17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ තිබිය යුතු ස්වාධීන මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම හා පොලිස් කොමිසම නැතිව ප්රජාතන්ත්රවාදී දේශපාලන පක්ෂවලට අනාගතයේ සාධාරණව මැතිවරණවලට මුහුණදීමේ හැකියාවක් නැති බව මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය ලේකම්වරයා පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණි. ඒ අරමුණ ජයගැනීම සඳහා යූඑන්පී, මුස්ලිම් කොංග්රස් සන්ධානය උසාවි නියෝගයක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කර තිබුණි. ඉදිරි පළාත් සභා මැතිවරණ ජයගැනීමට අවශ්‍ය නම්, එක්සත් ජාතික පක්ෂය හා ජවිපෙ ඒකාබද්ධ විපක්ෂයක් ලෙස එකට එකතු වී 17 වැනි සංශෝධනයට ඇතුළත් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවන තත්ත්වයක් දිනාගත යුතු බව ය.
නැගෙනහිර ඡන්දය තෙක් ස්වාධීන කොමිෂන් සභා ඇති කර ගැනීම සඳහා බලවත් ක්‍රියාමාර්ගයක නිරත නොවූ හා 17 වැනි සංශෝධනය මරා දැමීමට එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් දායක වූ මෙම දේශපාලන පක්ෂවලට දැන්වත් ස්වාධීන කොමිෂන් සභාවල වැදගත්කම තේරෙන්නේ නම් ප්‍රමාද වී හෝ ඔවුන්ට මොළේ පෑදීම ගැන රටට සතුටු විය හැකි ය.
17 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා උසාවි නියෝගයක් ලබාගැනීමට යූ.එන්.පී., එස්.එල්.එම්.සී. සන්ධානය තීරණය කිරීම ද වැදගත් ය. එහෙත් උසාවි නියෝගයක් ලබාගන්නා ක්‍රියාමාර්ගයකට යාමට ඔවුන් මෙතෙක් ප්‍රමාද වූයේ ඇයි? දේශපාලන පක්ෂවලට ආවේණික වගකීමෙන් තොර ස්වභාවය ඉන් පෙන්නුම් කරයි.
ඊළඟ වැදගත් ම ප්රශ්නය වනුයේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම වෙනුවෙන් වන උසාවි නියෝගයක් ලබාගැනීමේ හැකියාවක් තිබේ ද යන්නයි. අපට එවැනි අධිකරණ ක්‍රමයක් තිබේ ද? 17 වැනි සංශෝධනය බලාත්මක කරවා ගැනීමට නියෝගයක් ලබාගැනීම සඳහා විද්වත් වෘත්තිකයන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිය බව යූ.එන්.පී. – එස්.එල්.එම්.සී. සන්ධානයේ නායකයන් නොදන්නේ ද? එම විද්වත් වෘත්තිකයන් ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන ලද පිළිතුර ඔවුන් නොදන්නේ ද?
ස්වාධීන මැතිවරණ කොමිසමක් නැතත්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවන තෙක් කොමිසම සතු සියලු බලතල මැතිවරණ කොමසාරිස්ට හිමිවන්නේ ය. එතරම් ම විශාල බලතල තිබියදීත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා සමත් නූයේ ඇයි?
මේ සියලු දේශපාලන පක්ෂ තාමත් අතගාමින් සිටින්නේ ගැටලුවේ හරය නොව බාහිර පරිසරය ය. ගැටලුවේ හරය ඇත්තේ ජනාධිපතිට ලැබී තිබෙන පරම බලය යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කොට ඇත්තේ ජනාධිපති නීතියට ඉහළින් සිටින ආකාරයට ය. ජනාධිපති කරන කිසිම ක්‍රියාවක් අධිකරණය ඉදිරියේ පවා ප්‍රශ්න කළ නොහැකි ආකාරයට ය. ජනාධිපති කරන කිසිම ක්‍රියාවකට එරෙහිව (ඡන්ද පෙත්සමක දී හැර) තීන්දු දීමේ බලයක් අධිකරණයට නැත.
නීතිය ඉක්මවා ගිය පරම බලයක් සහිත ජනාධිපති ක්‍රමයක් රටට හඳුන්වා දෙන ලද්දේ එජාපය යි. එම පරම බලය අවුරුදු 17ක් එම පක්ෂය එක දිගට බුක්ති වින්දේ ය. ඒ බලය ප්රතිපක්ෂයක් අතට ගිය විට තමන්ට කුමක් වනු ඇත්දැයි එදා එජාප කල්පනා නො කළේ ය. කවදාවත් එම බලය ප්රතිපක්ෂයක් අතට පත් නොවනු ඇතැයි එම පක්ෂය විශ්වාස කළේ ය. එහෙත් එම විශ්වාසයට පටහැනිව ඒ බලය ශ්‍රීලනිප ප්රමුඛ පොදු පෙරමුණ අතට ගියේ ය. දැන් ඔවුන් ද එම බලය එක දිගට අවුරුදු 14ක් තරම් කාලයක් තිස්සේ බුක්ති විඳී. සියලු අවුල්වලට මුල ඇත්තේ පරම බලයේ ය. පරම බලයක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණෙන් සකස් කළ ව්‍යවස්ථාවකට ඉදිරිපත් කරන සරල සංශෝධනයකින් ඒ පරම බලය නැති කළ නො හැකි ය.