ඇමරිකාවට එල්ල වූ ප්‍රහාරය හා උගත හැකි පාඩම්

September 16, 2001
Publication:
The attack on the World Trade Center and the Pentagon shows that a movement willing to sacrifice its members can do great damage to even the most powerful state. The editorial says America's democracy at home was not matched by its oppressive treatment of other countries, which bred hatred. Retaliation will spread the fire, it argues, and both the world and Sri Lanka should address the grievances that give rise to extremist movements rather than try only to crush them.

රටක් අවි ආයුධ වලින් හා නවීන තාක්ෂෂණයෙන් කොතරම් බලවත් වුවත් දිවි පරදුවට තබා ක්‍රියා කරන ව්‍යාපාරයකට එවැනි බලවත් රටකට එරෙහිව පවා අති විශාල විනාශයක් කිරිමේ හැකියාව ඇති බව ඇමරීකාවට එල්ල වූ ප්‍රහාරය විසින් මනා ලෙස ඔප්පු කළේ ය.

රටක් වශයෙන් ඇමරිකාව ඉතා දියුණු හා විවෘත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් සිය රට තුළ පවත්වාගෙන ගියේ ය. එහෙත් අසල්වැසි ලෝකය සමග කරන ගනුදෙනුවල දි ප්‍රකාශ වූ ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදී නොවීය. තමන්ට අවනත නොවන රටවල් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය පීඩාකාරි විය. මේ තත්ත්වය ඇමරිකාව කෙරෙහි වෛරයෙන් ක්‍රියා කරන සතුරු බලවේග ඇති කිරීමට හේතු වූ අතර ඇමරිකාවට එල්ල වූ මේ ප්‍රහාරය එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.

ඇමරීකාවට එල්ල වූ මෙම බිහිසුණු ප්‍රහාරය ගැන කිසිවකුට සතුටු විය නො හැකි ය. ඒ තුළ ඇමරීකාවට පමණක් නොව මුළු ලෝකයටම කෙරෙන දරුණු අනතුරු ඇගවීමක් ද පවතී. එනම් ආගමික හා වාර්ගික පදනමක් මත පිහිටා ක්‍රියා කරන අන්තවාදි ව්‍යාපාර බලය යොදා මර්දනය කිරීමට දරන ප්‍රයත්නයන් මුළු ලෝකයටම ඉතාමත් විනාශකාරි ප්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි බව ය. ඔවුන්ගේ ඉලක්කය නිව්යෝක් හි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය හා වොෂින්ටනයේ පෙන්ටගනය නොවී පරමානු මධස්ථානයක් වී නම් ලැබෙන ප්‍රතිඵලය වඩා විනාශකාරි වන්නට ඉඩ තිබුණි.

මෙවැනි තිරශ්චීන පහරදිමක් ඉදිරියේ මොනම රටකටවත් නිහඬව බලා සිටීමේ හැකියාවක් නැතත් පෙරළා එල්ල කරන පහරදිමක් මෙම ගින්න තව තවත් වර්ධනය කිරීමට මිස මර්දනය කිරීමට හේතුවනු ඇතැයි සිතිය නොහැකි ය. ඒ නිසා ප්‍රතිමල්ලවයන් බලය යොදා පරාජය කරන පිළිවෙතින් බැහැර වී අන්තවාදි ව්‍යාපාර ඇතිවීම හා ඒවාහි පැවැත්ම කෙරෙහි බලපා ඇති ගැටලු හඳුනා ගනිමින් ඒවාට පිළියම් කරන ක්‍රමයක් වෙත යොමුවීම ලෝකයට වැදගත්ය.

ලෝකයේ පවත්නා ඒ යථාර්ථය ශ්‍රී ලංකාවට ද අදාළ ය. අන්තවාදි ව්‍යාපාර අන්තවාදි ලෙස පරාජය කරන ක්‍රියාමාර්ගයක් වෙනුවට අන්තවාදි ව්‍යාපාර ඇතිවීම කෙරෙහි බලපා ඇති ගැටලු හඳුනා ගනිමින් ඒ ගැටලුවලට විසඳුම් ලබාදෙන ක්‍රියාමාර්ගයන් වෙත අප යොමුවිය යුතු ය.