දැන් ගෝලීයකරණය වශයෙන් හැඳින්වෙන ක්රියාදාමයට හේතුවී තිබෙන සුපිරි තාක්ෂණ විප්ලවය ගැනද, එය සිදුවෙමින් තිබෙන වේගය ගැනද එය ශිෂ්ටාචාරය කෙරෙහි ඇති කරමින් තිබෙන බලපෑම ගැනද එම ක්රියාදාමයේ ආරම්භක අවධියේම කදිම පොත් දෙකක් ලියා තිබෙන එල්වින් ටොෆ්ලර් 1970දී පළ කළ ඔහුගේ දෙවැනි කෘතියේ (Feture Shock) සිදුවෙමින් තිබුණු එම තාක්ෂණ විප්ලවය තුළ ජීවත්වන වර්තමාන මිනිසා හඳුන්වා තිබුණේ 800 වැනි මිනිසා වශයෙනි. මාගේ මේ ලිපියේ එන 801 වැනි මිනිසා පිළිබඳ අදහස ටොෆ්ලර්ගේ 800 වැනි මිනිසා පිළිබඳ සංකල්පය ආශ්රයෙන් ඇති කරගත්තක් වන නිසා ඔහුගේ 800 වැනි මිනිසා පිළිබඳ අදහස කෙටියෙන් විස්තර කිරීම සුදුසුය.
800 වැනි මිනිසා
ටොෆ්ලර් වර්තමාන මිනිසා 800 වැනි මිනිසා ලෙස සලකන විට ඒ සඳහා වන ගණන් බැලීම ඔහු කර තිබෙන්නේ දඩයම් යුගයේ සිට වර්තමානය දක්වා වන මිනිස් වර්ගයාගේ ඉතිහාසය අවුරුදු 50,000ක් ලෙස සලකා හා මිනිසකුගේ සාමාන්ය ආයු කාලය වසර 62ක් ලෙස සලකා අවුරුදු 50,000 සාමාන්ය ආයු කාලයෙන් බෙදීමෙනි. එම සන්තතියේ පෝලිමේ සිටින 800 දෙනාගෙන් 650 දෙනකුම ගෙවී ගිය අවුරුදු 50,000න් 40,000ක්ම ගෙවා ඇත්තේ ගල්ගුහාවලය. ඔවුන්ගේ ජීවිකාව වී තිබුණේ දඩයමය. ඉන්පසු කර්මාන්ත විප්ලවය ඇති වන තෙක් අවුරුදු 9800ක පමණ කාලයක් සතුන් ඇති කරමින් හා ගොවිතැන් කරමින් කෘෂිකාර්මිකයන් ලෙස ජීවත් විය. ඉන්පසු දැන් සිදුවෙමින් තිබෙන සුපිරි තාක්ෂණ විප්ලවය ඇතිවීම තවත් අවුරුදු 200ක් පමණ කාලයක් ගතවිය. ඔහු මෙම ඓතිහාසික සංසිද්ධීන් තුන සලකා ඇත්තේ මිනිස් ශිෂ්ටාචාරයේ ඇතිවූ ලොකුම විප්ලව තුන වශයෙනි.
පළමු විප්ලවය ඇතිවීමට අවුරුදු 40,000ක් තරම් දීර්ඝ කාලයක් ගතවූ බවත් එම දීර්ඝ කාලයේ බරපතළ වෙනස්කම්වලින් තොරව ඒකාකාරී ජීවිතයක් ඔවුන්ට ගතකරන්නට එම යුගයට අයත් මිනිසුන්ට සිදුවී තිබුණු බවත්, දෙවැනි විප්ලවයේ කාලපරාසය ඊට වඩා කෙටි වුවද ඔවුන්ටද අවුරුදු 9800ක් පමණ ඒකාකාරී කෘෂිකාර්මික ජීවිතයක කල් ගෙවන්නට සිදුවූ බවත්, තුන්වැනි විප්ලවයේ කාලපරාසය අවුරුදු 200ක් තරම් කෙටි වූ බවත් එම විප්ලවය මිනිස් ජීවිතයේ මීට පෙර කවදාවත්ම සිදු නොවූ තරමේ දැවැන්ත වෙනස්කම් ඇතිකිරීමට හේතුවී තිබෙන බවත් ඔහු කියයි.
