ඉදිරි අයවැයේදී විරුද්ධ පක්ෂයට අයවැය පරාජය කිරීමේ හැකි යාවක් නැති බව දැන් ඉතා පැහැදිලිය. එහෙත් මංගල ශ්‍රීපති කණ්ඩායම සමග එක්සත් ජාතික පක්ෂ සන්ධානයක් ඇති කරගැනීමෙන් පසු එම සන්ධානය රටට කීවේ ඉදිරි අයවැයේදී තමන් ආණ්ඩුව පරාජය කරන බවය. ආණ්ඩු පක්ෂයෙන් බිඳී ආ මන්ත්‍රීවරුන් දෙදෙනාට අතිවිශාල පිළිගැනීමක් හා අනාගත බලයත් ලැබෙන ආකාරයට එක්සත් ජාතික පක්ෂය වැනි විශාල පක්ෂයක් සන්ධානයක් ගොඩනැගීමෙන් පෙන්නුම් කෙරුණේ අයවැයේදී ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය අතිරේක බලය මංගල-ශ්‍රීපති දෙපළ විසින් ලබාදෙනු ඇතිය යන විශ්වාසය මත පිහිටා එජාප නායකයා එවැනි සන්ධානයක් ඇති කරගත් බවය.
එහෙත් තවමත් මංගල ශ්‍රීපති දෙපළට ආණ්ඩු පක්ෂයෙන් සැලකිය යුතු තරම් විශාල කණ්ඩායමක් තබා එක පුද්ගලයෙකුවත් ගෙන ඒමට හැකිවී නැත. අනෙක් අතට ඒ අරමුණ සඳහා ජවිපෙ සහාය දිනාගැනීමට ද හැකිවී නැත.
එයින් පෙන්නුම් කෙරෙන්නේ එජාප නායකයාට සේ ම මංගල ශ්‍රීපති දෙපළට ද හරි දේශපාලන තක්සේරුවක් නොතිබුණු බවය. ඒ දෙදෙනා තමන්ට නැති ශක්තියක් එජාප නායකයාට මවා පෙන්වූහ. එජාප නායකයා ද ඒ දෙදෙනාගේ කීම් බස්වලට මුළාවී තමන් සමග එකට වැඩ කරන සියලු දෙනා මොහොතකට අමතක කොට, පසුව පැමිණි අඟට අතිවිශාල වැදගත්කමක් ලබා දුන්නේය.
එජා නායකයා ඉක්මන් ආණ්ඩු පෙරළියක් සඳහා විටින් විට දින ප්‍රකාශ කරන විට එවැනි ප්‍රකාශ අපගේ හාස්‍යයට හේතුවූයේ එජාපයේ හෝ එම පක්ෂයේ නායකයා සමග තිබෙන විශේෂ තරහක් නිසා හෝ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි තිබෙන විශේෂ කැමැත්තක් නිසා නොව, ජේ.ආර්. ජයවර්ධන විසින් ඇති කර තිබෙන ක්‍රමය තුළ බලයට පත්වන පාලකයා ධුර කාලය අවසානයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයකදී හැර අතරමගදී පරාජය කිරීම එතරම්ම සරල හෝ පහසු දෙයක් නොවන නිසාය. මෙම ක්‍රමය දූෂිත හා කිසියම් වසර ගණනාවක් සඳහා වන ඒකාධිපති ක්‍රමයක් වුවත්, ධුර කාලයේ සිටින සීමිත කාලය සඳහා වුවත් පාලකයාට පරම බලය ලබාදෙන මෙම ක්‍රමය වෙනස් කරනවා දකින්නට රනිල් වික්‍රමසිංහ මහතා කැමති නොවීය. ක්‍රමය තිබෙන ලෙසම ආරක්ෂා කරගනිමින් කවදා හෝ පරම බලය භුක්ති විඳීම රනිල් වික්‍රමසිංහ මහතාගේ ද අපේක්ෂාව විය.
