අකාර්යක්ෂමතාවට හා දූෂණයට වගකිවයුත්තේ කව්ද?

February 18, 2001
Publication:
The President told a conference of public officers that only 10 per cent of officials are efficient and that 25 to 30 per cent of development funds are lost to waste and corruption, implicitly blaming ministers too. The editorial replies that she chose the Cabinet, that political henchmen placed at the top of the public service undermine it, and that the clean-up must begin with the political executive rather than officials.

ජනාධිපතිනිය රාජ්‍ය සේවයේ හා පළාත් සේවයේ රාජ්‍ය නිලධාරින්ගේ සමුළුවක් අමතා කරන ලද කතාවකදි රාජ්‍ය නිලධාරින් අතර කාර්යක්ෂම නිලධාරින්ගේ ප්‍රමාණය 10%ක් පමණක් බවත්, රජයේ සංවර්ධන වැඩකටයුතු සඳහා යොදවන මුදල්වලින් 25%ත් 30%ත් අතර ප්‍රමාණයක් නාස්තිය හා දූෂණයට ඇතුළත් බවත්, ඒ තත්ත්වය කෙරෙහි රාජ්‍ය නිලධාරින්ගේත්, ඇමතිවරුන්ගේත් අකාර්යක්ෂමතාව බලපා ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිනිය සිය කතාවේදි අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්ගේ ප්‍රතිශතය ප්‍රකාශ කර ඇතත්, ඇමතිවරුන් සඳහා වැටෙන එම ප්‍රතිශතය කොතරම් ද යන්න පැහැදිලි කර නැත. එහෙත් ජනාධිපතිනිය අන්‍යාලාපයෙන් ප්‍රකාශ කර ඇත්තේ ඇමතිවරුන් පොදුවේ අකාර්යක්ෂම බව ය.

ඇමති මණ්ඩලය යනු රටේ ප්‍රධාන විධායකය ය. එම විධායකයේ ප්‍රධාන නායකයා වන්නේ ජනාධිපතිනියයි. ඇමති මණ්ඩලය තෝරාපත් කරගැනීමේ වගකීම පැවරෙන්නේ ද ජනාධිපතිනියටය. ඇමති මණ්ඩලය අකාර්යක්ෂම නම්, අකාර්යක්ෂම ඇමති මණ්ඩලයක් තෝරාපත් කරගැනීමේ වගකීම ඇත්තේ ද ජනාධිපතිනිය වෙත ය.

රාජ්‍ය නිලධාරින් අතර අකාර්යක්ෂම නිලධාරින් සිටිනවා විය හැකි ය. එහෙත් ඔවුන්ගේ නිපුණතාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා දිරීගන්වන ක්‍රමවේදයක් නැතිකම ද රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව කෙරෙහි බලපායි. රාජ්‍ය සේවය පිළිබඳව කිසිම පළපුරුද්දක් හා පුහුණුවක් නැති දේශපාලන හෙන්චයියන් රාජ්‍ය සේවයේ මුල් පුටුවලට ගැනීම ද රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව හීන කරන බලවත් සාධකයක් ලෙස ක්‍රියා කරයි. එහෙත් ඒ තත්ත්වයට වගකිවයුත්තේ රාජ්‍ය නායකයා මිස රාජ්‍ය සේවකයන් නොවන බව ද කිව යුතු ය. රාජ්‍ය සේවය සඳහා අවශ්‍ය කරන දැනුමක් හෝ පළපුරුද්දක් නැති හා කාර්යක්ෂම නොවන පිටස්තරයන් රාජ්‍ය සේවය මෙහෙයවන්නන් බවට පත්වූ විට රාජ්‍ය සේවය අකාර්යක්ෂම තත්ත්වයකට ඇද වැටීම ද නොවැළැක්විය හැකි ය.

නාස්තිය, දූෂණය රාජ්‍ය සේවයට පමණක් නොව, රාජ්‍ය පාලනයට ද සම්බන්ධය. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව හා දූෂණය අවම කළ හැකිවනු ඇත්තේ පාලනය අකාර්යක්ෂම බවෙන් හා දූෂණයෙන් තොරව පවතී නම් පමණය. පහළින් ලැබෙන ආදර්ශයට වඩා ඉහළින් ලැබෙන ආදර්ශය වැදගත් ය. දේශපාලකයන්ගෙන් සමන්විත ප්‍රධාන විධායකය දූෂිත වනවිට ඊට යටින් සිටින රාජ්‍ය නිලධාරින් කෙරෙහි එය බලපායි. තමාට ඉහළින් සිටින ඇමති හොරකම් කිරීමට අමාත්‍යංශ ලේකම්ගෙන් උදව් ඉල්ලා සිටින විට අමාත්‍යංශ ලේකම් ද හොරකමට තල්ලුවන්නේ ය. එවිට අමාත්‍යංශ ලේකම් කරන හොරකමට එරෙහිව කිසිවක් කිරිමේ හැකියාව ඇමතිවරයාට ලැබෙන්නේ නැත.

දුෂණය හා නාස්තිය අහෝසි කොට රාජ්‍ය පාලනය කාර්යක්ෂම කිරීමට අවශ්‍ය නම්, පිරිසිදු කිරීම ආරම්භ විය යුත්තේ රාජ්‍ය නිලධාරින්ගෙන් නොව, ඊට ඉහළින් සිටින දේශපාලන විධායකයෙනි. එසේ නොවෙතොත් කියන සියලු බණ කකුළු බණ බවට පත්වන්නේ ය.