සහලින් රට ස්වයංපෝෂිත කරන්න රජයට යෝජනාවක්

May 14, 1974
Publication:
Writing from prison under a pseudonym, Ivan argues that Sri Lanka cannot become self-sufficient in rice while nearly half its paddy land is worked by sharecroppers who surrender up to half their harvest to absentee landlords. Drawing on a 1972 cost-of-production survey and the Patha Dumbara study, he shows that tenant farmers are left in debt after paying rent, and that most landlords are estate owners, traders and salaried employees for whom paddy rent is only a side income. He proposes that the state transfer all tenanted land to the farmers who work it, compensate the owners, and recover the cost through paddy delivered to the Paddy Marketing Board. He argues this would secure the rice ration, raise yields, and free some 450,000 tenant families from what he calls feudal bondage.

කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මගින් 1972 යල් කන්නයේ වී නිෂ්පාදන වියදම් අළලා සමීක්ෂණයක් කරන ලදී. සමීක්ෂණයට භාජනය වූ දිස්ත්‍රික්ක ගණන පහකි. ඒවා නම් හම්බන්තොට, කුරුණෑගල, නුවර, පොළොන්නරුව, හා කොළඹ යන දිස්ත්‍රික්ක වේ. සමීක්ෂණයට අනුව දිස්ත්‍රික්ක පහේ කුඹුරු අක්කරයක සාමාන්‍ය අස්වැන්න ප්‍රමාණය බුසල් 55 ක් විය. එදා පැවැති සහතික මිල අනුව සාමාන්‍ය නිෂ්පාදනයේ වටිනාකම රුපියල් 990 ක් විය. අක්කරයක සාමාන්‍ය නිෂ්පාදන වියදම ගොවියා හා ඔහුගේ පවුලේ උදවිය වැය කළ ශ්‍රම ශක්තියේ වටිනාකම ඇතුළත් නොකොට රුපියල් 566 ශත 59 ක් ය. මේ අනුව ගොවියා නිෂ්පාදනයෙන් හරි අඩක් බදු කුලී වශයෙන් ඉඩම් හිමියාට දුන්නේ නම් ඔහු හා ඔහුගේ පවුලේ උදවිය වැය කළ ශ්‍රම ශක්තිය වෙනුවෙන් ශ්‍රම ශක්තියේ නැවත නිෂ්පාදනයට ඔහුට කිසිවක් නොලැබී අමතරව රුපියල් 71.59 ක් ණය වීමට සිදුවේ. එවැනි කුඹුරු ඉඩම් හිමියන්ට කුඹුරු අක්කරයක් සඳහා එක් කන්නයකදී ලැබෙන බදු කුලිය රුපියල් 495 කි. ගොවියා කුඹුරු පනතට අනුකූලව බදු කුලී වශයෙන් ඉඩම් හිමියාට දුන්නේ සිය අස්වැන්නෙන් 1/4 ක් නම් ඔහු ගොවියා හා ඔහුගේ පවුලේ උදවිය වැය කළ ශ්‍රම ශක්තිය වෙනුවෙන් ගොවියාට ලැබෙන්නේ රුපි. 175.91 කි. ඒ වර්ගයට අයත් ඉඩම් හිමියන්ට අක්කරයක් සඳහා කන්නයකට ලබන බදු කුලිය රුපියල් 247.50 කි. මේ සංඛ්‍යා ලේඛන අනුව අපට පෙනී යන්නේ ඉඩම් හිමියාට නීතිප්‍රකාරව ඉඩම් හිමියාට ලබා ගැනීමට ඉඩ ලැබී ඇති බදු කුලියේ ඇති අසාධාරණත්වය වඩාත් හොඳින් කැපී පෙනෙන්නේ ඔවුන් කුඹුරු ඉඩම් වලින් බදු කුලී මගින් ආදායම ඔවුන්ගේ ප්‍රධාන අය මාර්ගය නොවන නිසයි. එය මේ ලිපියේ අන් තැනක විස්තර වේ.

