අය – වැය තුන්වැනි වර කියවීම විය හැක්කේ කුමක් ද?

October 29, 2026
Publication:
The government beat the opposition at the second reading, and Ivan counts what is left to come. Nobody wants an election — not the UNP's members, not the Tamil alliance's, not the JVP's, who want to enjoy their privileges and their artificial power to the end of the term. He ends by telling every leader named that what is needed is to stop the contest for power long enough to agree on changing the system, and then resume it.

2 වැනි වර කියවීමේ දී අය වැය පරාජය කිරීමට එජාප දරන ලද උත්සාහය පරාජය කිරීමට ආණ්ඩුව සමත් විය. අයවැය පරාජය කිරීම හෝ ආණ්ඩු පක්ෂයෙන් අට දෙනෙකු විපක්ෂයට ගෙන ආණ්ඩු පක්ෂයේ තිබෙන බහුතර බලය නැති කිරීම එජාපයේ ඉලක්කය වූ අතර එම ඉලක්ක ජය ගැනීම සඳහා එජාප දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබුණි. ආණ්ඩුව ද එජාපයේ ඉලක්ක පරාජය කරමින් ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා ඒ සමාන දැවැන්ත ප්‍රති මෙහෙයුමක් දියත් කර තිබුණි. විජේදාස රාජපක්ෂ ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වන තත්ත්වයක් ඇති කිරීමට විපක්ෂය සමත් වුවත් එය දිනපතා ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට මන්ත්‍රීවරුන් එකතු වන පෙරහැරක් බවට පත් කිරීමට එජාප සමත් වූයේ නැත. මහින්ද රත්නතිලක එජාපයෙන් ආණ්ඩු පක්ෂයට එකතු වීම එජාපයේ සමස්ත වැඩ පිළිවෙල අවුල් කිරීමට හේතු විය. අර්ජුන රණතුංග කෙරෙහිත් තොණ්ඩමන් හා රවුෆ් හකීම් කෙරෙහිත් එජාපය ඇති කරගෙන තිබූ බලාපොරොත්තු ද සඵල වූයේ නැත.

අවසාන විග්‍රහයේදී එජාපයේ හා මංගල පිලේ පරාජය කෙරෙහි ආණ්ඩුව දියත් කළ ප්‍රති මෙහෙයුම සේම ජවිපෙ ක්‍රියා කලාපයද තීරණාත්මක ලෙස බලපෑවේ ය. විජේදාස රාජපක්ෂ ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වීම වළකා ගැනීමට ආණ්ඩුව අසමත් වුවත් අතෘප්තිකර තත්ත්වයක සිටි අන් සියලු දෙනා ආණ්ඩුව අත් නොහැර යන තත්ත්වයක තබා ගැනීමට ආණ්ඩුව සමත් විය. ආණ්ඩුව පරාජය කිරීමට කොටි සංවිධානය කෝටි ගණනින් මුදල් විසිකරමින් තිබෙන බවට ආණ්ඩුව පවත්වාගෙන ගිය ප්‍රචාරණ ව්‍යාපාරය තොණ්ඩමන් සේම රවුෆ් හකීම් ද බිය ගැන්වීමට හේතු වූ බව පෙනේ. ජවිපයට අය වැයේ දී ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට අවශ්‍ය වී තිබුණ ද ආණ්ඩුව පරාජය කිරීමට හේතු නොවන ලෙස අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීම ඔවුන්ගේ අපේක්ෂාව විය. අය වැයට එරෙහිව ඡන්දය දීමට ඔවුන්ට අවශ්‍ය වුණේ එවැනි ප්‍රතිපත්තියකින් තොරව සිය අනුගාමිකයින් සතුටු කිරීමට ඔවුන්ට හැකියාවක් නොතිබුණු නිසා ය. අනෙක් අතට ඒ මගින් ආණ්ඩුව පරාජයට පත්වීමෙන් වැළකීමට ඔවුන්ට අවශ්‍ය වුණේ පාර්ලිමේන්තු මැතිවරණයක් ඔවුන්ට තිබෙන පාර්ලිමේන්තු නියෝජනය හීන කිරීමට හේතුවන නිසා ය.

දෙවැනි වර කියවීමේ දී අය වැයට එරෙහිව ඡන්දය පාවිච්චි කළ ජවිපෙට තුන්වැනි කියවීමේ දී මුල් ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ හැකියාවක් නැති බව සලකා දැන් එජාප හා මංගල පිල තුන්වැනි වර කියවීමේදී ආණ්ඩුව පරාජය කිරීමේ උත්සාහයක යෙදී සිටී.

