දෝෂාභියෝගයේ තවත් පැත්තක්

January 6, 2013
Publication:
Ivan argues that the impeachment of Chief Justice Shirani Bandaranayake exposes a constitution built to keep the judiciary subservient: a judge who displeases the executive can be removed by a simple majority, while a president is all but unremovable. He sets her case beside Neville Samarakoon's dignified stand against J.R. Jayewardene, reads the 1,575-page select committee report and finds the key charge unproven, yet holds that her part in buying a Trillium Residencies flat left her with a moral lapse of her own.

අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දෝෂාභියෝගය ආශ්‍රයෙන් ඇතිවී තිබෙන අර්බුදය අපේ රටේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රමය සකස් කර තිබෙන දූෂිත ස්වභාවය පිළිබඳව වැදගත් පාඩම් ගණනාවක්ම අපට කියාදෙයි.

ආණ්ඩුක්‍රමය තුළ අධිකරණය ස්ථානගත කර තිබෙන්නේ ස්වාධීන ක්‍රියාකාරීත්වයකට ඉඩ ලැබෙන ආකාරයකට නොව විධායකයට යටහත් පහත්ව ක්‍රියාකිරීමට බලකැරෙන තත්ත්වයකය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් තුල ප්‍රතිපත්ති සම්පාදනය කරන ව්‍යවස්ථාදායකයේත්, එම ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරන විධායකයේත් ක්‍රියාකාරීත්වය නීතියට අනුකූලව ක්‍රියාකරන තත්ත්වයක තබාගැනීමේ ප්‍රධාන වගකීම පැවරී තිබෙන්නේ අධිකරණයටය. එහිදී ව්‍යවස්ථාදායකයට හා විධායකයට තමන් වෙත අමුතු බලයක් ආරෝපණය කරගැනීමට ඉඩ නොදෙමින් මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන රැකවල් දූතයා ලෙස ක්‍රියාකළ යුත්තේද අධිකරණයයි. එහෙත් අපේ රටේ පවතින ආණ්ඩුක්‍රමය අධිකරණයට එවැනි ක්‍රියාකාරීත්වයකට ඉඩ ලබාදී නැත. ඒ වෙනුවට අපේක්ෂා කරන්නේ හෝ එහෙයියකු ලෙස ක්‍රියාකිරීමය. අණපනත් සමාලෝචනය සඳහා ලබාදී ඇත්තේද පූර්ණ බලයක් නොව සීමිත බලයකි. ව්‍යවස්ථාව අර්ථනිරූපණය සඳහා ප්‍රමාණවත් බලයක් ලබාදී ඇතත් විධායකයට ඇති බය පක්ෂපාතීත්වය නිසා ඒ බලය පවා නිර්මාණාත්මකව පාවිච්චි කිරීමක් සිදුවී නැත.

කීකරුකම හා විසම පැවැත්ම

මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළ ආණ්ඩුවේ කටයුතු විවේචනාත්මකව සලකා බලන අධිකරණයක් විධායකය ඉවසන්නේ නැත. එවැනි ප්‍රවේශයක් පවත්වාගෙන යන අධිකරණ නායකයන් කඩාකප්පල්කාරීන් ලෙස සලකා අධිකරණයෙන් පලවාහරින ක්‍රමයක් ක්‍රියාත්මක වේ. ව්‍යවස්ථාවට ගාම්භීර පෙනුමක් ලබාදීම සඳහා අධිකරණ සංවිධාන ක්‍රමය හා අධිකරණයට හිමි බලතල විස්තර කරන පරිච්ඡේදයට උප මාතෘකාවක් වශයෙන් “අධිකරණයේ ස්වාධීනත්වය” යන ශීර්ෂයට යොදා ඇතත් එම ශීර්ෂය යටතේ එන කවර ඡේදයකින්වත් අධිකරණයේ ස්වාධීනත්වය යන්නෙන් අදහස්වන්නේ කුමක්ද යන්න අර්ථ දක්වා නැත. වෙනත් ශිෂ්ටසම්පන්න රටවල සේ ම ලංකාවේද උසස් අධිකරණයේ විනිශ්චයකාරවරුන් විසම පැවැත්ම හෝ අබලතාව නිසා දෝෂාභියෝගයකින් මිස තනතුරෙන් ඉවත් කළ නොහැකි බව දැක්වෙන විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇතත් ඒ සඳහා ඇති කර තිබෙන විධිවිධාන අවිධිමත්ය. ජනාධිපතිවරයා හා අධිකරණය සඳහා ඇති කර තිබෙන විධිවිධාන සමාන නැත. ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍ය වුවත් අගවිනිසුරුවරයකු හෝ උසස් අධිකරණයේ විනිසුරුවරයකුට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝගයක් සඳහා අවශ්‍යවන්නේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයක අනුමැතියක් පමණය. කොටින්ම ජනාධිපතිවරයා සඳහා විධිවිධාන ඇති කර තිබෙන්නේ දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයා තනතුරෙන් පහ කළ නොහැකි ආකාරයටය. එහෙත් අගවිනිසුරුවරයකු හෝ උසස් අධිකරණයේ විනිශ්චයකාරවරයකු පහසුවෙන්ම තනතුරෙන් පහ කළ හැකි ආකාරයටය.

