ගාන්ධි නූතන ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒම (4)

March 27, 2011
Publication:
The British took the Kandyan kingdom in 1815 not by battle but by a crafty programme, and Sir John D'Oyly admitted as much in a long conversation, describing the programme he had run and naming several of the natives who acted as its chief pawns. It succeeded because of the support the Kandyan chiefs gave, in the expectation that the power to rule under British authority would come to them.

1815දී බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට අල්ලා ගත්තේ සටනකින් නොව සටකපට වැඩපිළිවෙළකිනි. සර් ජෝන් ඩොයිලි සමග කරන ලද දීර්ඝ සාකච්ඡාවකදී ඔහු ඒ බව පිළිගත්තා පමණක් නොව, ඔහු විසින් දියත් කරන ලද එම වැඩපිළිවෙළ හා එහි ප්‍රධාන ඉත්තන් ලෙස ක්‍රියා කල ස්වදේශිකයන් ගණනාවක් ගැනද විස්තර කළේය. බ්‍රිතාන්‍යයන්ට එම වැඩපිළිවෙල සාර්ථක කරගත හැකිවූයේ උඩරට රදළයන්ගෙන් ලැබුණු සහාය නිසාය. කන්ද උඩරට රාජ්‍යය අල්ලා ගැනීමෙන් පසුව බ්‍රිතාන්‍ය අණසක යටතේ කන්ද උඩරට රාජ්‍යය පාලනය කිරීමේ බලය තමන්ට ලැබෙනු ඇතැ”යි ඇහැළේපොල අදිකාරම් ඇතුළු සෙසු උඩරට රදළ නායකයෝ විශ්වාස කළහ. එහෙත් ඔවුන් අපේක්ෂා කළ තරම් බලයක් ඔවුන්ට නොලැබීම නිසා අතෘප්තිමත් තත්ත්වයකට පත්ව සිටි ඔවුහු 1817 වසර අවසාන කාර්තුවේදී අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ පැවති කැරැල්ලට ආධාර හා අනුබල දෙන පිරිසක් බවට පත්වූහ. බ්‍රිතාන්‍ය පාලකයන් යුද්ධ නීතිය ප්‍රකාශ කොට කැරැල්ල අතිශය කෘෘර ලෙස මර්දනය කළා පමණක් නොව, කැරැල්ලට සම්බන්ධකම් ඇතිව සිටි රදළයන්ගේ හිස් ගසා මරා දැමීමෙන් නොනැවතී, 1818 නොවැම්බර්වලදී පනවන ලද ආඥාවක් මගින් රදළයන් සතුව තිබූ බලතලද අහෝසි කරන ලදි. ඉන්පසු එතෙක් රදළයන් සතුව තිබූ බලතල ක්‍රියාත්මක කරවන ලද්දේ රජයේ නිලධාරීන් මගිනි. බ්‍රිතාන්‍ය පාලනයට සමීපව ක්‍රියාකිරීම තුළ බලවත් තත්ත්වයක් හිමි කරගෙන සිටි පවුල් කණ්ඩායමක් ලෙස සැලකිය හැකි පහතරට මුදලි පේරුව තමන් වෙත කෘත්‍රිම රදළ පෙනුමක් ආරෝපණය කරගනිමින් ස්වදේශිකයන් අතර සිටින වඩාත්ම බලවත් හා ප්‍රමුඛ පිරිස බවට පත්වන්නේද ඒ සමගය.

බ්‍රිතාන්‍ය යුගයේ ඇතිවූ දියුණුව

සටකපට ස්වරූපයකින් අත්පත් කරගන්නා ලද බලය ලෙයින් හා යකඩයෙන් තහවුරු කරගත්තා වුවද ලංකාව නවීන රටක් බවට පත්වන්නේ බ්‍රිතාන්‍ය යුගයේදීය.

