ලසන්ත ඝාතනය හා සිරස ආයතනයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව ඇත්ත තවමත් රටට නොපැහැදිලිය. ඒ පිළිබඳව කෙරෙන පොලිස් පරීක්ෂණවලින් අලුත් කිසිවක් සොයාගෙන ඇති බවක් පෙනෙන්නට නැත. එම සාහසික අපරාධ දෙක කවුරුන් විසින් කළාවුවත් එහි වගකීම යන්නේ ආණ්ඩුවටය. මෙම අපරාධ දෙකට වගකිවයුතු අය හඳුනාගෙන ඔවුන් නීතිය ඉදිරියට පමුණුවාලීමට ආණ්ඩුව අසමත් වෙතොත් එහි අපකීර්තිය බාරගැනීමට සිදුවනු ඇත්තේ ආණ්ඩුවටය. මෙම සාපරාධි සිද්ධීන් දෙක රටේ චිත්‍රය එක්තරා ප්‍රමාණයකට අඳුරු කිරීමට හේතුවී ඇතත් යුද්ධ පෙරමුණේ ආරක්ෂක හමුදා අත්පත් කරගැනීමට නියමිත අවසාන ජයග්‍රහණය රටේ සමස්ත චිත්‍රයේ යහපත් වෙනස් ඇතිකිරීමට නියමිතය. ආණ්ඩුව නැවත එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන තැනකට යාම බැලූ බැල්මට රට ඉතාමත් අවදානම් සහගත තැනකට තල්ලුකරන හිතුවක්කාරී තීන්දුවක් විය. ජාත්‍යන්තර ප්‍රජාව විවිධ හේතු නිසා ආණ්ඩුව ගනු ලැබූ එම තීන්දුවට අවහිර කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේය.
ආණ්ඩුවේ යුද ප්‍රතිපත්තිය ඔවුන්ගේ දැඩි විවේචනයට හේතු වූ අතර සමහර රටවල් ලංකාවට දෙනු ලබන ආධාරද සීමා කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේය. සෑම රටක්ම නොවෙතත් බොහෝ රටවල් එල්ටීටීඊයට එරෙහිව ආරම්භ කළ යුද්ධයට විරුද්ධ වූයේ, එල්ටීටීඊයට තිබෙන ආදරය නිසා නොව, එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන ප්‍රතිපත්තියත්, දෙමළ ජනතාව පීඩාවට ලක්කිරීමටත්, එල්ටීටීඊයේ පැවැත්ම ශක්තිමත් කිරීමටත් හේතුවනු ඇති බවට තක්සේරු කිරීම නිසාය. ආරක්ෂක හමුදා හා එල්ටීටීඊය අතර කෙරුණු යුද්ධවල අතීත වාර්තා අනුව එවැනි යුද්ධයක් දිග්ගැස්සුණු කිසිම පාර්ශ්වයකට ජයක් අත්පත් කරගැනීමට නොහැකිවනු ඇති, පොදුවේ රටට විශාල විනාශයක් ඇති කිරීමට හේතුවනු ඇති යුද්ධයක් බවට පත්වනු ඇති බව ඒ බොහෝ දෙනෙකුගේ මතය විය. ඒ නිසා ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාව දෙස බැලුවේ අමනාපයෙන් හා සැකයෙනි.
එල්ටීටීඊයට එරෙහිව, එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කරන තෙක් කෙරෙන යුද්ධයක් ආරම්භ කිරීමට තීරණය කිරීමද සරල හා පහසු දෙයක් ලෙස සැලකිය නොහැකිය. එය මෙතෙක් බලයට පැමිණි සියලු ආණ්ඩු අනුගමනය කළ ප්‍රතිපත්තියට වඩා වෙනස් ප්‍රතිපත්තියක් විය. එල්ටීටීඊය සමග ඇති කරගත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සටන් විරාම ගිවිසුමක් තිබුණු අතර කොතරම් දුෂ්කර වුවත් එල්ටීටීඊ සමග සාකච්ඡා කිරීම මගින්ම ප්‍රශ්න විසඳාගත යුතුයි කියන පිළිගත් හා ප්‍රකට මතයක් ද ස්ථාපිත වී තිබුණි. මීට අතිරේකව ආරක්ෂක හමුදාවන්ට සංවිධාත්මක බලයක් තිබුණද යුද්ධ කිරීමේ ධෛර්යය හා වැඩි හැකියාව තිබෙන්නේ එල්ටීටීඊයට කියන මතයක්ද ස්ථාපිත වී තිබුණේය. මේ සියල්ලටම අතිරේකව කොතරම් ආරක්ෂක විධිවිධාන යොදා තිබුණද එල්ටීටීඊයේ මරාගෙන මැරෙන හමුදාවට නොකළ හැකි විනාශයක් නැතැයි කියන විශ්වාසයක්ද ස්ථාපිත වී තිබුණි.