දෝෂාභියෝග ප්‍රතිපාදන පාවිච්චි කරමින් තිබෙන්නේද අධිකරණයේ විසම පැවැත්මක් ඇති අය ඉවත් කිරීම සඳහා නොව අවශ්‍ය තරමට විධායකයට කීකරුවීමට කැමති නැති අගවිනිසුරුවරුන් හා විනිසුරුවරුන් මට්ටු කිරීම සඳහාය. විධායකයට කීකරු නම් විසම පැවැත්ම වැදගත් සාධකයක් ලෙස සැලකෙන්නේ නැත. අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ විසම පැවැත්ම ප්‍රකට තත්ත්වයක තිබියදීත් ජනාධිපතිනි චන්ද්‍රිකා හෝ ජනාධිපති මහින්ද ඒවා ඔහු තනතුරෙන් පහකිරීමට තරම් බරපතළ හෝ වැදගත් කාරණා ලෙස සැලකුවේ නැත. අවශ්‍ය තරමට කීකරු නැති අගවිනිසුරුවරයකු ඇතිවූ විට ඔහු ඉවත් කළ හැක්කේ දෝෂාභියෝගයකින් පමණක් වීම නිසා විසම පැවැත්මක් පිළිබඳ චෝදනා ගොඩනගා ගන්නා තැනකට යන්නට සිදුවේ. එයින් පෙනෙන්නේ තනතුරෙන් පහකිරීමකදී ප්‍රධාන කොට සැලකිල්ලට ගැනෙන්නේ අපේක්ෂා කරන තරමට අවනතව ක්‍රියා නොකිරීම මිස විසම පැවැත්ම නොවන බවය. එවැනි අවස්ථාවකදී විසම පැවැත්ම පිළිබඳ චෝදනා තනා ගැනීම අවශ්‍යවන්නේ එම චෝදනාව යටතේ මිස අවශ්‍ය තරමට අවනතව ක්‍රියානොකිරීමේ චෝදනාව යටතේ දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ නොහැකි නිසාය. අවසාන විග්‍රහයේදී මෙම දේශපාලන ක්‍රමයට විසම පැවැත්මක් ඇති විනිසුරුවරුන් සිටීම වැදගත් ප්‍රශ්නයක් වන්නේ නැත. නොඉවසීම ඇතිවන්නේ අපේක්ෂා කරන තරමට අවනත නොවන විට පමණය.

නෙවිල් සමරකෝන් ආදර්ශය

මෙම ආණ්ඩුක්‍රමය යටතේ දෝෂාභියෝග තත්ත්වයකට මුහුණ දුන් අගවිනිසුරු නෙවිල් සමරකෝන්ගේ ආදර්ශය හා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ ආදර්ශය අතර සමානකම් සේ බොහෝ අසමානකම්ද පවතී.

විනිශ්චයකාරවරයකුව නොවී නීතිඥයකු වූ නෙවිල් සමරකෝන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් එම තනතුරටම පත්කරන්නට ඇත්තේ තමන්ගේ හිතවතකු වශයෙන් එම තනතුරට පත්වීමෙන් පසුත් තමන්ට හිතවත්ව ක්‍රියාකරනු ඇතැයි කියන විශ්වාසයකින් විය යුතුය. නෙවිල් සමරකෝන් ජනාධිපතිගෙන් ලබාගත්තේ එම තනතුර පමණය. තනතුරට පත්වූ මොහොතේ සිට ජනාධිපති සමග තිබුණු හිතවත්කම වෙනුවට තනතුරේ ගෞරවය ආරක්ෂා කරගනිමින් ස්වාධීන අධිකරණ ක්‍රියාකාරීත්වයක් වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටියේය. එවැනි ක්‍රියාකාරීත්වයක් අද කාලෙට වඩා එදා කාලේ ඉතාමත් දුෂ්කර දෙයක්වීයැ”යිද කිවහැකිය. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබුණු අතර විරුද්ධ පක්ෂවල ක්‍රියකාරීත්වයද අඩපණ කොට තිබුණි. විරුද්ධ පක්ෂයට අයත් පක්ෂ කිහිපයක් පළකළ පක්ෂ පුවත්පත් හැරුණු විට ජනමාධ්‍යවල ක්‍රියාකාරීත්වය පැවතියේද ආණ්ඩුවට නගුට වනන තත්ත්වයකය. නෙවිල් සමරකෝන්ට සැඟවුණු න්‍යාය පත්‍රයක් නොතිබුණි. ආණ්ඩු විරෝධීවීම ඔහුගේ අපේක්ෂාව නොවූ අතර විධායකය කොතරම් බලවත් වුවද උපරිම මට්ටමකින් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඔහුගේ අභිප්‍රාය විය. ජනාධිපති ජේ.ආර්. නෙවිල් සමරකෝන් කරදරකාරයෙකු ලෙස සැලකුවද ඔහුගේ කරදරකාරී හැසිරීම කෙරෙහි තනතුරෙන් පැවරුණු යුතුකම් ඉටුකිරීමේ අභිලාෂයෙන් කරන්නක් මිස සැඟවුණු න්‍යාය පත්‍රයක් අනුව කරන දෙයක් නොවන බවද දැන සිටියේය. ඒ නිසා ජනාධිපති ජේ.ආර්. අධිකරණය බියගැන්වීමට නොයෙකුත් නොසණ්ඩාලකම් කළා වුවද නෙවිල් සමරකෝන්ට එරෙහිව වෛරයෙන් පහරදෙන තැනකට නොගියේය. ඔහුගේ චරිතය ඝාතනය කරන තැනටද නොගියේය. නෙවිල් සමරකෝන් ප්‍රසිද්ධ දේශනයකදී ආණ්ඩුව බලවත් ලෙස විවේචනය කළ විට ඉන් කෝපයට පත් ජනාධිපතිවරයා ඔහු තනතුරෙන් පහකිරීම සඳහා දෝෂාභියෝගයක් ඉදිරියට ගැනීම සඳහා ක්‍රියා කළද එවැනි තත්ත්වයකට ප්‍රශ්නය වර්ධනය වූ පසුත් ශීලාචාර රාමුවෙන් ඔබ්බට ගොස් ඔහුට පහරදෙන තැනකට නොගියේය.

