මුලදී ආණ්ඩුව සටන් කිරීමට අපේක්ෂා කළේ අධිකරණයේ ප්රධානියා වූ තනි ශිරාණි බණ්ඩාරනායක කෙනෙකු සමග පමණය. ඇය තනි කොට දුෂ්කරතාවකින් තොරව තනතුරෙන් පහ කළ හැකිවනු ඇතැ“යි ආණ්ඩුව අපේක්ෂා කළ බවක් පෙනෙන්නට තිබුණි. ඇය තනතුරෙන් පහකිරීම සඳහා ඉදිරියට ගෙනා මුග්ධ වැඩපිළිවෙළ අධිකරණයේ විනිශ්චයකාරවරුන් සේ ම නීතිඥ සංගමයද කිසියම් විශාල ප්රමාණයකට ඒකාග්ර තත්ත්වයකට ගෙන ඒමට හේතුවිය. ඇය අධිකරණයෙන් පලවා හැරීම සඳහා ආණ්ඩුව ඉදිරියට ගෙනා සාහසික වැඩපිළිවෙළ විනිශ්චයකාරවරුන් තුළ සේ ම නීතිඥයන් තුළද තම වෘත්තීය අභිමානයේ කම්පනයක් ඇති කිරීමට හේතුවෙමින් ඒ සියලුදෙනා අතර එම තත්ත්වයට එරෙහිව සටන් කළ යුතුය කියන බලවත් හැඟීමක් ඇති කළේය.
ආණ්ඩුව තවමත් ඉදිරියට තබන ලද අඩිය ආපස්සට ගැනීමක් සිදුකර නැතත්, මෙම ආරාවුල නීති සමාජයේ ආණ්ඩුවට තිබුණු දේශපාලන පිළිගැනීම විශාල ප්රමාණයකට අහිමි කිරීමට හේතුවී තිබෙන බව පෙනේ. කොළඹ නගරයේ හැර වෙනත් ප්රාදේශීය උසාවිවල නීතිඥයන් අතර වැඩි බලයක් තිබුණේ ආණ්ඩු පක්ෂයටය. මෙම අර්බුදය නිසා ආණ්ඩුවට ඒ තත්ත්ව මුළුමනින් අහිමි වී තිබෙන බවත් පෙනෙන්නට තිබේ. මෙම අර්බුදයේදී නීතිඥයන් අතර වැඩිම සටන්කාමී බවක් ප්රකාශ වී තිබෙන්නේ ආණ්ඩුවට වැඩි බලයක් තිබෙන දකුණු පළාතෙනි. නීතිඥයන් අතර ගාල්ල හා මාතර පවතින තත්ත්වය ඉතාමත් නරකය. හම්බන්තොට දිස්ත්රික්කයේ පවතින තත්ත්වයද නරකය. අරගලයේ පෙරමුණ ගෙන තිබෙන්නේ පොදු පෙරමුණට ආධාර කළ නීතිඥයන්ය. රටේ සෙසු ප්රදේශවල තත්ත්වයද ඊට වෙනස් නැත. නීතිඥ සංගමය මෙම ප්රශ්නය පිළිබඳව පවත්වන ලද විශේෂ සැසියේදී සංගමය ඉදිරිපත් කිරීමට සැලසුම් කොට තිබුණු යෝජනාවට බලවත් විරෝධයක් මතුකරලීමට ආණ්ඩුව උත්සාහ කළද එසේ කිරීමට ආණ්ඩුව සමත් වූයේ නැත. රැස්වූ තුන්දහසක් පමණ වන නීතිඥයන් අතුරින් ආණ්ඩුවේ වැඩපිළිවෙළට පක්ෂපාත ස්ථාවරයක් වෙනුවෙන් පෙනී සිටි අයගේ සංඛ්යාව ඉතා සුළුය. එය සියයට දහයක්වත් නැති තරම්ය. එම සැසියට ටික දිනකට පෙර ජනාධිපති නීතිඥකම් ලබාගත් අය පවා එහිදී කර අරින ප්රතිපත්තියක් අනුගමනය කළා මිස ආණ්ඩුවේ වැඩසටහන වෙනුවෙන් පෙනී සිටින ප්රතිපත්තියක් අනුගමනය නොකළේය.
