නයාට ගසා පොල්ල වරද්දා ගැනීම

December 2, 2012
Publication:
Ivan argues that the government's impeachment of Chief Justice Shirani Bandaranayake has backfired: it expected her to resign, but the weak charges, the backing she has won from lawyers and the public, and international scrutiny ahead of the March Human Rights Council session have put it on the defensive. He lists this as the fourth clash between executive and judiciary under the 1978 system, after Neville Samarakoon's time and Mark Fernando's under Kumaratunga, and warns of a constitutional crisis if Parliament ignores a Supreme Court order, while noting that the judiciary is not blameless for the decline it now suffers.

ආණ්ඩුව, අගවිනිසුරුවරිය තනතුරින් පහකිරීම සඳහා ඉදිරියට ගන්නා ලද දෝෂාභියෝග වැඩපිළිවෙළ දේශපාලන භූම රංගයක් බවට පත්වෙමින් තිබෙන බව පෙනේ.

දෝෂාභියෝගයට ඇතුළත් කර තිබුණු චෝදනා අතර මුල් චෝදනා හතර ඉතා බරපතළ හා බිහිසුණු පෙනුමකින් යුතු විය. අගවිනිසුරුවරිය ඇගේ වත්කම් බැරකම් ප්‍රකාශනවලදී ඇගේ සැබෑ වත්කම් වසන් කර තිබුණු බවට එහි එල්ල කර තිබුණු චෝදනා ඊට ඇතුළත්ව තිබූ බිහිසුණුම චෝදනාව විය. ඇය ඇයගේ නිල බලය තමන්ට වාසිදායක ගනුදෙනුවක් සඳහා යොදාගෙන ඇත්තේය කියන චෝදනාවද ඊට ඇතුළත්ව තිබූ තවත් බිහිසුණු චෝදනාවක් විය. චෝදනා පත්‍රයට ඇතුළත් ප්‍රධාන චෝදනා හතර පදනම් කොටගෙන තිබුණේ එම චෝදනා දෙක මතය.

ආණ්ඩුව ඉදිරියට ගෙනා මෙම දෝෂාභියෝගය ඉදිරියේ අගවිනිසුරුවරිය සිය තනතුරෙන් ඉල්ලා අස්වනු ඇතැයි ආණ්ඩුව අපේක්ෂා කළ බවක්ද පෙනෙන්නට තිබුණි. එහෙත් අගවිනිසුරුවරිය එසේ කළේ නැත. ඒ වෙනුවට ආණ්ඩුවට අභියෝග කරන තැනකට ගියාය. ඉදිරිපත් කර තිබෙන චෝදනා සනාථ කරන තෙක් ඒවාට පිළිතුරු දීමේ අවශ්‍යතාවක් නොතිබුණද මෙම අරගලයේ ප්‍රචාරණ වාසිය තමන් වෙත හිමිකර ගැනීම සඳහා චෝදනා ඔප්පු කරන තෙක් බලා නොසිට ඇය තමන්ට එරෙහිව නගා තිබෙන චෝදනාවලට දළ වශයෙන් පිළිතුරු දෙන පිළිවෙතක් අනුගමනය කළාය. ඇය දළ වශයෙන් හෝ ලබාදී තිබෙන පිළිතුරුවලින් පෙනීයන්නේ ඇයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා ශක්තිමත් හෝ සත්‍ය පදනමක් මත පිහිටා ගොඩනගන ලද චෝදනා නොවන බවය. ඇයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා පත්‍රය වගකීමකින් තොරව හා හොඳින් කරුණු සොයා බැලීමකින් තොරව දඩිබිඩියේ සකස් කරන ලද්දක් වන බවය.

දෝෂාභියෝග අරගලයේදී දැන් ආණ්ඩුව සිටින්නේ පහර දෙන තැනක නොව ආරක්ෂාව සඳහා සටන් කරන තැනකය. මුලදී ආරක්ෂාව සඳහා සටන් කරන තැනක සිටි අගවිනිසුරුවරිය දැන් ඉන්නේ පහර දෙන තැනකය.