ඔහුට අනුව මිනිසුන් දියුණු හා නවීන වී ඇත්තේ ඉතා මෑතකදීය. එක ජීවිත කාලයකින් පසුව තවත් ජීවිත කාලයකට බලපාන ආකාරයට අදහස් පළකිරීමේ හැකියාව ලැබුණේ ලිඛිත භාෂා ඇති කරගැනීමෙන් පසුවය. මුද්රිත අකුරුවලින් වැඩ කිරීමේ හැකියාව ආරම්භවන්නේ 794 වැනි මිනිසාගේ සිටය. විධිමත් ලෙස කාලය නිර්ණය කිරීමේ හැකියාව හිමිකර ගත්තේ 796 වැනි මිනිසාගේ සිටය. විදුලි මෝටරයකින් ක්රියාකරන භාණ්ඩ පරිහරණය ආරම්භ වූයේ 798 වැනි මිනිසාගේ සිටය. වර්තමානයේ මිනිසුන් පරිහරණය කරන භාණ්ඩවලින් වැඩි ප්රමාණයක් නිපදවා ඇත්තේ 800 වැනි මිනිසාගේ කාලයේදීය. ගෙවී ගිය අවුරුදු 49,900ක කාලයක් තුළ සිදුවී තිබෙන වෙනස්කම්වලට වැඩි වෙනස්කම් ප්රමාණයක් 800 වැනි මිනිසාගේ කාලය තුළ සිදුවී තිබේ. එම අවුරුදු 49,900 තුළ සොයාගත් නිපයුම් ප්රමානයට වැඩි නිපයුම් ප්රමාණයක් 800 වැනි මිනිසාගේ කාලය තුළ නිපදවා තිබේ. පැරණි කාලයේ සොයාගැනීමත් ප්රායෝගිකව ක්රියාත්මකවීමට දීර්ඝ කාලයක් ගත්තේය. සමහරවිට එය ශතවර්ෂයක් හෝ දශක ගණනක් විය හැකිය. එහෙත් 800 වැනි මිනිසාගේ කාලයේදී හැම සොයාගැනීමක්මත් වහාම ක්රියාත්මක වන තත්ත්වයක් පවතී.
ගෝලීයකරණය
ගෝලීයකරණය ටොෆ්ලර් විස්තර කරන සුපිරි තාක්ෂණ විප්ලවයේ ප්රතිඵලයක් ලෙස සැලකිය හැකිය. පැරණි ලෝකයේ තිබුණු දුරස්තබව නැතිවීම ගෝලීයකරණයේ ප්රධානම ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. සැතපුම් දහස් ගණනක් දුර රටකට වුවද ඉක්මනින් ළඟාවිය හැකි ආකාරයට මගී ගමනාගමන විෂයෙහි මහා වෙනස්කම් ඇතිවී තිබේ. විදුලි සංදේශ විෂයෙහි ඇතිවී තිබෙන මහා වෙනස්කම් නිසා ඉතාම දුරස්තව සිටින පුද්ගලයෙකු සමග පවා වහාම සම්බන්ධවීමේ හැකියාව ලැබී තිබේ. පැරණි ලෝකය තුළ වැදගත් වූයේ ඒ ලෝකය තුළ වෙන් වෙන්ව පැවති රටවල් මිස ඒ සියලු රටවල් ඇතුළත් සමස්ත ලෝකය නොවීය. හැම රටකටම තමන්ට අභිමත ලෙස දේවල් පවත්වාගෙන යෑමේ නිදහස තිබුණි. ජාත්යන්තර වෙළෙඳාමක් තිබුණද වඩා වැදගත් කොට සැලකුණේ දේශීය වෙළෙඳපොළ සඳහා කරන වෙළෙඳාම් හා නිපදවීම්ය. රැකියා වෙළෙඳපොළේදීද ප්රධාන කොට සැලකුණේ දේශීය රැකියා වෙළෙඳපොළය. ජාත්යන්තර නීතිය කියා දළ දෙයක් තිබුණද හැම රටක්ම උත්තරීතර නීතිය ලෙස සැලකුණේ දේශීය නීතියයි. දේශීය ස්වාධිපත්යය හැම රටකටම හිමි අනුලංඝනීය අයිතියක් ලෙස සැලකුණි.