මෙම සියලු කාරණා ඇතුළුව ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ලවන විරෝධයන්ද නොසලකා එල්ටීටීඊයට එරෙහිව එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කරන තෙක් නොකඩවා යුද්ධ කරන තීන්දුවක් ගැනීම සරල ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකිය. එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ සියල්ල පරදුවට තබා ක්‍රියාකරන ඉතාමත් හිතුවක්කාරී හා නිර්භීත තීන්දුවක් ලෙස සැලකිය හැකිය. වඩාත්ම අමාරු දේ වනුයේ එවැනි තීන්දුවක් ගැනීම නොව ඉන්පසු දිගින් දිගට එල්ලවන බලපෑම් ඉදිරියේ ගනු ලැබූ එම තීන්දුව මත අචලව පිහිටා ක්‍රියා කිරීමය. එහිදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙන අධිෂ්ඨානය අසම සම බව කිව යුතුය. ඇමරිකා එක්සත් ජනපදය හා ජපානය හැර ආධාර කණ්ඩායමට අයත් සියලු බටහිර රටවල් ආණ්ඩුවේ යුද්ධ ප්‍රතිපත්තියට එක හඬින් විරුද්ධ විය. විරුද්ධත්වය ප්‍රකාශ කිරීමෙන් නොනැවතී සීමා සහිත ආකාරයකට ඔවුන් සම්බාධක පනවන ප්‍රතිපත්තියක්ද අනුගමනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදයට හා ජපානයට වෙනස් මතයන් තිබුණද ඔවුන්ද මහින්ද රාජපක්ෂගේ වැඩ පිළිවෙළ දෙස බැලුවේ සැකයෙනි. ඉන්දියාවටද ආරම්භයේ සැකයක් තිබුණද මහින්ද රාජපක්ෂ යන ගමනට අවහිර නොකළේය. ඒ වෙනුවට ආධාර කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා මහින්ද රාජපක්ෂගේ යුද පිළිවෙතට අවහිර කළේය. එල්ල වූ ඒ සියලු අවහිරතා නොසලකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ප්‍රතිපත්තියේ දැඩි ලෙස පිහිටා ක්‍රියා කළා පමණක් නොව තමන්ට අවහිර කරන රටවලට කෝපයෙන් ප්‍රතිචාර දක්වන තැනකට ද ගියේය. එම දැඩි ප්‍රතිපත්තිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ආධාර පවා නොසලකා ක්‍රියාකරන දැඩි පිළිවෙතක් අනුගමනය කළේය. අවසානයේ ඒ සියලු දෙනා වැරදි බව හා ජනාධිපති මහින්ද රාජපක්ෂ හරි බව ඔප්පු විය. ඒ සමග ශ්‍රී ලංකාව පිළිබඳව මෙතෙක් තිබූ චිත්‍රයේද යහපත් වෙනසක් ඇතිවීමට නියමිතය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මේ මෑතක් වන තෙක් ලෝකයේ තිබුණේ නරක හා අයහපත් චිත්‍රයකි.
එහෙත් මින් පසු ඔහු ලෝක ජනනායකයිගේ ආදරයටත් ගෞරවයටත් හේතුවන පුද්ගලයෙකු බවට පත්වනු ඇත්තේය. සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගැනීමට එකඟ නොවී හිතුවක්කාරීව ක්‍රියාකරන ත්‍රස්තවාදී ව්‍යාපාරයක් යුද්ධයෙන් පරාජය කළ හැකිය යන තැනට නූතන ගෝලීය ලෝකයේ ප්‍රායෝගිකව ඔප්පු කළ ප්‍රථමයා වශයෙන් ඔහු ඉතිහාසයට එකතුවනු ඇත්තේය. යුද්ධයෙන් ලබන ජයග්‍රහණයට අතිරේකව දෙමළ ජනයාගේ සාධාරණ දුක්ගැනවිල්ලට විසඳුම් ලබාදීමටද ඔහු සමත් වෙතොත් පීඩිත ජනතාවක් නියෝජනය කළ බිහිසුණු ත්‍රස්තවාදී ව්‍යාපාරයක් යුදමය වශයෙන් පරාජය කිරීමෙන් නොනැවතී එම ජීවිත ජනතාවගේ දුක් ගැනවිලිවලට සාධාරණ විසඳුම් ලබා දුන් ජනනායකයකු ලෙස ඔහුගේ නාමය ඉතිහාසයට එකතුවනු ඇත්තේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබෙන්නට නියමිත කීර්තියට අතිරේකව එල්ටීටීඊ යුදමය තලයේ ලබන පරාජය රටටද අතිරේක වාසි රැසක් අත් කර දීමට නියමිතය.
