අධිකරණය හා ආණ්ඩුව අතර ඇවිලී තිබෙන ආරාවුල ත්රාසජනක ස්වරූපයක් ගනිමින් පවතී. ආණ්ඩුව අධිකරනය සමග සටන් කරමින් සිටිනුයේ ඊට උචිත ස්වරූපයකින් නොව විරුද්ධ දේශපාලන ව්යාපාරයක් සමග කරන සටනකදී සටන් කරන ගොරහැඬි ස්වරූපයට සමාන ආකාරයටය. අධිකරණය ආණ්ඩුව සමග සටන් කරමින් සිටිනුයේද ආණ්ඩු විරෝධී දේශපාලන ව්යාපාරයක් ආණ්ඩු විරෝධී සටනකදී සාමාන්යයෙන් සටන් කරන ආකාරයටය. ආණ්ඩුවක් අධිකරණයත් සමග ඇති කරගන්නා ව්යවස්ථාමය ආරාවුලකදී පාක්ෂිකයන් වීථි බස්සන ප්රතිපත්තයක් යහපත් නොවනවා සේ ම අධිකරණයක් ආණ්ඩුවත් සමග ඇතිකරගන්නා ව්යවස්ථාමය ආරාවුලකදී ආණ්ඩු විරෝධී බලවේගයන් සමග ඒකරාශි වී ඔවුන් වීථි බස්සන ප්රතිපත්තියක්ද යහපත් වන්නේ නැත.
අධිකරණය හා විධායකය අතර ගැටුම් ඇතිවීම අස්වාභාවික නැත. එවැනි ආරාවුල් වෙනත් රටවලද සිදුවී තිබෙන අතර එවැනි ආරාවුල් සමහර රටවල ආණ්ඩුක්රමය පෝෂණය කිරීමටද හේතුවී තිබේ යැයි කිව හැකිය.
අන් සියලු වෘත්තිකයන්ට සේ ම, අයිතිවාසිකම් සඳහා සටන් කිරීමේ අයිතියක් විනිශ්චයකාරවරුන්ටද තිබෙන්නේය. එහෙත් විනිශ්චයකාරවරුන් සාමාන්යයෙන් වෘත්තීය සමිති සටන් කරන ආකාරයට වැටුප් හා පහසුකම් සඳහා සටන් නොකරන අතර බාහිර ඇඟිලි ගැසීම්වලින් තොරව ක්රියාකිරීමට තිබිය යුතු නිදහස වෙනුවෙන් පමණක් සටන් කරති. කලාතුරකින් සිදුවන එවැනි සටන් ද කළයුතුව තිබෙන්නේ දේශපාලන ව්යාපාරයක් හෝ වෘත්තීය සමිති ව්යාපාරයක් සටන් කරන ආකාරයට නොව ඉවසීම, විනයගරුකභාවය, නීතිගරුකභාවය හා විශේෂ වෘත්තියක් වශයෙන් ඊට අදාළ සදාචාරාත්මක වටිනාකම්ද ආරක්ෂා කරගනිමින් මහජනයාගේ ගෞරවයට හේතුවන ආකාරයටය. අධිකරණ ස්වාධීනත්වය විනිශ්චයකාරවරුන්ට තෑගි ලැබුණු දෙයක් ලෙස සැලකිය නොහැකිය. එය ඉතිහාසයේ සමහර කාලවකවානුවල විනිශ්චයකාරවරුන් ධෛර්යමත් ලෙස කරන ලද සටන් මගින් දිනාගන්නා ලද අයිතියකි.
අධිකරණයේ ස්වාධීනත්වය
කලක් එක්සත් රාජධානියේ ඉංග්රීසි උසාවි ක්රමය සලකන ලද්දේ රජුගේ උසාවි ක්රමයක් වශයෙනි. පුද්ගල නිදහස ආරක්ෂා කිරීමට හේතුවන හා නීතියේ පාලනයක් ඇති කිරීමට හේතුවන රාජ්ය පාලන ක්රමයක් සමග ස්වාධීන අධිකරණ ක්රමයක අවශයතාව පිළිගැනීම ආරම්භවන්නේ එතෙක් බ්රිතාන්ය පාලන බලයේ සිටි ඒකාධිපති රජුගේ බලය සීමා කැරෙන මැග්නා කාටා නමැති අයිතිවාසිකම් ප්රඥප්තිය 1215දී නීතිගත කිරීමෙන් පසුවය.
