අර්බුදයේ තවත් වැදගත් පැතිකඩක්

October 28, 2012
Publication:
Ivan argues that the courts, which should protect citizens from abuse of power, have also helped create the crisis. After Neville Samarakoon, Justice Mark Fernando tried to carry forward a creative tradition of fundamental-rights jurisprudence until the Kumaratunga era drove him out; Ivan recounts long conversations with him after his retirement about the 1978 constitution, which Fernando helped draft with Sarath Coorey and A.J. Wilson. Citing Sarath N. Silva's near-confession over the Helping Hambantota case and Ranil Wickremesinghe on crossovers, he argues that the courts have distorted the law, and that the bureaucracy and the rich who control governments share the blame with politicians.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ අධිකරණයක් වෙත පැවරෙන කාර්යභාරය ඉතාමත් සුවිශේෂය. මහජනයා පීඩාවට පත්කරන අත්තනෝමතික පාලනයකට ඉඩ නොදෙමින්, මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන රැකවල් දූතයා ලෙස ක්‍රියාකළයුත්තේ අධිකරණයයි. 78දී ගොඩනගන ලද එම අවිධිමත් හා අවලස්සන දේශපාලන ක්‍රමය සකස් කර තිබෙන්නේම අධිකරණයට එම අරමුණ වෙනුවෙන් උපරිම ක්‍රියාකාරීත්වයකට ඉඩ නොලැබෙන ආකාරයටය. අධිකරණ ක්‍රමයක තිබිය යුතු ස්වාධීනත්වය හා ගෞරවය පිළිබඳව බලවත් හැඟීමක් විනිශ්චයකරුවන් තුළ නැතිකමද බලතුලනයේ තිබෙන මෙම අසමතුලිතතාව වර්ධනය කරන වැදගත් හේතුවක් වී තිබේ.

මාර්ක් ප්‍රනාන්දු

නව දේශපාලන ක්‍රමයක් ඇතිකිරීමත් සමග එළැඹෙන මුල් කාලයේ අගවිනිසුරු නෙවිල් සමරකෝන්ගේ අධිකරණ පාලන යුගය තුළ ආණ්ඩුක්‍රමය විසින් අධිකරණයට පනවා තිබෙන බරපතළ සීමාවන් තිබියදී පවා අධිකරණය ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේය. නෙවිල් සමරකෝන් විසින් ආරම්භ කරන ලද එම සම්ප්‍රදාය සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්වන තෙක්ම පවත්වාගෙන යෑමට අධිකරණය අඩු වැඩි වශයෙන් සමත් වීයැ”යිද කිව හැකිය.

නෙවිල් සමරකෝන්ගෙන් පසු එම සම්ප්‍රදාය ඉතා බලවත් හා නිර්මාණාත්මක ලෙස ඉදිරියට ගෙන යන්නට උත්සාහ කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය මාක් ප්‍රනාන්දුය. එළිපිට සිදුවූ ඡන්ද මංකොල්ලයක් ලෙස සැලකිය හැකි වයඹ පළාත් සභා ඡන්දයෙන් පසුව මූලික අයිතිවාසිකම් පෙත්සමක් පාදක කොටගනිමින් මාර්ක් ප්‍රනාන්දු විනිශ්චයකාරවරයා පොලිස්පතිවරයාට දෙන ලද නියෝග මත ඉන්පසු පැවති පළාත් සභා මැතිවරණ තුනක් අධිකරණයේ අනියම් අධීක්ෂණය යටතේ පවත්වන ලදි. එකම අවස්ථාවකදී පවත්වන ලද එම මැතිවරණ තුන විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු නිදහස් හා සාධාරණ තත්ත්වයක පැවති එකම මැතිවරණය ලෙස සැලකිය හැකිය. වෙනදා මැතිවරණ කොමසාරිස්වරයාට අවනත නොවන රාජ්‍ය මාධ්‍ය ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතන මැතිවරණ නීති අකුරටම රකින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ආණ්ඩුක්‍රමය විසින් පනවන ලද බරපතළ සීමාසහිතකම් තිබියදීත් යහපත් ආණ්ඩුකරණයක් සහතික කිරීම සඳහා අධිකරණයට ඉටු කළහැකි කාර්යභාරයේ තරම ඉන් පෙන්නුම් කළේය.

මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා එහිදී අනුගමනය කළ පිළිවෙත ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ බලවත් සැකයටද කෝපයටද හේතුවිය. ඇයට අවශ්‍ය වූයේ යහපත් ආණ්ඩුකරණයකට බලපෑම් කරන හා ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අධිකරණයක් නොව විධායකය කරන සියලු ක්‍රියා අනුමත කරන විධායකයට ගැතිකම් කරන අධිකරණයකි. ජී.පී.එස්. ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ජේ‍යෂ්ඨත්වය අනුව එම තනතුරට පත්විය යුතුව තිබුණේ මාර්ක් ප්‍රනාන්දුය. ඒ තත්ත්වය වළකා තමන්ට අවශ්‍ය ලෙස ක්‍රියාකරන පුද්ගලයකු එම තනතුරට ගැනීමට ඇයට අවශ්‍ය වූ අතර ඒ සඳහා ඇය තෝරාගත්තේ ඇගේ විශ්වාසයට හේතුවූ නීතිපති ධුරයේ සිටි සරත් නන්ද සිල්වාය. ඒ මොහොත වන විට මා විසින් හා රසායන ඉංජිනේරුවකු විසින් නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව දූෂණ චෝදනා යටතේ කරන ලද පැමිණිලි දෙකක් මත ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව පරීක්ෂණ දෙකක් ආරම්භ කොට එය පවත්වාගෙනයමින් තිබුණි. ජනාධිපතිනිය ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන ලද්දේ එයද නොසලකාය. ඔහු, ජනාධිපතිනිය ඔහුගෙන් අපේක්ෂා කළ අරමුණ අකුරටම ඉටු කළේය. අධිකරණය විධායකයට අවනතව ක්‍රියාකරන හා විධායකය කරන ඕනෑම ක්‍රියාවකදී විධායකය ආරක්ෂා කරන තැනකට ඔහු අධිකරණය ගෙනාවේය.

ඉන්දියාවේ කීර්තිමත් හිටපු අගවිනිසුරුවරයකු වන භගවතී මහතා කිසියම් අවස්ථාවකදී ප්‍රකාශ කර තිබෙන ආකාරයට නීතියට අනුකූලව නිර්මාණාත්මක ලෙස නඩු තීන්දුදීමේ හැකියාව ඇති ආසියාවේ දක්ෂ විනිසුරුවරුන් දසදෙනා අතර මාර්ක් ප්‍රනාන්දු ද සිටියේය. අගවිනිසුරු ධුරයට පත්වීමට ඔහුට ඉඩ ලැබුණේ නම් ආණ්ඩුකරණ ක්‍රියාවලිය මෙතරම් අවලස්සන තත්ත්වයකට පත් නොවන්නට ඉඩ තිබුණු අතර අධිකරණයේ ගුණාත්මක අගයද මීට වඩා උසස් තත්ත්වයකට පවතින්නට ඉඩ තිබුණි. එම ප්‍රශ්නය අවසන් වූයේ මාර්ක් ප්‍රනාන්දු මහතා සිය විශ්‍රාම කාලය එළැඹීමට ප්‍රථම සිය කැමැත්තෙන් විශ්‍රාම යෑමෙනි.

විශ්‍රාම යෑමෙන් පසු එක් අවස්ථාවකදී තනිවද තවත් අවස්ථාවකදී කිහිපදෙනකු සමගද ඔහු හා දීර්ඝ කතාබහක යෙදීමේ අවස්ථාව මට ලැබුණි. මට ඔහුගෙන් පැහැදිලි කරගැනීමට වැදගත් ප්‍රශ්න දෙකක් තිබුණි. එක ප්‍රශ්නයක් වූයේ දූෂණ චෝදනාව මත ශ්‍රේෂ්ඨාධිකරණය සරත් සිල්වාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අවස්ථාවක එම පරීක්ෂණයේ වගඋත්තරකරුවාව සිටි පුද්ගලයා ජනාධිපතිනිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණු අවස්ථාවේදී එම පත්කිරීම අවලංගු කිරීමේ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට තිබුණේද යන්න ගැනය. ඒ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබුණු බව ඔහුගේ මතය විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් විශාල බහුතරයක් එම පත්වීම අනුමත නොකළද එම තත්ත්වය වැළකීමට ඔවුන් එකට එකතු වී ක්‍රියාකරන තැනකට නොගිය බවද, එම තනතුරට පත්වීමේ අයිතිය තිබූ පුද්ගලයා තමාවීම හේතු කොටගෙන එහිදී නිශ්ශබ්දව බලා සිටිනවා හැර එම තත්ත්වය වළකන ක්‍රියාමාර්ගයක නිරතවීමේ සදාචාරමය අයිතියක් තමන්ට නොතිබුණු බවද ඔහු කියා සිටියේය.