විධායකය හා අධිකරණය අතර ඇතිවී තිබෙන ගැටුම

මෙය මෙම දේශපාලන ක්‍රමය යටතේ විධායකය හා අධිකරණය අතර ගැටුමක් ඇතිවූ පළමු අවස්ථාව නොව සිව්වැනි අවස්ථාව ලෙස සැලකිය හැකිය. පළමු අවස්ථාව ලෙස සැලකිය හැක්කේ අගවිනිසුරු නෙවිල් සමරකෝන් සමග ඇති කරගත් ගැටුමය. නෙවිල් සමරකෝන්ගේ අධිකරණ පාලන යුගයේදී අධිකරණය විධායකයේ රබර් මුද්‍රාවක් ලෙස ක්‍රියාකරන තත්ත්වයකට පත්වීමට අගවිනිසුරු නෙවිල් සමරකෝන් ඉඩ නොදීම නිසා ජේ.ආර්. ජයවර්දන ආණ්ඩුව නෙවිල් සමරකෝන් තනතුරෙන් ඉවත් කිරීම සඳහා ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරියට ගෙනාවේය. එහිදී නෙවිල් සමරකෝන් හයෙන් පහක බලයක් තිබූ ආණ්ඩුව ඉදිරියේ දණ නොමා තමන් හා තමන් නියෝජනය කළ අධිකරණයේ ගෞරවය පිණිස තනිව සටන් කළේය. ඒ දුෂ්කර අවස්ථාවේදී නඩේසන් වැනි කිහිපදෙනකු හැර නීතිඥ ප්‍රජාව නිශ්ශබ්දව බලා සිටියා විනා නෙවිල් සමරකෝන් වෙනුවෙන් පෙනී සිටින පිළිවෙතක් අනුගමනය නොකළේය.

දෙවැනි බරපතළ ගැටුම පැන නැගුණේ චන්ද්‍රිකා පාලන යුගයේදීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ආචාර්ය මාක් ප්‍රනාන්දු පවත්වාගෙන ගිය ස්වාධීන පිළිවෙත ජනාධිපතිනියගේ උදහසට හේතුවී තිබුණු අතර ආචාර්ය මාක් ප්‍රනාන්දුට ලැබෙන වැදගත්කම අවලංගු කරනු පිණිස ජනාධිපතිනි චන්ද්‍රිකා සරත් නන්ද සිල්වා තුරුම්පුව පාවිච්චි කළාය. සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව ඔහු විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු පළමුවරට අධිකරණය විධායකයට යටහත්ව පහත්ව ක්‍රියාකරන විධායකයේ රබර් මුද්‍රාවක තත්ත්වයට පත් කළේය. එසේ වුවද සරත් නන්ද සිල්වාද සිය අධිකරණ පාලන කාලයේ අවසාන කාලයේදී විධායකය සමග ගැටුම් ඇති කරගත්තේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යහපත හා ආරක්සාව වෙනුවෙන් තමන් කරන කාර්යභාරය වෙනුවෙන් අපේක්ෂා කළ තරමින් ප්‍රතිලාභ නොලැබීම නිසා ඇති කරගත් අතෘප්තිය ඒ ගැටුම කෙරෙහි බලපෑ ප්‍රධාන හේතුවවීයැයි කිව හැකිය. මහින්ද රාජපක්ෂ ජනනාධිපතිවරයා සිය මිත්‍රයාට එරෙහිව රළු ලෙස ප්‍රතිචාර දක්වන තැනකට නොගියේය. ඔහු විශ්‍රාම යෑමට තිබුණු කාලය කෙටිවීම හේතු කොටගෙන ඇති කරමින් තිබුණු කරදර ඉවසාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක හා විධායකය අතර දැන් ඇතිවී තිබෙන ගැටුම එම ගැටුම් ඉතිහාසයේ සිව්වැනි ගැටුම ලෙස සැලකිය හැකිය. විධායකය හා අධිකරණයට අතර ගැටුම් ඇතිවීම අස්වාභාවික හෝ අසාමාන්‍ය නැත. එවැනි ගැටුම් ඇමරිකාවේද, ඉන්දියාවේද වෙනත් බොහෝ රටවලද සිදුවී තිබේ. හොඳ දේශපාලන ක්‍රමයක් ඇති රටවල එවැනි ගැටුම් දේශපාලන ක්‍රමය පෝෂණය කිරීමට හේතුවී තිබෙන අතර දුර්වල හා දූෂිත දේශපාලන ක්‍රමයක් පවත්නා ශ්‍රී ලංකාවේ එවැනි ගැටුම් දේශපාලන ක්‍රමයේ ගරාහැලීම වේගවත් කිරීමට හේතුවී තිබේ.

දෝෂාභියෝග චෝදනා

දෝෂාභියෝගයකදී ඉදිරිපත් කළයුත්තේ හොඳින් සනාථ කරන ලද චෝදනා වුවත් මෙම දෝෂාභියෝගයේදී ආණ්ඩුව අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන්නේ සනාථ නොකළ හා සනාථ කළ නොහැකි චෝදනා බව පෙනේ. ඒ තත්ත්වය ඉදිරියේ දෝෂාභියෝගය ඉදිරියට ගෙනයන්නේ කෙසේද යන බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්නට ආණ්ඩුවට සිදුවනු ඇත්තේය. එහෙත් ආණ්ඩුවට, ඉදිරියට තබන ලද අඩිය ආපස්සට ගැනීමේ හැකියාවක්ද නැත. නයාට ගසන විට පොල්ල වරද්දා ගතහොත් ඇතිවිය හැකි ප්‍රතිවිපාක බිහිසුණු විය හැකිය. දැන් ආණ්ඩුව මුහුණදී තිබෙන්නේද ඒ සමාන තත්ත්වයකටය.