නෙවිල් සමරකෝන් සම්බන්ධයෙන් ජනාධිපති ජේ.ආර්.ගෙන් පළවූ ශීලාචාරබව ජනාධිපති ජේ.ආර්ගේ ශීලාචාරකමේ ප්‍රතිඵලයකට වඩා නෙවිල් සමරකෝන් කෙරෙහි පළවූ ශීලාචාරත්වය විසින් ඇතිකර තිබූ හික්මීමක් ලෙස සැලකිය හැකිය. ජනාධිපති ජේආර් දේශපාලන අර්ථයෙන් ගත්විට ඔහුගේ අනුප්‍රාප්තිකයන් සේ ම ශීලාචාර ජන නායකයකු සැලකිය නොහැකිය. ඔහු විරුද්ධවාදීන් අනුකම්පා විරහිතව මර්දනය කළේය. ආණ්ඩුවේ ආධාරකරුවන් ලෙස ක්‍රියා කළ ස්ත්‍රී දූෂකයන්ට පවා සමාව දුන්නේය. පොදු දේපළ අයථා ලෙස අත්පත් කරගත්තා පමණක් නොව පොදු දේපළ කොල්ලකෑමට සිය අනුගාමිකයන්ද පෙළඹවීය. එහෙත් අගවිනිසුරු නෙවිල් සමරකෝන් කෙරෙන් ප්‍රකාශ වූ ශීලාචාරභාවය ඔහු සම්බන්ධයෙන් අශීලාචාර ලෙස ක්‍රියාකිරීමට තිබුණු පුළුවන්කම සීමාකර තිබුණේයැ”යි කිව හැකිය.

අගවිනිසුරු නෙවිල් සමරකෝන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පනවා ඇති සීමාවන් පිළිබඳව මනා අවබෝධයක් තිබුණේය. ඒ සීමාවන් තිබියදී පවා අධිකරණය විසින් ඉටු කළ යුතුව තිබෙන සමාජ වගකීම් පිළිබඳවද මනා අවබෝධයකින් ක්‍රියා කළේය. ඒ සමග එහිදී ඉදිරියට යාහැකි දුරෙහි තිබෙන සීමාවන් ගැනද ඔහුට මනා අවබෝධයක් තිබුණු බව පෙනේ. තමන්ට ඒ මොහොතේ කළහැකි මහා පෙරළියක් නැති බව හා කළහැක්කේ වර්තමානයට නොව අනාගතයට ප්‍රයෝජනවත් වියහැකි ආදර්ශයන් ලබාදීම පමණක් බවත් ඔහු දැන සිටියේය. ඔහු තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේදීත් සුපුරුදු තැන්පත්බව අහිමි නොකර ගනිමින් නිර්භීත ලෙස ඊට මුහුණ දුන්නේය. ඔහු විනිශ්චයකාරවරුන් හෝ නීතිඥයන් උසිගන්වන්නට උත්සාහ නොකළේය. එවැනි ක්‍රියාවලින් වෙනසක් ඇති කළ නොහැකි බව හා එවැනි ක්‍රියා නිසා තමාගෙන් පසු ඔවුන්ගෙන් පළිගන්නා තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකි බව ඔහු දැන සිටියේය. ඔහු එම අර්බුදයේදී විනිශ්චයකාරවරයෙකු තුළ තිබිය යුතු පෞරුෂය අහිමි නොකර ගනිමින් එම අර්බුදයට මුහුණ දුන්නේය. තේරීම් කාරක සභාවක් මගින් නඩු අසන පිළිවෙත නීතියට පටහැනි බව ප්‍රකාශ කරන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා දී තිබෙන අදහස් පළකිරීමේ අයිතිය අග්‍රවිනිශ්චයකාරවරයා වශයෙන් තමන්ටද හිමි, අහිමි කළ නොහැකි අයිතියක් බවද ප්‍රකාශ කළේය. ඔහුට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා පත්‍රය පමණක් වුවත් ඔහු කරන ලද ප්‍රසිද්ධ විවේචනාත්මක කතාව හැර ඔහුට එරෙහිව ඉදිරිපත් කරන්නට තරම් වෙනත් කිසිදු චෝදනාවක් නොතිබුණු බව මනා ලෙස පෙන්නුම් කරයි. පරීක්ෂණයේදී ඔහු චෝදනාවන්ට වරදකරු නොකරන ලද අතර ඒ වනවිට විශ්‍රාම යායුතු අවස්ථාව එළැඹ තිබීම නිසා සන්සුන් ලෙස විශ්‍රාම ගත්තේය.