800 වැනි මිනිසාගේ කාලයේ සිදුවෙමින් තිබෙන සුපිරි තාක්ෂණ විප්ලවය විසින් රටවල් අතර පැවති හුදකලා බව නැති කොට ලෝකය සමස්තයක් වශයෙන් එකට අනුකලනය කෙරෙන ක්රියාදාමය ශක්තිමත් කර තිබේ. දැන් හැම රටක්ම පාහේ වඩා වැදගත් කොට සලකනුයේ අභ්යන්තර වෙළෙඳාමට වඩා බාහිර වෙළෙඳාමය. රැකී රක්ෂාවලදීද දේශීය රැකියාවලට වඩා විදේශ රැකියාවලට වැඩි වැදගත්කමක් ලැබී තිබේ. විදේශ රටවල රැකියා කරන්නන්ගෙන් උපයන සංක්රාම ආදායම හැම රටක්ම පාහේ විනිමය ආදායම් උපයන ප්රධාන මාර්ගයක් බවට පත්වෙමින් තිබෙන්නේය. දේශීය ආයෝජනයන්ට සීමා නොවී විදේශීය ආයෝජනයන් වඩා වැදගත් කොට සලකන තත්ත්වයක්ද ඇතිවී තිබේ. විදේශ සංචාරක කර්මාන්තයද විනිමය ආදායම් උපයන වැදගත් මාර්ගයක් බවට පත්වී තිබේ.
801 වැනි මිනිසා
ටොෆ්ලර් කතා කරන්නේ 800 වැනි මිනිසා ගැනය. මා හා මාගේ බිරිඳ කිසියම් විශාල ප්රමාණයකටද දරුවන් ඊට වැඩි ප්රමාණයකටද අයත්වන්නේ 800 වැනි මිනිසාටය. මගේ දෙමාපියන් අයත්වන්නේ 799 වැනි මිනිසාය. මාගේ මුණුපුරන් හා මිණිපිරියන්ද විසි එක්වැනි සියවසේ මුල් කාර්තුවේ උපදින දරුවන් අයත්වන්නේ 801 වැනි මිනිසාටය.
801 වැනි මිනිසාගේ කාලය වන විට ගෝලීයකරණ ක්රියාවලිය හෙවත් ලෝකය සමස්තයක් ලෙස එකට අනුකලනයවීමේ ක්රියාදාමය පරිපූර්ණ තත්ත්වයකට පත්වනු ඇතැයි සිතිය හැකිය. සමාජ-ආර්ථික හා දේශපාලන යන හැම අශයක්මත් දේශීයත්වයට ලැබෙන වැදගත්කම අඩුවී බහු විවිධත්වයකින් යුත් පොදු ලෝක සංස්කෘතියක, ලෝක ආර්තිකයක හා ලෝක දේශපාලනයක කොටස්කරුවන් ලෙස ක්රියාකිරීමට 801 වැනි මිනිසාට සිදුවනු ඇත. ඇතිවන්නට නියමිතව තිබෙන්නේ පුංචි වෙනසක් නොව දැවැන්ත වෙනසකි.
ඊට ගැළපෙන ලෙස අපේ රටේ සමස්ත ආයතන ක්රමයම වෙනස් කළ යුතුව තිබෙන අතර එම පරිවර්තනයට කල්තියා අපේ දූ දරුවන්ද සූදානම් කළ යුතුව තිබේ. ඒ ගැන වැටහීමක් රටට තිබේද? පාලකයන්ට හා දේශපාලකයන්ට තිබේද? වෘත්තීයවේදී බුද්ධිමතුන්ට තිබේද? 801 වැනි මිනිසාගේ ගණයට වැටෙන දරුවන්ගේ දෙමාපියන්ට තිබේද?