ජාත්‍යන්තර ප්‍රජාව මින් පසු ශ්‍රී ලංකාව දෙස බලනු ඇත්තේ වපර ඇසකින් නොව අලුත් ඇසකින්ය. ලෝක ආර්ථිකයේ කඩා වැටීමක් තිබියදීත් උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා ලංකාවට ආධාර ගලා එන තත්ත්වයක් ඇතිවනු ඇත. නැවත සංචාරක කර්මාන්තයේ වේගවත් වර්ධනයක් ඇතිවනු ඇත. මෙම විස්මයජනක රට දකින්නට හෝ නැවත දකින්නට සංචාරකයින් අතර අලුත් උනන්දුවක් ඇතිවනු ඇත. ඒ නිසා රටේ ආර්ථික වර්ධනය වේගවත් වනු ඇත. අතුරු හමුදා අවශ්‍ය නොවන නිසා ඒවා විසුරුවා හැරීමට සිදුවනු ඇත. කරුණා අම්මාන්, ඩග්ලස් දේවානන්ද, පිල්ලෙයාන් වැනි අයට ද නිරායුධ වන්නට සිදුවනු ඇත්තේය. දේශපාලනඥයින්ගේ ආරක්ෂාව සඳහා වැය කෙරෙන අතිවිශාල අතිරේක වියදම්ද කපා හැරීමට හැකිවනු ඇත්තේය. යුද්ධ හමුදාවද උතුරේ පාරවල් තැනීම, පාලම් හා බෝක්කු ඉදිකිරීම, ගොඩනැගිලි ඉදිකිරීම වැනි ඵලදායි ආර්ථික කාර්ය බාරයකට යොදාගැනීමට හැකියාව ලැබෙනු ඇත්තේය.
අධි ආරක්ෂිත කලාපවලට ලැබෙන වැදගත්කම නැතිවීම නිසා ඒ නිසා ඉඩම් අහිමි වූ දෙමළ ජනතාවට නැවත ඒ ඉඩම්වල පදිංචිවීමේ අවස්ථාව ලැබෙනු ඇත්තේය. එල්ටීටීඊයේ පැවත්ම අහෝසිවන තත්ත්වයක් තුළ සිංහල ජනතාව අතර පවතින ජාතිවාදී හැඟීම් දුර්වල වී සුළු ජාතීන්ට යුක්තිය ඉටු කරන පිළිවෙතකට අවහිර නොකරන හා ආධාර කරන පිළිවෙතක් සිංහල වර්ගයා අනුගමනය කරනු ඇත්තේය. එම තත්ත්වය ජනවර්ග අතර පළුදු වී තිබෙන සුහදතාව නැවත ශක්තිමත් කිරීමට හේතුවනු ඇත්තේය. මේ සියල්ල රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය වර්ධනය කිරීමට හේතුවනු ඇති අතර දේශපාලන ක්‍රමයේ වෙනසක් සඳහා ශක්තිමත් වටා පිටාවක් ඇතිකරනු ඇත්තේය. මේ සියල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අධිෂ්ඨානයෙන් පමණක් ලැබුණු ප්‍රතිඵලය නොවේ. එම අධිෂ්ඨානය යුද්ධ පෙරමුණේ ක්‍රියාවට නගනලද නායකයෝ පිරිසක්ද සිටියෝය. ත්‍රිවිධ හමුදාවේ නායකයින් සියල්ලටද ඒ ගෞරවය ලැබිය යුතු අතර ඒ අතරින් වඩාත්ම ගෞරවයට හේතු විය යුතු පුද්ගලයා යුද්ධ හමුදාපතිවරයාය.
