අය වැයේදී ආණ්ඩුව පරාජය කිරීමේ උත්සාහය අවසානයේ පුස්සක් බවට පත් විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ අය වැය පරාජය කිරීම සඳහා දියත් කෙරුණු මෙහෙයුමට ඉලක්ක දෙකක් තිබුණි. ප්‍රධාන ඉලක්කය වූයේ ආණ්ඩුව පරාජය කිරීමය. අතුරු ඉලක්කය වූයේ ශ්‍රීලනිපයේ අට දෙනෙකු විරුද්ධ පක්ෂයට එකතු කරගනිමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සුළුතර ආණ්ඩුවක් බවට පත්කිරීමය. ඒ මගින් ජවිපෙ සහාය නැතිව ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් ඇති කිරීමය. පාර්ලිමේන්තුව විසුරුවා නොහරින්නේ නම්, ජවිපෙ කොන්දේසිවලට යටත්ව ආණ්ඩුව ආණ්ඩු කරන තත්ත්වයකට පත්කිරීමය. ඒ අරමුණු දෙකින් එකක්වත් ජයගැනීමට එජාප සමත් නොවීය.
මනා තක්සේරුවකින් තොරව දියත් කෙරුණු දඩි බිඩි විප්ලවය කෙරෙහි බලපෑ වැදගත් සාධක ගණනාවක් තිබුණි. ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී එජාප සමග සන්ධානයක් ඇති කරගෙන තිබූ මංගල හා ශ්‍රීපති යන දෙපළට සිය ආත්ම ආරක්ෂාව සඳහා ඉක්මනින් බලය අල්ලා ගැනීමක් අවශ්‍ය වී තිබුණි. තමන් ඉක්මන් නොවුණ හොත් ආණ්ඩුව තමන්ගෙන් පළිගනු ඇතැයි යන බිය ඔවුන් කෙරෙහි බලපෑවේය. අවශ්‍ය නම්, තමන් අමාරුවේ දැමීමට පාවිච්චි කළ හැකි තුරුම්පු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අත තිබෙන බව ඔවුහු දැන සිටියහ. ඔවුන් වඩාත්ම භීතියට පත් කරන සංසිද්ධිය වූයේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට එරෙහිව ඇසෙමින් තිබුණු ගොල්ෆ් නඩු විභාගයයි. ගොල්ෆ් ව්‍යාපෘතියට අවශ්‍ය ඉඩම් ලබාදී තිබුණේ නාගරික සංවර්ධන අධිකාරියයි. එකල නාගරික සංවර්ධන ඇමති වූයේ මංගල සමරවීරය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙම දඩිබිඩි විප්ලවය පිටුපස අදෘශ්‍යමානව සිටි බලවත් චරිතයක් වූවාය. ගොල්ෆ් නඩු විභාගයෙන් තමන් කෙරෙහි විනාශකාරී ප්‍රතිඵල ඇති කළ හැකි බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සේ ම මංගල සමරවීර මහතා ද දැන සිටියේය. ඔවුන් මෙම නඩු විභාගය සලකන ලද්දේ ශ්‍රී ලංකා දේශපාලනය කෙරෙහි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායකට ඇති පවුලේ උරුමය අතුගා දැමීමේ අරමුණින් දියත් කෙරුණු වැඩපිළිවෙළක් ලෙසය.
එම නඩුවේ ඉලක්ක ගත පුද්ගලයා වූයේ චන්ද්‍රිකා කුමාරතුංග වුවත්, එය ඉන් ඔබ්බට යා හැකි දුෂ්ට වැඩසටහනක ආරම්භයක් ලෙස සලකා රනිල් වික්‍රමසිංහ මහතා ද එයින් භීතයට පත්ව සිටි බව පෙනේ.
