අහෝ පාර්ලිමේන්තුව

December 16, 2012
Publication:
Ivan condemns the one-sided procedure by which Parliament's select committee has pursued Chief Justice Shirani Bandaranayake. He recalls the 1984 inquiry into Chief Justice Neville Samarakoon, when S. Nadesan argued that Parliament had no lawful procedure for trying a judge, and India's Judges (Inquiry) Act of 1968, and explains how Parliament gained and then voluntarily gave up judicial power over privilege, citing his own privilege case in 1992. He lists eight faults in the present inquiry, from charges without supporting evidence to no list of witnesses and undue haste, and predicts that the President's unease will embolden those resisting.

රටේ නීති සම්පාදකයන්ගේ ආයතනය වන පාර්ලිමේන්තුව යුක්තිය පසිඳලන ආයතන ක්‍රමයේ ප්‍රධානියාට එරෙහිව අපූරු නඩු විමසීමක යෙදුණේය. පාර්ලිමේන්තුව විසින්ම සකස් කරන ලද මූලික නීතිය අනුව වුවද නඩු අසා දඬුවම් කිරීමේ බලයක් පාර්ලිමේන්තුවට නොතිබියදී එවැනි බලයක් පාර්ලිමේන්තුවට ඇතැයි සලකා එසේ මෙසේ කෙනෙකුට එරෙහිව නොව රටේ අගවිනිසුරුවරයාට එරෙහිව චෝදනා ගොනු කොට නඩු අසන තැනකට ගියේය. අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළද එය හොඳින් කරුණු සලකා බලා විධිමත් ලෙස සකස් කරන ලද චෝදනා පත්‍රයක් නොවීය. චෝදනා ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කරන ලිපි ලේඛන ඊට අමුණා නොතිබුණු අතර සාක්ෂිකරුවන්ගෙන් ලබාගන්නා ලද කටඋත්තර හෝ කැඳවීමට අපේක්ෂා කරන සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවක්වත් ඊට ඇතුළත් නොවීය. සාමාන්‍ය විනය පරීක්ෂණයකදී චූදිතයකුට චෝදනා පත්‍රයට පිළිතුරුදීමට දෙන කාලය තරම් කාලයක්වත් අගවිනිසුරුවරියට ලබාදීමෙන් තොරව නඩුව ශීඝ්‍රගාමී වේගයකින් ඉදිරියට ගෙන ගියේය. පාර්ලිමේන්තුව අනුගමනය කරමින් සිටි නීතියට අනුකූල නොවන නඩු අසන පිළිවෙතට විරෝධයපාමින් අගවිනිසුරුවරිය එම විමර්ශනයෙන් ඉවත් වූ පසු ඒකපාක්ෂිකව නඩු අසා අගවිනිසුරු චෝදනා තුනකට ඇය වරදකරු කළේය.

පාර්ලිමේන්තුව අගවිනිසුරු සම්බන්ධයෙන් ක්‍රියාවට නගන ලද මෙම අයුක්තිසහගත ඒකපාක්ෂික ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අධිකරණය හා නීතිඥ සංගමය අනුගමනය කරන්නට යන්නේ කුමන පිළිවෙතක්ද යන්න පැහැදිලි නැත. එහෙත් නිසැක වශයෙන් මෙය පාර්ලිමේන්තුව සිය උත්තරීතරභාවය අහිමි කරගැනීමෙන් පසුව ඇතිවූ අලුත් දේශපාලන ක්‍රමය තුළ පාර්ලිමේන්තුව විධායකයේ රබර් මුද්‍රාවක් බඳු ආයතනයකට වැඩි දෙයක් නොවන බව හඬ නගා ප්‍රකාශ කෙරුණු දෙවැනි අවස්ථාව ලෙස සැලකිය හැකිය. විධායක ජනාධිපතිගේ ඉල්ලීම පරිදි ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් දාතම නොයොදා ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට භාරදීමේ සිද්ධිය එහි පළමු අවස්ථාව වන අතර එය සිදුවූයේ 1982 ඔක්තෝබර් 28 වැනිදාය. ආණ්ඩු පක්ෂයට හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් තිබුණු පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර හයකින් දීර්ඝ කරගැනීම සඳහා ජනමතවිචාරණයක් පැවැත්වීමට තීරණය කෙරුණු අවස්ථාවේදීය. ඒ මගින් කියවුණේ ඇති කර තිබූ නව දේශපාලන ක්‍රමය තුළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විධායක ජනාධිපතිගේ රූකඩ පිරිසක් ලෙස ක්‍රියාකරනවා හැර ගෞරවයට හේතුවන ස්වාධීන පැවැත්මක් නැති බවය. දෝෂාභියෝග පරීක්ෂණය හා තීන්දුව ආශ්‍රයෙන් සිදුවී තිබෙන්නේද ඒ දේම ඊට වඩා වෙනස් ආකාරයකටය.

