ඒකාධිපති ක්‍රමයක් රටට අවශ්‍ය නැත

July 22, 2001
Publication:
The editorial says the President prorogued Parliament while an impeachment motion against the Chief Justice and a no-confidence motion against the government were pending, while the Chief Justice stays in office despite serious charges. She is holding a referendum on a new constitution without first obtaining Parliament's approval or publishing a draft, and is using force to block protest. With Parliament shut, the editorial warns, the people's sovereignty has been taken away and the country is moving towards dictatorship.

රාජ්‍ය පාලනයේ පිළිගත් සියලු මූලධර්ම නොසලකා ඉතාමත් බලහත්කාරි හා රස්තියාදුකාර ආකාරයකින් රටේ පාලනය පවත්වාගෙන යන තැනකට රට යොමුවී තිබෙන බව පැහැදිලි ය.

අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ද ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද ඉදිරිපත් වී තිබුණු අවස්ථාවක ජනාධිපතිනිය පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් දැම්මා ය. අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වී තිබියදි හා එම දෝෂාභියෝගයට ඇතුළත් චෝදනා ඉතා බරපතල තත්ත්වයක තිබියදිත් අගවිනිසුරුවරයා තාවකාලිකව ධුරයෙන් ඉවත් වීමකින් තොරව සිය ධුරයේ කටයුතු පවත්වාගෙන යමින් සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සංශෝධනයක දි හෝ එම පනත් කෙටුම්පත ජනමතවිචාරණයකට ඉදිරිපත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඊට අවශ්‍ය අනුමැතිය ලබාගැනීමෙන් පසුව පමණ ය.

එහෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් ඒ සියලු විධිවිධාන නොසලකා ජනාධිපතිනිය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජනමතවිචාරණයක් පවත්වයි. එය පවත්වන්නට යන්නේ ද සම්මත කරගැනීමට බලාපොරොත්තු වන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිමත් කෙටුම්පතක් පවා ජනතාව වෙත ඉදිරිපත් කිරිමෙන් තොරව ය.

ජනාධිපතිනිය තමා අනුගමනය කරමින් තිබෙන මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාපිළිවෙතට එරෙහිව විරෝධය පළකිරීමට තිබෙන ඉඩකඩ පවා දැන් බලය යොදා අවහිර කරන තත්ත්වයකට තල්ලුවී සිටී.

ජනාධිපතිනිය මේ ගමන් ගනිමින් සිටින දිසාව කවර මට්ටමකින්වත් ප්‍රජාතන්ත්‍රවාදී වේ යයි කිව නොහැකි ය. එසේ ම ඒ මගින් රටට විපතක් මිස යහපතක් ඇතිවේ යැයි ද කිව නොහැකි ය.

ජනාධිපතිනිය මේ සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කරමින් සිටින්නේ ද පාර්ලිමේන්තුව වසා තබා තිබෙන තත්ත්වයක් ඉදිරියේ ය. පාර්ලිමේන්තුව බලහත්කාරී ලෙස වසා දැමීමකින් අදහස් වන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ජනතාවට අහිමි කර ඇති බව ය. එය ඒකාධිපතිත්වය කරා යන ගමනකට සමාන ය.

ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් මිස ඒකාධිපති පාලනයක් අවශ්‍ය නැත. මේ ගොඩ නැගෙමින් තිබෙන ඒකාධිපති ක්‍රියාමාර්ගයන් තවදුරටත් තහවුරු වන්නට ඉඩ නොදි පරාජය නොකරන්නේ නම්, එහි අවසාන ප්‍රතිඵලය වනවා ඇත්තේ ද තිබෙන සීමිත ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පවා අහෝසි වී දරදඬු ඒකාධිපති පාලනයක් රට තුළ තහවුරු වීම ය.