රට පුරා පැතිරුණු මහාමාර්ග හා දුම්රිය මාර්ග පද්ධතියක් ඇතිවන්නේද, තේ, රබර් හා පොල් යන වගාවන් පදනම් කොටගෙන නවීන වතුවැවිලි ආර්ථිකයක් ඇතිවන්නේද, වෙළෙඳාම් පදනම් කරගත් නගර ඇතිවන්නේද, මුළු රටම සඳහා පොදු පරිපාලන ක්‍රමයක්, අධිකරණ ක්‍රමයක් හා ඒකාබද්ධ ආණ්ඩු ක්‍රමයක් ඇතිවන්නේද එම යුගයේදීය. ජන්ම උරුමයෙන් ලැබුණු කුලය විසින් නියම කරන ලද ජීවන වෘත්තියක් වෙනුවට තමන් කැමති ජීවන වෘත්තියක් තෝරාගැනීමේ නිදහස සමග නීතිය ඉදිරියේ සියලුදෙනා සමානයන් ලෙස පිළිගන්නා නවීන සමාජයක් ඇතිවන්නේද එම යුගයේදීය. රදළ ඉඩම් හිමි පන්තියක් හා ඔවුන්ට සේවාවන් කරන ප්‍රවේණිදාස පන්තියක් මත පදනම් වූ වැඩවසම් සමාජ ක්‍රමයක් වෙනුවට ධනපති පන්තියක් හා ඔවුන්ට ශ්‍රමය විකුණන කම්කරු පන්තියක් මත පදනම් වූ ධනේශ්වර සමාජ ක්‍රමයක් ඇතිවන්නේද එම යුගයේදීය. මුළු රට පුරා පැතිරුණු පාසල් ක්‍රමයක් හා පාසල් අධ්‍යාපනය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකන තත්ත්වයක් ඇතිවන්නේද අකුරු උගත්කම පැතිරී පොත්පත්, පුවත්පත් හා සඟරා කියවන අකුරු උගත් සමාජයක් ඇතිවන්නේද එම යුගයේදීය. බෞද්ධ, හින්දු, මුස්ලිම් යන දේශීය ආගම්වලද පුනර්ජීවනයක් ඇතිවන්නේද එම යුගයේදීය.

වෙනත් යටත්විජිත රටවලට සේ ම ලංකාවට ද යටත්විජිතවාදය නිසා ඇතිවූයේ හානියක් පමණකැ”යි සැලකීම දෝෂසහගතය. යටත්විජිතවාදය මෙම රටවල් සම්බන්ධයෙන් ඓතිහාසික අර්ථයෙන් ඉදිරිගාමී කාර්යභාරයක්ද ඉටු කළේය. යටත්විජිත ක්‍රමය මේ රටවලට ධනය කොල්ලකන අතර ඒ රටවල තිබූ යල් පැනගිය නිෂ්පාදන ක්‍රම, සමාජ සම්බන්ධතා හා දේශපාලන ක්‍රම අහෝසි කොට නවීන නිෂ්පාදන ක්‍රම, නවීන සමාජ සම්බන්ධතා හා නවීන පාලන ක්‍රම ඇති කළේය.

වාර්ගික බෙදීම්

ජනවාර්ගික විෂයෙහි ඒ යුගයේ දක්නට තිබුණු චිත්‍රය මෙසේය. 1921 ජනලේඛනය අනුව ලංකාවේ ජනගහනය ජනවර්ග අනුව මෙසේය.

සංඛ්‍යාව අනුපාතිකය

සිංහල3,016,15467.04%

දෙමළ1,120,05924.89%

යෝනක (මරක්කල)854,67318.99%

බර්ගර් හා යුරේසියානු29,4390.65%

මැලේ13,4020.29%

යුරෝපය8,1180.18%

වැදි4,5100.10%

වෙනත්21,9590.48%

සිංහලයන් අතරද උඩරට පහතරට වශයෙන් ප්‍රධාන බෙදීමක් තිබුණි. මුළු සිංහල සංඛ්‍යාවෙන් පහතරට සිංහල සංඛ්‍යාව 1927057 (63.84%) ක් වූ අතර උඩරට සිංහල සංඛ්‍යාව 1089097 (36.11%) ක් විය. පහතරට සිංහලයන් ලෙස සැලකෙනුයේ පෘතුගීසීන් විසින් අල්ලා ගන්නා ලද කෝට්ටේ රාජ්‍යයට අයත් සිංහල ප්‍රදේශවල ජීවත් වූ සිංහලයෝය. තෙත් කලාපයේ පහත්බිම් ප්‍රදේශවල එනම් උතුරින් හලාවත සිට දකුණින් හම්බන්තොට දක්වා වන ප්‍රදේශවල ජීවත් වන සිංහලයෝය. උඩරට සිංහලයන් ලෙස සැලකුණෝ පෘතුගීසීන් විසින් කවර කාලයකදීවත් අත්පත් කොට නොගන්නා ලද ප්‍රදේශවල එනම් 1815දී ඉංග්‍රීසීන් උඩරට රාජ්‍ය අත්පත් කරගන්නා තෙක් උඩරට රාජ්‍යයට අයත් ප්‍රදේශවල ජීවත් වූ සිංහලයෝය. දෙමළ ප්‍රදේශ හැර වියළි කලාපයේ සෙසු කොටස් ද මැද කඳුරටද ඔවුන් ජීවත් වූ ප්‍රදේශවලට අයත් විය. උඩරට සිංහලයන් තමන් දැක්කේ පහතරට සිංහලයන් මෙන් බටහිර බලපෑමට හසුවී දූෂණය නොවූ පාරම්පරික සිංහල ශිෂ්ටාචාරයේ නියම උරුමක්කාරයන් ලෙසය. ඒ නිසා ඔවුහු තමන් පහතරට සිංහලයන්ට වෙනස් අනන්‍යතාවක් ඇති ජනවර්ගයක් ලෙස සැලකූහ.