අගවිනිසුරුවරිය ආණ්ඩුව සමග පවත්වාගෙන ගිය සහයෝගය අත්හැරීම කෙරෙහි බලපෑ හේතු මොනවා වුවත් ආණ්ඩුව අගවිනිසුරුවරිය අවසාන වශයෙන් හඳුනාගෙන තිබුණේ තමන්ගේ ඉදිරි ගමනට බාධා කරන කෙනකු වශයෙනි. ඒ නිසා ඇය ඉක්මනින් තනතුරෙන් පහකිරීමට ආණ්ඩුවට තීරණාත්මක වැදගත් ප්‍රශ්නයක් බවට පත්ව තිබුණු අතර ඒ සඳහා තෝරාගත හැකි හොඳම ක්‍රමය දෝෂාභියෝගයක්වේයැයි ආණ්ඩුව කල්පනා කළේය. ආණ්ඩුව දඩිබිඩියේ දෝෂාභියෝග චෝදනා පත්‍රයක් සකස් කර ඇතත් ඊට ඇතුළත් චෝදනා ඔප්පු කළහැකි තත්ත්වයක තිබෙන්නේද යන්න හරි සොයා බැලීමක් කර ඇති බවක් පෙනෙන්නට නැත. ඇය පහකිරීමට අවශ්‍ය වැඩි ඡන්ද බලයක් තිබෙන තත්ත්වය ඉදිරියේ ඉදිරිපත් කරනව චෝදනා ඔප්පු කිරීමේ අවශ්‍යතාවට ලැබෙන වැදගත්කම ආණ්ඩුව වැදගත් කොට නොසැලකුවා විය හැකිය. එහෙත් ඔප්පු කළ නොහැකි චෝදනා ඇතුළත් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම මගින් ආණ්ඩුව අගවිනිසුරුවරියට ආත්ම විශ්වාසයකින් යුතුව සටන් කළ හැකි වාසිදායක වටාපිටාවක් ඇතිකරදී තිබෙන්නේයැයි කිව හැකිය.

මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළ බලයට පත්වන හැම පාලකයෙක්ම අධිකරණය දකින්නේ අවශ්‍යයෙන්ම සිය පාලනයට නතු කරගත යුතු තීරණාත්මක වැදගත්කමක් ඇති මර්මස්ථානයක් ලෙසය. සාර්ථක ආණ්ඩු පාලනයක් සඳහා එම මර්මස්ථානය පාලනයට යටත් තත්ත්වයක තබා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස හැම පාලකයකුම සැලකීය. මෙම දූෂිත දේශපාලන ක්‍රමය සකස් කරන විටද එම ක්‍රමය තුළ අධිකරණය ස්ථානගත කර තිබෙන්නේ මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ස්වාධීන අධිකරණ ක්‍රියාකාරීත්වයකට ඉඩ ලැබෙන තැනක නොව විධායකයට යටහගත් පහත් හා පක්ෂපාතීව ක්‍රියාකළ යුතු තැනකය. මේ මොහොතේ ආණ්ඩුවටතමන්ට පක්ෂපාතව ක්‍රියාකරන අධිකරණයක් අවශ්‍යවන්නේ අණ පනත් බාධාවකින් තොරව සම්මත කරගැනීම අවශ්‍ය වන නිසා පමණක් නොව ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය හා ඒ ආශ්‍රයෙන් මතුවිය හැකි ගැටලු විසඳාගැනීම සඳහා එය අත්‍යවශ්‍ය කොන්දේසියක් වන නිසාය.

දෝෂාභියෝගයේ බලතුලනය

අගවිනිසුරුවරිය තනතුරින් පහකිරීම සඳහා ඉදිරියට ගෙන තිබෙන දෝෂාභියෝගය ඉදිරියේ දැන් ආණ්ඩුව ඉන්නේ අවාසිදායක දුර්වල තැනක වුවද අගවිනිසුරුවරිය තනතුරෙන් පහකිරීමේ වැඩසටහන අත්හැරීමේ හැකියාවක් ආණ්ඩුවට නැත. එහෙත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ විශාල බහුතර බලයක් තිබුණද අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා ඔප්පු කිරීමෙන් තොරව තනතුරෙන් පහකිරීමද සරල හෝ පහසු දෙයක් වන්නේද නැත.