මුළුමනින් සාර්ථක තත්ත්වයක නොතිබුණද අධ්යාපනයේදී අපේ ඉලක්කය වූයේ දේශීය සමාජ-ආර්ථික හා දේශපාලන යථාර්ථයන්ට අනුගතවීමට හැකියාවක් ඇති යහපත් පුරවැසියකු තැනීමය. එහෙත් ඒ දර්ශනය අනාගතයට වලංගු නැත. අපි අධ්යාපනයේදී නව යථාර්ථයට ගැළපෙන නව ඉලක්ක ඇති කරගතයුතුය. ඊට ගැළපෙන ලෙස පාසල් අධ්යාපන ක්රමය හා විශ්වවිද්යාල අධ්යාපන ක්රමයද, කාර්මික හා තාක්ෂණ අධ්යාපන ක්රමයද, ඒ සඳහා වන විෂය මාලාද වෙනස් කරගත යුතුය. ගෝලීය සමාජ-ආර්ථික හා දේශපාලන යථාර්ථයන්ට ගැළපෙන එම යථාර්ථයන්ට අනුගතවී සාර්ථක ලෙස ඉදිරියට යෑමේ හැකියාවක් ඇති දේශීයකම මුළුමනින් අමතක නොකළ එහෙත් ගෝලීය පුරවැසියන් ලෙස ක්රියාකිරීමට සූදානම් තරුණ පරපුරක් අපි ඇති කළ යුතුය.
අනාගතයේ රක්ෂා කරන වයසේ ජනගහනයෙන් වැඩි පංගුවක් රක්ෂා කරනු ඇත්තේ අපේ රටේ නොව විදේශ රටවලය. ඔවුන්ගේ උත්පත්තිය ශ්රී ලංකාවේ වුවත් ඔවුන් රැකියා කරනු ඇත්තේද රැකියා කරන කාලයේ ජීවත්වනු ඇත්තේද විදේශ රටවලය. දැනටම ඒ දේ කිසියම් විශාල ප්රමාණයකට සිදුවෙමින් තිබෙන්නේයැ”යිද කිව හැකිය.
සංක්රමණය හා විදේශ රැකියා
දැනටමත් ශ්රී ලංකාවේ වැඩ කරන වයස්වල ජනගහනයෙන් කිසියම් විශාල පංගුවක් රක්ෂා කරන්නේ ශ්රී ලංකාවේ නොව විදේශ රටවලය. නිල සංඛ්යා අනුව විදේශ රටවල රක්ෂා කරන්නන්ගේ සංඛ්යාව ලක්ෂ 18කි. නිල නොවන ආකාරවලට විදේශ රටවලට පලායන්නන්ගේ සංඛ්යාව සැලකිල්ලට ගත්විට එම සංඛ්යාව ඊට වඩා විශාල විය හැකිය. සමාජවාදී ලේබලය අලවා ගත් රටවල් හැරුණු විට රටේ ජනගහනයට සාපේක්ෂව වැඩිම රාජ්ය සේවකයන් සංඛ්යාවක් සිටින රට වන්නේද ශ්රී ලංකාවය. එහි ගණන ලක්ෂ 34කි. රටේ රාජ්ය අංශයේ මුළු සේවක සංඛ්යාව මෙන් ඉන් අඩකටත් වැඩි ප්රමාණයක් දැනටමත් විදේශ රටවල රක්ෂා කරන බව ඉන් පෙනී යයි.
2010 වසරේදී විදේශ රටවල රක්ෂා කරන්නන් නිසා ශ්රී ලංකාව උපයන ලද විදේශ සංක්රාම ආදායම ඩොලර් මිලියන 4116කි. ලොකු ආයෝජන මගින් ගොඩනගා තිබෙන විදේශ සංචාරක කර්මාන්ත අංශයෙන් පවා ඒ වසරේ උපයා තිබුණේ සංක්රාම ආදායමෙන් 14%ක් හෙවත් ඩොලර් මිලියන 576කි. ඒ වසරේ තේ, පොල්, රබර් ඇතුළු මුළු කාර්මික අපනයනයන්ගෙන් උපයන ලද ආදායමද සංක්රාම ආදායමෙන් 41%ක් හෙවත් ඩොලර් මිලියන 1680ක් විය. සංක්රාම ආදායම විශාලත්වයෙන් දෙවැනි වූයේ මුළු කර්මාන්ත අපනයනයන්ගෙන් උපයන ලද ආදායමට පමණය. එය ඩොලර් මිලියන 5305ක් විය. ඉන් 61%ක් හෙවත් ඩොලර් මිලියන 3274ක්ම උපයා තිබුණේ ඇඟලුම් අපනයනයෙනි. ඇඟලුම් කර්මාන්තයෙන් උපයන ආදායමෙන් ආනයනය කැරෙන අමුද්රව්ය වියදම ඉවත් කළ විට උපයන ශුද්ධ විදේශ ආදායම 25%ක් වත් නොවන තරම්ය. ඒ අනුව දැනටමත් විදේශ රටවල සේවය කරන ශ්රී ලාංකිකයින් මගින් ශ්රී ලංකාවට උපයන විදේශ සංක්රාම ආදායම රටට විදේශ විනිමය උපයා දෙන ප්රධාන මාර්ගය බවට පත්වී ඇතැයි කිව හැකිය.
