ඉරුදින පුවත්පත ඉංග්‍රීසි භාෂාවෙන් පළවෙන “සන්ඩේ ලීඩර්” පුවත්පතේ සහෝදර සිංහල ප්රකාශනය ලෙස සැලකේ. පසුගිය සති අන්තයේ පළවූ ඉරුදින පුවත්පතේ රාවය පුවත්පත පිළිබඳව විවේචනාත්මක විග්‍රහයක් පළ කොට තිබුණි. “රනිල්ගේ තටු කැපීමේ රාවය” යන්න ඊට යොදා තිබුණු මාතෘකාව විය. ලිපිය පළකොට තිබුණේ ප්රමුඛ වැදගත්කමක් ලැබෙන ආකාරයට තුන්වැනි පිටුවේය.
සාමාන්‍යයෙන් පුවත්පතක් තවත් පුවත්පතක් ප්‍රසිද්ධියේ විවේචනය නොකළ යුතුය කියන සම්ප්රදායක් ශ්‍රී ලංකාවේ පවතී. එහෙත් එය යහපත් සම්ප්රදායක් ලෙස සැලකිය නොහැකිය. පුවත්පත් අතර ද වාද විවාද තිබිය යුතුය.
ඉරුදින දේවල් දකින දෘෂ්ටිය හා රාවය දේවල් දකින දෘෂ්ටිය එක සමාන නැත. රාවය පවතින දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට වෙර දරන පුවත්පතකි. ඉරුදින ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කොට එජාප ආණ්ඩුවක් බලයට පත් කිරීම වෙනුවෙන් පෙනී සිටින හා ක්‍රියා කරන පුවත්පතකි.
රාවය, මහින්ද රාජපක්ෂ වෙනුවට ඒ තැනට රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් අයෙකු ගැනීමෙන් මෙරට මුහුණ දී තිබෙන අර්බුදයන් විසඳාගත හැකි වේ යැයි විශ්වාස නොකරයි. මේ දේශපාලන ක්‍රමය තුළ බලයට පත්වන පුද්ගලයා කවුරුන් වුව ද, රටට ලැබෙන ප්‍රතිඵල බොහෝ දුරට එක සමාන වන බව රාවයේ විශ්වාසයයි. මෙම දේශපාලන ක්‍රමය තුළ දූෂණය හා භීෂණය නොවැළැක්විය හැකි බව රාවයේ මතයයි.
ගමන් මගේ වෙනස
ඉරුදිනට පුද්ගලයා මිස ක්‍රමය වැදගත් නැත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වෙනුවට රනිල් වික්‍රමසිංහගේ එජාප ආණ්ඩුවක් බලයට පත්කිරීමෙන් රට මුහුණ දී තිබෙන සියලු අවුල් ලිහා ගනිමින් දූෂණයෙන් හා භීෂණයෙන් තොර සාමකාමී හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනගා ගත හැකි බව ඉරුදින විශ්වාස කරයි.
එජාප පිළිබඳ ප්රශ්නයේදී පවා ඉරුදින පක්ෂවන්නේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ තිබෙන එජාපයකට පමණය. රනිල් වික්‍රමසිංහ විවේචනය කරන හෝ රනිල් වික්‍රමසිංහට පක්ෂය තුළ තිබෙන පරම බලය ප්‍රශ්න කරන එජා පාක්ෂිකයන් ඉරුදිනට පෙනෙන්නේ ද්‍රෝහීන් හා කඩාකප්පල්කාරයන් ලෙසය.