චන්ද්‍රිකාගේ ධුර කාල දෙකින් පසු තමන් ජනාධිපති වීම නොවැළැක්විය හැකිවනු ඇති බව ඒ මහතාගේ විශ්වාසය වී තිබුණි. ඒ නිසා ජනාධිපති ධුරයේ තටු කැපීමට දරන හැම උත්සාහයක්ම පරාජය කිරීමට ඔහු ද උනන්දුවෙන් දායක වූයේය. අඩුම වශයෙන් තමන්ගේ වාරය තමන්ට අහිමි වී ඒ තැනට මහින්ද රාජපක්ෂ පත්වීමෙන් පසුව වත් ක්‍රමය වෙනස් කරගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට ඔහු අසමත් විය. අවසාන විග්රහයේදී රනිල් වික්‍රමසිංහ මහතා ද දැන් සිය මාමා ඇති කළ ක්‍රමය විසින් බිලිගනිමින් තිබෙන අසරණ බිල්ලක් බවට පත්වෙමින් තිබේ.
ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් අතර අතෘප්තියෙන් පසුවන පිරිසක් සිටිය හැකි වුවත්, තිබෙන අතෘප්තිය නිසා පමණක් ඔවුන් මේ මොහොතේ එජාපයට හෝ මංගල කණ්ඩායමට එකතුවන්නේ නැත. ඔවුන් ධුර කාලය සම්පූර්ණ කිරීමට කැමතිය. වසර 05 සම්පූර්ණ කිරීමෙන් පසු ලැබෙන තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාගැනීමට කැමතිය.
ජේවීපී සතුටු කිරීම සඳහා එජාප ෆෙඩරල් විසඳුමක් සඳහා තමන් දරන ස්ථාවරය ද අත්හළේය. එහෙත් ඒ මගින් හෝ ජවිපෙ තමන්ගේ අරමුණට එකතු කරගැනීමට හැකිවූයේ නැත. අවසානයේ ඒ නිසා සිදුවූයේ සුළු ජාතීන් අතර එජාපයට තිබුණු විශ්වාසය හා පිළිගැනීම ද අහිමි කර ගැනීමය.
ජවිපෙ සිටින්නේ ද අර්බුදයකය. ආණ්ඩු පක්ෂයට හෝ විරුද්ධ පක්ෂයට එකතු වන ක්‍රියාමාර්ගයක් ජවිපෙ දෙකඩ කිරීමට හේතුවිය හැකිය. දෙකඩ වීමක් ඇතිවීම වළකා ගැනීමට තිබෙන හොඳම ක්‍රමය ආණ්ඩු පක්ෂයටත් නැති විපක්ෂයටත් නැති ස්ථාවරයක පිහිටා ක්රියාකිරීමය. ඔවුන්ට ඒ දෙකටම නැති පැහැදිලි තුන්වැනි විසඳුමක් ද නැත. ඔවුන් ද දැන් සිටින්නේ අන් සියලු දේශපාලන පක්ෂ මෙන් දියවී යන්නන්ගේ ගොඩේය.
අයවැයෙන් පසු එජාප තුළ අර්බුද ඇතිවීම නොවැළැක්විය හැකි වනු ඇත. මංගලට හා ශ්රීපතිට ලැබී තිබෙන පිළිගැනීම වාෂ්ප වී එජාපය ද කැබිලි වන තත්ත්වයක් ඇතිවිය හැකිය. අවසානයේ දේශපාලන ලෝකයේ බලවතුන් ලෙස ඉතිරි වනු ඇත්තේ දකුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් හා උතුරේ ප්‍රභාකරනුත් පමණය.
නැවත ජේ.ආර්. ජයවර්ධන යුගයේ මෙන් විපක්ෂය කැබලි වී ආණ්ඩුව ශක්තිමත් වී අසමතුලිත ආණ්ඩු පක්ෂයක් හා විපක්ෂයක් මතුවීමට නියමිතය.
මහින්ද රාජපක්ෂ මහතා ප්රතිපක්ෂවලින් එල්ල වන අභියෝග පහසුවෙන් ජයගනු ඇතත්, ගරා හැලෙමින් තිබෙන දේශපාලන ක්‍රමය විසින් මතු කරන අර්බුද විසින් වටලනු ලැබූ ආණ්ඩුවක තත්ත්වයකට පත්වනු ඇත. මුහුණ දෙන්නට සිදුවන ගැටලු අතර ප්‍රධානම වනු ඇත්තේ ආර්ථික තලයේ, සුළු ජාතික සම්බන්ධතා තලයේ හා ජාත්‍යන්තර තලයේ මතුවන අභියෝගයන්ය. එම සාධක අතරිනුත් ප්‍රධාන වනු ඇත්තේ ආර්ථික තලයයි.
