මගේ ලිපියට පිළිතුරක් දීම මගින් ජනමාධ්‍ය නිදහස පිළිබඳව ඇරඹී ඇති සංවාදය ඉදිරියට ගෙනයෑමට දායකවීම ගැන මම උවිඳුට පළමු කොට ස්තුතිවන්ත වෙමි.
නගා තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට කලින් අප දෙදෙනා අතර පවතින මූලික වෙනසක් පැහැදිලි කිරීමට කැමැත්තෙමි.
මා වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු වන විට උවිඳු වෘත්තීය ජනමාධ්‍ය අද්වකාත්වරයෙකු ලෙස සැලකිය හැකිය. ජනමාධ්‍ය වේදියා ජීවත්වන්නේ ජනමාධ්‍යවේදියකු ලෙස වැඩ කිරීමෙනි. එය ඔහුගේ ප්‍රධාන ජීවන මාර්ගය ලෙස ද සැලකිය හැකිය. එහෙත් ADVOCACY හෙවත් ජනමාධ්‍ය නිදහස “වෙනුවෙන්” පෙනී සිටින අද්වකාත්වරුන් ජීවත්වන්නේ අද්වකාත් සේවාවල යෙදීමෙනි. එය ඔවුන්ගේ ප්‍රධාන ජීවන මාර්ගය වේ. අද ජනමාධ්‍ය නිදහස පිළිබඳ විෂයභාර අද්වකාත්ලා ලෙස සැලකෙන්නේ ඔවුන්ය. ජනමාධ්‍යවේදීන් පුහුණු කරන්නේද, ජනමාධ්‍ය වේදීන්ගේ නිදහසට අදාළ අරගලවල න්‍යාය පත්‍ර සකස් කරන්නේ ද ඔවුන්ය. ඊට අතිරේකව ඔවුන් විදේශ කටයුතු සම්බන්ධීකාරකයින් වශයෙන් ක්‍රියා කරන අතර, ජාත්‍යන්තර වැඩසටහන්වල දේශීය නියෝජිතයන් ලෙස ද ක්‍රියා කරති. මොවුන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්රයට අලුතෙන් එකතු වූ ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකිය. ජනමාධ්‍ය අද්වකාත් සේවය නම්බුකාර රැකියාවකි. ජනමාධ්‍ය වේදියකු උපයන ආදායම මෙන් දෙතුන් ගුණයක ආදායමක් අද්වකාත් සේවයෙන් ඉපැයිය හැකිය. ජනමාධ්‍ය විෂයෙහි හොඳ නරක හා හරි වරද තීරණය කරන්නේ ඔවුන්ය. වර්තමාන ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය විෂය වෙනුවෙන් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ක්‍රියා කරන අද්වකාත් සේවා ආයතන සැලකිය යුතු ගණනක් තිබෙන අතර, ඒවාහි සේවය කරන අද්වකාත්වරු ද විශාල ගණනක් රටේ සිටිති.
හරිහැටි දෙයක් කර නැති බවට මා නගන චෝදනාවෙන් වඩාත්ම කලබලයට පත්ව ඇත්තේ ජනමාධ්‍යවේදීන් නොව, අද්වකාත්වරුන් හා අද්වකාත් සේවා ආයතනයන්ය. උවිඳු කතාකර ඇත්තේ ඔවුන් වෙනුවෙනි.
සිංහ රත්නතුංග නඩුව
සාපරාධී අපහාස නීතියට අදාළව අද්වකාත්වරුන් හා අද්වකාත් සේවා ආයතන කිසිවක්ම කර නැතැයි මම නොකියමි. ඔවුන් විසින් කරන ලද දෙයක් ද ඇත්තේය. එම විෂයේදී අරගල දෙකක් තිබුණේ යැයි කීම වඩා නිවැරදිය. එක අරගලයක් ඇත්ත අරගලයක් වන විට අනෙක් අරගලය හාන්සි පුටු අරගලයක් වී යැයි කිව හැකිය. එක් අරගලයක් සිදුවූයේ මහ පොළොවේය. අනෙක් අරගලය සිදුවූයේ වායු සමීකරණය කළ අලංකාර හෝටල්වල හා ශාලාවලය.