මාගේ දෙවැනි ප්‍රශ්නය වූයේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළවය. එම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී ආචාර්ය සරත් කුරේ හා ආචාර්ය ඒ.ජේ. විල්සන් සමග මාර්ක් ප්‍රනාන්දුද ව්‍යවස්ථා උපදේශකයකු ලෙස ක්‍රියාකර තිබුණි. රාජ්‍ය නායකයාට රාජ්‍යයේ සකලවිධ බලය ලබාදී ඔහු නීතියටද ඉහළින් තබන අවලස්සන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ඔහු වැනි පුද්ගලයෙකු දායකයක වූයේ කෙසේද යන්න මා නගන ලද ප්‍රශ්නය විය. ඒ වනවිටත් ඔහුද ඔහුගේද දායකත්වයෙන් ගොඩනගන ලද ව්‍යවස්ථාවේ රුදුරු ගොදුරක් බවට පත්ව සිටියේය. ඔහු ඊට දෙන ලද පිළිතුර ප්‍රශස්ත තත්ත්වයක නොතිබුණි. ව්‍යවස්ථාවේ බරපතළ වැරදි හා අඩුපාඩු තිබෙනවා විය හැකි වුවත් අධිකරණය මගින් මහජනයාගේ යහපතට හේතුවන ලෙස ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම මගින් ඒ වැරදි හා අඩුපාඩු වළකාගත හැකි බව ඔහුගේ මතය විය. ඔහු කියන ආකාරයට ඒ මගින් කිසියම් ප්‍රමාණයක තුලනයක් ඇති කිරීමේ හැකියාව තිබුණද රාජ්‍ය පාලනයේදී ව්‍යවස්ථාව ඇති කර තිබෙන අවුල ඒ මගින් පමණක් ජයග. හැකියැ”යි සිතිය නොහැකිය.

නීති සම්පාදනය හා අර්ථ නිරූපණය

නීති සම්පාදනය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට හෙවත් දේශපාලනතන්ත්‍රයටය. නීති අර්ථ නිරූපණය කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට හෙවත් උසස් අධිකරණයේ නිලධරතන්ත්‍රයටය. නීති සම්පාදකයන් පොදු යහපත නොසලකා මූලික නීතිය ඇතුළු වෙනත් නීති සම්පාදනය කර තිබෙනවා සේ ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොදු යහපතට හේතු නොවන ලෙස වැරදි ලෙස නීතිය අර්ථ නිරූපණය කරන ලද අවස්ථාද කොතෙකුත් පවතී.

අපට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා හෙල්පින් හම්බන්තොට පරීක්ෂණය ගැන කර තිබෙන පාපෝච්චාරණයක් බඳු ප්‍රකාශයෙන් ඒ ගැන කරන විමසීම ආරම්භ කළ හැකිය. දැන් ඔහු කියන්නේ එම පරීක්ෂණය ඉදිරියට යන්නට ඉඩ දුන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයට පත්වීමට කිසිදු ඉඩක් නොතිබුණු බවය. එම තත්ත්වය වළකන ලද්දේ තමා විසින් බවත් ඒ ගැන තමා කනගාටු වන බවත්ය. එයින් පෙනෙන්නේ ඔහු අධිකරණයේ ප්‍රධානියා වශයෙන් ඔහුට තිබුණු අධිකරණ බලය පක්ෂග්‍රාහී අරමුණක් සඳහා නීතියට පටහැනිව පාවිච්චි කර තිබෙන බවය. එය ඔහු පක්ෂග්‍රාහී ලෙස හා නීතියට පටහැනිව දෙන ලද එකම තීන්දුව ලෙස සැලකිය නොහැකිය. ඔහු එවැනි, නීතියට අනුකූල නොවන පක්ෂග්‍රාහී තීන්දු, දුසිම් ගණනාවක් දී තිබෙන්නේයැ”යි කිව හැකිය.

