කීත් නොයාර් සිද්ධියෙන් ජනමාධ්‍යවේදීන්ට උගත හැකි පාඩම් මොනවාද?

October 29, 2026
Publication:
After the abduction and assault of The Nation's associate editor, Ivan asks what the profession should conclude. Exposing corruption inside a system built to permit it changes nothing except the risk to the journalist who does it; so journalists must decide whether they accept the arbitrary power politicians hold, and if they do not, they have to argue for changing the system rather than reporting each abuse as it comes.

“ද නේෂන්” පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර්ට මුහුණ දෙන්නට සිදුවූ ඛේදජනක අත්දැකීම ජනමාධ්‍යවේදීන් අතර මහත් කම්පාවක් ඇති කිරීමට හේතුවී තිබේ. ජනමාධ්‍යවේදීන්ට මුහුණ දෙන්නට සිදුවන මෙවැනි සිද්ධීන් කලාතුරකින් අසන්නට ලැබෙන දෙයක් නොව, නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නකි.

පසුගිය දශක දෙකක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක්වූ ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව විශාලය. අමානුෂික පහරදීම්වලට ලක්වූ ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව ද විශාලය. ජනමාධ්‍යවේදීන්ට මුහුණ දෙන්නට සිදුවී තිබෙන මෙවැනි සාහසික සිද්ධීන්ට එරෙහිව එසේ සිදුවන හැම සාහසික සිද්ධියකටම පසුව ජනමාධ්‍යවේදීන් පවත්වා තිබෙන විරෝධතා පිකටින් සංඛ්‍යාව ද විශාලය.

තමන්ගේ සගයකු ඝාතනයට හා පහරදීමකට ලක්වූ හැම අවස්ථාවකම පාහේ (ජේ.ආර්. ජයවර්ධන යුගයෙන් පසුව) සිරිතක් වශයෙන් ජනමාධ්‍යවේදීහු එම සිද්ධියට විරෝධය පළකිරීම සඳහා පිකටින් ව්‍යාපාරයක් පවත්වති. පසුගිය දශක දෙකක කාලය තුළ ජනමාධ්‍යවේදීන් පවත්වා තිබෙන එවැනි විරෝධතා ව්‍යාපාර සංඛ්‍යාව සියයකට අධික විය හැකිය. එහෙත් එසේ පවත්වනු ලබන විරෝධතා ව්‍යාපාර නිසා චිත්‍රයේ අල්පමාත්‍ර හෝ වෙනසක් ඇති කිරීමට ජනමාධ්‍යවේදීන් සමත් වී නැත. ඒ ඇයිද කියා ජනමාධ්‍යවේදීන් කල්පනා කරන බවක්වත් පෙනෙන්නට නැත.

අවාසනාවට හේතු

ජනමාධ්‍යවේදීන්ට මුහුණ දෙන්නට සිදුවී තිබෙන මෙම අවාසනාවන්ත තත්ත්වය ඔවුන් ජීවත් වන දේශපාලන ක්‍රමයට ආවේණික නිත්‍ය ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එහෙත් අවාසනාවකට මෙන් ජනමාධ්‍යවේදීන් සටන් කරන්නේ එම නිත්‍ය ලක්ෂණ ද අඩංගු කරගත් දේශපාලන ක්‍රමයට එරෙහිව නොව, ක්‍රමයට ආවේණික එම නිත්‍ය ලක්ෂණයට එරෙහිවය. ජනමාධ්‍යවේදින් කරන සටන බොහෝ දුරට අපේ සමහර උගතුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂාව සඳහා කරන සටනට සමානය. ජනාධිපතිවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථාවලදී ඒ උගත්තු කම්පාවට පත්වෙති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන ලෙස ඉල්ලා ඔවුහු උද්ඝෝෂණ පවත්වති. මෙම දේශපාලන ක්‍රමය තුළ ජනාධිපති මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රමුඛ නොවන බව හා ජනාධිපතිවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථාවලදී ඊට එරෙහිව කළ හැකි කිසිම දෙයක් නැති බව හා මෙම දෝෂය නැති කිරීමට නම් දේශපාලන ක්‍රමයේ වෙනසක් සඳහා ක්‍රියාකිරීමේ වැදගත්කම ඔවුන් තේරුම් ගන්නේ ද නැත.

