අර්බුදයේ තවත් පැතිකඩක්

December 23, 2012
Publication:
Comparing the political system to a badly built ship that is sinking, Ivan argues that the clash between executive and judiciary exposes the constitution's subordination of both Parliament and the courts to the president. Yet the courts, he warns, have themselves punished people without fair hearings: the Supreme Court's jailing of Tony Fernando for contempt, which the UN Human Rights Committee found unlawful; the contempt case against S.B. Dissanayake; and the treatment of the lawyer Elmo Perera under Sarath N. Silva. Serious allegations against Sarath N. Silva and Asoka de Silva were ignored while they served governments, so if the judiciary wins without changing its attitudes it may become arrogant.

මීට පෙරද විවිධ කාලවකවානුවලදී රටේ විශාල දේශපාලන අර්බුද ඇතිවී ඇතත්, වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුදයේ ස්වභාවය මීට පෙර ඇතිවී තිබෙන දේශපාලන අර්බුදයන්ගේ ස්වභාවයන්ට වඩා වෙනස්ය. පෙර ඇතිවූ හැම අර්බුදයක්ම බලයේ සිටින ආණ්ඩුවේ පැවැත්ම අභියෝගයට ලක් කරන වර්ගයේ ඒවා වූ අතර ඒවා ආණ්ඩුවේ පැවැත්මට අතිරේකව දේශපාලන ක්‍රමය අභියෝගයට ලක් නොකළේය. ඒ හැම අර්බුදයක්මත් එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට බලය සඳහා තරග කරන විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට දැඩි සම්බන්ධයක් තිබූ අර්බුද ලෙස සැලකිය හැකිය. එහෙත් වර්තමානයේ මතුවී තිබෙන අර්බුදය හා විරුද්ධ පක්ෂ ව්‍යාපාර අතර ආත්මීය සම්බන්ධයක් ඇත්තේම නැති තරම්ය. අනෙක් අතට එම අර්බුදය මෙහෙයවීමේ කළමනාකරණය කිරීමේ බලයක් විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට ලැබී නැත. වර්තමාන අර්බුදය ආණ්ඩුවේ පැවැත්මට අතිරේකව දේශපාලන ක්‍රමයද අභියෝලයට ලක් කැරෙන අර්බුදයක් ලෙස සැලකිය හැකිය. එකට එක් පසු යනාදී වශයෙන් මතුවෙමින් තිබෙන අර්බුද කෙරෙහි සමාජ ක්‍රියාකාරීත්වය වෙනුවට දේශපාලන ක්‍රමයේ ඇති නොගැළපීම් ප්‍රධාන කොට බලපා තිබෙන බවද දැකිය හැකිය.

අර්බුදයේ දිසාව

ඉන් පෙනෙන්නේ රටේ දේශපාලන ක්‍රමයේ හා සාම්ප්‍රදායික දේශපාලන ගමන් මගෙහි පරිවර්තනීය වෙනසක් ඇති කරන දිසාවකට මෙම අර්බුදය ගමන් ගනිමින් තිබෙන බවය. එහි තිබෙන උභතෝකෝටිකය වනුයේ එය සමාජයේ දැනුවත් මැදිහත්වීම් මත සිදුවන්නක් නොවී ගරාහැලෙමින් තිබෙන දේශපාලන ක්‍රමයේ අභ්‍යන්තර පරස්පරතා උග්‍රවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවී තිබෙන ක්‍රියාදාමයක්වීමය. නැතහොත් දැනුවත් සමාජයේ මෙහෙයවීමකින් තොරව යාන්ත්‍රිකව සිදුවන ක්‍රියාවලියක් වන බවය.