දමිළයන් අතර ද දේශීය හා විදේශීය වශයෙන් වන බෙදීමක් තිබුණි. මුළු දෙමළ ජනගහනය 1120059ක් වන විට ඉන් 517324 (46.14%) දේශීය දෙමළ වන විට 602735 (53.82%ක්) ඉන්දියානු දෙමළ විය.

වතු වගාව සඳහා අවශ්‍ය කම්කරු ශ්‍රමය උඩරට සිංහල ගැමි ජනයාගෙන් ලබාගැනීමට වැවිලිකරුවන් දරන උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු වතුකරුවන් වතුකරය සඳහා අවශ්‍ය කම්කරුවෝ දකුණු ඉන්දියාවෙන් ගෙන්වා ගන්නා ලදහ. වතුකරයේ පරිමාව විශාලවීමත් සමග ඊට අනුරූපව දකුණු ඉන්දියාවෙන් ගෙන්වා ගන්නා ලද දෙමළ වතු කම්කරුවන්ගේ පරිමාවද ඉහළ ගියේය. පසුව එම දෙමළ සංක්‍රමණීය කම්කරුවන් අතරට දුම්රිය මාර්ග, මහාමාර්ග, වරාය, කම්කරුවෝ හා කසළ ශෝධක කම්කරුවෝද එකතු වූහ. පළමු කී පිරිස වතුකරයේද, දෙවනු කී පිරිස කොළඹ නගරයේද වැඩ කළේය.

උඩරට ගම් විශාල වතුවලින් වටවී තිබෙන විට එම සිංහල ගම්වල පරිභෝජනය සඳහා නිෂ්පාදනය කරන විට යුරෝපීයයන්ට අයත්, දෙමළ වතු කම්කරුවන් වැඩ කළ වතුකරයේ නිෂ්පාදනයන් කැරුණේ පිටරට යැවීම සඳහාය. වතුකරය සඳහා යොදාගෙන තිබුණේ සතුන්ට තණ කැවීම සඳහා ද, සතුන් දඩයම් කිරීම හා දර සපයා ගැනීම සඳහා ද උඩරට සිංහල ගැමියන් පාවිච්චි කරමින් තිබූ කැලෑ ඉඩම්ය.

ඉන්දියානු වතු කම්කරුවන් ගතකළ ජීවිතය ඉතාමත් කටුක හා අසරණ තත්ත්වයක පැවතියද වතුකරය උඩරට සිංහල ගැමියන් අතර උග්‍ර ඉඩම් හිඟයක් ද අන්ත දුප්පත්කමක් ද ඇති කිරීමට හේතුවී තිබීම නිසා ඉන්දියානු දෙමළ වතු කම්කරුවෝ උඩරට සිංහල ගැමියන්ගේ විරෝධයට හේතුවූ ජන කණ්ඩායමක් බවට පත්ව සිටියෝය.

යෝනක හෝ මරක්කල ලෙස සැලකුණු මුස්ලිම් ජනතාව අතර ද දේශීය හා විදේශීය වශයෙන් ප්‍රභේද දෙකක් තිබුණි. දේශීය ප්‍රභේද කම්කරුවන්ගෙන්, සුළු වෙළෙන්දන්ගෙන්, සාප්පුකාරයන්ගෙන් හා තොග වෙළෙන්දන්ගෙන් සමන්විත විය. ඔවුන්ගේ සංඛ්‍යාව 251938ක් වූ අතර විදේශීය ප්‍රභේද දකුණු ඉන්දියාවේ වෙරළබඩ පෙදෙසින් හම්බන් නමැති ඔරුවලින් පැමිණි පිරිසක් වීම නිසා ඔවුන් හැඳින්වුණේ හම්බයන් වශයෙනි. වෙළෙඳාමෙන් ජීවත් වූ ඔවුන්ගේ සංඛ්‍යාව 33026ක් විය.

ඉංග්‍රීසි භාෂාව කතා කළ ක්‍රිස්තියානි ආගම ඇදහූ බර්ගර්වරු හා යුරෝසියානුවෝ ප්‍රධාන කොට විද්වත් වෘත්තීන්හි හා ලිපිකරු සේවයේ නිරත ජන කණ්ඩායමක් වූහ.