චන්ද්‍රිකා කුමාරතුංග පවුල් කණ්ඩායම හා රනිල් වික්‍රමසිංහ පවුල් කණ්ඩායම අතර දේශපාලන බලය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ තරගයක් තිබුණ ද මේ දෙපිරිස මාරුවෙන් මාරුවට රට පාලනය කළේය. උස් පහත් භේද තිබියදීත් මෙම දෙපිරිස සැලකුණේ ප්‍රභූ පන්තියේ අය ලෙසය. අනික් අතට මහින්ද රාජපක්ෂ සැලකුණේ පිටස්තරින් කඩා වැදුණු නිර්ප්‍රභූ පන්තිය නියෝජනය කරන පුද්ගලයෙකු ලෙසය. ජනාධිපති මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා කුමාරතුංග දේශපාලන ලෝකයෙන් පලවා හැරීමෙන් නොනැවතී ඔහු එජාප නායකත්වයට එස්.බී. දිසානායක වැනි ප්රභූතන්ත්රයෙන් පිටස්තර පුද්ගලයෙකු පත්කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි යන විශ්වාසයක් රනිල් වික්‍රමසිංහ මහතා තුළ ද ගොඩනැගී තිබුණි. අය වැයෙන් පසු තමා බෙලහීන කොට ජනාධිපති මහින්ද රාජපක්ෂ තමාගේ පන්තියේ කෙනෙකු එජාප නායකත්වයට ගැනීමට උත්සාහ කරන්නේය කියන හැඟීම රනිල් වික්‍රමසිංහ මහතා ද ආණ්ඩුවට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා සටන් කරන තැනකට තල්ලු කිරීමට හේතුවූ බව පෙනේ.
මීට කලකට ඉහතදී අයවැයේ දී ආණ්ඩුව පෙරලන්නේය යන මතවාදයක් එජාපය විසින් රටට ඉදිරිපත් කරමින් තිබුණ ද, තවත් කලකදී එම පක්ෂය එම මතවාදය අතහැර තිබුණි. අතහැර තිබූ මතවාදයක් නැවත වහා කරපින්නා ගන්නා තැනකට ගියේ ගොල්ෆ් නඩු විභාගය ආරම්භවීමත් සමගය.
අය වැයේදී ආණ්ඩුව පරාජය කිරීම සඳහා දියත් කෙරුණු මෙම දඩි බිඩි මෙහෙයුමේදී ශ්‍රීලනිපයෙන් පුද්ගලයන් අටදෙනෙකු ලබාදීමට චන්ද්‍රිකා-මංගල-ශ්‍රීපති යන ත්‍රිත්වය සහතික වී තිබුණි. ඔවුන්ට එම අටදෙනා ගෙන ආ හැකි නම් තමන්ට ද මුස්ලිම් කොංග්‍රසයෙන් හා වතු කම්කරු කොංග්‍රසයෙන් පිරිසක් ගෙන ආ හැකි බව රනිල් ද විශ්වාස කළේය.
ඔවුන්ගේ ඉලක්කය වූයේ අය වැය පරාජය කොට මැතිවරණයක් දිනාගැනීමය. එම මැතිවරණයෙන් ආණ්ඩුව පරාජය කොට ජනාධිපති මහින්ද රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් පහකිරීමය.
එම ඉලක්කය ජයගත නොහැකි වෙතොත්, අය වැයේදී ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේ සුළුතරයක් බවට පත් කරමින් ජවිපෙ මත යැපෙන තත්ත්වයක් ඇති කොට ආණ්ඩුව අර්බුදයකට යවා මැතිවරණයක් දිනාගැනීමය. ඉන්පසු ජනාධිපතිවරයා තනතුරෙන් පහකිරීමය.
එහෙත් මේ ඉලක්ක දෙකින් එකක් හෝ ජයගැනීමට ඔවුන් සමත් වූයේ නැත.
ඔවුන් ශ්‍රීලනිපයෙන් අටක් එලියට ගැනීමට අපේක්ෂා කළත්, එළියට ගත හැකිවූයේ එක් අයෙක් එනම් විජේදාස රාජපක්ෂ මහතා පමණය.