එජාපයෙන් මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට එකතුවීමෙන් එජාප තුළ තිබුණු ආරාවුල් විසඳුණේ නැත. නොවිසඳී පල්වෙමින් තිබූ ප්‍රශ්න කාලයාගේ ඇවෑමෙන් නැවත අලුත් ආකාරයකින් මතුවිය. එජාප අභ්‍යන්තරයේ වර්ධනය වෙමින් තිබූ එම අවුල්සහගත තත්ත්වය ගැන කිසිවක් පුවත්පත්වල පළ නොවනවා දැකීම ඉරුදින පුවත්පතේ සේ ම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ද අභිලාෂය විය. අන් සියලු පුවත්පත් නිහඬව සිටින අවස්ථාවක රාවය පමණක් ඒ ගැන රටට වාර්තා කිරීම ඉරුදින පුවත්පතේ කෝපයට හේතුවිය. රාවය විවේචනය කරන ලිපියක් ඉරුදිනට පළකරන්නට අවශ්‍ය වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් අවාසනාවකට පක්ෂ අභ්‍යන්තර අර්බුදය උග්‍ර අතට හැරී එය සියලු පුවත්පත්වල පළවන දේශපාලන සංසිද්ධියක් බවට පත්විය. රාවය හිතේ මවා ගත් අර්බුදයක් ගැන ලියා නැති බව දැන් හොඳින් සනාථ වී තිබේ. ඇත්ත වසන් කර තිබෙන්නේ රාවය නොව ඉරුදිනය.
ඉරුදින, පක්ෂය දුර්වල කිරීමට මිස ශක්තිමත් කිරීමට හේතුවන්නේ නැත
ඉරුදින එජාපයේ නොනිල පුවත්පත ලෙස ක්‍රියාකළ ද එජාප තුළ සිටින විවේචනාත්මක අදහස් දරන්නන් සම්බන්ධයෙන් අනුගමනය කරන අධානග්රාහී ප්‍රතිපත්තිය එජාප තුළ තිබෙන අර්බුද උග්‍ර කරමින් එජාපයේ පැවැත්ම තව තව දුර්වල කිරීමට හේතුවී තිබෙන බව ද කිව යුතුය.
පක්ෂ නායකත්වය හෝ පක්ෂ අභ්‍යන්තර කටයුතු පිළිබඳ විවේචනයක් ඇති, රනිල් වික්‍රමසිංහගේ සතුටට හේතු නොවන පක්ෂ නායකයන් ඉලක්ක කොට පහර දෙන ප්‍රතිපත්තියක් ඉරුදින පවත්වාගෙන යයි. රනිල් වික්‍රමසිංහට පක්ෂ අභ්‍යන්තරයේ තමන් නොකැමති පුද්ගලයෙකු විනාශ කිරීමට අවශ්‍ය වූ විට ඒ සඳහා ඉරුදින හා සන්ඩේ ලීඩර් පුවත්පත යොදා ගන්නා බව එම පක්ෂ අභ්‍යන්තරයේ පවත්නා ප්‍රකට මතයකි. කරු ජයසූරිය ඇතුළු ආණ්ඩුවට එකතු වූ සමහර අයට පක්ෂය තුළ ඉඳීම එපා කරවන තත්ත්වයක් ඇති කිරීම මෙම පුවත්පත් දෙකේ හැසිරීම හේතුවී තිබෙන බවට ද ප්‍රබල මතයක් එම පක්ෂය තුළ පවතී. දැනුදු එම පුවත්පත් පරීක්ෂාවෙන් කියවන්නෙකුට මහින්ද රාජපක්ෂ පාලනයට පහර දෙනවාට අතිරේකව එජාප තුළ සිටින රනිල් වික්‍රමසිංහට නොකැමති මිනිසුන් ඉලක්ක කොට පහර දෙන පිළිවෙතක් අනුගමනය කරන බව පැහැදිලිව දැකිය හැකිය. ඒ අර්ථයෙන් ඉරුදින එජාප දුර්වල කිරීමට මිස, ශක්තිමත් කිරීමට හේතුවී නැත. එය එජාපයේ ගරා හැලීම වේගවත් කිරීමට හේතු වී තිබේ.
රාවයට එජාප වැදගත්වන්නේ ඇයි?
