පසුගිය පළාත් සභා මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන්නට එන ඡන්දදායකයන්ට ජාතික හැඳුනුම්පත මැතිවරණ කොමසාරිස්වරයා විසින් අනිවාර්ය කර තිබුණි. මොන හේතුවක් නිසා හෝ හැඳුනුම්පත් නැති අයට ග්‍රාමසේවකගේ නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සන සහිත ඡායාරූපයක් පාවිච්චි කිරීමට නියම කර තිබුණි. කෙසේ හෝ හැඳුනුම්පත හෝ විකල්ප හැඳුනුම්පතක් නැතිකම හේතු කොටගෙන ඡන්දදායකයන් කිසියම් පිරිසකට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය අහිමි වී තිබුණි. ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා දෝෂාරෝපණය කර තිබුණේ දේශපාලන පක්ෂවලටය. හැඳුනුම්පත අනිවාර්ය කර ඇති බව දැන දැනම දේශපාලන පක්ෂ ඒ ගැන අවශ්‍ය තරමින් මහජනතාව දැනුවත් කර නැති බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබුණි.
මහජනතාව දැනුවත් කිරීමේ වගකීම දේශපාලන පක්ෂ මත පමණක් පැටවිය හැකිද? ඒ ගැන ප්‍රමාණවත් තරමින් මහජනතාව දැනුවත් කිරීමේ වගකීම මැතිවරණ කොමසාරිස්වරයාට ද ඇත්තේය.
හැඳුනුම්පත අනිවාර්යය කිරීම නිසා වැඩිම හානියක් වී ඇත්තේ දෙමළ වතු කම්කරුවන්ටය. වතු කම්කරුවන් විශාල පිරිසකට හැඳුනුම්පත් නැත. උඩරට දෙමළ වතු කම්කරුවන් දශක ගණනාවක් ඡන්දය දීමේ අයිතියෙන් බැහැර කර තිබූ ජනතාවක් බව අපි අමතක නොකළ යුතුය. දැන් ඔවුන්ට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ලැබී ඇතත්, හැඳුනුම්පතක් හෝ විකල්ප හැඳුනුම්පතක් නැතිකම නිසා තාමත් වතු කම්කරුවන් අතර, කිසියම් විශාල පිරිසකට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය අහිමිවී ඇත්නම් එය බැ?රුම් ප්‍රශ්නයක් ලෙස සලකා ඊට ඉක්මන් විසඳුමක් ලබාදිය යුතු නැද්ද?
රටේ පවතින යුදමය වටාපිටාව තුළ හැඳුනුම්පත අවශ්‍ය වී ඇත්තේ ඡන්දය පාවිච්චි කිරීම සඳහා පමණක් නොවේ. එදිනෙදා කටයුතු කරගැනීම සඳහා ද එය නැතුවම බැරි දෙයක් බවට පත්වී තිබේ. හැඳුනුම්පත නැති නිසා දෙමළ මිනිසකු වන විට ඔහු සැකයට ලක්වීම නොවැළැක්විය හැකිය.
ඒ අර්ථයෙන් හැඳුනුම්පත වැදගත්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් පමණක් නොවේ. ආරක්ෂාව පිළිබඳ අර්ථයෙන් ද එය වැදගත් සාධකයකි.
උඩරට වතු කම්කරුවන් නියෝජනය කරන දේශපාලන පක්ෂ අඩුම තරමින් වතු කම්කරුවන්ට බලපාන මෙම සරල ප්‍රශ්නයවත් විසඳාදීමට සමත් වී නැති බව පෙනීයයි. ඔවුන්ගේ දේශපාලන නායකයන් ඡන්ද කාලවලදී ඉහළම මිල ගණන්වලට වෙන්දේසියේ විකිණෙමින් සිටිය ද ඔවුන් නියෝජනය කරන වතු කම්කරු ජනතාව සිටින්නේ ඛේදජනක තත්ත්වයකය.
උඩරට දෙමළ වතු කම්කරුවන් කිසියම් විශාල පිරිසකට ජාතික හැඳුනුම්පත් නැත්තේ හැඳුනුම්පත සඳහා අවශ්‍ය සමහර මූලික ලියවිලි ඔවුන් සතුව නොතිබෙන නිසාය. ඒ තත්ත්වයට ඔවුන්ගේ රැකියාවල ස්වභාවය සේ ම නූගත්කම ද බලපා තිබේ.
දෙමළ වතු කම්කරුවන් අතර සිටින හැඳුනුම්පත් නැති සියලුදෙනාට ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය මූලික ලියවිලි නැති නම් දිවුරුම් පෙත්සම් වැනි විකල්ප ලියවිලි පදනම් කොට හැඳුනුම්පත් ලබාදෙන වැඩපිළිවෙලකට යා නොහැක්කේ ඇයි? එවැනි වැඩපිළිවෙලක් වතු කම්කරුවන්ගේ යහපතට පමණක් නොව රටේ යහපතට ද හේතුවන්නේය. මේ ගැන ආණ්ඩුවේද, රාජ්‍ය පරිපාලන ඇමතිවරයාගේ ද, ජාතික හැඳුනුම්පත් කොමසාරිස්වරයාගේ ද, වතු කම්කරුවන් නියෝජනය කරන දේශපාලන පක්ෂවලද බැ?රුම් අවධානයට යොමුවිය යුතුය. මේ ප්‍රශ්නය විසඳීමේ ඇත්ත අවශ්‍යතාවක් ඇත්නම් එය මාසයක් තරම් කාලයක් තුළ විසඳිය හැකි ප්‍රශ්නයකි.