ශ්රී ලංකාවේ එම විශාල ආදායම උපයා තිබෙන්නේ විදේශීය රැකියා ප්රවර්ධනය සඳහා කැරෙන සැලකිය යුතු ආයෝජනයකින්ද තොරවය. ඊට ලැබෙන වැදගත්කම තේරුම් ගනිමින් විදේශ වෙළෙඳපොළට අවශ්ය පුහුණු මිනිසුන් නිපදවන තැනකට යන්නට සමත් වී නම් ශ්රී ලංකාව උපයන විදේශ සංක්රාම ආදායම දෙගුණ තෙගුණ කරගන්නට හැකිවන්නට ඉඩ තිබුණි. එසේ වී නම් ගෘහ සේවා සඳහා මැදපෙරදිග රටවලට තොග ගණනින් කාන්තාවන් යවන ප්රතිපත්තියෙන් ඉවත් වී වැඩි වැටුප් ලැබෙන පුහුණු ශ්රමිකයන් විදේශ රටවල යවන ප්රතිපත්තියකට මාරුවීමේ හැකියාව අපට ලැබෙන්නට ඉඩ තිබුණි.
රටේ අදූරදර්ශීභාවය
රටක් වශයෙන් අප සිටින්නේ 801 වැනි මිනිසා ගැන බැරෑරුම් ලෙස සලකා බලා නැති අදූරදර්ශී තත්ත්වයකය. 801 වැනි මිනිසා නියෝජනය කරන ඊළඟ පරපුරේ අනාගතය යහපත් වනු ඇත්තේ අඩුම වශයෙන් එක්තරා විශාල ප්රමාණයකට ගෝලීයකරණය හෝ අනුකලනය ගැන අත්දැකීම් ඇති 800 වැනි මිනිසා 801 වැනි මිනිසාගේ ගණයට වැටෙන තමන්ගේ දරුවන් නොවැළැක්විය හැකි එම පරිවර්තනයට හොඳින් සූදානම් කිරීමට සමත් වෙතොත් පමණය.
දැන් හැමදේකටමත් පිළිගත් ජාත්යන්තර ප්රමිති තත්ත්වයක් පවතී. එම ප්රමිති තත්ත්වයන් අන් සියලු දේට සේ ම මිනිසුන්ටද අදාළය.
තමන් උපන් රට, අයත් වර්ගය, අදහන ආගම හෝ තමන්ගේ සංස්කෘතිය උසස් කොට සලකා අන් රටවල්, අන් වර්ග, අන් ආගම් හා අන් සංස්කෘතීන් පහත් කොට සලකන ප්රතිපත්තියකට 801 වැනි මිනිසාගේ කාලයේ කිසිදු පිළිගැනීමක් හෝ වලංගුභාවයක් ලැබෙන්නේ නැත. තමා ඉපදුණු රටට, තමා අයත් වර්ගයට, තමා අදහන ආගමට හා තමා අයත් සංස්කෘතියට ආදරේ කිරීම වරදක් නොවෙතත් අන්ය රටවල්, අන්ය වර්ග, අන්ය ආගම් හා අන්ය සංස්කෘතීන්ට ගරු කරමින් ඒවා ඉවසීමට 801 වැනි මිනිසාට පුළුවන්කම තිබිය යුතුය. මානව හිමිකම්වලට ලැබෙන වැදගත්කමද තවදුරටත් ඉහළ යනු නොවැළැක්විය හැකිය.