මෙම දේශපාලන ක්‍රමය නැවකට සමාන කරන්නේ නම් එම නැව තැනීම සිදුවන්නේ එම විෂය පිළිබඳ මනා අවබෝධයක් නැතිව හා ආත්මාර්ථකාමී අභිලාෂයන්ගෙන් යුතුව කඩිමුඩියේය. ඒ නිසා අවසානයේ තනා ගැනෙන්නේ ශක්තිමත් හෝ කාර්යක්ෂම නොවන හා මනා නිමාවකින් තොර නැවකි. ඉන්පසු නැව පරිහරණය කෙරෙන්නේද නිසි නඩත්තු කිරීමකින් තොරවය. ඒ සියලු හේතු නිසා නැව ඉක්මනින් ගරාහැලෙන තත්ත්වයකට පත්ව තිබුණද එයට අණ්ඩ දමමින් පාවිච්චි කළා මිස එහි අනාරක්ෂිත බව, අනාර්ථික බව, අකාර්යක්ෂමතාව තේරුම් ගෙන පරණ නැව යකඩවලට විකුණා අලුත් නැවක් මිලදී ගැනීමක්ද සිදු නොවීය. දැන් එය ජැටියක නවතා තිබෙන අවස්ථාවක නොව බඩු පටවාගෙන මුහුද මැද ගමන් කරමින් තිබෙන අවස්ථාවකදී නැවේ පතුළ හිල්වී ඒ නිසා නැව තුළට ගලා එන ජලය නිසා නැව මුහුදට ගිලා බසින තත්ත්වයක් ඇතිවී තිබේ. මීට පෙරද නැව තුළට ජලය කාන්දු වුවද ජලය කාන්දු කරන සිදුරු කුඩාවීම නිසා එය අණ්ඩ දමා වැසිය හැකිවිය. එහෙත් දැන් ඇතිවී තිබෙන සිදුරු වැසිය නොහැකි තරම් විශාල වීම නිසා නැවේ ගිලා බැසීමක් ඇතිවීම නොවැළැක්විය හැකි දෙයක් බවට පත්වී තිබේ.

නැව ගිලා බැසීමෙන් සිදුවිය හැකි අලාභය දැවැන්තය. නැවේ පටවා තිබෙන භාණ්ඩ පමණක් නොව යකඩවල වටිනාකමට විකිණිය හැකිව තිබූ නැවද ඒ නිසා අහිමි වන්නේය. එහි සිටින නාවිකයන් දූරදර්ශී නොවුවහොත් ජීවිත අවදානමක්ද ඇතිවිය හැකිය. නැව තුළ දූරදර්ශී අය සිටී නම් දැන් කළයුතුව තිබෙන්නේ ජීවිත ආරක්ෂාව සඳහා ගිලා බසිමින් තිබෙන නැව අත්හැර ගොඩබිමට පලායෑම සඳහා සුදුසු විකල්ප මාර්ගයක් තෝරා ගැනීමය. එහෙත් මුහුද ඉතාමත් ප්‍රචණ්ඩය. ගොඩබිමට ඇති දුරද විශාලය. ඒ නිසා පලායෑමක් කිරීමද සරල හෝ පහසු නැත. නැව අත්හැර යෑමට කැමති නැති අධානග්‍රාහී නාවිකයන් ගිලා බසින නැව සමගම විනාශ වනු නොවැළැක්විය හැකිය.

සමාජ සවිඥානකත්වය

නැවේ නිදර්ශනය රටේ පවතින අර්බුදය පැහැදිලි කිරීමට යොදා ගැනීම ඕනෑවට වඩා සරල විය හැකි වුවත් දැන් රටේ දේශපාලන අර්බුදය තිබෙන්නේ ඊට සමාන තත්ත්වයකැයි කිව හැකිය. වේගවත් ගරාහැලීමකට ලක්ව තිබෙන දේශපාලන ක්‍රමය සමග පාලක පක්ෂය පමණක් නොව දේශපාලන ක්‍රමයට අනුගතවී සිටින විරුද්ධ පක්ෂ ව්‍යාපාරයද දේශපාලන ක්‍රමය සමග ගිලා බසින තත්ත්වයක් ඇතිවිය හැකිය. සමාජ, දේශපාලන සවිඥානකත්වය තිබෙන්නේ වේගයෙන් ගමන් ගනිමින් තිබෙන සිදුවීම්වලට ඉදිරියෙන් නොව පසුපස ගාටන තත්ත්වයකය. එහෙත් සාමාන්‍ය කාලවලදී නොඉගෙන ගන්නා වේගයකින් සමාජය අර්බුද කාලවලදී සමාජය දේවල් ඉගෙන ගනී. ඒ නිසා ඇතිවිය හැකි හිඩස පිරවීමට සුදුසු දියුණු දේශපාලන සවිඥානකත්වයක් ඇතිවීමටද ඉඩ තිබෙන්නේය. හැම විනාශයක්මත් අලුත් ඉපදීමකටද මුලපිරීමක් කරනු ලබන බවද අමතක නොකළ යුතුය.