එහෙත් එම අයිතිවාසිකම් ප්රඥප්තියෙන් පසුත් අධිකරණයට තිබෙන බලය අත්හැරීමට රජවරුන් කැමති නොවූ අතර ඒ තත්ත්වය දිනාගැනීම සඳහා දුෂ්කර අරගලයක නිරතවන්නට සිදුවූයේ විනිශ්චයකාරවරුන්ටය. 15 වන ශතවර්ෂයේදී හතරවැනි හෙන්රි රජුගේ කාලයේදී බ්රිතාන්යයේ අගවිනිසුරුවරයා වශයෙන් ක්රියා කළ මැක් ඊචන්ට සාහසික අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවිය. රජුගේ පුත් කුමරාගේ සේවකයකුට අදාළ නඩුවක් අගවිනිසුරුවරයා විභාග කරමින් සිටින අවස්ථාවකදී කුමරා එම ස්ථානයට කඩා වැදී අත්අඩංගුවේ සිටි තම සේවකයා වහාම මුදාහරින ලෙස අගවිනිසුරුවරයාට තර්ජනාත්මකව කියා සිටියේය. එම ඉල්ලීම ප්රතික්ෂේප කරමින් අගවිනිසුරුවරයා ඔහුට කියා සිටියේ ඔහුගේ සේවකයා නීතිය උල්ලංඝනය කර ඇති බැවින් ඔහුට නීතිය අනුව දඬුවම් කළ යුතුව තිබෙන බවත් ඔහු නිදහස් කරගැනීමට අවශ්ය නම් දඬුවම් පැමිණවීමෙන් පසුව පිය රජු වෙත ගොස් ඒ සඳහා ආයාචනයක් ඉදිරිපත් කරන ලෙසත් එම ආයාචනය රජු පිළිගත්තේ නම් සමාව දීමේ බලය රජු සතු වන නිසා ඒ මගින් සමාව ලබාගත හැකි බවත්ය. අගවිනිසුරුගේ එම ප්රකාශයෙන් කෝපයට පත් රජ කුමාරා සිය අසිපත අමෝරාගෙන අගවිනිසුරු වෙත කඩා පැන්නේය. ඒ සමග අධිකරණයට අවනත නොවීමේ හා අපහාස කිරීමේ වරදට රජ කුමරු වරදකරු බව ප්රකාශ කරමින් අගවිනිසුරුවරයා ඔහුට සිරදඬුවමක් නියම කළේය. ඒ නිසා රජ කුමරුට සිරබත් කන්නට සිදුවූ අතර පිය රජුගේ ඇවෑමෙන් පසු පස්වැනි හෙන්රි නමින් රජකමට පත්වූයේ එම කුමාරයාය. එහෙත් 5 වැනි හෙන්රි රජු අගවිනිසුරුගෙන් පළිනොගත්තේය. අගවිනිසුරු එහිදී පෙන්නුම් කළ ධෛර්යයට ඔහු ගරු කළේය.
අධිකරණයේ ස්වාධීනත්වය සඳහා විනිශ්චයකාරවරුන්ට කරන්නට සිදුවූ එම දුෂ්කර අරගලය තවත් දීර්ඝ කාලයක් තිස්සේ ඉදිරියට ගෙන යන්නට ඔවුන්ට සිදුවූ අතර ඒ වෙනුවෙන් ගෙවන්නට සිදුවූ වන්දියේ ප්රමාණය දැවැන්තය. 1616දී පළමුවැනි ජේම්ස් රජු කිරීටය කෙරෙහි බලපාන නඩුවලදී කිරීටය දැනුවත් කොට කිරීටය සමග සහයෝගයෙන් ක්රියාකළ යුතු බවට අගවිනිසුරු ධුරය ඉසිලූ හෝක් සාමිවරයාට දැනුම් දුන්නේය. අගවිනිසුරුවරයා එසේ කිරීම ප්රතික්ෂේප කිරීම නිසා රජු එම අගවිනිසුරුවරයා තනතුරෙන් පහ කළේය. 1 වැනි චාල්ස් රජුගේ කාලයේදීද රජුට අවනතවීම ප්රතික්ෂේප කිරීම නිසා අගවිනිසුරුවරුන් දෙදෙනෙකුම තනතුරුවලින් පහ කරන ලදි. 