ව්‍යවස්ථාවේ ගෙල සිඳ මරා වළ ලා දමා නීතියේ පාලනයක් ගැන වහසි බස් දෙඩීම

October 29, 2026
Publication:
The opposition leader told parliament that 150 crores had been moved between heads without its approval, and set out parliament's constitutional control of public money. Ivan agrees the act was unlawful and asks who buried the constitution in the first place: the killing was done, he writes, when the 17th Amendment was implemented, and the government, the opposition and the courts are equally answerable for it.

එක්සත් ජාතික පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 19 වැනිදා පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කළේය. ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවට මූල්‍ය පහසුකම් සැලසීම සඳහා වෙනත් ශීර්ෂයකට අයත්ව තිබූ රුපියල් කෝටි 150ක මුදලක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් තොරව නීති විරෝධී ලෙස මාරු කිරීමේ සිද්ධියක් ඔහු පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළේය. මෙම ක්‍රියාව පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් උල්ලංඝනය කිරීමක් බව කියමින් ඒ මගින් පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කර ඇති බව ඔප්පු කිරීම සඳහා රජයේ මුදල් පාලනය පිළිබඳව පාර්ලිමේන්තුවට ලැබී තිබෙන බලතල සනාථ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණක් නො ව, පාර්ලිමේන්තුවට ලැබී තිබෙන එම බලය පැහැදිලි කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් ද උපුටා දැක්වීය.

පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමකින් තොරව සිදුකර තිබෙන මෙම ක්‍රියාව නීති විරෝධී ක්‍රියාවක් බව ඔප්පු කිරීමට අවශ්‍ය කරුණු ගෙනහැර දැක්වීමෙන් නොනැවතී ඒ මගින් පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කර ඇති බව ද ඔහු කියා සිටියේය.

ඔහු සිය ප්‍රකාශනය අවසානයේදී දේශපාලනික වශයෙන් වැදගත් ප්‍රශ්න තුනක් ද රටට ඉදිරිපත් කළේය.

ආණ්ඩුව ක්‍රියාකරන්නේ සම්මත නීති රීතිවලට පටහැනිව බව ප්‍රකාශ කරමින් එම අත්තනෝමතික ක්‍රියාකලාපයේ ප්‍රතිඵලය “ශ්‍රී ලංකාව අවනීතියේ දේශයක්”, “අයුක්තියේ දීපයක්” හා “අසාධාරණයේ භූමියක්” බට පත්වීම බව ද ඔහු කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය ප්‍රකාශය අවසානයේ මතු කරන ලද ප්‍රශ්නය වූයේ ““අප පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය හා ස්වෛරීභාවය ආරක්ෂා කරනවාද? නැතිනම් අයුක්තියේ අසාධාරණයේ හා අයුක්තියේ මෙවලමක් බවට පාර්ලිමේන්තුව පත් කරනවාද යන තීරණාත්මක ප්‍රශ්නයයි.

රනිල් වික්‍රමසිංහ මහතා එම අර්ථවත් හා හැඟීම්බර ප්‍රකාශය කරන ලද්දේ තමන් ද ඇතුළුව රටේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම ලෙස සැලකිය හැකි හිටපු රාජ්‍ය නායිකාව වන චන්ද්‍රිකා කුමාරතුංග, වර්තමාන රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ෂ, ජවිපෙ විමල් වීරවංශ, ජාතික හෙළ උරුමයේ චම්පික රණවක, මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීම්, දෙමළ සන්ධානයේ සිවසිත්තම්බරම්, වතු කම්කරු කොංග්‍රසයේ තොණ්ඩමන් යන නායකයන්ගෙන් සමන්විත දේශපාලන කණ්ඩායම් එකට එකතු වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භූමිදානය කළ සොහොන් කොත මත හිඳගෙනය.