රාවය එජාප වෙනුවෙන් හෝ වෙනත් කවර දේශපාලන පක්ෂයක් වෙනුවෙන් හෝ පෙනී සිටින පුවත්පතක් නොවේ. ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට කවර දේශපාලන පක්ෂයක් බලයට ආව ද විසඳුමක් නොවේය යන්න රාවය දරන මතයයි. රාවය වඩා වැදගත් කොට සලකනුයේ දේශපාලන ක්‍රමයයි. දේශපාලන ක්‍රමය වෙනස් කරවා ගැනීම මගින් මේ අර්බුද ජයගත යුතුය යන්න රාවය දරන මතයයි. එසේ තිබියදීත්, එජාප රාවයට වැදගත්ය. හේතුව එය රටේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන නිසාය. එජාප රටේ තිබුණ විශාලතම දේශපාලන පක්ෂය වන අතර, එය රටේ තිබෙන දක්ෂිණාංශික පක්ෂය හා ව්‍යාපාරික පන්තියේ පක්ෂය ලෙස ද සැලකිය හැකිය.
දේශපාලන ක්‍රමයට දේශපාලන පක්ෂ ද ඇතුළත්ය. රාජ්‍යයට අවශ්‍ය දේශපාලන නායකයන් නිපදවන්නේ දේශපාලන පක්ෂ විසිනි. එජාප හැමවිටම ආණ්ඩු පක්ෂය නොවේ නම්, ප්‍රධාන විරුද්ධ පක්ෂය වේ. හැමවිටම පාහේ රාජ්‍ය නායකයා බවට පත්වන්නේ මෙම පක්ෂ දෙකේ නායකයන් දෙදෙනාගෙන් කෙනෙකි. එහෙත් රටේ තිබෙන පක්ෂ ක්‍රමය සකස් වී තිබෙන්නේ ප්රජාතන්ත්රවාදී රටාවකට නොව ඒකාධිපති රටාවකටය. රාජ්‍ය ප්රජාතන්ත්රවාදී නොවන්නා සේ ම, පක්ෂ ක්‍රමය ද ප්රජාතන්ත්රවාදී නොවන්නේය. රාජ්‍ය දූෂිත වන්නා සේ ම, පක්ෂ ක්‍රමය ද දූෂිතය.
මෙම පක්ෂ ක්‍රමය තුළ පක්ෂ නායකයාට කේළාම් හෙංචයියන්ට මිස, දක්ෂයන්ට ඉඩක් නැත. දේශපාලන ක්රමයේ ගරා හැලීම කෙරෙහි පක්ෂ ක්‍රමය විසින් නිපදවන දේශපාලනඥයන්ට ආවේණික හිස් බව ද බලපා තිබේ.
එජාප අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදී නිදහස සහිත පාරදෘශ්‍යභාවයෙන් යුතු පක්ෂයක් බවට පත්වන්නේ නම්, ඒ වෙනස අනෙක් දේශපාලන පක්ෂ කෙරෙහි සේ ම දේශපාලන ක්‍රමය කෙරෙහි ද බලපායි. එජාප තුළ පමණක් නොව, ඕනෑම පක්ෂයක් තුළ මතුවන අභ්‍යන්තර අර්බුද රාවයට වැදගත්වන්නේ ඒ අර්ථයෙනි. එජාපයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ප්රජාතන්ත්රවාදී මාවතට ගැනීමේ අරමුණකින් එම පක්ෂය තුළ මතුවන ව්‍යාපාරවලට රාවය ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ද රනිල් වික්‍රමසිංහ අස්ථාවර කිරීමේ අරමුණින් නොව, එවැනි පක්ෂයක් ප්රජාතන්ත්රවාදී මාවතට ගත හැකි නම්, එම තත්ත්වය පෙරළා දේශපාලන ක්‍රමය කෙරෙහි ද යහපත් ලෙස බලපාන නිසාය.
