මගේ සිහිනය ගැන වැඩිදුරටත්

June 2, 2013
Publication:
Replying to readers' reactions to his plan to reorganise Ravaya, Ivan explains his habit of seeing things unconventionally, as Gandhi and Mandela did, and sets his plan against his forecast that Sri Lanka is heading for anarchy. After Prabhakaran's defeat the political system stood exposed; Mahinda Rajapaksa, the only leader left, failed to rebuild the state, and parties on both sides are historically spent. With a monk's self-immolation over cattle slaughter and the row over the Thirteenth Amendment as signs, he argues Ravaya must be strengthened to guide readers through the coming collapse.

රාවයේ ප්‍රතිසංවිධාන අදහස පාඨකයන්ගේ උණුසුම් කතාබහට හේතුවී තිබීම යහපත්ය. මාගේ අදහස් පළකිරීම ගැන මහේෂ් හපුගොඩ විසින් තියුණු අදහස් පළකිරීමක් කර තිබුණි. නුවන් උදය වික්‍රමසිංහ සිය කොලම වෙන්කර තිබුණේද ඒ ගැන කතා කරන්නටය. එස්.එම්.එස්. තීරුවේද ඒ ගැන කෙටි අදහස් පළකිරීමක් කර තිබුණි. දුරකතනය ඔස්සේද කරුණු විමසීම් සේ ම අදහස් පළකිරීම් සිදුවිය. රාවය ඊට ඇබ්බැහි වී සිටින පාඨකයන්ට පමණක් සීමා නොවූ ඔවුන්ගේ අඹු දරුවන්ද කියවන පුවත්පතක් බවට පත්කළ යුතුයි කියන විට මා ඉන් අදහස් කළේ රටේ අනෙකුත් ඉරිදා පුවත්පත් පවත්වාගෙන යන ජනප්‍රිය අච්චුව නොවන බව අවධාරණයෙන් කිව යුතුය. එහෙත් මේ මොහොතේදී එම ප්‍රශ්නය වටා කැරකෙන්නට මම බලාපොරොත්තුද නොවෙමි.

අසාම්ප්‍රදායික දැකීම

මා දේවල් බලන, විග්‍රහ කරන හා සටන් කරන අවස්ථාවල සටන් කරන විදියේත් අසාම්ප්‍රදායික බවක් තිබෙන බව කියා ඇත්තේ මාගේ මිතුරකු විසිනි. ඔහුට ඒ සඳහා වන විශේෂ විග්‍රහයක්ද තිබුණි. සමහරවිට මා කරන දේවල් පිළිබඳව ව්‍යාකූලතාවක් ඇතිවීම කෙරෙහි ඒ සාධකයද බලපා තිබෙනවා විය හැකිය.

සරල ආණ්ඩු පෙරළියක් තේරුමක් නැති බවත් ඒ වෙනුවට අවශ්‍යව ඇත්තේ ක්‍රමයේ මූලික වෙනසක් බවත් මා කියූ විට මාගේ එම අදහස දරුණු විවේචනයන්ට ලක්විය. එය විග්‍රහ කෙරුණේ යුතුකම් ඉටුකිරීමෙන් වැළකී සිටීමට සොයාගත් සටකපට මගක් ලෙසය. එහෙත් මට පෙනුණු සත්‍ය මම අතනෑරියෙමි. ඒ අදහස සමාජයට එත්තු ගැන්වීමට වෙහෙස නොබලා ක්‍රියා කළෙමි. ඒ උත්සාහය පුවත්පතට සීමා නොකොට ඒ මතය සනාථ කිරීම සඳහා පොතක්ද ලියන්නට සිදුවිය. පසුව එය පිළිගත් මතයක් බවට පත්විය. එහෙත් ඒ සඳහා කාලයක් ගතවිය.