මේ මෑත දිනක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේ කියා සිටියේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීකම් අහිමි කර නොගෙන ආණ්ඩු පක්ෂයට එකතුවීමේ ක්‍රමයක් ඇති කර දුන් පුද්ගලයා සරත් නන්ද සිල්වා බවය. ඉන්ද පෙනෙන්නේ රටේ නීතිය අවුල් කිරීමට හා දූෂිත කිරීමට ක්‍රියාකර ඇත්තේ නීති සම්පාදකයන් ලෙස ක්‍රියාකරන දේශපාලනතන්ත්‍රය පමණක් නොවන බවය. නීතිය අර්ථ නිරූපණය කිරීමේ බලය ඇති ශ්‍රේෂ්ඨාධිකරණය හෙවත් උසස් අධිකරණයේ නිලධරතන්ත්‍රයද එසේ කර තිබෙන බවය. ඉන් පෙනෙන්නේ රටේ තිබෙන අවුලට වගකිවයුත්තේ දේශපාලනතන්ත්‍රය පමණක් නොවන බවය. නිලධරතන්ත්‍රයද ඊට හරි හරියට වගකිව යුතු බවය. දේශපාලනතන්ත්‍රය ආත්මාර්ථකාමී ලෙස නීති සම්පාදනය කරන විට උසස් අධිකරණයේ නිලධරතන්ත්‍රය ආත්මාර්ථකාමී ලෙස නීතිය අර්ථ නිරූපණය කරන තත්ත්වයක් තුළ රටේ නීතිය අවුල් ජාලාවක් බවට පත්ව ඇතැයි කිව හැකිය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හෙවත් දේශපාලනතන්ත්‍රය නීති සම්පාදනය කරන විට උසස් අධිකරණයේ නිලධාරීන්ද නීතිය අර්ථ නිරූපණය කිරීම මගින් නීති සම්පාදන ක්‍රියාවලියට වෙනත් ආකාරයකින් දායක වෙති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීකම් අහිමි කරගැනීමෙන් තොරව මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කළ නොහැකිය. එහෙත් භාවිතයේදී විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් මන්ත්‍රීකම් අහිමි කරගැනීමෙන් තොරව ආණ්ඩු පක්ෂයට එකතු වෙති. ඉන් පෙනෙන්නේ ඇතැම් අවස්ථාවලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන විධි විධාන ඉක්මවා ගිය බලයක් අර්ථ නිරූපණයන් හිමි කරගෙන තිබෙන බවය. ඉන් පෙනෙන්නට තිබෙන තවත් වැදගත් කරුණක් වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත්තේ දේශපාලනඥයන් පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂකයා ලෙස ක්‍රියා කරන ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථා තිබෙන බවය. එහෙත් එම විෂය ගැන කෙරෙන විවරණ හා විචාරවලදී විචාරකයන්ගේ මුළු අවධානය යොමුවී තිබෙන්නේ දේශපාලනඥයන් අතින් සිදුවන උල්ලංඝනය කිරීම් ගැන පමණය. ශ්‍රේෂ්ඨාධිකරණය අතින් සිදුවී තිබෙන උල්ලංඝනය කිරීම් ගැන කිසිදු අවධානයක් යොමුවී නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේදී දේශපාලනඥයන් අතින් සිදුවන උල්ලංඝනය කිරීම්වලට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂාව භාරව ක්‍රියාකරන ශ්‍රේෂ්ඨාධිකරණය අතින් සිදුකැරෙන උල්ලංඝනය කිරීම් සැලකියයුත්තේ වඩා බරපතළ හා බිහිසුණු වැරදි ලෙසය.

