අධිකරණය කොයිබට ද?

October 29, 2026
Publication:
The Judicial Service Commission, headed by the chief justice, has told an Appeal Court judge to retire over misconduct charges — and it has no such power, which belongs to parliament. Ivan asks whether the commission did not know, and if it did, why it claimed a power it does not have. The charges are serious; the answer is a parliament that does its own job.

විෂමාචාර චෝදනා මත අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකුට සේවයෙන් ඉවත් වී විශ්‍රාම ගන්නා ලෙස අගවිනිසුරු ප්‍රමුඛ අධිකරණ සේවා කොමිසම විසින් දැනුම් දී ඇති බව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විනය පාලන බලයක් අධිකරණ සේවා කොමිසමට නැත. ඒ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට ය. අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු සම්බන්ධයෙන් එසේ ක්‍රියා කිරීමේ බලයක් තමන්ට නැති බව අධිකරණ සේවා කොමිසම හා අගවිනිසුරු නො දැන සිටියේ ද? දැන සිටියේ නම් තමන්ට නැති ව්‍යවස්ථාමය බලයක් තමන් වෙත ආරෝපණය කරගැනීමට උත්සාහ කළේ ඇයි?

මෙම විනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා ඉතා බරපතළ ය. නඩු කටයුතුවලදී පහළ විනිසුරුවරුන්ට බලපෑම් කිරීම එක් චෝදනාවකි. ඔහුගේ ඉල්ලීම් පහළ අධිකරණවල විනිසුරුවරුන් ප්‍රතික්ෂේප කරන අවස්ථාවල දී එම නඩුවල අභියාචනා තම උසාවියට ගෙන්වා ගෙන තමන් ඉදිරියේ විභාගයට ගෙන තමන්ට අභිමත තීන්දු ලබා දී ඇති බව තවත් චෝදනාවකි. තමන්ගේ ආරක්ෂක නිලධාරීන් හා කාර්යාලයේ විවිධ තරාතිරම්වල සේවකයන්ට පහරදීම තවත් චෝදනාවකි.

මෙම විනිසුරුවරයා පහළ අධිකරණයක විනිසුරුවරයෙකු නො ව, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකි. මෙම චෝදනා සත්‍ය නම් මෙම විනිසුරුවරයා සැලකිය යුත්තේ විනිසුරුවරයෙකු ලෙස නො ව, අධම ගණයේ පුද්ගලයෙකු ලෙස ය. එවැනි අධම ගණයේ පුද්ගලයෙකු අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු දක්වා බාධාවකින් තොර ව ඉදිරියට ආවේ කෙසේ ද?

අප දන්නා තරමින් මෙම විනිසුරුවරයාට දශකයට ආසන්න කාලයක් තිස්සේ විෂමාචාර චෝදනා එල්ල විය. ඒ බව අධිකරණ නායකයෝ ද දැන සිටියහ. යාලු මිත්‍රකම් හේතු කොටගෙන චෝදනා තිබියදීත් උසස්වීම් ලැබුණි. මොන හේතුවක් නිසා හෝ යාලු මිත්‍රකම් අහෝසි වූ විට ඔහුට එරෙහිව අලුත් චෝදනා සමග පරණ චෝදනා එළියට ගනිති.

අධිකරණයේ පවතින මෙම විෂම තත්ත්වයට පාර්ලිමේන්තුව ද වගකිව යුතු ය. අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විනය පාලන වගකීම පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවට නම් එම උසස් අධිකරණ දෙකේ විනිසුරුවරුන්ගේ ක්‍රියාකාරකම් ගැන සොයා බැලීමේ වගකීමක් පාර්ලිමේන්තුවට ඇත්තේ ය. එහෙත් පාර්ලිමේන්තුව එම වගකීම නිසියාකාරව ඉටුකර නැත.

තමන්ගේ නඩු තමන් නො ඇසිය යුතුය යන්න පිළිගත් මූලධර්මයකි. එහෙත් අපට ඇත්තේ කිසිම ලැජ්ජාවකින් තොරව තමන්ගේ නඩු තම පවුලේ නඩු හා තම හිතවතුන්ගේ නඩු අසන අධිකරණයකි. සාධාරණ නඩු විභාගයකින් තොරව පුද්ගලයෙකුට දඬුවම් නොපැමිණවිය යුතු ය යන්න පිළිගත් තවත් මූලධර්මයකි. එහෙත් සාධාරණ නඩු විභාගයකින් තොර ව පුද්ගලයකුට හිරදඬුවම් පැමිණවීම ශ්‍රී ලංකාවේ සුලභ ව සිදුවේ. එහෙත් අධිකරණයේ සිදුවන විෂමාචාර ගැන සොයා බලන්නට කිසි විටෙකත් පාර්ලිමේන්තුව උනන්දුවක් දක්වා නැත. අධිකරණය පාර්ලිමේන්තුවට එරෙහිව වාරණ නියෝගයක් පනවන ලද අවස්ථාවේදී පවා වාරණ නියෝගය බාර ගැනීම ප්‍රතික්ෂේප කළා මිස, නීතියට පටහැනි එම හිතුවක්කාරී ක්‍රියාවට වගකිවයුතු අය නීතිය ඉදිරියට පමුණුවන තැනකට ගියේ නැත. අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් තමන්ට හිතට එකඟව වැඩ කිරීමේ හැකියාවක් නැති බව ප්‍රසිද්ධියේ කියා කොමිසමෙන් ඉවත් වූ සිද්ධියේදී පවා පාර්ලිමේන්තුව නිහඬව බලා සිටියේ ය.

පාර්ලිමේන්තුව තමන්ට ඉටු කළ නො හැකි වගකීම් තමන් වෙත පවරා නො ගත යුතු ය. වගකීම් පවරා ගන්නේ නම් පවරා ගන්නා වගකීම් අකුරට ම ඉටු කළ යුතු ය.

අධිකරණයේ පවතින විෂම තත්ත්වය සොයා බැලීම පාර්ලිමේන්තුවේ වගකීමකි. අධිකරණය ගැන සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන්නේ නම් ඊට ලැබෙන මහජන පැමිණිලි පාර්ලිමේන්තුව අන්දමන්ද කිරීමට හේතුවනු නො අනුමාන ය. අන් සියල්ලට පෙර අධිකරණය ශිෂ්ටසම්පන්න තැනකට ගැනීම පාර්ලිමේන්තුවේ වගකීමකි. •