පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් එය ජයගැනීමේ හැකියාව තිබියදී ආණ්ඩුව පළාත් සභා මැතිවරණයක් තෝරා ගත්තේය. තරගය පැවැත්වෙන පළාත් සභා දෙකෙන් එකක් වන මධ්‍යම පළාත් සභාව පසුගිය ජනාධිපතිවරණයේදී සන්ධානය පරාජය වූ පළාත් සභා දෙකෙන් එකක් විය.
එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදී තොණ්ඩමන් සිටියේ මහින්ද සමග නොව, රනිල් සමගය. එහෙත් දැන් තොණ්ඩමන් ඉන්නේ රනිල් සමග නොව මහින්ද සමගය. එහෙත් උඩරට දෙමළ ජනතාව අතර තොණ්ඩමන්ට අතීතයේ තිබුණු තරම් බලයක් වර්තමානයේ තිබෙන බවක් පෙනෙන්නට නැත. එහෙත් උඩරට දෙමළ ජනතාවගේ ඊළඟ නායකයා ලෙස සැලකෙන චන්ද්‍රසේකරන් ඉන්නේ ද ආණ්ඩුව සමගය. එහෙත් මධ්‍යම පළාත් සභා ඡන්දෙට එස්.බී.ට තරග කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇතැ”යි ආණ්ඩුව කල්පනා නොකළේය. එස්.බී. සාධකය මුලදී කරන ලද ගණන් බැලීමට අසු නොවූ අලුත් සාධකයකි. එස්.බී. ගේ ඇතිවීම හෝ නැතිවීම තීරණය කෙරෙනු ඇත්තේ ද මෙම පළාත් සභා මැතිවරණයේදීය.
පෙට්‍රල් ආරාවුල ආණ්ඩුව ආරක්ෂාව සඳහා සටන් කරන තැනකට තල්ලු කිරීමට හේතුවී තිබේ. හෙජින් ගිවිසුම එක පැත්තකට බර අසාධාරණ ගිවිසුමක් වීම නිසා ඊට මැදිහත්වී ගිවිසුම අවලංගු කිරීමේ බලයක් අධිකරණයට තිබුණි. එහෙත් ඉන් ඔබ්බට ගොස් පෙට්‍රල් මිල තීරණය කරන තැනකට යන්නට අධිකරණයට බලයක් තිබුණේද යන්න විවාදසම්පන්න කාරණයකි. බදු ප්‍රතිපත්ති තීරණය කිරීමේ බලය ඇත්තේ කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට මිස අධිකරණයට නොවේ. එහෙත් රටේ මහජනතාව මේ දේවල් දෙස බලන්නේ ව්‍යවස්ථානුකූලව නොවේ. පෙට්‍රල් මිල ලෝක වෙළෙඳපොළේ පහළ බැස තිබූ තත්ත්වය තුළ ඒ වාසිය තමන්ට ලැබිය යුතුයැ”යි පක්ෂ භේදයෙන් තොරව මහජනයා විශ්වාස කරති. අධිකරණය අල්ලාගෙන තිබෙන්නේ ද සංවේදී හා ජනප්‍රිය නිලයකි. ආණ්ඩුව අධිකරණ තීන්දුව බාර නොගැනීම මහජනයාගේ විමතියටත්, විරෝධයටත් හේතුවී තිබේ. අධිකරණය විසින් පෙට්‍රල් මිල පහළ දැමීමේ තීන්දුව ආණ්ඩු බාර නොගෙන සිටින අවස්ථාවක ඉන්දීය තෙල් සමාගම අධිකරණය කළ නියමයන්ට අනුව යමින් පෙට්‍රල් මිල පහත හෙළීම නිසා ආණ්ඩුවේ තත්ත්වය වඩා දුර්වල හා හාස්‍යජනක තත්ත්වයකට පත් කළේය. මෙම වටාපිටාව එක්සත් ජාතික පක්ෂයේ පදනම යම් පමණකට ශක්තිමත් කිරීමට හේතුවී තිබේ. පළාත් සභා මැතිවරණය ශක්තිමත් තැනකින් ආරම්භ කිරීමට ඉන්ධන ආරාවුල එජාපයට අලුත් අවස්ථාවක් ලබාදී තිබෙන බව පෙනේ.
