ශ්රී ලංකාව ගැළවිය නොහැකි අර්බුදයන්ගේ විෂම චක්රයට හසු වූ අවාසනාවන්ත රටක් බවට පත් වී තිබේ. චක්රයට ඇතුළත් හැම අර්බුදයක්ම පෙර ඇති වූ අර්බුදයන්ට වඩා ප්රමාණයෙන් විශාල හා වඩා විනාශකාරී වීම ද එම චක්රයට ආවේණික විශේෂ ලක්ෂෂණයක් වන බව ද පෙනී යයි.
එය 1958 දි කරලියට ආවේ සිංහල දෙමළ කෝලාහලයක් වශයෙනි. ඉන් පසු 71 දි දකුණේ සිංහල තරුණ කැරැල්ලක් වශයෙනි. 83 දි නැවත වඩා විශාල ජාතිවාදි කෝලාහලයක් විලසිනි. 88-90 වකවානුවේ දි එය මතුවූයේ වෙනම රාජ්යයක් දිනාගැනීම සඳහා උතුරේ ක්රියාත්මක වූ යුද්ධ ව්යාපාරයක් පාලනය කිරීම පිණිස සිදුවන විදේශීය රටක මැදිහත්වීමකට එරෙහිව දකුණේ සිංහල තරුණයන් වෙතින් මතුවන වියරු කැරැල්ලක් වශයෙනි. දැන් නැවත රටක් වශයෙන් අපි ඉන්නේ එම විෂම චක්රයට ඇතුළත් ඇතිවන්නට නියමිත වඩා විශාල අර්බුදයක එළිපත්තේය.
යුද්ධ හමුදාව යාපනෙන් ලබන තීරණාත්මක පරාජයන් මීට පෙර කොයි කවරදාවත් ඇති නොවූ තරම් අති විශාල අර්බුදයකට රට ඇද දමනු නො අනුමානය.
යාපනෙන් ලබන තීරණාත්මක පරාජයන් මතුකරලනු ලබන පළමු ප්රශ්නය වනු ඇත්තේ එහි සිටින තිස් දහසක් තරම් වන හමුදාවන්ට හිමිවනු ඇති ඉරණම කුමක්ද යන ප්රශ්නයයි. ඔවුන් ත්රිවිධ හමුදාවන්ගේ සමස්තය නොවූවත් හමුදාවන්ගේ සාරය සමන්විත වන්නේ ඔවුන්ගෙනි.
දැනට කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය අනුව විදේශීය බලවතකුගෙන් ලබාගන්නා ඍජු සහයෝගයකින් තොරව යාපනේ සිටින හමුදාවන්ට තාවකාලික වශයෙන් හෝ අල්ලාගෙන සිටිය හැකි තත්ත්වයක් ඇතැයි සිතිය නොහැකි ය. තීරණාත්මක පරාජයක් නොවැළැක්විය හැකි නම් විශාල ජීවිත විනාශයකට ඉඩ නොතබා විදේශීය රටක ආධාර ඇතිව හෝ යාපනේ සිටින හමුදාවන් ඉන් ඉවත් කරගන්නා පිළිවෙතකට යොමුවිය යුතු ය. යාපනේ සිටින හමුදාවන් ඉවත් නොකරගන්නා දැඩි පිළිවෙතක් බිහිසුණු ප්රතිඵල ඇති කිරීමට හේතු විය හැකිවා සේ ම යාපනෙන් හමුදාවන් ඉවත් කර ගන්නා පිළිවෙතක් ඇතිකළ හැකි ප්රතිඵලද යහපත් විය නොහැකි ය.
ජීවිත ආරක්ෂෂාව සලකා යාපනේ අත්හැර යන ක්රියාමාර්ගයක් යාපනේ සිට ආපසු එන හමුදාවන් තුළ පමණක් නොව ඉන් පිටස්තර හමුදාවන් තුළ ද අති විශාල පරාජිත හැගීමක් ඇති කිරීමට හේතු වේ. එම මානසික ස්වභාවය නැවත හමුදාවන් වසර ගණනක් යන තෙක් යුද්ධයට යොමුකළ නොහැකි තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකි ය.
එවැනි තත්ත්වයක් යටතේ යාපනේ සිට නැවත කොළඹට එන හමුදා සේවයේ යෙදි සිටින අයගෙන් වැඩි පිරිසක් තවදුරටත් හමුදා සේවයේ රැඳී සිටිනු ඇතැයි සිතිය නොහැකි ය. එසේ හමුදාව අතහැර යන විශාල පිරිස්වලට කුමක් කරන්නේද යන ප්රශ්නයට පිළිතුරක් සොයාගැනීම ද අසීරුය.
යාපනෙන් ලබන තීරණාත්මක පරාජයක් සිංහල ආධ්යාත්මය කෙරෙහි ඇති කරන බලපෑම හා ඒ මගින් ඇති කළ හැකි ප්රතිඵල මොනවාද යන්න නොපැහැදිළි ය.
