. ජනාධිපතිනිය චෙක්මේට් කිරීමට අගමැති රනිල් වික්රමසිංහට තිබුණු හැකියාව ඇහිරි ජනාධිපතිනියට යම් පමණක ජයග්රාහී තත්ත්වයක් ලැබී ඇතත්, රනිල් වික්රමසිංහගේ ආණ්ඩුවට අවශ්ය නම් අවහිර කරනවා මිස, ආණ්ඩුව චෙක්මේට් කිරිමේ හැකියාව ජනාධිපතිනියට ද ලැබී නැත. වැඩිම වුවහොත් තමන් කොටු කිරීමට තිබුණු හැකියාව නැතිවී ස්ටේල්මේට් තත්ත්වයක් ලැබීම ගැන ඇයට සතුටු විය හැකිය.
පොදු පෙරමුණේ ඇතැමුන් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ හැකියාව තමන්ට ලැබී ඇතැයි මෝඩ ලෙස කල්පනා කරති. ඊපීඩීපීයේ සිට ජවිපෙ දක්වාත්, මුස්ලිම් කොංග්රසය, තොණ්ඩමන්ගේ පක්ෂය එජා පෙරමුණට පොදු පෙරමුණෙන් එකතු වූ සියලුදෙනාත් එකට එකතු කරගත්ත ද පොදු පෙරමුණට 113 ඉලක්කය සපුරා ගැනීමේ හැකියාවක් නැත. ඒ සඳහා අවශ්ය අඩු ඡන්ද සංඛ්යාව එජාපයෙන් ලබාගැනීමට ඔවුන්ට හැකිවනු ඇත්තේ මන්ත්රීවරුන්ට හෘද සාක්ෂියට එකගව ක්රියාකිරිමේ අයිතිය ඇත්නම් පමණය.
ඇතිවී තිබෙන මේ ස්ටේල්මේට් තත්ත්වය ඉදිරියේ ඊළගට විය හැකිව තිබෙන දේ වනුයේ ප්රතිපක්ෂ නායකයන් දෙදෙනා එකිනෙකාගේ පැවැත්ම හා ආරක්ෂාව පිණිස අන්යොන්ය සහයෝගයෙන් ක්රියා කරන තැනකට යොමුවීමය. සාමය ඉදිරියට යන තෙක් තමා චෙක්මේට් කිරිමේ හැකියාවක් නැති බව අගමැති රනිල් වික්රමසිංහ දන්නා අතර, සාමය අවුලකට යන තෙක් සිය ප්රතිවාදියා චෙක්මේට් කිරිමේ හැකියාවක් නැති බව ජනාධිපතිනිය ද දන්නේය.
මේ තත්ත්වය තුළ ඇතිවිය හැකි ඊළග ප්රතිඵලය වනු ඇත්තේ ප්රතිපක්ෂ නායකයා හා නායිකාව අතර එක්තරා කාලයක් සඳහා දේශපාලන වශයෙන් දිග කන තත්ත්වයක් ඇතිවීමය. එය නැවත අරගලයකට යෑමට සුදුසු අවස්ථාවක් එළඹෙන තෙක් එකිනෙකාගේ ශක්තිය තහවුරු කරගැනීම සඳහා වන තාවකාලික දේශපාලන දිගයකි.
