රට යන්නේ කොයිබට ද?

October 29, 2026
Publication:
The country has gone a long time without an agreed policy on anything. Ivan follows the public-sector pay framework as it was abandoned for selected groups, the teachers' boycott of marking, the courts' response, and the examination system that is now an insoluble tangle — and reads the slogans on the protest posters as a measure of how far the national spirit has rotted.

රට දැන් දීර්ඝ කාලයක් තිස්සේ ගමන් ගනිමින් තිබෙන්නේ පිළිගත් ප්‍රතිපත්තියක් හෝ ක්‍රමයක් නැතිව ය. රජයේ සේවක වැටුප් සඳහා තිබුණු ප්‍රතිපත්ති රාමුව නො සලකා ඇතැම් දේශපාලන බලවතුන් පටු දේශපාලන ලාභ ලැබීමේ අරමුණින් තෝරා ගත් විශේෂ පිරිස්වලට වැටුප් වැඩි කර දෙන ප්‍රතිපත්තියක් තුළ අද රජයේ සේවක වැටුප් ක්‍රමය පහසුවෙන් විසඳිය නො හැකි අවුල් ජාලාවක් බවට පත්වී තිබේ.

ගුරුවරුන් තමන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා විභාග උත්තර පත්‍ර බැලීම වර්ජනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. අධිකරණය ඒ අරගලය මර්දනය කළේ ය. ඉන්පසු ගුරුවරුන් විභාග ප්‍රශ්න පත්‍ර බැලීමට අයදුම් කිරීමෙන් වැළකී සිටියේ ය. දැන් විභාග ක්‍රමය විසඳිය නොහැකි අවුල් ජාලාවක් බවට පත්ව තිබේ.

ඒ සමග ගුරුවරුන් තමන්ගේ වැටුප් ආරාවුල විසඳා ගැනීම සඳහා ලෙඩ නිවාඩු දමන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. ඒ නිසා ආණ්ඩුවට ගුරුවරුන් ලෙඩ නිවාඩු දැමූ දින දෙකේ සියලු පාසල් වසන්නට සිදුවිය. ගුරුවරුන්ට වැටුප් වැඩි කළහොත් සමස්ත රාජ්‍ය සේවය ම විසඳාගත නොහැකි වැටුප් විෂමතා අර්බුදයකට හසුවන බව වැටුප් කොමිසම කියයි. සේවක වර්ජන අධිකරණ නියෝග මගින් මර්දනය කළ අධිකරණය ද තමන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා තමන්ගේ ම අධිකරණය ඉදිරියට ගොස් සිටිති. මෙය රටේ එක් අංශයක තිබෙන අවුලේ වැදගත් කොන් කිහිපයක් පමණ ය.

ආණ්ඩුව පාසල් ශිෂ්‍යයන්ට අවශ්‍ය පෙළපොත් මුද්‍රණය කරවා නොමිලේ බෙදාදීමේ වගකීම තමන් වෙත පවරා ගත්තේ ය. දැන් වසරෙන් අඩක් තරම් කාලයක් ගෙවී ඇතත්, පාසල්වලින් 50%කටවත් අවශ්‍ය පෙළපොත් ලබාදීමට සමත්ව නැත. එම ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් දැන් කර ඇත්තේ ශිෂ්‍යයන් සඳහා නිර්දේශ පාඨමාලා 50%කින් පමණ කපා හැරීම ය. මේ ප්‍රශ්නය මේ වසරේ පමණක් නොව, හැම වසරක ම දක්නට ලැබුණු අශෝභන තත්ත්වයකි. මෙම ප්‍රශ්නයට විරෝධය පළ කිරීම සඳහා කවුරුන් හෝ රට පුරා අලවා තිබෙන පෝස්ටර්වලට යොදා ගෙන තිබෙන සටන් පාඨවලින් පෙන්නුම් කෙරෙන්නේ රටේ ජාතික අධ්‍යාත්මය කුණු වී තිබෙන ප්‍රමාණය යි.

අපි විශාල ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටිමු. අප රට පවත්වාගෙන යන වාහන ප්‍රතිපත්තිය රටේ පවතින අඥාන බව හා හිස්බව හොඳින් පිළිබිඹු කරයි. රටේ දේශපාලනඥයින් අධිසුඛෝපභෝගී මෝටර් රථ සඳහා දක්වන කෑදරකම හා ඒ නිසා සිදුවන ධන නාස්තිය මොහොතකට අමතක කොට දේශපාලකයන් නො වන රාජ්‍ය නිලධාරීන් සඳහා යොදා ගනිමින් තිබෙන ක්‍රමවේදය සැලකිල්ලට ගත්තත් අපි කිසිම වාරණයක් නැති රටක් බව හොඳින් පෙනී යනු ඇත.

රාජ්‍ය නිලධාරීන්ට නිල වාහන ලබා දී ඇත්තේ ය. ඒ සමග ඔවුන්ට හැම අවුරුදු 05කට වරක් ම තීරු බදු රහිත වාහනයක් ද ලබාදෙයි. එක්කෝ තීරු බදු රහිත වාහනවලට ඉඩ දී රජයේ සේවය වෙනුවෙන් කරන පාවිච්චිය වෙනුවෙන් මිලක් ගෙවා නිල වාහන ඉවත් කළ යුතු ය. එසේ නැත්නම් නිල වාහන පමණක් දී විශ්‍රාම යන විට පමණක් තීරු බදු වාහනයක් දිය යුතු ය. එවැනි සරල ක්‍රමයක් වෙනුවට අපේ රටේ ඇත්තේ නාස්තිකාර කිසිම චාරයක් නැති ක්‍රමයකි.

හැම අංශයක් පුරාම පවතින මෙම අවුල්සහගත තත්ත්වය ක්‍රමවත් කිරීමේ වුවමනාවක් කිසිවෙකුටත් නැත. වෘත්තීය සමිති තම තමන්ට පඩි වැඩි කරන ලෙස ඉල්ලා සිටිනවා විනා, තිබෙන මෙම බහුබූත ක්‍රමය වෙනස් කොට පිළිගත් ජාතික ප්‍රතිපත්තියකට යන ලෙස ඉල්ලා සිටින්නේ නැත.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන 80%කට ම ඉඩ මඳිකම නිසා නිල විශ්වවිද්‍යාල පද්ධතීන්ට ඇතුළත්වීමේ පුළුවන්කමක් නැත. ඔවුන් වෙනුවෙන් විකල්ප විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්නට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉඩ දෙන්නේ ද නැත. රාජ්‍යයේ එක අංශයක් හෝ අංශ දෙකක් තුළ නොව, හැම වැදගත් අංශයක් තුළ ම පවතින්නේ මෙවැනි අවුල්සහගත තත්ත්වයකි. තවදුරටත් අප මේ අවුල තුළ ජීවත් වනවා මිස, ඉන් ගොඩ ඒමේ වුවමනාවක් ද පාලකයන්ට සේ ම, පාලිතයන්ට ද නැත.