ජනාධිපති ක්‍රමය හා ජනමාධ්‍ය නිදහස

විධායක ජනාධිපති පාලන ක්‍රමයක් ඇති කිරීමෙන් පසුව මොනම ආණ්ඩු පාලනයක් තුළවත් ජනමාධ්‍ය නිදහස සුරැකී නැත. නීතියේ පාලනය ප්‍රතික්ෂේප කරන දේශපාලන ක්‍රමයක් තුළ පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් ආරක්ෂා විය හැක්කේ කෙසේද?

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යුගයේදී ජනමාධ්‍යවේදීන්ට දඬුවම් කිරීම පිණිස පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය උපරිම ලෙස පාවිච්චි කෙරුණේය. බලයට පත්වී දස දිනකින් ශ්‍රීලනිපයට හිතවත් ටයිම්ස් පුවත්පත් ආයතනය ආණ්ඩුවට පවරා ගැනිණ. ආණ්ඩුවට තීරණාත්මක වැදගත්කමක් ඇති අවස්ථාවලදී ආණ්ඩුවට විරුද්ධව කතා කරන පුවත්පත්වලට සීල් තබන ලදි.

ජවිපෙ දෙවැනි කැරැල්ල පැවති කාලවකවානුවේදී ජවිපෙ සේ ම ආණ්ඩුව ද තමන්ට එරෙහිව යන හෝ තමන්ගේ සැකයට හේතුවන ජනමාධ්‍යවේදීන් ඝාතනය කළේය.

ජේ.ආර්. ජයවර්ධන උරුමය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ද උජාරුවෙන් ඉදිරියට ගෙන ගියේය. වෙනසකට සිදුවූයේ ඊට පෙර අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එරෙහිව එල්ල වන ප්‍රහාරවලදී වෙනදා නිකම්ම බලාගෙන නිහඬව සිටි ජනමාධ්‍යවේදීන් සිය අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කරන තැනකට තල්ලුවීමය.

අවසානයේ ජනමාධ්‍යවේදීහු එක දිගට අවුරුදු 17ක් පාලන බලයේ සිටි යූඑන්පී ආණ්ඩුව පරාජය කොට චන්ද්‍රිකාගේ පොදු පෙරමුණු ආණ්ඩුවක් බලයට පත් කරන දේශපාලන අරගලයේ පෙරමුණු බල ඇණිය ලෙස ක්‍රියා කළහ.

එහෙත් චන්ද්‍රිකාගේ ආණ්ඩුව ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේ නැත. ඒ වෙනුවට ඇය ක්‍රියාත්මක කළේ ද සිය පූර්වගාමී පාලකයන්ගේ උරුමයයි.

දැන් මහින්ද රාජපක්ෂ පාලනය තුළ රඟදක්වමින් තිබෙන්නේ ද ඊට පෙර බලයේ සිටි පාලකයන් රඟ දක්වන ලද පැරණි ජවනිකාවමය.

රාජපක්ෂ වෙනුවට වෙනත් පාලකයකු බලයට ගෙනාව ද මේ දේශපාලන ක්‍රමය තිබෙන තෙක් මෙම ක්‍රමයෙහි වෙනසක් ඇතිවිය නොහැකිය.

ක්‍රමයේ දෙබිඩි ස්වභාවය

ජේ.ආර්. ජයවර්ධන විරුද්ධ පක්ෂයේ සිටියදී ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් ඉතාමත් බලවත් ලෙස පෙනී සිටියේය. සිය මාමාගේ පවුලේ බූදලයක්ව පැවති ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමේ උත්සාහය පරාජය කිරීම පිණිස ශ්‍රී ලංකා සමසමාජ සභාග ආණ්ඩුව එම ආණ්ඩුවේ රාජසන කතාවේදී පරාජය කරන වැඩපිළිවෙළේ මහා මොළකාරයන් දෙදෙනාගෙන් කෙනෙකු වූයේ ද ඔහුය.