අවිඥානික හා යාන්ත්‍රික ස්වරූපයකින් දිගහැරෙමින් පවතින අර්බුදය දේශපාලන ක්‍රමයට ආවේණික අපිළිවෙළ, අකාර්යක්ෂමතාව, දූෂිත හා කොල්ලකාරී ස්වභාවයද, අසාධාරණ හා අත්තනෝමතික ස්වරූපයද කියාදෙන රංගනයක ස්වභාවයක් ගෙන ඇතැ”යිද කිව හැකිය. නොකඩවා අසන්නට ලැබෙන බිහිසුණු අපරාධවලින් දේශපාලන ක්‍රමයේ පාදඩ ස්වරූපය මනා ලෙස පෙන්නුම් කරයි. විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රතිඵල අර්බුද හා සරසවි ඇදුරු සටන, අධ්‍යාපන ක්‍රමය මුහුණ දී තිබෙන අර්බුදයේ තරම පෙන්නුම් කළේය. කොටස් වෙළෙඳපොළේ අර්බුදය හා ඊට ලබාදෙන ලද විසඳුම්වලින් දේශපාලන ක්‍රමය තුළ කළු සල්ලිකාරයන්ට ලැබී තිබෙන වැදගත්කමේ තරම පෙන්නුම් කළේය. සෙලින්කෝ ශ්‍රීරාම් තැන්පතුකරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීම සඳහා අධිකරණයේ මගපෙන්වීම අනුව මිල ගණන් කැඳවා රුපියල් බිලියන 7.8ක ඉල්ලුමක් ලැබී තිබුණු දේපළක් (සෙලෙස්ඩියල් රෙසිඩන්සීස්) ව්‍යාපාර අත්පත් කරගැනීමේ පනත යටතේ රජයට පවරා ගනිමින් එම දේපළ රුපියල් බිලියන 4.2කට තෝරාගත් ගජ මිතුරන් පිරිසකට ලබාදීමේ සිත්පිත් නැති සාහසික සිද්ධිය දේශපාලන ක්‍රමයේ ඇති කොල්ලකාරී ස්වභාවය මනා ලෙස පෙන්නුම් කළේය. බන්ධනාගාර කැරැල්ලේදී සිදුවූ සිරකරු ඝාතනය අවශ්‍ය වෙතොත් සමූහ ඝාතනවලට ඇති පුළුවන්කම හා බිය නැතිකම ප්‍රදර්ශනය කළ අවස්ථාවක් විය. කාර් රේස්වලට ලබාදී තිබෙන අතිවිශාල ජාතික වැදගත්කම ආණ්ඩු කරවන්නන් සිතන මතන ආත්මාර්ථකාමී හා මජර ස්වරූපය හොඳින් පෙන්නුම් කරන්නේයැයි කිව හැකිය.

විධායකය හා අධිකරණය අතර ගැටුම

දැන් විධායකය හා අධිකරණය අතර ඇතිවී තිබෙන ගැටුමද ආණ්ඩුක්‍රමයේ ඇති අවලස්සන හා පීඩාකාරී ස්වභාවය පිළිබඳව වැදගත් පාඩම් සමාජයට කියාදෙන අර්බුදයක් ලෙස සැලකිය හැකිය. නීති සම්පාදනය, ඒවා ක්‍රියාත්මක කිරීම හා විනිශ්චය කිරීම යන ප්‍රධාන අංශ තුන අතර මනා බලතල බෙදීමක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ තිබිය යුතු වැදගත්ම ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එහිදී එම බල තුන ස්වාධීනව ක්‍රියාකරන බල මණ්ඩල තුනක් අතට පත්කිරීම අවශ්‍ය වනවා සේ ම එක බල මණ්ඩලයකට අනෙක් බල මණ්ඩල ග්‍රහණයට ගත නොහැකි ආකාරයට ඒවා ආණ්ඩුක්‍රමය තුළ ස්ථාන ගතකිරීමද ප්‍රජා පීඩනයක් ඇතිවීම වැළකීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකිය හැකිය.

එහෙත් අපේ ආණ්ඩුක්‍රමය තුළ ඒවා ස්ථාන ගතකර තිබෙනුයේ විධායකයට ඉතා බලවත් හා ප්‍රමුඛ තැනක් ලැබෙන ආකාරයට පමණක් නොව, ඊට ව්‍යවස්ථාදායකය හා අධිකරණය පහසුවෙන් සිය ග්‍රහණයට ගතහැකි ආකාරයටය. අධිකරණයේ ඇතිවී තිබෙන නැගිටීම කෙරෙහි බලපා තිබෙන හේතු මොනවා වුවත් එය සැලකිය හැක්කේ විධායකයේ ග්‍රහණයට එරෙහිව ඇතිවී තිබෙන නැගිටීමක් ලෙසය. ඒ අර්ථයෙන් එය අධිකරණයේ ස්වාධීනත්වය සඳහා ඇතිවී තිබෙන පෙළගැස්මක් ලෙසද සැලකිය හැකිය. අධිකරණ අරගලයේ උණුසුම සමහරවිට පාර්ලිමේන්තුව කෙරෙහිද බලපෑ හැකිය. මීට පෙර අධිකරණය තිබුණේද පාර්ලිමේන්තුව සිටින තත්ත්වයට සමාන තත්ත්වයකය. අධිකරණය සේ ම ද්‍රව්‍යමය ප්‍රතිලාභ වෙනුවට ගෞරවයට හේතුවන ස්වාධීන පැවැත්මක් ඉල්ලා සිටින තැනකට සමහරවිට පාර්ලිමේන්තුව තල්ලු විය හැකිය.