ලංකාවේ කුඹුරු ඉඩම් වලින් 43% ක් පමණ හවුල්අස්වැන්න ලබන ගොවීන් අද බදු නිලකාර ගොවීන් විසින් වගා කරන කුඹුරු ඉඩම් වල නිමවුම අයිතිකාර ගොවීන් වගා කරන කුඹුරු ඉඩම් වල නිමවුමට වඩා වැඩි නමුත් අයිතිකාර ගොවියා හවුල් අස්වැන්න ලබන ගොවියා උපයන ආදායමට වඩා 2.26 ක ගුණයකින් වැඩි ආදායමක් උපයයි. හවුල් අස්වැන්න ලබන ගොවියා ඉන් ලබන ආදායම ඔහුගේ නඩත්තුවට කිසියේත් ප්‍රමාණවත් නොවේ.

තමන්ට කුඹුරු ඉඩම් වලින් ලැබෙන ආදායම තමන්ගේ නඩත්තුවට හරි ප්‍රමාණවත් නොවන නිසා හවුල් අස්වැන්න ලබන ගොවියාට ගම්බද වෙනත් අය මාර්ග කෙරෙහි විශ්වාසය තැබීමට සිදුවී තිබේ. පාත දුම්බර සමාලෝචන වාර්තාවේ ඒ ගැන මෙසේ සඳහන් වේ.

ලංකාවේ කුඹුරු ඉඩම් වලින් අර්ධයක් පමණ වගා කරන හවුල් අස්වැන්න ලබන ගොවීන් අර්ධ වශයෙන් නිරාහාරව සිටිද්දී යෝජිත නිෂ්පාදන සංග්‍රාමය කෙසේ ජයගත හැකි වේද? ලංකාව සහලින් ස්වයංපෝෂිත කළහැකි වන්නේ කෙසේද? හවුල් අස්වැන්න ලබන ගොවියාගේ හීන ආදායමට මූලික හේතුව වී ඇත්තේ ඉඩම් හිමියාගේ අසාධාරණ ගසා කෑමයි. ඔහුට ඉඩම් හිමියාට ගෙවීමට සිදුවී තිබෙන අසාධාරණ බදු කුලිය නිසා වී නිෂ්පාදනය නගා සිටුවීමට ඔවුන් තුළ උනන්දුවක් නැති බව විශේෂඥ වාර්තාවලින් කියැවේ. අනපනත් කොතරම් සම්මත කරගනු ලැබුවත් ඉඩම් හිමියාට ඉඩමේ වැඩි අයිතිය තිබෙන තුරු ඔවුන්ගේ ගසාකෑම වැළැක්විය නොහැකි බව අපේ මේ කුඹුරු ඉඩම් අනපනත් පිළිබඳ ඉතිහාසය විසින් නැවත නැවතත් තහවුරු කර තිබේ. වී නිෂ්පාදනයේ සීඝ්‍ර වර්ධනයක් ඇති කළ යුතු වේ නම් ඒ මගින් රට සහලින් ස්වයංපෝෂිත කළයුතු වේ නම් ලංකාවේ කුඹුරු ගොවිතැන කරා සිටින මධ්‍යකාලීන නෂ්ඨාව ශේෂ තුරන් කර දැමීමට අත්‍යාවශ්‍ය වේ. ලංකාවේ කුඹුරු ඉඩම් වලින් අර්ධයක් පමණ වගා කරන හාරලක්ෂයක් පමණ හවුල් අස්වැන්න ලබන ගොවීන් මධ්‍යකාලීන දාසභාවයෙන් මුදහැරිය යුතුවේ.

එවිට පමණක් නිෂ්පාදන සංග්‍රාමය ජයගත හැකි වනවා ඇත. එවිට පමණක් සමගි පෙරමුණේ ආර්ථික ඉලක්කය එනම් රට සහලින් ස්වයංපෝෂිත කරලීමට හැකි වනවා ඇත.