දෝෂාභියෝග සටන ආරම්භයේදී අගවිනිසුරුවරිය සිටියේ සිය ක්ෂේත්‍රයේද මහජනයාගේද බලවත් සහාය නැතිව සටන් කරන තත්ත්වයකය. ක්‍රම ක්‍රමයෙන් ඒ තත්ත්වය වෙනස්කර ගනිමින් සිය ක්ෂේත්‍රයේද, දැනුවත් මහජනයාගේද, අනුකම්පාව හා සහාය තමන් වෙත දිනාගන්නා තත්ත්වයක් තමන් වෙත හිමිකර ගැනීමට අගවිනිසුරුවරිය සමත් වී තිබෙන බව පෙනේ. ඇය තනතුරෙන් පහකරන්නට යන්නේ සාධාරණ හේතු නැතිව පළිගැනීමේ අරමුණින් බව වැඩි වැඩියෙන් පෙනෙන්නට වූ විට එය විනිශ්චයකාරවරුන් තුළද තිගැස්මක් ඇති කිරීමට හේතුවී සමහරවිට පොදුවේ විනිශ්චයකාරවරුන්ද නීතිඥයන්ද ඇයගේ ආරක්ෂාව සඳහා ක්‍රියාකාරී ලෙස නැගී සිටින තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. දැනුවත් සමාජයද ඒ රැල්ලේ ක්‍රියාකාරී පංගුකාරයන් පිරිසක් බවට පත්විය හැකිය.

දෝෂාභියෝග ප්‍රශ්නය කරළියට එන අවස්ථාව වනවිට ආණ්ඩුව තිබුණේ ජාත්‍යන්තර වශයෙන් තියුණු පරීක්ෂාවකට හා සෝදිසියකට ලක්ව සිටි තත්ත්වයකය. මුලදී ලංකාවේ සිදුවූ කටයුතු හා සිදුවන කටයුතු ප්‍රශ්න කරන තැනක සිටි බටහිර බලවතුන් සමග රණ්ඩු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළ ආණ්ඩුව පසුව එම ප්‍රතිපත්තියෙන් මිදී එම රටවල් ඉල්ලා සිටින සමහර කොන්දේසි සම්පූර්ණ කරන ප්‍රතිපත්තියකට මාරුවිය. ඒ මගින් ආණ්ඩුව විශාල ප්‍රමාණයකට බොඳවී තිබූ ජාත්‍යන්තර ප්‍රතිරූපය කිසියම් ප්‍රමාණයකට පිළියම් කරගන්නා තත්ත්වයක් ඇතිකර ගැනීමට සමත්ව තිබුණද අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දෝෂාභියෝගය හා එය ක්‍රියාවට නගමින් තිබෙන අමනෝඥ වැඩපිළිවෙළ විසින් ජාත්‍යන්තර ප්‍රතිරූපය පිළියම් කරගැනීම සඳහා මෙතෙක් කරන ලද සියලු ආයෝජනයන් ඵලරහිත කිරීමට හේතුවී තිබේ.

ජාත්‍යන්තර සාධක

නූතන ලෝකයේ අධිකරණ විෂය සැලකෙන්නේ ඉතාමත් සංවේදී විෂයයක් වශයෙනි. ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක වැදගත්කමක් ඇති මේ මොහොතේදී අධිකරණය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ප්‍රතිපත්තිය ජාත්‍යන්තර ප්‍රජාවගේ විශේෂ අවධානය දිනාගත් දෙයක් වී තිබේ. අගවිනිසුරුවරිය තනතුරෙන් පහකිරීමට දරන උත්සාහය ලංකාවේ කටයුතු පරීක්ෂාවට ලක්කරමින් සිටින බලවත් රටවල බලවත් සැකයක් ඇති කිරීමට හේතුවී තිබේ. චෝදනා විභාග කිරීම සඳහා නීතියට අනුකූල සාධාරණ නඩු විභාගයක් ලබාදීමේ වැදගත්කම එම රටවල් විසින් දිගින් දිගට ශ්‍රී ලංකාවේ අවධානයට යොමු කළේය. එහෙත් ආණ්ඩුව එහිදී ක්‍රියාකළේ ඒ සඳහා එල්ල වන ජාත්‍යන්තර බලපෑම් මායිම් නොකරන තත්ත්වයකිනි. චෝදනා සනාථ කිරීමකින් තොරව අගවිනිසුරුවරිය හිතුවක්කාරී ලෙස තනතුරෙන් පහකරන ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් ජාත්‍යන්තර වශයෙන් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට විශාල වන්දියක් ගෙවන තත්ත්වයක් ඇතිවිය හැකිය.

මාර්තුවලදී පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිල සැසිය ශ්‍රී ලංකාවට තීරණාත්මක වැදගත්කමකින් යුතුය. කවුන්සිලයේ සභාපති ධුරයට විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ඇමරිකාව තේරී පත්ව තිබෙන අතර එහිදී ඇමරිකාව වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ රටවල් අතර ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාවට පක්ෂපාතව ඡන්ද පාවිච්චි කළ රටවල් ගණනාවක්ද සිටින්නේය. ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව සහයෝගය දෙන පිළිවෙතක් අනුගමනය කළ චීනය, රුසියාව හා කියුබාව මෙවර කවුන්සිලයට තේරී පත්වී නැත. ඉන් පෙනෙන්නේ කවුන්සිලයේ බලතුලනය ගොඩනැගී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වාසියට හේතු නොවන ආකාරයකට වන බවය.