මෙතෙක් අධිකරණය තිබුණේද පාර්ලිමේන්තුව දැන් සිටින යටහත් පහත් තත්ත්වයට සමාන තත්ත්වයකය. මෙතෙක් අධිකරණය ක්‍රියාකර තිබෙන්නේ විධායකයේ දූෂිත හා ජන පීඩාකාරී ක්‍රියාකලාපයන්ට නීත්‍යනුකූල බවක් ලබාදෙන රබර් මුද්‍රාවක තත්ත්වයෙනි. විධායකයද අධිකරණය තමන්ට හීලෑකාරී තත්ත්වයක සිටින තෙක් අධිකරණ විෂයෙහි හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමට අධිකරණයට ඉඩදී තිබුණේය. අධිකරණය මොනතරම් බරපතළ වැරදි සිදු කළද විධායකය ඒවා ඉදිරියේ අහක බලාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

දැන් අධිකරණ නායකයා සම්බන්ධයෙන් අනුගමනය කෙරෙමින් තිබෙන ප්‍රතිපත්තියට සමාන එනම් විධායකයේ වුවමනාව වන පාර්ලිමේන්තුව විසින් සාධාරණ නඩු විභාගයක් ලබාදීමෙන් තොරව දඬුවම් කරන්නට යන හිතුවක්කාරී ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියක් සමහර නඩු සම්බන්ධයෙන් අධිකරණය විසින්ද අනුගමනය කර තිබෙන බව අමතක නොකළ යුතුය. ටෝනි එම්මානුවෙල් නඩුව ඒ සඳහා දැක්විය හැකි එක නිදර්ශනයකි.

ටෝනි එම්මානුවෙල් නඩුව

ඔහු තමන්ගේ පරණ නඩුවකට අදාළ ලියවිලිවල සහතික පිටපත් අදාළ අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාගෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියේය. රෙජිස්ට්‍රාර්වරයාගෙන් කිසිදු පිළිතුරක් නොලැබුණු විට ඔහු ඒ බව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කරමින් එම සහතික පිටපත් තමන්ට ලබාගත හැකි ක්‍රමයක් සලසා දෙන ලෙස ඉල්ලා සිටියේය. සිහිකැඳවීම් ගණනාවකින් පසුව අධිකරණ සේවා කොමිසමෙන්ද පිළිතුරක් නොලැබුණු විට අධිකරණ සේවා කොමිසමේ සභාපති (අගවිනිසුරු සරත් නන්ද සිල්වා) හා කොමිසමේ සෙසු සාමාජිකයන් දෙදෙනා වගඋත්තරකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. ඒ වනවිට අගවිනිසුරු වගඋත්තරකරු කරන පෙත්සම් විභාග දෙකක් තිබුණි. විභාගවෙමින් තිබූ එක නඩුවක පෙත්සම්කරුවන් වූයේ මා ඇතුළු තවත් තිදෙනෙකි. ඒවා ඔහුගේ පත්කිරීමට එරෙහිව ඉදිරිපත් කරන ලද ඒවා විය. ඊට අතිරේකව අගවිනිසුරු වගඋත්තරකරු කරමින් දිසා විනිසුරුවරුන් දෙදෙනකු (ජී.ඩී. කුලතිලක හා සුනිල් පෙරේරා) ඉදිරිපත් කළ පෙත්සම් දෙකක්ද විභාගවෙමින් තිබුණි. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරුගේ මානසික පීඩාවට හේතුවී තිබුණු අතර එම පෙරහැරට අලුතෙන් එකතු වූ ටෝනිගේ පෙත්සම ඔහුගේ කෝපයට හේතුවී ඔහු විසින් තමා වගඋත්තරකරුවකු කර තිබූ නඩුව තමාද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගෙන උසාවියට අපහාස කළේය යන පදනම මත ටෝනිට එක් අවුරුදු සිරදඬුවමක් පැමිණවීය.