විධායකය හා අධිකරණය අතර උත්සන්නවෙමින් තිබෙන ගැටුම ආරම්භ වූයේ දැන් කලකට පෙර සිටය. එය අගවිනිසුරුවරයා හා ආණ්ඩුව අතර මතුවී තිබෙන ගැටුමක් ලෙස ද අර්ථකථනය කළ හැකිය. අගවිනිසුරුවරයා ආණ්ඩුව අපහසු තත්ත්වයකට පත්කිරීමේ අරමුණ ඇතිව විරුද්ධ පක්ෂ බලවේග සමග අවබෝධයකින් යුතුව වැඩ කරන තැනකට පැමිණ ඇතැ”යි කියන හැඟීමක් ආණ්ඩුව තුළ පවතී. අධිකරණය සමහර නඩුවලදී තමන්ගේ සීමාව ඉක්මවා ක්‍රියා කරන බවක් ද පෙනී යයි. එහෙත් අධිකරණය දී තිබෙන තීන්දු වැඩි හරියක්, ඒවාහි ව්‍යවස්ථානු කූලභාවය හා නීත්‍යනුකූලභාවය ප්‍රශ්න ගතවිය හැකි වුවද මහජන ප්රබෝධයට හේතුවන ජනප්‍රිය තීන්දු ලෙස සැලකිය හැකිය.
වෙනදා එජාපයේ සැඟවුණු විරෝධයට ලක්ව සිටි ප්‍රමුඛම පුද්ගලයා වී සිටියේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාය. වර්තමානයේ එම පක්ෂයේ වඩාත්ම ආස්වාදයට හේතුවී සිටින පුද්ගලයා වී සිටින්නේ ද ඔහුමය. අධිකරණයේ ද ආධාර ඇතිව ආණ්ඩුව පෙරළා දැමීමට හැකිවනු ඇතැ”යි කියන විශ්වාසයක් ආණ්ඩු විරෝධී බලවේග අතර ගොඩනැගී තිබෙන බව පෙනේ. පෙට්‍රල් මිලට අදාළව අධිකරණය ලබාදී තිබෙන තීන්දුව පිළිබඳව තවමත් ආණ්ඩුව ස්ථිර තීන්දුවක් ගෙන නැතත්, ආණ්ඩුව අධිකරණය නියම කළ දින සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල අඩු නොකිරීමෙන් අධිකරණය දෙනු ලබන ඕනෑම තීන්දුවක් බාරගැනීමට තමන් සූදානම් නැති බව සංකේතාත්මකව පෙන්නුම් කළේය. ආණ්ඩුවේ එම ප්‍රතික්‍රියාව අගවිනිසුරු බාරගන්නේ යන්නේ කෙසේද යන්න තාමත් නොපැහැදිලිය.
අධිකරණය දී තිබෙන සමහර ජනප්‍රිය නඩු තීන්දු අවංක හා පිරිසිදු චේතනාවෙන් දෙන ලද තීන්දු ලෙස ආණ්ඩුව සලකන්නේ නැත. එම ක්‍රියාවලිය පිටුපස ආණ්ඩු විරෝධී කුමන්ත්රණකරුවන් ඇතැ”යි කියන විශ්වාසයක් ආණ්ඩුව තුළ පවතී.
අධිකරණය සමග ඇති කරගෙන තිබෙන මෙම ආරාවුල පස්සා දොරෙන් විසඳාගන්න යන්නේ ද නැතිනම්, විවෘත ගැටුමක් දක්වා වර්ධනය වන්නේ ද යන්න පැහැදිලි නැත. ඒ කෙරෙහි අධිකරණ නායකයා සේ ම රාජ්‍ය නායකයා ද සිතන මතන ආකාරය බලපායි.
ප්රශ්නය විවෘත ගැටුමක් දක්වා වර්ධනය වන තැනකට ගියහොත් ආණ්ඩුව අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන තත්ත්වයක් ඇතිවිය හැකිය. එය ආණ්ඩුවට ආරක්ෂාව සඳහා පාවිච්චි කිරීමට තිබෙන බලවත් තුරුම්පුවකි.
