අධිකරණ ස්වාධීනත්වය ගැන හෙළන කිඹුල් කඳුළු

December 4, 2011
Publication:
More than 150 lawyers have signed a resolution calling for a general meeting of the bar association against the appointment of a select committee to inquire into the wrongs done by the retired chief justice while he held office — and the first signature on it, according to the newspapers, is that of a candidate for the presidency of the association at the coming election.

විශ්‍රාම ගොස් සිටින අගවිනිසුරු සරත් නන්ද සිල්වා ගැන ඔහු තනතුරේ සිටියදී කරන ලද වැරදි ගැන සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත්කිරීමට එරෙහිව නීතිඥ සංගමයේ මහා සභාවක් ඉල්ලා නීතිඥයන් 150කට වැඩි පිරිසකගේ අත්සනකින් යෝජනාවක් නීතිඥ සංගමය වෙත භාරදී තිබේ. පුවත්පත්වල පළවූ වාර්තා අනුව එහි පළමු අත්සන යොදා ඇත්තේ නීතිඥ සංගමයේ මෙවර පැවැත්වෙන නිලවරණයේදී සභාපති ධුරයට තරග කරන ටිරන්ත වලලියද්ද මහතාය.

මෙම නීතිඥ පිරිසට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ඇතිවී තිබෙන හදිසි කැක්කුම සාකච්ඡාවට ලක්විය යුතුව තිබෙන වැදගත් කරුණක් ලෙස සැලකිය හැකිය. අද අධිකරණයේ ස්වාධීනත්වය ගැන හඬ නගන මේ සියලුදෙනා එදා සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයේ සිටියදී එතෙක් අධිකරණය භුක්ති විඳිමින් තිබූ ස්වාධීනත්වය මරා දැමීම සඳහා කරන ලද සාහසික දේවල් ඉදිරියේ කළේ කුමක්ද? ඉන්පසු යුගයේ අධිකරණයේ සිදුවූ වැරදි සම්බන්ධයෙන් ඔවුන් කළ දෙයක් තිබේද?

රාවය, මහේස්ත්‍රාත්වරයකුගේ දූෂිත ක්‍රියාකලාපයට එරෙහිව හඬ නගන විට හා ඉන්පසු දිසා විනිසුරුවරයකුගේ දූෂිත ක්‍රියාකලාපයට එරෙහිවද, ඉන්පසු නීතිපතිගේ දූෂිත ක්‍රියාකලාපයට එරෙහිවද හඬ නගන විට මේ පුද්ගලයන් තිදෙනාට එරෙහිව රාවය නගන චෝදනා සම්බන්ධයෙන් කුමක් කළයුතුද යන්න තීන්දු කිරීම සඳහා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනයක් කැඳවන ලද්දේ පාර්ලිමේන්තුව විසින් නොව, නීතිඥ සංගමය විසිනි. මේ පුද්ගලයන් තිදෙනාට එරෙහිව රාවය නගන චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව එවකට සිටි අගවිනිසුරු වෙත නිර්දේශ කරන ලද්දේ ද නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනය විසිනි. පළමුවෙන්ම චෝදනා එල්ල වී තිබෙන විනිසුරුවරුන් දෙදෙනා පිළිබඳව පරීක්ෂණයකට යෑම සුදුසු බවත්, ඔවුන් එම පරීක්ෂණවලින් වරදකරු වේ නම් පමණක් නීතිපතිට එල්ල කරන චෝදනා පිළිබඳවද පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවත්, රාවය එල්ල කරන චෝදනා පදනම් විරහිත බව සනාථ වුවහොත් රාවයට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන ලෙසද එම සම්මේලනය අගවිනිසුරුට නිර්දේශ කළේය.

ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව රාවය එල්ලකර තිබෙන චෝදනා පරීක්ෂා කිරීම පිණිස අභියාචනාධිකරණයේ විනිසුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් අගවිනිසුරුවරයා විසින් පත් කරන ලද්දේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එම පරීක්ෂණ කමිටු දෙකම විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව රාවය නගා තිබුණු චෝදනාවලට ඔවුන් දෙදෙනා වරදකරු කළේය.