ඔහු අධිකරණය කෙරෙහි ඇති කරන ලද බලපෑම ඔහු අධිකරණයෙන් සමුගැනීමෙන් පසුත් තවත් කිසියම් කාලයක් අධිකරණය කෙරෙහි බලපෑවේය. සීමාසහිතකම් තිබුණා විය හැකි වුවද අසාධාරණයනට ලක්වූ පුද්ගලයකුට අධිකරණයට ගොස් සාධාරණය ඉටු කරගත හැකියැ”යි කියන විශ්වාසයක් මහජනයා අතර තිබුණි. විනිශ්චයකරුවන් දේශපාලනඥයන් සමග කල්ලි ගැසී ක්‍රියාකරන තත්ත්වයක් නොතිබුණි. එකල දේශපාලනඥයන්ද විනිශ්චයකාරවරුන්ට කතා කිරීමට පවා බිය වූහ.

ශිරාණි බණ්ඩාරනායක ආදර්ශය

එහෙත් තවත් කලකදී අධිකරණයේ පැවති ඒ තත්ත්වය ආපස්සට හරවන ලදි. පරිහානිය ආරම්භවන්නේ අගවිනිසුරු ජීපීඑස් ද සිල්වාගේ පාලන යුගයේදීය. එය පරිසමාප්ත තත්ත්වයකට පත්වන්නේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ යුගයේදීය. ඒ යුගයේ අධිකරණයේ ඇතිව තිබූ සදාචාර පරිහානිය අසමසම තත්ත්වයක පැවතුණි. එය අසාධාරණයට පත් මිනිසුන්ට යුක්තිය ඉටු කරන ආයතනයක් ලෙස ක්‍රියාකරනවා වෙනුවට ඔවුන් පීඩාවට ලක් කරන ආයතනයක් ලෙස ක්‍රියා කළේය. සමහර විනිශ්චයකාරවරුන් තමන්ගේ හෝ තමන්ගේ සමීප අයගේ නඩු තමන් ඉදිරියේ අසන තත්ත්වයක් ගොඩනැගී තිබුණි. විනිශ්චයකාරවරුන් දේශපාලනඥයන් සමග කල්ලි ගැසී ක්‍රියාකිරීම ගරු කටයුතු දෙයක් ලෙස සලකන ලදි. දූෂිත හෝ නොහොබිනා චර්යාවන්ට අදාළව විනිසුරුවරුන්ට හා නීතිඥයන්ට එරෙහිව ඉදිරිපත් වන පැමිණිලි යටපත් කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණි. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක එම අඳුරු යුගයේම ප්‍රතිනිර්මාණයක් ලෙස සැලකිය හැකිය.

ඇය සටන් කරන තැනකට එන්නට පෙර ආණ්ඩුව සමග සහයෝගයෙන් ක්‍රියාකරන තැනක සිටියාය. ආණ්ඩුව ඇගේ ස්වාමිපුරුෂයාට හොඳ තනතුරක් ලබාදීමේ සිද්ධිය ඇය හා ආණ්ඩුව අතර පැවති සහයෝගිතාවයේ තරම පෙන්නුම් කළ සිද්ධියක් ලෙස සැලකිය හැකිය. ඇය එම යුගයේදී දේශපාලන වැදගත්කමක් ඇති නඩු හබ දෙස සාධාරණව හා නීතියට අනුකූලව විවේචනාත්මක දෘෂ්ටියකින් බලන තැනක නොසිටියාය. ඒ වෙනුවට අනුගමනය කළේ අවිවේචනාත්මකව සහයෝගය දෙන පිළිවෙතකය. ඇය විසින් යුක්තිසහගත කරනු ලැබූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිට තිබුණු පරම බලය තවදුරටත් වර්ධනය කොට ධුර කාල දෙකකට සීමා කොට තිබූ පාලන කාලය දීර්ඝකාලීන දෙයක් බවට පත් කළේය. එම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දර්ශනයට පටහැනිය. ඒ නිසාම නීතියට පටහැනි ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. එම ව්‍යවස්ථා සංශෝධනය නොවන්නට රටේ පවතින තත්ත්වය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. මේ අර්බුදයේ තිබෙන උත්ප්‍රාසය වනුයේ අගවිනිසුරුවරියට දැන් සටන් කරන සිදුවී තිබෙන්නේ තමන් විසින්ම යෝධ බලයක් ලබාදෙන ලද ජනාධිපතිවරයෙකු සමග වීමය.

