රවි ජයවර්ධන හා සුමනසිරි ලියනගේ ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම රටට අහිමි වී තිබෙන ව්‍යවස්ථා සභාව අධිකරණ නියෝගයක් මගින් දිනාගත හැකියි කියන විශ්වාසය එම විෂය ගැන උනන්දුවක් දක්වන්නන් තුළ ඇති කිරීමට හේතුවී තිබෙන බව පෙනේ.
ව්‍යවස්ථා සභාව අර්ධ වශයෙන් හා ඉන්පසු පූර්ණ වශයෙන් බලරහිත කිරීම ඊයේ පෙරෙයිදා සිදුවූවක් නොවීය. අනෙක් අතට ව්‍යවස්ථා සභාව යටතේ ඇති මැතිවරණ කොමිසම පිහිටුවන ලෙස හා ව්‍යවස්ථා සභාව පත්නොකිරීමෙන් පසු එය පත් කරන ලෙස ඉල්ලා අධිකරණය ඉදිරියට ගිය පළමු හා එකම අවස්ථාව ද මෙය නොවීය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පාලනය යටතේ මැතිවරණ කොමිසම පත්කිරීමෙන් වැළකී සිටි අවස්ථාවේදී ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවා ගැනීමේ අරමුණකින් නාමධාරි පුරවැසියන් ගණනාවක්ම විටින් විට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. තමන් විශ්‍රාම යන වයසට පැමිණ ඇති බවත්, ඊට අතිරේකව රෝගී තත්ත්වයකට පත්ව තිබෙන නිසා විශ්‍රාම යෑමට අවශ්‍ය වී ඇතත්, 17 වැනි සංශෝධනය යටතේ මැතිවරණ කොමිසම පිහිටුවන තෙක් තමාට විශ්‍රාම යෑමට හැකියාවක් නැති බැවින් තමන් මුහුණ දී සිටින සාධාරණ දුක් ගැනවිල්ලට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. එහෙත් ඒ සියලු දෙනාට ආපසු එන්නට සිදුවූයේ හිස් අතිනි.
ඉන්පසුව ව්‍යවස්ථා සභාවේ කාලය අවසන් වී ඊට සාමාජිකයන් පත් නොකර සිටින තත්ත්වයක් තුළ ව්‍යවස්ථා සභාවක් නොතිබුණ කාලයේ එම ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත්කරවා ගැනීම සඳහා පුරවැසියන් ගණනාවක් විටින් විට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. එහෙත් ඔවුන්ට ද සාධාරණය ඉටු කරවාගත නොහැකි විය.
ඉන්පසු ව්‍යවස්ථා සභාවක් නැතිව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කරන ලද අවස්ථාවේදී ද එම ක්‍රියාවට එරෙහිව පුරවැසියන් ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ව්‍යවස්ථා සභාවේ නිර්දේශවලින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට හා අධිකරණ සේවා කොමිසමට සාමාජිකයන් පත්කිරීමත් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව කියමින් ද එක් පුරවැසියෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී ඔහුගේ දුක්ගැනවිල්ල සලකා නොබැලුවා පමණක් නොව එවැනි තේරුමක් නැති පෙත්සම් ඉදිරිපත් කිරීම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ වටිනා කාලය නාස්ති කිරීම ගැන පෙත්සම්කරුට අවවාද කරන තැනකට ද ගියේය.
රවි ජයවර්ධන හා සුමනසිරි ලියනගේ ව්‍යවස්ථා සභාව ඉදිරියට ගියේ කිසියම් දීර්ඝ කාලයක් තුළ පුරවැසියන් කිසියම් විශාල ගණනාවක් ඒ අරමුණ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් ඒ හැම උත්සාහයක්ම අසාර්ථක වී තිබුණු අවස්ථාවකය. පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේ ඒ ඉතිහාසය පිළිබඳ වැටහීමක් නොමැතිවද? නැතිනම් වැටහීමක් තිබියදී තමන්ට එවැනි උත්සාහයක යෙදිය යුතුයැ”යි පහළ වූ අදහසක් නිසාද? එසේත් නැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සාධාරණය ඉටුකරවා ගැනීම සඳහා අන් අයට නැති විශේෂ හැකියාවක් තමන්ට ඇතැයි ඔවුන්ට සිතුණු නිසාද? ඒත් නැතිනම් මෙවැනි නඩුවක් කියන්න හොඳ වෙලාව දැන් එළඹ ඇති බව ඔවුන්ට පෙනුණ නිසාද?