ඉන්පසු 1970 දී සමඟි පෙරමුණ බලයට පත්වී ලේක්හවුසිය ආණ්ඩුවට පවරා ගත් පසු ද ලේක්හවුස් පුවත්පත්වල අලෙවිය කෙරෙහි බලපෑම් ඇති කරන ආකාරයේ පුවත්පත් වර්ජනයකට නායකත්වය දෙන ලද්දේ ද ඔහුය.

එහෙත් 1977දී හයෙන් පහක බලයක් ඇතිව බලයට පත්වූ පසු ලේක්හවුසිය කෙරෙහි පැවති රජයේ පාලනය අහෝසි කළේ ද? නැත. තමා රටේ රජු වන නිසා ලේක්හවුසිය ද තමා යටතේ තිබිය යුතු යැයි විශ්වාස කළේය.

සමඟි පෙරමුණු ආණ්ඩුව 1972 දී පුවත්පත් මණ්ඩල පනතක් ගෙනා අවස්ථාවේදී ජේ.ආර්. ජයවර්ධන විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස එම කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළේය. එම පනතේ 16 (1) වගන්තිය යටතේ ඇමති මණ්ඩල රැස්වීමක් වාර්තා කිරීම නීති විරෝධී වන බවත්, එවැනි ප්‍රතිපත්තියක් අදහස් පළ කිරීමේ නිදහසට මුළුමණින් පටහැනි බවටත් ඔහුගේ නීතිඥයෝ එහිදී තර්ක කළහ. පුවත්පත් මණ්ඩල පනතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඉදිරියේ කරන ලද දෙසුම් ඇතුළත් පොත් පිංචක් මුද්‍රණය කරවා ඔහු එය රට පුරා බෙදාහැරියේය.

එහෙත් බලයට පත්වීමෙන් පසුව ඔහු පුවත්පත් මණ්ඩල පනත අහෝසි කළේ නැත. ඒ වෙනුවට ඔහු එම නීතිය ජනමාධ්‍යවේදීන්ට එරෙහිව පාවිච්චි කළේය.

මෙම දෙබිඩි පිළිවෙත ජේ.ආර්. ජයවර්ධනට පමණක් ආවේණික වූවක් නොව, මේ දේශපාලන ක්‍රමය තුළ මෙතෙක් බලයට පැමිණි හැම පාලකයෙකුටම ආවේණික පොදු ලක්ෂණයකි.

මෙම දේශපාලන ක්‍රමය සකස් කොට ඇත්තේ පාලකයාට හා පාලක පක්ෂයට රටේ වස්තුව කොල්ලකෑමේ අයිතිය ලැබෙන ආකාරයටය. රාජ්‍ය පාලකයාට නීතිය නොසලකා ක්‍රියාකිරීමේ බලයක් ලැබෙන ආකාරයටය.

එවැනි දේශපාලන ක්‍රමයක් තුළ ජනමාධ්‍යවේදීන් රටේ සිදුවන දූෂණ ගැන කොතරම් හෙළිදරව් කිරීම් කළත්, එම වාර්තා කිරීම් නිසා දූෂණය පාලනය වීමක් සිදුවන්නේ නැත. විය හැක්කේ එසේ කරන ජනමාධ්‍යවේදීන් ඝාතනයට ලක්වීම හෝ පහර කෑමට ලක්වීම පමණය.

ක්‍රමයට පක්ෂවීම

මා මීට පෙර සති දෙකකට ඉහත දී “අප ඉන්නේ කොතනද” යන හිසින් ලියන ලද ලිපියක් කියවා එක්සත් ජාතික පක්ෂයේ එක්තරා මන්ත්‍රීවරයෙක් මට දුරකතනයෙන් කතා කොට මාගේ එම ලිපිය කියවූ බවත්, ඒ ලිපියෙන් මා දේශපාලන ක්‍රමය ගැන කරන විග්‍රහය නිවැරදි බවත් කියා සිටියේය.