මේ සඳහා කළ යුතු ඇත්තේ [කියවිය නොහැක] 1956 [කියවිය නොහැක] ආණ්ඩුව විසින් හා 1970 [කියවිය නොහැක] පෙරමුණු ආණ්ඩුව විසින් මේ රටේ හවුල් අස්වැන්න ලබන ගොවි ජනතාව තුළ ඇතිකළ බලාපොරොත්තුව ඉටුකර දීමයි. එනම් ලංකාවේ හවුල් අස්වැන්න ලබන ගොවියා අයිතිකාර ගොවියකු බවට පත්කර ලීමයි.

මෙය කළ හැකි වනු ඇත්තේ සියළුම අද බදු හා වැඩවසම් කුඹුරු ඉඩම් ඒවායේ අයිතිකරුවන්ට සුදුසු වන්දියක් ගෙවා ඒවා වගා කරන අද බදු හා නිලකාර ගොවීන්ට පවරා දීමෙන් පමණි.

ලංකාවේ කුඹුරු හිමියන්ගෙන් සියයට 95 ක් පමණ දෙනා අක්කර 5 ට අඩු කුඹුරු හිමියන් නිසා මෙය සුළු ඉඩම් හිමියන්ගේ මළගම කැඳවන සාහසික ක්‍රියාමාර්ගයක් ලෙස හැඳින්වීමට අපේ විරුද්ධවාදීන් පසුබට නොවනු ඇත. මේ නිසා එහි යථා තත්වය තේරුම් කර දීම අවශ්‍ය වේ.

පළමුවෙන්ම කිව යුතුව ඇත්තේ ලංකාවේ සියළුම කුඹුරු ඉඩම් හිමියන් තමන්ගේ කුඹුරු ඉඩම බදු දෙන්නන් නොවන බවයි. ලංකාවේ කුඹුරු හිමියන්ගෙන් සියයට 93 ක් දෙනෙක්ම අයිතිකාර ගොවීන් වේ. ඒ නිසා ඔවුන් වගා කරන කුඹුරු ඉඩම් වලට මෙයින් කිසියම් හානියක් සිදු නොවේ. තමනට වගා කරගත නොහැකි තරම් විශාල කුඹුරු ඉඩම් ප්‍රමාණයක් ඇති අයිතිකාර ගොවීන් සුළු පිරිසකට මේ ක්‍රියාමාර්ගය බලපානු ඇත. මූලික වශයෙන් එය අයිතිකාර ගොවීන් නොවන සියයට 6 ක් පමණ වූ කුඹුරු ඉඩම් හිමියන් කෙරෙහි බලපායි.

දෙවනුව මේ තුන් වර්ගයට අයත් බදු ඉඩම් හිමියා යනු කවරෙක්ද යන්න සොයා බැලීමට අවශ්‍යයි. කෙනෙකුට තමාට වගාකළ නොහැකි තරම් කුඹුරු ඉඩම් ප්‍රමාණයක් වේ නම් ඔහු තමාට වගා කළ හැකි උපරිම ප්‍රමාණය වගා කොට ඉතිරිය බදු දේ. තවත් සමහරුන්ට ගොවිතැන් කටයුතු වල නිරත වීමට හැකියාවක් නොමැති නිසා හා තමන්ගේ මූලික අය මාර්ගය කුඹුරු ගොවිතැන නොවන නිසා ඔහු තමන්ට අයත් කුඹුරු ඉඩම් බදු දේ. තවත් සමහර අය තමන්ට අයත් කුඹුරු ඉඩම් වගා කිරීමට පවුලේ පිරිමි උදවිය නැති නිසා හෝ වෙනත් සෞඛ්‍ය හේතූන් නිසා හෝ තමන්ට අයත් කුඹුරු ඉඩම් බදු දෙති. මේ තුන් වර්ගයට අයත් පුද්ගලයින්ගෙන් තුන්වෙනි වර්ගයට අයත් පුද්ගලයින් කෙරෙහි වඩාත් සානුකම්පිතව බැලිය යුතුව තිබේ. පාතදුම්බර එවැනි කුඹුරු ඉඩම් හිමියන්ගේ සංඛ්‍යාව කුඹුරු ඉඩම් හිමියන්ගෙන් සියයට 29 ක් විය. ඉතිරි සියයට 71 ම සමන්විත වූයේ වතු හිමියන්, ව්‍යාපාරිකයින් හෝ ගුරුවරුන්, ලිපිකරුවන් වැනි වේතන ලබන්නන් ගෙනි.