රටක නීතියේ පාලනයක් තිබිය හැක්කේ මූලික නීතියක් ඇත්නම් පමණය. එංගලන්තයට ලිඛිත මූලික නීතියක් නැතත්, මූලික නීතිය ලෙස සැලකෙන මූලධර්මවලින් යුතු සම්ප්‍රදායක් පවතී. එහෙත් අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමින් හැඳින්වෙන ලිඛිත මූලික නීතියක් තිබුණි. එහි නිවැරදි කරගත යුතු වැරදි හා අඩුපාඩුකම් තිබුණා විය හැකිය. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඟපසඟ තලා බෙල්ල හිර කොට මරා වළලා දමා එම සොහොන් කොත මත හිටගෙන නීතියේ පාලනයක් ගැන කතා කිරීම තරම් විහිළුවක් තවත් තිබිය හැකිද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගෙල හිරකොට මරා දැමීම තනි පුද්ගලයෙකු විසින් කරන ලද සාහසික ක්‍රියාවක් නොවීය. එය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ අධිකරණය ද සහාය කරගනිමින් හවුලේ රංචු ගැසී කරන ලද සාහසික ක්‍රියාවක් විය. එම සාහසික ක්‍රියාවට නීතියේ පාලනයක් ගැන අද ලස්සන කතා කියන රනිල් වික්‍රමසිංහ මහතා ද දායක විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම මන්ත්‍රීකම් අහිමි කරගැනීමෙන් තොරව තමන් තේරී පත්වූ පක්ෂය අතහැර තවත් පක්ෂයකට මාරුවිය නොහැකිය. එහෙත් දැන් දීර්ඝ කාලයක් තිස්සේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු මන්ත්‍රී ධුර අහිමි කරගැන්මකින් තොරව පක්ෂ මාරු කරති. අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ට පවන් සලන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකරන්නේ දැන් දීර්ඝ කාලයක සිටය. එජාප සිය පාලන යුගයේදී එම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලිය එක විධියකටත් පොදු පෙරමුණු පාලන යුගයේදී එම ක්‍රියාව තවත් විධියකටත් ක්‍රියාත්මක කළේය. ද්විත්ව පාලනයකට මුල පුරමින් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ආණ්ඩුවක් පිහිටුවූ අවස්ථාවේදී ඒ දේ වෙනස් විධියකට ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් කරළියට ගැනීමට සැලසුම් කොට ඒ සඳහා අධිකරණය සමග පස්සා දොරෙන් ගනුදෙනු කරන තැනකට ද ගියේය. එහෙත් අධිකරණය රනිල් වික්‍රමසිංහ මහතාට කොකා පෙන්නීම නිසා සමස්ත වැඩපිළිවෙළ අත්හැරීමට රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවූයේය. ඉන්පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී හෙළ උරුමයෙන් තේරී පත්වූ මන්ත්‍රී හාමුදුරුවරු කණ්ඩායමෙන් පිරිසක් ආණ්ඩු පක්ෂයට ගැනීම සඳහා ජවිපෙ නායකයන් කලඑළියේම ක්‍රියා කළේය. පක්ෂ මාරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ඔවුන් නොදැන සිටියා විය නොහැකිය. ජවිපෙ නන්දන ගුණතිලක සිය පක්ෂයෙන් නෙරපා හැර ඇතත්, ඔහුට මන්ත්‍රී ධුරය අහිමි කිරීමට ඔවුන් උනන්දුවක් නොදක්වන්නේ ඇයි? එය භූමරංගයක් විය හැකි බව ඔවුන් දන්නා නිසාය.

ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් තෝරාපත් කරගත යුතු ආකාරය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබාදී තිබේ. ඒ අනුව ජාතික ලැයිස්තුවට නම් ඇතුළත් නැති පිටස්තරයන් මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීම නීති විරෝධිය. මෙම අර්ථ නිරූපණය මත පදනම් වී රත්නසිරි වික්‍රමනායක මහතාගේ පත්වීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නඩුවක් පැවරුවේය. ඒ නඩුවට සිදුවූ දේ දන්නේ දෙයියෝම පමණය.

මුලින් සිදුවූයේ මේ සියලු දෙනා එකට එකතු වී පහරදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතපය කැඩීමය. එහි ගෙල හිරකොට මරා දැමීම සිදුවූයේ පසුවය. මේ නම්බුකාර සියලු දෙනා එකට එකතු වී මූලික නීතියේ ගෙල හිරකොට මරා දැමීම සිදු කරන ලද්දේ 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදීය.

මූලික වැදගත්කමක් ඇති රාජ්‍ය ආයතන දේශපාලනකරණයෙන් මුදාගැනීමේ අරමුණින් ව්‍යවස්ථාදායක සභාවක් යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක අවශ්‍යතාව පළමුවෙන් අවධාරණය කළේ ද ඒ සඳහා වන කෙටුම්පතක් සකස් කරන ලද්දේ ද විද්වත් වෘත්තිකයන්ගේ සංගමය මගිනි. එම වැඩපිළිවෙළේ නිර්මාතෘවරයා වන එල්මෝ පෙරේරා දැන් විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති ධුරයට පත්ව සිටී.

මෙම යෝජනාවලියට ලබාගන්නට නියමිතව තිබූ මහජන ආකර්ශනය නිසා එජාපය එය තමන්ගේ අතට ගත්තේය. මූලික පරමාර්ථය මරා දැමෙන ආකාරයට ඒ නමින්ම තමන්ගේම කෙටුම්පතක් සකස් කරගත්තේය. ඒ මගින් කරන ලද විකෘතිය ගැන කෑගසන්නට වූ විට නැවත පැරණි කෙටුම්පත තෝරා ගත්තේය.