මෙම අර්බුදය නිසා සිදුවී තිබෙන යහපත්ම දේ ලෙස සැලකිය හැක්කේ අධිකරණයේ කාර්යභාරය පිළිබඳව වෙන කවදාවත් ඇතිවී නැති සංවාදයක් අධිකරණය තුළ මතුවී තිබීමය. අධිකරණයේ වගකීම බලයට පත්වන පාලක පක්ෂ සමග කල්ලි ගැසී ජනතාවගේ නිදහස සීමා කෙරෙන වත්පිළිවෙත්වලට සහායදීම නොව ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීම සඳහා ක්රියාකිරීම බව විනිශ්චයකාරවරුන් පොදුවේ කිසියම් ප්රමාණයකට හෝ තේරුම් ගන්නා තත්ත්වයක් මෙම අර්බුදය විසින් ඇතිකර තිබෙන්නේයැ”යි කිව හැකිය. අධිකරණය මෙතෙක් ඉටුකර තිබෙන ප්රතිගාමී කාර්යභාරය මහජනයා අතර සාකච්ඡාවට ලක්වෙමින් තිබීම සේ ම තමන් මෙතෙක් ඉටුකර තිබෙන කාර්යභාරය ප්රතිගාමී එකක් බව විනිශ්චයකාරවරුන් අතර පිළිගැනීමක් ඇතිවෙමින් තිබීමද යහපත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. නීතිඥයන්ගේ කාර්යභාරයද මේ මොහොතේ සාකච්ඡාවට ලක්විය යුතුව තිබෙන වැදගත් මාතෘකාවක් ලෙස සැලකිය හැකිය.
පාර්ලිමේන්තුව උත්තරීතරද?
පාර්ලිමේන්තුව උත්තරීතරය. ඒ නිසා පාර්ලිමේන්තුව කරන මොනව දෙයකටවත් එරෙහිව අධිකරණයට නියෝග දිය නොහැකිය කියන මතය සැලකියයුත්තේ කිසිම හරයක් නැති මෝඩ මතයක් ලෙසය.
පාර්ලිමේන්තුව උත්තරීතර නම් ඔවුන් පනවන අණපනත් අධිකරණ සමලෝචනයක් සඳහා අධිකරණයට යවන්නේ ඇයි? පාර්ලිමේන්තුව උත්තරීතර නම් අධිකරණයට නොයවා ඒවා නීතිගත කරවා ගැනීමේ හැකියාවක් පාර්ලිමේන්තුවට තිබිය යුතුය. එසේම පාර්ලිමේන්තුව උත්තරීතර නම් විවිධ පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට අදාළව එම පක්ෂ ගන්නා විනය ක්රියාමාර්ගවලදී ඇතිවන ආරාවුල්ද පාර්ලිමේන්තුව තුළ විසඳා ගැනීමට පුළුවන්කමක් තිබිය යුතුය. එහෙත් එවැනි ප්රශ්න ඇතිවන විට මන්ත්රීවරුන් ඒවා විසඳාගැනීම සඳහා යායුතුව තිබෙන්නේ අධිකරණයටය. පාර්ලිමේන්තුව තුළ මන්ත්රීවරයෙකු විසින් පාර්ලිමේන්තු සභා ගැබ තුළදී වෙනත් මන්ත්රීවරයෙකු ඝාතනය කරනු ලැබුවහොත් එම ආරාවුල පිළිබඳ අවසාන තීන්දු ගැනීමේ බලයක් පාර්ලිමේන්තුවට නැත. එවැනි ආරාවුලක් පිළිබඳ අවසාන තීන්දු දීමේ බලය ඇත්තේ අධිකරණයටය.
ජනාධිපතිවරයෙක්ට එරෙහිව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වන දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේ අභ්යන්තර කටයුතු ගණයට වැටෙන විෂයක් ලෙස සැලකිය හැකිය. එහෙත් එවැනි දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කළ පසුත් තමන් සම්මත කරන ලද චෝදනාවලට හරි වැරදි අවසාන වශයෙන් තීන්දු කිරීම සඳහා පාර්ලිමේන්තුව එම චෝදනා ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුය. පාර්ලිමේන්තුව එම චෝදනා ඇතුළත් යෝජනාවලිය තුනෙන් දෙකක බලයෙන් සම්මත කර තිබියදීත්, ඉන්පසු ශ්රේෂ්ඨාධිකරණයේදී සිදුකැරෙන පරීක්ෂණයේදී චෝදනාලාභී ජනාධිපති ශ්රේෂ්ඨාධිකරණය විසින් චෝදනාවලින් නිදහස් කළහොත් ඒ සමග දෝෂාභියෝගයද ව්යර්ථ වේ. පාර්ලිමේන්තුව උත්තරීතර නම් ඒ ගැන අවසාන තීන්දු ගැනීමේ බලය පාර්ලිමේන්තුවට නොදී ශ්රේෂ්ඨාධිකරණය වෙත ලබාදී තිබෙන්නේ ඇයි?
පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා නීතියට පටහැනිව තනතුරෙන් පහකරන ලද අවස්ථාවකදී ඊට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගැනීමේ අයිතියක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නැද්ද? එවැනි ආරාවුලකදී දෙනු ලබන අධිකරණ නියෝගයක් පැහැර හැරීමේ පුළුවන්කමක් පාර්ලිමේන්තුවට නැත.