එය ස්වාභාවික යුක්තියේ සියලු මූලධර්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රසිද්ධියේ හා අමු අමුවේ උල්ලංඝනය කෙරුණු අවස්ථාවක් විය. ඊළඟට සිදුවූ දේ ඊටත් වඩා පුදුමසහගතය. ඔහු බන්ධනාගාරයට ගෙනගිය දිනයේම ඔහු බන්ධනාගාර නිලධාරීන් අතින් බිහිසුණු පහරදීමකට ලක්වීම නිසා කිසියම් දීර්ඝ කාලයක් රෝහල් ගතවී ප්‍රතිකාර ලබාගැනීමට ඔහුට සිදුවිය. මා ඒ කාලයේදී බන්ධනාගාරයේදී සිදුවූ එම පහරදීම විග්‍රහ කළේ අගවිනිසුරුගේ ඇණවුමක් මත කරන ලද පහරදීමක් ලෙසය. ටෝනි බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු බලන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරම් කුමාරස්වාමි (විනිශ්චයකරුවන් හා නීතිඥයන් පිළිබඳ විෂයභාර නිලධාරියා) ශ්‍රී ලංකාවට ආවේය. ඔහු ආපසු යන්නට පෙර කොළඹදී කරන ලද ප්‍රසිද්ධ දේශනයකදී ටෝනිගේ නඩු තීන්දුවට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටියේය. ඒ පුංචි සාධාරණත්වය ඉටු කරන්නටවත් නීතිඥ සංගමයට එදා කොන්දක් නොතිබුණේය.

දඬුවම් කාලය අවසන් වී ටෝනි නිදහස් වූ පසු ඔහු පැහැරගෙන යෑමට දරන ලද සාහසික උත්සාහයකින් ඔහු ගැලවුණේ ආශ්චර්යමත් ආකාරයටය. ටෝනිට ආරක්ෂාව ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා ආණ්ඩුවට නිල වශයෙන් දැනුම්දීමක් කරනු ලැබුවද ආණ්ඩුව එය තුට්ටුවකටවත් ගණන් නොගත්තේය. අවසානයේ ඔහුට ජීවිත ආරක්ෂාව සඳහා සිය මව්බිමෙන් පලා යන්නට සිදුවිය. ටෝනිට අධිකරණය විසින් සිදුකරන ලද එම සාහසික අපරාධය ජාත්‍යන්තර තලයේ සාකච්ඡාවට ලක්වූ වැදගත් කරුණක් බවට පත්වී තිබුණද ඒ වැරැද්ද අපේ පාර්ලිමේන්තුවට නොපෙනුණේය.

එස්බී හා එල්මෝ පෙරේරා

ඉන්පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එස්බී දිසානායකද අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිරදඬුවම් පමුණුවන ලද්දේද අධිකරණයට තිබෙන දඬුවම් දීමේ බලය නීතියට පටහැනිව හිතුවක්කාරී ලෙස හා පීඩාකාරී ලෙස පාවිච්චි කරමිනි. තමනගේ පාර්ලිමේන්තු සගයෙකුට නීතියට පටහැනිව හිතුවක්කාරී ලෙස දඬුවම් පමුණුවනු ලැබූ ඒ අවස්ථාවේදීවත් පාර්ලිමේන්තුව ඒ ගැන සොයා බැලීමක් කළේ නැත. අධිකරණයට පිස්සු නටන්නට ඉඩදී බලා සිටියේය.

අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ පාලන සමයේදී ඔහුට කීකරු කරගැනීමට නොහැකි වූ පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන් කිසියම් විශාල පිරිසක් බොරු චෝදනා යටතේ අධිකරණයෙන් පලවා හරින ලද්දේ ඔවුන්ට සාධාරණ නඩු විභාගයක් හෝ පරීක්ෂණයක් ලබාදීමෙන් තොරවය. ඒ ගැන කදිම විස්තරයක් හා විග්‍රහයක් අන්තර්ජාතික නීතිඥ සංගමය විසින් 2001 වසරේදී පළකරන ලද ‘Sri Lanka Failing To Protect the Rule of Law and the Independence of the judicary’ යන පළ කළ වාර්තාවට ඇතුළත්ය. එම වාර්තාවේ එන කරුණු ගැන සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නීතිඥ සංගමය විශේෂ කමිටුවක් පත් කරනු ලැබුවත් එම කමිටු වාර්තාව අගවිනිසුරුගේ හිතුවක්කාරී ක්‍රියාකලාපය විවේචනයට ලක්කර තිබීම හේතු කොටගෙන නීතිඥ සංගමය එයද යටපත් කළේය. ඉන්පසු ජනාධිපතිවරුන් හා අගවිනිසුරුවරුන් වෙනස් වුවද ඒ කිසිවකු අතින් අසාධාරණ ලෙස අධිකරණ සේවයෙන් පලවා හරිනු ලැබූ එම පුද්ගලයන්ට යුක්තිය ඉටුකිරීමක් සිදු නොවීය.