නීතිය අර්ථ නිරූපණය කිරීමේදී නීතිය විකෘති කිරීමට හේතුවී තිබෙන අවස්ථා මොනවාද? ඒවාහි ප්‍රමාණය, ස්වභාවය හා ගුණය කුමක්ද? ඒ වැරදි නිවැරදි කරගත යුතුව තිබෙන්නේ කෙසේද? නැවත එවැනි වැරදි සිදුවීමට ඉඩ නැති තත්ත්වයක් ඇති කළහැක්කේ කෙසේද? ඒවා මේ විෂයේදී අවධානයට යොමුවිය යුතු මූලික ප්‍රශ්න කිහිපයක් ලෙස සැලකිය හැකිය.

වඩා වැරදි කවුද?

ඉන්ද පෙනෙන්නේ මේ රටේ පිස්සු නටන තත්ත්වයකින් ක්‍රියාකර ඇත්තේ දේශපාලනතන්ත්‍රය පමණක් නොවන බවය. නිලධරතන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයද ඊට වෙනස් නොවන බවය. මෙය මේ අංශ දෙකට පමණක් සීමාවූ තත්ත්වයක් නොව පොදුවේ හැමතැනකම පාහේ දක්නට තිබෙන තත්ත්වයකි. ඉන් පෙනෙනුයේ කුණුවීම එක තැනකට හෝ එක අංශයකට සීමාවී නැති බවය. පොදු හැම තැනකටම හා හැම අංශයකටම බලපා තිබෙන බවය.

කුමන පක්ෂයක් බලයට ආවද එසේ බලයට පත්වන ආණ්ඩු අනියම් ලෙස පාලනය කිරීමේ විශේෂ බලයක් හිමි කරගෙන සිටින ධනවතුන් දස දෙනකුගෙන් පමණ වන කණ්ඩායමක් රටේ සිටින්නේය. ඔවුන්ට දැන් කර්මාන්ත හා වෙළෙඳ ව්‍යාපාර ඇතත් ඔවුන් ලොකු ධනවතුන් බවට පත්වූයේ එම ව්‍යාපාරවලින් උපයන ලාභවලින් නොව වෙනත් අසම්මත මාර්ගවලින් උපයා ගත් ධනයෙනි. ඔවුන් අපේ රටේ සිටින ලොකුම කළු සල්ලිකාරයන් ලෙසද සැලකිය හැකිය. මෙම ධනවතුන් පිරිස හා දේශපාලනතන්ත්‍රය අතර තිබෙන අන්තර් සම්බන්ධය ප්‍රකටය. පක්ෂ භේදයකින් තොරව දේශපාලනතන්ත්‍රය මැතිවරණවලදී ලොකු අරමුදල් ලබාගන්නේද ඔවුන්ගෙනි. එසේ ලබාගන්නා අරමුදල් බලයට පත්වන්නන් ආපසු ගෙවන්නේ පොදු දේපළවලිනි. මැති ඇමතිවරුන් පමණක් නොව රාජ්‍ය නායක නායිකාවන්ද අල්ලේ නැටවීමේ හැකියාව ඔවුන් සතුය.

මෙහි විචාරකයන්ගේ අවධානය යොමුවී නැති තවත් වැදගත් පැත්තක් ඇත්තේය. මේ ගණයට වැටෙන සල්ලිකාරයන් බොහෝ දෙනෙක් විවිධ අවස්ථාවලදී විවිධ චෝදනා යටතේ අධිකරණය ඉදිරියට ගොස් තිබීමය. සමහරවිට ඔවුන්ට එල්ල වී තිබුණු චෝදනා ඉතාමත් බරපතළය. එවැනි අය සම්බන්ධයෙන් අධිකරණය කෙබඳු ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබේද යන්න සොයා බැලුවහොත් ලැබෙන ප්‍රතිඵලය විශ්මයජනක වනු නොඅනුමානය. එවැනි අයගේ නඩු සම්බන්ධයෙන් ලබාදී තිබෙන තීන්දු විමර්ශනයට ලක් කළහොත් සමහර නඩු තීන්දු පක්ෂග්‍රාහීව හා නීතියට පටහැනිව ලබාදී තිබෙන නඩු තීන්දු බව පහසුවෙන්ම හඳුනාගත හැකිය. මාගේ එම නිරීක්ෂණය නිවැරදි නම් මේ ගණයට වැටෙන ධනවතුන් ස්ථරය ආරක්ෂා කිරීමට දේශපාලනතන්ත්‍රය පමණක් නොව අධිකරණයද දායක වී ඇතැයි කිව හැකිය.