මේ නඩුවේදී අගවිනිසුරුවරයා ජනාධිපති අරබයා විවෘත අධිකරණයේදී කරන ලද ප්‍රකාශය ආශ්වාදනීයය. ප්රජාතාන්ත්රවාදී අයිතිවාසිකම් ගැන උනන්දුවක් දක්වන එහෙත් බලාපොරොත්තු රහිත තත්ත්වයකට පත්ව සිටින පුරවැසියන් තුළ එම මායාමය බලාපොරොත්තුවක් ඇති කරයි. ජනාධිපතිවරයාට නොතීසි නිකුත් කළ නොහැකි බව රජයේ නීතිඥයා ප්‍රකාශ කළ විට අගවිනිසුරු කීවේ කිසිම පුද්ගලයෙකුට නීතියට ඉහළින් සිටිය නොහැකි බවය. ඉන් අදහස්වන්නේ ජනාධිපති නීතියට යටත් බවද? නීතියට පටහැනිව ක්‍රියා කරන අවස්ථාවලදී ජනාධිපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තිය අනුව නිල තත්ත්වයෙහිලා හෝ පෞද්ගලික තත්ත්වයෙහිලා හෝ කරන ලද හෝ නොකර පැහැර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිදු අධිකරණයකදී ක්‍රියා කළ නොහැකිය. ජනාධිපතිට ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේන ලබාදී තිබෙන මුක්තිය සැලකෙන්නේ පැතිරුණු (ඊක්බනැඑ) මුක්තියක් ලෙසය. ජනාධිපතිවරණ ඡන්ද පෙත්සමකදී හැර ජනාධිපතිවරයා කිසිම නඩුවක වගඋත්තරකරුවකු කිරීමට මෙතෙක් කිසිම අධිකරණයක් ඉඩදී නැත. ජනාධිපති පිළිබඳව තමන් මෙතෙක් (අවුරුදු 30කට ආසන්න කාලයක්) ජනාධිපතිගේ මුක්තියට අදාළව පවත්වා ගෙන ගිය ප්‍රතිපත්තිය නිවැරදි නොවේයැයි දැන් අධිකරණය කල්පනා කරන්නේද? අධිකරණයට එවැනි සිතුවිල්ලක් පහළ වී ඇත්නම් එය හදිස්සියේ පහළ වූයේ ඇයි? විධායකය විසින් නීතියට පටහැනිව කරන ඕනෑම ක්‍රියාවක් වැළැක්වීමේ හා හා නීතියට පටහැනිව දෙනු ලබන ඕනෑම විධානයක් අවලංගු කිරීමේ බලය ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය හා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය භුක්ති විඳී. එවැනි බලයක් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට තිබේද? තිබෙන්නේ නම් ඒ බලය ලැබී ඇත්තේ කොහෙන්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද? නැතිනම් අන් මූලයකින්ද?
ජේ.ආර්. ගෙන් අපට ලැබී තිබෙන සටකපට ඒකාධිපති දේශපාලන ක්‍රමය අධිකරණ නියෝග මගින් හෝ සරල ව්‍යවස්ථා සංශෝධන මගින් වෙනස් කළ නොහැකිය. එය සටකපට ඒකාධිපති ක්‍රමයක් ලෙස සැලකිය යුත්තේ එය සකසා ඇත්තේ බැලූ බැල්මට ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් ලෙස පෙනෙන ලෙසය. බහුපක්ෂ ක්‍රමය, මූලික අයිතිවාසිකම්, ව්‍යවස්ථා අර්ථ නිරූපණය කිරීමේ නිදහස ඇතිව පවත්වාගෙන යන අධිකරණ ක්‍රමය, මැතිවරණ (ජනාධිපතිවරණයට අතිරේකව පැවැත්වෙන පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ) ජනමාධ්‍යවල පැවැත්ම යන සාධක ජේ.ආර්. ඇති කළ දේශපාලන ක්‍රමය ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් ලෙස තේරුම් ගැනීමට අප පොළඹවා තිබේ. ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් තුළ දක්නට ලැබෙන හැම වැදගත් ලක්ෂණයක්ම පාහේ මේ ක්‍රමය තුළ ද බාහිර වශයෙන් දැකිය හැකිය. මතුපිට පොත්ත බැලූ බැල්මට ප්රජාතන්ත්රවාදීය. අභ්‍යන්තර හරය අන්ත ඒකාධිපතිය.