මේ අතර ජවිපෙ ද ශ්‍රීලනිප සමග ඇති කරගන්නා ලද පරිවාස ආණ්ඩු වැඩපිළිවෙළේදී ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයට ලැබී තිබුණු ආකර්ශනය නිසා ව්‍යවස්ථා සභාවක් යටතේ ඇති ස්වාධීන කොමිසන් සභා ක්‍රමය ප්‍රධාන කොන්දේසියක් බවට පත්කර ගනිමින් එම වැඩපිළිවෙළට අවශ්‍ය නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය වටපිටාවක් ඇතිකර දුන්නේය. විශාල විකෘති කිරීම් මැද වුවත්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී එම සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම අනුෂාංගික අංගයක් බවට පත්විය.

අතපය කඩා දමා නොමරා මරා දැමූ තත්ත්වයක තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගෙල හිරකොට එය මරා දමන තැනකට ගියේ ඉන්පසුවය. පළමු වටයේදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ස්වාධීන මැතිවරණ කොමිසමක් පත් කිරීම වැළැක්වූවාය. ඒ වරද නිවැරදි කිරීමට එජාප, ජවිපෙ හෝ වෙනත් කිසිම පක්ෂයක් ඉදිරිපත් වූයේ නැත.

ඉන්පසු ජවිපෙ හා දෙමළ සන්ධානය අතර නියෝජකයන් පත්කිරීම අරභයා මතුවූ මතභේදය හේතුවක් කරගනිමින් සමස්ත ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය පොදු එකඟතාවකින් යුතුව මරා දමන තැනකට ගියේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ තත්ත්වය හේතුවක් කර ගනිමින් ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව කොමිෂන් සභාවලට පුද්ගලයන් පත් කළේය. ඒ තත්ත්වය නිවැරදි කිරීමට එජාප, ජවිපෙ හෝ වෙනත් කිසිම දේශපාලන පක්ෂයක් ඉදිරිපත් වූයේ නැත.

මෙම තත්ත්වයට එරෙහිව වරලත් ඉංජිනේරුවකු වූ සී. විශ්වලිංගම් ප්‍රමුඛ විද්වතුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම වැඩිදුර විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කළා පමණක් නොව, මෙවැනි තේරුමක් නැති නඩු මින් මතු අධිකරණය ඉදිරියට නොගෙනා යුතු බවට පෙත්සම්කරුවන්ට අවවාද කළේය.

දැන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියා දෙයක් ජීවතුන් අතර නැත. දැන් එය ඉන්නේ මළවුන්ගේ ලෝකයේය. එය ස්වාභාවික මරණයක් නොවූ අතර, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එකට එකතු වී අධිකරණයේ ද සහාය ඇතිව සාමූහිකව හා චේතනාන්විතව කරන ලද ඝාතනයක් විය. මරා දමන ලද ව්‍යවස්ථාව වළලන ලද්දේ ද පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරවය.

රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මරා වළලා දමා එහි සොහොන් කොත මත අසුන් ගෙන මරා දමන ලද ව්‍යවස්ථාවේ තෝරාගත් ඡේද උපුටා දක්වමින් ශ්‍රී ලංකාව අයුක්තියේ දේශයක්, අයුක්තියේ දීපයක්, අසාධාරණයේ භූමියක් බවට පත්ව ඇති බවට කරන ලස්සන ප්‍රකාශවල ඇති තේරුම කුමක්ද?

නව ව්‍යවස්ථාවක් ඇති කරගැනීමකින් තොරව තිබෙන ව්‍යවස්ථාව මරා දැමූ විට ඒ රට නීතියේ පාලනයක් නැති කැලෑ නීතිය රජ කරන රටක් බවට පත්වේ. නව ව්‍යවස්ථාවක් ඇති කරගැනීමෙන් තොරව තිබෙන ව්‍යවස්ථාව මරා දැමූ විට එම ව්‍යවස්ථාව යටතේ ගොඩ නගා තිබුණු ජනාධිපති ක්‍රමය, පාර්ලිමේන්තුව, අධිකරණය වැනි ආයතන ක්‍රම ද නීති විරෝධී ආයතන බවට පත්වේ. රට අශීලාචාර රටක් බවට පත්වේ. දැන් රට තිබෙන්නේ එවැනි තැනකය. රට ඇද වැටී තිබෙන එම අශෝභන තත්ත්වයට ආණ්ඩුව පමණක් නොව විරුද්ධ පක්ෂ ද අධිකරණය ද සමාන ලෙස වගකිව යුතුය.

මරා වළ ලා තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වුවහොත් එහි ගෙල සිඳ මරා දැමීම චෝදනාවට රටේ ජනාධිපති පමණක් නොව, විරුද්ධ පක්ෂ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ද පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්ෂ නායකයන් සේ ම නීතියේ පාලනයක් ගැන සුරංගනා කතා කියන අගවිනිසුරු ද එම ඝාතන කුමන්ත්‍රණ නඩුවේ වගඋත්තරකරුවන් බවට පත්කරන්නට සිදුවනු ඇත්තේය.•