ජනලේඛනයේ වර්ග නොකළ වෙනත් ගණයට අයත් 21952ක් දෙනා අතර ඉන්දියාවෙන් හෝ වෙනත් රටවලින් වෙළෙඳාම සඳහා ලංකාවට පැමිණි බෝරා, පාසි, සින්ධි නාටු කොට්ට හෙට්ටි වැනි වෙළෙඳ ප්‍රජාවන් අයත් විය. මෙම වෙළෙඳ ප්‍රජාවන්ගෙන් වැඩි පිරිසක් ද පසුකලක ශ්‍රී ලංකා සමාජයට එකතු වූහ. ඒ අය අතරින් බලවත්ම වෙළෙඳ ප්‍රජාව වූයේ නාටු කොට්ට හෙට්ටින්ය. ඔවුන් ඉන්දියාවේ චෙට්ටි කාසි ප්‍රදේශයෙන් පැමිණි දෙමළ හින්දු වෙළෙඳ කණ්ඩායමකි. විදේශීය බැංකු ස්වදේශීය ව්‍යාපාරිකයන්ට මුදල් ණයට නොදුන් එම යුගයේදී ස්වදේශීය ව්‍යාපාරිකයන් මුදල් ණයට ලබාගත්තේ එම හෙට්ටි වෙළෙඳුන්ගෙනි. සංඛ්‍යාවෙන් ඉතා සුළු වුවත් ප්‍රබල ව්‍යාපාරික වර්ග තුනක් ලෙස සැලකිය හැකි පාර්සි, බෝරා හා සින්දි ජාතික වෙළෙඳුන් ලංකාවට පැමිණ තිබුණේද බ්‍රිතාන්‍ය යුගයේදීය.

මෙම බහුවාර්ගික සමාජයේ මුදුනේම සිටි බලවත්ම සමාජ කණ්ඩායම වූවෝ බ්‍රිතාන්‍ය ජාතිකයන් ප්‍රමුඛ යුරෝපීය ජාතිකයෝය. එම පිරිස රජයේ නිලධාරීන්ගෙන් ද වැවිලිකරුවන් හා වෙනත් ව්‍යාපාරිකයන්ගෙන් ද සමන්විත විය. ඔවුන්ගේ බලවත්කමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණේ රටේ දේශපාලන හා ආර්ථික බලය හිමි කරගෙන සිටි වර්ගය ඔවුන් වීම නිසාය.

පහතරට මුදලි පේරුව

පහතරට මුදලි පේරුව වශයෙන් හැඳින්වුණු ඔබේසේකර, ඩයස් බණ්ඩාරනායක, සේරම්, ඉලංගකෝන්, ද අල්විස්, ලිවේරා, පීරිස් හා සිරිවර්ධන යන පවුල් කිහිපයෙන් සමන්විත ඥාති සම්බන්ධකම් මගින් වන පවුල් ගණයක් බවට පත්ව සිටි එම පවුල් කණ්ඩායම ස්වදේශිකයන් අතර ඉහළින්ම සිටි කණ්ඩායම විය. ඔවුහු ඉංග්‍රීසි ආණ්ඩුවට සමීපව ක්‍රියාකරන තත්ත්වයක් තුළ ආණ්ඩුවෙන් විශේෂ වරප්‍රසාද හා නම්බුනාම ලැබූ විශාල ඉඩම් හිමිකමක් ඇති කරගනිමින් ඉංග්‍රීසි ජේත්තුකාර ජීවන ක්‍රමයක් පවත්වාගෙන යන අතර ව්‍යාජ රදළ තත්ත්වයක් ආරෝපණය කරගත් පිරිසක් වූහ. ඔවුහු කුලයෙන් ගොවිගම වුවද රදළ නොවූහ. ඔවුන්ට තිබූ විශාල ඉඩම් අයිතියෙන් කිසියම් පංගුවක් ස්වදේශිකයන්ගේ කැරලි ඇතිවූ විට ඒවා මර්දනය කිරීමේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුවට දක්වන ලද සහාය වෙනුවෙන් ආණ්ඩුවෙන් ලැබුණු ප්‍රදාන විය. තවත් කොටසක් නිල බලයෙන් අත්පත් කරගන්නා ලද ඒවා විය. පහතරට මුදලි පේරුවට අයත් මෙම පවුල් කණ්ඩායමට අයත් එක පවුලකට හිමි ඉඩම් ප්‍රමාණය සාමාන්‍යයෙන් අක්කර 1000කට වැඩිවිය. එහෙත් ඔවුහු පොල් වගාවට මිස කෝපි හෝ රබර් වගාවට උනන්දුවක් නොදැක්වූහ. ඔවුන්ට ඉඩම් තිබුණේද මධ්‍යම කඳුකරයේ නොව, සිය ගම් ප්‍රදේශවලය. මුදලිවරු තමන්ට තිබුණු නිල බලය මත සිය ඉඩම් වගාකර ගැනීම සඳහා ගැමියන්ගේ ශ්‍රම ශක්තිය බොහෝවිට වැටුප් නැතිව බලහත්කාරී ලෙස යොදා ගත්තෝය. සිංහල සමාජයේ මෙම මුදලි පේරුව රඟපෑ භූමිකාවට සමාන භූමිකාවක් දෙමළ සමාජය තුළ පොන්නම්බලම් කුමාරස්වාමි පවුල රඟපෑවේය.