මෙම අවලස්සන දේශපාලන ක්‍රමය එජාපයේ නිර්මාණයක් වුවත්, එය එක්තරා ආකාරයක ඒකාධිපති ක්‍රමයක් බව ඔබ පිළිගන්නේ නම්, එම දේශපාලන ක්‍රමයේ වෙනසක් සඳහා පක්ෂය තුළත් ඉන් පිටතත් ක්‍රියා නොකරන්නේ ඇයිදැයි මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි.

ඔහු එම ප්‍රශ්නයට දෙන ලද පිළිතුර මහත් කම්පනයට හේතු වූ බව කිවයුතුය.

මෙම දේශපාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි දූෂිත ක්‍රමයක් වුවත්, අනුගාමිකයන්ට පොරොන්දු වී ඇති ආකාරයට දිය හැකි ගොඩාක් දේවල් එම ක්‍රමය තුළ ඇති බව ඔහු කීවේය. එහෙත් ඔබ අදහස් කරන දූෂණයට ඇති ඉඩ ඇහිරීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ මට මාගේ දේශපාලන අනුගාමිකයන්ට දෙන්නට විශේෂ දෙයක් නැති බව ඔහු කීවේය. දේශපාලන අනුගාමිකයන්ට රටට පොදුවේ ලැබෙන යහපත් දේවල්වලට වඩා ඔවුන්ට ලැබෙන පෞද්ගලික දේවල් වැදගත් බව ඔහු කීවේය. ඒ නිසා දේශපාලන ක්‍රමය අන්ත දූෂිත වුවත් ඊට පක්ෂවීමට තමන්ට සිදුවී තිබෙන බව ඔහු කීවේය.

ඒ හා සමාන කතාවක් මීට වසර තුනකට පමණ ඉහතදී තරුණ ව්‍යාපාරිකයෙකුගෙන් අසන්නට ලැබුණි. එම කතාබහ කෙරුණේ තවත් ජනමාධ්‍යවේදියෙකු හා ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඉදිරියේය. අප එහිදී කතා කළේ රටේ යහපත පිණිස දේශපාලන ක්‍රමය වෙනස් කරගැනීම සඳහා හැම අංශයකම මිනිසුන් එකට එකතු වී වැඩ කිරීමේ වැදගත්කම ගැනය – මන්ත්‍රීවරයා කී කතාවට සමාන කතාවක් කී තරුණ ව්‍යාපාරිකයා උසස් අධ්‍යාපනයක් ලැබූ ව්‍යාපාරික තලයේ විශාල හැකියාවක් පෙන්නුම් කළ රාවයට කැමති පුද්ගලයෙකු විය.

දේශපාලන ක්‍රමය වෙනස් කිරීම අරමුණු කරගත් මොනම ක්‍රියාමාර්ගයකටවත් තමන්ට එකතුවිය නොහැකි බව අප සියලු දෙනාම පුදුමයට පත් කරමින් ඔහු ප්‍රකාශ කළේය. මේ ක්‍රමය ඉතාමත් දූෂිත ක්‍රමයක් බව ඔහු ද පිළිගත්තේය. එහෙත් මේ ක්‍රමය තමාගේ යහපතට හේතුවී ඇති නිසාත්, තමන්ට ඉහළට යෑමේ අවස්ථාව ලැබී තිබෙන්නේ මේ ක්‍රමය තුළ නිසා හා සාධාරණ ක්‍රමයක් තුළ තමන්ට එවැනි අවස්ථාවක් නොලැබෙන නිසා දේශපාලන ක්‍රමය වෙනස් කිරීම අරමුණු කරගත් මොනම ව්‍යාපාරයකටවත් තමා එකතු නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

දේශපාලන පක්ෂ ක්‍රමයට පක්ෂය

මීට පෙර සඳහන් කළ එජාප මන්ත්‍රීවරයා සේ ම, මෙම ව්‍යාපාරිකයා ද ක්‍රමය ගැන කතා කරන්නේ ඉතාමත් අවංකවය. දෙදෙනාටම දේශපාලන ක්‍රමය ගැන මනා අවබෝධයක් තිබේ. ක්‍රමයෙහි ඇති දූෂිතභාවය ද ඔවුහු හොඳින් දනිති. ඔවුන්ගේ යහපතට හේතුවී ඇත්තේ ද ක්‍රමයේ ඇති දූෂිතභාවයමය. ඒ නිසා ක්‍රමයට විරුද්ධ වීමේ වුවමනාවක් හෝ හැකියාවක් ඔවුන්ට නැත. දෙදෙනාම නොසඟවා ඒ බව අවංකවම ප්‍රකාශ කරති.