කිසියම් පාලක පක්ෂයකට තුනෙන් දෙකක බලයක් තිබෙන අවස්ථාවකදී ඒ බලය පාවිච්චි කොට විරුද්ධ පක්ෂ නියෝජිතයන්ගේ මන්ත්රීකම් අහිමි කිරීමේ බලයක් පාර්ලිමේන්තුවට තිබේද? එවැනි ආරාවුලකදී අධිකරණය දෙනු ලබන නියෝගයක් වලංගු නොවන්නේ කෙසේද?
තුනෙන් දෙකක බලයක් හෝ ඊට වැඩි බලයක් ඇති පාර්ලිමේන්තුවකට තම නිල කාලය අවුරුදු 50ක් හෝ 25ක් දක්වා වැඩි කරගැනීමේ බලයක් පාර්ලිමේන්තුවට නැත.
පාර්ලිමේන්තුවට කළහැකි දේ සේ ම කළ නොහැකි දේ ද තිබෙන්නේය. පාර්ලිමේන්තුව සතු වගකීම් නීතිය මගින්ද, පාර්ලිමේන්තු සම්ප්රදායයන් මගින්ද, තීරණය කර තිබෙන්නේය. පාර්ලිමේන්තුවට තමන් වෙත පැවරී ඇති කාර්යභාරය මිස අධිකරණය සතු කාර්යභාරය ඉටු කළ නොහැකිය. අධිකරනයටද තමන් වෙත පැවරී තිබෙන කාර්යභාරය මිස පාර්ලිමේන්තුව සතු කාර්යභාරය ඉටු කළ නොහැකිය.
කාර්යාල කාර්ය සහායකයකු වැනි, තනතුරින් ඉතාමත් පහළ මට්ටමක සිටින පුද්ගලයෙකු පවා ඔහු කරන රැකියාවෙන් අත්තනෝමතික ලෙස පහ කළ නොහැකිය. සාධාරණ පරීක්ෂණයකින් තොරව එවැනි පහකිරීමකදී අධිකරණයේ පිහිට පැතීමේ අයිතිය ඒ හැම පුද්ගලයෙකුම සතු අයිතියක් ලෙස සැලකිය හැකිය. එම අයිතිය අගවිනිසුරුවරියට පමණක් හිමි නොවීමට හේතුවක් තිබිය නොහැකිය. සංකේත වැදගත්කමක් ඇති බිහිසුණුම දේ ලෙස සැලකිය යුත්තේ නීති සම්පාදන ආයතන රටේ අගවිනිසුරුවරියට සාධාරණ පරීක්ෂණයක් ලබා නොදීමය.
නෙවිල් සමරකෝන් පරීක්ෂණය
අගවිනිසුරු නෙවිල් සමරකෝන්ට එරෙහිව 1984දී ඉදිරිපත් කළ දෝෂාභියෝගය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ එන දෝෂාභියෝග ප්රතිපාදනය යටතේ විනිසුරුවරයෙක් දෝෂාභියෝගයක් මගින් තනතුරින් ඉවත් කිරීමට දරන ලද පළමු උත්සාහය විය. ඒ වන විට ඒ සඳහා අවශ්ය නීති ඇති කරගෙන නොතිබීම නිසා ස්ථාවර නියෝග යටතේ එසේ කිරීම සඳහා 78 ස්ථාවර නියෝගය සඳහා 74A දරන කොටස 1984 අප්රේල් 4 වැනි දින සම්මත කරගන්නා ලදි.
තේරීම් කාරක සභාවක් මගින් එම පරීක්ෂණය කරන්නට තීන්දු කිරීම ගැන ඒ අවස්ථාවේදී සිවිල් අයිතිවාසිකම් ආරක්ෂක පෙරමුණ කතානායකවරයා වෙත බලවත් ලෙස විරෝධය පළකරමින් නිවේදනයක් නිකුත් කළේය. ඔවුන්ගේ තර්කය වූයේ එසේ කිරීම ව්යස්ථාවේ 4 වැනි වගන්තියට පටහැනි බවය. පාර්ලිමේන්තුවට එවැනි පරීක්ෂණයක් සඳහා බලයක් නැති බවත් එවැනි පරීක්ෂණයක් කිරීමේ බලය තිබිය හැක්කේ නීතියෙන් නියම කරන ලද අධිකරණ ආයතනයකින් පමණක් බවත්, ඉන්දියාව ඒ සඳහා 1968 විනිශ්චයකරුවන් සඳහා වන පරීක්ෂණ පනත මගින් නීතියෙන් නියම කළ අධිකරණ ආයතනයක් ඇති කරගෙන තිබෙන බවත් ශ්රී ලංකාව තෝරාගත යුතුව තිබෙන්නේද එවැනි විකල්පයක් බවද කියා සිටියේය.