පාකිස්තානයේ අගවිනිසුරු ආශ්රයෙන් පාකිස්තානයේ මතුවූ අර්බුදයට සමාන තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමේ උත්සාහයක් ඇතැ”යි කියන මතයක් ද ආණ්ඩුවේ සමහර නායකයන් අතර පවත්නා බව පෙනේ. අගවිනිසුරු ප්රශ්නය ඕනෑම අතකට වැඩ කළ හැකිය. ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තිය අඥාන වී විරුද්ධ පක්ෂය ඥානාන්විතව ක්රියාකළහොත් එය ආණ්ඩු පක්ෂයේ අවාසියට ද, ආණ්ඩුව ඥානාන්විත වී විරුද්ධ පක්ෂය අඥාන ලෙස ක්රියාකළහොත් විරුද්ධ පක්ෂයේ අවාසියට ද හේතුවිය හැකිය. අගවිනිසුරු මේ මොහොතේදී මහජනතාව අතර ඉතා ජනප්‍රිය වුවත්, අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කරන තත්ත්වයක් ඇතිවුවහොත් අගවිනිසුරු සිටින්නේ ශක්තිමත් තැනක නොව දුර්වල තැනකය.
එජාපය මීට පෙර අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝග යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබේ. පළමු දෝෂාභියෝගයට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ද අත්සන් කළෝය. ඊට අතිරේකව එජාපයේ ලේකම් තිස්ස අත්තනායක විසින් දියවන්නාඔය අපවාදය පදනම් කොටගෙන තේරීම් කාරක සභාවක් සඳහා වන යෝජනාවක් ද ඉදිරිපත් කළේය. ඒ යෝජනා තුනට ඇතුළත් චෝදනා ඉතාමත් බරපතළය. පළමු දෝෂාභියෝග චෝදනාව කෙටුම්පත් කළේ නීති විශාරදයෙක් වන කේ.එන්. චොක්සිය. ආණ්ඩුව එජාප හා ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධ ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාවට ඇතුළත් චෝදනා ද ඇතුළත් වන ලෙස තවත් අලුත් චෝදනා ද ඇතුළත් කොට අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කළහොත් චෝදනා පත්‍රයට ඇතුළත් චෝදනාවලින් බහුතරයක් ඒවා අපේ චෝදනා නොවේ, එජාපයේ හා ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපත් කළ චෝදනා බව ආණ්ඩුව කියා සිටියහොත් විරුද්ධ පක්ෂය දුෂ්කර තත්ත්වයකට පත්වනු නොවැළැක්විය හැකිය. අනෙක් අතට ජනාධිපතිවරයෙකුට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝගයකදී මෙන් නොව, උසස් අධිකරණයක විනිශ්චයකාරවරයකුට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝගයකදී එම දෝෂාභියෝගය ජයගැනීම සඳහා අවශ්‍යවන්නේ තුනෙන් දෙකක ඡන්දයක් නොව, බහුතර ඡන්දයක් පමණය.
අනෙක් අතට එවැනි අර්බුදයකදී අධිකරණ ස්වාධීනත්වය ගැන උනන්දුවක් දක්වන ජාත්‍යන්තර බලවේගයන් ද අගවිනිසුරුවරයාගේ ආරක්ෂාව සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැ”යි සිතිය නොහැකිය. මක්නිසාදයත් ඒ හැම සංවිධානයකටම පාහේ අගවිනිසුරු පිළිබඳව බරපතළ විවේචනයක් තිබූ නිසාය.
ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකාවට දූත කණ්ඩායමක් එවා පළ කළ වාර්තාවේ එන අගවිනිසුරු පිළිබඳ කරුණු අගවිනිසුරුවරයාට වාසිදායක නැත. ජිනීවාහි මානව හිමිකම් කමිටුව ද අගවිනිසුරුවරයාට චෝදනා එල්ල වන ආකාරයේ තීරණ ගණනාවක්ම ප්‍රකාශයට පත්කර තිබේ. අන්තර්ජාතික කම්කරු සංවිධානය ද අගවිනිසුරු ක්‍රියාකලාපය දෝෂදර්ශනයට ලක් කෙරෙන තීන්දුවක් ප්‍රකාශයට පත්කර තිබේ.
