ආණ්ඩුවේ සිහින ලෝකය සහ යථාර්ථය

July 30, 2000
Publication:
Ivan explains the government's plan to switch to a first-past-the-post system by using the urgent-bill procedure to obtain a Supreme Court ruling that no referendum is needed. He argues the court cannot allow a change to the constitution's foundations without one, recalls the distortions of the 1970 and 1977 results that led to proportional representation, and notes that minority parties, the UNP and the JVP oppose it, so the government will have to face the election under the existing system.

පවතින මනාප ඡන්ද ක්‍රමය යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ස්ථිර ජයග්‍රහණයක් ලබාගැනීමේ අමාරුකමක් පොදු පෙරමුණට ඇත්තේය. පාර්ලිමේන්තු මැතිවරණය ජයගත නොහැකි වෙතොත්, ජනාධිපතිවරණයේදී ලබාගත් ජයග්‍රහණය ද අනතුරේය. ඡන්ද ක්‍රමයේ වෙනසක් ඇති කිරීම එය වළකාගැනීමට තිබෙන එක් ක්‍රියාමාර්ගයකි. අනුපාතික ක්‍රමය අහෝසි කොට කේවල ක්‍රමයකට යා හැකි නම්, ප්‍රාදේශීය නායකයන් අතර මතුවන තරගය වළකා ඡන්ද කොට්ඨාශ වෙනුවෙන් තරග කරන ආණ්ඩුවේ නියෝජිතයින්ට උපරිම මට්ටමෙන් රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන ක්‍රියාමාර්ගයක් මගින් පොදු පෙරමුණේ වාසියට හේතුවන ලෙස ප්‍රතිඵලයේ වෙනසක් ඇති කිරීමේ හැකියාවක් පවතී.

එහෙත් දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අත්තිවාරමේ වෙනස් කිරීමට හේතුවන සංශෝධනයන් නීතිගත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියට අතිරේක වශයෙන් ජනමතවිචාරණයකින් අනුමතවීම ද අවශ්‍යය.

ආණ්ඩුවට කවර දෙයක් සඳහාවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් නැත. එහෙත් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු අනුමැතියක් ඇතොත්, ජනමතවිචාරණයකට යාම අවශ්‍ය නොවේය කියන අර්ථකථනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කල්තියා ලබාගත හැකි වෙතොත්. කවර මිලක් ගෙවා හෝ තුනෙන් දෙකේ අනුමැතියක් සඳහා උත්සාහයක් දැරිය හැකිය කියන විශ්වාසයක් ආණ්ඩුව තුළ පවතී.

පවතින සාමාන්‍ය ක්‍රමය අනවු නම්, ඕනෑම පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එහි නීත්‍යනුකූලභාවය නීතිපතිවරයාගේ විමර්ශනයට ලක්විය යුතුය. ඉන්පසු එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට දවස් හතරකට පෙරවත් එය මහජනයාගේ දැනගැනීම පිණිස ගැසට් කළ යුතුය. එවිට එහි ව්‍යවස්ථාවට පටහැනි ස්වභාවයක් ඇතොත්, ඊට එරෙහිව අධිකරණය ඉදිරියට යෑමේ අයිතිය මහජනයාට ඇත්තේය. ඉන්පසු පනත් කෙටුම්පත සම්මත කිරීම සිදුවිය යුත්තේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූලවය.

එහෙත් ජාතික වැදගත්කමක් ඇති විශේෂ කාරණාවකදි අග්‍රවිනිශ්චයකාරවරයා ලිඛිතව අමතා තමන් එවන කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද යන්න වහාම තමාට දැනුම් දෙන ලෙස ජනාධිපතිනියට ඉල්ලා සිටිය හැකිය. එවැනි අවස්ථාවකදි කෙටුම්පත මහජනයාගේ දැනගැනීම පිණිස ගැසට් කිරීමක් කිරීම අවශ්‍ය වන්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති කරනු ලබන එවැනි ඉල්ලීමකදි පැය 24ක් තුළ හෝ පැය 72කට නොවැඩි කාලයක් තුළ සිය තීන්දුව දැනුම් දිය යුත්තේ ද ජනාධිපතිට හා කතානායකට පමණය.

දැන් ආණ්ඩුව ඡන්ද ක්‍රමයේ මගඩි වෙනසක් ඇති කිරීම සඳහා ප්‍රයෝජනයට ගැනීමට මානබලමින් සිටිනුයේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති මෙම විශේෂ ප්‍රතිපාදනයයි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අත්තිවාරම් වෙනස් කිරීමට හේතුවන සංශෝධනයක් ජනමතවිචාරණයකින් තොරව තුනෙන් දෙකේ පාර්ලිමේන්තු අනුමැතියකින් පමණක් වෙනස් කිරීමට අනුමැතිය දිමේ හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැත.

දැන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනරජයේ පරමාධිපත්‍යය බලය ඇත්තේ මහජනයාට ය. එය අත්හළ නොහැකි බලයකි. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් සමානුපාතික ඡන්ද ක්‍රමයක් යටතේ තෝරා පත් කරගනු ලබන මන්ත්‍රීවරු 225කින් සමන්විත පාර්ලිමේන්තුව සතුය.