මට පෙනෙන අන්දමට ගැටුමක් ඇතිවීම ආරම්භවන්නේ ඇගේ ස්වාමිපුරුෂයාට දෙන ලද තනතුරින් ඔහු පහකිරීමත් සමගය. එහිදී ස්වාමිපුරුෂයාට එල්ල වූ චෝදනා ආශ්‍රයෙන් සමාජයේ ඇතිවී තිබූ ප්‍රසිද්ධ කතාබහ අගවිනිසුරුවරියගේ ගෞරවයට හේතු නොවූ අතර ආණ්ඩුව විසින් තමන් අවමන්සහගත තත්ත්වයකට පත් කළේය කියන හැඟීමක් ඒ නිසා ඇය තුළ ඇතිවූ බවක් පෙනෙන්නට තිබේ. ඒ සමග ඇය ආණ්ඩුව සම්බන්ධයෙන් එතෙක් පවත්වාගෙන යමින් තිබූ ආණ්ඩුවට අදාළ නඩු හබවලදී අනුගමනය කළ අවිවේචනාත්මකව සහායදීමේ පිළිවෙතින් ඉවත් වී අකුරටම නීතියට අනුකූලව කරුණු සලකා බලන පිළිවෙතකට මාරුවිය. අපොස උසස් පෙළ ප්‍රතිඵල අර්බුදයට අදාළ නඩුවේදී ඇය අනුගමනය කරන ලද දැඩි පිළිවෙත ආණ්ඩුව එතෙක් ඇය කෙරෙහි පවත්වාගෙන ගිය විශ්වාසයේ බරපතළ පළුදු කිරීමක් ඇති කිරීමට හේතුවිය. ඉන්පසු දිවි නැගුම පනත හා තවත් වෙනත් නඩු කිහිපයක් සම්බන්ධයෙන් ඇය අනුගමනය කළ දැඩි ප්‍රතිපත්තිය ආණ්ඩුවේ කෝපයට හේතුවී ආණ්ඩුවද කෝපයෙන් ප්‍රතික්‍රියා දක්වන තැනකට ගියේය. අගවිනිසුරුවරියගේ ස්වාමිපුරුෂයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ප්‍රශ්න කිරීම, ආණ්ඩුව සම්බන්ධයෙන් ඇය අනුගමනය කරමින් තිබූ දැඩි ප්‍රතිපත්තිය තවදුරටත් තද කිරීමට හේතුවූ බවද පෙනේ.

ඒ තත්ත්වය ඉදිරියේ ඇය නොපමාව තනතුරින් පහකිරීමේ වුවමනාවක් ආණ්ඩුවට ඇතිවූයේයැ”යි කිව හැකිය. තනතුරෙන් පහකිරීම සඳහා විසම පැවැත්මක් සඳහා චෝදනා ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වූ අතර කඩිමුඩියේ සොයාගත් කරුණු මත ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළේය. දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමත් සමග ඇය තනතුර අතහැර පලායනු ඇතැ”යි ආණ්ඩුව අපේක්ෂා කළද ඇය දණින් වැටී හඬා වැළපෙන ප්‍රතිපත්තියක් වෙනුවට දෙපයින් නැගිට සටන් කරන ප්‍රතිපත්තියක් තෝරා ගත්තේය. ඇගේ ආදර්ශයේ තිබෙන වර්ණවත්ම ලක්ෂණය නිර්භීතකම ලෙස සැලකිය හැකිය.

අභියෝගයක් ජයගැනීමට නිර්භීතකම නැතුවම බැරි වැදගත් සාධකයක් වුවත් නිර්භීතකමෙන් පමණක් අභියෝගයක් ජයගත නොහැකිය. ජනතා විමුක්ති පෙරමුණට පරමාදර්ශී අරමුණක් තිබුණා සේ ම නැගී සිටීමට අවශ්‍ය නිර්භීතකමද තිබුණේය. එහෙත් හරි සටන් ක්‍රමයක් තෝරාගැනීමට අවශ්‍ය කරන ප්‍රඥාව නොතිබුණේය. ඉලක්කය ශීලාචාර වුවත් එය ජයගැනීම සඳහා තෝරාගත් සටන් ක්‍රමය අශීලාචාර විය. අගවිනිසුරුවරිය තෝරාගත් ජනප්‍රිය සටන් ක්‍රමයද තනතුරේ පෞරුෂයට හා ගෞරවයට හේතුවන්නක් ලෙස සැලකිය නොහැකිය. දැන් ඇය මහජනයාට පෙනෙනුයේ නිර්භීත ලෙස සටන් කරන තවත් දේශපාලන නායිකාවක් ලෙස මිස ගාම්භීර අධිකරණ නායකයකු ලෙස නොවේ. අගවිනිසුරුවරිය සටන් කළයුතුව තිබුණේ තනිව නැත්නම් ඉහළ අධිකරණයේ විනිසුරුවරුන්ට පමණක් සීමාවන ආකාරයටය. පහළ අධිකරණයේ විනිසුරුවරුන්ට, නීතිඥයන්ට හා මහජනයාට එම සටනට ඔවුන්ගේ කැමැත්තෙන් සම්බන්ධවීමට ඉඩදිය යුතුව තිබුණද ඔවුන්ට ළංවන්නට ඉඩ නොදී පරතරයක් තබාගන්නා ආකාරයට එය කළ යුතුව තිබුණි. කොටින්ම එය එකම අරමුණක් වෙනුවෙන් වෙන් වෙන්ව පෙරමුණු දෙකක කෙරෙන සටනක් ලෙස පවත්වාගෙන යායුතුව තිබුණි. එසේ වී නම් එම සටනට ලැබෙන පෙනුම වඩා ගාම්භීර වන්නට ඉඩ තිබුණා සේම ඇති කරන බලපෑමද වඩා ප්‍රබල වන්නට ඉඩ තිබුණි.