රනිල් වික්‍රමසිංහට ආවේණික සීමා
සිය මාමාගේ නිර්මාණයක් ලෙස සැලකිය හැකි දූෂිත විධායක ජනාධිපති ක්‍රමය රැකගැනීමට තිබෙන අතිවිශේෂ උනන්දුව රනිල් වික්‍රමසිංහට ආවේණික ලොකුම දේශපාලන දුර්වලතාව ලෙස සැලකිය හැකිය. ඔහුට ආවේණික එම ලක්ෂණය පුද්ගලික පරිහානිය කෙරෙහි පමණක් නොව, එජාපයේ පරිහානිය කෙරෙහි ද බලපා තිබේ.
ජේ.ආර්. ජයවර්ධන ඇති කළ දේශපාලන ක්‍රමය අර්ධ ඒකාධිපති ක්‍රමයක් වනවා සේ ම එය අන්ත දූෂිත ක්‍රමයක් ලෙස ද සැලකිය හැකිය. මෙම දේශපාලන ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ පාලකයාට පරම බලය ලැබෙන ආකාරයට පමණක් නොව, පාලකයාට හා පාලක පක්ෂයට පොදු දේපළ කොල්ලකෑමේ අයිතිය ද ලැබෙන ආකාරයටය.
මේ ක්‍රමය එජාපයේ නිර්මාණයක් වුවත්, එම දූෂිත දේශපාලන ක්‍රමයට එරෙහිව ලොකුම දේශපාලන කැරැල්ල මතු වූයේ ද එජාපය තුළිනි. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි නායකයන් ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධවීමෙන් නොනැවතී විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව නැගී සිටියේය.
එජාපයේ එම ගමන් මග ආපසු හරවනු ලැබූ නායකයා වන්නේ රනිල්ය. විධායක ජනාධිපති ක්රමයේ උචිත අනුචිතභාවය පිළිබඳව එජාප තුළ මතුවූ විවාදයේදී විධායක ජනාධිපති ක්රමයේ ආරක්ෂාව සඳහා බලවත් ලෙස පෙනී සිටි එකම නායකයා වන්නේ ද රනිල්ය.
අර්ධ ඒකාධිපති ක්‍රමයක් ආරක්ෂා කිරීම
විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට දරන හැම උත්සාහයකටම රනිල් එළිපිට හෝ අප්රසිද්ධියේ බාධා කළේය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අක්‍රීය කළ නායකයන්ගේ නාමලේඛනයට රනිල් වික්‍රමසිංහගේ නම ද ඇතුළත් විය යුතුය. ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් පිළිබඳ අදහස වෘත්තීයවේදීන්ගේ සංගමය කරළියට ගෙනා විට රනිල් වික්‍රමසිංහ එය තමන්ගේ අතට ගෙන මුල් කෙටුම්පත විකෘති කළේය. ඊට එරෙහිව මතුවූ විරෝධය නිසා යම් ප්රමණකට මුල් කෙටුම්පතට අනුකූලව යන කෙටුම්පතක් සකස් කළ ද, ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කිරීමෙන් පසු එය අක්‍රියකරන ව්‍යාපාරයට රනිල් වික්‍රමසිංහ ද දායක විය.