නෙවිල් සමරකෝන් වෙනුවෙන් තේරීම් කාරක සභාව වෙනුවෙන් පෙනී සිටියේද සිවිල් අයිතිවාසිකම් ආරක්ෂක පෙරමුණේ නිර්මාතෘ රාජ නීතිඥ එස්. නඩේසන්ය. ඔහු සිය මූලික විරෝධය සඳහා ඉදිරිපත් කරන ලද්දේද ඉහත කී තර්කය විය. එහෙත් තේරීම් කාරක සභාව නඩේසන්ගේ තර්කය පිළිගත්තේ නැත. පාර්ලිමේන්තුව ඒ සඳහා පවත්වන ලද පරීක්ෂණය නීතියට පටහැනි වුවත් එම පරීක්ෂණය ස්වාභාවික යුක්තියේ පිළිගත් මූලධර්මවලට අනුව පැවැත්වීයැ”යි කිව හැකිය. ඒ බව නෙවිල් සමරකෝන් මහතාද පිළිගත්තේය.
නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබුණේ එක චෝදනාවක් පමණය. ඒ ඔහු ප්රසිද්ධ දේශනයකදී ආණ්ඩුවේ සමහර ප්රතිපත්ති හා ක්රියාමාර්ග විවේචනය කරමින් කරන ලද කතාවකි. තමා ඒ කතාව කරන ලද බව නෙවිල් සමරකෝන් මහතා පිළිගත්තේය. ඒ නිසා චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් කැඳවීමක් අවශ්ය නොවීය. තේරීම් කාරක සභාවට සොයා බැලීමට ඉතිරි වී තිබුණේ එම කතාවෙන් විසම පැවැත්මක් පිළිබඳ චෝදනාව සනාථ වන්නේද කියන කාරණය පමණය. ස්ථාවර නියෝගවල මසක කාලයක් තුළ පරීක්ෂණය අවසන් කළ යුතු බව සඳහන් වෙතත් නෙවිල් සමරකෝන් පරීක්ෂණය සඳහා ගතවූ කාලය මාස 06කි.
තේරීම් කාරක සභාව නියෝජනය කළ විරුද්ධ පක්ෂ මන්ත්රීවරුන් තිදෙනාගේම පොදු මතය වූයේ නඩේසන් මහතා තර්ක කළ ආකාරයම තේරීම් කාරක සභාවක් මගින් මෙවැනි පරීක්ෂණයක් කිරීම ව්යවස්ථාවේ 4 (3) වගන්තියට පටහැනි බවය. පාර්ලිමේන්තුවට බලයක් ඇත්තේ පාර්ලිමේන්තු වරප්රසාද ප්රශ්න සලකා බැලීමට පමණක් බවත් ජනතාවගේ අධිකරණ බලය නීතියෙන් පිහිටුවා ඇති අධිකරණය මගින් පමණක් ක්රියාත්මක කළ යුතු බවත්ය.
නඩේසන් මහතා මතුකර තිබෙන තර්කය ඉතා බලවත් බවත් ඒ පිළිබඳ පැහැදිලි තීන්දුවක් ගත නොහැකි නම් ජනාධිපතිවරයා ඒ ගැන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ වන 129 (1) වගන්තිය යටතේ ශ්රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ඉල්ලා සිටීම සුදුසු බවත් ඔවුන්ගේ මතය විය.
මේ සඳහා ඇති කරන පටිපාටිය ඉන්දියාව ඒ සඳහා ඇතිකර තිබෙන ප්රතිපාදන සැලකිල්ලට ගෙන සකස් කළයුතු බවත් ඒ තිදෙනාගේම මතය විය.
විනිසුරුවරුන් ඉවත් කිරීම සඳහා පාවිච්චි කැරෙන මෙම වැරදි ක්රමයේ වෙනසක් ඇතිකර ගැනීම සඳහා සිවිල් අයිතිවාසිකම් ආරක්ෂක පෙරමුණ ඇතුළු සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින විවිධ සංවිධාන සේ ම අධිකරණයේ ස්වාධීනත්වය ගැන උනන්දුවක් දක්වන විවිධ ජාත්යන්තර ආයතන විසින් ද විවිධ ආකාරවල උත්සාහයන්හි නිරත වී ඇතැයි කිව හැකිය. විනිශ්චයකාරවරුන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධීනත්වය සඳහා වන අන්තර් ජාතික කේන්ද්රය වෙනුවෙන් 1997 වසරේ එක්සත් රාජධානියේ ගුඩ් හාර්ට් සාමිවරයා ඉන්දියාවේ හිටපු අගවිනිසුරු පී.එන්. බගවතී හා දකුණු අප්රිකාවේ නීතිඥ එම්. මොජාපෙලෝ යන තිදෙනා ශ්රී ලංකාවේ උසස් අධිකරණයේ විනිසුරුවරුන් තනතුරෙන් ඉවත් කිරීමසඳහා යොදා ගැනෙන ක්රමවේදයේ ඇති වැරදිසහගත ස්වරූපය අවධාරණය කරමින් ඒ සඳහා නීතියෙන් නියම කරන ලද අධිකරණ ආයතනයක් ඇතිකර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
2000 ව්යවස්ථා කෙටුම්පත
1999 ජනාධිපතිවරණයෙන් පසු නව ව්යවස්ථාවක් ඇතිකර ගැනීම සඳහා චන්ද්රිකා ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා වටයන් පැවැත්වීමේ පසු කෙටුම්පත් කොට සම්මත කරගැනීමට අසමත් වූ 2000 ආණ්ඩුක්රම ව්යවස්ථා කෙටුම්පත කෙරෙහිද නඩේසන් පළමු කොටද ඉන්පසු වෙනත් අය විසින්ද විනිශ්චයකාරවරුන් ධුරවලින් ඉවත්කිරීමේ පිළිවෙතට අදාළව මතු කළ තර්ක බලපා තිබුණි.