2 වැනි චාල්ස් රජුගේ කාලයේදී එකළොස් අවුරුදු කාලයක් තුළ විනිශ්චයකාරවරුන් 11 දෙනකු තනතුරුවලින් පහ කරන ලද අතර ඔහුගේ සහෝදර 11 වැනි ජේම්ස් රජුගේ කාලයේදී අවුරුදු තුනක කාලයක් තුළ තනතුරුවලින් පහ කළ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්යාව 12කි. අවසාන විග්රහයේදී අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මූලධර්මය ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක අවශ්යයෙන්ම තිබිය යුතු කොන්දේසියක් ලෙස සලකන තත්ත්වයක් ඇතිවූයේ එවැනි ශ්රේෂ්ඨ විනිසුරුවරුන් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කරන ලද දුෂ්කර අරගල ක්රියාවලිය නිසාය. කිසියම් රටක අධිකරණ ස්වාධීනත්වයේ බිඳ වැටීමක් ඇත්නම් ඒ තත්ත්වය ජයගත යුතුව තිබෙන්නේද විනිසුරුවරුන් හා නීතිඥ සංගය ඒ වෙනුවෙන් කරන සටන් මගිනි. එහෙත් ඔවුන් ඒ සඳහා තෝරාගන්නා සටන් ක්රමය අධිකරණ වෘත්තියේ හා නීති වෘත්තියේ ගෞරවයට හේතුවන්නක් විය යුතුයි.
ස්වාධීනත්වය අහිමි කරගැනීම
සමහර රටවල විශේෂ වශයෙන් කිවහොත් ඇමරිකාව, එක්සත් රාජධානිය හා ඉන්දියාව වැනි රටවල ඉහළ අධිකරණ පිළිබඳව ඒ රටවල මහජනතාව අතර තිබෙන ගෞරවය හා විශ්වාසය ඉහළම මට්ටමක පවතී. ඒ රටවල විධායකයන්ට අධිකරණයට අනිසි ලෙස ඇඟිලි ගැසීමට ඉඩක් නැති තත්ත්වයක් ඇතිව තිබෙන්නේ ආණ්ඩු ක්රමයෙන් අධිකරණයේ ස්වාධීනත්වය සඳහා ඇති කර තිබෙන ප්රතිපාදන නිසා පමණක් නොව යුක්තිය පසිඳලීමේ ක්රියාවලියේදී එම රටවල අධිකරණයක් පෙන්නුම් කර තිබෙන ස්වාධීනත්වය, සාධාරණ බව හා ඉදිරිගාමීභාවය තුළ එම රටවල අධිකරණයත් මහජනයා අතර හිමි කරගෙන තිබෙන විශාල ගෞරවය නිසාය. එම රටවල පාලක පක්ෂයත් අධිකරණයට අිසි ලෙස ඇඟිලි ගසන බව ජනතාවට දැනගන්නට ලැබුණහොත් එය මහජනයා අතර විශාල කැළඹීම් ඇති කරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවන තරමට අධිකරණය ගැන වන ප්රබල මහජන විශ්වාසයක් ඒ රටවල පවතී. ඒ නිසාම පාලකයන්ද අනවශ්ය ලෙස අධිකරණයට ඇඟිලි ගැසීමෙන් වැළකී සිටීමට හුරු පුරුදු වී සිටිති.
ඒ රටවල අධිකරණයන් මහජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කීර්තිමත් කාර්යභාරයක් ඉටුකර තිබෙන අතර ඒ මගින් අධිකරණය මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන රැකවල් දූතයකුගේ තත්ත්වය හිමිකර ගැනීමට සමත් වී තිබේ. විධායකය හෝ ව්යවස්ථාදායකය තමන් වෙත ප්රජා පීඩනයක් ඇති කිරීමට හේතුවන අනවශ්ය බලයක් හිමිකර ගැනීමට දරන උත්සාහයන්වලදී එම අධිකරණයන් මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්රතිපත්තියක පිහිටා ක්රියාකර තිබේ. රටේ ජනතාව බෙදා වෙන් කරන ප්රතිපත්තියක පිහිටා ක්රියාකරනවා වෙනුවට ඔවුන් එක්සත් කරන ප්රතිපත්තියක පිහිටා ක්රියාකර තිබේ.