විජේදාස රාජපක්ෂට වැඩි සම්බන්ධකම් තිබුණේ මහින්ද රාජපක්ෂ සමග නොව චන්ද්‍රිකා කුමාරතුංග, මංගල සමරවීර හා ශ්‍රීපති සූරියආරච්චි සමගය. ඔහුට දියුණුවේ ඉහළම හිනි පෙත්තට නැගීමට ආධාර කළේ චන්ද්‍රිකා හා මංගලය. තමන් අපේක්ෂා කළ තරමට දේවල් නොලැබීම නිසා මංගල හා ශ්‍රීපති ආණ්ඩුවෙන් වෙන්වූහ. විජේදාස රාජපක්ෂ සිටියේ ද අසහනයෙනි. රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ සභාපති වශයෙන් ඔහු ඉටු කළ කාර්යභාරය විවාදයට තුඩු දෙන සුළුය. සියලු රාජ්‍ය ආයතන දූෂණයෙන් කුණුවී ඇති බව සත්‍යයකි. එහෙත් දේවල් තෝරා ගැනීමේදී තමන් අකමැති පුද්ගලයන්ට පහරදීමේ අරමුණින් නියැදි තෝරාගෙන ඇති බවක් බැලූ බැල්මට පෙනී යයි. ඔහු තමන්ගේ සමීප මිතුරන්ට චෝදනා එල්ල වන තැන්වලට අත තැබීමෙන් වැළකී සිටි බවක් ද පෙනී යයි. ඔහු ද මන්ත්‍රීවරයෙකු වන්නට ප්‍රථම රාජ්‍ය ආයතන ගණනාවක නිලතල හෙබවීය. එහෙත් එහිදී පිරිසිදු ආදර්ශවත් පැවැත්මක් තමන්ට ඇති බව සනාථ කිරීමට ඔහු ද සමත් වූයේ නැත. ඔහු ආණ්ඩුව අතහැර යෑමට බලපෑවේ රට නොව, පෞද්ගලික හේතුය. ඔහු ඒ ගමන සඳහා ශක්තිමත් වටපිටාවක් ඇති කරගැනීමට රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව දක්ෂ ලෙස ප්‍රයෝජනයට ගත්තේය. අවසානයේ අභ්‍යන්තර කැරැල්ලක් සඳහා පළමු වෙඩි මුරය තැබීමට තරම් ඔහු නිර්භීත වුවත්, අය වැයට ඡන්දය දෙන අවස්ථාව වන විට අය වැයට එරෙහිව ඡන්දය දීමට අවශ්‍ය කරන නිර්භීතභාවය ආරක්ෂා කරගැනීමටවත් ඔහු සමත් නොවීය.
මේ අවස්ථාවේදී අය වැයෙන් ජය ලැබූ අය සේ ම පරාජිතයන් සිටින්නේ ද අවුල් ජාලාවකය.
අය වැය ආශ්රයෙන් මතුවී මේ වන විට නිමවී ඇති දේශපාලන අර්බුදය විසින් රටේ දේශපාලන ක්‍රමය කුණුවී තිබෙන තරම රටට මනා ලෙස පෙන්නුම් කර දුන්නේය.
මීට පෙර ද මෙම තීරයෙන් පෙන්වා දී ඇති පරිදි මේ දේශපාලන ක්‍රමය තුළ ජනාධිපතිවරණයකදී මිස ජනාධිපතිවරයෙකු බලරහිත කිරීමේ හැකියාවක් නැති අතර, මහ කුණාටු ඇති කළ හැකිමුත් එම කුණාටුවලට ජනාධිපති පරාජය කළ හැකිවන්නේ නැත. දේශපාලන ක්‍රමය ගොඩනගා තිබෙන ස්වභාවය අනුව විරුද්ධ පක්ෂ බෙලහීන කරන ප්රතිපත්තියක පිහිටා ක්‍රියා කිරීමට ජනාධිපතිට සිදුවන අතර, අනෙක් අතට ප්රතිපක්ෂ නායකයා වශයෙන් ජනාධිපති බෙලහීන කිරීමට තමන්ට කළ හැකි හැම දෙයක්ම කිරීමට විරුද්ධ පක්ෂවලට සිදුවන්නේය. මෙම දේශපාලන ක්‍රමය තුළ ආණ්ඩු පක්ෂයට හා විරුද්ධ පක්ෂයට අන්‍යොන්‍ය අවබෝධයකින් ක්‍රියා කළ නොහැකිය.
අය වැය පරාජය කිරීම මගින් ආණ්ඩුව විසුරුවා හරින තැනකට පත් කළ හැකි බවට පැවති විශ්වාසය ද මනෝරාජිකය. විසර්ජන කෙටුම්පත් පනතක් පරාජය වීමෙන් පසු ආණ්ඩුව වහා ඉල්ලා අස්වන තත්ත්වයක් පැවතියේ ඇන්ග්ලෝ – සැන්සන් පන්නයේ ව්‍යවස්ථා පවත්නා රටවල පමණය. 1978ට පෙර එය අපට ද අදාළ විය. එහෙත් 1978 ව්‍යවස්ථාවෙන් පසු ඒ ක්‍රමය තවදුරටත් අප රටට අදාළ නැත. රනිල් වික්‍රමසිංහ මහතා සිය මාමාගේ ව්‍යවස්ථාව පවා හරියාකාරව හදාරා ඇති බවක් පෙනෙන්නට නැත.