දෝෂාභියෝග තීන්දුව

ඇයට එරෙහිව ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග විභාගයයේ තීන්දුව ඇතුළත් නිල වාර්තාව පාර්ලිමේන්තු ප්‍රකාශනමාලා අංක 187 වශයෙන් පළ කර තිබේ. එය වෙළුම් දෙකකින් යුතු පිටු 1575ක වාර්තාවකි. ඊට දෝෂාභියෝග චෝදනා පත්‍රයද තේරීම් කාරක සභාවේ රැස්වීම් වාර්තාද, සාක්ෂිකරුවන්ගේ සාක්ෂිද, සාක්ෂි වශයෙන් කැඳවන ලද ලිපි ලේඛනද, තේරීම් කාරක සභාවේ තීන්දුවද ඇතුළත්ය. වෙළුමේ දෙකේ මිල රු. 1620කි.

වාර්තාව කියවීම අවශ්‍යවේයැ”යි කල්පනා කළේ සමස්ත ක්‍රියාදාමය පිළිබඳ හරි අවබෝධයක් ඇතිකර ගැනීමට එය ප්‍රයෝජනවත්වේයැ”යි සිතුණු නිසාය. වාර්තාව කියවූ විට ඇතිවූයේ ජෝර්ජ් ඕවල සත්ව ගොවිපොළ කියවූ විට ඇතිවූ හැඟීමට සමාන හැඟීමකි. නීති සම්පාදනය කරන ආයතනය වන පාර්ලිමේන්තුව යුක්තිය පසිඳලන ආයතන ක්‍රමයේ ප්‍රධානියා වන අගවිනිසුරුවරියට සාධාරණ පරීක්ෂණයක් ලබාදී නැති බව තහවුරු කිරීමට ඉදිරිපත් කළහැකි බලවත්ම සාක්ෂිය වනු ඇත්තේද මෙම වාර්තාවය. තේරීම් කාරක සභාව කරුණු සලකා බලා තිබෙන ආකාරය යුක්තිසහගත නොවනවා සේ ම වාර්තාවට ඇතුළත් අගවිනිසුරුවරියට අදාළ සමහර කාරණා ඇය කෙරෙහිද ගෞරවනීය හැඟීමක් ඇති නොකරන බව කිවයුතුය.

තේරීම් කාරක සභාව අගවිනිසුරුවරිය චෝදනා තුනකට වරදකරු කර තිබේ. ඒ චෝදනා පත්‍රයට ඇතුළත් 1, 4 සහ 5 යන චෝදනාවන්ටය. පස්වැනි චෝදනාව අගවිනිසුරුවරියගේ ස්වාමිපුරුෂයාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරා තිබෙන නඩුව පිළිබඳවය. රටක අගවිනිසුරුවරියගේ ස්වාමි පුරුෂයා අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධ නඩුවක විත්තිකරු වී තිබෙන අවස්ථාවක එම විත්තිකරුවාගේ බිරිඳ අගවිනිසුරු ධුරයට දැරීම මගින්ම එය යුක්තිය පසිඳලන ක්‍රියාදාමයට සේ ම අධිකරනයටද මුළු රටටද කැළලක් බව තේරීම් කාරක සභාවේ නිගමනය වී තිබේ. එහි ආචාර ධර්ම ප්‍රශ්නයක් ඇතත් එය අගවිනිසුරුවරියගේ විසම පැවැත්ම සනාථ කරන සාධකයක්වන්නේ නැත. ඔහුට එරෙහිව ඉතාමත් ශීඝ්‍රගාමී ආකාරයකින් නඩු පැවරීමක් සිදුවන්නේ මේ ගැටුම ඇතිවීමෙන් පසුවය. ඒ නිසා එම සාධකය ඇය තනතුරෙන් පහකිරීම සඳහා යොදාගත හැකි ශක්තිමත් හා බලවත් සාධකයක් ලෙස සැලකිය නොහැකිය.