විරුද්ධ පක්ෂයේ සිට ආණ්ඩුව මෙහෙයවන තත්ත්වයකට ඒමට හැකිවී ඇතත්, සමහර අංශවලින් අගමැති රනිල් වික්රමසිංහ මහතා ඉන්නේ ද හිරවුණු තැනකය. තමන්ට පාර්ලිමේන්තු බලය ඇතත්, විධායක ජනාධිපති බලය තිබෙන්නේ ප්රතිපක්ෂයක් අතේය. ත්රිවිධ හමුදාවට අණදිමේ බලය ඇත්තේ ජනාධිපතිනිය අතේය. සාම වැඩපිළිවෙළ මුළුමනින් කඩාකප්පල් කිරිමේ හැකියාව ජනාධිපතිනියට නැතත්, බරපතල අලාභ ඇතිවන ආකාරයට එයට බාධා කිරිමේ හැකියාව ඇය සතුව පවත්නා බව රනිල් දනී. අනෙක් අතට සාම විරෝධී උද්ඝෝෂණ ව්යාපාර පිටුපස ජනාධිපතිනියගේ ද අතක් ඇති බව හා එම තත්ත්වය සාම විරෝධී උද්ඝෝෂණ ව්යාපාර ශක්තිමත් කිරීමට හේතුවී තිබෙන බවත් රනිල් දනී. සාම වැඩපිළිවෙළ අරභයා වඩා සංකීර්ණ ප්රශ්න ඇතිවීමට ඉඩ තිබෙන්නේ අනාගතයේදිය. ජනාධිපතිනිය සමග දේශපාලන දිගයක් ඇති කරගැනීම මගින් අනාගතයේ මතුවීමට නියමිත සංකීර්ණ ප්රශ්නවලදි ඒවා අවුල් කිරීමට ජනාධිපතිනියට තිබෙන හැකියාව නැති කළ හැකි බව රනිල් දනී. රනිල්ට පාර්ලිමේන්තු බලය ලැබී ඇතත්, ආණ්ඩුවේ සංයුතිය සකස් වී ඇත්තේ පක්ෂ ගණනාවකින් වන නිසා බෝට්ටුව පෙරළීමේ හැකියාවක් හවුල්කාර පක්ෂවලට නැතත්, බෝට්ටුවට ඉදිරියට යාමට අවහිර කිරිමේ හැකියාවක් එවැනි පක්ෂවලට ඇති බව රනිල් දනී. පොදු පෙරමුණේ චන්ද්රිකා සමග ඇති කරගන්නා දේශපාලන දිගයක් ඔවුන්ට තිබෙන ඒ හැකියාව අහිමි කරයි.
ජනාධිපති චන්ද්රිකා ඉන්නේ ද ප්රශ්න වැලක් මැද්දේය. විධායක බලය අහිමි නැතත්, ඇගේ ව්යාපාරය තුළ ඒකමතිකභාවයක් නොපවතී. තමන්ගේ නායකත්වය අහිමි කිරීමට උනන්දුවක් දක්වන පිරිසක් තමන් අතර සිටින බව ඇය දනී. වඩාත්ම ඇගේ හිසරදයට හේතුවී තිබෙන කාරණාව වී ඇත්තේ ඇයට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා හා ඒ ආශ්රයෙන් ආරම්භ වී ඇති පරික්ෂණයන්ය. සමහර පරික්ෂණ ඇය අතින් සිදුවී ඇතැයි කියන දූෂණ ගැන වන අතර, තවත් සමහර පරික්ෂණ ඇය අතින් සිදුවී ඇතැයි කියන අපරාධ ගැන වේ. ආණ්ඩු ක්රම ව්යවස්ථාව අනුව අපරාධ ගණයෙහිලා සැලකිය හැකි වැරදි කර තිබෙන අවස්ථාවක පවා ධුරයේ සිටියදි ජනාධිපතිට එරෙහිව නඩු පැවරිමේ හැකියාවක් නැතත්, සිදුවී තිබෙන දූෂණ හා අපරාධ වැරදිවලදි ඊට සම්බන්ධ අනෙක් පිරිස් වලට එරෙහිව නඩු පැවරිමේ හැකියාවක් තිබෙන අතර එම නඩු විභාගවලදි හෙළිදරව් වන කරුණු ජනාධිපතිනියගේ ප්රතිරූපය කෙරෙහි විශාල හානියක් ඇති කිරීමට හේතුවිය හැකිය. ජනාධිපතිනියට වඩාත්ම ප්රශ්නයක් බවට පත්ව ඇත්තේ පීඑස්ඩීයට එල්ල වී තිබෙන චෝදනාය. පීඑස්ඩීය ඒ කියන අපරාධ ඇත්ත වශයෙන්ම කර ඇත්නම් ඒවා ජනාධිපතිනියගේ අනුදැනුම නැතිව සිදුවිය නොහැකිය. තමන්ට එරෙහිව ආරම්භ වී තිබෙන පරික්ෂණ අත්හිටුවා ගැනීමට ජනාධිපතිනියට තිබෙන හොඳම ක්රමය රනිල් සමග තාවකාලික දේශපාලන දිගයක් ඇති කරගැනීමය.