දේශපාලන පක්ෂ මේ ක්‍රමයට එරෙහි නොවන්නේ ඇයිද යන ප්‍රශ්නය මා හොඳින් තේරුම් ගත්තේ ද ඉහත කී මන්ත්‍රීවරයා කරන ලද එම කතාවෙන් පසුවය. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු රටේ තිබෙන කිසිම දේශපාලන පක්ෂයකට මෙම දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අභිලාෂයන් ගැන බොරුවට හෝ එවැනි අදහසක් මෙම දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රවලට ද ඇතුළත් නැත.

එජාප ගැන මා සිතාගෙන සිටියේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂපාත නිසා එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද, ඊට ප්‍රසිද්ධියේ විරුද්ධ නොවන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට සිදුවී ඇති බවය. පක්ෂ නායකයා පක්ෂය තුළ ඒකාධිපති බලයක් පවත්වාගෙන යෑමට කැමති නිසා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් දිනාගැනීම සඳහා ක්‍රියාකිරීමෙන් වැළකී සිටින බවය. එහෙත් ඉහත කී මන්ත්‍රීවරයාගේ කතාවෙන් පසු මට පෙනී ගියේ එය පක්ෂ නායකයාගේ වරදක් නිසා ඇති වූවක් නොව, එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සිතන පතන විදිය පක්ෂ නායකයා සිතන පතන විදියට සමාන බවය.

මෙම තත්ත්වය සියලු පක්ෂවලට ආවේණික පොදු තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. ඒ සියලු දෙනා මෙම දූෂිත දේශපාලන ක්‍රමයට අනුගත වී ඉන් වාසි ලබන්නන් බවට පත්ව සිටිති. දූෂිත නොවන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ තමන්ට ලැබෙන පෞද්ගලික වාසි මේ සා විශාල නොවන බව ඔවුහු දනිති. ඒ නිසා ක්‍රමයේ වෙනසකට ඔවුන් කැමති නැත. නිලමැස්සන්ට අසූචි ගඳ විය නොහැකිය. මෙම දේශපාලන ක්‍රමයෙන් අයුතු වාසි ලබන්නන්ට මෙම දේශපාලන ක්‍රමය අවලස්සන ක්‍රමයක් විය නොහැකිය.

ජනමාධ්‍යවේදීන්ගේ භූමිකාව කුමක්ද?

මේ තරගය ජනමාධ්‍යවේදීන් සඳහා යොදාගත්තොත් ඊට ලැබෙන පිළිතුර කුමක් විය හැකිද?

ජනමාධ්‍යවලට රඟපෑමට විශේෂිත භූමිකාවක් ඇත්තේය. එහෙත් ඒ භූමිකාව රඟපෑමට ජනමාධ්‍යවලට ඉඩක් ඇත්තේ ඒකාධිපති දේශපාලන ක්‍රමයක් තුළ නොව, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ පමණය.

අදහස් පළකිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකට ආවේණික මූලික ලක්ෂණයකි. රටේ සිදුවන වැරදි වාර්තා කිරීමෙන් ඒ සිදුවන වැරදි පාලනය කිරීමක් සිදුවන්නේද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකය.