විනිශ්චයකාරවරුන් ධුරයෙන් ඉවත් කිරීම: නෙවිල් සමරකෝන් නිදර්ශනය

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අගවිනිසුරුවරයා හෝ උසස් අධිකරණයේ විනිසුරුවරුන් ඔවුන් දරන ධුරවලින් ඉවත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. එහෙත් ජනාධිපතිවරයාට එසේ කිරීමට පුළුවන්කම ලැබෙනුයේ පාර්ලිමේන්තුවේ මුළු සංඛ්‍යාවෙන් බහුතරයකගේ සම්මතයෙන් විනිශ්චයකාරවරයාගේ විෂම පැවැත්ම හෝ අබලභාවය ගැන චෝදනා කරන දෝෂාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙනි.

චූදිත විනිශ්චයකරුගේ විෂම පැවැත්ම හෝ අබලතාව විමර්ශනය කිරීම හා සනාථ කිරීම සිදුකළයුත්තේ කවර ආකාරයකටද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි කොට නැත. 107 (3) වගන්තියෙහි සඳහන්වන්නේ විමර්ශනයට හා ඔප්පු කිරීමට සම්බන්ධ වූද චූදිත විනිශ්චයකාරවරයාට පෞද්ගලිකව හෝ නියෝජිතයන් මගින් කරුණු දක්වා සිටීමට ඇති අයිතියට සම්බන්ධවූද සියලු කාරණා සඳහා පාර්ලිමේන්තුව මගින් නීති මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ විධි විධාන සලසා ගත යුතු බවය.

එහෙත් අගවිනිසුරු නෙවිල් සමරකෝන්ට එරෙහිව 1984දී චෝදනා එල්ල කරන අවස්ථාව වනවිටත් පාර්ලිමේන්තුව එවැනි විමර්ශනයක් සඳහා අවශ්‍ය නීති ඇති කරගෙන නොතිබුණි. ඒ නිසා පාර්ලිමේන්තුව අලුතෙන් නීති ඇතිකර ගන්නා තැනකට නොගොස් අංක 78් දරන ස්ථාවර නියෝග ඇති කරගත්තේය. එම ස්ථාවර නියෝගද කඩිමුඩියේ ඇතිකර ගන්නා ලද ඒවා මිස මනා ලෙස කරුණු සලකා බැලීමකින් පසුව විධිමත් හා පරිපූර්ණ ආකාරයකට සකස් කරන ලද ඒවා නොවීය. පරීක්ෂණ ක්‍රියාවලිය සිදුකළ යුතුව තිබෙන පටිපාටිය එහි විධිමත් ලෙස විස්තර කර නොතිබෙන අතර චූදිත විනිශ්චයකාරවරයකුට හිමි අයිතිවාසිකම්ද එහි විස්තර කර නැත.

අගවිනිසුරු නෙවිල් සමරකෝන් වෙනුවෙන් පෙනී සිටි රාජ නීතිඥ එස්. නඩේසන් පරීක්ෂණ කමිටුව ඉදිරියේ ප්‍රබල මූලික විරෝධයක් මතු කළේය. ඊට අනුව විනිශ්චයකාරවරයකුට එරෙහිව පාර්ලිමේන්තුව විසින් එවැනි පරීක්ෂණයක් පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) වගන්තියට පටහැනිය. එම වගන්තිය යටතේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මකවීමේදී අධිකරණ බලය ක්‍රියාත්මක වියයුතු ආකාරය විස්තර කර තිබෙන්නේ මෙසේය.

“නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළහැකි පාර්ලිමේන්තුවේ සහ එම මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද අධිකරණ විනිශ්චය අධිකාරි සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළයුත්තේය.

ඒ අනුව නඩේසන් එහිදී පෙන්වා දෙන ලද්දේ පාර්ලිමේන්තු අභ්‍යන්තරයට සීමාවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්නවලට සීමාවූ අධිකරණ බලයක් පාර්ලිමේන්තුවට ඇතත් ඉන් පරිබාහිර කාරණා සඳහා වන අධිකරණ බලයක් පාර්ලිමේන්තුවට නැති බවය. මෙම පරස්පරභාවය ඉන්දියාව විසින් ජයගෙන තිබෙන ආකාරයද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

ඉන්දියාවේ ක්‍රියාත්මක වන 1968දී නීතිගත කරන ලද විනිශ්චයකාරවරුන්ගේ පරීක්ෂණ පනත යටතේ උසස් අධිකරණයේ විනිශ්චයකාරවරයකුට එරෙහිව ඉදිරිපත් කෙරෙන දෝෂාභියෝග චෝදනාවන් විභාග කරනු ලබන්නේ, අගවිනිසුරුවරයා හෝ ජේ‍යෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, ප්‍රාන්ත මහාධිකරණ අගවිනිසුරුවරයකු හා සම්භාවනීය නීතිවේදීන් කිහිපදෙනකුද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් විසිනි. පාර්ලිමේන්තුවට දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් කෙරෙනුයේ එහිදී කෙරෙන පරීක්ෂණයෙන් චෝදනා සනාථ වුවහොත් පමණය. එහිදී සිදුවන්නේ විනිශ්චය මණ්ඩලයේ පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් එම විනිශ්චයකාරවරයා තනතුරෙන් පහකිරීමය. ශ්‍රී ලංකාවද එවැනි ක්‍රමයක් ඇති කරගත යුතු බව හා එසේ නොවන්නේ නම් 129 (1) වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබාගෙන ඒ අනුව ක්‍රියා කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

විමර්ශන තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජිතයන් නඩේසන්ගේ මූලික විරෝධය පිළිගත්තේ නැත. එහෙත් විරුද්ධ පක්ෂ නියෝජිතයන් එය පිළිගත්තේය. ඒ නිසා නෙවිල් සමරකෝන් මහතා චෝදනාවට වරදකරු කරනු ලැබුවද එම වරද තනතුරෙන් පහකිරීමක් කිරීමට තරම් බරපතළ ගණයෙහිලා සැලකිය හැකි විෂමාචාර ක්‍රියාවක් නොවන බවටද පරීක්ෂණ කාරක සභාව තීරණය කළේය. විශ්‍රාම යෑමට ආසන්න තත්ත්වයක සිටීම නිසා දෝෂාභියෝගය තර්කානුකූල අවසානයක් කරා ගෙන නොයන ලද අතර නෙවිල් සමරකෝන් මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ඕස්ට්‍රේලියාවට ගියේය.

ඉන්පසුව 90 දශකයේදී අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිවද අවස්ථා දෙකකදී දෝෂාභියෝග දෙකක් ඉදිරිපත් විය. එහිදීද චෝදනා විභාග කිරීමට නීතියෙන් නියම කළ විධිමත් ක්‍රමයක් නැතිකමේ ප්‍රශ්නය ඉස්මතු විය. එහෙත් පාර්ලිමේන්තුව උචිත නීති හෝ ආයතනක්‍රම ඇති කරගන්නා තැනකට ගියේ නැත.

පාර්ලිමේන්තුව අධිකරණ බලය සිය කැමැත්තෙන් අත්හැරීම

ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට අධිකරණ බලයක් තිබුණේ පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නවලට අදාළව පමණය. ඒ බලයද පාර්ලිමේන්තුව විසින් පසුව සිය කැමැත්තෙන් අත්හරිමින් ඒ බලයද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පවරන ලදි.