ජනාධිපතිනිය වැදගත් කොට සලකන ඊළග ප්රධාන කාරණය වනුයේ තමන්ගේ හා සිය පරපුරේ දේශපාලන අනාගතයයි. විධායක ජනාධිපති ක්රමය තවදුරටත් ඉදිරියට පවතී නම්, ජනාධිපතිනියගේ ධුර කාලය අවසන්වීමෙන් පසුව ඇය විශ්රාම යායුතුය. එහෙත් ජනාධිපතිනියගේ අපේක්ෂාව වන බව පෙනෙන්නේ තම දරුවකු දේශපාලන කරළියට ගෙන පක්ෂ නායකත්වය ඔහු හෝ ඇය අතට පත් කරන තෙක් දේශපාලනයේ රැඳී සිටිය හැකි ආකාරයට විධායක ජනාධිපති ක්රමය වෙනස් කරවා ගැනීමය. විරුද්ධ පක්ෂ නායිකාව ලෙස පාර්ලිමේන්තුවට පැමිණ ඊළග මහ මැතිවරණය සඳහා තරග කිරීම ඇගේ අපේක්ෂාව වී තිබේ. ඇය හිතන්නේ තමාගෙන් පසුව පක්ෂ නායකත්වය සිය දරුවකු අතට පත් කරන තෙක් තමා පක්ෂ නායකත්වයේ රැඳී සිටිය යුතු බවය. අතරමැදි කාලයක් වෙනත් කෙනෙකුට බාරදිම විශ්වාසදායක නොවේය යන්න ඇගේ විශ්වාසය වී තිබෙන බව පෙනේ. සමහරවිට ඩී.බී. විජේතුංග කළ දේ තමන් පත් කරන කෙනෙකු තමන්ට කළ හැකි යැයි ඇය කල්පනා කරනවා විය හැකිය.
අගමැති රනිල් වික්රමසිංහ සමග දේශපාලන දිගයක් ඇති කරගන්නා තත්ත්වයක් තුළ තමන්ට එරෙහිව ක්රියාත්මක වන අභ්යන්තර බලවේග මෙල්ල කරගැනීමේ අවස්ථාවක් ජනාධිපති චන්ද්රිකාට ලැබෙන්නේය. 19 වැනි ව්යවස්ථා සංශෝධනයට සහයෝගය දිමට සූදානම් පිරිසක් සිය පක්ෂ අභ්යන්තරයේ සිටි බව ඇය දන්නේය. තමාගෙන් පසු තම පවුලෙන් පිටස්තර වෙනත් පුද්ගලයකු පක්ෂ නායකත්වයට ගෙන ආ යුතුයි සිතන පිරිසක් ද පක්ෂ අභ්යන්තරයේ සිටින බව ඇය දනී. අගමැති රනිල් වික්රමසිංහ සමග ඇති කරගන්නා තාවකාලික දේශපාලන දිගයක් නිසා අනවශ්ය අය අපහසුවකින් තොරව පළවා හැරිමටත්, මෙල්ල කරගත යුතු අය මෙල්ල කරගැනීමටත් ඇයට මනා අවස්ථාවක් ලැබෙන්නේය.