එල්මෝ පෙරේරා නීතිඥයන් අතර සිටින සාධුවරයෙක් වැනි පුද්ගලයෙකි. ඔහු දුප්පත් නඩු කියන්නන්ගෙන් ගාස්තු අය නොකළේය. සමහරවිට ඔහුට ඔවුන්ගෙන් ලැබුණු ගෙවීම් වූයේ කෙසෙල්ගෙඩි ඈවරියක්, පැපොල් ගෙඩි කිහිපයක් හෝ පොල්ගෙඩි කිහිපයකි. ඔහු 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ව්‍යවස්ථා සභාවක් නැතිව අධිකරණ සේවා කොමිසමට සාමාජිකයන් පත්කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. ඔහුට අධිකරණයෙන් දෙන ලද සහනය වූයේ අධිකරණයට අපහාස කළේය යන චෝදනාව මත හත් අවුරුදු කාලයකට බලපාන ආකාරයට නීතිඥ වෘත්තියේ යෙදීමේ අයිතිය අහිමි කිරීමය. ඔහුට දඬුවම් කරන ලද්දේ ද සාධාරණ නඩු විභාගයකින් හෝ පරීක්ෂණයකින් තොරවය. එම සාහසික සිද්ධිය ඉදිරියේ නීතිඥ සංගමය අනුගමනය කළේද බකං නිලාගෙන සිටින ප්‍රතිපත්තියකි.

නීච විධික්‍රමය

අධිකරණය තමන් ඉදිරියට එන සමහර නඩු කියන්නන්ට සාධාරණ නඩු විභාගයක් ලබාදීමෙන් තොරව දඬුවම් කළේය. දැන් එම ප්‍රතිපත්තිය රටේ නීති සම්පාදකයන්ගේ ආයතනය වන පාර්ලිමේන්තුව විසින් අධිකරණයේ ප්‍රධානියාට එරෙහිව යොදාගනිමින් තිබේ. එය හිතුවක්කාරී ආකාරයකින් ක්‍රියාකළ අධිකරණයට දෙනු ලබන හොඳ දඬුවමක් ලෙස සලකා සමාජයට ප්‍රීතිවන්නට පුළුවන්කමක් නැත. මේ ප්‍රයත්නයෙන් ආණ්ඩුව ජයගතහොත් ආණ්ඩුවේ අධිකාරිවාදී බලය දෙගුණ තෙගුණ වී ඒ සමාන ප්‍රමාණයකට ප්‍රජා පීඩනයද ඉහළ යනු නොවැළැක්විය හැකිය. බල පරිමණ්ඩල අතර කිසියම් සමබරතාවක් ආරක්ෂා කරගැනීම සඳහා අධිකරණය චප්ප කිරීමට ආණ්ඩුව දරන ප්‍රයත්නය පරාජය කළ යුතුය. එහෙත් එහිදී අධිකරණයට සමාජය සහයෝගය දිය යුතුව තිබෙන්නේ අවිවේචනාත්මකව නොව විවේචනාත්මකවය. ප්‍රජා පීඩනයක් ඇතිවන ආකාරයට විධායකයට අනවශ්‍ය තරම් විශාල බලයක් හිමිකර ගැනීමට සමත්ව තිබෙන්නේ අධිකරණය විසින් දෙනු ලැබූ සහාය නිසාය. ඔවුන්ගේ අතීත වැරදි ක්‍රියාකාරීත්වය දෙස විවේචනාත්මකව කරුණු සලකා බලන තැනකට අධිකරණය ගෙනා යුතුය. එම නොමනා තත්ත්වය ගැන අධිකරණය අවංකව පසුතැවිලි වියයුතු අතර නැවත පාලක පක්ෂය සමග කල්ලි ගැසී ක්‍රියාකරන තැනකට නොයන්නට අධිෂ්ඨානය කරගත යුතුය.

එම ආකල්ප පරිවර්තනයෙන් තොරව අධිකරණය මෙම අරගලයෙන් ජයගතහොත් මාන්නාධික අධිකරණයක් ඇති කිරීමට එය හේතුවිය හැකිය. දේශපාලන ආයතන පමණක් නොව අධිකරණයද බරපතළ වැරදි කර තිබේ. මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන පළිහක් ලෙස ක්‍රියා කරනවා වෙනුවට අධිකරණය ක්‍රියාකර ඇත්තේ විධායකයේ අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන පළිහක් වශයෙනි. එවැනි අධිකරණයක් රටේ යහපතට හේතුවන්නේ නැත. රටේ යහපතට හේතුවනු ඇත්තේ ආණ්ඩු විරෝධී හෝ ආණ්ඩු පක්ෂවාදී අධිකරණයක් නොව ස්වාධීනව හා සාධාරණව ක්‍රියාකරන අධිකරණයකිනි. මෙම තීරණාත්මක අවස්ථාවේදී අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය වෙනුවෙන් පෙරමුණ ගෙන සටන් කළ යුතුව තිබෙන්නේද මහජනතාව නොව විනිශ්චයාකරවරුන් හා නීතිඥයන් විසිනි. මහජනයාට කළහැක්කේ ඔවුන් කරන අරගලයට ශක්තිය හා ආශිර්වාදය ලබාදීම පමණය.