සිංහ රත්නතුංගගේ නඩුවෙන් පසුව සාපරාධී අපහාස නීතියට එරෙහිව හොලිඩේ ඉන් හෝටලයේ සම්මන්ත්‍රණයක් පැවැත්වී යයි කියන කතාව නිවැරදිය. එය එම විෂය ගැන පවත්වන ලද පළමු ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය විය. එය රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සමග පවත්වන ලද සුපිරි සම්මන්ත්‍රණයකි.
එහෙත් සිංහ ඒ යුගයේ සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පවරන ලද පළමු තැනැත්තා නොවීය. එම සම්මන්ත්‍රණය පවත්වන ලද්දේ 1997දීය. ඊට පෙර 1992 සිට ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පවරා තිබිණ. ඒ වන විට මට එරෙහිව ද නඩු විශාල ගණනක් පවරා අවුරුදු ගණනක් තිස්සේ ඒවා විභාගවෙමින් පැවතුණි.
එහෙත් කොළඹ ප්‍රභූ (ෑඛෂඔෑ) පන්තියට මෙම නීතිය බිහිසුණු නීතියක් ලෙස පෙනෙන්නට පටන් ගත්තේ මෙම නීතිය සිංහ රත්නතුංගට එරෙහිව යොදා ගැනීමත් සමගය. රනිල් වික්‍රමසිංහට එය මර්දන නීතියක් ලෙස පෙනෙන්නට වූයේ ද ඒ සමගය.
සිංහගේ නඩුවේ සංවේදීභාවය කෙරෙහි බලපෑ වැදගත් සාධක ගණනාවක් තිබුණි. සිංහ, රංජිත් විජේවර්ධනගේ පුවත්පත් ආයතනයෙන් පළ කරන ඉරිදා ඉංග්‍රීසි පුවත්පතේ කතුවරයා විය. රංජිත් විජේවර්ධන රනිල් වික්‍රමසිංහගේ මාමාය. සිංහ රනිල්ගේ පාසල් මිත්රයෙකි. සිංහ පුවත්පත් කතුවරයෙකු වනවාට අතිරේකව නීතිඥයෙකු ද විය. මේ සියල්ලට අතිරේකව පුවත්පත් ආයතනයේ හිමිකරුවාගේ සංවේදීභාවය කෙරෙහි බලපෑ සැඟවුණු අතිරේක හේතුවක් ද තිබුණි. නඩුවට හේතුවූ අසිතගේ උපන් දින සාදය පිළිබඳ වාර්තාව සිංහ විසින් ලියන ලද්දක් ලෙස ජනාධිපතිනිය විශ්වාස කළද එය ලියා තිබුණේ පුවත්පත් ආයතනයේ හිමිකරුවාගේ පුත්‍රයාය. සිංහට බෙල්ල දෙන්න සිදුවී තිබුණේ පුවත්පත් ආයතනයේ හිමිකරුවාගේ පුතා අතින් සිදුවූ වරදකටය. සිංහ අයිතිකරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ රහස සඟවාගෙන සිටියේය. ඒ නිසා පුවත්පත් ආයතනයේ හිමිකරුවාට ද සිංහගේ ආරක්ෂාව වෙනුවෙන් අතිවිශේෂ උනන්දුවකින් ක්‍රියාකිරීමට සිදුවිය. ජනාධිපතිනිය ද සිංහ වරදකරුවකු කිරීමට සිය නිල බලය උපරිම ලෙස ලැජ්ජා විරහිත ලෙස ප්‍රයෝජනයට ගත්තාය.