කෙනෙකුගේ ප්‍රවේශය ජනප්‍රිය ප්‍රවේශයට වඩා වෙනස් වන විට හෝ අසාම්ප්‍රදායික වන විට සැක ඇතිවීම ස්වාභාවිකය. මේ තත්ත්වය මා වැනි පුංචි මිනිසුන් කෙරෙහි පමණක් නොව ගාන්ධි, මැන්ඩෙලා වැනි දැවැන්ත මිනිසුන් කෙරෙහිද බලපෑවේය. ගාන්ධි තමන්ගේ හැම සටනක්ම කළේ තමන්ගේ ප්‍රධාන දේශපාලන සතුරා ලෙස සැලකිය හැකි ඉංග්‍රීසි ආණ්ඩුකාරයාට කරන දැනුම්දීමකින් පසුවය. ඉංග්‍රීසි ආණ්ඩුවට දැනුම් නොදී හොරා කරන සටන් ඔහු ළඟ නොතිබුණි. බ්‍රිතාන්‍ය දෙවැනි ලෝක යුද්ධයට පැටලී ඉන්දියාව කෙරෙහි වන බ්‍රිතාන්‍ය ආධිපත්‍යය දුර්වලවෙමින් තිබුණු අවස්ථාවක දැන් අප පහර දෙමුයි කියා සමහර කොංග්‍රස් පාක්ෂිකයන් ගාන්ධිට බලකරන්නට වූහ. අපි බ්‍රිතාන්‍යයේ විනාශයේ නටබුන් තුළින් අපේ නිදහස සොයා යායුතු නැතැ”යි ගාන්ධි තරයේ කියා සිටියේය. බ්‍රිතාන්‍යයේ යුද ව්‍යාපාරයට හානි කරන කිසිවක් සිදුවනවා දකින්නට ගාන්ධි කැමති නොවීය.

මැන්ඩෙලාගේ ප්‍රවේශයද සාම්ප්‍රදායික නොවූ අතර එය ආරම්භයේදී දකුණු අප්‍රිකානු කොංග්‍රසයේ සමහර නායකයන් තුළ මැන්ඩෙලා පිළිබඳව බලවත් සැකයක් ඇති කිරීමට හේතුවී තිබුණි. එවැනි අය මැන්ඩෙලාගේ ප්‍රවේශය දැක්කේ දීර්ඝ කාලයක් හිරගෙදර ඉන්නට සිදුවීම නිසාත්, වියපත් බවට පත්වීම නිසාත් තමන් වෙත නිදහස ලබාගැනීමේ සටකපට අරමුණින් කරන උප්පරවැටියක් ලෙසය. අප්‍රිකානු කොංග්‍රසය මුලදී අපේක්ෂා කළේ ඉතාමත් අධම ගණයේ හා දීර්ඝකාලීන වර්ණ භේදවාදී, පාලනයක් පවත්වාගෙන ගිය සුද්දන් මුළුමනින් පලවා හැර ඒ මත කල්ලන්ගේ රාජ්‍යයන් ගොඩනැගීමය. එහෙත් මැන්ඩෙලා අවසානයේ කරළියට ගෙනාවේ දෙපැත්තටම සම්පූර්ණ ජය හෝ පරාජය නොලැබෙන විසඳුමකි. ඔහුට එහිදී ගනුදෙනු කරන්නට සිදුවූයේ අපකීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ප්‍රතිපක්ෂයක් සමග මිස පිරිසිදු ප්‍රතිපක්ෂයක් සමග නොවේ. ඔවුන්ගේ අපකීර්තිමත් ඉතිහාසය දෙස පමණක් බලා එවැනි ප්‍රතිපක්ෂයක් සමග එකඟත්වයක් ඇති කරන්නේ කෙසේදැ”යි සිතන අවිනිශ්චිත තත්ත්වයකට මැන්ඩෙලා පත්වී නම් මුළු දකුණු අප්‍රිකානු ඉතිහාසයම මහා ඛේදවාචකයක් බවට පත්වන්නට ඉඩ තිබුණි.