ආණ්ඩුවට පක්ෂපාතව ක්‍රියාකරන තෙක් පුද්ගලයෙකු කොතරම් බරපතළ වැරදි කළද ඔහු ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීම හා ආණ්ඩුවට එරෙහිව යන්නේ නම් පමණක් ඔහුට එරෙහිව නීතිය තරයේ ක්‍රියාත්මක කරන පිළිවෙතක් අනුගමනය කිරීම මෙම දූෂිත හා අධම දේශපාලන ක්‍රමය යටතේ ඇතිවී තහවුරුවී තිබෙන නීච සම්ප්‍රදායයක් ලෙස සැලකිය හැකිය. අගවිනිසුරුවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් පහකළ යුතු තරම් බරපතළ වැරදි කර තිබෙන පුද්ගල චරිතයක් බවට පත්වූයේ ආණ්ඩුවේ සතුටට හේතුනොවන තීන්දු කිහිපයක් ප්‍රකාශ කිරීමත් සමගය. ඊට පෙර ආණ්ඩුවට ඇය පෙනුණේ හොඳ අගවිනිසුරුවරියක් ලෙසය.

සරත් සිල්වා හා අශෝක සිල්වා

මීට පෙර අගවිනිසුරු ධුරයේ සිටි සරත් නන්ද සිල්වාට එරෙහිව මීටත් වඩා බරපතළ චෝදනා එල්ල වී තිබුණි. අන්තර්ජාතික නීතිඥ සංගමය, අන්තර්ජාතික ජූරි සංගමය වැනි ආයතන ඔහුගේ නොමනා හා නීති විරෝධී ක්‍රියාකාරකම් ප්‍රශ්න කරන තත්ත්වයක් ඇතිවී තිබුණේය. ඔහුගේ පාලන කාලයේ ඔහු දේශපාලනඥයන් සේ තමාට සමීප පාතාල ලෝකයේ පුද්ගලයකු හරහා පාතාල ලෝකය සමග සම්බන්ධකම් පැවැත්වීය. ඔහු ඇසුරු කළ අපරාධකරුවා අගවිනිසුරුගේ ලේකම්වරයකු ලෙස පෙනී සිටිකාලයේදී මහනුවර කිංග්ස් පාර්ක් හෝටලයේ හිමිකාරියගෙන් ලබාගත් කොන්ත්‍රාත්තුවක් මත ඇගේ සැමියා වෙඩි තබ්බවා මරා දැම්මේය. එම මනුෂ්‍ය ඝාතනයට අදාළව ඔහුට එරෙහිව චෝදනා එල්ල වී උසාවියට නොපැමිණීම මත අධිකරණය ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කළ විට ඔහුට සැඟවීමට උපදෙස් දී තිබුණේ අගවිනිසුරුවරයාය. වරෙන්තු කර සැඟවී සිටියදී පිළියන්දල පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සෙලියුලර් දුරකතනයෙන් අගවිනිසුරු අමතන්නට උත්සාහ කළ අතර පොලීසිය එය වැළකූ විට ඔහු සමග එහි සිටි කිංග්ස් පාර්ක් හෝටලයේ අයිතිකාරිය පොලීසිය ඉදිරියේම අගවිනිසුරුවරයා අමතා පොලීසිය රෝහණ කුමාර අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්නාය. වරෙන්තුවක් තිබියදී සැඟවී සිටියේ ඇයිදැයි ප්‍රශ්න කළ විට ඔහු පොලීසියට ප්‍රකාශ කර තිබුණේ අගවිනිසුරුගේ උපදෙස් පරිදි ටික කාලයකට සැඟවුණු බවය. එම නඩුවෙන් ඇප ලබාගැනීමෙන් පසුව මිනීමැරුම් නඩුවක චූදිතයකු වී සිටියදීත් ඔහු අගවිනිසුරු ඇසුරු කළේය. තරුපහේ හෝටලයක නීති උපදේශක ආයතනයක් පවත්වාගෙන ගියේය. අගවිනිසුරු සරත් නන්ද සිල්වාගෙන් ලැබී තිබුණු අනුග්‍රහය නිසා අධිකරණ අමාත්‍යාංශයේ ලාංඡනය යෙදූ නිල වාහනයක් පාවිච්චි කරමින් අධිකරණයේ සමහර විනිසුරුවරුන් සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන යෑමේ හැකියාව ඔහුට ලැබී තිබුණේය. ඔහු පවත්වාගෙන ගිය නීති උපදේශක ආයතනය මගින් කළේ බරපතළ චෝදනාවලට නඩු ඇති අයගේ නඩුවලට මැදිහත්කරුවකු ලෙස ක්‍රියාකරමින් මුදල් ඉපැයීමය. ඒ සමග ඔහු තමන්ගේ අපරාධකාරී වැඩකටයුතු අත්නොහැර ඉදිරියට ගෙන ගියේය. යුද්ධය පැවති කාලයේදී සීනි ආනයනයේ යෙදෙන ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් මරා දැමුවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබෙන කරුණු අනුව එම පැහැර ගැනීම සඳහා ඔහු යොදාගෙන තිබුණේද පේරාදෙණිය මල්වත්ත ඝාතනය සඳහා යොදාගත් පුද්ගලයාමය. එය අගවිනිසුරු ධුරයේ සිටි සරත් නන්ද සිල්වාගේ නීචභාවය පෙන්නුම් කිරීම සඳහා ඉදිරිපත් කළහැකි නිදර්ශන ගණනාවක් අතුරින් එකක් පමණය. එහෙත් මොනම ආණ්ඩුවකටවත් එම ගරු කටයුතු තනතුරේ ගෞරවයට හානි කළ සරත් නන්ද සිල්වා එම තනතුරෙන් පහකිරීමට අවශ්‍ය නොවීය. එහිදී ආණ්ඩු දෙකම වැදගත් කොට සලකන ලද්දේ ඔහු අතින් සිදුවී තිබුණු බරපතළ වැරදි නොව ඔහු නිසා අධිකරණයෙන් ලැබුණු සහයෝගයයි.