එහෙත් ශ්රී ලංකාවේ අධිකරණය රටේ මහජනයා අතර එවැනි පිළිගැනීමක් හෝ ගෞරවයක් හිමිකර ගැනීමට සමත් වී නැත. ආණ්ඩුක්රමය විසින් ඇතිකර තිබෙන සීමා තිබියදීත් ආණ්ඩුක්රම ව්යවස්ථාවට අර්ථ නිරූපණය කිරීම සඳහා ලැබී තිබෙන බලය ප්රශස්ත හා නිර්මාණාත්මක ලෙස පාවිච්චි කිරීමට ශ්රී ලංකා අධිකරණය සමත් වී නම් දේශපාලන ක්රමයේ ඇති අමනෝඥ, දූෂිත හා පීඩාකාරී ස්වභාවය කිසියම් විශාල ප්රමාණයකට වෙනස් කළ හැකිව තිබුණි. ඒ මගින් රටේ ආණ්ඩුකරණය කිසියම් විශාල ප්රමාණයකට යහපත් හා විධිමත් කිරීමට හැකිවන්නටද ඉඩ තිබුණි. අධිකරණ සමාලෝචන බලයක් ඇති අධිකරණවලට නීති විවරණ මගින් ආරෝපණය කරගත හැකි බලයක් තිබෙන්නේය. ඒ බලය ඇමරිකන් ශ්රේෂ්ඨාධිකරණය හා ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණය පොදු යහපත සඳහා ප්රශස්ත ලෙස පාවිච්චි කර ඇතත්, ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණය එවැනි තත්ත්වයකින් ක්රියාකිරීමට සමත් වී නැත. ඇමරිකන් ආණ්ඩුක්රමයේ ඇති බල බෙදීම මනා තුලනයක් ඇති තත්ත්වයකට ගෙනාවේ ශ්රේෂ්ඨාධිකරණය විසිනි. අනුෂංගික බලතල න්යාය ක්රියාත්මක කිරීම මගින් ඇමරිකන් කොංග්රසය පුළුල් බලතල ඇති ආයතනයක් බවට පත් කළේය. ඇමරිකන් ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව අධිකරණයට සමාලෝචන බලයක් ලබාදී නොතිබුණි. එය ආණ්ඩුක්රම ව්යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට ලැබී තිබුණු අයිතිය මගින් අධිකරණය තමන් වෙත ආරෝපණය කරගන්නා ලද බලයක් විය. එය 1803දී මාබරිට එරෙහිව මැඩිසන් නඩු විභාගයේදී අග්රවිනිශ්චයකාර මාෂල් විසින් දෙන ලද ඓතිහාසික තීන්දුවක් නිසා ඇතිවූ තත්ත්වයකි. එය මුලදී විවාදයට හේතු වුවද අධිකරණ සමාලෝචන බලය සියලුදෙනාගේ ගෞරවයට හා පිළිගැනීමට හේතුවන ඉදිරිගාමී කාර්යභාරයක් ඉටුකිරීමට සමත්වීම නිසා අධිකරණ සමාලෝචන මූලධර්මය ඇමරිකන් ආණ්ඩු ක්රමයට ස්ථිර ලෙස අන්තර්ග්රහණය කරගත් ධර්මතාවක් බවට පත්විය.
අපේ රටේ ශ්රේෂ්ඨාධිකරණයද නිදහසට පෙර බ්රිතාන්ය යටත්විජිත පාලන යුගයේදී සාධාරණව හා නීතියට අනුකූලව ක්රියාකරන තත්ත්වයක් තුළ මහජනයා අතර විශාල විශ්වාසයක් හා පිළිගැනීමක් හිමි කරගෙන තිබුණේය. බේරස්ගර්ඩ්ල් නඩු විභාගයේදී ඉංග්රීසි අග්රවිනිශ්චයකාරවරයා බ්රේස්ගර්ඩ්ල් පිටුවහල් කිරීමට ඉංග්රීසි ආණ්ඩුකාරවරයා දී තිබුණ නියෝගය නීති විරෝධී නියෝගයක් බව ප්රකායට පත් කළේය. එය ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණයේ සාධාරණත්වය හා ස්වාධීනත්වය ඉහළම මට්ටමකින් පෙන්නුම් කළ අවස්ථාවක් විය. එහෙත් නිදහස ලැබීමෙන් පසු ශ්රේෂ්ඨාධිකරණය එම යහගුණය ක්රමයෙන් අහිමි කරගත්තේය. ඒ සමග ශ්රේෂ්ඨාධිකරණය කෙරෙහි මහජනයා අතර පැවති විශ්වාසයේ හා ගෞරවයේද ඛාදනයක් සිදුවිය.