ස්වදේශීය ධනපති පන්තිය

ස්වදේශීය සමාජයේ සිටි ඊළඟ බලවත්ම කණ්ඩායම සමන්විත වූයේ ව්‍යාපාරිකයන්ගෙනි. වාණිජ වතු වගාව මත පදනම් වූ ධනේශ්වර ක්‍රමය විසින් විවර කරන ලද ව්‍යාපාරික ඉඩ ප්‍රස්ථා ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීම මගින් ධනවතුන් බවට පත් ස්වදේශීය ව්‍යාපාරිකයන්ගෙන් මෙම පන්තිය ගොඩනැගී තිබුණි. මෙම පිරිස පහළ තත්ත්වයක සිට සිය ව්‍යාපාරික දක්ෂතා තුළින් ධනවත් බවට පත් අය වූහ. ඔවුහු විවිධ ජනවර්ග වලට විවිධ ආගම්වලටද, සිංහල දෙමළ සමාජයේ විවිධ කුලවලටද අයත් වූහ. ඔවුහු කාර්මික ප්‍රාග්ධනය වෙනුවට වෙළෙඳ ප්‍රාග්ධනය මත යැපුණු ධනපති පන්තියක් වූහ.

මෙම ධනපති පන්තියෙන් සිංහල ගණයට අයත් පිරිසෙන් වැඩි පිරිසක් පහතරට සිංහලයෝ වූහ. ඒ අතරින්ද බලවත් කණ්ඩායම සමන්විත වූයේ මුහුදුබඩ කුල වශයෙන් සැලකුණු කරාව, දුරාව හා සලාගම යන කුලවලට අයත් පුද්ගලයන්ගෙනි. සියලු කුලවලට අයත් අය අතුරින් බලවත්ම කණ්ඩායම අයත් වූයේ කරාව කුලයටය. අරක්කු කර්මාන්තය සහමුලින්ම වාගේ පැවතුණේ ඔවුන්ගේ ආධිපත්‍යය යටතේය. මිනිරන් පතල් කර්මාන්තයේ හා මිනිරන් අපනයනයේ වැඩිම පංගුවක් හිමිව තිබුණේද ඔවුන්ටය. එහෙත් මෙම ධනපති පන්තිය තුළ ගොවිගම කුලයට හා වෙනත් කුලවලටද කිසියම් ප්‍රමාණයක නියෝජනයක් තිබුණි. මෙම ධනපති පන්තිය සම වාර්ගික හෝ සම කුල නොවීම නිසා ඔවුන් අතර වර්ගය හා කුලය මුල් කරගත් බෙදීම් තිබුණි. අනෙක් අතට පොදුවේ මෙම ධනපති පන්තිය හා දේශීය සමාජයේ ප්‍රමුඛතම පන්තිය ලෙස සැලකුණු පහතරට මුදලි පන්තිය අතරද විරසකතා තිබුණි. මෙම ධනපති පන්තියේ සාමාජිකයන් බහුතරයක් කුල පසුබිම අතරමැදි හෝ පීඩිතවීම හේතු කොටගෙන පහතරට මුදලි පන්තිය ඔවුන් දෙස බැලුවේ අවඥාවෙනි. අනෙක් අතට තම පන්තිය වඩා ධනවත් තත්ත්වයක් හිමිකර ගෙන තිබියදීත් ආණ්ඩුව පහතරට මුදලි පන්තියට ප්‍රමුඛ තත්ත්වයක් ලබාදීම ඔවුන්ගේ විරෝධයට හේතුවී තිබුණි.

දේශීය හා විදේශීය වශයෙන් ද ධනපති පන්තිය තුළ බෙදීමක් තිබුණු අතර රටේ ධනය උපයන වැදගත්ම මාර්ග හිමි කරගෙන තිබුණේ බ්‍රිතාන්‍ය හා යුරෝපීය ධනවතුන් විසිනි. දේශීය ධනපති පන්තියේ ප්‍රසාරණය ප්‍රධාන කොට සිදුවී තිබුණේ ලංකාවේ සිටි යුරෝපීය ධනවතුන්ගේ උනන්දුවට හේතු නොවූ අංශවලය.