අරාජිකත්වය යගැන

මාගේ ප්‍රතිසංවිධාන අදහස කෙරෙහි බලපා තිබෙන විවිධ සාධක අතර ලංකාවේ දේශපාලන ගමන් මග පිළිබඳව මා දරන අදහස්ද අඩු වැඩි වශයෙන් බලපා ඇතැ”යි කිව හැකිය. දේශපාලන ක්‍රමය පිළිබඳව මා පළකර තිබෙන මතයට අතිරේකව රටේ ඇතිවිය හැකි අරාජික තත්ත්වයක් පිළිබඳවද මීට වසර දෙකකට පමණ ඉහතදී විශේෂ මතයක් පළකර ඇත්තෙමි. ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුව අවශ්‍යයෙන්ම කළ යුතුව තිබුණු ප්‍රතිසංස්කරණ සිදුනොකිරීම ආශ්‍රයෙන් ඇතිවී වර්ධනයවෙමින් තිබෙන අර්බුදය කෙළවර වනු ඇත්තේ අරාජික තත්ත්වයකින් බව මා ඒ ගැන පළ කරන ලද මතය විය. ඒ මතය පැහැදිලි කිරීම හා විග්‍රහ කිරීම සඳහා 2011 වසරේදී “ශ්‍රී ලංකාව ගලවා ගැනීම” යන තේමාව යටතේ පොතක් ලියා පළකිරීමටද සිදුවිය.

මගේ මතය අනුව අප මුහුණ දී තිබෙන අර්බුදය විසින් රට රැගෙන යමින් තිබෙන්නේ අරාජික තත්ත්වයකටය. එම තත්ත්වය ඉතා විනාශකාරී හා වේදනාකාරී විය හැකි වුවද මා දකින්නේ එය වැළකිය නොහැකි පාලනය කළ නොහැකි ඓතිහාසික තත්ත්වයක් ලෙසය.

එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කරන්නට පෙරත් ශ්‍රී ලංකා රාජ්‍ය (දේශපාලන ක්‍රමය හා සමාජ ක්‍රමය) තිබුණේ ඓතිහාසික වශයෙන් ජරාජීර්ණ වී කුණුවූ තත්ත්වයකය. සුනාමියෙන් පසු ලංකාවට පැමිණි මහාචාර්ය ගල්ටූන් (මත ගැටුම් නිරාකරණය විෂයෙහි ඔහු ලෝකයේ පළමු පෙළේ න්‍යායවාදියෙකු ලෙස සැලකිය හැකිය.) මාගේ පොතකින් අඩක් කියවා ශ්‍රී ලංකාව පිළිබඳව ඇති කරගත් මතයක් මා හා ප්‍රකාශ කළේය. ඔහු අඩක් කියවා තිබී ඇත්තේ මාගේ “නොනිමි අරගල” නමැති පෙතේ ඉංග්‍රීසි පරිවර්තනයයි. ඕනෑම රටක යුක්තිය පසිඳලන ආයතන ක්‍රමය තිබෙන්නේ උස්ම කඳු මුදුනක බවත් ඒ උස් කඳු මුදුනත් ජලයට යටවී ඇත්නම් පහත් බිම්වල තිබෙන වෙනත් ආයතන ගැන කතා කිරීම තේරුමක් නැති බවත් ජනවාර්ගික අර්බුදයට සීමා නොවී විස්තීරණ අර්බුදයකට ශ්‍රී ලංකාව හසුවී තිබෙන බවත් ඔහු කීවේය.

එසේ තිබියදීත් ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී කැරැල්ල පරාජය කිරීමට රට සමත් විය. එය එසේ වූයේ ශ්‍රී ලංකා රාජ්‍ය ඓතිහාසික වශයෙන් කුණුවී තිබුණු ප්‍රමාණයටත් වඩා ප්‍රභාකරන්ගේ තත්වාකාර රාජ්‍ය කුණුවී තිබුණු නිසා විය යුතුය.

ප්‍රභාකරන්ගේ කැරැල්ල පරාජය කිරීමත් සමග ජනාධිපති මහින්ද රාජපක්ෂට පමණක් ඉතිරි වන්නට ඉඩදී අන් සියලු සිංහල දේශපාලන නායකයන් ඓතිහාසික වශයෙන් යල්පැනගිය අය බවට පත්වීමක්ද සිදුවිය. ඒ සමග සියලු දේශපාලන පක්ෂද ඓතිහාසික වශයෙන් යල්පැනගිය පක්ෂ බවට පත්විය.