මේ හැම ප්‍රශ්නයක්ම එකකට එකක් ඈඳුණු එකම ප්‍රශ්නයක කොටස් ලෙස සැලකිය හැකි අතර, දැන් ශ්‍රී ලංකාව රටක් වශයෙන් සිටිනුයේ දේශපාලන ක්රමයේ මූලික වෙනසක් ඇති කිරීමෙන් තොරව ඒ එකඳු අභියෝගයක්වත් ජයගත නොහැකි තැනකය.
අයවැයෙන් පසු ජනාධිපතිවරයා තමන්ට ලැබෙන්නට නියමිත විශාල බලය තුළ ක්රමයේ මූලික වෙනසක් ඇති කරන තැනකට නොගොස් මුහුණ දෙන්නට සිදුවන ගැටලුවලට අධිකාරිවාදී ස්වරයකින් ප්‍රතිචාර දක්වන පිළිවෙතක් අනුගමනය කරන්නට ගියහොත් රට ආඥාදායක පාලනයකට හෝ අරාජිකත්වයකට තල්ලු වී යා හැකිය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බටහිර රටවල් සමග ඇති කරගෙන තිබෙන මතභේද අනවශ්‍ය ලෙස දුරදිග යන ලෙස ක්‍රියා කළහොත් රටක් වශයෙන් අප හිර කරන තැනකට යෑමේ අනතුරක් පවතින බව අමතක නොකළ යුතුය. යුදමය වටාපිටාවක් තුළ හැම දෙයක්ම සාමාන්‍ය වටාපිටාවක් තුළ සිදුවන ආකාරයට සිදුවිය නොහැකිය. එහෙත් යුදමය වටාපිටාවක් තුළ සිදුවන වැරදි අවම කරන ලෙස කරන බලපෑම්වලදී අප ඉවසීමෙන් තොරව කෝපයෙන් ප්‍රතිචාර දක්වන තැනකට ගියහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බටහිර රටවල් ශ්‍රී ලංකාව පසමිතුරු තත්ත්වයකින් සලකන තැනකට තල්ලු වී යා හැකිය. ඔවුන් තුළ එවැනි ආකල්පයක් ඇතිවන්නට ඉඩදීම රටේ යහපතට හේතුවන්නේ නැත. අප ඔවුන් ඉදිරියේ දීනව වැඳ වැටෙන තැනකට යායුතු නැතත්, අනවශ්‍ය ලෙස රණ්ඩු කරන තැනකට ද යා යුතු නැත. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ද භූ යථාර්ථය නොසලකා ඉන්දියාව සමග රණ්ඩු කරන තැනකට ගියේය. අවසානයේ ඒ වෙනුවෙන් රටට විශාල වන්දියක් ගෙවන්නට සිදුවිය. දැන් කලාපීය බලවතා වෙනුවට ලෝක බලවතුන් සමග අනවශ්‍ය ලෙස රණ්ඩු කරන තැනකට ශ්‍රී ලංකාව යොමුවී තිබේ. එය දුරදිග ගියහොත් වඩා විශාල වන්දියක් ගෙවිය යුතු තැනකට අප පත්විය හැකිය. අවශ්‍ය නම් අපගේ අපනයන භාණ්ඩ මිලදී ගැනීම තහනම් කරන තැනකට වුවත් ඔවුන්ට යා හැකිය. ගුවන් ගමන් පවා තහනම් කළ හැකිය. අපට වඩා වැදගත් වනු ඇත්තේ ඔවුන් විසින් අප සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සාධාරණ ද නැද්ද යන්න නොවේ. ඒ ගනු ලබන තීරණ රටේ පැවැත්ම කෙරෙහි ඇති කරන බලපෑමේ ප්‍රමාණයයි. •