ඒ පිළිබඳ ව්‍යවස්ථාවේ 70 (1) ඈ වගන්තිය මෙසේය.
““පාර්ලිමේන්තුව විසින් විසර්ජන කෙටුම්පත ප්‍රතික්ෂේප කරනු ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු නොලැබූ අවස්ථාවක ඊළඟ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය.””
මෙම ව්‍යවස්ථාව අනුව අය වැය ලේඛනයක් පරාජය වීමෙන් පසුත් ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු නැත. විසුරුවා හැරිය යුත්තේ දෙවැනි අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු එය ද පරාජය වන්නේ නම් පමණය.
ඒ ගැන මෙම විෂයයට සිටි ලොකුම විශාරදයා ලෙස සැලකිය හැකි ඇන්.ඇම්. පෙරේරා කර තිබෙන විග්‍රහය මෙසේය.
““අනික් අතට ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති විසර්ජන කෙටුම්පත පරාජය කළ ද, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා බැඳී නැත. එනමුත් ඉන්පසු එන විසර්ජන කෙටුම්පත ද පරාජය කළහොත් ඔහු විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය. මෙම වගන්තියේ ගැලපීම් එතරම් පැහැදිලි නැත. එයින් අදහස් කරන්නේ කෙටුම්පත දෙවැනි වරටත් පරාජය කිරීමද? එසේ නම් ඒ සඳහා කාලපරිච්ඡේදයක් නියමව ඇත්තේද? එය නියම ආකාරයෙන්ම පෙර ඉදිරිපත් කළ කෙටුම්පතම විය යුතුද? කෙසේ වුවද මෙහි ගැබ්ව ඇති තර්කය අපට තේරුම් ගත නොහැකිය. ඇන්ග්ලින්- සැන්සන් ව්‍යවස්ථාව පවත්නා සෑම රටකම විසර්ජන කෙටුම්පත පරාජය වීම නිසා රජය ඉල්ලා අස්වන්නේය. ඉන් ඉක්බිතිව පාර්ලිමේන්තුව ද අගමැතිගේ උපදෙස් පිට විසුරුවා හරිනු ලැබේ. අලුත් ව්‍යවස්ථාවෙන් විසර්ජන කෙටුම්පතින් පරාජය ලැබූ ආණ්ඩුවකට විරුද්ධ පක්ෂය හා සමග පස්සා දොරෙන් කරනු ලබන සාකච්ඡා මාර්ගයෙන් බලයේ සිටීමට තවත් වරයක් දී තිබේ. මෙය අපේ දේශපාලන ආයතන හා සම්බන්ධ අරුචිවුවත්, වංකවූත් ලක්ෂණයකි. මෙය පනවා ඇත්තේ සෑම කෙනෙකු වෙතම තැබිය හැකි මිලක් ඇතැයි යන නින්දාශීලී හැඟීම මතද? වෙනත් කිසිදු ව්‍යවස්ථාවකට සාධාරණ නොවන මෙම වගන්තිය පිළිබඳ වෙනත් විග්‍රහයක් කළ නොහැකිය.””
(ඇන්.ඇම්. පෙරේරා – ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විවේචනාත්මක විශ්ලේෂණයක් 58 වැනි පිටුව.)
මන්ත්‍රීවරුන් විකිණීමේ හා මිලදී ගැනීමේ කැත සම්ප්රදාය මෙම දේශපාලන ක්රමයේම නියත ලක්ෂණයක් බව ඇන්.ඇම්. පෙරේරා නව ව්‍යවස්ථාව ප්‍රකාශයට පත්වූ වහාම උණු උණුවේ කර තිබෙන මෙම විශ්ලේෂණය අනුව ද හොඳින් පෙනී යයි.
