අගමැතිනියගේ හතළිස්වැනි අගමැති සංවත්සරය

July 30, 2000
Publication:
Marking forty years since Sirimavo Bandaranaike became the world's first woman prime minister, the editorial honours her but questions her holding office at 84 when her health prevents her from performing the duties of a post that, though diminished, still answers to Parliament and acts for the President. Citing Roosevelt and Mandela on fitness for office, it calls the practice a waste of public money and an indignity to her, and notes the similar case of bedridden deputy minister P.B.G. Kalugalla.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ලොව ප්‍රථම අගමැතිනිය වීමේ හතළිස්වැනි සංවත්සරය සැමරුණේ පසුගිය සතියේය. පාර්ලිමේන්තුවට තේරි පත් නොවී, පාර්ලිමේන්තුවේ ඇති අගමැති අසුනේ අසුන් නොගෙන සෙනට් මන්ත්‍රී මණ්ඩලයේ සිට අගමැති ධුරය හෙබවූ ලොව එකම පුද්ගලයා වන්නේ ද ඇයයි. තිබුණු පැරණි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය යටතේ රටේ රාජ්‍ය නායකත්වය හෙබවූයේ අගමැතිය. ඇය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් යටතේ දෙවරක් අගමැති ධුරය හෙබවූ අතර, 1977න් පසුව දිර්ඝ විරාම කාලයකින් පසුව 94 සිට අද දක්වා විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ ද දෙවැනි පෙළේ නායිකාවක් ලෙස අගමැති ධුරය හොබවන්නීය.

ඇය ගරු කටයුතු නායිකාවකි. නිදහසින් පසු බලයට පත් බලවත්ම රාජ්‍ය නායකයන් තිදෙනාගෙන් කෙනෙකු ලෙස ද සැලකිය හැකිය. ඒ සියලු සුදුසුකම් තිබියදිත් වර්තමානයේ ඇගේ ධුරය දැරීම රාජ්‍ය පාලනය අරබයා ඉතා මැදිහත් ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් මතු කිරීමට හේතුවේ.

ඇය 1960දි ප්‍රථම වරට අගමැති ධුරයට පත්වන විට ඇගේ වයස අවුරුදු 44කි. අද ඇගේ වයස අවුරුදු 84කි. දේශපාලනයට රාජ්‍ය සේවයට මෙන් විශ්‍රාම යාම සඳහා වයස් සීමාවක් නැතත්, තනතුරක් හෙබවීමට ඊට සුදුසු සෞඛ්‍ය තත්ත්වයක් අපේක්ෂා කරයි.

විධායක ජනාධිපති ක්‍රමය තුළ බාල්දු කරනු ලැබ තිබූ අගමැති ධුරයෙන් පිදුම් ලබන අවස්ථාව වනවිට ඇගේ වයස අවුරුදු 78ක් විය. ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධුරයට පත්වූයේ 71 හැවිරීදි වියේදිය. ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගියේ අසූ දෙහැවිරිදි වියේය. ඔහු ද බලයට පත්වූයේ මහලු බවට යමින් සිටින අවස්ථාවක වුවත්, ජනාධිපති ධුරය දැරිමට අවශ්‍ය කරන මනා සෞඛ්‍ය තත්ත්වයක් ඔහුට තිබුණේය. වයසින් මහලු බවට පත්වෙමින් සිටියත් චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරය ඉසිලීමට අවශ්‍ය තරුණ ජවය තමන්ට ඇති බව පෙන්නුම් කිරීම සඳහා 70 හැවිරීදි වියේදි මාඕ සේතුංට යැංසි ගග තරණය කිරීමට සිදුවිය. නෙල්සන් මැන්ඩෙලා බලයට පත්වන අවස්ථාව වනවිට ද ඔහු හැත්තෑ හය හැවිරිදි වියේ සිටියත්, රාජ්‍ය නායකත්වය නිසි ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය මනා සෞඛ්‍ය තත්ත්වයක් ඔහුට තිබුණේය. දේශපාලනයේදි වයසේ ප්‍රමාණයට වඩා තමා උසුලන තනතුර පවත්වාගෙන යාමට අවශ්‍ය සෞඛ්‍ය තත්ත්වයක් තිබේද යන කාරණය වැදගත් කොට සැලකෙන බව ඉන් පෙනී යයි. දේශපාලකයන්ට අදාළ රෝගකාරක තත්ත්වයන් කෙරෙහි බලපාන රීතිය ද ඊට සමානය.

රූස්වෙල්ට් ඇමරිකන් ජනාධිපති ධුරයට පත්වූයේ ඉනෙන් පහළ තිබූ අංශ භාග රෝග තත්ත්වයක් නිසා රෝද පුටුවෙන් ගමන් කරන තත්ත්වයක සිටියදිය. එහෙත් එම ආබාධිත තත්ත්වය තිබියදිත් රාජ්‍ය පාලනයේ සුක්කානම මනා ලෙස හැසිරවීමට අවශ්‍ය මනා සෞඛ්‍ය තත්ත්වයක් ඔහුට තිබුණේය. ඇමරිකන් ජනතාව එක දිගට අවුරුදු 12ක් තරම් දිර්ඝ වාර්තාගත කාලයක් එම අංශ බාග රෝගියා ජනාධිපතිකමේ තබාගත්තේ රෝගී තත්ත්වයක් තිබියදිත් රාජ්‍ය පාලනයේ සුක්කානම මනා ලෙස හැසිරවීමට අවශ්‍ය හැකියාව ඔහුට තිබුණු නිසාය.

