ජනවර්ග අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදෙන අතර දේශපාලන ක්‍රමය ද වෙනස් කරගත යුතුය

October 29, 2026
Publication:
The interest shown in the war should be shown in a settlement, Ivan writes, not because India is pressing but because minority discontent blocks the country's progress. The search need not stop at the ethnic question: Sri Lankans abroad are law-abiding and disciplined, and behave differently at home, which tells you the fault is in the system rather than the people.

යුද්ධය කෙරෙහි ඇති උනන්දුව තරම්ම උනන්දුවක් දේශපාලන විසඳුමක් ඇති කරගැනීම කෙරෙහි ද යොමුවිය යුතුය. එය එසේ විය යුත්තේ ඉන්දියාවෙන් එල්ල වී තිබෙන පීඩනය නිසාවට වඩා සුළු ජාතීන් අතර පවතින අසහනය දුරු කිරීම රටේ ප්‍රගතියට අත්‍යවශ්‍ය කොන්දේසියක් වන නිසාය.

දේශපාලන විසඳුමක් සකස් කිරීමේ ක්‍රියාවලියට ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස සැලකිය හැකි එක්සත් ජාතික පක්ෂය සේ ම සුළු ජාතීන් නියෝජනය කරන දේශපාලන පක්ෂ ද සම්බන්ධ කරගත යුතුය. විසඳුමක් සොයා යන ගමන ජනවර්ග අර්බුදයට සීමා නොකොට සමස්ත දේශපාලන ක්‍රමයේ යහපත් වෙනසක් ඇති කරගැනීම දක්වා ඉදිරියට යා හැකිය.

මේ රටේ පවතින අවුල්සහගත තත්ත්වයට බලපා තිබෙනුයේ ජනවර්ග අර්බුදය පමණක් නොවේ. ජනවර්ග අර්බුදය ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ එක් බලවත් ප්‍රකාශනයක් පමණය. පවතින දේශපාලන ක්‍රමය රටේ ඉදිරි ගමනට තිබෙන ප්‍රධාන බාධාවකි. එය අන්ත දූෂිත, කොල්ලකාරී, වියදම්කාරී හා විනාශකාරී දේශපාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකිය.

එය රාජ්‍ය පාලකයාගේ සිට සාමාන්‍ය ගමේ මිනිසා දක්වා වන සියලු දෙනාට දූෂිතවීමට බල කරයි. එය පාලක පක්ෂයට පොදු දේපළ කොල්ලකෑමේ අයිතිය ලබාදෙන ක්‍රමයකි. ක්‍රමය පවත්වාගෙන යෑම සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හැම පුද්ගලයෙකුටම තනතුරු දීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබීම තුළ ක්‍රමය නඩත්තු කිරීම සඳහා රටට ඔරොත්තු නොදෙන තරම් අතිවිශාල වියදමක් දරන්නට සිදුවී තිබේ. මේ ක්‍රමය පාලකයාට ඒකාධිපති බලයක් ලබාදෙන පාලන පක්ෂයට මොනතරම් ප්‍රශ්න රටේ තිබුණ ද දීර්ඝකාලීන පැවැත්මක් ලබාදෙන විරුද්ධ පක්ෂයට සමාන අයිතිවාසිකම් ලබානොදෙන ක්‍රමයකි. රටක් වශයෙන් අප සැලකිල්ලට ගත යුතුව තිබෙන එක් වැදගත් ප්‍රශ්නයක් වනුයේ සුළු ජාතිකයන් අතර පවත්නා අසහනය දුරුකරමින් වර්ගභේද, ආගම් භේද හා කුල භේද නොසලකා සියලු දෙනාට සමාන අයිතිවාසිකම් ලබාදෙන පදනමකින් ඒ සියලුදෙනා ශ්‍රී ලංකා ජාතියක් බවට පත් කරන්නේ කෙසේද යන්නය.

දේශපාලන ක්‍රමය පිළිබඳ ගැටලුව රටක් වශයෙන් අප විසඳා ගත යුතුව තිබෙන ඊළඟ වැදගත් ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය.

ශ්‍රී ලාංකිකයන් විදේශ ගතවූ විට ඉතාමත් නීතිගරුක හා විනයගරුකය. සිංගප්පූරුවට යන ශ්‍රී ලාංකික දුම්බොන්නකු ශ්‍රී ලංකාවේ මෙන් සිගරට් කොට තමන් කැමති තැනට විසි කරන්නේ නැත. කුණු කසල ගැන සංවේදී නොවන ශ්‍රී ලාංකිකයෙකු පවා ජපානයේදී කුණු කසල ගැන ඉතාමත් සංවේදීය. ශ්‍රී ලංකාවේදී මාර්ග නීති නොසලකා රිය පදවන ශ්‍රී ලාංකිකයන් බටහිර රටවලදී අකුරටම මාර්ග නීති පිළිපදිති. ක්‍රමයක් ඇතොත් ක්‍රමානුකූලව ජීවත්වීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන්ට ඇත්තේය. අපට තිබෙන ප්‍රශ්නය නිසි ක්‍රමයක් නැතිකමේ ප්‍රශ්නයයි.

නිසි දේශපාලන ක්‍රමයක් ඇතොත්, ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කළ හැකිය. අපට තිබෙන ප්‍රශ්නය ප්‍රමාණවත් තරම් ආදායම් නැතිකම නොවේ. මේ ක්‍රමය තුළ රජයට ලැබිය යුතු ආදායම්වලින් වැඩි පංගුවක් බහිරවයාට යන්නේය. එය එසේ වන්නේ දේශපාලන ක්‍රමයේ පවතින දූෂිතභාවය නිසාය. නිවැරදි දේශපාලන ක්‍රමයක් ඇති කරගැනීමෙන් නාස්තිය හා දූෂණය අවම කරගනිමින් රට පොදු පහසුකම්වලින් අනූන සමෘද්ධිමත් රටක් බවට පත් කළ හැකිය.

ඒ පිළිබඳව දේශපාලන පක්ෂ සිය බැ?රුම් අවධානය යොමු නොකරන්නේ ඇයි?