ප්‍රභාකරන්ගේ කැරැල්ල පරාජය කෙරෙන තෙකේ දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කිරීමට ඇත්ත පුළුවන්කමක් නොතිබුණි. දේශපාලන ක්‍රමය කුණුවී කොතරම් ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබුණද ප්‍රභාකරන්ගේ කැරැල්ල තිබෙන තෙක් මහජනයාගේ ප්‍රධාන අවධානය කැරැල්ලේ සිදුවීම් දෙස යොමුවී තිබීම නිසා දේශපාලන ක්‍රමයේ කුණුවීම මහජනයාටද හොඳින් පෙනෙන තත්ත්වයක නොතිබුණේය. එහෙත් ප්‍රභාකරන්ගේ කැරැල්ල පරාජය කිරීමත් සමග දේශපාලන ක්‍රමයේ නිරුවත්වීමක් සිදුවිය. ඒ සමග දේශපාලන ක්‍රමය කුණුවී තිබෙන තරම හා එහි කොල්ලකාරී ස්වභාවය මහජනයාට හොඳින් පෙනෙන දෙයක් බවට පත්විය.

කැරැල්ල ජයගත් වීරයාට සිය වීරත්වය පරිපූර්ණ කරගැනීම සඳහා ඉටු කළ යුතු ඓතිහාසික කාර්යභාරයක් ඉතිහාසය විසින් නියම කර තිබුණේය. දෙමළ ජනයාගේ ප්‍රශ්නයටද විසඳුමක් ලැබෙන ආකාරයට හා බෙදී සිටින ජාතිය එක්සේසත් කෙරෙන ආකාරයටත්, වංචාව, දූෂණ හා අධිකාරිවාදයට ඉඩක් නැති මානව අයිතිවාසිකම් සුරකින ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක්ද එක්සත් ජාතියක්ද ඇති කිරීමට හේතුවන නව ශ්‍රී ලාංකික රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කිරීම ඔහු වෙත පැවරී තිබුණු ඓතිහාසික කාර්යභාරය ලෙස සැලකිය හැකිය. එහෙත් එම ඓතිහාසික අවශ්‍යතාව තේරුම් ගැනීමට යුද්ධය ජයගත් වීරයා අසමත් විය. ප්‍රභාකරන් පරාජය කළ කීර්තිය සමග විශාල සංවර්ධන වැඩසටහනක් සමග ඉදිරියට යෑමට උත්සාහ කළේය. ඒ තත්ත්වය ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියදී තිබුණාටත් වඩා සංකීර්ණ හා විස්තීරණ අර්බුදයට රට තල්ලු කිරීමට හේතුවිය. ඒ අර්බුදය කෙළවර විය හැක්කේ අරාජිකත්වයකිනි.

ප්‍රභාකරන් සියලු දෙමළ නායකයන් මරා දමා ඔහු දෙමළ ජනයාගේ එකම අසහාය නායකයා බවට පත්විය. අවසානයේ ඔහු විනාශවීමත් සමග දෙමළ ජනයා නායකයන් නැති ජනතාවක් බවට පත්වූයේය.

ඊට වෙනස් ආකාරයකට වුවත් දැන් දකුණේවෙමින් තිබෙන්නේද ඊට සමාන දෙයකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රතිපක්ෂ නායකයන් කායික වශයෙන් මරා දැමුවේ නැතත් ඔහු යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණය විසින් ඒ සියලුදෙනා ශාරීරික වශයෙන් ජීවත් වනමුත් අධ්‍යාත්මික වශයෙන් මරණයට පත් අය බවට පත්කළේය. ඒ සමග රාජපක්ෂ ජනාධිපතිවරයා සිංහලයන්ට සිටින එකම නායකයා බවට පත්වූයේය. එහෙත් එසේ හිමි කරගත් පිළිගැනීම හා වීරත්වය පරිපූර්ණ කරගැනීම සඳහා ඓතිහාසික වහයෙන් සම්පූර්ණ කළයුතු කොන්දේසි සම්පූර්ණ කිරීමට අසමත් වීම හේතු කොටගෙන දැන් සිංහලයන්ට සිටින එකම නායකයා සිටින්නේද තමන් හිමිකරගත් වීරත්වය හා පිළිගැනීම අහිමි කරගන්නා තත්ත්වයකය. එහි කෙළවර වනු ඇත්තේ දකුණේ සිංහල ජනයාද යාපනේ දෙමළ ජනයා මෙන් නායකයකු නැති ජනතාවකගේ තත්ත්වයට ඇද වැටීමය.