තුන්වැනි වර කියවීමේදී ආණ්ඩුව පරාජය කිරීමට එජාපයට ආණ්ඩු පක්ෂයෙන් අවශ්‍ය මන්ත්‍රීන් ගණන අටකි. ඒ සංඛ්‍යාව ඉතා විශාල නොවුවත් ඒ ගණන පවා දිනා ගැනීම පහසු නැත. අනෙක් අතට ඒ ගණන ප්‍රමාණවත් වනුයේ තමන් සමග සිටින පිරිස් සියලු දෙනා ආරක්ෂා කරගැනීමට එජාපය සමත් වේ නම් පමණය. ආණ්ඩු පක්ෂය තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පිළිබඳව අතෘප්තියෙන් පිරිසක් සිටිනවා සේම එජාපය තුළ ද රනිල් වික්‍රමසිංහගේ නායකත්වය පිළිබඳ අතෘප්තියෙන් පසුවන පිරිස් සිටිති. ඒ නිසා ආණ්ඩු පක්ෂයෙන් විරුද්ධ පක්ෂයට එකතු කරගැනීමේ හැකියාවක් තිබෙනවා සේම විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු කර ගැනීමේ හැකියාවක් ද පවතී.

මෙවැනි අර්බුදවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාසිදායක ය. මෙවැනි අර්බුද නිසා සෑම මන්ත්‍රීවරයෙකුටම අලුත් වටිනාකමක් ලැබෙන්නේ ය. අර්ජුන රණතුංග තමන්ට තිබෙන දුක් ගැනවිලි නිරාකරණය කර ගැනීම සඳහා මතු වූ අර්බුදය අවස්ථාවක් කර ගත්තා සේ අතෘප්තියෙන් සිටින අනෙක් මන්ත්‍රීවරුන් ද තමන්ගේ දුක් ගැනවිලි විසඳා ගැනීමට මෙම අර්බුදය අවස්ථාවක් කරගනු ඇත්තේ ය.

තරගයේ නීති අනුව අය වැය තුන්වැනි වර කියවීමේ තරගය ජය ගැනීමේ වැඩි වාසි තිබෙන්නේ ආණ්ඩුවට මිස විපක්ෂයට නොවේ. ආණ්ඩු පක්ෂය තුළ අතෘප්තියෙන් පසුවන මන්ත්‍රීවරුන් සිටිනු ඇතත් ඔවුන් සිය පැවත්ම පරදුවට තබන තැනකට යන්නේ නැත. සියලු මන්ත්‍රීවරුන් අතර මැදි තරගයකට නොගොස් ධූරකාලය සම්පූර්ණ කිරීමට කැමතිය. එජාපයේ මන්ත්‍රීවරුන් සේම දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ද හදිසි මැතිවරණයකට කැමති නැත. ලැබී තිබෙන වරප්‍රසාද නිල කාලය සම්පූර්ණ කරන තෙක් බුක්ති විඳීමට ඔවුන් කැමතිය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ද මැතිවරණයකට තරයේ විරුද්ධය. විප්ලවකාරී වේශයකින් පෙනී සිටින අතර තමන්ට ලැබී තිබෙන කෘත්‍රිම බලය ආරක්ෂා කර ගනිමින් නිල කාලය සම්පූර්ණ කරන තෙක් මන්ත්‍රී වරප්‍රසාද බුක්ති විඳීමට ඔවුන් ද කැමැතිය. ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන්ද සිය පැවැත්ම පරදුවට තබා ඉක්මන් මැතිවරණයකට කැමති වන්නේ නැත. නිල කාලය සම්පූර්ණ කිරීමට මන්ත්‍රීවරුන්ට තිබෙන සොභාවික ලැදියාව මේ මොහොතේ ආණ්ඩුව පරාජය කිරීමට එජාපයට තිබෙන හැකියාව සීමා කරයි.

එහෙත් ආණ්ඩුව පරාජය කිරීමට තමන්ට අවශ්‍ය අඩු මන්ත්‍රී සංඛ්‍යාව විකිණෙන්නට කැමති මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින මිල ගණන් ගෙවා දී ගැනීමට එජාපයට හැකි නම් ආණ්ඩුව අර්බුදයකට තල්ලු කළ හැකිය. එහෙත් ඒ සඳහා විශාල මිලක් දැරිය යුතුය. එහෙත් එවැනිම ප්‍රතිපත්තියක් එජාපයට එරෙහිව යොදා ගැනීමේ හැකියාව ආණ්ඩුවටද ඇත්තේ ය. ඒ නිසා කොයි ආකාරයකින් බැලුව ද තරගයේ වැඩි වාසි තිබෙන්නේ ආණ්ඩුවට මිස එජාපයට නොවේ.

මේ සියලු සීමා ජයගනිමින් තුන්වැනි වර කියවීමේ දී ආණ්ඩුව අය වැය පරාජයට කිරීමට එජාප සමත් වතොත් ඒ නිසා පාර්ලිමේන්තුව වහා විසුරුවා හරින තත්ත්වයක් ඇතිවන්නේ නැත. කැබිනට් මණ්ඩලය වෙනස් කොට දෙවැනි අයවැයක් ඉදිරිපත් කිරීමේ අයිතිය ආණ්ඩු පක්ෂයට තිබෙන බැවින් අය වැය පරාජයකින් පසුත් පස්සා දොරෙන් ගනු දෙනු කිරීමේ වැඩි බලය ලැබෙනු ඇත්තේ ආණ්ඩුවටය.

