මෙවර “රාවයේ” මුල් පුවතින් රටේ අධිකරණ නායකයා ගැන කියවෙන කථාව ඉතාමත්ම බිහිසුණු ය. රෝහණ කුමාර නමැති අපරාධකරුවා හා අගවිනිසුරුවරයා අතර තිබූ සැකසහිත සම්බන්ධය ගැන මීට පෙර ද “රාවය” හෙළිදරව් කිරීමක් කර තිබුණ. අගවිනිසුරු සරත් සිල්වා මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගයට ද රෝහණ කුමාර අපචාර චෝදනාව ද ඇතුළත්ව තිබුණ. දෑන් සිදුවී ඇත්තේ අගවිනිසුරුවරයාට එරෙහිව එල්ල වී තිබුණු එම චෝදනාව තවදුරටත් ශක්තිමත් ලෙස තහවුරුවීම පමණ ය.
සරත් සිල්වා මහතා විශේෂයෙන් ඔහු හොබවන අගවිනිසුරු තනතුරත්, පොදුවේ අධිකරණයත් ඉතාමත් නින්දා සහගත තත්ත්වයකට පත් කර තිබෙන බව ඉතා පැහැදිලි ය. මේ පුද්ගලයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඉතාමත් බරපතල චෝදනා ඇතුළත් දෝෂාභියෝගයක් ඉදිරිපත් කර තිබුණු තත්ත්වයක් ඉදිරියේ ආණ්ඩු වෙනසකින් අනතුරුව අගවිනිසුරු තනතුරේ ගෞරවයට හේතු නොවන මෙම පුද්ගලයා එම තනතුරෙන් ඉවත් කොට ඔහු විසින් අධිකරණයට ඇති කර තිබෙන විනාශයට පිළියම් යොදමින් නැවත අධිකරණය මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන තත්ත්වයකට ගෙන ඒම පිණස අප්රමාදව ක්රියා කරනු ඇතැයි මහජනයාගේ විශ්වාසය වී තිබුණ.
එහෙත් නව ආණ්ඩුව තවමත් මේ තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීම සඳහා ක්රියා කර නැත. පොදු පෙරමුණු ආණ්ඩුව බලයේ සිටියදි විධායකයේ සෘජු දේශපාලන අතකොලූවක් ලෙස ක්රියාකර තිබුණු තත්ත්වයක් තුළ ආණ්ඩු වෙනසත් සමග මේ පුද්ගලයා සිය තනතුර අත්හැර යනු ඇතැයි ද සමහරු අපේක්ෂා කළහ. එහෙත් එවැන්නක් ද සිදු නොවී ය. නව ආණ්ඩුව ඔහු සම්බන්ධයෙන් කුමන ප්රතිපත්තියක් අනුගමනය කරන්නට යන්නේ ද යන්න ද පැහැදිලි නැත.
අන් සියලු දේ ප්රතිසංස්කරණය කරන්නට ප්රථම අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය තහවුරු කිරීම නව ආණ්ඩුවේ වගකීමකි. දේශපාලන බලපෑමෙන් තොරව තමන්ට සිදුවන අසාධාරණයකදි විශ්වාසයකින් යන්නට තිබුණු එකම තැන වූයේ අධිකරණය පමණ ය. නැවත අධිකරණය ඒ තැනට ගෙන ඒම ශිෂ්ට සමාජයක් සඳහා අත්යවශ්ය කොන්දේසියකි.