දෝෂාභියෝගයක් මගින් ඉහළ අධිකරණයේ විනිශ්චයකාරවරුන් ඉවත් කිරීමේදී යොදාගත යුතුව තිබෙන ප්රතිපත්තිය එම ව්යවස්ථා කෙටුම්පතේ 151 (4) වන වගන්තිය යටතේ විස්තර කොට තිබුණේ මෙසේය.
151 (4) එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ කිසිදු යෝජනා සම්මතයක්
(4) එම යෝජනා සම්මතය පිළිබඳ දැන්වීම පාර්ලිමේන්තුවේ මුළු මන්ත්රී සංඛ්යාවෙන් යටත් පිරිසෙයින් තුනෙන් එකකට නොඅඩු මන්ත්රීවරුන් සංඛ්යාවක් විසින් අත්සන් කර ඇත්නම් මිස හා චෝදිත විසම පැවැත්ම හෝ අබලතාව පිළිබඳ සම්පූර්ණ විස්තර එහි දක්වා ඇත්නම් මිස. සහ
(ආ) අවස්ථාවෝචිත පරිදි අග්රවිනිශ්චයකාරවරයාට හෝ ඒ වෙනත් විනිශ්චයකාරවරයාට හෝ විරුද්ධව කරනු ලැබ ඇති විසම පැවැත්ම හෝ අබලතාව පිළිබඳව චෝදනා පරීක්ෂා කිරීම සඳහා කතානායකවරයා විසින් පත් කරනු ලැබූ
(1) අග්රවිනිශ්චයකාවරයාට විරුද්ධව වන පරීක්ෂණයක් එකවිට පොදු රාජ්ය මණ්ඩලයට අයත් කවර හෝ රටක ඉහළම අධිකරණයේ විනිශ්චයකාර ධුරයක් දරන්නාවූ හෝ දැරුවා වූ හෝ තුන්දෙනකුගෙන් සමන්විත කමිටුවක් විසින්ද,
(1) මෙම ව්යවස්ථාවේ (2) වන ඡේදයේ සඳහන් වෙනත් යම්කිසි විනිශ්චයකාරවරයකුට විරුද්ධව පවත්වනු ලබන පරීක්ෂණයක් වන විට එමම ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් 178 ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් හෝ වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද ශ්රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ හෝ විනිශ්චයකාර ධුරයක් දරන්නා වූ හෝ දැරුවා වූ හෝ තැනැත්තන් තුන්දෙනකුගෙන් සමන්විත කමිටුවක් විසින්ද
පරීක්ෂණයක් පවත්වනු ලැබ ඇත්නම් හා එම විසම පැවැත්ම හෝ අබලතාව පිළිබඳව චෝදනාව එම විනිශ්චයකාරවරයාට විරුද්ධව ඔප්පු වී ඇති බව එම කමිටුව විසින් තීරණය කර ඇත්නම් මිස
කතානායකවරයා විසින් භාරගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ න්යාය පත්රයෙහි ඇතුළත් කරනු ලැබීම හෝ නොකළ යුත්තේය.
මෙම ව්යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ ව්යවස්ථා සම්පාදනය විෂය භාර ඇමතිවරයා ලෙස ක්රියාකළේ වත්මන් ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමතිවරයා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. ඒ අවස්ථාවේදී විෂය භාර නියෝජ්ය ඇමතිවරයා ලෙස ක්රියා කළේ ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝග තේරීම් කාරක සභාවේ සාමාජිකයකු ලෙස ක්රියා කළ ඩිලාන් පෙරේරා මහතාය. එම ව්යවස්ථා කෙටුම්පත ඇමති මණ්ඩලයේ සාකච්ඡාවට ලක්වූ අතර තේරීම් කාරක සභාවේ සාමාජිකයන් ලෙස ක්රියාකරන අනෙක් කැබිනට් ඇමතිවරුන් තිදෙනාද (කාරක සභාවේ සභාපති අනුර යාපා, නිමල් සිරිපාලද සිල්වා හා සුසිල් ප්රේම්ජයන්ත) එම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෝ වූහ. ඒ නිසා පාර්ලිමේන්තුව විසින් නඩු අසා දඬුවම් පමුණුවන ප්රතිපත්තියේ බරපතළ දෝෂයක් තිබෙන බව ඒ සියලුදෙනා නොදැන සිටියා විය නොහැකිය. නීතිඥයන් වන ඒ සියලුදෙනාට ඊට එරෙහිව නගමින් තිබෙන තර්ක මීට පෙර කවදාවත් අසා නැති අලුත් තර්ක ලෙස සැලකිය නොහැකිය.