රටේ තත්ත්වය අයහපත්ය

රටේ අර්බුදය තිබෙන්නේ ඕනෑම මොහොතක ගිනි ගතහැකි පුපුරනසුලු තත්ත්වයකය. රටේ අන්තර් වාර්ගික හා ආගමික සම්බන්ධතා තිබෙන්නේ ඉතාමත් අයහපත් අවුල්සහගත තත්ත්වයකය. විශේෂයෙන්ම මුස්ලිම් ජනයාට ජීවත් වන්නට සිදුවී තිබෙන්නේ බියෙන් හා සැකයෙනි. දෙමළ ජනතාව ඉන්නේද මහත් අතෘප්තිමත් තත්ත්වයකය. රටේ ආර්ථිකය තිබෙන්නේද අවුලෙන් අවුලට ගිය තත්ත්වයකය. ආණ්ඩුවේ වියදම් තත්ත්වය තිබෙන්නේ අමාරුවෙන් ගැට ගසාගෙන දුවන තත්ත්වයකය. ගෙවුම් ශේෂ හා ණය අර්බුදය තිබෙන්නේද උග්‍ර තත්ත්වයකය. වෙළෙඳාම හා ආර්ථික ක්‍රියාකාරීත්වය තිබෙන්නේද නොන්ඩි ගසන තත්ත්වයකය. මීට පෙර පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කළ සංචාරක ව්‍යාපාරය තිබෙන්නේද පසුබැස්මකය. පොදුවේ ජනතාව ඉන්නේද ඉහළ යන ජීවන බර උසුලාගත නොහැකි අතෘප්තිමත් තත්ත්වයකය. නීතිය ක්‍රියාත්මක කිරීමේ හා නීතිය පසිඳලීමේ ආයතන ක්‍රමය තිබෙන්නේද අවුලෙන් අවුලට ගිය තත්ත්වයකය. අන්තර්ජාතික සම්බන්ධතා තිබෙන්නේද යහපත් තත්ත්වයක නොව අවුලෙන් අවුලට ගිය තත්ත්වයකය. විශේෂයෙන්ම ඉන්දියාව හා ලංකාව අතර අන්තර් සබඳතා තිබෙන්නේ නරකම තත්ත්වයකය.

සැලකිල්ලට ගත යුතුව තිබෙන ඉතා වැදගත්ම දේ සාමාන්‍යයෙන් විරුද්ධ පක්ෂවලට වාසිදායක වටාපිටාවක් ලෙස සැලකිය හැකි මේ තත්ත්වය ඉදිරියේ පවා නැගී සිටීමේ හා බලවත් ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමේ හැකියාව විරුද්ධ පක්ෂවලට නොතිබීමය. මීට පෙර සාමාන්‍යයෙන් සිදුවූයේ ආණ්ඩුවක ජනප්‍රියතාව හීන වනවිට විරුද්ධ පක්ෂවල ජනප්‍රියතාව ඉහළ නැගීමය. එවැනි විශේෂ වර්ධනයක් මොනම විරුද්ධ පක්ෂ ව්‍යාපාරයක් තුළවත් දැකිය නොහැකිය. ඒ සියල්ල තිබෙනුයේ ගල් ගැසුණු එකතැන පල්වෙන තත්ත්වයකය. ඊට හේතුවී ඇත්තේ සියලු දේශපාලන පක්ෂ ඓතිහාසික වශයෙන් යල්පැනගිය අවලංගු වූ තත්ත්වයකට පත්ව තිබීමය. එම තත්ත්වය දකුණේ සියලු සිංහල දේශපාලන පක්ෂවලට පමණක් නොව උතුරේ දෙමළ, මුස්ලිම් හා උඩරට දෙමළ යන පක්ෂවලටද පොදුය.

වෙනදා බලයේ සිටින ආණ්ඩුවක දේශපාලන මිනීවළ හාරන්නා ලෙස ක්‍රියාකරන්නේ විරුද්ධ පක්ෂයන්ය. ඒ වෙනුවට දැන් සිදුවන්නේ වෙනදා විරුද්ධ පක්ෂ කරන ඒ දේ ආණ්ඩුව විසින්ම කරගැනීමය. එනම් තමන්ගේ දේශපාලන මිනීවළ ආණ්ඩුව විසින්ම කපාගැනීමය. ඒ මගින් ද විරුද්ධ පක්ෂ කිසිදු කාර්යභාරයක් නැති තත්ත්වයකට පත්කොට තිබේ.