මේ තත්ත්වය ඉදිරියේ අගමැති රනිල් වික්රමසිංහට තමන් අතීතයේදි පච මල්ලක් ලෙස පෙනුණු චන්ද්රිකා ශ්රේෂ්ඨ නායිකාවක ලෙසත්, ඩ්රැකියුලා කෙනෙකු ලෙස චන්ද්රිකාට පෙනුණු රනිල් ශ්රේෂ්ඨ නායකයෙකු ලෙසත් පෙනෙන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. ඒ සමග ජනාධිපති චන්ද්රිකා හා ජනතා විමුක්ති පෙරමුණ අතර ගොඩ නැගී තිබෙන සන්ධානය ද අහෝසි වනු ඇත. වර්තමානයේ විහාරමහාදේවි කෙනෙකු ලෙස ජවිපෙට පෙනෙන චන්ද්රිකා නැවත උමතු අනුලාදේවි කෙනෙකු ලෙස පෙනෙන තත්ත්වයක් ඇතිවනු ඇත.
මේ දේශපාලන දිගය රටට යහපත් ප්රතිඵල සේ ම අයහපත් ප්රතිඵල ද ඇති කිරීමට නියමිතය.
ඇති කරන ලොකුම යහපත වනු ඇත්තේ විධායක ජනාධිපති වෙතින් හා ප්රධාන විපක්ෂය කෙරෙන් සාම ක්රියාවලියට කකුල් මාට්ටු දමන තත්ත්වයක් ඇති නොවීමය. එය ආණ්ඩුවේ පෞද්ගලිකකරණ ක්රියාවලියට තිබෙන විරෝධය ද ලිහිල් කිරීමට හේතුවනු ඇත.
විරුද්ධ පක්ෂ ව්යාපාරය දුර්වල වීම, අන්තවාදි මතවාදයක පිහිටා ක්රියාකරන ව්යාපාරයකට විරුද්ධ පක්ෂයේ ප්රධානත්වය හිමිවීම, චන්ද්රිකා පාලනය තුළ සිදුවූ දූෂණ හා අපරාධ පිළිබඳව කෙරෙන සියලු කරුණු සොයා බැලීම් වැළලී යන තත්ත්වයක් ඇතිවී, ඒ නිසා දීඑයාට හොඳ නම් අපිට නරක ඇයි දෑයි” සිතන තත්ත්වයක් තුළ ආණ්ඩු බලයේ සිටින අය ද බියක් ඇති කරගැනීමෙන් තොරව දූෂණ හා අපරාධ ගණයෙහිලා වැරදිවලට යොමුවන තත්ත්වයක් ඇතිවීම වැනි කාරණා ඒ නිසා ඇතිවිය හැකි අයහපත් දේ ලෙස සැලකිය හැකිය.
අන්තෝ ජටා බහි ජටා
ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා තමන්ට එජාප පෙරමුණු ආණ්ඩුවෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව පසුගිය සතියේ මීගමුවේ පැවති ගම්පහ දිස්ත්රික්ක සංවිධායකයන්ගේ සම්මන්ත්රණයක් අමතා ජනාධිපතිනිය ප්රකාශ කර තිබුණ. තමා ඔවුන්ට කොන්දේසි දෙකක් ඉදිරිපත් කළ බවත් ඒ කොන්දේසි දෙක පිළිගන්නේ නම් පමණක් තමා එම යෝජනාව සළකා බැලීමට සූදානම් බව ඔවුන්ට දැනුම් දුන් බවත් එහෙත් ඉන් පසු තමන්ට කිසිම පිළිතුරක් ලැබී නැති බවත් ඇය එහිදි වැඩිදුරටත් ප්රකාශ කර තිබුණ.
සේනාධිනායකයා වශයෙන් තමන්ට තිබෙන බලතල කප්පාදු කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවත් එහෙත් තමා ඊට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් නැවත යුද්ධය ආරම්භ වුවහොත් සේනාධිනායකයා වශයෙන් තමන්ට තිබෙන බලතල පූර්ණ ලෙස ක්රියාවට නගන බවත් එහිදි ජනාධිපතිනිය ප්රකාශ කර තිබුණි.