එහෙත් ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටේ මහජනතාවට කළ මහා වංචාවක් ලෙස සැලකිය යුතුය. ධර්මිෂ්ඨ රාජ්‍යයක් හෝ නවීන ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ලබාදීමේ මුවාවෙන් ඔහු අපට දී තිබෙන්නේ බාහිර පෙනුමෙන් ප්රජාතන්ත්රවාදී අභ්‍යන්තර හරයෙන් ඒකාධිපති දේශපාලන ක්රමයකි. මේ ක්‍රමය ඇති කොට දශක තුනකට වැඩි කාලයක් ගෙවී ඇතත්, අද දක්වා අපේ රටේ දේශපාලන පක්ෂ, ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශාරදයන් හෝ උගත් මහජනතාව මේ ක්‍රමය නිවැරදි ලෙස දැකීමට හෝ විශ්ලේෂණය කිරීමට අසමත් වී තිබේද? ව්‍යවස්ථාව කරළියට දැමුණු වහාම උණු උණුවේ එන්.එම්. හා කොල්වින් ඒ ගැන විචාරයක යෙදුණේය. යම් පමණකට හෝ මෙම ව්‍යවස්ථාවේ අභ්‍යන්තර හරය නිවැරදි ලෙස දැක්කේ ඔවුන් දෙදෙනා පමණය. එහෙත් ඔවුන් විසින් කරන ලද විග්‍රහය ව්‍යවස්ථාව කරළියට පැමිණි වහාම උණු උණුවේ කරන ලද්දක් වන නිසාම ව්‍යවස්ථාව එහි භාවිත අත්දැකීම් තුළ පෝෂණය වූ ආකාරය සැලකිල්ලට ගැනීමට ඔවුන්ට පුළුවන්කමක් නොතිබුණි. ව්‍යවස්ථාවේ ව්‍යුහයමය අත්තිවාරම් විග්රහ කිරීමේදී ද ඔවුන්ගේ විග්‍රහය තුළ සීමිතකම් තිබුණේය. විවිධ දේශපාලන පක්ෂ මෙම විධායක ඒකාධිපති ක්‍රමය විවේචනය කර ඇතත්, එසේ කර ඇත්තේ ක්‍රමය පිළිබඳ ගැඹුරු න්‍යායික අවබෝධයකින් නොවේය යන්න මාගේ විශ්වාසයයි. නැතිනම් ඔවුන් විරුද්ධ වූයේ බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන සමහර නරක ලක්ෂණවලට මිස ක්‍රමය නිවැරදි ලෙස දැකීම නිසා නොවේ.
මෙම ව්‍යවස්ථාව නිර්මාණය කොට ව්‍යූහ ගතකර තිබෙන්නේ බාහිර වශයෙන් ප්රජාතන්ත්රවාදී පෙනුමක් ඇති අවුරුදු 12ක පාලන කාලයක් සඳහා පරම බලය සහිත ඒකාධිපති පාලකයකු ගොඩනැගීම සඳහාය. ඒ මගින් ඇති කර තිබෙන්නේ ද එම ඒකාධිපති පාලකයාට අනුරූපී දේශපාලන ආයතන ක්රමයකි.
කොටින්ම ව්‍යවස්ථාවේ ප්‍රධාන හා පළමු දර්ශනය වී ඇත්තේ පරම බලය සහිත විධායක ජනාධිපතිවරයෙකි. එම විධායක ජනාධිපතිවරයාට අවශ්‍ය හෝ ගැළපෙන දේශපාලන ක්‍රමයක් ඇති කිරීම ව්‍යවස්ථාවේ ඊළඟ දර්ශනය වී තිබේ.