මා වාර්තාව මුළුමනින් කියවූමුත් ඇය වරදකරු කොට තිබෙන වත්කම් බැරකම් ප්‍රකාශවලට නියම සත්‍ය තොරතුරු ඇතුළත් නොකර වසන් කර තිබෙන බව කියන චෝදනාව සත්‍යයක්දැ”යි වාර්තාවට ඇතුළත් ලේඛනවල එන තොරතුරු ආශ්‍රයෙන් විමසා බැලීමක් නොකරන ලද නිසා ඒ චෝදනාව ඔප්පු කර තිබෙන ආකාරයේ හරි වරද ගැන මට මේ අවස්ථාවේ කිසිවක් කිව නොහැකිය. ඒ ගැන හොඳින් කරුණු පරීක්ෂා කර බලා ඒ ගැන ලියන්නට බලාපොරොත්තු වෙමි.

එහෙත් අගවිනිසුරුවරිය වරදකරු කර තිබෙන පළමුවන චෝදනාව එනම් සෙලින්කෝ තැන්පතුකරුවන්ගේ නඩුවෙන් එම නඩුව විමසූ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මියගෙන් එම නඩුව ඉවත් කොට එම නඩුව අගවිනිසුරුවරිය තමා ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියට ගෙන ඉන් අයථා ලෙස ලාබ ලබන හා වගඋත්තරකරුවන්ට වාසිදායක වන ආකාරයකින් නඩුව පවත්වාගෙන යෑම මගින් බරපතළ විසමතාවක් කර ඇති බව කියන චෝදනාව සනාථ කිරීම සඳහා කරුණු ඉදිරිපත් කර තිබෙන ආකාරය සාක්ෂිකරුවන්ගෙන් හෙළිදරව් වී තිබෙන කරුණුවලට පටහැනිය. ශිරාණි තිලකවර්ධන මහත්මිය සිය සාක්ෂියෙන් කියන්නේ කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ තමාගෙන් මූලිකත්වයෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාග වූ එම නඩුව අගවිනිසුරුවරිය විසින් තමන්ගෙන් ඉවත් කොට අගවිනිසුරුවරිය ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගෙන එය පවත්වාගෙන ගිය බවය. ඒ මගින් තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව සඳහා තමන් විසින් ඇති කරන විධිවිධාන වගඋත්තරකරුවන්ගේ වාසියට හේතුවන ලෙස අගවිනිසුරුවරිය වෙනස් කළ බව තිලකවර්ධන මහත්මිය කියන්නේ නැත. තමා දෙන නියෝගවලට පටහැනිව යන නියෝග අගවිනිසුරුවරිය විසින් දෙනු ලැබූ බව කියන්නේද නැත. ඇය කියන්නේ මේ නඩුව ආරම්භයේ සිටම තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව සඳහා නිර්මාණශීලී ආකාරයට පවත්වාගෙන යෑමට තමා දායක වූ බවත්, අගවිනිසුරු සරත් නන්ද සිල්වා විශ්‍රාම යෑමට පෙර තවදුරටත් එම නඩුව විනිශ්චය කිරීමේ වගකීම තමාගේ ප්‍රධානත්වයෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් මගින් සිදුකිරීමේ යෝග්‍යතාව නිර්දේශ කර තිබූ බවත් එසේ තිබියදීත් ඇය ඇගේ කනගාටුව හා පුදුමයට හේතුවන ලෙස එය අගවිනිසුරු ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් අතට ගත් බවත්ය.

ශිරාණි තිලකවර්ධන මහත්මිය ඒ නඩුවෙන් ඉවත් කිරීම බැලූ බැල්මට සැකයකට හේතුවන කාරණයක් වන බව සත්‍යයකි. එහෙත් සැකයට හේතුවන කාරණයක් තිබීමෙන් පමණක් චෝදනාවක් සනාථ කළ නොහැකිය. එම ඉවත් කිරීමෙන් පසු අයථා ගණයෙහිලා සැලකිය හැකි දේවල් සිදුවී ඇද්ද යන්න ගැන කාරක සභාව හොඳින් කරුණු සොයා බලන තැනකට යායුතුව තිබුණි. අඩුම වශයෙන් ශිරාණි තිලකවර්ධන මහත්මිය සමග එම විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් ලෙස ක්‍රියා කළ සෙසු විනිසුරුවරුන් දෙදෙනා සාක්ෂියට කැඳවා ඒ ගැන කරුණු විමසීමක් කළ යුතුව තිබුණි. සම්පූර්ණ නඩු වාර්තාව සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා කාරක සභාව ඉදිරියට කැඳවා සාක්ෂි ලබාගෙන ඇතත්, එම සාක්ෂියෙන්ද තහවුරු වී තිබෙනුයේ ශිරාණි තිලකවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු විනිසුරු මඬුල්ල 2005.10.06 වන දින දෙන ලද නියෝගයේ මූලික වෙනසක් ඇති කිරීමට හේතුවන කිසිදු අලුත් නියෝගයක් විනිසුරු මඬුල්ල වෙනස් කිරීමෙන් පසු කාලයේදී ලබාදී නොමැති බවය. ඒ ගැන අගවිනිසුරුවරිය අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පෙත්සමෙන් කියන්නේ ශිරාණි තිලකවර්ධන මහත්මිය සමග එම විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් ලෙස ක්‍රියා කළ අනෙක් විනිසුරුවරුන් දෙදෙනාට ශිරාණි තිලකවර්ධන මහත්මියගේ ක්‍රියාකලාපය පිළිබඳව ප්‍රශ්න තිබී ඇය සමග අසුන් ගැනීමට ඔවුන් ප්‍රතික්ෂේප කිරීම නිසා විනිසුරු මඬුල්ල වෙනස් කරන්නට සිදුවූ බවය.