කම්කරු පන්තිය හා ගොවි ජනයා

කම්කරු පන්තිය අතරද දේශීය හා විදේශීය වශයෙන් බෙදීමක් තිබුණි. 1921 වන විට පුහුණු නුපුහුණු කම්කරුවන්ගේ මුළු සංඛ්‍යාව ලක්ෂ හතරක් පමණ වූ අතර ඔවුන්ගෙන් ලක්ෂයක් පමණ දෙනා කොළඹ නගරයේද, ඉතිරි පිරිස වතුකරයේද කම්කරුවන් ලෙස සේවය කළෝය. කොළඹ නගරයේ කම්කරුවන්ගෙන් බහුතරයක් ස්වදේශිකයන්ගෙන්ද, සුළුතරයක් ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන්ගෙන්ද සමන්විත වන විට වතුකරයේ සේවය කළ කම්කරුවන්ගේ ඉතා සුළු පිරිසක් හැර විශාල බහුතරය ඉන්දියානු සංක්‍රමණික දෙමළ කම්කරුවෝ් වූහ.

මීට අතිරේකව ගොවිතැන ජීවනෝපාය කරගත් විශාල ගොවි ජනතාවක්ද ගම්බද ප්‍රදේශවල ජීවත් විය. ඔවුන්ගෙන් කිසියම් පිරිසක් තමන් වගා කරන ඉඩමේ වැඩවසම් ඉඩම් හිමියා වෙනුවෙන් ඔහුගේ ගොවිපොළ නොමිලේ වගා කරදෙන හෝ ඒ වෙනුවෙන් නියම කළ වෙනත් සේවාවන් කළ වැඩවසම් ගොවීන්ගෙන් හා හස්ත කර්මාන්තකරුවන්ගෙන් සමන්විත විය.

සංවර්ධනයේ ඵල විසම ලෙස බෙදීයෑම

නව ක්‍රමය විසින් ඇති කළ සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු ජනවර්ග අතර සේම ජනවර්ග තුළද සමාන ලෙස බෙදී ගියේ නැත. වැඩිම ප්‍රතිලාභ ලැබූ වාර්ගික කණ්ඩායම පහතරට සිංහලයන් වන විට අඩුම ප්‍රතිලාභ ලැබූ වාර්ගික කණ්ඩායම උඩරට සිංහලයෝ වූහ. වාණිජ වතු වගාව ව්‍යාප්තව තිබුණේ උඩරට සිංහලයන් විසූ ප්‍රදේශවලය. එහෙත් 1815දී එම ප්‍රදේශ බ්‍රිතාන්‍යයන් විසින් අල්ලා ගන්නා තෙක් බටහිර බලපෑමෙන් හා වාණිජ්‍ය බලපෑමෙන් උඩරට සිංහලයන් පිටස්තරව සිටීම නිසා විවර වූ ඉඩ ප්‍රස්ථා ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් ඔවුන්ට නොතිබුණි. අනෙක් අතට පහතරට සිංහලයන් පෘතුගීසි යුගයේ සිටම බටහිර බලපෑමට හසුවූ හා වාණිජ්‍යයට හුරුපුරුදු වූ ජනතාවක් වීම හේතු කොටගෙන විවර වූ ඉඩ ප්‍රස්ථා ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඔවුහු සමත් වූහ. එහිදීද කුල වශයෙන් ගත් විට පහතරට සිංහල සමාජයේ කුල ප්‍රජාව අතර ප්‍රතිලාභ බෙදී ගොස් තිබුණේ විසම ආකාරයටය. මුහුදුබඩ කුල ලෙස කරාව, සලාගම හා දුරාව යන කුල කණ්ඩායම් තුන ලෙස සැලකිය හැකි අතර ඒ අතරිනුත් කරාව කුලය ප්‍රධාන විය. ගොවිගම කුලයට එම කුලයේ ජන අනුපාතිකයේ විශාලත්වයේ තරමට ප්‍රතිලාභ නොලැබුණේයැ”යි කිව හැකිවා සේ ම පහතරට සිංහල කුලධුරාවලියේ ආන්තික තත්ත්වයක සිටි කුල කණ්ඩායම්වලට ලැබුණු ප්‍රතිලාභද ආන්තික මට්ටමක තිබුණි.