ශ්රේෂ්ඨාධිකරණයේ පීලි පැනීම්
විධායකයෙන් ව්යවස්ථාදායකයෙන් හෝ සමාජයෙන් එල්ල වන බලපෑම්වලට යට නොවී නීතියට අනුකූලව සාධාරණ තීන්දු ලබාදීම ඕනෑම අධිකරණයක අවශ්යයෙන්ම තිබිය යුතු මූලික ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණය එම ගුණය අහිමි කරගනිමින් දේශපාලන බලයට හෝ මහජන බලයට යටවී තීන්දු දෙන ප්රතිපත්තියට තල්ලුවීම නිසා අවසානයේ මේ රට අවුල් ජාලාවක් බවට පත්වූවේයැ”යි කිව හැකිය. ඒ අර්ථයෙන් මේ රටේ ඇතිවී තිබෙන විනාශයට විධායකය හා ව්යවස්ථාදායකය පමණක් නොව අධිකරණයද හරි හරියට වගකිව යුතුය.
අධිකරණය තමන් වෙත පැවරී තිබෙන වගකීම සාධාරණව ඉටුකිරීමට දුරදිග ගොස් පුපුරන ප්රශ්නයක් බවට පත්වූ ජනවාර්ගික අර්බුදයද ආරම්භක අවස්ථාවේදීම විසඳා ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. දෙමළ ජනතාව කෙරෙහි පීඩාකාරී තත්ත්වයක් ඇති කිරීමට හේතුවූ සිංහල රාජ්ය භාෂා ප්රතිපත්තිය එවකට පැවති සෝල්බරි ව්යවස්ථාවේ මූලධර්මවලට පටහැනි විය. ඒ ආරාවුල අධිකරණය ඉදිරියට ගිය අවස්ථාවේදී ජනප්රිය ආණ්ඩුවක අමනෝඥ වැඩසටහනක් යුක්තිසහගත කරන ප්රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් වැඩ කිරීමට තිබෙන අයිතිය ආරක්ෂා කරදෙන පිළිවෙතක පිහිටා ක්රියා කළේ නම් ජනවර්ග අර්බුදය ලේ හලන මහා ආරාවුලක් බවට පත් නොවන්නට ඉඩ තිබුණි. එම ආරාවුලේදී තමන් වෙත පැවරී තිබෙන වගකීම හොඳින් ඉටුකිරීමට අධිකරණය අසමත් විය. අධිකරණයේ ඇතිවූ මෙම පීලිපැනීම ක්රමයෙන් ඉහළයමින් විධායක ජනාධිපති ක්රමයක් ඇති කිරීමෙන් පසු එය උච්චතම තත්ත්වයකට පත්වීයැ”යි කිව හැකිය. ඉන්පසු එළැඹියේ විනිසුරුවරුන් තමන්ට ලබාගත හැකි පුද්ගලික ලාභ ප්රයෝජන සඳහා පාලක කණ්ඩායම් සමග එකට කල්ලි ගැසී ක්රමය වඩ වඩා අත්තනෝමතික හා දූෂ්ය කිරීමට හේතුවන අධිකරණ තීන්දු ලබාදෙන අබුද්දස්ස යුගයක් ඇතිවීමය.
ඒ ඇතිවන අඳුරු යුගයේ පවා එම මහා ප්රවාහයට එරෙහිව උඩුගම් බලා පිහිනන්නට උත්සාහ කළ අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය ආරක්ෂා කරදීමට උත්සාහ කළ විනිසුරුවරුන් සුළු පිරිසක් සිටියේය. ඒ අතර අගවිනිසුරු නෙවිල් සමරකෝන් හා ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මාර්ක් ප්රනාන්දු ප්රධානය. ඔවුහු මෙම කාලකණ්ණි යුගයේ බිහිවූ අධිකරණ යුග පුරුෂයන් ලෙස සැලකිය හැකිය.