කේවල ඡන්ද ක්‍රමයක් වෙනුවට අනුපාතික ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට හේතුවූයේ ද කේවල ක්‍රමය මගින් ලබාදෙන නියෝජනයේ ඇති අතිවිශාල විකෘතිය සලකාය. 1970 වේ පාර්ලිමේන්තු මැතිවරණයේදි ඡන්ද 1835219ක් ලබාගත් ශ්‍රීලනිපයට ආසන 91ක් ලැබෙන විට ඡන්ද 1876956ක් ලබාගත් එජාපයට හිමිවූයේ ආසන 17ක් පමණය. එම මැතිවරණයේ දි ඡන්ද 433224ක් ලබාගත් සමසමාජ පක්ෂයට ඡන්ද 1876956ක් ලබාගත් එජාපයට වඩා ආසන දෙකක් වැඩියෙන් එනම් ආසන 19ක් ලැබුණි. මේ විකෘතිය 77 මැතිවරණ ප්‍රතිඵල වලදි ද ඊට සමාන ආකාරයකින් ප්‍රකාශ විය. එම මැතිවරණයේදි ශ්‍රීලනිප ඡන්ද 1855331ක් ලබාගන්නා විට. එම පක්ෂයට ආසන 8ක් හිමි වනවිට ඡන්ද 421488 ලබාගත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ආසන 18ක් හිමිවිය.

සමානුපාතික ක්‍රමයක් ඇති කිරිමේ අවශ්‍යතාවක් මතුවූයේ එම විකෘතියට පිළියමක් වශයෙනි. එය ලබාගන්නා ඡන්ද අනුපාතිකයන්ට සමාන ප්‍රමාණයක නියෝජනයක් ඇති කිරීමට හේතුවිය. සුළු බලයක් ඇති පක්ෂවලට පවා එය ප්‍රමාණවත් නියෝජනයක් ලබා දුන්නේය.

පවතින ආණ්ඩු ක්‍රමයේ පාර්ලිමේන්තු නියෝජනය පදනම් වී ඇත්තේ අනුපාතික ඡන්ද ක්‍රමයක් යටතේය. එය වෙනස් කිරීමට අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියක් පමණක් ප්‍රමාණවත් නැත. ඒ සඳහා ජනමතවිචාරණයක් ද අත්‍යවශ්‍යය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අත්තිවාරම්වලට මීට වඩා අඩු මට්ටමකින් පරස්පරව යන අණපනත්වලදි පවා ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා නීතිගත කිරීම සඳහා ජනමතවිචාරණයක අවශ්‍යතාව අවධාරණය කොට ඇත්තේය. මෙවැනි නීතියක් කවර මට්ටමකින්වත් ජනමතවිචාරණයකින් තොරව සම්මත කරගැනීමට ඉඩදිමේ හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැත. පිළිගත් සියලු මූලධර්ම නොසලකා ශ්‍රේෂ්ඨාධිකරණය එසේ කළහොත් එය අලුත් අර්බුදයක් ඇති කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.

ආණ්ඩුවේ අමුඩ ගැසීම, තිබෙන යථාර්ථයට පටහැනිය. මෙවැනි ක්‍රියාවලියකට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලබාගැනීම පහසු නොවන අතර, එවැනි අනුමැතියක් ලබාගත්තත් මේ අවස්ථාවේදි තුනෙන් දෙකේ බලයක් එකතු කරගැනීමේ හැකියාවක් ද නොපවතී. ගෙවනු ලබන විශාල මිලකට එකතු කරගත හැකි සුළු පිරිසක් සිටිය හැකි වුවත්, අවශ්‍ය කරන සියලු දෙනා එකතු කරගැනීමේ හැකියාවක් නොපවතී.

කේවල ක්‍රමයකට බර තබන ක්‍රමයකට ඊපීඩීපීය හැර කිසිම සුළු ජාතික පක්ෂයකට එකගවීමේ හැකියාවක් නොපවතී. ඊට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ද විරුද්ධය. වතු කම්කරු කොංග්‍රසය ද විරුද්ධය. මුස්ලිම් කොංග්‍රසය ද විරුද්ධය. එජාපය හා ජනතා විමුක්ති පෙරමුණ ද විරුද්ධය.

අවසානයේදි සියලු බොරු සැලසුම් අතහැර ආණ්ඩුවට එන්නට වෙන්නේ තිබෙන අනුපාතික ඡන්ද ක්‍රමයටමය. එහෙත් රටේ දැන් පවත්නා දේශපාලන වාතාවරණය තුළ ඉන් ආණ්ඩුවට යහපත් ප්‍රතිඵලයක් ලබාදෙනු ඇතැයි සිතීම අමාරුය. ආණ්ඩුව මෙතරම් කල් බලා නොසිට ජනාධිපතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණයත් සමග වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට ගියේ නම් ඒ පැවති උද්වේගතර වාතාවරණය තුළ සමහරවිට ආණ්ඩුවට එක්තරා ප්‍රමාණයක හෝ යහපත් ප්‍රතිඵලයක් ලබාගන්නට හැකිවන්නට ඉඩ තිබුණි. එහෙත් දැන් රටේ පවතින තත්ත්වය ඊට වෙනස්ය.

ආණ්ඩුව කෙරෙහි සාමාන්‍ය මහජනතාව තුළ තබා පොදු පෙරමුණට අයත් පක්ෂවල පාක්ෂිකයන් අතර පවා විශ්වාසයක් හෝ ගෞරවයක් නොපවතී. ආණ්ඩුවේ සමස්ත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළම හාස්‍යජනක විහිළුවක් බවට පත්වී හමාරය. සිංහල මහජනතාව අතර තබා සුළු ජාතීන් අතරවත් ඒ කෙරෙහි බලාපොරොත්තුවක් විශ්වාසයක් හෝ ගෞරවයක් නොපවතී.

ආණ්ඩුව පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළේය. එහෙත් ඉතාමත් ක්‍රෑර ලෙස එය ආරක්ෂා කොට පවත්වාගෙන යන ප්‍රතිපත්තියක් යටතේ එය බලවත් අර්බුදයකට යන තත්ත්වයක් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය විසින්ම ඇති කරමින් තිබෙන බව පැහැදිලිව පෙනී යයි.