19 වැනි ව්යවස්ථා සංශෝධනය අසාර්ථක වීමෙන් පසුව ආණ්ඩු පක්ෂෂයට ජනාධිපතිනියවත් ජනාධිපතිනියට ආණ්ඩු පක්ෂෂයවත් වහාම පරාජය කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වීමෙන් පසුව එක්තරා සීමිත කාල වකවානුවක් සඳහා ජාතික ආණ්ඩුවක් ඇති කර ගත යුතුයි කියන චිත්රය දෙපක්ෂෂය තුළම ගොඩ නැගී තිබුණත් ජනාධිපතිනිය දැන් ඒ මතයෙන් වෙනස් වී නැවත ආණ්ඩුව අවුලකට දැමීම සඳහා උපරිම ශක්තිය යොදන තැනකට මාරු වී සිටින්නේ ය.
සාම වැඩපිළිවෙළ අවුල් කොට නොසන්සුන්තාවයක් ඇති කිරීම ඇගේ උපාය මාර්ගය වී තිබේ. මුස්ලිම් දෙමළ තුවාලය පෑරිම අපහසු නොවන බව ඇය දනී. ඒ මගින් අවුලක් ඇතිකොට මහජනයා සාම වැඩපිළිවෙලකට එරෙහිව වීදි බසින තත්ත්වයක් නිර්මාණය කිරීම ඇගේ අභිප්රාය වනවා විය යුතුය. එවැනි නොසන්සුන් වාතාවරණයක් ඇතිකොට මැතිවරණයකට යාහැකි නම් තමන්ට ජයගත හැකි වනු ඇති බව ඇයගේත් ඇගේ න්යායවාදින්ගේත් තක්සේරුව වී තිබේ.
සාම වැඩපිළිවෙල නිසා මේ අවස්ථාවේදි දෙමළ ජනතාව එක පොදියට සහාය දෙන බව ඇය දනී. එහෙත් ආණ්ඩුවට තිබෙන මුස්ලිම් සහාය නැතිකළ හැකි නම් ළග ළග තරගයකින් හෝ තමන්ට ජයගත හැකි වනු ඇතැයි ඇගේ කල්පනාව වී තිබේ. ප්රභාකරන්ට එරෙහිව පවරන ලද අවුරුදු 200 ක සිරදඬුවමද ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ලබාදි තිබෙන නියෝගයද සාම ක්රියාවලියේ පදනම් දුර්වල කිරීමට හේතු විය හැකිය. ප්රභාකරන් සමග ගනුදෙනු කරනවාට එරෙහිව කෑගසන බලවේගයන්ට ඒ මගින් ශක්තියක් ලැබී තිබෙන අතර කොටි සංවිධානය අතර පමණක් නොව දෙමළ ජනතාව අතර ද සාම ගමන ගැන සැකයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.
ප්රභාකරන් සමග සාම සාකච්ඡාවලට ගියේ ප්රභාකරන් ඔහුගේ කොටි සංවිධානය අමානුෂික ක්රියාවල නිරත වූ බව දැන මිස නොදැන නොවේ. ඒ සමාන ආකාරයට ආණ්ඩුව අතින් දෙමළ ජනතාව වෙත බිහිසුණු පහරදිම් එල්ල වී තිබේ. ප්රභාකරන්ගේ කොටි සංවිධානය අතින් සිංහල මිනිසුන් ඝාතනයට ලක්වී ඇතිවා සේම ආණඩුවේ හමුදා අතින්ද දෙමළ ජනතාව ඝාතනයට ලක් වී තිබේ. යුද්ධයක් රාත්රී භෝජන සංග්රහයක් වැනි රසවත් හා කන්කලු දෙයක් විය නොහැකිය.