ඒ පිළිබඳ රට නොදන්නා උදාහරණයක් මෙසේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ධුරයට ව්‍යවස්ථා සභාව මගින් තෝරා පත් කරගන්නා ලද පුද්ගලයා වූයේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.එම්.එම්.බී. කුලතුංග මහතාය. ව්‍යවස්ථා සභාව ඔහු තමන් වෙත කැඳවා මූලික පරීක්ෂණයකින් පසුව ඔහු එම තනතුරට තෝරා ගන්නා ලද බව ද ඒ මහතාට දැනුම් දුන්නේය. එහෙත් අවසානයේ එම තනතුරට තෝරා ගත්තේ කුලතුංග මහතා නොව අන් අයෙකි. කුලතුංග මහතා මෙම තනතුරට අයදුම් නොකළේය. එම තනතුර බාරගන්නා ලෙස ඒ මහතාට ආරාධනා කළේ ව්‍යවස්ථා සභාවය. එය ව්‍යවස්ථා සභාව තමන්ට කරන ලද අපහාසයක් ලෙස ඒ මහතා සැලකීය. අවසානයේ ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු වූ ඒ.ආර්.බී. අමරසිංහ මහතා කුලතුංග මහතා එම තනතුරට තෝරා නොගැනීමට බලපෑ රහස ඒ මහතාට හෙළි කළේය. ඒ අනුව කුලතුංග මහතා වැනි දැඩි මතධාරියෙකු එම තනතුරට පත් කරනවාට අගමැති රනිල් වික්‍රමසිංහ එක හඬින් විරුද්ධ වී තිබේ. තෝරා ගැනීමෙන් පසුත් කුලතුංග මහතා තනතුරට පත් නොකිරීමට බලපෑ හේතුව එයයි. එයින් පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පවා තමන්ට පාලනය කළ නොහැකි ස්වාධීන පුද්ගලයන් ස්වාධීන කොමිෂන් සභාවලට පත් කරනවාට එකඟ නැති බව නොවේද?
රනිල් වික්‍රමසිංහ මහතාගේ අවංකභාවය උරගා බැලුණ තවත් අවස්ථා දෙකක් මෙසේය. අනුරුද්ධ රත්වත්ත මහතාගේ මුදල් සඟවා තබාගෙන සිටින සේප්පුව පිළිබඳ විස්තර කිසියම් පුද්ගලයකු විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතට පත් කරන ලදි. ඔහු බැංකු සේප්පුවේ තිබෙන මුදල් ප්‍රමාණය ද වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්නේය. අගමැති රනිල් වික්‍රමසිංහ එම සේප්පුව වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය. ඉන්පසු එම පුද්ගලයාම ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මුදල් සඟවා තිබෙන බැංකු සේප්පුව පිළිබඳ පිළිබඳ විස්තරයක් රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන ලදි. එම සේප්පුවේ තිබෙන මුදල් ප්‍රමාණය ද ඒ සමග දැනුම් දුන්නේය. එහෙත් අගමැතිවරයා අනුරුද්ධ සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය චන්ද්‍රිකා සම්බන්ධයෙන් අනුගමනය කළේ නැත.
ඉන්පසු චන්ද්‍රිකා බලය අතහැර යන අවස්ථාවේදී කැබිනට් අනුමැතිය ඇතිව කෝටි ගණනක් වටිනා රජයේ ඉඩමක සින්නක්කර අයිතිය සිය නමට ලියවා ගත්තාය. රාවය ඒ ක්‍රියාවට එරෙහිව අධිකරණය ඉදිරියට ගියේය. එම ප්රශ්නය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා දරන ලද මතය වූයේ ඒ ඉඩම හිමිකර ගැනීමේ අයිතිය චන්ද්‍රිකාට තිබෙන බවය.
රනිල් වික්‍රමසිංහ මහතා රටේ විධායක ජනාධිපති වීමට සිහින දැක්කා පමණක් නොව, එම සිහිනය සැබෑවන තෙක් විධායක ජනාධිපති ක්‍රමයට හානි කරන කිසිවක් සිදුනොවීමට ද වග බලා ගත්තේය. අඩුම වශයෙන් චන්ද්‍රිකාගේ ධුර කාල දෙක සම්පූර්ණ කිරීමෙන් පසුවවත් ජනාධිපති ධුරය තමන්ට හිමිවනු ඇතැයි රනිල් වික්‍රමසිංහ සිහින දැක්කේය. එහෙත් ඒ සිහිනය සැබෑ වූයේ නැත.