විනාශයේ සිහිවටන
අධිකරණයක ප්රධාන යුතුකම හා වගකීම සාමාන්ය පුද්ගලයන් අතර ඇතිවන ආරාවුල් නීතියට අනුකූලව හා සාධාරණව නිරාකරණය කිරීම පමණක් නොවේ. ආණ්ඩුව හා විරුද්ධ පක්ෂ අතර ඇතිවන ආරාවුල් සේ ම ආණ්ඩුව හා මහජනතාව අතර ඇතිවන ආරාවුල් නීතියට අනුකූලව හා සාධාරණව නිරාකරණය කරදීම අධිකරණය වෙත පැවරෙන ප්රධාන වගකීමකි. දෙවැනි ගණයට වැටෙන වගකීම් අතර විධායකයට හෝ ව්යවස්ථාදායකයට ප්රජා පීඪනයක් ඇති කිරීමට හේතුවන අනවශ්ය බලතල පවරා ගැනීමට ඉඩ නොතැබීම ඒ අතර තිබෙන ප්රධානතම වේයැ”යි කිව හැකිය. එහෙත් එහිදී ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණය ගෞරවයට හේතුවන ඉතිහාසයකට හිමිකම් නොකියන බව කිව යුතුය.
ඒ සඳහා දැක්විය හැකි ප්රධාන පිය සටහන් කිහිපයක් මෙසේය.
1. අධිකරණය ජනමතවිචාරණයක් මගින් 1977 පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගැනීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතුව තිබුණි. තුනෙන් දෙකේ බලයකින් ඇති කළ හැකි නීති තිබෙනවා සේ ම එවැනි බලයකින් හෝ පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ කැමැත්තෙන් වුවද ඇති කළ නොහැකි නීතිද තිබෙන්නේය. ජනමතවිචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් නිල කාලයක් සඳහා දීර්ඝ කරගැනීමේ වැඩපිළිවෙළ සැලකිය හැක්කේ තුනෙන් දෙකේ බලයකින් තබා ඒකත් ඡන්දයකින් පවා ඇතිකළ නොහැකි දෙයක් ලෙසය. ශ්රේෂ්ඨාධිකරණය එවැනි සාහසික වැඩපිළිවෙළකට ඉඩ හැරීම මගින් රට කෙළවරක් නැති තරමට ලේ වැගිරෙන තත්ත්වයකට පත්වීමට ඉඩ හැරියේය. ඒ අර්ථයෙන් ඒ නිසා ඇතිවූ මහා විනාශයට ඒ දුෂ්ට වැඩපිළිවෙළ කරළියට ගෙනා බලලෝභී දේශපාලකයන් පමණක් නොව ශ්රේෂ්ඨාධිකරණයද හරි හරියට වගකිව යුතුය.
2. 1978 ව්යවස්ථාවේ 30 (2) වගන්තිය මගින් ජනාධිපතිගේ නිල කාලය නිශ්චිත කාලපරිච්ඡේදයකට යටත් කර තිබූ අතර ඉන්පසු ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබුණේ හය වසරක කාලය අවසන්වීමත් සමගය. ඒ තත්ත්වය වෙනස් කොට අවුරුදු හතරක කාලයක් සම්පූර්ණවීමෙන් පසු ජනාධිපතිට තමන් කැමති අවස්ථාවක ජනාධිපතිවරණය පැවැත්විය හැකි ආකාරයට ව්යවස්ථාව සංශෝධන කරගැනීමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට අවශ්ය වූ අතර ඒ සඳහා ඉදිරිපත් කළ තුන්වැනි සංශෝධනය මගින් විරුද්ධ පක්ෂවලට ලැබිය යුතු සාධාරණත්වය අහිමි කරන හා තිබුණු අක්රමවත් හා දූෂිත දේශපාලන ක්රමය තවදුරටත් දූෂිත හා අවුල් කරන දෙයක් ලෙස සලකා ශ්රේෂ්ඨාධිකරණය එම සංශෝධනය අනුමත නොකළ යුතුව තිබුණි. එහෙත් එහිදීද සිය වගකීම ඉටු කිරීමට ශ්රේෂ්ඨාධිකරණය අසමත් විය.