මා පෙන්වාදීමට උත්සාහ කරන්නේ මෙම අවුලට වගකිවයුත්තේ දේශපාලනතන්ත්‍රය පමණක් නොවන බවය. නිලධරතන්ත්‍රයද ඊට වගකිව යුතුය. දේශපාලනතන්ත්‍රය හා නිලධරතන්ත්‍රය අතර තිබෙන වෙනසද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. 77න් පසු ගොඩනැගෙන දේශපාලන සන්දර්භය තුළ දේශපාලකයන් සැලකිය හැක්කේ ජාතික දේහයට වැදී එහි සාරය උරාබොන පරපුටුවන් විශේෂයක් ලෙසය. එහෙත් ඔවුන් මහජනයා විසින් තෝරාපත් කරගන්නා පිරිසක් බවද අමතක නොකළ යුතුය. දේශපාලනඥයන් මඳ සුළඟ මෙන් පැමිණ සැඩ සුළඟ මෙන් ආපසු යති. මහජනයාට අවශ්‍ය නම් වැරදි කරන දේශපාලනඥයන් මැතිවරණවලදී පරාජය කොට ඔවුන් ගෙදර යැවිය හැකිය.

එහෙත් නිලධරතන්ත්‍රය ඊට වෙනස්ය. ඔවුන් දේශපාලනඥයන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලැබූ අය වෙති. ඔවුන්ගේ පෙනුම ගාම්භීරය. අඳින්නේ මන්ත්‍රී ඇඳුම නෙවාව ටයි කෝට්ය. කතා කරන්නේ ඉංග්‍රීසියෙනි. ඔවුන් මහජනයා තෝරාපත් කරන පිරිසක් නොවේ. ඔවුන් ගෙදර යැවීමේ බලයක් මහජනයාට නැත. ඔවුන් දේශපාලනඥයන් මෙන් තාවකාලික නොවන ස්ථිර සාර ප්‍රපංචයක් වේ. විශ්‍රාම යන තෙක් ඔවුහු සේවය කරති. ඒ අර්ථයෙන් නිලධරතන්ත්‍රයෙන් සිදුවන වැරදි දේශපාලනතන්ත්‍රයෙන් සිදුවන වැරදිවලටත් වඩා බරපතළ ලෙස සැලකිය යුතුය.

මා මේ මගින් උත්සාහ කරන්නේ දේශපාලනතන්ත්‍රය කෙරෙහි සානුකම්පිත ආකල්පයක් ඇති කිරීමට නොවේ. එහෙත් මෙම අර්බුදය දේශපාලනතන්ත්‍රයට පමණක් සීමාවූ දෙයක් නොවන බව පෙන්වා දෙන්නටය. මෙය එක තැනකට හෝ දෙතැනකට පමණක් සීමාවූ පිළිකාවක් නොව සමාජ-ආර්ථික හා දේශපාලන දේහයේ හැම තැනකම පැතිරී තිබෙන පිළිකාවකි. එය සරල විසඳුම්වලින් හෝ ප්‍රතිසංස්කරණවලින් ජයගත හැකි තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. පිළිකාව පැතිරී තිබෙන ප්‍රමාණය අනුව රෝගියා සිටින්නේ ශල්‍යකර්මයකින් පවා ගොඩ දැමිය නොහැකි තත්ත්වයකය. ඒ අනුව සිදුවිය හැක්කේ මුළු ක්‍රමයේම ස්වාභාවික කඩා වැටීමක් ඇතිවීමය. එය බොහෝ ප්‍රමාද වී නොව ඉක්මනින් සිදුවිය හැකි දෙයකි. එම සන්දර්භය තුළ බලයේ රැඳී සිටින්නට දරන උත්සාහයන් සේ ම බලය උදුරා ගැනීමට දරන උත්සාහයන්ද කිසිදු අර්ථයක් නැති දේවල් බවට පත්විය හැකිය.