ඉන්පසු 2002 වසරේ පැවති ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ ශ්රී ලංකාව පිළිබඳ සැසි වාරයේදී උසස් අධිකරණයේ විනිශ්චයකාරවරුන් ඉවත් කිරීමට ශ්රී ලංකාවේ භාවිත කරන දෝෂාභියෝග ක්රමය, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්රඥප්තියේ 4 වැනි වගන්තියට පටහැනි බවට කරුණු ඉදිරිපත් විය. එයට ශ්රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් ඊළඟ සැසි වාරයේදී ශ්රී ලංකා නියෝජිත කණ්ඩායම ශ්රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අළල ඉදිරිපත් කරන ලද වාර්තාවෙන් පාර්ලිමේන්තුවේ පරීක්ෂණය ස්වභාවික ප්රතිපත්තියේ මූලධර්ම ආරක්ෂා වන ආකාරයට පවත්වන බවට හා තේරීම් කාරක සභාව දෙන ලද තීන්දුව අධිකරණ සමාලෝචනයකට ඉඩ ලබාදෙන බවට සහතික විය.
රට අරාජිකත්වයකට
දෝෂාභියෝග ක්රමයේ නීතියට අනුකූල වෙනසක් ඇති කිරීමෙන් තොරව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පවත්වන ලද ශීඝ්රගාමී පරීක්ෂණය ස්වාභාවික යුක්තියේ මූලික මූලධර්ම ආරක්ෂා කැරෙන ආකාරයටවත් පවත්වන්නට අසමත්වීම ගැන රටේ නීති සම්පාදක ආයතනය වන පාර්ලිමේන්තුව ලැජ්ජා විය යුතුය.
නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබුණේ එක චෝදනාවක් පමණය. එම චෝදනාවට ඇතුළත් ප්රසිද්ධ කතාව තමන් විසින් කරන ලද්දක් බව නෙවිල් සමරකෝන් මහතා විසින් පිළිගෙන තිබීම හේතු කොටගෙන එම පරීක්ෂණයේදී සාක්ෂි විභාගයක් අවශ්ය නොවීය. එම පරීක්ෂණය සඳහා ගත කැරුණු කාලය මාස 06කි. ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව වඩා සංකීර්ණ චෝදනා 14ක් ඉදිරිපත් කරන ලද අතර ඒ සියලු චෝදනා පිළිගැනීම අගවිනිසුරුවරිය විසින් ප්රතික්ෂේප කිරීම නිසා එය වඩා සංකීර්ණ පරීක්ෂණයක් බවට පත්ව තිබියදීත් ස්ථාවර නියෝග මගින් පරීක්ෂණය සඳහා ලබාදී තිබුණ එක් මසක කාලය දීර්ඝ නොකොට එම කාලරාමුව තුළ අවසන් කිරීමට තීරණය කිරීම මගින් මෙම තේරීම් කාරක සභාව ස්වාභාවික යුක්තියේ සියලු මූලධර්ම අමු අමුවේ උල්ලංඝනය කර ඇතැ”යි කිව හැකිය. ඇගේ නීතිඥයන් සේ ම තේරීම් කාරක සභාවේ විරුද්ධ පක්ෂ නියෝජිතයන්ද ප්රකාශ කර තිබෙන ආකාරයට පරීක්ෂණය පවත්වන්නට යන පටිපාටිය පිළිබඳව කිසිදු පැහැදිලි කිරීමක් නොකරන ලදි. චෝදනා පත්රයට චෝදනා සනාථ කරන ලේඛනවල පිටපත් හෝ සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්රකාශ අමුණා නොතිබුණි. සාක්ෂි ලේඛනවල ලේඛනයක් හෝ සාක්ෂිකරුවන්ගේ නාමලේඛනයක් ලබාදී නැත. ඇය පරීක්ෂණ කමිටුවට විරෝධය පළ කොට ඉන් ඉවත් වූ පසුදිනම ඇය වෙත කරන දැනුම් දීමකින් තොරව හදිසියේම කැඳවන ලද සාක්ෂිකරුවන් 16 දෙනකුගෙන් රාත්රී 8.30 වන තෙක් සාක්ෂි ලබාගෙන ඇති අතර එදිනම රාත්රියේ පිටු 30ක් තරම් දීර්ඝ නඩු තීන්දුවක් ලියා එය පසුදින කතානායකවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