යාපනෙන් ලබන තීරණාත්මක පරාජයකින් පසුව බලයේ සිටින පොදු පෙරමුණු ආණ්ඩුව තවදුරටත් බලයේ සිටිය හැකි තත්ත්වයක් පවතිනු ඇතැයි සිතිය නොහැකි ය. එහෙත් ආණ්ඩුවේ ඇති කරන වෙනසක්, පවතින අර්බුදය ජය ගැනීමට සමත් කාර්යක්ෂෂම නව පාලනයක් ඇති කිරීමට හේතුවනු ඇතැයි ද සිතිය නොහැකි ය. 83 ජූලිවලට පෙර 200කටත් අඩු අනුගාමික පිරිසකගෙන් සමන්විත ව්යාපාරයක් නිත්ය යුද්ධ හමුදාවකට සාර්ථක ලෙස අභියෝග කරමින් හා යාපනේ අර්ධද්වීපයේ තිබූ හමුදාවල ක්රියාකාරීත්වය බැරැක්කවලට සීමා කරමින් තමන්ගේ පාලනයක් පවත්වාගෙන යාමට හැකි තත්ත්වයක් දක්වා වර්ධනය වීම කෙරෙහි එවකට බලයේ සිටි එජාප ආණ්ඩුවේ දූෂිත හා අකාර්යක්ෂෂම පාලනය බලපෑවා සේම ඉන් පසු උතුරේ හමුදාවන් තීරණාත්මක පරාජයකට යොමු කරමින් වෙනම රාජ්යයක් හිමිකර ගන්නා තත්ත්වයක් දක්වා වර්ධනය වීම කෙරෙහි පොදු පෙරමුණු ආණ්ඩුවේ ද දූෂිත හා අකාර්යක්ෂෂම පාලනය බලපෑවේ ය. මේ පක්ෂෂ දෙකෙන් පිටස්තරව සිටින අනෙකුත් පක්ෂෂ හා ව්යාපාර පවා මේ තත්ත්වය ජය ගැනීමට අවශ්ය ශක්තිමත් දැක්මක් ඇති අය ලෙස සැලකිය නොහැකි ය. එම තත්ත්වය යටතේ පොදු පෙරමුණු ආණ්ඩුවේ බිඳවැටීමක් ඇති වුවත් ඉන් පසු බලයට එන කවර පිරිසකට වුවත් මේ අර්බුදය තව තවත් උග්ර කිරීමට මිස එක්තරා ප්රමාණයකට හෝ පාලනයක් ඇති කිරීමට සමත්වනු ඇතැයි සිතිය නොහැකි ය.
මේ මොහොතේ දි ප්රභාකරන් උතුර ජයගැනීමෙන් පමණක් නවතිනු ඇතැයි සිතිය නොහැකි ය. තමන්ට ලැබී තිබෙන වාසිදායක තත්ත්වය උපරිම ලෙස ප්රයෝජනයට ගනිමින් නැගෙනහිර ආධිපත්යය ද තහවුරු කරගැනීම සඳහා උපරිම ශක්තිය යොදා ක්රියා කරන පිළිවෙතකට යොමුවනු නොවැළැක්විය හැකි ය.
උතුරෙන් ලබන තීරණාත්මක ජයග්රහණයන් නැගෙනහිර බලය අත්පත් කර ගැනීමට අවශ්ය පහසු පදනමක් ලබාදෙනු ඇති අතර අපේ හමුදාවන් ඇද වැටී සිටින පරාජිත මානසික තත්ත්වය යටතේ එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට සමත්වනු ඇතැයි සිතිය නොහැකි ය. මෙහි අවසාන ප්රතිඵලය වනු ඇත්තේ නිල රාජ්යයන් දෙකක් රට තුළ ඇතිවීම ය. ඒ සමග එහෙත් එක රටක ආණ්ඩුවක් හා ඒ රටේ ගරීල්ලා සංවිධානයක් අතර කෙරුණු යුද්ධය රාජ්යයන් දෙකක් අතර කෙරෙන බිහිසුණු යුද්ධයක් බවට හැරිම ද නොවැළැක්විය හැකි ය.
මෙතෙක් පැවති යුද්ධයේ දි අහසේ ඒකාධිකාරි බලය තිබුණේ අපට ය. ඒ නිසා ඔවුන්ට එරෙහිව අපට කැමති ඉලක්කයකට අහසින් ගොස් බෝම්බ දැමීමේ හැකියාව තිබුණි. එහෙත් ඉදිරි යුද්ධයේ දි අප ඔවුන්ට එරෙහිව ඔවුන්ගේ ඉලක්කවලට අහසින් බෝම්බ දමන විට ඔවුන් ද අපට එරෙහිව අපගේ ඉලක්කවලට බෝම්බ දමන තත්ත්වයක් ඇතිවීම ද නොවැළැක්විය හැකි ය. කොන්ෆෙඩරේෂන් තත්ත්වයකට යමින් හෝ ඊළගට ඇතිවන්නට නියමිත රාජ්යයන් දෙකක් අතර යුද්ධය පාලනය කර ගැනීමට අසමත් වෙතොත් එය රට කෙරෙහි පමණක් නොව අවට කලාපීය රටවල් කෙරෙහි ද විනාශකාරි බලපෑමක් ඇති කරනු නොවැළැක්විය හැකි ය.