විරුද්ධ පක්ෂ ව්‍යාපාර ඇද වැටී සිටින අවාසනාවන්ත තත්ත්වයට සමාන තත්ත්වයකට ආණ්ඩුවද ඇද වැටීමට නියමිතය. එය එසේ වනු ඇත්තේද විරුද්ධ පක්ෂ ව්‍යාපාර එකතැන පල්වෙන තත්ත්වයක තිබියදීය. පූර්ණ අරාජික තත්ත්වයක බිහිසුණු හා අවලස්සන මුහුණ සමාජයට අත්දකින්නට ලැබෙනු ඇත්තේ එවිටය. ගව ඝාතනයට විරෝධය පළකිරීම සඳහා බෞද්ධ හිමිනමක් ගිනි තබා ගැනීමේ සිද්ධියද, උතුරේ පළාත් සභා මැතිවරණය හා 13 වැනි සංශෝධනය ආශ්‍රයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන මතභේදද අරාජිකත්වයන් කරා යන ගමන පෙන්නුම් කරන තවත් අතිරේක සාධක ලෙස සැලකිය හැකිය.

ගව ඝාතනය හා දහතුන

ගවමස් ප්‍රධාන කොට ආහාරයට ගන්නේ මුස්ලිම් ජනයාය. ක්‍රිස්තියානින්ද ගව මස් ආහාරයට ගනිති. බෞද්ධයන් හා හින්දුන් අතරද ගවමස් කන අය සිටිති. ගවයා දේවත්වයෙහිලා සලකන්නේ හින්දුන් පමණය. හින්දුන්ද ගවමස් නොකෑවාට කුකුල් මස් හා එළුමස්ද, මාළුද කන්නෙහිය. තනිකර එළවළු ආහාරවලට පමණක් සීමාවූ ඉතා සුළු පිරිසක් රටේ සිටිය හැකි වුවත් රටේ අතිවිශාල බහුතරය මොන ආකාරයක හෝ මස් කති. රටේ ආගමික පූජකයන් පවා එළවළු ආහාරවලට පමණක් සීමාවී නැත.

පැරණි රජ කාලයේදී වැව්වලින් මාළු අල්ලන විට ගමේ පන්සලට වෙන් කළ කොටසක් තිබුණි. ගැමි බෞද්ධයන්ද ඉඳහිට හෝ දඩමස් කෑවේය. සමහර බෞද්ධ රජවරු දඩයමේ ගියෝය. රජ මාලිගයට අවශ්‍ය දඩමස් හා මී පැණි සැපයීමේ රාජකාරී පැවරී තිබුණේ වැද්දන්ටය.

ටිබෙටය බෞද්ධ රටකි. ඒ රටේ ප්‍රධාන ජාතික ආහාරය ලෙස සැලකෙන්නේ යැක් ගවයාය. ජපනායද බොහෝ දුරකට බෞද්ධ රටක් ලෙස සැලකිය හැකිය. ජපනුන්ගේ ජනප්‍රියම ආහාර වර්ග දෙකෙන් එකක් ගව මස්ය. අනෙක කෙළවල්ලා මාළුය. තායිලන්තය හා වියට්නාමයද බෞද්ධ රටවල්ය. ඒ රටවල් නොකන මස් වර්ගයක් නැති තරම්ය. සර්පයන්, ගොළුබෙල්ලන් හා කෘමීන්ද ආහාරයට ගනිති. විවිධ ජාතීන්ගේ ආහාර පුරුදුවලට එරෙහිව සටන් කරන්නට යෑමෙන් ඇතිවිය හැකි ප්‍රතිඵල විනාශකාරීය.

13 වැනි සංශෝධනයේ වැරදි හා අඩුපාඩුකම් තිබෙන්නේය. එසේ වුවත් එය රටවල් දෙකක් අතර ඇති කරගන්නා ද්විපාර්ශ්වික ගිවිසුමක මගපෙන්වීම යටතේ ඇතිකර ගන්නා ලද ව්‍යවස්ථා සංශෝධනයකි. එහි වෙනසක් සිදුකරනවා නම් සිදුකළ යුත්තේ ඉන්දියාවේද, දෙමළ ජනතාවගේද එකඟත්වය ඇතිවය. ඒ වෙනස්කම තර්ජනයෙන්, බලහත්කාරයෙන් හා ඒකපාක්ෂිකව කරන්නට ගියහොත් ඇතිවිය හැක්කේ විනාශකාරී තත්ත්වයකි.