තමන්ගේ මව් භාෂාවට අතිරේකව ජාත්යන්තර භාෂාවක් දැන සිටීම, තොරතුරු තාක්ෂණය දැන සිටීම ලබාගෙන තිබෙන අධ්යාපනය හා පුහුණුව පිළිගත් ජාත්යන්තර ප්රමිති තත්ත්වයක තිබීම 801 වැනි මිනිසා සතුව තිබිය යුතු අත්යවශ්ය කොන්දේසි ලෙස සැලකිය හැකිය.
ඒ තත්ත්වයට ළඟාවීමට 801 වැනි මිනිසාගේ ගණයට වැටෙන අපේ දූ දරුවන්ට හැකිවනු ඇත්තේ වැදගත්කමක් ඇති හැම දෙයක්මත් පිළිගත් ජාත්යන්තර ප්රමිති තත්ත්වයකට ගෙනඒමෙනි.
උප්පැන්න සහතිකයේ සිට නිකුත් කරනු ලබන හැම සහතිකයක්මත් ජාත්යන්තර වශයෙන් පිළිගැනීමට හේතුවන හා ජාත්යන්තර වශයෙන් පාවිච්චි කළ හැකි තත්ත්වය තිබිය යුතුය. දැන් උප්පැන්න සහතිකය ලියන්නේ සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙනි. විවාහ සහතිකය ලියන්නේද එම භාෂා දෙකෙනි. ඒ තත්ත්වය ඉක්මනින් වෙනස්විය යුතුය. එක්කෝ එය ඉංග්රීසි භාෂාවෙන් හා පුද්ගලයාගේ මව් භාෂාවෙන් යන භාෂා දෙකෙන්ම නිකුත් කරන ලියවිල්ලක් බවට පත්විය යුතුය. පාසල් අධ්යාපනයේ පළමු වසරේ සිට 13 වසර දක්වා දෙන අධ්යාපනයද, විශ්වවිද්යාල අධ්යාපනයද, කාර්මික හා තාක්ෂණ අධ්යාපනයන්ද පිළිගත් ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූල තත්ත්වයකට ගෙනා යුතුය. ඒ සඳහා තිබෙන පාඨමාලා පමණක් නොව ඉගැන්වීමේ ක්රමද වෙනස් කිරීමට සිදුවනු ඇත. වෘත්තීය පුහුණුව ලබන්නන්ටද විදේශ රටකට ද වැඩ කළ හැකි ආකාරයට ඔවුන්ගේ පාඨමාලා ජාත්යන්තර වශයෙන් පිළිගන්නා ප්රමිති තත්ත්වයකට ගෙනා යුතු අතර ඔවුන්ට අවශ්ය නම් විදේශ රටකද රැකියා කිරීමට හැකිවන ආකාරයට ඒ සඳහා ඉංග්රීසි දැනුමද ලබාදෙන හා ඉංග්රීසි භාෂා දැනුම සඳහා ජාත්යන්තර වශයෙන් පිළිගැනීමට හේතුවන සහතික ලබාදෙන ක්රමයක් ඇති කළ යුතුය. අපොස සාමාන්ය පෙළ විභාගයෙන් හා අපොස උසස් පෙළ විභාගයෙන් අසමත්ව පාසල් අධ්යාපනය අතහැර යන අයගේ ප්රමාණය වසරකට ලක්ෂ තුනක් පමණ වන්නේය. ඒ සියලුදෙනාට වෘත්තීය අධ්යාපනයක් ලබාදීම අනිවාර්යය කළ යුතුය. වෘත්තීය අධ්යාපනයෙන් පසු අවශ්ය නම් ඔවුන් හදාළ වෘත්තීමය විෂය ක්ෂේත්රය සඳහා උපාධි අධ්යාපනයක් ලැබීමේ අයිතිය ඔවුන්ට ලබාදිය යුතුය. සියලුම අධ්යාපන ආයතනවල ශිෂ්යයන්ගේ පෞරුෂය වර්ධනය කළ යුතුව තිබෙන්නේ පරණ ලෝකයට ගැළපෙන ලෙස නොව ඒකාග්රවෙමින්තිබෙන නව ලෝක පරිසරයට ගැළපෙන ලෙසය.