දෙපාර්ශ්වය අතින්ම එකිනෙකාට එරෙහිව බරපතල වැරදි හා අමානුෂිකකම් සිදුවී තිබියදිත් සාමකාමී එකගත්වයක් ඇතිකරගැනීම සඳහා සාකච්ඡා කරන තැනකට දෙපාර්ශ්වයටම යන්නට සිදුවූයේ දෙපැත්තේම පැවැත්ම සඳහා යුද්ධයෙන් අත් මිදිම අත්යවශ්ය කොන්දේසියක් බවට පත් වී තිබූ නිසාය. ජාත්යන්තර ප්රජාවගේ මතය වූයේ රටේ පැවැත්ම සඳහා සාකච්ඡාමය එකගතාවක් ඇති කර ගැනීම අත්යවශ්ය බවයි.
සටන් විරාම ගිවිසුමක් ඇති කර ගැනීමෙන් පසුව ගිවිසුම උල්ලංගනය කෙරෙන අවස්ථා වාර්තා වූවත් බරපතල ලේ වැගිරිම් සිදු නොවීය. ලංකා ආණ්ඩුව කෙරෙන් සේම ප්රභාකරන්ගේ පාර්ශ්වය කෙරෙන්ද වෙන කවරදාකවත් දක්නට නොලැබෙන ආකාරයේ මටසිළුටුභාවයක් සේම හික්මීමක්ද ප්රදර්ශනය විය. බරපතල ආරවුලකින් තොරව මේ දක්වා සටන් විරාම ගිවිසුම ක්රියාත්මක වී තිබෙන කාලය මාස එකොලහකි.
සාමකාමී එකගත්වයක් ඇති කර ගැනීම රටේ පොදු යහපත සඳහා අත්යවශ්ය කොන්දේසියක් වී ඇත්නම් ලෝක ජනමතය ද එයම වී ඇත්නම් හා මුළු රටේම ශක්තිය යොමු වී ඇත්තේ ඒ අරමුණ ජය ගැනීම සඳහා නම් සරල නීති සිද්ධාන්ත ඒ ඉදිරි ගමනට බාධාවක් කරගතයුතු නැත.
නිසි ඒකමතිකභාවයක් නැතිකමේ ප්රශ්නයක් ශ්රී ලංකාවට ඇත්තේය. රටේ පොදු යහපතට හේතු වන මූලික කාරණාවලදි ව්යවස්ථාදායකය විධායකය හා අධිකරණය යන අංශ මනා ඒකමතිකභාවයකින් ක්රියා කිරීම අත්යවශ්යය. එහෙත් අපේ රටේ පාලනයේ මුදුනත තබා කෘෂිකර්ම අමාත්යාංශය හා වෙළඳ අමාත්යාංශය අතරවත් නිසි ඒකාබද්ධතාවයක් නැත.
චන්ද්රිකා කුමාරතුංග මහත්මියට ගල් පෙරලීමේ මනා දක්ෂෂතාවයක් තිබිය හැකිය. එහෙත් සාමය බිඳ වැටුනහොත් සමහරවිට ඇයට රජ කරන්නට වෙන්නේ අමුසොහොනකද විය හැකිය.
සාමකාමී එකගත්වයක් ඇති කර ගැනීම පහසු නැතත් රටේ ඉදිරි ගමන සඳහා ඒ අරමුණ ජය ගැනීම අත්යවශ්යය. ගිනි ඇවිලීම පහසුය. එහෙත් ගිනි ඇවිලුනු පසු ගින්න පාලනය කිරීම අපහසුය. 83 ජූලිවලදි එය ඇවිලු අය ඒ සා විනාශයක් ඇතිවනු ඇතැයි කල්පනා නොකළහ. එහෙත් අවසානයේ ඉන් රට පමණක් නොව සිංහල වර්ගයාගේ ගෞරවයද විනාශ විය.