නව ධනේශ්වර සංවර්ධන ක්‍රියාවලිය ස්වදේශීය දෙමළ ජනතාව ප්‍රධාන වශයෙන් ජීවත් වූ යාපනේ අර්ධද්වීපය කෙරෙහිත්, අප්‍රධාන වශයෙන් ජීවත් වූ නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශය කෙරෙහි ඇති කර තිබුණු බලපෑම බලවත් නොවීය. එම ප්‍රදේශ කෙරෙහි නවීන වතු වගාව බලනොපෑවේය. පහතරට සිංහලයන්ට ප්‍රාග්ධන සමුච්චනය සඳහා විවෘත වූ ජනප්‍රිය මාර්ග ලෙස සැලකිය හැකි මත්පැන් කර්මාන්තය, පතල් කර්මාන්තය, ඉදිකිරීමේ කර්මාන්තය සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය හෝ කුලීකරුවන් සපයන කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියාකිරීමේ හැකියාව වැනි බොහෝ මාර්ග ඔවුන් වෙත විවෘත වූයේ නැත. ඒ නිසා ඔවුන්ට ඉහළ නැගීම සඳහා තිබුණු බලවත්ම මාර්ගය වූයේ තිබුණේ අධ්‍යාපනයයි. යාපනේ අර්ධද්වීපයට ඇමරිකානු මිෂනාරින්ගෙන් කදිම පාසල් පද්ධතියක් ලැබී තිබුණි. බ්‍රිතාන්‍ය යුගයේදී විවිධ මිෂනාරී කණ්ඩායම්වලට ප්‍රදේශ භාරදීමේදී ඇමරිකන් මිෂනාරීන්ට යාපනේ බාරදී තිබුණේ ඔවුන්ගෙන් යාපනේ ජනතාවට සිදුවිය හැකි යහපත සලකා නොව, ඇමරිකන් මිෂනාරීන්ට තිබුණු අකමැත්ත නිසා ඔවුන් යැවීමට තිබුණු දුෂ්කරම ප්‍රදේශය ලෙස සලකාය. බැට්කොට්ටා සෙමනේරිය නමින් ඔවුන් වඩුක්කොඩෙයි ප්‍රදේශයේ ආරම්භ කළ ප්‍රථම ඉංග්‍රීසි පාසල ඉංග්‍රීසි අධ්‍යාපනයේදී පුරෝගාමී කාර්යභාරයක් ඉටුකළ පාසලක් ලෙස සැලකිය හැකිය. 1847දී වෛද්‍ය සැමුවෙල් ග්‍රීන් විසින් වෛද්‍ය විද්‍යාව සඳහා ශිෂ්‍යයන් පුහුණු කරන පාසලක් වඩුක්කොඩෙයිහි ආරම්භ කළේය. යාපනේ වාසි දෙමළ පවුල්වලට දකුණු ඉන්දියාවේ සමහර දෙමළ පවුල් සමග තිබූ සමීප සම්බන්ධතා නිසා එහි බොහෝ දෙනකුට දකුණු ඉන්දියාවේ මදුරාසි ප්‍රාන්තයට ගොස් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාගත හැකිවිය. 1921දී ආරම්භ කරන තෙක් උපාධි අධ්‍යාපනය සඳහා වන විශ්වවිද්‍යාල ක්‍රමයක් ලංකාවේ නොතිබුණද, ඉන්දියාවේ විශ්වවිද්‍යාල ක්‍රමයක් ආරම්භ කොට තිබුණේ 1859 තරම් ඈත කාලයේදීය. ඉන්දියාවේ තිබුණු විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයෙන් වැඩියෙන්ම ප්‍රයෝජනය ලැබූ ලාංකිකයන් වනුයේ යාපනේ දමිළයන්ය. මේ නිසා යාපනේ අර්ධද්වීපය ලංකාවේ පමණක් නොව, මැලේසියාවේ රාජ්‍ය පරිපාලන සේවයටද පුද්ගලයන් සපයන ප්‍රධාන කලාපයක් බවට පත්ව තිබුණි. යාපනේ දෙමළ ජනයා දියුණුව කරා ඇදී ගියේ බොහෝ කොට රාජ්‍ය පරිපාලන සේවය සහ වෛද්‍ය, නීතිඥ වැනි නිදහස් වෘත්තීන් ඔස්සේය.

ඉංග්‍රීසි අධ්‍යාපනය එදා ලාංකික සමාජය කෙරෙහි වර්ගය අනුව බලපා තිබුණු ස්වභාවය පෙන්නුම් කරන තොරතුරු සමහරක් මෙසේය.

1921 වර්ෂයේදී බටහිර වෛද්‍ය, නීතිඥ, මිනින්දෝරු, වෙන්දේසිකාර, තක්සේරුකාර හා ඉංජිනේරු යන වෘත්තීන්හි නිරත ලාංකිකයන් සංඛ්‍යාව 2142කි

එම පිරිස ජනවර්ග අනුව බෙදී ගොස් තිබුණේ මෙසේය.