එජාපයට තිබෙන ඒ සියලු සීමා අද්භූත බලයකින් ජය ගනිමින් මැතිවරණයක් දිනා ගැනීමට සමත් වුවත් මැතිවරණයකින් කැපී පෙනෙන ජයග්‍රහණයක් දිනා ගැනීමට එජාපයට හැකියාව තිබේද? එජාපයට තිබෙන්නේ අහස උසට ඉහළ යන බඩු මිලේ වාසිය පමණය. පවතින අනුපාතික ඡන්ද ක්‍රමය යටතේ ළඟ ළඟ තරගයකින් ඔබ්බට යාමේ හැකියාවක් නැත. සමහර විට කිසිම පක්ෂයකට තනිව ආණ්ඩුවක් ගොඩ නැඟිය නොහැකි ආකාරයේ ප්‍රතිපලයක් පවා ඇති විය හැකි ය. ඒ තිබෙන අවාසිය නොසලකා එජාප මැතිවරණයකින් කැපී පෙනෙන ජයග්‍රහණයක් ලැබුවද ඔවුන්ට නැවත ආණ්ඩු කරන්නට සිදුවන්නේ විධායක බලය නැතිවය. ඉන් පසු ඔවුන් කරන්නේ කුමක්ද? යුද්ධය අත්හැර වහාම සාම සාකච්ඡාවලට යන්නේද? එවැනි ගමනකට දැන් ඉඩක් තිබේද? එජාප බලයට පැමිණි පමණකින් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ යන්නේ ද? නැවතී තිබෙන විදේශ ආධාර වහා ආපසු ලැබෙන තත්ත්වයක් ඇති වේද? එයට ඉක්මනින් උද්ධමනය පාලනය කිරීමේ හැකියාවක් තිබේද? අඩුම වශයෙන් පුංචි කැබිනට් මණ්ඩලයක්වත් ඇති කිරීමේ හැකියාව තිබේද? ඒ හැම ප්‍රශ්නයකටම ලැබෙන පිළිතුර වනු ඇත්තේ නැත යන්නයි.

එජාපයට ඉඩක් නැත යන්නෙහි අවසාන තේරුම එජාප පරාජිත වී ආණ්ඩුව ජයග්‍රාහි වන බවද? නැත. තරගයෙන් වැඩි වාසි ඇත්තේ ආණ්ඩුවට වුවත් ආණ්ඩුව සිටින්නේද අර්බුදයට ගිය තත්ත්වයකය.

රටක් වශයෙන් අප සිටින්නේ දේශපාලන පක්ෂ ක්‍රමය පමණක් නොව සමස්ත දේශපාලන ක්‍රමයද අවුලෙන් අවුලකට යන තත්ත්වයකය.

එම අවුලේ කැපී පෙනෙන ලක්ෂණ සමහරක් මෙසේය. කිසිම පක්ෂයකට මැතිවරණයකින් යාන්තම් ලබන ජයග්‍රහණයක් මිස විශාල ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමේ හැකියාව නැත. මෙම අභියෝගය ජය ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව විරුද්ධ පක්ෂයෙන් මන්ත්‍රීවරුන් එකතු කර ගැනීමට ආණ්ඩු පක්ෂයට සිදු වී තිබේ.

බලයට පත්වන කවර ආණ්ඩුවකට වුවද ස්ථාවර භාවය ආරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට තනතුරු දෙන හා කප්පම් ගෙවන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට සිදු වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අතර ඊට බාධා නොකරන අධිකරණයක් පවත්වාගෙන යාමට සිදු වීම නිසා නීතියේ පාලනය මුළුමනින්ම බිඳ වැටෙන තත්ත්වයක් ඇති කිරීමට හේතු වී තිබේ.

ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ සිට රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, විමල් වීරවංශ, රවුෆ් හකීම්, හා තොණ්ඩමන් වැනි නායකයින්ට මොළේ කළඳක් හෝ ඇත්තේ නම් දැන් කළ යුතුව තිබෙන්නේ තවදුරටත් පාවිච්චියට ගත නොහැකි තරමට ජරා ජීර්ණ වී තිබෙන දූෂිත හා අකාර්යක්ෂම දේශපාලන ක්‍රමය තවදුරටත් කර ගහගෙන බල තරගයේ යෙදීම නොව බල තරගය මොහොතකට නවතා දේශපාලන ක්‍රමයේ පූර්ණ වෙනසක් ඇති කිරීම සඳහා පොදු එකඟත්වයකට ඒමය. නැවත බල තරගයට යායුත්තේ ඉන් පසුවය. ජනාධිපතිවරයා සේම විරුද්ධ පක්ෂ නායකයා ද මේ මොහොතේ නායකත්වය දිය යුතුව තිබෙන්නේ එවැනි වැඩ පිළිවෙලකටය. එසේ නොවේ නම් ඒ සියලු නායකයින් විහිලුකාරයින් ලෙස ඉතිහාසයේ කුණු බක්කියට යනු නොවැළැක්විය හැකි ය.