එම සියයට 71 දෙනා අයත් කර ගෙන තිබුණු කුඹුරු ඉඩම් ප්‍රමාණය පාතදුම්බර ඉඩම්වලින් සියයට 25 ක් පමණ විය. මේ වර්ගයට ඉඩම් හිමියාගේ ප්‍රධාන අය මාර්ගය කුඹුරු ඉඩම් වලින් ලැබෙන ආදායම නොවේ. එය අතිරේක අය මාර්ගයක් පමණක් විය. මේ අනුව ඔවුන් කුඹුරු ඉඩම් වලින් ලබන ආදායම මුළු ආදායමෙන් සියයට 6 ක් පමණ විය. වතු හිමියන් කුඹුරු වලින් ලැබූ ආදායම සියයට 3 ක් පමණ වූ අතර ව්‍යාපාරිකයින් හා වේතන ලබන්නන් එයින් ලැබූ ආදායම පිළිවෙලින් සියයට 2 ක් හා සියයට 14 ක් විය. මේ වර්ගයට අයත් ඉඩම් හිමියාගේ කුඹුරු ඒවා වගා කරන ගොවීන්ට [කියවිය නොහැක] ආර්ථික වශයෙන් බරපතල හානියක් නොවන බව මේ අනුව පැහැදිලි වේ. මේ ක්‍රියාමාර්ගය නිසා කිසියම් අහිතකර බලපෑමක් ඇති වෙනවා නම් ඇතිවනු ඇත්තේ තුන්වෙනි වර්ගයට අයත් පවුලේ පිරිමි උදවිය නැති නිසා හෝ වෙනත් සෞඛ්‍ය හේතූන් නිසා හෝ තම කුඹුරු ඉඩම් බදු දෙන ඉඩම් හිමියන් කිහිප දෙනාට පමණි. එනමුදු ගොවීන්ට පවරා දෙනු ලබන සියලුම කුඹුරු ඉඩම් වෙනුවෙන් ඒවායේ මුල් හිමිකරුවන්ට සුදුසු වන්දියක් ගෙවන බැවින් මේ වර්ගයට අයත් ඉඩම් හිමියන්ටද එය ආර්ථික වශයෙන් ඔරොත්තු දිය නොහැකි තරම් බරපතල පහරක් නොවේ.

අවසාන වශයෙන් අපේ විරුද්ධවාදීන් සිතා බැලිය යුතුව ඇත්තේ කෘෂිකාර්මිකයින්ගෙන් සියයට 0.9 ක් පමණ වූ ඉඩම් හිමියන් තෘප්තිමත් කිරීම සඳහා සියයට 7.1 ක් පමණ වූ බදු ගැණුම්කාර ගොවීන් තව දුරටත් මධ්‍යකාලීන දාස භාවයේ තබා ගැනීමට ඉඩදිය යුතුද යන්නයි.

මෙවැනි ක්‍රියා මාර්ගයක් නිසා ඇති විය හැකි යහපත් ප්‍රතිඵල මොනවාද යන්න දැන් අපි සොයා බලමු.