1978 වන තෙක්ම පාර්ලිමේන්තු වරප්‍රසාද විෂයේදීවත් පාර්ලිමේන්තුවට අධිකරණ බලයක් නොතිබුණි. ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු වරප්‍රසාද පනත් (1953 අංක 21 දරන පාර්ලිමේන්තු වරප්‍රසාද පනත) ඇති කරගනු ලැබුවේ 1953දීය. එම නීතිය යටතේ පාර්ලිමේන්තු වරප්‍රසාද ගණයට වැටෙන වැරදිවලට දඬුවම් දීමේ බලයක් පාර්ලිමේන්තුවට නොතිබුණු අතර පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නවලට අදාළ වැරදිවලදී පාර්ලිමේන්තුව විසින් ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකිරීමෙන් පසුව නඩු අසා දඬුවම් පැමිණවීමේ බලය පැවරී තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.

1977 ජූලිවලදී පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් සමග බලයට පත් එජාප ආණ්ඩුවේ අගමැති ජේ.ආර්. ජයවර්ධනට පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නවලදී ශ්‍රේෂ්ඨාධිකරණයට සමගාමීව නඩු අසා දඬුවම් පැමිණීමේ බලයක් පාර්ලිමේන්තුවට හිමිකර දීමට අවශ්‍ය වී 1978 ජනවාරිවලදී එතෙක් පැවති පාර්ලිමේන්තු වරප්‍රසාද පනත සංශෝධනය කෙරෙන අලුත් පනතක් (ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 5 දරන පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පිළිබඳ සංශෝධන පනත) සම්මත කරගත්තේය. එම පනත සංශෝධනය කරගත් දිනම සිලෝන් ඔබ්ස්වර් පුවත්පතේ පළවූ ඡායාරූපයකට යොදා තිබුණු කැප්ෂනයක වරදක් අල්ලාගෙන එම පුවත්පතේ කර්තෘවරුන් දෙදෙනෙකුට එරෙහිව (හැරල්ඩ් පීරිස් හා උපාලි කුරේ) නඩු අසා ඔවුන්ට දඬුවම් කළේය. එහෙත් පාර්ලිමේන්තුව මේ බලය හැමවිටම පාවිච්චි නොකළේය. සමහර නඩු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළේය. නිදර්ශනයක් වශයෙන් හැරල්ඩ් පීරිස්ට හා උපාලි කුරේට දඬුවම් දෙන ලද ආකාරය විවේචනය කරමින් රාජ නීතිඥ එස්. නඩේසන් මහතා සන් පුවත්පතට ලියන ලද ලිපි පෙළකට එරෙහිව නඩේසන් මහතාට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරනු ලැබූවත් පාර්ලිමේන්තුව ඔහුට එරෙහිව නඩු අසා දඬුවම් කරන තැනකට ගියේ නැත. ඒ වෙනුවට නඩේසන් මහතා වරප්‍රසාද කඩකිරීමක් කර ඇති බවට තීන්දු කොට ඒ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යැවීය. එහෙත් තමන් කැමති වෙනත් නඩුවලදී නඩු අසා දඬුවම් කිරීමේ බලය පාර්ලිමේන්තුව පාවිච්චි කළේය. ඒ මගින් වැඩියෙන්ම බැටකන අය බවට පත්ව සිටියේ ජනමාධ්‍යවේදීන්ය.

මට එරෙහිව 1992 වසරේදී පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නයක් මතුවූ අවස්ථාවේදී පාර්ලිමේන්තුව පවත්වාගෙන යමින් සිටි නඩු අසා දඬුවම් කිරීමේ ප්‍රතිපත්තිය මම හබයට ලක් කළෙමි. නඩු ඇසීම සඳහා නීතියෙන් නියම කළ පටිපාටියක් නැතුව නඩු අසා දඬුවම් කරන ප්‍රතිපත්තියක් නීතියට පටහැනි බව මා මතු කළ තර්කය විය. මොන මොන හේතු නිසා පාර්ලිමේන්තුව මාගේ විරෝධය බුල්ඩෝසර් කරන ප්‍රතිපත්තියකට නොගොස් නීතිපතිගේ මතය විමසීම සඳහා මට එරෙහිව ආරම්භ කර තිබූ නඩුව දින නියමයකින් තොරව කල් දැමීය. ඉන්පසු චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය යටතේ නඩු අසා දඬුවම් කිරීමට පාර්ලිමේන්තුවට තිබූ බලය ඉවත් කොට ඒ බලය නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදෙන ආකාරයට පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය සංශෝධනය කළේය.