ඉරු දිනට ප්‍රශ්නයක්
ඉරුදින, රාවයට එරෙහිව මෙම ලිපිය ලියා තිබුණේ රනිල් වික්‍රමසිංහට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ කැරැල්ලක් නැති බව කියන්නටය. එය මහින්ද රාජපක්ෂ පාලනයේ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා රාවය නිර්මාණය කළ බොරුවක් බව කියන්නටය. එහෙත් රනිල් වික්‍රමසිංහට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ බලවත් කැරැල්ලක් ඇති බව මේ වන විට මුළු රටම දන්නේය. ඒ නිසා සිරිකොත දී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදුවූ සිද්ධීන් මෙහි ලිවීම තේරුමක් නැත.
එහිදී රාවය රටට බොරුවක් කීවේ නැත. එහිදී රටට ඇත්ත වසන් කළේ ඉරුදිනය. එහෙත් එය සමාව දිය නොහැකි තරම් බරපතළ පාපයක් ලෙස සලකා ඉරුදිනට චෝදනා කරන්නට අප සූදානම් නැත.
ඉරුදිනට වැදගත්, දේශපාලන ක්‍රමය නොව පුද්ගලයාය. එවැනි මගක් තෝරාගත් පුවත්පතකට තමන් තෝරාගත් ගැලවුම්කාරයාගේ ආරක්ෂාව පිණිස මෙවැනි විකාර දේවල් කරන්නට සිදුවීම අස්වාභාවික නැත.
ඉරුදින, රාවයට එරෙහිව නගා තිබෙන ඉතිරි චෝදනාවන්ට කෙටියෙන් පිළිතුරු දෙන්නට ප්‍රථම ශ්‍රී ලංකාවේ දේශපාලනයට අදාළ ඉරුදිනෙන් මූලික ප්‍රශ්නයක් නගන්නට අපි කැමතිය.
ශ්‍රී ලංකාවේ පවතින විධායක ජනාධිපති ක්‍රමය ඔබ පුවත්පත විග්රහ කරන්නේ කෙසේද? ඉතා යහපත් ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් ලෙසද? නැතිනම් අන්ත දූෂිත අර්ධ ඒකාධිපති ක්‍රමයක් ලෙසද?
ඉරුදින පුවත්පත රටේ පවතින විධායක ජනාධිපති ක්‍රමය අන්ත, දූෂිත, අර්ධ ඒකාධිපති ක්‍රමයක් ලෙස සලකයි නම් එවැනි නරක ක්රමයක ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලන නායකයකු යහපත් හෝ ප්රශස්ත නායකයකු ලෙස සැලකිය හැක්කේ කෙසේද? එවැනි දූෂිත හා ඒකාධිපති ක්රමයක ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින නායකයකුට ප්රජාතන්ත්රවාදය, මානව අයිතිවාසිකම් හා ජනමාධ්‍ය නිදහස ගැන කතා කරන්නට තිබෙන අයිතිය කුමක්ද?
ඉතිරි ප්‍රශ්නවලට පිළිතුරු
රාවය පුවත්පත මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ලැබෙන දැන්වීම් ආදායමෙන් යැපෙන පුවත්පතක් ලෙස පෙන්නුම් කිරීමට එම ලිපියෙන් ඉරුදින උත්සාහ දරා තිබුණි.
රාවයේ මුළු දැන්වීම් ආදායමෙන් ආණ්ඩුවේ ආයතනවලින් ලැබෙන දැන්වීම් ආදායම 20%කටත් අඩුය. අපට හැමදාමත්, චන්ද්‍රිකා සමඟ දරුණු අරගලයට පැටලී රාවයට එරෙහිව මර්දනයක් දියත් කෙරුණු යුගයේ පවා ආණ්ඩුවේ සමහර ආයතනවලින් අපට ඉඳහිට දැන්වීම් ලැබුණි. ඒ බව අපේ පාඨකයාට ද රහසක් නොවීය. එවැනි ආයතනවලට එසේ කරන්නට විවිධ හේතු තිබුණි. රාවය රාජපක්ෂ ආණ්ඩුවට පන්දම් අල්ලන ආයතනයක් නම්, ආණ්ඩුවෙන් ලැබෙන දැන්වීම් ආදායම කැපී පෙනෙන තත්ත්වයක නොතිබෙන්නට සාධාරණ හේතුවක් තිබිය නොහැකිය.