සේරු දෙක බැගින් සලාක ක්‍රමය යටතේ බෙදා දීමට අවශ්‍ය සහල් ලංකාවේම නිපදවෙන නමුත් ඒ සඳහා අවශ්‍ය වී අලෙවි මණ්ඩලයට ලබා ගැනීම අද දුෂ්කර ප්‍රශ්නයක් වී තිබේ. තත්ත්වය එසේ වුවත් ලංකාවේ වාර්ෂික වී නිෂ්පාදනයෙන් 1/4 ක් පමණ තරම් ප්‍රමාණයක් කුඹුරු ගොවිතැන් නොකරන කුඹුරු හිමියන් අතට බදු කුලී වශයෙන් යන[?] ඒවා වී අලෙවි මණ්ඩලයට නොලැබේ. ඉඩම් හිමියන්ගෙන් වැඩි දෙනෙක් එයින් සුළු කොටසක් ඔවුන්ගේ පාරිභෝජනය සඳහා ළඟ තබා ගෙන ඉතිරිවා හොර ජාවාරම්කාරයින් අතට (බොහෝ විට හොර ජාවාරම්කාරයින්ද ඔවුහු වෙති.) පත් කරති. සියළුම අද බදු හා වැඩවසම් කුඹුරු ඉඩම් ඒවා වගා කරන ගොවීන් අතට පත් කළහොත් වී ගොවිතැන් නොකරන ඉඩම් හිමියන් අතට පත්වන වී නිෂ්පාදනයෙන් 1/4ක් පමණ තරම් විශාල වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයට පහසුවෙන්ම ලබා ගත හැකි වේ. 1974 නිෂ්පාදන ඉලක්කය අනුව නම් බදු කුලී වශයෙන් ඉඩම් හිමියන් අතට පත්වන වී ප්‍රමාණය බුසල් 22,471,624 ක් පමණ වේ. එය පූරා වර්ෂයක් සලාක ක්‍රමය යටතේ හාල් සේරු භාගය බැගින් බෙදා දීමට තරම් සෑහේ. බදු ගැණුම්කාර ගොවීන් වගා කරන ඉඩම් ඔවුන් සතු කිරීමත් සමග කලින් බදු කුලී වශයෙන් කුඹුරු හිමියාගේ සාක්කුවට ගිය මේ වී ප්‍රමාණය වී අලෙවි මණ්ඩලයට ලැබෙන්නේ කෙසේද යන්න දැන් සොයා බලමු.

ගොවීන්ට පවරා දෙනු ලබන සියලුම කුඹුරු ඉඩම් වෙනුවෙන් ඒවායේ මුල් හිමිකරුවන්ට සුදුසු වන්දියක් ගෙවිය යුතු බව මීට කලින් සඳහන් විය. රජය විසින් ගෙවන මේ වන්දි මුදල වෙනුවෙන් ඉඩම් ලබාගත් ගොවීන් තම නිෂ්පාදනයෙන් නියම කරන ලද වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයට දිය යුතු බවට නීතිරීති පැනවිය හැක. රජය විසින් ඉඩම් හිමියන්ට ගෙවන ලද වන්දිය ගොවියා තමන්ගේ වී වලින් පියවූ පසු ඉඩමේ නීත්‍යානුකූල අයිතිය ගොවියාට පැවරේ. මෙබඳු ක්‍රියා මාර්ගයන් නිසා ගොවියා තුළ කනස්සලු ස්වභාවයක් ඇති නොකරයි. මක්නිසාද යත් කලින් ගොවියා තම නිෂ්පාදනයෙන් කොටසක් ඉඩම් හිමියාට ගෙවන ලද්දේ බදු කුලී වශයෙනි. දැන් ඔහු එම කොටස වී අලෙවි මණ්ඩලයට දෙනු ලබන්නේ බදු කුලියක් වශයෙනි. ඉක්මනින්ම ඉඩමේ නීත්‍යානුකූල අයිතිය තමන් වෙත පවරා ගැනීමට උනන්දුවක් දක්වන ගොවීන් නියම කර ඇති වී ප්‍රමාණයට වැඩි වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයට දෙනු ඇත. සියලුම අද, බදු හා වැඩවසම් ඉඩම් ඒවා වගා කරන ගොවීන්ට පවරා දීම නිසා ඇති වන එක් වැදගත් ප්‍රතිඵලයක් වනු ඇත්තේ [කියවිය නොහැක] එනම් වාර්ෂිකව බදු කුලී වශයෙන් ඉඩම් හිමියා අතට පත්වන වී ප්‍රමාණය වී අලෙවි මණ්ඩලයට ලැබීමයි.