ඒ නිසා අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන අවස්ථාව වන විට නඩු අසා දඬුවම් කිරීමේ මොනම බලයක්වත් පාර්ලිමේන්තුවට නොතිබුණි. එය අගවිනිසුරු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥයන් සැලකිල්ලට නොගෙන තිබූ වැදගත් කරුණක් විය.

පරීක්ෂණ ක්‍රියාවලියේ දෝෂ

අගවිනිසුරු නෙවිල් සමරකෝන්ට අදාළව ක්‍රියාත්මකවූ පරීක්ෂණ ක්‍රියාදාමය නීතියට අනුකූල නොවූවද එම පරීක්ෂණ ක්‍රියාවලිය සාධාරණ ලෙසත්, අගවිනිසුරුවරයා කෙරෙහි අගෞරවයක් ඇති කිරීමට හේතු නොවන ආකාරයටත් සිදුවීයැ”යි කිව හැකිය. ඒ බව නෙවිල් සමරකෝන් විසින්ද ප්‍රකාශ කර තිබේ.

එහෙත් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිය ඊට හාත්පසින්ම වෙනස්ය. එය ඉතාමත් රළු පරුෂ හා ඇය පීඩාවට ලක් කරන ආකාරයට සිදුකරන ලද නීතියට පටහැනි පරීක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

1. දෝෂාභියෝග යෝජනාවට ඇතුළත් චෝදනා පත්‍රයට චෝදනා සනාථ කෙරෙන ලියවිලි හෝ සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශවල පිටපත් හෝ සාක්ෂිකරුවන් පිළිබඳ ලේඛනයක් හෝ ඇතුළත්ව නොතිබුණි.

2. චෝදනාවලට පිළිතුරු දෙන ලෙස ඉල්ලා සිටිය යුතුව තිබුණේ චෝදනා සනාථ කිරීමෙන් පසුව වුවත් චෝදනා සනාථ කිරීමෙන් තොරව චෝදනාවලට පිළිතුරු දෙන ලෙස ඉල්ලා සිටියේය.

3. චෝදනා අධ්‍යයනය කොට පිළිතුරු ලබාදීමට සාධාරණ කාලසීමාවක් ලබා නොදුන්නේය.

4. පරීක්ෂණය සඳහා යොදා ගනු ලබන පටිපාටිය ගැන පැහැදිලි කිරීමක් කළ යුතුව තිබුණද, ඒ ගැන පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලා සිටියදී ඒ ගැන පැහැදිලි කිරීමකින් තොරව පරීක්ෂණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගියේය.

5. සාක්ෂිකරුවන්ගේ නාම ලැයිස්තුවක් ඉල්ලා සිටියද එය ලබා නොදුන්නේය. අගවිනිසුරු හා ඇගේ නීතිඥයන් පරීක්ෂණ ක්‍රියාවලියෙන් ඉවත් වූ පසු හා විරුද්ධ පක්ෂ නියෝජිතයන් පරීක්ෂණ කමිටුවෙන් ඉවත්ව යෑමෙන් පසුව සාක්ෂි විමසීය.

6. අගවිනිසුරුගේ නීතිඥයන් ප්‍රකාශ කර තිබෙන ආකාරයට ඇය කෙරෙහි අගෞරවයක් හෝ පරිභවයක් ඇති කිරීමට හේතුවන දේවල්ද පරීක්ෂණ ක්‍රියාවලිය තුළ සිදුවිය.

7. පරීක්ෂණය සිදුකර තිබෙන්නේ අසමාන තරමේ වේගයකිනි.

8. සමස්ත පරීක්ෂණ ක්‍රියාවලිය සාධාරණ නඩු විභාගයක් පිළිබඳ සංකල්පයට පටහැනිය.