තේරීම් කාරක සභාවේ වැඩපිළිවෙළට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නොදුන්නද ඒ සඳහා පැවැත්වෙන නඩු විභාග අවසන් වන තෙක් පරීක්ෂණ ක්රියාවලිය අත්හිටුවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය කතානායකවරයාගෙන්ද, තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ගෙන්ද ඉල්ලා සිටියේය. එහෙත් පාර්ලිමේන්තුව ශ්රේෂ්ඨාධිකරණයේ එම උපදේශය භාර ගත්තේ නැත. ඉන්පසු තේරීම් කාරක සභාවේ තීන්දුවට එරෙහිව අගවිනිසුරුවරිය අභියාචනාධිකරණය ඉදිරියට ගියවිට අභියාචනාධිකරණයද මීට පෙර ශ්රේෂ්ඨාධිකරණය දෙන ලද තීරණයට සමාන තීරණයක් ලබාදෙමින් ඇගේ නඩුව අසා නිමවන තෙක් ඇය තනතුරෙන් ඉවත් කිරීම සඳහා පවත්වාගෙන යන ක්රියාදාමය අත්හිටුවන ලෙස කතානායකවරයා වෙත දැනුම්දීමක් කරනු ලැබීය. පාර්ලිමේන්තුව ඊට දක්වන ලද ප්රතිචාරය වූයේද අධිකරණය දෙනු ලබන නියෝග පිළිපැදීමට බැඳී නැති බව ප්රකාශ කිරීමය. ඒ මගින් නීති සම්පාදන ආයතනය වන පාර්ලිමේන්තුව අධිකරණය දෙනු ලබන නියෝග හා තීන්දු උල්ලංඝනය කරන ආයතනයක් බවට පත්වී තිබේ. ඒ මගින් රට අරාජික තත්ත්වයක් කරා ගමන් කරමින් තිබෙන්නේයැ”යි කිව හැකිය.
අර්බුදයේ ස්වභාවය
දැන් තිබෙන අර්බුදය බැලූ බැල්මට පෙනෙන්නේ අධිකරණය හා ව්යවස්ථාදායකය අතර ඇතිවී තිබෙන ගැටුමක් ලෙස වුවද ඇත්තටම එය ඒ දෙක අතර ඇතිවී තිබෙන ගැටුමකට වඩා විධායකය හා අධිකරණය අතර ඇතිවී තිබෙන ගැටුමක් ලෙස සැලකිය හැකිය. විධායකය සිය අභිලාෂයන් සම්පූර්ණ කරගැනීම සඳහා ව්යවස්ථාදායකය උපයෝගී කරගනිමින් තිබෙන්නේයැ”යි කිව හැකිය. මීට පෙර සාමාන්යයෙන් සිදුවූයේ එහි අනෙක් පැත්තය. එනම් බහුල වශයෙන් සිදුවූයේ ව්යවස්ථාදායකයේ සංයුතිය විකෘති කොට එහි ක්රියාකාරීත්වය බෙලහීන කොට ව්යවස්ථාදායකය හීලා කරගැනීම සඳහා විධායකය විසින් අධිකරණය යොදාගැනීමය. මෙතෙක් හීලෑකාරී තත්ත්වයක තිබූ අධිකරණය එම හීලෑකාරී තත්ත්වයෙන් අත්මිදෙන්නට උත්සාහ දරන තත්ත්වය ඉදිරියේ අධිකරණය බෙලහීන කොට නැවත හීලෑකාරී තත්ත්වයකට ගෙන ඒම සඳහා විධායකය විසින් ව්යවස්ථාදායකය පාවිච්චි කරන තත්ත්වයකට යොමුවීමය. රටේ ආණ්ඩුක්රමයේ යහපත් විපර්යාසයක් ඇතිවීම ආරම්භවනු ඇත්තේ අධිකරණය පමණක් නොව ව්යවස්ථාදායකයද විධායකයට නගුට වනන තත්ත්වයෙන් අත්මිදී ස්වාධීනත්වය දිනාගැනීමේ වැදගත්කම තේරුම්ගත් දාටය. දැන් ශ්රී ලංකාව ඓතිහාසික අර්ථයෙන් ගමන් කරමින් සිටිනුයේද එම දිශාවටය.
දැන් අධිකරණය හා විධායකය අතර ඇතිවී තිබෙන ගැටුම 15 වන හා 16 වන ශතවර්ෂවලදී එක්සත් රාජධානියේ රජවරුන් හා අධිකරණය අතර ඇතිවූ ගැටුම් අතර අපූරු සමානකමක් ඇත්තේයැ”යි කිව හැකිය. එහිද ඇතැම් අගවිනිසුරුවරුන් හා විනිසුරුවරුන් කිරීටයේ බලපෑමට යටත්ව ක්රියාකිරීම ප්රතික්ෂේප කළහ. රජවරුන්ද අධිකරණය කෙරෙහි තමන්ට තිබූ ආධිපත්යය අත්හැරීමට කැමති නොවීය. ඒ නිසා මේ දෙපක්ෂය අතර දිගින් දිගට ගැටුම් ඇතිවිය. අවසානයේ අධිකරණයේ ස්වාධීනත්වය යුක්තිය පසිඳලන ක්රමයේ අත්තිවාරම ලෙස සංවර්ධනය වූයේ එංගලන්තයේ කිරීටයේ ආධිපත්යයට එරෙහිව අධිකරණයේ ස්වාධීනතාව සඳහා එරට විනිශ්චයකාවරුන් කරන ලද අරගලයේ ප්රතිඵලයක් වශයෙනි.