ආණ්ඩුකරණයද වෙනස් විය යුතුය
වෙනස්කම් ඇති කරගත යුතුව තිබෙන්නේ අධ්යාපනයේ පමණක් නොවේ. ගොඩනැගෙමින් තිබෙන නව ලෝකයේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස යහපත් ආණ්ඩුකරණයකට ඉඩ ලැබෙන නව දේශපාලන ක්රමයක්ද ඇතිකර ගතයුතුව තිබේ. ආණ්ඩුක්රමය සමාජ ගිවිසුමක් විය යුතු අතර එහි ප්රධාන වැදගත්කම ලැබිය යුත්තේ පාලක පක්ෂය නොව මහජනයාටය. පාලක පක්ෂයට අයථා ලෙස වස්තුව උපයා ගැනීමට ලැබී තිබෙන ඉඩ සේ ම වංචාවට, දූෂණයට හා නාස්තියට ලැබී තිබෙන ඉඩද, හිතුවක්කාරි ලෙස ක්රියාකිරීමට හා නීතියට ඉහළින් සිටීමට ලැබී තිබෙන ඉඩද අහිමි කළ යුතුය. ආණ්ඩුවේ සියලු ගනුදෙනු මහජන පරීක්ෂාවට ලක්වන තත්ත්වයක තිබිය යුතුය. අදහස් පළකිරීමේ අයිතිය හා මහජනයාට තොරතුරු ලබාගැනීමට තිබෙන අයිතිය සහතික කළ යුතුය. නිසි සුදුසුකම්වලට මිස දේශපාලන අනුග්රහය මත රජයේ සේවයට බඳවා ගැනීමේ ක්රමය අහෝසි කළ යුතුය. රාජ්ය පාලනය හා සංවර්ධනය පිළිගත් ජාතික ප්රතිපත්ති රාමුවක පිහිටා කළයුතු දෙයක් බවට පත් කළ යුතුය. නීතිය පසිඳලන ආයතන ක්රමය සේ ම නීතිය ක්රියාත්මක කරන ආයතන ක්රමයද පිළිගත් ජාත්යන්තර ප්රමිති තත්ත්වයකට ගෙනා යුතුය. රටේ දේශපාලන පක්ෂ ක්රමයද ප්රජාතන්ත්රකරණයකට ලක්විය යුතුය. භේදයකින් තොරව සියලු ජනයාගේ සමාන අයිතිවාසිකම් තහවුරු කළ යුතුව තිබේ. රටේ සියලු වෘත්තීයවේදී අංශද පිළිගත් වෘත්තීය ආචාර ධර්මවලට අනුකූලව ක්රියාකරන තැනකට ගෙනා යුතුය. ඔළුවෙන් සිටුවා තිබෙන ජනමාධ්ය ආයතනද දෙපයින් සිටින තැනකට ගෙනා යුතුය.
රටට අත්යවශ්ය මෙම වෙනස්කම් ඇති කරගැනීම සඳහා දේශපාලනඥයන්ට කවදා හෝ ප්රඥාව පහළ වන තෙක් බලා සිටියහොත් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවනු ඇත්තේ 801 වැනි මිනිසා වශයෙන් සැලකිය හැකි දූ දරුවන්ටය. රටේ ආණ්ඩුකරණය පවතින්නේ දේශීය ජනයාගේ පමණක් නොව ලෝක ජනතාවගේද ගෞරවයට හා විශ්වාසයට හේතු නොවන තත්ත්වයක නම් ඒ නිසා විදේශ රටවලට ජීවත් වන ශ්රී ලාංකිකයන්ටද අවමන්සහගත තත්ත්වයකට පත්වන්නට සිදුවන්නේය. මොන මොන හේතු නිසා හෝ බලවත් රටවල් ශ්රී ලංකාවට ආර්ථික සම්බාධක හෝ තහංචි පනවන තත්ත්වයක් ඇති වුවහොත් එයින් වැඩියෙන්ම පීඩා විඳින්නට සිදුවනු ඇත්තේ රටේ ජනතාවටය. එවැනි තත්ත්වයක් රටේ ජනතාවගේ ඉදිරි ගමන කාලකණ්ණි කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.