අගවිනිසුරු ඉදිරි වසර මැදදී විශ්‍රාම යෑමට සිටින නිසා දීර්ඝකාලීන පැවැත්මක් ඇති පුද්ගලයෙකු ආරක්ෂා කරන ආකාරයට අධිකරණයේ සියලු විනිසුරුවරුන් එක හඬකින් මෙම අර්බුදයේදී අගවිනිසුරු ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැ”යි සිතිය නොහැකිය. අලුත්කඩේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් අතර ද අගවිනිසුරුට තිබෙන පිළිගැනීම වෙනදා මෙන් ඉතා බලවත් තත්ත්වයක නොපවතී. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් අතර පවා අප්‍රකට බෙදීම් පවතී.
මේ සියලු කාරණා එකට ගත්විට අගවිනිසුරු සිටින්නේ ඉතා බලවත් තැනක නොව, දුර්වල තැනකය.
රටේ සමස්ත දේශපාලන චිත්‍රය කෙරෙහි රටේ පවතින ආර්ථික අමාරුකම්වලට අතිරේකව බලපාන ඊළඟ වැදගත්ම සාධකය වනු ඇත්තේ කිලිනොච්චියේ කෙරෙන යුද්ධයයි. එල්ටීටීඊය උපාය මාර්ගික වශයෙන් පසුබැසීමේ ප්‍රතිපත්තිය අතහැර මුළු වැර යොදා සටන් කරන තැනකට පැමිණ තිබේ. ආණ්ඩුවේ ආරක්ෂක හමුදා ද මෝසම් වැසි හා ජලය විසින් ඇති කර තිබෙන අවාසිදායක වටාපිටාව නොසලකා කිලිනොච්චි නගරය ඇතුළු එල්ටීටීඊ පාලනය යටතේ ඇති සෙසු බලප්‍රදේශ අල්ලා ගැනීමේ තීරණාත්මක යුද්ධයක නිරත වී සිටී.
කිලිනොච්චියේ කෙරෙන යුද්ධයෙන් යුද හමුදාවට විශාල හානියක් ඇති කිරීමෙන් නොනැවතී, යුද හමුදාව සටන අතහැර පළා යන තත්ත්වයක් ඇති කිරීමට එල්ටීටීඊය සමත් වෙතොත්, රටේ පවතින ආණ්ඩුවේ අවාසියට තිබෙන අනෙකුත් කරුණු ද එකට එකතු වී එය ආණ්ඩුව ජයගැනීමට පහසු නැති මහා අර්බුදයකට තල්ලු කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. අනෙක් අතට එම තීරණාත්මක අරගළයේදී කිලිනොච්චිය අල්ලා ගැනීමට ආරක්ෂක හමුදා සමත් වෙතොත්, ආණ්ඩුවට තිබෙන සියලු අවාසිසහගත සාධක අභිබවා ආණ්ඩුව විජයග්‍රාහී තත්ත්වයක් හිමි කරගනු නොවැළැක්විය හැකිය.
එහෙත් සටන් බිමේ පෙනෙන්නට තිබෙන තත්ත්වය අනුව නම් ප්රාතිහාර්යයක් බඳු දෙයක් සිදුනොවේ නම්, ඉතිරි වී තිබෙන අන්තිම එල්ටීටීඊ බලප්‍රදේශවලට වැදී කරන යුද්ධයෙන් ආරක්ෂක හමුදාවට සිදුවන හානි ඉහළ යමින් තිබෙන බව පෙනෙන්නට තිබියදීත්, තමන්ගේ බල ප්‍රදේශ තුළ කෙරෙන යුද්ධයේ භූමියේ වාසිය එල්ටීටීඊයට ලැබී තිබියදීත්, එල්ටීටීඊය ඉන්නේ ජයග්‍රාහී තත්ත්වයක නොව, පරාජිත තත්ත්වයකය. ආරක්ෂක හමුදාවට කරන හානිය ඉහළ දැමීමට ඔවුන් සමත්වනු ඇතත්, ආරක්ෂක හමුදා ලබන ජයග්‍රහණය වැළැක්වීමට ඔවුන් සමත් වන බවක් පෙනෙන්නේ නැත.