හොලිඩේ ඉන් හෝටලයේ පවත්වන ලද සම්මන්ත්‍රණය සිංහගේ ආරක්ෂාව මුල් කොටගෙන ඒ ගැන උනන්දුවක් දැක්වූ ප්‍රභූ පන්තිය සිය වියදමෙන් පවත්වන ලද එකක් ලෙස සැලකිය හැකිය. කර්තෘ සංසදය බිහිවූයේ ද, ආචාර ධර්ම පද්ධතියක් බිහිවූයේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි. එය සාපරාධී අපහාස නීතියට එරෙහිව ආරම්භ වූ හාන්සි පුටු විප්ලවයේ ආරම්භය වී යැයි කිව හැකිය.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසට අදාළව ජාත්‍යන්තර සංවිධාන ගණනාවක සහභාගිත්වයෙන් බණ්ඩාර නායක සම්මන්ත්රණ ශාලාවේදී පවත්වන ලද සමුළුව ද එම හාන්සි පුටු විප්ලවයේම තවත් වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එම සමුළුව වෙනුවෙන් පුරෝගාමී වැඩ කොටසක් ඉටු කළ පොදු රාජ්‍ය මණ්ඩල ජනමාධ්‍ය සංගමයේ විධායක අධ්යක්ෂ ලින්ඩ්සේ රොස් (ඛසබාි්හ ඍදි) රංජිත් විජේවර්ධනගේ ද සිංහ රත්නතුංගගේ ද හිතවතියක වූවාය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එම සමුළුවට අද්වකාත් සේවා සපයන සංවිධානය ලෙස ක්‍රියා කළේය.
කොළඹ සමුළුව
එම සමුළුව මගින් සම්මත කරගන්නා ලද කොළඹ ප්රකාශනයට ඇතුළත් විවිධ දේ අතර, සාපරාධී අපහාස නීතිය ද විය. එහෙත් එම ලියවිල්ල එම සමුළුවට සහභාගි වූ දේශීය ආයතන (කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා පුවත්පත් අයිතිකරුවන්ගේ සංගමය) විසින් සාකච්ඡා කොට තනන ලද ලියවිල්ලක් නොවීය. එය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අද්වකාත්වරුන් සකස් කරන ලද ලියවිල්ලක් විය. එවැනි ලියවිල්ලක් සාකච්ඡා කොට තැනීම දුෂ්කර බව මම ද පිළිගත්තෙමි. එහෙත් කෙටුම්පත සකස් කිරීමෙන් පසු අවසාන අනුමැතිය සඳහා සංවිධාන අතට පත් කළ යුතුව තිබුණි. එහෙත් එසේ නොකොට ලියවිල්ල රහසක් වශයෙන් තබාගෙන අවසාන මොහොතේදී සමුළුවට යොමු කිරීමට තීරණය කර තිබුණි. වෘත්තීය පත්රකලාවේදීන්ගේ සංගමය ලියවිල්ලට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව සාපරාධී අපහාස නීතියට පක්ෂපාතව ප්‍රසිද්ධියේ අදහස් පළ කරන තැනකට ද ගියේය. කොළඹ ප්රකාශනයට පදනම් වූ සමුළුව තමන් ස්වයං පාලනයකට සූදානම් වෘත්තීයවේදීන් පිරිසක් බව කියාපාන්නට කර්තෘ සංසදය විසින් ආචාර ධර්ම පද්ධතියක් ප්‍රකාශ කළේ ඉන්පසුවය. ඉන්පසු රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පාලන කාලය තුළ පුවත්පත් පැමිණිලි කොමිසම සහිත පුවත්පත් ආයතනයක් බිහිවූ අතර, එය ඇති කරගැනීමට අවශ්‍ය වියදම් ජාත්‍යන්තර සංවිධාන මගින් ලබාදෙන ලදි. ස්වයං පාලනයට බාධාවක් ලෙස පැවති පුවත් මණ්ඩල ක්‍රමය අක්‍රීය කරන ලද අතර, සාපරාධී අපහාස නීතිය ද අහෝසි කරන ලදි.