ඉන්පසු අගවිනිසුරු ධුරයට පත්වන අශෝක සිල්වාද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මගින් අවශ්‍ය තරම් ලකුණු නැතිව සිටි සිය දියණිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළු කරවා ගත්තේය. එම මූලික අයිතිවාසිකම් පෙත්සම්කාරිය කාගේ කව්ද යන්න පෙත්සම විභාග කළ රජතුන්කට්ටුව නොදැන සිටියා විය නොහැකිය. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් කර තිබුණු අතර නීති පීඨයට ඇතුළුවීමට අවශ්‍ය තරම් ලකුණු නැතිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ඒ අරමුණ කූට ලෙස ඉටුකරගත් පෙත්සම්කාරිය කාගේ කව්ද යන්න එම උපකුලපති සේ ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිද දැන සිටියේය. ඇත්ත වශයෙන් ඒ දෙදෙනා ඒ අවස්ථාවේදී කළයුතුව තිබුණේ පෙත්සම්කාරියගේ පියාට එරෙහිව ජනාධිපතිට හා පාර්ලිමේන්තුවට පැමිණිලි කිරීමය.

මෙම නිදර්ශන දෙකෙන්ම පෙන්නුම් කෙරෙන්නේ මෙම දූෂිත හා දුෂ්ට දේශපාලන ක්‍රමය තුළ බලයට පත්වන හැම ආණ්ඩුවකටම අගවිනිසුරු වැනි උසස් නිලතලවලදී වැදගත්වන්නේ එම පුද්ගලයා එම නිලයේ ගෞරවයට හේතුවන සුදුසුකම් ඇති පුද්ගලයෙකුද නැද්ද යන ප්‍රශ්නය නොව, පැවැත්ම මොනතරම් නීච වුවද පක්ෂපාතීත්වය වඩා වැදගත් කොට සැලකෙන බවය. තීරණාත්මක වැදගත්කමක් ඇති මර්මස්ථානයක සිටින පුද්ගලයෙකු කොතරම් බරපතළ වැරදි කළද මෙම නීච දේශපාලන ක්‍රමය තුළ ආණ්ඩුවලට එය වැදගත් ප්‍රශ්නයක්වන්නේ නැත. මොන හේතුවක් නිසා හෝ ඔහු ආණ්ඩුව කෙරෙහි පවත්වාගෙන යායුතු අවිවේචනාත්මක පක්ෂපාතීත්වය අත්හරින මොහොතේ සිට ඔහු තනතුරේ සිටියදී කළ හා නොකළ වැරදි ඔහු තනතුරෙන් පලවා හැරීම සඳහා ප්‍රයෝජනයට ගත්තේය. එම බිහිසුණු හා විනාශකාරී ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයෑමට සමාජය ඉඩදිය යුතු නැත.