අගවිනිසුරුවරිය කිසිදු චෝදනාවක් එල්ල කළ නොහැකි පාරිශුද්ධ තත්ත්වයක් හිමි කරගෙන සිටි කෙනෙකු ලෙස සැලකිය නොහැකිය. ඇගේ ස්වාමි පුරුෂයාට ආණ්ඩුවේ වැදගත් තනතුරක් ලබාදීම, තනතුරට තේරී පත්වූ මුල් කාලයේදී දේශපාලන වැදගත්කමක් ඇති නඩු හබ විසඳීමේදී නීතියට අනුකූලව ක්‍රියාකරනවා වෙනුවට ආණ්ඩුවට පක්ෂපාතීව ක්‍රියාකරන පිළිවෙතක් අනුගමනය කිරීම යනාදියෙන් පෙනී යනුයේ ඒ කාලවකවානුවේදී විධායකය හා අගවිනිසුරුවරිය අන්‍යොන්‍ය අවබෝධයකින් ක්‍රියාකරන තත්ත්වයක් පැවති බවය. පසුව එම තත්ත්වයෙන් වෙනස් වී දේශපාලන වැදගත්කමක් ඇති නඩුවලදී අකුරටම නීතියට අනුකූලව ක්‍රියාකරන ප්‍රතිපත්තියක් වෙත මාරුවීම කෙරෙහි බලපෑ හේතු මොනවා වුවත් ආණ්ඩුව ඇය කෙරෙහි කෝපයෙන්, රළු පරුෂ ලෙස ක්‍රියාකරන පිළිවෙතක් ඇතිවන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මුලදී ආණ්ඩුව සමග සහයෝගයෙන් ක්‍රියාකරන තත්ත්වයක සිටි අගවිනිසුරුවරිය එම තත්ත්වයෙන් අත්මිදී ස්වාධීනව ක්‍රියාකරන තත්ත්වයකට මාරුවීම ආණ්ඩුවේ බලවත් සැකයට හේතුවී ඇයට එම තනතුරේ ඉන්නට ඉඩ නොදී ඉන් පලවා හරින සාහසික ප්‍රතිපත්තියකට මාරුවූවේය.

අවසානයේ විය හැක්කේ කුමක්ද?

අගවිනිසුරුවරියට එරෙහිව ආණ්ඩුව එල්ල කර තිබෙන චෝදනාවලට වරද කුමක් වුවද ආණ්ඩුව ඇය පදවියෙන් පලවා හැරීමේ අරමුණ දිනාගැනීම සඳහා යොදාගත් බුල්ඩෝසර් ප්‍රතිපත්තිය සාහසික හා අසාධාරණ වනවා සේ ම නීතියටද පටහැනිය. අගවිනිසුරුවරියගේ අතීත වැරදි මොනවා වුවද ඇය විධායකයෙන් එල්ල වූ අභියෝගයේදී ඊට ඉතාමත් නිර්භීත ලෙස මුහුණ දුන්නේය. දීන ලෙස දණින් වැටෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට අදීන ලෙස සටන් කරන ප්‍රතිපත්තියක් තෝරා ගත්තාය. ඇය අවසානයේ හිමිකර ගන්නා ප්‍රතිඵලය කුමක් වුවත් ඇගේ සටන්කාමී ජීවගුණය නීති සමාජය හා පොදු සමාජය කෙරෙහි ආස්වාදජනක ලෙස බලපානු නොවැළැක්විය හැකිය.

යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට තවත් සති තුනක් තරම් කාලයක් පවතී. ඒ අතරතුර කාලයේදී බොහෝ දේවල් සිදුවිය හැකිය. ඇය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන බුල්ඩෝසර් ප්‍රතිපත්තිය විශේෂ වශයෙන්ම දේශීය නීති සමාජයේ සේ ම අන්තර්ජාතික තලයේද බලවත් විරෝධයට හේතුවී තිබේ. එම තත්ත්වය ආණ්ඩුව කෙරෙහි සේ ම ජනාධිපති කෙරෙහිද බලපාමින් තිබෙන බවද පෙනෙන්නට තිබේ. ආණ්ඩුවේ කොටස්කාර වමේ පක්ෂ තුනක් දෝෂාභියෝග වැඩපිළිවෙළට විරෝධය පළකර තිබෙන අතර ජනාධිපතිවරයාද අන්තර්ජාතික වශයෙන් හා දේශීය වශයෙන් එල්ලවෙමින් තිබෙන බලපෑම්වලින් සලිත වී තිබෙන බවද පෙනේ. දැන් ජනාධිපතිවරයා කියන්නේ අවසාන තීන්දුවක් ගන්නට පෙර ස්වාධීන විනිසුරුවරුන් තිදෙනකුගේ පැනලයකට තේරීම් කාරක සභාවේ තීරණයක් යොමු කරන බවය. එවැන්නකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොතිබෙන අතර එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුව තිබුණේ දැන් නොව දෝෂාභියෝගය ආරම්භයේදීය. ජනාධිපතිවරායගේ මෙම අලුත් ස්ථාවරය තේරීම් කාරක සභාවට සහභාගි වූ ආණ්ඩු පක්ෂ සාමාජිකයන්ගේ සේ ම කතානායකවරයාගේද සිත් සසල කිරීමට හේතුවනු නොඅනුමානය. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රතිපත්තිය ආණ්ඩුවේ සැඟවී තිබෙන අභ්‍යන්තර ආරාවුල් වර්ධනය කිරීමට හේතුවනු ඇතැයි කිව හැකිය.

ජනාධිපතිවරයා තුළ ඇතිවී තිබෙන මෙම සලිතවීම සටන් කරන බලවේගයන් තුළ ජයග්‍රාහී හැඟීමක් ඇති කිරීමට හේතුවී ඔවුන්ගේ සටන්කාමී ජීව ගුණය වර්ධනය කිරීමට හේතුවන සාධකයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය. මෙම කරුණට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇසෙමින් තිබෙන නඩුවලින් ප්‍රකාශ විය හැකි තීන්දු මොනවාද? පරීක්ෂණ තේරීම් කාරක සභාවේ ක්‍රියාකලාපය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? තේරීම් කාරක සභාවේ තීන්දුවට එරෙහිව තහනම් නියෝගයක් ලබාගැනීම සඳහා අභියාචනාධිකරණය ඉදිරියට යෑමේ අයිතියක් අගවිනිසුරුවරියටද තිබෙන්නේය. තේරීම් කාරක සභාවේ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය තහනම් නියෝගයක් දුනහොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? මෙම අර්බුදය නීති සමාජයේ හැම වැදගත් අංශයක්මත් තීරණාත්මක උරගා බැලීමකට ලක් කරනු ඇතැයි කිව හැකිය.

මතුවී තිබෙන මෙම විශේෂ තත්ත්වය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය මුහුණ දී තිබෙන අර්බුදය සේ ම අන්තර්ජාතික තලයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයද උච්චතම තත්ත්වයකට ගෙන ඒමට හේතුවනු නොවැළැක්විය හැකිය. මෙම ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පලවා හරින තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. මාර්තුවලදී පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ සැසියට ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිදුවනු ඇත්තේද වඩා අවාසිදායක තත්ත්වයක සිටය. ආණ්ඩුව අධිකරණයේ මිනීවල හාරන්නට ගොස් සිය දේශපාලන මිනීවළ හාරාගනිමින් සිටින්නේ යැයිද කිව හැකිය. ඇතිවී තිබෙන අර්බුදයේ රශ්මිය මැද්දේ සමාජය මෙම අර්බුදයෙන් උගත යුතුව තිබෙන වැදගත්ම පාඩමක් වනුයේ සමාජයේ ආරක්ෂාවට සාධාරණව හා ස්වාධීනව ක්‍රියාකරන අධිකරණයක් අත්‍යවශ්‍ය වුවද මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළ ස්වාධීන අධිකරණයකට ඉඩක් නැති බවය. ඒ සඳහා පරම බලයකට ඉඩ නැති නීතියේ පාලනයක් සහතික කරන දේශපාලන ක්‍රමයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය වන බවය.