පවතින දේශපාලන ක්‍රමය නීතියේ ආධිපත්‍යය පිළි නොගනී. රටේ රාජ්‍ය පාලකයා හා රාජ්‍ය පාලකයාගේ දේශපාලන කණ්ඩායම සිටින්නේ රටේ නීතියට ඉහළිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා රාජ්‍ය පාලකයා බලවත්ය. ඒ නිසා තමන් කැමති අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ බලය රාජ්‍ය පාලකයාට ඇති අතර, එය වළකන ක්‍රමයක් නැත. දේශපාලන ක්‍රමය නිර්මාණය කොට ඇත්තේ පාලක පක්ෂයට පොදු දේපළ කොල්ලකෑමේ අයිතිය ලැබෙන ආකාරයටය.

මෙවැනි දේශපාලන ක්‍රමයක් තුළ අදහස් පළකිරීමේ නිදහසක් තිබිය හැක්කේ කෙසේද? රටේ සිදුවන දූෂණ වාර්තා කිරීමේ නිදහසක් තිබිය හැක්කේ කෙසේද? දූෂණ කොතරම් වාර්තා කළත්, දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙන තත්ත්වයක් තිබිය හැක්කේ කෙසේද?

මෙම දේශපාලන ක්‍රමය තුළ පාලක පක්ෂයට ලැබී තිබෙන හිතුවක්කාරී බලයට එක්කෝ ජනමාධ්‍යවේදීන් ගරු කළ යුතුය. එසේ ගරු කරන්නේ නම් දේශපාලකයන් කරන කියන දේවල් කොතරම් විනාශකාරී වුවත්, එය ඔවුන්ට ලැබී තිබෙන ව්‍යවස්ථාපිත බලයක් ලෙස සලකා ඔවුන්ට අවහිර කරන ප්‍රතිපත්තියකට යෑමෙන් වැළකී සිටිය යුතුය. ඔවුන් භුක්ති විඳින හිතුවක්කාරී බලය ඔවුන්ට නොතිබිය යුතු බලයක් ලෙස සලකන්නේ නම්, ජනමාධ්‍යවේදීන් ඒ වැරදි ගැන කතා කළ යුත්තේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ ඉදිරි දර්ශනයක් ද ඇතිවය.

එහෙත් මෙම දේශපාලන ක්‍රමය වෙනස් කර ගැනීමේ අවංක වුවමනාවක් තමන්ට ඇති බව ජනමාධ්‍යවේදීන් පෙන්නුම් කර නැත. ඒ ඇයි? දේශපාලන ක්‍රමය ගැන න්‍යායික වැටහීමක් නැති නිසාද? නැත්නම් ඉහත සඳහන් යූඑන්පී මන්ත්‍රීවරයා හෝ ව්‍යාපාරිකයා මෙන් මේ දේශපාලන ක්‍රමයට කැමති නිසාද?

මෙම දේශපාලන ක්‍රමයට කැමති නම් ඊට ආවේණික බලහත්කාරය හා දූෂණයට ඉඩදිය යුතුය. කැමති නැතිනම් බලහත්කාරයට හා දූෂණයට එරෙහිව පෙනී සිටිය යුත්තේ දේශපාලන ක්‍රමය වෙනස් කරවා ගැනීමේ අභිලාෂය ඇතිවය.

මෙම කැත දේශපාලන ක්‍රමය ගැන මහජනතාවට වඩා වැඩි අවබෝධයක් තිබිය යුත්තේ ජනමාධ්‍යවේදීන්ටය. මෙම දේශපාලන ක්‍රමය වෙනස් කරවා ගැනීම සඳහා වැඩිම පීඩනයක් ඇති කළ පිරිස වන්නේ ද ජනමාධ්‍යවේදීන්ය. එහෙත් කුමන හේතුවක් නිසා හෝ ජනමාධ්‍යවේදීන් පෑන හසුරුවා ඇත්තේ ආණ්ඩු වෙනස් කරන ප්‍රතිපත්තියක පිහිටා මිස, තමන්ට මර බිය ගෙනදීමට හේතුවී ඇති මෙම දේශපාලන ක්‍රමය වෙනස් කරවා ගැනීමේ ප්‍රතිපත්තියක පිහිටා නොවේ. ඒ ඇයි? අනවබෝධය නිසාද? නැතිනම් ක්‍රමයට ඇති පක්ෂපාතභාවය නිසාද?