ප්‍රභාකරන්ගේ වෙනම රාජ්‍යයක් පිළිබඳ සිහිනය බොඳ කළ පුද්ගලයා ඔහුය. ජයග්‍රාහී යුද්ධයක් සඳහා අවශ්‍ය කරන යුද වැඩපිළිවෙලක් සේම ඒ සඳහා යුද හමුදාවට අවශ්‍ය ධෛර්යය හා අධිෂ්ඨානය ලබාදුන් පුද්ගලයා ඔහුය. එල්ටීටීඊ සංවිධානයේ අධිෂ්ඨානය පරයා යන අධිෂ්ඨානයක් තම හමුදාවන්ට තිබෙන බව ඔහු ඔප්පු කළේය. කරවටක් වතුර තිබෙන විටෙක කිසිදා යුද්ධ හමුදාව යුද්ධ නොකළේය. එහෙත් ඔවුන් මෙදා යුද්ධයේදී මෝසම් වැසි මැද යුද බිමේ කරවටක් වතුර තිබියදීත් සිය ක්‍රියාන්විතයන් ඉදිරියට කරගෙන ගියේය. ප්‍රභාකරන් සිටියේද මෝසම් වැසි ආරම්භවන තෙක්ය. එහෙත් එහි වාසිය ප්‍රභාකරන්ට නෙලා ගැනීමට යුද හමුදාව ඉඩ නොදුන්නේය. මේ යුද්ධයේදී ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය සෑම දෙයක්ම ප්‍රමාදයකින් තොරව ලැබුණේය. එසේ වූයේ ආරක්ෂක ලේකම් ධුරයේ ජනාධිපතිගේ මල්ලී සිටි නිසාය. මල්ලී ඉල්ලන සෑම දෙයක්මත් අයියා මල්ලීටද, මල්ලී හමුදාවටද දුන්නේය.
ආරක්ෂක හමුදාවන් ලැබූ ජයග්‍රහණය කෙරෙහි එම සම්බන්ධීකරණයද බලපෑවේය. මෙම සමස්ත අරගලයේ දී ඉන්දියාව රඟපෑ භූමිකාවද අපේ ජනතාවගේ ගෞරවයට හේතුවිය යුතුය. වෙනදා මෙන් ඉන්දියාව එල්ටීටීඊ විරෝධී යුද්ධයට අවහිර නොකළේය. තමිල්නාඩුවෙන් එල්ලවන බලපෑම් පවා නොසලකා ආණ්ඩුවට දිගින් දිගටම ආධාර කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේය. මේ වෙනසට හේතුව එල්ටීටීඊය පිළිබඳව තිබෙන අමිහිරි අත්දැකීම් පමණක් නොව දැන් ඉන්දියාව කලාපීය බලවතා ලෙස පමණක් නොව මහා බලවතා ලෙසද දේවල් දැකීමය. ඉන්දියාව අනුගමනය කළ පිළිවෙත ඉන්දීය ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කොට තහවුරු කළේය. දෙමළ නායකයින්ගේ ඒකාධිකාරී අයිතිය තමන්ට හිමිකර ගැනීම සඳහා එල්ටීටීඊය සියලු දෙමළ නායකයින් ඝාතනය කළේය. අවසානයේ සියලු දෙමළ නායකයින් නැති වී එල්ටීටීඊය පමණක් ඉතුරු විය. දැන් එල්ටීටීඊයද විනාශ වන තත්ත්වයක් තුළ දෙමළ ජනයා තමන්ගේම නායකයින් ඇති කරගන්නා තෙක් දෙමළ ජනතාව බලාගැනීමේ වගකීම පැවරෙන්නේ සිංහල නායකයින්ටය.
සිංහල නායකයින් එම වගකීම හරියාකාරව ඉටු කිරීමට සමත් වේ නම් සමගි සම්පන්න රටක් ගොඩනැගෙනු ඇත.
Editor’s Note
Published on 25 January 2009, four months before the end of the war. Ivan does not name the Defence Secretary, referring to him as the President’s younger brother; this is Gotabaya Rajapaksa. Karuna Amman is Vinayagamoorthy Muralitharan and Pillayan is Sivanesathurai Chandrakanthan, both former LTTE commanders then heading armed groups aligned with the government.
The article was written before the final months of the war and before the allegations concerning civilian deaths in the closing phase, the fate of those who surrendered, and the internment of displaced Tamil civilians became the subject of international inquiry. Ivan’s expectations here — that high security zones would be released, paramilitaries disarmed and Tamil grievances answered — are stated as predictions and should be read as such.