නව ලෝක රටාව
ගෝලීයකරණය පරිපූර්ණ අර්ථයෙන් ඉතා යහපත් නව ලෝක තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. එම තත්ත්වය තුළද බරපතළ විසමතා පවතී. ජාත්යන්තර නීති ක්රියාත්මක වන ආකාරය එක සමාන නැත. බලවත් රටවල් කෙරෙහි එක විදියකටත් දුබල රටවල් කෙරෙහි තවත් විදියකටත් ඒවා ක්රියාත්මක වේ. බලවත් හා දුබල රටවල් අතර ද මහා පරතරයක් පවතී. එවැනි බරපතළ සීමාසහිතකම් තිබියදීත් මෙම නව ලෝක රටාවෙන් බැහැර වී සිටීමට හෝ හුදකලාව සිටීමට මොනම රටකටවත් හැකියාවක් නැත. බරපතළ සීමාසහිතකම් තිබියදීත් මෙම නව ලෝක රටාව තිබුණු පැරණි ලෝක රටාවට වඩා මිනිස් අයිතිවාසිකම්වලදී සංවේදීය. නව ලෝක රටාව තුළ දියුණුවෙන් අඩු තත්ත්වයක සිටි රටවලට දියුණුවීමට වැඩි අවස්ථාවක් ලැබී තිබෙන්නේයැයිද කිව හැකිය. ගෝලීයකරණය තවමත් අප්රිකානු කලාපයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති කිරීමට සමත් වී නැතත් ආසියානු කලාපයේ වේගවත් වර්ධනයක් ඇති කිරීමට හේතුවී තිබේ. එම කලාපයේ නිෂ්පාදනය දෙගුණ කිරීමට හේතුවී තිබෙන අතර ගමනාගමනය හා විදුලි සංදේශයද, විදේශ ප්රාග්ධන ආයෝජනයේද, විදේශ වෙළෙඳාමේද, සංචාරක කර්මාන්තයේ, ජන සංක්රමණයේ හා විදේශ සංක්රාම ආදායමේද විශාල දියුණුවක් ඇති කිරීමට හේතුවී තිබේ. එම තත්ත්වය එම කලාපයේ ජීවත් වන දුප්පත්ම ජනතාවගේ ජීවිතවලද කැපී පෙනෙන දියුණුවක් ඇති කිරීමට හේතුවී තිබේ.
නව ලෝක රටාව තුළ මුහුණ දෙන්නට සිදුවී තිබෙන ජාත්යන්තර බලපෑම්වලට හා ඇඟිලි ගැසීම්වලට එරෙහිව කෑගැසීමෙන් හෝ මහජනයා වීථි බැස්සවීමෙන් හෝ පවතින ලෝක යථාර්ථය වෙනස් කළ නොහැකිය. එයද අව්ව හා වැස්ස මෙන් වෙනස් කළ නොහැකි අනිවාර්ය යථාර්ථයක් බවට පත්වී තිබේ. අපට කළහැක්කේ වැස්සට තෙමීමෙන් වැළකීම සඳහා කුඩයක් පාවිච්චි කරන අතර එම වැහි වතුරෙන් උපරිම ප්රයෝජන ලබාගන්නා ආකාරයට ගෝලීයකරණය සමගද ගනුදෙනු කරන තැනකට යාමය. තිබෙන ලෝක රටාවෙන් බැහැරවී සිටීමේ හැකියාවක් අපට නැති බව හා ඒ තුළ බරපතළ සීමාසහිතකම්ද ඇති බව තේරුම් ගනිමින් එම ලෝක රටාව තුළ ලෝකයාගේ ගෞරවයට හේතුවන පැවැත්මක් ඇති රටක් ලෙස ඉදිරියට යෑම අපට තෝරාගැනීමට තිබෙන හොඳම මග ලෙස සැලකිය හැකිය. රටක් වශයෙන් අපි අපේ වැරදි නිවැරදි කරගැනීමෙන් තොරව අපේ වැරදි විවේචනය කරන්නට කෝපයෙන් ප්රතිවිවේචනය කරන ප්රතිපත්තියක් නූතන ලෝක යථාර්ථයට ගැළපෙන්නේ නැත. එවැනි මෝඩ ප්රතිපත්තියක් වැඩියෙන්ම හානි කරනු ඇත්තේ 801 වැනි මිනිසාගේ ගණයට වැටෙන අපේ රටේ දූ දරුවන්ටය.