ලෝක වෙළෙඳපොළේ තෙල් මිලෙහි අඩුවීමෙන් ඇතිවී තිබෙන ප්‍රතිලාභය මහජනයාට ලැබෙන ලෙස පෙට්‍රල් මිල 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 100 දක්වා අඩු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එහෙත් ආණ්ඩුව නියම කළ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල අඩු කළේ නැත. තීරණයේ ලිඛිත පිටපතක් ලැබෙන තෙක් තෙල් මිල අඩු නොකිරීමටත්, තීරණයේ ලිඛිත පිටපතක් ලැබීමෙන් පසුව කුමක් කළයුතු ද යන්න තීරණය කිරීමටත් කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබේ.
පෙට්‍රල් මිල අඩු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගනු ලැබූ තීරණය මහජනයාගේ මහත් ආස්වාදයට හේතුවී තිබේ. ආර්ථික අගහිඟකම් මැද ජීවත් වන ජනතාවට එය සහනයක් ලෙස පෙනීම සාධාරණය. මැති ඇමතිවරුන්ට ආණ්ඩුවේ වියදමෙන් තෙල් ලැබෙන නිසා තෙල් මිල ප්‍රශ්නයක් නොවෙතත්, සාමාන්‍ය මහජනතාවට තෙල් මිල ප්‍රශ්නයකි.
එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ආණ්ඩුවේ සතුටට හේතුවිය නොහැකිය. ඒ සඳහා විශාල අතිරේක වියදමක් දරන්නට සිදුවන තත්ත්වයක් තුළ (ඒ වෙනුවෙන් යන අතිරේක වියදම රුපියල් බිලියන 15 ක් බවට ගණන් බලා තිබේ.) එය ආණ්ඩුවේ ආර්ථික සැලසුම් අවුල් කරන්නන් ලෙස ආණ්ඩුවට පෙනී යා හැකිය. අනෙක් අතට රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව හා කැබිනට් මණ්ඩලය සතු වගකීමක් වන නිසා ශ්‍රේෂ්ඨාධිකරණය සිය බලසීමාව ඉක්මවා ක්‍රියාකර ඇතැ”යි ආණ්ඩුවට තර්ක කළ හැකිය.
ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීරණය නොපිළිගතහොත් විධායක හා අධිකරණය අතර දුරදිග යන ගැටුමක් ආරම්භ විය හැකි අතර, ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන තීන්දුව ජනප්‍රිය තීන්දුවක් වන නිසා ආණ්ඩුව මහජනයාගේ අප්‍රසාදයට ද හේතුවිය හැකිය. අනෙක් අතට ශ්‍රේෂ්ඨාධිකරණයට දිගින් දිගට මෙවැනි තීන්දු දෙන තත්ත්වයකට ඉඩදුනහොත් අප ආණ්ඩු කරන්නේ කෙසේද යන ප්‍රශ්නයක් ආණ්ඩුවට ඇතිවිය හැකිය.
මෙම දූෂිත දේශපාලන ක්‍රමය නඩත්තු කිරීමට රටට දරන්නට සිදුවී තිබෙන වියදම අතිවිශාලය. මෙම දේශපාලන ක්‍රමය තුළ විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ හැසිරීම ප්‍රශස්ථ හෝ යහපත් නොවන්නා සේ ම අධිකරණයේ හැසිරීම ද ප්‍රශස්ථ හෝ යහපත් නොවේ. මේ ක්‍රමය තුළ විටෙක විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුම් දක්නට ලැබෙන අතර, තවත් විටෙක විධායකය හා අධිකරණය අතර ද ඇතිවන මෙවැනි ගැටුම් දකින්නට ලැබේ.
නීතියට අනුකූලව ක්‍රියා නොකරන අවස්ථාවලදී විධායකය කෙරෙහි මැදිහත්වීමේ බලයක් අධිකරණයට ඇතත්, මහජනයා තෝරාපත් කරගත් ආණ්ඩුවේ කටයුතු අවුල් කරන තත්ත්වයකින් ද අධිකරණය ක්‍රියා නොකළ යුතුය. අවාසනාවකට පවතින විසම දේශපාලන ක්‍රමය තුළ බලය ඇති හැම ආයතනයක්ම අනවශ්‍ය තරමට තමන්ට තිබෙන බලය ප්‍රදර්ශනය කිරීමට කැමැත්තක් දක්වති. විධායකය අත්තනෝමතිකව ක්‍රියා කරන අවස්ථා ඇති සේ ම අධිකරණය ද අත්තනෝමතිකව ක්‍රියා කරන අවස්ථා පවතී. විධායකය අධිකරණය ලෙස ක්‍රියා නොකළ යුතුවා සේම අධිකරණය ද රට පාලනය කරන තැනකට නොයා යුතුය. අවාසනාවට අපේ රටේ හැම තැනකම ඇත්තේ තමන්ගේ වගකීම් ඉටු නොකරන, ඒ වෙනුවට අනුන්ගේ වගකීම් ඉටුකරන්නට යන තත්ත්වයකි.