ශිරාණි තිලකවර්ධනගේ සාක්ෂිය හා ට්‍රිලියම් රෙසිඩන්සීස්හී ප්‍රධාන විධායකයා වූ ජනක රත්නායකගේ සාක්ෂිය අතරද විශාල පරස්පරයක් පවතී. කාරක සභාව ඒ ගැන වැඩිදුර කරුණු සොයා බැලීමක් කර නැත.

ලබාදී තිබෙන සාක්ෂි හා ලේඛනවල එන තොරතුරු අනුව අගවිනිසුරුවරිය ඇගේ සහෝදරිය වෙනුවෙන් ට්‍රිලිය්ම රෙසිඩන්සීස්වලින් බද්ධ නිවසක් මිලදී ගැනීම සඳහා විකුණුම් ගිවිසුමක් ඇති කරගෙන තිබෙන්නේ අගවිනිසුරු ධුරයේ සිටියදී නොව ඊට පෙර 2011 අප්‍රේල් 21 වැනිදාය. ඒ වනවිට සෙලින්කෝ නඩුව විමසන විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා ලෙස ක්‍රියාකර තිබෙන්නේ ශිරාණි තිලකවර්ධන මහත්මියයි. මෙම නිවස මිලදී ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන නියෝගයන්ට පටහැනිව එනම් වෙළෙඳ දැන්වීම් පළකිරීමකින් හා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමකින් තොරව මෙම නිවස නීති විරෝධී ආකාරයකට විකුණා තිබෙන බව තීන්දුවෙන් පෙන්නුම් කරන්නට උත්සාහ කර ඇතත්, ඉදිරිපත්වී තිබෙන සාක්ෂිවලින් මනා ලෙස පෙනීයන්නේ එම මහලේ නිවාස විකිණීමට අවශ්‍ය අනුමැතිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබුණු බවය. තේරීම් කාරක සභාව මෙම චෝදනාවට අගවිනිසුරු වරදකරු කර ඇත්තේ ශක්තිමත් ලෙස චෝදනාව සනාථ කිරීමෙන් තොරවය.

සදාචාරාත්මක අවුල

තේරීම් කාරක සභාව එම නිශ්චිත චෝදනාව නීතියට අනුකූලව සනාථ කර නැතත් යුක්තිය පසිඳලන ආයතන ක්‍රමයේ ප්‍රධානියා වශයෙන් මෙවැනි ප්‍රශ්නගත දේපළ ගනුදෙනුවකට පැටලීම මගින් ඇය අතින් සදාචාරාත්මක වරදක් සිදුවී ඇතැයි කිව හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වශයෙන් හා පසුව රටේ අගවිනිසුරුවරිය වශයෙන් සිය සහෝදරිය සඳහා මෙම නිවස මිලදී ගන්නේ හෝ මිලදී ගැනීමේ ක්‍රියාවකට සම්බන්ධවන්නේ තැන්පතුකරුවන් විශාල පිරිසක් විශාල අර්බුදයකට තල්ලු කිරීමට හේතුවූ සමාගමකට අයත් දේපළකි. එම අර්බුදයට අදාළ නඩු ගණනාවක් අධිකරණයේ ඇසෙමින් තිබුණේය. එය අධිකරණය විසින් විකිණීමට අවසර ලබාදී තිබුණු දේපළක් වුවද එවැනි දේපළක් මිලදී ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක් වශයෙන් ඇය සම්බන්ධ නොවිය යුතුව තිබුණි. මිලදී ගැනීමකදී මිලදී ගන්නන්ට මිල සඳහා හෙට්ටු කිරීමේ අයිතියක් ඇතත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් හෝ අගවිනිසුරුවරියක් එවැනි මිලදී ගැනීමකදී සියලුදෙනා සඳහා ක්‍රියාත්මක නොවන විශේෂ ගැනුම්කරුවන් සඳහා පමණක් ක්‍රියාත්මක වන වට්ටමක් ලබාගැනීම (මිලදී ගන්නා දේපළ මිලෙහි අඩුවක් ඇතිකර ගැනීම) සදාචාරසම්පන්න දෙයක් ලෙස සැලකිය නොහැකිය. එය අසරණභාවයට පත්ව සිටින තැන්පතුකරුවන් තුළ ඇති කරන හැඟීම විනිසුරුවරියක් වශයෙන් ඇගේ ගෞරවයට සේ ම අධිකරණයේ ගෞරවයට හේතු නොවන්නේය. එහෙත් සදාචාරාත්මක වශයෙන් ඇය අතින් සිදුවී තිබෙන මෙම වරද ඇය එම තනතුරින් පහකිරීමට තරම් බලවත් වරදක් ලෙසද රටේ පවතින තත්ත්වයන් අනුව සැලකිය නොහැකිය.