දූෂිත බවෙන් කුණුවී තිබෙන ශ්‍රී ලංකාව

October 29, 2026
Publication:
The public enterprises committee has reported on twenty more corrupt state institutions, and taken with the first report the conclusion is that the whole state apparatus has rotted. Ivan adds that the bodies set up to suppress corruption are themselves corrupt, and asks what it means if the committee will not look at parliament and its own members — if not that Sri Lanka has become a failed state.

බදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තවත් දූෂිත රාජ්‍ය ආයතන 20ක් පිළිබඳව සිය වාර්තාව ඉදිරිපත් කර තිබේ. පළමු වාර්තාවේ එන තොරතුරු සමග ගත් විට ඇති කරගත හැකි නිගමනය වනුයේ සමස්ත රාජ්‍ය ආයතන ක්‍රමයම දූෂණයෙන් කුණුවී ඇති බව ය. මෙය අපට අලුත් ප්‍රවෘත්තියක් නොවන අතර, අප දරන ලද මතය වූයේ ද ශ්‍රී ලංකා රාජ්‍යය මජර ගලන තරමටම දූෂණයෙන් කුණුවී තිබෙන බව ය. දූෂණය නමැති බූවල්ලාගේ ග්‍රහණයට හසු නොවූ එකදු රාජ්‍යයක් ආයතනයක්වත් නැති තරම් ය. දූෂණය මර්දනය කිරීම සඳහා තිබෙන ආයතන ක්‍රම ද අන්ත දූෂිත ය. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව ද කරුණු සොයා බලන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඇතුළත් පාර්ලිමේන්තුව ද දූෂිත ආයතනයක් ලෙස නම් කිරීමට සිදුවනු නො අනුමාන ය.

ඊට අතිරේකව එම කාරක සභාව ජනාධිපති අරමුදල හා දේශපාලන පක්ෂ ක්‍රමය ගැන ද සොයා බලන්නේ නම් වැදගත් ය. ජනාධිපති අරමුදල ජනාධිපතිවරුන්ට රිසි සේ පරිහරණය කළ හැකි ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික බූදලයක් බවට පත්ව ඇති බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග යුගයේ පමණක් ජනාධිපති අරමුදලේ සිදුවී ඇති දූෂිත ගනුදෙනුවල වටිනාකම කෝටි සිය ගණනක් විය හැකි බව අපගේ විශ්වාසය යි.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විෂය පථයට ඇතුළත් නොවන මුත් දේශපාලන පක්ෂ ගැන ද සොයා බැලීම වැදගත් ය. කිසිම දේශපාලන පක්ෂයක් තම සාමාජිකයන්ට තමන්ට ලැබෙන අරමුදල් හා පක්ෂය කරන වියදම් පිළිබඳව අයවැය වාර්තාවක් පක්ෂ සාමාජිකයන්ට ලබාදෙන්නේ නැත. පක්ෂ අරමුදල් පවතින්නේ පක්ෂ නායකයන්ගේ බූදල් ලෙස ය. මරණාධාර සමිතියක් වැනි ප්‍රාථමික සංවිධානයක් පවා සිය සාමාජිකයන්ට අයවැය ලේඛනයක් ඉදිරිපත් කළ යුතු වුවත්, දේශපාලන පක්ෂ සඳහා එම ධර්මතාව බලපාන්නේ නැත.

මේ මෑත දිනකදී ““දෙරණ”” රූපවාහිනිය සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී වරායේ වියදමෙන් ලක්ෂ ගණනක් වැය කොට සිය මව වෙනුවෙන් ඉදි කළ විදුලි සෝපානයක් ගැන ප්‍රශ්න කළ විට මංගල සමරවීර මහතා එය පිළිගනිමින් කීවේ තමා එම විදුලි සෝපානය ගෙදර ගෙනගියේ නැති බව ය. ඉන් පෙන්නුම් කරන්නේ තමන් විසින් කරන ලද බරපතළ වරදක් සම්බන්ධයෙන් පවා දේශපාලකයන් දක්වන උද්දච්චභාවයේ තරමය. ඒකාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිය පදවියෙන් සමුගන්නට සිටිය දී කැබිනට්ටුව ලවා තමා නමට කෝටි ගණනක් වටිනා ඉඩමක් ලියවා ගත්තාය. එම ගනුදෙනුවට එරෙහිව ඇයට එරෙහිව නඩු පැවරීම හේතු කොටගෙන එම ඉඩම නැවත නාගරික සංවර්ධන අධිකාරියට පවරා දෙනු ලැබූවත්, බලය අයථා ලෙස පාවිච්චි කිරීමේ වරදට එරෙහිව ඇයට දඬුවම් කළේ නැත.

මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් පිළිබඳව ඉක්බාල් අතාස් විසින් කරන ලද හෙළිදරව්වක් නිසා ඔහුට ලබාදී තිබූ ආරක්ෂාව ඉවත් කිරීමේ සිද්ධිය බලවත් කතාබහට හේතුවී තිබෙන මාතෘකාවක් වී තිබේ. ඔහු කියන කතාව සත්‍යයක් නොවේ නම්, එය බොරු කිරීමේ වගකීම දැන් පැවරී ඇත්තේ ආණ්ඩුව වෙත ය. යුද හමුදාවට ආයුධ හා ගුවන් හෝ නාවික ප්‍රහාරක යානා මිලදී ගන්නා විට අතයට ගැසිලි සිදුවී යැයි කියන කතාව අද ඊයේ පමණක් නො ව, හැමදාමත් හැම ආණ්ඩුවක් යටතේම අසන්නට ලැබුණු එකකි. 2000-2005 යන වසර 05 තුළ සිදුවී ඇති ආයුධ මිලදී ගැනීම්වලදී සිදුවී ඇතැයි කියන දූෂණ පිළිබඳව සොයා බලන්නට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත කොමිෂන් සභාවක් පත් කරන ලද අතර, එම කොමිෂන් සභාව එම පරීක්ෂණය අළලා අතුරු වාර්තාවක් පසුගිය නොවැම්බර්වලදී ජනාධිපතිවරයා වෙත බාරදී ඇතත්, තවමත් එය ප්‍රසිද්ධ කර නැත. අපට තිබෙන තොරතුරු අනුව එම වසර පහ තුළ සිදුවී තිබෙන මිලදී ගැනීම්වල දී සිදුවී තිබෙන අතයට ගැසීම් පිළිබඳ විස්තරයක් එම වාර්තාවට ඇතුළත් ය.

මුළු රාජ්‍යයම දූෂිත නම් දූෂිත නොවේ යැයි කිවහැකි එකම තැනක්වත් නැති තරමට රාජ්‍යය දූෂණයෙන් කුණුවී ඇත්නම්, එම අභියෝගය රටක් වශයෙන් අපි ජයගත යුතුව තිබෙන්නේ කෙසේද? එහි තේරුම ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක තත්ත්වයට පත්ව ඇති බව නොවේ ද? •