මෙතෙක් වර්ගභේදවාදී, ආගම් භේදවාදී, අන්තවාදී බලවේගයන් රටට කිසිදු වැදගත් ජයග්‍රහණයක් ලබාදී නැත. අත්පත් කරදී තිබෙන්නේ මහා විනාශයන් පමණය. එවැනි බලවේගයන්ට තවදුරටත් කළ හැකිවනු ඇත්තේ රට පූර්ණ අරාජිකත්වයකට තල්ලු කිරීම පමණය.

ගමනක අවසානය

දැන් අප ඉන්නේ එක ඓතිහාසික යුගයක ගමනක අවසානයේය. එය යහපත් හෝ පැහැබර අවසානයක් නොව විනාශකාරී අවසානයකි. සමහර දේවල් ඇතිවීම වැළකීම හැකි වුවද දැන් ඇතිවන්නට නියමිතව තිබෙන දේ වැළැක්විය නොහැකිය. එය සුනාමියක් වැනිය. සුනාමියක් එන බව කල්තියා දැනගත්තද එය අපට වැළකිය නොහැකිය. අපට කළහැක්කේ ඒ නිසා සිදුවන හානිය අවම කරගැනීම පමණය.

ඇතිවන්නට නියමිත විනාශයට පාලකයන් පමණක් නොව පාලිතයන්ද වගකිව යුතුය. දශක ගණනාවක් දේශපාලන තලයේ රජ කළ ආත්මාර්ථකාමය, සමාජ ආත්මාර්ථකාමයේම තර්කානුකූල ඵලයක් ලෙස සැලකිය හැකිය. අප නිදහසේ සිටම අවිධිමත් දේවල් විධිමත් කරගැනීමට අසමත් වූ ජාතියක් ලෙස සැලකිය හැකිය. බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුණු ජාතික රාජ්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය එක්සත් ජාතියක් තනාගැනීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තනා ගැනීමටත් අප අසමත් වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් රට කෙළවරක් නැති තරමට ලේ හලන රටක් බවට පත්විය. දශක තුනකට වැඩි කාලයක් රට හා සමාජය ජීවත් වූයේ ලේ හා මළමිනී මත්තේය. එම විශේෂ සමාජ වටාපිටාව සමාජ මනස තව තව විකෘති කළේය. සංවේදී ඉන්ද්‍රියයන් මොට කරමින් හෘදය සාක්ෂියක් නැති ආත්මාර්ථකාමී හා ඉබාගාතේ යන සමාජයක් ඇති කළේය. දේශපාලන තලයේ බිහිවූයේද එම සමාජයට අනුරූපී නායකයන්ය. මෙම සංක්‍රාන්ති සමයේ අපට කළහැකි එකම දේ අනුන්ගේ වැරදි දෙස බලන්නට පෙර අපේ අභ්‍යන්තරය දෙස හැරී බලන තත්ත්වයකට යමින් පළමුකොට අපි යහපත් මිනිසුන් බවට පත්වීමය. අපේ අභ්‍යන්තරයේ ඇති බොරුව, වංචාවට හා දූෂණයට ඇති ලැදියාව, හිංසාවට ඇති ලැදියාව, ආත්මාර්ථකාමීත්වය, අන්‍යයන්ගේ අයිතිවාසිකම්වලට ගරු නොකිරීම වැනි අයහපත් දේවල්වලින් ඉවත්වෙමින් අපි පළමු කොට හොඳ ගුණධර්ම ඇති හොඳ මිනිසුන් බවට පත්විය යුතුය. ඉදිරියේ ඇතිවන මහා විනාශයට අපට ඔරොත්තු දීමට හැකිවනු ඇත්තේත්, අප මොට කරගෙන තිබෙන ඉන්ද්‍රියයන් නැවත ප්‍රකෘති තත්ත්වයකට පත්කර ගනිමින් ඇතිවිය හැකි මහා විනාශය තුළ අලුත් හා යහපත් ආරම්භයක් සඳහා වන ශක්තිමත් අඩිතාලමක් ගොඩනගා ගත හැකිවනු ඇත්තේත් එවිටය. ඕනෑම නරක තත්ත්වයකට මුහුණදිය හැකි ආකාරයට පුවත්පතේ අඩිතාලම ශක්තිමත් කොට එය දැන් කියවන පිරිසට සීමා නොකොට වඩා විශාල පිරිසක් වෙත ගෙනයෑමට අවශ්‍ය වී ඇත්තේ මෙම සංක්‍රාන්ති සමයේදී එයට ඉටු කරන්නට නියමිතව තිබෙන සමාජ කාර්යභාරය සලකාය. එයට ඇතිවන්නට යන විනාශයෙන් මහජනයා ගලවා ගැනීමේ හැකියාවක් නැතත් ඇතිවිය හැකි හානිය අවම කරගැනීම සඳහා මහජනයාට මගපෙන්වීමේ හැකියාවක් පවතී. එය ජේවීපී දෙවැනි කැරැල්ල පැවති බිහිසුණු කාලයේදීද තමන් කරන සංවාද ක්‍රියාවලිය නොකඩවා ඉදිරියටම ගෙන ගියේය. එළැඹෙන කාලයේදීද සිය සංවාද ක්‍රියාවලිය එසේම ඉදිරියට ගෙන යනු ඇත. එය ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ එක් වැදගත් අරමුණකි. රාවය දේශපාලන බලය සඳහා උනන්දුවක් දක්වන්නේ නැත. එහෙත් සමාජය බලගැන්වීම සඳහා උනන්දුවෙන් ක්‍රියාකරනු ඇත.