ප්රභාකරන් නැවත ආයුධ අතට ගෙන සටන් කරන තැනකට තල්ලු නොකිරීම අපේ වගකීමක් වන අතර සාම විරෝධී බලවේගයන්ගේ ප්රකෝපකාරි ක්රියාවන්ගෙන් මුසපත් නොවී සාමකාමී එකගත්වයක් ඇති කර ගැනීම සඳහා අධිෂ්ඨානයකින් ක්රියාකිරීම ප්රභාකරන්ගේ ද වගකීමකි.
අගවිනිසුරුගේ කකුළු උපදේශක
නීතීඥයන්ට එරෙහිව ලැබෙන පැමිණිලි එක් මාසයක කාලයක් තුළ විභාග කිරීමට අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා තීරණය කර ඇති බව “ලංකාදිප” පුවත්පත මුල් පිටුවේම වාර්තා කර තිබුණි. එවැනි ක්රියාවක් ආරම්භ කරන්නට කලින් අගවිනිසුරු තමා නීතිපතිව සිටියදි විශමාචාර චෝදනා මත අධිකරණ විධි විධාන පනතේ 42 වගන්තිය යටතේ නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව ක්රියා කරන ලෙස ඉල්ලා රාවය කර්තෘ හා සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව අනාචාර නඩුවක් පැමිණ වූ රසායන ඉංජිනේරු ජයසේකර ඉදිරිපත් කළ හා ශ්රේෂ්ඨාධිකරණය පරීක්ෂෂණයක් ආරම්භ කළ පැමිණිලි දෙකට කුමක් වීද යන්න ඒ සත්ගුණවත් කාර්යය ආරම්භ කරන්නටත් පෙර අගවිනිසුරුවරයා රටට ප්රකාශ කරන්නේ නම් යහපත්ය.
ජනාධිපතිනිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය භාර වාර්තාකරු ලෙස ක්රියාකරන ඩාටෝ පරම්කුමාරස්වාමි මහතා පවා විශ්මයට පත් කරමින් නීතිපති ධූරය දැරූ සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරුධූරයට පත් කළේ ශ්රේෂ්ඨාධිකරණයේ එම පැමිණිලි දෙක පිළිබඳව පරීක්ෂෂණයක් ආරම්භ කොට සරත් නන්ද සිල්වාගෙන් නිදහසට කරුණු විමසීමක්ද කර තිබූ අවස්ථාවකය.
සරත් නන්ද සිල්වා මහතා නීතියට ගරු කරන පුද්ගලයෙක් නම් තමාට එරෙහිව ආරම්භ වී තිබූ පරික්ෂෂණය ආරම්භ වන තෙක් ඒ තනතුර භාර ගැනීමෙන් වැළකී සිටිය යුතුය තිබුණි. ඒ තරමට නොවී ඊට වඩා අඩු මට්ටමකින් හෝ නීතියට ගරු කරන පුද්ගලයෙකු වී නම් ඒ තනතුරට පත්වීමෙන් පසුවවත් අනිසි ඇගිලි ගැසීමකින් තොරව තමාට එරෙහිව ආරම්භ කර තිබූ පරික්ෂෂණය පවත්වාගෙන යාමට ඉඩ දි එහි ප්රතිඵල පැමිණිලි කරුවන්ට දැනුම් දිය යුතුව තිබුණි. එහෙත් සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධූරයට පත්වීමෙන් පසුව ඒ පරික්ෂෂණවලට සිදුවූයේ කුමක්ද කියා දන්නේද අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පමණි.
