ලෙනින් රත්නායක විනය පරික්ෂණය අත්හිටුවන්නැයි ඉල්ලීමක්

March 10, 2002
Publication:
In a letter to the Secretary of the Judicial Service Commission, Ivan, as complainant, objects that a one-man inquiry by retired High Court judge K.A.S. Gunatilake into magistrate Lenin Ratnayake is illegal under Article 114(2). He recounts the rape allegations, the Commission's months of silence, the three-judge committee that upheld Ravaya's charges, Ratnayake's 32 months of paid compulsory leave, and asks for the inquiry to be stopped and the committee's report released to him.

අධිකරණ සේවා කොමිසමේ ලේකම්,

අධිකරණ සේවා කොමිසම,

අලුත්කඩේ,

කොළඹ

ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්වරයාට අදාළව

ඒක පුද්ගල පරික්ෂණ සභාවක් මගින්

විනය පරික්ෂණයක් පැවැත්වීම.

මහත්මයාණෙනි,

අධිකරණ සේවා කොමිෂමේ නියමයෙන් කොමිසම විසින් අනිවාර්ය නිවාඩු යවා සිටින උක්ත මහේස්ත්‍රාත්වරයාට අදාළව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කේ.ඒ.එස්. ගුණතිලක මහතාගෙන් සැදුම්ලත් ඒක පුද්ගල පරික්ෂණ සභාවක් මගින් විනය පරික්ෂණයක් පවත්වාගෙන යන බව මට දැනගන්නට ලැබී තිබේ.

අධිකරණ නිලධාරියෙකුට අදාළව මෙවැනි ඒක පුද්ගල පරික්ෂණ සභාවක් මගින් විනය පරික්ෂණයක් පැවැත්වීම නීතියට පටහැනිය. එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 114 (2) වගන්තියේ එන විධි විධානවලට සේ ම 1998 දෙසැම්බර් 8 අංක 14 දරන ගැසට් නිවේදනයේ එන විධි විධානයන්ට ද පටහැනිය.

ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්වරයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවල පැමිණිලිකරුවා වනුයේ මාය. එසේම ඒ පැමිණිල්ල හා අධිකරණ සේවා කොමිසමේ සභාපති හා අගවිනිසුරු ධුරය දරන සරත් සිල්වා මහතාට එරෙහිව මා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල අතර සෘජු සම්බන්ධයක් ඇති බව ද ප්‍රකාශ කරමි.

ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවයේ තබා නොගත යුතු තරම් අන්ත දූෂිත පුද්ලගලයෙකු බව දැන දැනම එම මහේස්ත්‍රාත්වරයාට තිබුණු සමීප ඇසුර හා ඥාති සම්බන්ධය මත එම දූෂිත මහේස්ත්‍රාත්වරයා ආරක්ෂා කරන අසත්‍ය හා විකෘති කරන ලද කරුණු අඩංගු රහස්‍ය වාර්තාවක් එවකට අධිකරණ ඇමතිව සිටි මහාචාර්ය ජී.එල්. පිරිස් මහතාට ලබාදිම මගින් එවකට නීතිපතිව ක්‍රියා කළ සරත් සිල්වා මහතා විසින් අධිකරණ ඇමතිවරයා හිතා මතා නොමග යැවීම පිණිස ක්‍රියා කළේය යන පදනමේ පිහිටා සරත් සිල්වා මහතාට එරෙහිව අධිකරණ පනතේ 42 වැනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කිරීමට මට ද සිදුවිය. එම පැමිණිල්ල මත ශ්‍රේෂ්ඨාධිකරණය සරත් සිල්වා මහතාට එරෙහිව පරික්ෂණයක් ආරම්භ කරන ලද අතර, ජනාධිපතිනිය සරත් සිල්වා මහතා අගවිනිසුරු ධුරය පත් කරන ලද්දේ එම පරික්ෂණය අවසන් නොවී තිබූ අවස්ථාවකය. එයින් මට සිදුවූ අගතියට එරෙහිව සරල් සිල්වා මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට මට සිදුවූ අතර, එය විමසූ විනිශ්චය මණ්ඩලය මගේ පෙත්සම නිෂ්ප්‍රභා කරන ලැබූවත්, එම පෙත්සම් විභාගය සඳහා විනිශ්චය මණ්ඩලයක් පත් කරන ලද ආකාරයට එරෙහිවත්, දෙන ලද තීන්දුවට එරෙහිවත් ජිනීවා හි මානව හිමිකම් කමිටුව වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම පිණිස ක්‍රියාකරමින් සිටිමි. ලෙනින් රත්නායකට අදාළව දැන් කෙරෙමින් පවතින නීති විරෝධී විනය පරික්ෂණය ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්වරයා පදනම් කොට ගෙන අධිකරණ සේවා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව එල්ල වී තිබෙන බරපතල චෝදනාව ව්‍යර්ථ කිරිමේ අරමුණින් ආරම්භ කරන ලද්දක් ය යන්න මාගේ විශ්වාසයයි.

ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්වරයාට එරෙහිව එල්ල වී තිබුණු චෝදනා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම මුල සිටම පවත්වාගෙන ගිය පිළිවෙත අගතිගාමී බවත්, එම අගතිගාමී ප්‍රතිපත්තිය මා පීඩාවට ලක් කිරිමෙන් නොනැවතී අධිකරණයේ ගෞරවය කෙරෙහි අති විශාල කැලලක් ඇති කිරීමට හේතුවී තිබෙන බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

උක්ත මහේස්ත්‍රාත්වරයා රක්ෂිත බන්ධනාගාරයේ සිටින විත්තිකරුවකුගේ බිරිඳක් දූෂණය කිරිමේ සිද්ධිය “රාවය” පුවත්පතේ මුල් පුවතක් ලෙස පළවූයේ 1999 අගෝස්තු 17 වැනිදාය. නීතිඥ කල්‍යානන්ද තිරාණගම විසින් ද මහේස්ත්‍රාත්වරයා අතින් සිදුවී තිබුණු ස්ත්‍රී දූෂණය ගැන අගෝස්තු 14 වැනි දින අධිකරණ සේවා කොමිසමට හා ශ්‍රේෂ්ඨාධිකරණයට විධිමත් ලෙස පැමිණිලි කොට තිබුණ. ඒ පැමිණිල්ල ්4 ප්‍රමාණයේ ටයිප් පිටු 24කින් සමන්විත වූ අතර, ඊට දූෂණයට ලක්වූ කාන්තාවගේ හා ඇගේ ස්වාමි පුරුෂයාගේ දිවුරුම් ප්‍රකාශයන් ද එම ස්ත්‍රී දූෂණ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර ශාඛාව විසින් එතෙක් කර තිබුණු පරික්ෂණයේ වාර්තාවක් ද ඇතුළත් කොට තිබුණ.

කවර හේතුවක් නිසා හෝ කොමිසම නිහඬව බලා සිටියා මිස මහේස්ත්‍රාත්වරයාට එරෙහිව පරික්ෂණයක් ආරම්භ නොකළේය.

ඉන්පසු මෙම මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවයට එන්නට පෙර රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවය කරමින් සිටියදි තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරිමේ සිද්ධියක් මත ඔහු සංස්ථා සේවයෙන් නෙරපා හරීන ලද පුද්ගලයකු බව “රාවය” හෙළිදරව් කළේය. ඒ චෝදනාව ඉදිරියේ ද කොමිසම කළේ නිහඬව බලා සිටින පිළිවෙතක් අනුගමනය කිරීමය.

කොමිසම පවත්වාගෙන ගිය එම නිහඬ පිළිවෙත සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පවරනු ලැබීමේ නිරන්තර තර්ජනයකට මා ගොදුරු කරනු ලැබූ අතර, එය මා කෙරෙහි ද මාගේ වෘත්තිය ජීවිතය කෙරෙහි ද පීඩාකාරි ලෙස බලපෑ බව ද ප්‍රකාශ කරමි.

නඩු පැවරිමේ තර්ජනය නොසලකා මා දිගින් දිගට කරන ලද කෑගැසීම නිසා සිද්ධිය හෙළිදරව් කොට මාස 15කට පසුව අභියාචනාධිකරණ විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල පරික්ෂණ කමිටුවක් ලබාදිමට කොමිසමට සිදුවූයේය. එය ද කොමිසමේ වුවමනාව මත සිදුවූවකට වඩා ඇතිවූ සමාජ බලපැම නිසා දෙන ලද පරික්ෂණයක් ලෙස සැලකිය හැකිය. පරික්ෂණයක් ලබා දෙන අවස්ථාව වනවිට මහේස්ත්‍රාත්වරයාට එරෙහිව දෙවැනි ස්ත්‍රී දූෂණ චෝදනාවක් ද එල්ල වී තිබුණු අතර, පරික්ෂණයක් ලැබීම තෙක් ගතවූ මාස 15ක කාලය තුළ ඒ ගැන මුල් පුවත් 8ක් ද, කතුවැකි 05ක් ද, විශේෂාංග ලිපි 13ක් ද, සාමාන්‍ය පුවත් 21ක් ද පළකරන්නට සිදුවූ බව ද ප්‍රකාශ කරමි.