මේ ලිපිය අවසන් කරන්නට පෙර පිළිතුරු දිය යුතුව තිබෙන තවත් වැදගත් ප්‍රශ්නයක් තිබෙන්නේය. රාවයට මුදල් ප්‍රශ්නයක් තිබේ නම් අවශ්‍ය මුදල මහජනයාගෙන් එකතු කරන තැනකට නොගොස් ආයෝජකයකු සොයන තැනකට ගියේ ඇයිද යන ප්‍රශ්නයයි. එය පාඨකයන් ගණනාවක්ම නගන ලද ප්‍රශ්නයකි. ඊට දිය හැකි කෙටි පිළිතුර මෙසේය.

මීට පෙරද ප්‍රශ්න ඇතිවූ අවස්ථා දෙකකදීම මහජන ආධාර සොයා යන පිළිවෙතක් රාවය අනුගමනය කළේය. පළමු අවස්ථාවේදී එම උත්සාහයේ යෙදුණේ රාවය විසින්මය. 2004දී සිදුවූ දෙවැනි උත්සාහයට නායකත්වය දෙන ලද්දේ අභාවප්‍රාප්ත ලාල් පියසේනය. ඔහුට සහායවීමට වෙනම පිරිසක්ද සිටියේය. මෙම උත්සාහයන් දෙකේදීම අපට මහජනයාගෙන් ලබාගත හැකිවූයේ අපට අවශ්‍ය වී තිබූ මුදලට වඩා හුඟාක් අඩු මුදලකි. ලාල් පියසේන ප්‍රමුඛ පිරිස දරන ලද උත්සාහයේදී මහජනයාගෙන් එකතු කරගත හැකිවූයේ ලක්ෂ 20ක් හෝ ඊට තරමක් වැඩි මුදලක් පමණය. දැන් අපේ අවශ්‍යතාව ලක්ෂ 200කි. එය ආයෝජකයකු මගින් ලබාගත යුතු දෙයක් මිස මහජනයාගෙන් එකතු කරගත හැකි දෙයක් නොවන බව මගේ මතය විය. මහජනයාගෙන් මුදල් එකතු කරන තැනකට නොගොස් ආයෝජකයකු සොයාන තැනකට ගියේ ඒ නිසාය. එහෙත් රාවයට ආධාර කරන්නට කැමති අයගෙන් රුපියල් ලක්ෂ 200ක් එකතු කර දිය හැකි බව ගාමිණී වියන්ගොඩ කී විට එම උත්සාහයට ඉඩ දෙනවා හැර ඊට විරුද්ධවීමේ හැකියාවක් නොතිබුණි.