එහෙත් බණ්ඩාරනායක මහත්මිය 1994දි විධායක ජනාධිපති ක්‍රමය තුළ දෙවැනි තැනකට දමා තිබුණු අගමැති ධුරයට පත්වන අවස්ථාව වනවිටත් එවැනි තනතුරක් මනා ලෙස පාලනය කළ හැකි තත්ත්වයක ඇය නොසිටියාය. ඇය ඇගේ වයසටත් වඩා බෙලහීන තත්ත්වයකට පත්ව සිටියාය. එම බෙලහීන භාවය කෙරෙහි අවුරුදු 17ක් තරම් දිර්ඝ කාලයක් බලයෙන් පිටස්තරව ඉඳීම, එක් අවස්ථාවකදි ඉතාමත් අසාධාරණ ලෙස ඇගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, පක්ෂයේ හා පවුලේ ඇතිවූ ආරවුල් වැනි කාරණා බලපෑවා විය හැකිය. විධායක ජනාධිපති ක්‍රමය විසින් අගමැතිට ලැබෙන වැදගත්කම අඩුකොට තිබුණත්, බාල්දු කර තිබූ එම අගමැතිකම පවා දෙවැනි වූයේ ජනාධිපතිකමට පමණය. පාර්ලිමේන්තුවේ නිල නායකයා ලෙස සැළකෙන්නේ අගමැතිය. විධායක ජනාධිපති පාර්ලිමේන්තුවේ අසුන් නොගන්නා තත්ත්වයක් යටතේ ජනාධිපති වෙනුවෙන් පාර්ලිමේන්තුවට පිළිතුරු දිමේ නිල වගකීම පැවරෙන්නේ ද අගමැතිටය. ජනාධිපති රෝගාතුරව හෝ විදේශ ගතව සිටින අවස්ථාවල රාජ්‍ය පාලනය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයා වන්නේ ද අගමැතිය. බණ්ඩාරනායක මහත්මිය 1994 එම තනතුරට නැවත පත්වන අවස්ථාව වනවිට එවැනි භාරදූර වගකීමක් ඉටුකළ හැකි තැනක තබා තමන්ගේ එදිනෙදා සරල කටයුතුවත් කරගත හැකි තත්ත්වයක නොසිටියාය. ඒ නිසා අගමැති වශයෙන් ඇගේ පෙනී සිටීම නාමික දෙයක් වූ අතර, තනතුරේ කටයුතු පවත්වාගෙන යනු ලැබුවේ වෙනත් පිරිසකි.

බණ්ඩාරනායක මහත්මිය මහජනයාගේ ගෞරවයට හේතුවිය. යුතු ගරු කටයුතු නායිකාවක් වන බවට සැකයක් තිබිය නොහැකිය. එහෙත් ඇය සිටින විශේෂ සෞඛ්‍ය තත්ත්වය තුළ ඇයට එවැනි තනතුරක් දිම ඇගේ ගෞරවයට හේතුවන්නේ නැත. එක්තරා විශාල ප්‍රමාණයකට බාල්දු කර තිබියදිත්, අගමැති ධුරය රාජ්‍ය පාලනයේ වැදගත් දෑති රෝදයකි. එහි කාර්යක්ෂම හෝ අකාර්යක්ෂම භාවය සමස්ත රාජ්‍ය පාලනය කෙරෙහිම බලපායි. අනෙක් අතට බාල්දු කර තිබුණත් එම තනතුරට මහේශාක්‍ය බවක් ලබාදෙමින් එය නඩත්තු කිරීම පිණිස වැය කෙරෙන්නේ මහජන මුදල්ය. එය වියදමට සරිලන සේවාවක් ඉටු කිරිමේ හැකියාවක් එම තනතුර දරන්නාට තිබිය යුතුය. එසේ කළ නොහැකි තත්ත්වයක් තුළ බණ්ඩාරනායක මහත්මිය වැනි පුද්ගල චරිතයක් එවැනි තනතුරකට පත්කිරිමෙන් මහජන මුදල් අපතේ දැමීමක් සිදුවනවා පමණක් නොව එය බණ්ඩාරනායක මහත්මිය වැනි ගරු කටයුතු නායිකාවකට කරන අවමානයක් ද වන්නේය. මේ වැරදි සම්ප්‍රදාය බණ්ඩාරනායක මහත්මියට පමණක් විශේෂ කොට පවත්වාගෙන යන්නක් නොවන බව ද පෙනී යයි. පී.බී.ජී. කළුගල්ල මහතා පැරණි ශ්‍රීලනිප ආණ්ඩුවල බලවත් ඇමති ධුර දැරූ පුද්ගලයෙකි. කලක් දේශපාලනයෙන් පිටස්තරව සිට ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරියට ඒමත් සමග ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට එකතු වී 94 පාර්ලිමේන්තු මැතිවරණයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත්වී පොදු පෙරමුණු ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු බවට පත්විය දැන් වසර ගණනාවක් එක දිගට කළුගල්ල මහතා සිටින්නේ ලෙඩ ඇඳේය. තමන් උසුලන නියෝජ්‍ය ඇමති ධුරයේ කටයුතු කිසිසේත්ම කළ නොහැකි තත්ත්වයකය. දැන් ඔහු වෙනුවට එම තනතුරේ කටයුතු කිරීමේ වගකීම පැවරි ඇත්තේ එම පවුලේ අයටය.

බණ්ඩාරනායක මහත්මිය හා කළුගල්ල මහතා සම්බන්ධයෙන් පවත්වාගෙන යන මෙම වැරදි සම්ප්‍රදායට එරෙහිව විරුද්ධ පක්ෂ පවා කතා නොකරන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන්නේ ඇයිද යන්න ප්‍රහේළිකාවකි.