විටෙක අම්මා ද පුතාද යන්නෙන් හා තවත් විටෙක අම්මා ද දුවද යන්නෙන් රාවය එක් අවස්ථාවකදී අනුරට එරෙහිව සිරිමා බණ්ඩාරනායක මැතිනිය ද, තවත් විටෙක බණ්ඩාරනායක මැතිනියට එරෙහිව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද ආරක්ෂා කරන පිළිවෙතක ක්‍රියා කළ බව සැබෑය.
අනුර හා මව අතර මතුවී තිබුණු අර්බුදයේදී රාවය පුතා වෙනුවට අම්මාගේ පැත්ත තෝරා ගත්තේ ඒ මොහොතේ පක්ෂ නායකත්වය පුතා අතට ගියේ නම් ශ්‍රීලනිප අල්ලේ නැටවිය හැකි තත්ත්වයක් බලයේ සිටි එජාප ආණ්ඩුවට ලැබෙන නිසාය. ඊළඟ වටයේදී මව වෙනුවට දුව තෝරාගත්තේ ද එජාප පාලනය පරාජය කිරීමට ශක්තියක් හා ආකර්ෂණයක් තිබූ නායිකාව චන්ද්‍රිකා වීම නිසාය.
ඒ මොහොතේ රාවයේ දේශපාලන අභිලාෂය වූයේ අවුරුදු 17ක් තිස්සේ එක දිගට පැවති එජාප පාලනයේ අඛණ්ඩතාව බිඳ දැමීය. එම ව්‍යාපෘතියේ පටු බවක් තිබුණ ද, තමන් කැමති පාලකයකු බලයට පත් කොට ආර්ථික හෝ දේශපාලන වාසි ලබාගැනීම රාවයේ අභිලාෂය නොවීය. එජාප පාලනයේ අඛණ්ඩතාව බිඳ දැමීමෙන් නොනැවතී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන තැනකට යා හැකි වෙතැයි රාවය විශ්වාස කළ ද දෙවැනි කරුණේ ද එය සැබෑවක් නොවීය.
1999 දී රාවය ගෙනා සූර රැජින 2006 දී රාවයට (මෙම ලිපිය ලියූ ලේඛකයාට දින පැටලී ඇති බව පෙනේ. මුලට 1999 වෙනුවට 1994ත් අගට 2006 වෙනුවට 1999ත් එකතු විය යුතුය.) චෞර රැජිණක් වූ බව ඉරුදින කියයි. රාවයට චෞර රැජිණක් වී සිටින චන්ද්‍රිකා දැන් ඉරුදින සමාගමට සූර රැජිණක් වී තිබේ යයි කීවේ නම් එය වඩාත් නිවැරදිය.
රාවය කර්තෘ චන්ද්‍රිකා පිළිබඳව පොතක් ලියා පළ කළ බව ඇත්තකි. එහෙත් චන්ද්‍රිකා ගැන ලියා ඇත්තේ රාවය පමණක්ද? ඉරුදින හා එහි ඉංග්‍රීසි පුවත්පත වන ලීඩර් පුවත්පත චන්ද්‍රිකා පිළිබඳව ලියා පළ කරන ලද සියලු ලිපි එකට එකතු කොට පොතක් ලෙස පළ කළහොත් ඒ පොතේ ප්‍රමාණය කොතරම් විශාල විය හැකිද? ඒ පොතට චෞර රැජිණ යන නමටත් වඩා නරක නමක් මිස, හොඳ නමක් දීමේ හැකියාව තිබේද?