3. මන්ත්රීවරුන්ගේ පක්ෂ මාරුවට අදාළව ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනිව ගොඩනගන ලද ප්රතිපත්තියද සමස්ත ක්රමය තවදුරටත් අවුල් කිරීමට හා විනාශකාරී ප්රතිඵල ඇති කිරීමට හේතුවූ ප්රවේශයක් ලෙස සැලකිය හැකිය. වෙනත් පක්ෂයකට මාරු නොවී පක්ෂය තුළ ආරාවුල් ඇති කරගත් මන්ත්රීවරයෙක් මන්ත්රී ධුරයෙන් නෙරපා හැරීමේදී විනය පරීක්ෂණයක් අත්යවශ්ය කොන්දේසියක් ලෙස සැලකීම සාධාරණ වුවත් පක්ෂය අතහැර වෙනත් පක්ෂයකට එකතු වූ මන්ත්රීවරයෙක් පක්ෂයෙන් නෙරපා හැරීම සඳහා විනය පරීක්ෂණයක් අත්යවශ්ය කොන්දේසියක් ලෙස සැලකිය නොහැකිය. ශ්රේෂ්ඨාධිකරණයේ මෙම ව්යවස්ථා විරෝධී ප්රවේශය පාලක පක්ෂයේ බලය තර කොට විරුද්ධ පක්ෂ ව්යාපාර මුළුමනින් බෙලහීන කිරීමට හේතුවිය. මෙය විරුද්ධ පක්ෂ ව්යාපාර අතර ශ්රේෂ්ඨාධිකරණය කෙරෙහි පැවති විශ්වාසය වාෂ්ප කරන සාධකයක් ලෙසද ක්රියා කළේය.
4. 17 වැනි සංශෝධනය සමාලෝචනය කෙරෙන අවස්ථාවේදී එහි තිබුණු අක්රමවත් බව නැති කොට එය ක්රියාත්මක කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටින තත්ත්වයක් ඇති කිරීමට හේතුවන ලෙස එම ව්යවස්ථා සංශෝධනය සකස් කිරීමට අවශ්ය උපදෙස් ලබාදීමේ හැකියාව ශ්රේෂ්ඨාධිකරණයට තිබුණද ශ්රේෂ්ඨාධිකරණය ඒ වගකීමද හොඳින් ඉටු නොකළේය.
5. 17 වැනි සංශෝධනයේ එන විධි විධාන අහෝසි කෙරෙන හා ජනාධිපතිවරයාගේ නිල කාල සඳහා පැවති සීමා අහෝසි කෙරෙන ආකාරයට ඉදිරිපත් කැරුණු 18 වැනි සංශෝධනයටද ශ්රේෂ්ඨාධිකරණය ඉඩ නොදිය යුතුව තිබුණි.
6. මැතිවරණවලදී පක්ෂ භේදයෙන් තොරව නීතිය අකුරටම ක්රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීමට හේතුවන නියෝග පහසුවෙන්ම ලබාදීමේ පුළුවන්කමක් ශ්රේෂ්ඨාධිකරණයට තිබුණි. එහෙත් පාලක පක්ෂය සතුටු කිරීම සඳහා එවැනි ප්රවේශයක් ගැනීමෙන් ශ්රේෂ්ඨාධිකරණය වැළකී සිටියේය.
දැන් අධිකරණයට වන්දි ගෙවන්නට සිදුවී තිබෙන්නේද තමන් විසින්ම කරන ලද වැරදිවලටම බව අධිකරණයතීරණාත්මක අරගලයක යෙදී සිටින මොහොතේදීවත් තේරුම් ගත යුතුය. විධායකය අනවශ්ය තරමට බලවත් කිරීමට අධිකරණයද ක්රියාකාරී ලෙස දායක වී තිබේ. අවසානයේ අධිකරණයට දැන් සටන් කරන්නට සිදුවී තිබෙන්නේ තමන් විසින් කිරි පොවා ලොකු මහත් කළ විධායකය සමග වීම දෛවයේ සරදමක් ලෙස සැලකිය හැකිය. මෙම අර්බුදය නිසාවත් තමන් මෙතෙක් කරන ලද කාර්යභාරය ලෙස විවේචනාත්මක ආකල්පයකින් ආපුස හැරී බැලීමක් කිරීමට අවශ්ය ධෛර්යය හා නිහතමානී බව ඇති කරගැනීමට අධිකරණය සමත්වේ නම් එය ඔවුන්ගේ ඉදිරි ගමනට ප්රයෝජනවත් වනු ඇතිවා සේ ම නැතිවී තිබෙන ගෞරවය නැවත ඇති කරගත යුතුව තිබෙන්නේ කෙසේද යන ප්රශ්නය තේරුම් ගැනීමද පහසු වනු ඇත්තේය.