ක්‍රමයේ අර්බුදය අලුත් අධියරයකට

යුද්ධය අවසන් වී දැන් වසර හතරකට ආසන්න කාලයකින් ගෙවී ඇතත් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ජාත්‍යන්තර තලයේ පිළිගැනීමට හා විශ්වාසයට හේතුවන තත්ත්වයකට ගෙන ඒමට තවමත් සමත් වී නැත. අභ්‍යන්තර යුද්ධයක් ඇතිවූ විට ඒ රට ජාත්‍යන්තර වශයෙන් විශේෂ පරීක්ෂාවකට ලක්වීම නූතන ලෝකයේ අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. ආණ්ඩුවට යුද්ධය ජයගැනීමට සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් තිබුණද යුද්ධයෙන් පසු ඒ ආශ්‍රයෙන් ජාත්‍යන්තර තලයේ මතුවන්නට නියමිතව තිබූ ප්‍රශ්න ජයගැනීම සඳහා ශක්තිමත් ඉදිරි දැක්මක් නොතිබුණි. ආණ්ඩුව කළේ මතු කරන ප්‍රශ්නවලට සන්සුන්ව හා තර්කානුකූලව කරුණු පැහැදිලි කරන පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට ප්‍රශ්න මතු කරන්නන් සමග රණ්ඩු කරන තැනකට යෑමය. ඒ නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ බලවත් සැකයට හේතුවන රටක තත්ත්වයට පත්විය. ජාත්‍යන්තර ප්‍රශ්න ගණන්කාර ප්‍රතිපත්තියකින් ජයගැනීමට ඉඩක් නැති බව ප්‍රමාද වී හෝ තේරුම් ගෙන උගත් පාඩම් කොමිසමක් පත්කොට එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන පිළිවෙතකට මාරු වුවද රටේ විටින් විට ඇතිවූ අසාමාන්‍ය තත්ත්වයේ සිදුවීම් ලිහිල් ප්‍රතිපත්තියකට මාරුවීමෙන් ලැබිය හැකිව තිබූ වාසි නැති කළේය. අගවිනිසුරුවරිය දෝෂාභියෝගයක් මගින් ඉවත් කිරීමට ඉදිරියට ගනු ලැබූ වැඩසටහන නැවත ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වඩා නරක තත්ත්වයකට පත්කිරීමට හේතුවී තිබේ.

ඓතිහාසික අර්ථයෙන් ගත්විට යුද්ධයේ අවසානයත් සමග යල්පැනගිය දූෂිත දේශපාලන ක්‍රමයද වෙනස් කළ යුතුව තිබුණි. රටේ බෙදීගිය ජාතිය එක්සත් කිරීමට හේතුවන, අත්තනෝමතිකත්වයට ඉඩක් නැති මහජන අයිතිවාසිකම් ආරක්ෂා කැරෙන, කාර්යක්ෂ පාලනයකට ඉඩ ලැබෙන නව දේශපාලන ක්‍රමයක් ඇති කරගත යුතුව තිබුණි. ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් තිබෙන තෙක් දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කරගැනීමේ ඇත්ත හැකියාවක් නොතිබුණි. යුද්ධයේ අවසානය තුළ දේශපාලන ක්‍රමය නිරුවත් තත්ත්වයකට පත්වූ අතර එම තත්ත්වය දේශපාලන ක්‍රමයට තිබුණු සුජාතභාවය අහෝසි කරමින් තිබුණේය. ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් පැවති දීර්ඝ කාලවකවානුව තුළද දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක වූයේ අසාධාරණය හා අත්තනෝමතිකත්වය රජකරන දූෂිත හා කොල්ලකාරී ක්‍රමයක් ලෙසය. එහෙත් රටේ පැවති ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් නිසා මහජනයාට එම තත්ත්වය හොඳින් නොපෙනුණු අතර ඔවුන්ගේ ප්‍රධාන අවධානය යොමුවී තිබුණේ රටේ සිදුවන බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් කෙරෙහිය. ඒ නිසා දේශපාලන ක්‍රමයේ අවලස්සන ස්වභාවය මහජනයාට හොඳින් නොපෙනුණේය. බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් අවසන්වීමත් සමග දේශපාලන ක්‍රමයේ අවලස්සන නිරුවත මහජනයා ඉදිරියේ ප්‍රදර්ශනය වන්නට වූ අතර ඒ සමග එය තවදුරටත් ඉදිරියට ගෙනයා නොහැකි යල්පැනගිය දේශපාලන ක්‍රමයක් බවට පත්විය.