රාවය නීතිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන තැනකට ගියේ ඉන්පසුවය. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කළේ ද ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුවරුන්ගේ කැමැත්ත අකමැත්ත විමසීමෙන් පසුවය. පරීක්ෂණයක් පවත්වනවාට තිදෙනකු විරුද්ධ වූ අතර අන් සියලුදෙනා කැමති විය. නීතිපති ධුරයේ සිටි සරත් නන්ද සිල්වා ජනාධිපතිනිය විසින් අගවිනිසුරු ධුරයට පත්කරන ලද්දේ ඔහුට එරෙහිව එල්ල වී තිබූ දූෂණ චෝදනා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණ දෙකක් ආරම්භ කර තිබුණු අවස්ථාවකදීය.

සරත් නන්ද සිල්වා ජනාධිපතිනියගේ සමීප හිතවතකු විය. ඒ මගින් ජනාධිපතිනිය බෙල්ල හිරවී සිටි සිය මිතුරා ආරක්ෂා කරගන්නා අතර කිසියම් විශාල ප්‍රමාණයකට ස්වාධීන තත්ත්වයක් භුක්ති විඳි අධිකරණය සිය මිතුරා මගින් හීලෑ කරගැනීමට අපේක්ෂා කළාය. ඒ තීරණාත්මක අවස්ථාවේදී නීතිඥ සංගමයේ කට ගොලුවී තිබුණේය. විරෝධය පළකිරීමට කොන්ද පණ තිබුණේ එච්.එල්. ද සිල්වා, ඊ.ඩී. වික්‍රමනායක, ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර, රංජිත් අබේසූරිය, ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු, එස්.එල්. ගුණසේකර වැනි කිහිපදෙනකුට පමණය.

මෙම පුද්ගලයා අගවිනිසුරු ධුරයට පත්වී වසර දෙකකට පසුව ඔහු යටතේ පාලනය වන ශ්‍රී ලංකාවේ අධිකරණයේ තත්ත්වය සොයා බැලීම පිණිස ජාත්‍යන්තර නීතිඥ සංගමය ත්‍රිපුද්ගල දූත පිරිසක් ශ්‍රී ලංකාවට එවීය. එම දූත පිරිස සරත් නන්ද සිල්වාද හමුවිය. එම දූත පිරිස සිය වාර්තාව Sri Lanka: Failing to Protect the Rule of Law and the Independence of the Judiciary නමින් 2001 නොවැම්බර්වලදී පළ කරන ලදි. එම වාර්තාවේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා පිළිබඳව කදිම නිරීක්ෂණ ගණනාවක් ඇතුළත්ය. ඔහු තමන්ගේ පත්වීමට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් තුන විභාග කිරීමට විනිශ්චය මණ්ඩල පත් කළ නීති විරෝධී ස්වරූපය හා තමන් අකමැති විනිශ්චයකාරවරුන් අධිකරණ සේවයෙන් පලවා හැරීමට ක්‍රියාකර තිබෙන සාහසික ස්වරූපය පිළිබඳ නිරීක්ෂණද ඊට ඇතුළත්ය. එහෙත් පුදුමයකට මෙන් ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය ඔවුන්ගේ ජාත්‍යන්තර සංගමය පළ කළ එම වාර්තාව පවා බැ?රුම් සාකච්ඡාවකට ලක් කළේ නැත.

ඒ වෙනුවට කළේ ඔහුට එරෙහිව දෝෂාභියෝග ඉදිරිපත්වූ අවස්ථා දෙකේදී තමන්ට ලබාගත හැකි වාසි සලකා ඔහු ආරක්ෂා කිරීමය. තනතුරේ සිටියදී ඔහු ගැන කරුණු සොයා බලන්නට ඉඩ නොදුන් ඔවුහු දැන් අගවිනිසුරුවරයා විශ්‍රාම යෑමෙන් පසු එසේ කරන්නේ ඇයිදැ”යි දැන් ප්‍රශ්න කරති.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට ගෙන තිබෙන මෙම තීරණය කෙරෙහි දේශපාලන හේතු බලපා තිබෙනවා විය හැකිය. ඒ සීමාසහිතකම් තිබියදීත් ඔහු ගැන සොයා බැලීමකට යෑම යහපත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකිය. සමහරවිට එය ඔහුට පමණක් සීමා නොවූ මුළු අධිකරණයම ගැන සොයා බලන පරීක්ෂණයක් බවටද පත්විය හැකිය.