රනිල් වික්‍රමසිංහ ප්රමුඛ විරුද්ධ පක්ෂය අය වැයේදී ආණ්ඩුව පරාජය කිරීමේ මෙහෙයුම සැලසුම් කොට ඇත්තේ අඩුම වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව හරි අවබෝධයකින් පවා තොරව බව ද ඉන් පෙනී යයි. මෙම අය වැයේදී අර්බුදයට ගියේ ආණ්ඩුව හා නිල විරුද්ධ පක්ෂය පමණක් නොවේ. එම පක්ෂ දෙකටම වෙනස් තුන්වැනි ව්‍යාපාරයක් ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ ද අර්බුදයට ගියේය.
ජවිපෙට ආණ්ඩුවට එරෙහිව ඡන්දය දීමට අවශ්‍ය වුවත්, ආණ්ඩුව පරාජය වීමට හේතුවන ලෙස ඡන්දය පාවිච්චි කිරීමට අවශ්‍ය නොවීය. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂා කිරීමට අවශ්‍ය වූ නිසා නොව, ආණ්ඩුව පරාජය වී පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දයකට ගිය හොත් එම පක්ෂයට හිමි ආසන සංඛ්‍යාව වාෂ්ප වන තත්ත්වයක් ඇති වන බව දැන සිටි නිසාය. ඒ නිසා ඇත්තට වෙන්න යන දේ බලාගෙන තමන් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම නිසා ආණ්ඩුව නොපරදින්නේ නම්, පමණක් ආණ්ඩුවට එරෙහිව ඡන්දය දෙන තැනකට යන්නට සිදුවූයේය. ඊට වඩා දේශපාලන අවස්ථාවාදයක් තවත් තිබිය හැකිද?
ආණ්ඩුව අය වැය අර්බුදය ජයගත්තේය. ඊළඟ මැතිවරණය තෙක් අභියෝගයකින් තොරව කටයුතු කරගැනීමේ නිදහස ආණ්ඩුවට ලැබෙනු ඇති බවක්, ඉන් අදහස් වන්නේ නැත. දැන් තිබෙන තත්ත්වය අනුව තුන්වැනි වර කියවීමේදී අයවැයේදී ආණ්ඩුව පරාජය කිරීමට එජාප උපරිම උත්සාහයක යෙදෙනු ඇත්තේය. මංගල සමරවීර මහතාගේ ගණන් බැලීම අනුව දැන් ජවිපෙ අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කර ඇති නිසා තුන්වැනි වර කියවීමේදී ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා හැර පක්ෂව ඉඳීමට හෝ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමේ හෝ හැකියාවක් නැත. ජවිපෙ මෙම ස්ථාවරය නිසා ආණ්ඩුව කෙරෙහි කලකිරී සිටින ආණ්ඩු පක්ෂයේ පිරිස් ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කරන තැනකට ගැනීම පහසු වනු ඇති බව මංගලගේ මතය වී තිබේ. ආණ්ඩුව පරාජය කිරීමට ආණ්ඩු පක්ෂයෙන් අවශ්‍ය ගණන අටක් වුවත්, ඒ අට සොයා ගැනීම එතරම්ම සරල හෝ පහසු නැත. අනෙක් අතට අලුතෙන් අටක් සොයාගත යුත්තේ ද තිබෙන ප්‍රමාණය ආරක්ෂා කර ගනිමිනි. තුන්වැනි වර කියවීමේදී ආණ්ඩුව පරාජය කිරීමට විරුද්ධ පක්ෂය සමත් වුවහොත් ආණ්ඩුව අලුත් වටයක අර්බුදයකට තල්ලු වී යනු ඇතත්, තරගයේ වැඩි වාසි තිබෙන්නේ විධායක බලය ඇති පක්ෂයට මිස, විපක්ෂයට නොවේ. මහින්ද රාජපක්ෂ පාලනය අවසානයේ පරාජය කරනු ලැබුවත්, මේ දේශපාලන ක්‍රමය තිබෙන තෙක් තිබුණු පාලකයන්ට වෙනස් ගුණාත්මක පාලනයක් ලබාගැනීමේ හැකියාවක් ද නැත. තිබෙන දේශපාලන ක්‍රමය එසේ තිබියදී විටින් විට ආණ්ඩු වෙනස් වනු ඇතත්, රටට ඉන් සිදුවිය හැකි යහපතක් නැත. •