ඒ සමග සිදුවිය යුතුව තිබුණේ යල්පැනගිය තත්ත්වයකට පත්ව තිබුණු දූෂිත දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කිරීමය. එහෙත් පැරණි ක්‍රමයට ආවේණිකව තිබූ පරම බලයට හා ඒ මගින් ලැබෙන අයුතු ලාභවලට ලොබවූ ආණ්ඩුව තිබුණු දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇතිකර ගැනීමෙන් තොරව ප්‍රභාකරන් පරාජය කිරීමෙන් හිමි කරගත් කීර්තියෙන් පමණක් තවදුරටත් ඉදිරියට යන්නට දරන උත්සාහය තුළ ක්‍රමයේ මූලික වෙනසක් ඇති කරගැනීමට ලැබුණු ඓතිහාසික අවස්ථාව නැතිකර ගත්තේය. ඒ සමග දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කරගැනීමට තිබෙන ඉඩ නැතිවී ක්‍රමය විසින්ම ක්‍රමය අවසන් කැරෙන අලුත් අදියරයකට දේශපාලන ක්‍රමයේ අර්බුදය තල්ලු වී ගියේය. දැන් ක්‍රමයේ අර්බුදය තිබෙන්නේ බාහිර බලපෑම්වලින් තොර වුවත් ක්‍රමයේ ප්‍රධාන අංගෝපාංග එකිනෙක කඩා හැලෙන ඒ නිසා ක්‍රමය අස්වාභාවික විකට රූපයක් බවට හැරී අවසානයේ ක්‍රමය එහි මරණයෙන් අවසන් වන ඓතිහාසික අවස්ථාවකය. අධිකරණය හා විධායකය අතර ඇතිවී තිබෙන ගැටුම එම තත්ත්වය ප්‍රබල ලෙස උද්දීපනය කරන තවත් වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

පාර්ලිමේන්තුව හා අධිකරණය

අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන දෝෂාභියෝග පරීක්ෂණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඇසෙන නඩු විමසා අවසන් වන තෙක් එම පරීක්ෂණයේ කටයුතු ඉදිරියට ගෙනයෑමෙන් වැළකී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කරන දැනුම්දීමක් මගින් ඉල්ලා සිටියේය. පරීක්ෂණය අත්හිටුවීමට නියෝගයක් ලබාදීමට පුළුවන්කම තිබියදීත් එසේ කිරීමෙන් තොරව ඉල්ලීමක් කරනු ලබන්නේ ප්‍රධාන ආයතන ක්‍රම දෙකක් අතර ගැටුමක් ඇතිවීම වළකාගැනීම සඳහා බවද ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී ප්‍රකාශ කර සිටියේය. එහෙත් තේරීම් කාරක සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ එම ඉල්ලීම නොසලකා සිය කටයුතු ඉදිරියට ගෙන ගියේය. තේරීම්ක කාරක සභාවේ එම ක්‍රියාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය තේරීම් කාරක සභාවේ සාමාජිකයන් වගඋත්තරකරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ පෙත්සමෙන් පෙත්සම්කරුවන් කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද උපදෙස් නොසලකා ක්‍රියාකිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරන වරදක් තේරීම් කාරක සභාව විසින් කර ඇති බවය. ඒ මගින් නීතිඥ සංගමය නියෝජනය කරන නීතිඥ ප්‍රජාවගෙත් මහජනයාගෙත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවය. මෙම අර්බුදයට අදාළව විභාගයට ගැනීමට නියමිත පෙත්සම් සංඛ්‍යාව විශාල වන අතර තව තව අලුත් පෙත්සම්ද එකතුවෙමින් තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පරීක්ෂණයට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන තැනකට ගියහොත් එම නියෝගය භාර නොගෙන ප්‍රතික්ෂේප කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ බලය පාර්ලිමේන්තුවට තිබේද? තිබේ නම් එවැනි තත්ත්වයක් පෙරළා ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි ඇති කරන ප්‍රතිවිපාක කෙබඳු විය හැකිද? එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් පාර්ලිමේන්තුව කෙරෙහි ඇති කරන ප්‍රතිවිපාක කුමක් විය හැකිද?

එහිදී බොහෝ විචාරකයන් පූර්වාදර්ශයක් ලෙස සලකන බවක් පෙනෙන්නේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගයේදී ඊට එරෙහිව දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සම්බන්ධයෙන් කතානායකවරයා අනුගමනය කරන ලද ප්‍රතිපත්තියයි. එම නියෝගය භාරගැනීම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයද ඒ අවස්ථාවේදී කතානායකගේ ප්‍රති නියෝගයට ප්‍රතිචාර දක්වන තැනකට ගියේ නැත.