ඇතිවන දෙවන වැදගත් ප්‍රතිඵලය වශයෙන් සැලකිය හැක්කේ මෙවැනි ගොවීන් වගා කරන සියයට 43 ක් පමණ කුඹුරු ඉඩම්වල නිමවුමේ සීඝ්‍ර වර්ධනයක් මේ නිසා ඇතිවීමයි. කලින් බදු ගැණුම්කාර ගොවියාට තම අස්වැන්නෙන් හරි අඩක් හෝ කාලක් බදු කුලී වශයෙන් “නිකම්ම” සිටින ඉඩම් හිමියාට ගෙවීමට සිදුවිය. තමන් කොතරම් මහන්සි වී නිමවුම වැඩි කරගනු ලැබුවත් ඉන් කොටසක් නිකම්ම සිටින ඉඩම් හිමියාගේ සාක්කුවට යාම නිසා නිෂ්පාදනය වර්ධනය කර ගැනීමට ගොවීන් තුළ ඇති උනන්දුව හීන කළේය. එය ලංකාවේ සියලුම ආර්ථික විශේෂඥයන් පොදුවේ පිළිගත්තා මතයක් වී තිබේ. දැන් ඔහු තම අස්වැන්නෙන් හරි අඩක් හෝ කාලක් බදු කුලී වශයෙන් ඉඩම් හිමියාට නොගෙවයි. නියමිත වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයට ගෙවයි. එයද බදු කුලියක් වශයෙන් නොව ඉඩම් අයිතිකර ගැනීම සඳහා ගෙවන වන්දියක් වශයෙනි. ඉඩමේ අස්වැන්න ප්‍රමාණය වැඩි කර ගන්නා ප්‍රමාණයට ඉඩමේ නීත්‍යානුකූල අයිතිය තමන්ට හිමි වීම ඉක්මන් වේ. අනෙක් අතට වෙනදා මෙන් ඔහුට ඉඩමේ භුක්තියේ සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිම ගෙවීමකින් තොරව ඉඩම් හිමියාට බැල මෙහෙවර කිරීම අවශ්‍ය නොවේ. මේ නිසා මෙබඳු ගොවීන් තමන්ගේ මුළු ශක්තිය නිෂ්පාදනය වර්ධනය කර ගැනීම සඳහා යොදනු ඇත. තුන්වැනි වැදගත් හේතුව වශයෙන් සැලකිය හැක්කේ හාර ලක්ෂ පනස් දහසක් පමණ හවුල් අස්වැන්න ලබන ගොවීන්ට හා පහළොස් ලක්ෂයක් පමණවූ ඔවුන්ගේ අඹු දරුවන්ට මේ නිසා මධ්‍යකාලීන දාස භාවයෙන් නිදහස් වීමට හැකි වීමයි. මධ්‍යකාලීන ශේෂයන් අඩංගු කර ගත් නවවිජිත ව්‍යුහය පොඩිපට්ටම් කර දැමීම සමාජවාදී ආර්ථික පරිවර්තනයක් සඳහා අවශ්‍ය පූර්ව අවශ්‍යතාවයක් වේ. හවුල් අස්වැන්න ලබන ගොවියා මධ්‍යකාලීන දාස භාවයෙන් නිදහස් කරනවා යනු ඒ සඳහා ගනු ලබන වැදගත් ඉදිරි පියවරක් වේ.

Editor’s Note : One of Victor Ivan’s earliest published articles, written from prison and published under the pseudonym Jayasena Akmeemana. The “Paddy Lands Act” he refers to is the Paddy Lands Act of 1958, introduced by the 1956 MEP government, which capped tenant rents at a quarter of the harvest. Ivan argues that more than fifteen years later, tenants were still often paying half. The article appeared during the 1974 food shortage, when the rice ration was a pressing political issue. Three lines of the original are lost to a fold in the clipping and are marked in the text.