වර්ගයගණනප්‍රතිශතය

සිංහල98746

පහතරට සිංහල91242.5

උඩරට සිංහල753.2

ලංකා දෙමළ68431.9

බර්ගර්38017.7

මරක්කල (මුස්ලිම්)401.8

වෙනත්512.3

මෙම තොරතුරු එකල වෘත්තිකයන් වර්ගය අනුව බෙදීගිය ආකාරය පෙන්නුම් කරන කැඩපතක් වශයෙන් පමණක් නොව, ඉංග්‍රීසි අධ්‍යාපනය වර්ගය අනුව පැතිරී තිබුණු ආකාරය පෙන්නුම් කරන කැඩපතක් ලෙසද සැලකිය හැකි නම් ඉංග්‍රීසි අධ්‍යාපනයේදී එකල ඉදිරියෙන්ම සිටි ජනයා ලෙස සැලකිය හැක්කේ බර්ගර් ජනයාය.

බර්ගර් ජනයාද උසස් සමාජ තත්ත්වයක් හිමිකර ගැනීමට ප්‍රධාන මාර්ගය කොටගත්තේ බටහිර අධ්‍යාපනයයි. ඒ හැර ඔවුහු දියුණුවීමට තිබුණු වෙනත් ජනප්‍රිය විකල්ප මාර්ග ප්‍රයෝජනයට නොගත්හ. පොන්නම්බලම් අරුණාචලම් 1901 ජන සංගණන වාර්තාවේ දක්වා ඇති පරිදි බර්ගර් ජාතිකයෝ රජයේ ලිපිකාර සේවයේ කොඳු නාරටිය ලෙස ක්‍රියා කළෝය. එම සේවයේ උසස්ම තනතුරු මුළුමනින්ම හිමි කරගෙන සිටියෝ ඔවුහුය. බටහිර සංස්කෘතියට තිබූ සමීප සම්බන්ධය නිසා වෙනත් ස්වදේශීය ජාතිකයන්ට වඩා පහසුවෙන් ඉංග්‍රීසි භාෂාවට මාරුවීමේ හැකියාව ඔවුන්ට තිබුණි. ඔවුහු මව්බස ලෙස භාවිත කළෝද ඉංග්‍රීසි භාෂාවයි. ඉහත වගුවේ මුළු රැකියා සංඛ්‍යාවෙන් 380ක් හෙවත් 17.7%ක් හිමි කරගෙන සිටියෝ බර්ගර් ජාතිකයෝය. එම වසරේ ඔවුන්ගේ මුළු ජනගහනය 29439කි.

බර්ගර් ජාතිකයන්ට පසුව ජනගහනයේ ප්‍රමාණය අනුව දෙවැනි ස්ථානය හිමි කරගෙන සිටියෝ ස්වදේශීය දෙමළ ජනයාය. ස්වදේශීය ජනතාවගෙන් 15.38%ක් වූ ලාංකික දෙමළ ජනයා මෙම වෘත්තීන්හි අත්පත් කරගෙන තිබුණු පංගුව 31.9%ක් විය. ස්වදේශිකයන්ගෙන් 76.97%ක් වූ සිංහලයන් හිමි කරගෙන සිටි පංගුව 46%කි. ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේදී ලාංකික දෙමළ ජනයා සිංහලයන්ට වැඩියෙන් ඉදිරියෙන් සිටි බව ඉන් පෙනීයයි. එහෙත් සිංහලයන් අතර ද පහතරට සිංහල හා උඩරට සිංහලයන් වශයෙන් ගත් විට මෙම කණ්ඩායම් දෙක අතර මහා පරතරයක් තිබූ බව පෙනී යයි. සිංහලයන්ගෙන් 63.89%ක් වූ පහතරට සිංහලයන් පොදුවේ සිංහලයන් හිමි කරගෙන සිටි වෘත්තීන්ගෙන් 92.40%ක් හිමි කරගන්නා විට 36.11%ක් වන උඩරට සිංහලයන්ට හිමිව තිබුණේ 7.60%ක් පමණය.

මෙම විෂයේදී දේශීය මුස්ලිම්වරුන් සිටියේද වෙනත් ජනවර්ගවලට සාපේක්ෂව පසුගාමී තත්ත්වයකය. ඔවුන්ගේ ජනගහනයේ අනුපාතිකය 6.42%ක් වන විට එම වෘත්තීන්හි නිරත ඔවුන්ගේ අනුපාතිකය 1.8%ක් තරම් කුඩා විය. මුස්ලිම් වර්ගයා වෙළෙඳාම කෙරෙහි මිස අධ්‍යාපනය කෙරෙහි වැඩි උනන්දුවක් නොදැක්වීය.

බ්‍රිතාන්‍ය යුගයේ ඇතිවූ සංවර්ධනයේ ඵල බෙදීගිය මෙම විසම ස්වභාවය දෘෂ්ටිමය තලයේ සේ ම දේශපාලන තලයේ ඒ යුගයේ ඇතිවන තියුණු බෙදීම් කෙරෙහි බලපෑවේය.

(තවත් කොටසක් ලබන සතියේ)