එහෙත් ඒ ඇතිවූ තත්ත්වය හා දැන් තිබෙන තත්ත්වය කිසිසේත්ම එක සමාන නැත. දෝෂාභියෝගයක් භාරගැනීම වළකන නියෝගයක් පැනවීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට නැත. දෝෂාභියෝගය ජනාධිපති හෝ උසස් අධිකරණයේ විනිසුරුවරයෙක් තනතුරින් පහකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබාදී තිබෙන ප්‍රතිපාදනයකි. එහෙත් ඒ සඳහා කැරෙන පරීක්ෂණයක් සාධාරණ හෝ නීතියට අනුකූල නොවේ නම් එම පරීක්ෂණයට එරෙහිව තහනම් නියෝගයක් දීමේ බලය අධිකරණය සතුය. අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් ලබාදෙන ලද්දේ වැරදි අවස්ථාවකදී වැරදි තැනකටය. එහෙත් දෝෂාභියෝගයක් මගින් පහකළ යුතු තනතුරු දරන්නන් සම්බන්ධයෙන් ඇසෙන නඩු විභාගයක් සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය අහිමි කෙරෙන ආකාරයට සිදුවන්නේ නම් ඊට එරෙහිව නියෝග දීමේ බලය අධිකරණය සතුය.

අධිකරණ බලය

පාර්ලිමේන්තුව උත්තරීතරම ආයතනය ලෙස සලකා පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ සිදුවන කවර ක්‍රියාවකට හෝ බලපාන ආකාරයේ නියෝග දීමේ බලයක් අධිකරණයට නැත්තේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමයේ පමණය. බ්‍රිතාන්‍යයේ පවතින ආණ්ඩුක්‍රමය තුළ පාර්ලිමේන්තු පනතක් සමාලෝචනය කිරීමේ බලයවත් අධිකරණයට නැත. එහි පාර්ලිමේන්තුව සම්මත කරන අණපනත් අධිකරණ සමාලෝචනයට ලක්වීමෙන් තොරව ව්‍යවහාර කෙරේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නීති සම්පාදනයේදී පිළිගත් මූලධර්මය හා සම්ප්‍රදායයන්ට පටහැනිව නීති සම්පාදනය නොකරන බව පිළිගත් විශ්වාසයක් පවතින අතර එම විශ්වාසය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අද දක්වා පළුදු කිරීමට ක්‍රියාකර නැත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට අධිකරණ සමාලෝචනයක් අවශ්‍ය නොවීම කෙරෙහි සාමි මන්ත්‍රී මණ්ඩලය, ද්වි මණ්ඩලය ව්‍යවස්ථාදායකයේ එක් වැදගත් එක අංගයක් වන විට සාමි මන්ත්‍රී මණ්ඩලය රටේ ඉහළම අධිකරණය ලෙසද ක්‍රියාකරන නිසාද විය හැකිය. ඒ අර්ථයෙන් එහි නීතිගත කැරෙන හැම අණ පනතක්ම අනියම් ආකාරයෙන් අධිකරණ සමාලෝචනයකට ලක්වන්නේ යැයිද කිව හැකිය.

එහෙත් වෙනත් රටවල පවතින තත්ත්වය මීට සපුරා වෙනස්ය. ඇමරිකාවේ නම් විධායකය හෝ ව්‍යවස්ථාදායකය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන ඕනෑම ක්‍රියාවක් අවලංගු කිරීමේ බලය අධිකරණය සතුය. වෙනස්කම් ඇතත් ඉන්දියාව, ජර්මනිය හා දකුණු අප්‍රිකාව වැනි රටවල ක්‍රියාත්මක වන අධිකරණ ප්‍රතිපත්තියද ඊට සමානය.