ත්‍රි පුද්ගල පරික්ෂණ කමිටුව මහේස්ත්‍රාත්වරයාට එරෙහිව “රාවය” එල්ල කර තිබුණු සියලු චෝදනාවලට වරදකරු කරනු ලැබූවත්, කොමිසම කළේ 1999 ජූලි 30 වැනි දින සිට ක්‍රියාත්මක වන පරීදි මහේස්ත්‍රාත්වරයා අනිවාර්ය නිවාඩු යවා ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරිමේ වගකීම නීතිපති දෙපාර්තමේන්තුවට බාරදිමය. මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම අනුගමනය කරන ලද මෙම පිළිවෙත අධිකරණ සේවා කොමිසමට අදාළ විනය රෙගුලාසිවලට පටහැනි බවත්, රජයේ නිලධාරින් සම්බන්ධයෙන් මෙන් අධිකරණ නිලධාරින් සම්බන්ධයෙන් පූර්ණ වැටුප් මත අනිවාර්ය නිවාඩු යැවීමේ විධි විධාන නැති බවත්, මහේස්ත්‍රාත්වරයා අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ රජයේ නිලධාරින්ට අදාළ, එහෙත් අධිකරණ නිලධාරින්ට අදාළ නොවන ආයතන සංග්‍රහය පදනම් කොටගෙන බව ද විශ්‍රාමගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.එම්.එම්.බී. කුලතුංග මහතා ප්‍රකාශ කළේය.

මහේස්ත්‍රාත්වරයා අනිවාර්ය නිවාඩු යවා මේ වනවිට මාස 32ක් තරම් කාලයක් ගතවී ඇතත්, ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමක් කර නැත. ඒ වෙනුවට නීතියට පටහැනිව ඒක පුද්ගල පරික්ෂණ සභාවක් මගින් විනය පරික්ෂණයක් ආරම්භ කර ඇති අතර, මේ දූෂිත මහේස්ත්‍රාත්වරයාට මේ දක්වා පූර්ණ වැටුප් ගෙවමින් තිබෙනවා පමණක් නොව, නිල වාහනය පරිහරණය කිරීමට ඉඩ ලබාදි තිබේ.

මෙම මේ නීති විරෝධී පරික්ෂණය වහාම අත්හිටුවා ඒ බව මට දැනුම් දෙන ලෙසත්, පත්කළ ත්‍රි පුද්ගල පරික්ෂණ කමිටුවේ තීන්දුව මා වෙත නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිමි. මා මීට පෙර 1999 ජූලි 27 වැනි දින ද එම පරික්ෂණ කමිටුවේ තීන්දුව ඇතුළත් වාර්තාව ඉල්ලා සිටියෙමි. එහෙත් එම වාර්තාව ලබාදිමට නීතියෙන් ඉඩක් නැති බව 1999 අගෝස්තු 3 වැනිදා කොමිසම මා වෙත ලිඛිතව දැනුම් දුන්නේය.

එම පරික්ෂණයේ පැමිණිලිකරු මාය. පරික්ෂණය පැවති දින 23ටම මා ද, මාගේ නීතිඥ මහතා ද සහභාගි විය. තීන්දුව ඇතුළත් වාර්තාවේ පිටපත් මා වෙත ලබාදිම ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී වන්නා සේ ම, ශ්‍රී ලංකාව ද අත්සන් තබා ඇති බීජිං සම්මුතියේ 25 වැනි වගන්තියට ද පටහැනි බව ප්‍රකාශ කරමි. නොපමාව දැනට සිදුකෙරෙමින් තිබෙන නීති විරෝධී පරික්ෂණය අත්හිටුවා ත්‍රිපුද්ගල පරික්ෂණ කමිටුවේ තීන්දුව ඇතුළත් වාර්තාවේ පිටපතක් මා වෙත ලබාදිම පිණිස ක්‍රියා කරන ලෙස ඉල්ලමි.

මෙයට,

විශ්වාසී,

වික්ටර් අයිවන්

පිටපත්

1. සරත් නන්ද සිල්වා මහතා (කොමිෂමේ සභාපති)

2. පී.ඒ. එදිස්සූරිය මහතා (සාමාජික)

3. අමීර් ඉස්මයිල් මහතා (සාමාජික)

4. අධිකරණ ඇමති විජමු ලොකු බණ්ඩාර මහතා