මීට අතිරේකව නීතීඥ පර්සි වික්රමසේකර මහතා ස්ත්රී දූෂණ චෝදනා හා මුදල් වංචා චෝදනා එල්ල වී තිබූ මහේස්ත්රාත් ලෙනින් රත්නායකට එරෙහිවද ශ්රේෂ්ඨාධිකරණය වෙත ප්රසිද්ධ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඊටත් අතිරේකව එවකට ශ්රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස ක්රියා කළ රංජිත් ධීරරත්න මහතාද සරත් නන්ද සිල්වා මහතාගේ අනාචාර නඩුව විභාග කළ දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව හා මහේස්ත්රාත් ලෙනින් රත්නායකට එරෙහිව පරික්ෂෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලීමක් කර තිබුණි. එහෙත් ඒ සියලු දෙනා අගවිනිසුරුගේ සමීප ආධාරකරුවන් වීම හේතු කොටගෙන කිසිදු පරීක්ෂෂණයක් සිදුවූයේ නැත.
නීතීඥ සංගමයේ සභාපතිධූරයට තරගකිරීම සඳහා තරග බිමට පැමිණ සිටින හේමන්ත වර්ණකුලසූරිය මහතා කලක් අගවිනිසුරුගේ ජන්මාන්තර වෛරක්කාරයෙක් විය. ඔහු ඒ කාලයේ මුඩ්ලියර් කොලමෙන් සරත් නන්ද සිල්වා මහතා පතුරු ගැසුවේය.
නීතීඥ සුවිනීතා ඉන්ද්රානි ගුණරත්න මහත්මියට නීතීඥ නිල කාමරයේදි තිත්තකුණුහරුපයෙන් බැන වැදිමේ සිද්ධියක් පිළිබඳව ඒ මහත්මිය අගවිනිසුරුවරයාට පැමිණිලි කළාය. තමා විවේචනය කරන හේමන්ත වර්ණකුලසූරියගේ කට වැසීමට මෙය හොඳ තුරුම්පුවක් බව තේරුම්ගත් අගවිනිසුරුවරයා හේමන්ත වර්ණකුලසූරිය මහතාට එරෙහිව දිවුරුම් පෙත්සමක් මගින් පැමිණිලි කරන ලෙස අගවිනිසුරුවරයා ඒ මහත්මිය එකග කරවා ගත්තේය. ඒ අනුව 2000 ජනවාරි 28 වැනිදා දිවුරුම් පෙත්සමක් මගින් සුවිනීතා ගුණරත්න මහත්මිය අගවිනිසුරු වෙත ඒ පැමිණිල්ල ඉදිරිපත් කළාය.
අගවිනිසුරුවරයා තමාගේ කෝට් එක ගලවන්නට ක්රියාකරමින් සිටිනබව තේරුම් ගත් හේමන්ත වර්ණකුලසූරිය මහතා ඒ නිසා ඇති කර ගත් බියෙන් යුතුව ටික කලක් විදේශ ගත වී සිටියේය. ඉන් පසු දෙදෙනා අතර එකිනෙකාගේ ආරක්ෂෂාව සඳහා රහසිගත එකගත්වයක් ඇති විය. ඉන්පසු සුවිනීතා ගුණරත්න මහත්මියගේ පැමිණිල්ලද දිර්ඝ කාලයක් යටපත් වී තිබූ අතර ඒ මහත්මිය අවස්ථා ගණනාවකදි ඒ ගැන සිහිකැඳවීම් කළත් පසුව පැමිණිල්ල කර අවුරුදු තුනකට පමණ පසුව එනම් 2002-07-16 දින එවන ලිපිය මගින් එම පැමිණිල්ලේ සඳහන් සිද්ධිය සිදුවී ඇත්තේ අධිකරණ ශාලාව තුළ නොවීම හේතුව මත පැමිණිල්ල පිළිබඳව ඉදිරියට කටයුතු කළ නොහැකි බව දැනුම් දි තිබේ.
දැන් අගවිනිසුරුවරයාගේ හොඳම මිතුරා වී සිටින්නේ සිය පැරණි සතුරාය. හේමන්ත වර්ණකුලසරිය මහතාගේ ඡන්ද ව්යාපාරයේ ලොකුම ආධාරකරුවා වී සිටින්නේ අගවිනිසුරුවරයාය.