අපේ රටේද බ්‍රිතාන්‍යයේ මෙන් පාර්ලිමේන්තුව උත්තරීතර තත්ත්වයක් හිමි කරගෙන තිබුණු යුගයක් තිබුණි. ඒ 1948 සිට 1972 දක්වා ද, මුළුමනින්ම වාගේද 1972 සිට 1978 දක්වා විශාල ප්‍රමාණයකටද රටේ පැවතියේ බ්‍රිතාන්‍ය ආකෘතියේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකි. අග්‍රාණ්ඩුකාරවරයාගේ තත්ත්වය බ්‍රිතාන්‍ය ව්‍යවස්ථානුකූල රජතුමාගේ තත්ත්වයට සමාන විය. අගමැතිවරයාගේ මූලිකත්වයෙන් කැබිනට් මණ්ඩලය පාලන බලයේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කළේය. ව්‍යවස්ථාදායකය මහජන ඡන්දයෙන් තෝරාපත් කරගන්නා ලද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන්ද අනියම් ලෙස හා අර්ධ වශයෙන් තෝරා පත් කරනු ලබන නියෝජිතයන්ගෙන් සමන්විත සෙනට් මණ්ඩලයෙන්ද සමන්විත විය. පාර්ලිමේන්තුව ජනතාවගේ ස්වාධිපත්‍යයේ උත්තරීතරම ආයතනය විය. පාර්ලිමේන්තුව තෝරාපත් කරගැනීම සඳහා වරින් වර පවත්වනු ලබන මැතිවරණ, ජනතාව සිය ස්වාධිපත්‍යය අභ්‍යාස කැරුණු ප්‍රධානම මාර්ගය විය. 1978 සිට මෙහි ක්‍රියාත්මක වනුයේ ඒ ක්‍රමය නොව පරස්පර විරෝධී ආණ්ඩුක්‍රම ගණනාවක අංග එකට පූට්ටු කොට තනාගත් විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමයකි. දැන් උත්තරීතරම ආයතනය බවට පත්ව තිබෙන්නේ පාර්ලිමේන්තුව නොව ජනතාව කෙළින්ම තෝරා පත්කර ගන්නා විධායක ජනාධිපතිය. රාජ්‍යයේ සකලවිධ බලය කේන්ද්‍රගතවී තිබෙන්නේ පාර්ලිමේන්තුව අත නොව විධායක ජනාධිපති අතය. ඒ නිසා උත්තරීතරම ආයතනය පාර්ලිමේන්තුව බවට තර්ක කිරීමේ හැකියාවක් දැන් පාර්ලිමේන්තුවට නැත. ව්‍යවස්ථාවට අනුව අධිකරණයට බලය නැත්තේ ජනාධිපතිගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව තීන්දු දීමට පමණය. පාර්ලිමේන්තුව ඇතුළු වෙනත් ඕනෑම ආයතනයක් නීතියට පටහැනිව ක්‍රියාකරන අවස්ථාවක එය අවලංගු කිරීමේ බලය අධිකරණය සතුය.

අවසානය කුමක්ද?

අධිකරණයට නීතිමය බලය ඇතත් දේශපාලන බලය ඇත්තේ විධායකයටය. මතුපිටින් බලන විට ගැටුම ඇත්තේ අධිකරණය හා පාර්ලිමේන්තුව අතර වුවත් හරයාත්මකව බලනවිට ගැටුම ඇත්තේ අධිකරණය හා පාර්ලිමේන්තුව අතර නොව අධිකරණය හා විධායකය අතරය. දැන් සිදුවී තිබෙන්නේ අධිකරණය මර්දනය කිරීම සඳහා විධායකය විසින් පාර්ලිමේන්තුව යොදාගැනීමය.

දැන් මතුවී තිබෙන අවුලේ ස්වභාවය අනුව අධිකරණය මර්දනය කිරීම සරල හා පහසු නැත. එසේම විරුද්ධවාදී හෝ ස්වාධීන අධිකරණයක් මේ දේශපාලන ක්‍රමය තුළ පැවතිය නොහැකිය. ඒ නිසා විධායකයේ පැවැත්ම සඳහා පක්ෂපාතී අධිකරණයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. විධායකයට ඒ අරමුණ ඉටුකරගත හැක්කේ දේශපාලන ක්‍රමය තුළ අවශ්‍යයෙන්ම තිබිය යුතු ප්‍රධාන අංගයක් ලෙස සැලකිය හැකි අධිකරණය නැති කරගැනීමෙනි. ඒ සමග දේශපාලන ක්‍රමය අංගවිකල ක්‍රමයක් බවට පත්වනු ඇත්තේය.

දැන් ඇතිවී තිබෙන අර්බුදයේදී ජනතාවගේ අනුකම්පාව ලැබිය යුත්තේ අධිකරණයට වුවත් අධිකරණය පිදුම් ලැබිය යුතු සර්වතෝබද්‍ර ආයතනයක් ලෙස සලකන අන්තවාදී තැනකට නොයා යුතුය. මේ රට ඇද වැටී තිබෙන අවාසනාවන්ත තත්ත්වයට ව්‍යවස්ථාදායකය, විධායකය පමණක් නොව අධිකරණයද හරි හරියට වගකිව යුතුය. මෙම ආයතන ක්‍රම තුනම එක්ව හා වෙන් වෙන්ව ආණ්ඩුක්‍රමය සම්ප්‍රදායන් උල්ලංඝනය කර තිබෙනවා පමණක් නොව තමන්ට තිබෙන නිල බලය මහජනයා පීඩාවට ලක් කිරීම සඳහා පාවිච්චි කර තිබේ. මෙම ආයතන ක්‍රම තුනම, අන්ත දූෂිත ආයතන ක්‍රම තුනක් ලෙස සැලකිය හැකිය. රටේ තිබෙන දූෂිත දේශපාලන ක්‍රමය කඩා වැටෙමින් තිබෙන මෙම ඓතිහාසික අවස්ථාවේදී සියලුදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන සාධාරණ හා කාර්යක්ෂම නව දේශපාලන ක්‍රමයක් ගැන දැන් සිටම සිහින දකින තැනකට සමාජය යා යුතුය.