විධායක ජනාධිපතිවරයා සිටින්නේ සියලු දෙනාට ඉහළිනි. එය නීිතියට හෝ ව්‍යවස්ථාදායකයට යටත් නැත. ජනාධිපති කරන කවර වරදකදීවත් ඒ වරද වළකන හෝ එම වරදට දඬුවම් දෙන ක්‍රමයක් මේ දේශපාලන ක්‍රමය තුළ නැත. ඒ අර්ථයෙන් විධායක ජනාධිපති සර්වතෝබද්රය.
ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සඳහා ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙන විධිවිධාන ජනාධිපතිවරයා ධුරයෙන් පහ කළ හැකි විධි විධාන ව්‍යවස්ථාව තුළ ඇතැ”යි කියන බොරු විශ්වාසයක් ඇති කිරීම සඳහා නිර්මාණය කළ මහා බොරුවකට වැඩි දෙයක් වන්නේ නැත. ඒ ගැන එන්.එම්. හා කොල්වින් ඕනෑවටත් වඩා කතා කර ඇති බැවින් මා ඒ ගැන කතා කරන්න යන්නේ නැත.
ඉතාමත් බලවත් විධායක ජනාධිපතිවරයෙකු ඇති කිරීම සඳහා අවශ්‍ය විධි විධාන නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය චින්තනය ණයට ගෙන ඇත්තේ ඇමරිකන් ව්‍යවස්ථාවෙන් හා ප්‍රංශ ව්‍යවස්ථාවෙනි. එහෙත් එම ව්‍යවස්ථා දෙකේ ජනාධිපති බලතල සංවරණය කිරීම සඳහා යොදාගෙන තිබෙන විධිවිධාන කිසිවක් මෙම ව්‍යවස්ථාවට ඇතුළත් නැත. එම ව්‍යවස්ථා දෙකෙන් ලබාගෙන ඇත්තේ විධායක ජනාධිපතිගේ බලතල ශක්තිමත් කිරීම සඳහා යොදාගෙන ඇති විධිවිධාන පමණය.
ඇමරිකානු ජනාධිපති ඉහළ තනතුරුවලට කරන පත්කිරීම්වලදී සෙනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතුය. ශ්‍රී ලංකාවේ ජනාධිපති එවැනි පත්කිරීම් සඳහා වෙනත් කවර මණ්ඩලයකවත් අනුමැතිය ලබාගත යුතු නැත. විදේශ රටවල් සමග ගිවිසුම් ඇති කරගැනීමේදී ද ඇමරිකන් ජනාධිපති සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු වුවත්, ලංකාවේ ජනාධිපතිට ඒ සඳහා කාගේවත් අනුමැතියක් ලබාගත යුතුය. යුද්ධ ප්‍රකාශ කිරීමේ දී ද ඇමරිකානු ජනාධිපති සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු වුවත්, අපේ ජනාධිපතිට සිය අභිමතය අනුව යුද්ධ ප්‍රකාශ කළ හැකිය. ඇමරිකානු ජනාධිපති නීතියට පටහැනිව ක්‍රියා කරන අවස්ථාවලදී එවැනි ක්‍රියා වැළකීමේ බලය ඇමරිකානු ශ්‍රෙෂ්ඨාධිකරණයට ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති කරන කවර නීති විරෝධී ක්‍රියාවක්වත් වැළකීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට නැත.
ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති රාජ්‍යයේ සකල විධ බලයන්ගේ කේන්ද්‍රය ලෙස ක්‍රියා කරයි. ඔහු රජයේ ප්රධානියාය. විධායකයේ ප්රධානියාය. ආණ්ඩුවේ ප්රධානියාය. සන්නද්ධ හමුදාවල ප්රධානියාය.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ජනරජයේ සංකේතාත්මක නායකයාය. ආණ්ඩුවේ ප්‍රතිපත්ති මෙහෙයවීමට හා සම්බන්ධීකරණයට නායකත්වය දෙන්නේ ඔහුය. ඔහු කැබිනට් මණ්ඩලයේ ද, රාජ්‍ය සේවයේ ද නායකයා වෙයි. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩල සාමාජිකයන් පත් කිරීම, රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම, රාජ්‍ය සේවාව පාලනය කිරීම, රාජ්‍ය සේවයට උසස් නිලධාරීන් පත් කිරීම, උසස් අධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කිරීම යන මේ සියලු කාර්යයන්ගේ නායකයා ඔහුය. ඒ කවර ක්‍රියාවකදී වුවත් ඔහු අතින් සිදුවන නීතියට පටහැනි ක්‍රියාවක් වැළකීමේ ක්‍රමයක් මේ දේශපාලන ක්‍රමය තුළ නැත. ඒ අර්ථයෙන් ඔහු ධුරයේ සිටින තාක් රාජ්‍යයේ පරම බලය උසුලන නායකයා වේ.
ක්‍රීඩාවේ නීති සකස් කොට ඇත්තේ ජනාධිපතිවරණයේදී තේරී පත්වන ජනාධිපතිවරයෙකුට එක දිගට ධුර කාල දෙකක් බලයේ රැඳී සිටිය හැකි ආකාරයටය. ඒ අතරතුර කාලවල පැවැත්වෙන මැතිවරණ (පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන) කෙරෙහි රාජ්‍ය බලය පාවිච්චි කිරීමේ අයිතිය ඔහු සතුය.
දේශපාලන විචාරකයන්ගේ හරි අවධානය යොමුවී නැති මෙම ක්‍රමයට ආවේණික බිහිසුණුම ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ රාජ්‍ය පාලකයාට පොදු දේපළ කොල්ලකෑමට (සිය හිතවතුන්ට හෝ පාක්ෂිකයන්ට බෙදාදීමට) ලැබී තිබෙන අයිතියයි. එය මෙම දේශපාලන ක්‍රමය තුළ ඇති ප්‍රවර්තන බලය ලෙස සැලකිය හැකිය. එය දේශපාලන ක්‍රමය තුළ ඇති තරගකාරීත්වය පවත්වාගෙන යාම කෙරෙහි බලපා තිබෙන බලවත්ම සාධකය ලෙස ද සැලකිය හැකිය.
මෙවැනි ඒකාධිපති ක්‍රමයක් සරල ව්‍යවස්ථා සංශෝධනයකින් හෝ උසාවි නියෝග මගින් වෙනස් කළ හැකියැයි සිතීම තරම් මුලාවක් තවත් තිබිය හැකිද?
17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවේ මූලික දර්ශනයට පටහැනිය. ව්‍යවස්ථාව ව්‍යුහ ගතකර ඇත්තේ විධායක ජනාධිපතිට පරම බලය ලබාදෙන ආකාරයටය. පරම බලය සහිත විධායක ජනාධිපති ව්‍යවස්ථාවේ මූලික දර්ශනය වන විට 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දර්ශනය ජනාධිපතිට තිබෙන බලය සීමා කිරීමය. මෙම ව්‍යවස්ථා සංශෝධනයට අධිකරණය එරෙහි නූනේ මෙම දර්ශන දෙකම එකට ගැලපුණු නිසා නොව, ඒ මොහොතේ ඇතිව තිබූ දේශපාලන අර්බුදය ජයගැනීමට ආණ්ඩුව ඒ මොහොතේ එම ක්‍රියාමාර්ගය අවශ්‍ය බව අධිකරණය තේරුම් ගැනීම නිසාය. එවැනි සංශෝධනයක් ව්‍යවස්ථාවට ඇතුළත් කළ පමණකින් ව්‍යවස්ථාවේ මූලික දර්ශනය වෙනස් කළ නොහැකිය. එවැනි ව්‍යවස්ථා සංශෝධන නොසලකා ක්‍රියාකිරීමේ බලය විධායක ජනාධිපති සතුය. මෙම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාවටත් වඩා ප්රමුඛ වන්නේ ජනාධිපතිය. ඒ නිසා අවශ්‍ය කවර අවස්ථාවක හෝ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ බලය ද ඔහු සතුය.