අපේ රටේ දැන් පවතින දූෂිත දේශපාලන ක්රමය ගොඩනගා තිබෙන්නේ බලපරිමණ්ඩල තුන අතර යහපත් බලතුලනයක් පවත්වාගෙන යා හැකි ආකාරයට නොව පරම බලයක් ලැබී තිබෙන විධායකයට ව්යවස්ථාදායකය හා අධිකරණය යටහත් පහත් තැනෙක තබාගත හැකි ආකාරයටය. එය මෙම ව්යවස්ථාව යටතේ වර්තමානයේ සේ ම ඊට පෙරද අඩු වැඩි වශයෙන් පැවති අයහපත් පාලනයට සේ ම නීතියේ පාලනයක් නැතිකම කෙරෙහිද බලපා තිබෙන ලොකුම සාධකය ලෙස සැලකිය හැකිය. ඒ තත්ත්වයේ යහපත් වෙනසක් ඇති කළ හැකිවනු ඇත්තේ විධායකයට අනෙක් බලපරිමණ්ඩල දෙක ග්රහණයේ තබාගැනීමට තිබෙන හැකියාව නැති කොට එම බලපරිමණ්ඩල තුන අතර මනා බලතුලනයකට ඉඩ ලැබෙන තත්ත්වයක් ඇතිකරගැනීමෙනි. ඒ අර්ථයෙන් කලක් විධායකය කෙරෙහි ඉතාමත් හීලෑකාරී තත්ත්වයකින් ක්රියාකළ අධිකරණය මොන මොන හේතු නිසා හෝ ඒ තත්ත්වයෙන් අත්මිදීමට දරන උත්සාහය සමාජයේ ප්රගතියට බලපාන වැදගත් සාධකයක් ලෙස සැලකිය යුතුය. නිදහස ලැබීමෙන් පසු පළමුවරට අධිකරණය සතු වගකීම් ගැන කතා කරන තත්ත්වයක් ගොඩනැගී තිබේ. රටට අවශ්යවන්නේ ආණ්ඩු විරෝධී අධිකරණයක් නොව දේශපාලන බැඳීම්වලින් තොරව ස්වාධීනව හා සාධාරණව ක්රියාකරන අධිකරණයකි. එවැනි අධිකරණයක් විධායකයේ අනිසි ඇඟිලි ගැසීම්වලට එරෙහිව කරන සටනකින් පමණක් ඇතිවන්නේ නැත. අධිකරණය සදාචාරමය තලයේ ඇතිවී තිබෙන මහා පරිහානියටද විසඳුම් සොයාගන්නා තැනකට යායුතුය. අධිකරණයද තමන්ට තිබෙන බලය අනිසි ලෙස පාවිච්චි කළ, සදාචාර ගුණධර්ම ආරක්ෂා කරගැනීමට අසමත්ව තිබෙන දූෂිත ආයතන ක්රමයක් ලෙස සැලකිය හැකිය. වෙනත් සමහර රටවල මෙන් ශ්රී ලංකාවේ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසයක් හා ගෞරවයක් නැතිකම කෙරෙහි බලපා තිබෙන ලොකුම හේතුව වී තිබෙන්නේද එයයි. ඒ තත්ත්වයෙන් අත්මිදී මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන පැවැත්මක් සඳහා ඇති කරගත යුතු වෙනස්කම් කෙරෙහිද මේ මොහොතේ අධිකරණයේ අවධානය යොමුවිය යුතුය.
තේරීම් කාරක සභා ක්රියාවලියට හා එය විසින් ලබාදී තිබෙන තීන්දුවට අදාළව අධිකරණය දෙන්නට යන තීන්දු හා ඒවා කෙරෙහි ව්යවස්ථාදායකය හා විධායකය දක්වන ප්රතිචාර මෙම අර්බුදයේ අනාගත ගමන් මග කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කරනු නොවැළැක්විය හැකිය. පැරණි රාජාණ්ඩු ක්රමය යටතේ ජීවත් වූ රජවරුන්ට අධිකරණයේ ස්වාධීනත්වය පිළිගත හැකි දෙයක් නුවූ වූවා සේ මෙම දූෂිත දේශපාලන ක්රමයට හුරුපුරුදු වී සිටින පාලකයන්ටද ස්වාධීන අධිකරණයක පැවැත්ම පිළිගැනීමට අමාරුය. ඒ නිසා අනාගතයේ තව තව ගැටුම් ඇතිවීමද නොවැළැක්විය හැකිය.