සිංහ පුවත්පත් කතුවරුන් අතර සිටින උද්යෝගිමත් ක්‍රියාකාරී ශක්තියක් ඇති හොඳ මිනිසෙකි. එහෙත් සිංහට එරෙහිව නඩුවක් නොපවරන්නට හොලිඩේ ඉන් සම්මන්ත්‍රණය, කර්තෘ සංසදයක් බිහිවීම, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති ජාත්‍යන්තර සමුළුව, ආචාර ධර්ම පද්ධතියක් බිහිවීම, පුවත්පත් ආයතනයක් බිහිවීම, පුවත්පත් මණ්ඩල ක්‍රමය අක්‍රිය කිරීම හා සාපරාධී අපහාස නීතිය අවලංගු කිරීම යනාදී කිසිවක් මේ ආකාරයෙන් සිදු නොවන්නට ඉඩ තිබුණි. ක්ලියෝපැට්රාගේ නාසය ලෝක ඉතිහාසය කෙරෙහි ඇති කරන ලද බලපෑම තරම් බලපෑමක් සිංහ රත්නතුංගගේ නඩුව ද මෙම විෂය කෙරෙහි බලපෑවේය. පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය යටතේ ජනමාධ්‍යවේදීන්ට දඬුවම් කිරීමේ බලයට හා සාපරාධී අපහාස නීතියට පක්ෂපාත ස්ථාවරයක සිටි රනිල් වික්‍රමසිංහට එම ස්ථාවරය අතහැර ජනමාධ්‍යවේදීන්ගේ විමුක්තිදායකයකු ලෙස පෙනී සිටින්නට සිදුවූයේ ද සිංහගේ නඩුව නිසාය. ජනමාධ්‍ය අද්වකාත් සේවා ආයතන සමූහයක් බිහිවූයේද එම හාන්සි පුටු විප්ලවය තුරුල්ලේය.
ජිනීවා නඩුව
මෙම හාන්සි පිටු විප්ලවයට වෙනස්ව සාපරාධී අපහාස නීතියට එරෙහිව මහ පොළොවේ පහ ගසාගෙන කෙරෙන සැබෑ අරගලයක් ද තිබුණි. එම අරගලය විසින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සාපරාධී අපහාස නීතිය අහෝසි කරන අවස්ථාව වන විට එම නීතිය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තැනක හිර කර තිබුණි.
මා ජිනීවා නඩුවෙන් සටන් කළේ සාපරාධී අපහාස නීතියේ භාවිතයට මිස, සාපරාධී අපහාස නීතියට එරෙහිව නොවන බවට උවිඳු මතු කර තිබෙන ප්‍රශ්නයට දෙන්නට තිබෙන පිළිතුර මෙසේය.
රටක ක්‍රියාත්මක වන නීතියට එරෙහිව හෝ නීති සම්පාදනයකට එරෙහිව ඍජු ලෙස ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කළ නොහැකිය. රටක පවතින නීතියක් මානව හිමිකම් අහිමි කිරීමට හේතුවී ඇත්නම් එවැනි අයිතිවාසිකම් අහිමි කිරීමකට භාජනය වූ පුද්ගලයෙකුට ශ්‍රේෂ්ඨාධි කරණයට යාමෙන් පසුව එම පැමිණිල්ල ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කළ හැකිය. මට පැමිණිල්ල ඉදිරිපත් කරන්නට සිදුවූයේ ද ඒ මගින් අයිතිවාසිකම් අහිමි කරනු ලැබූ පුද්ගලයෙකු ලෙසය.
එම පැමිණිල්ල සාපරාධී අපහාස නීතිය හා එහි භාවිතය ගැඹුරින් සාකච්ඡාවට ලක් කළ පැමිණිල්ලක් විය. සාපරාධී අපහාස නීතිය පිළිබඳ විග්‍රහයක් ද මීට පෙර සාපරාධී අපහාස නීතිය විවිධ පුද්ගලයන්ට එරෙහිව භාවිත කර තිබෙන ආකාරය ද, මට එරෙහිව පවරන ලද නඩුවලට අතිරේකව සිංහ රත්නතුංගට, ලක්බිම පුවත්පතේ බන්දුල පද්මකුමාරට හා සන්ඩේ ලීඩර් පුවත්පතේ ලසන්ත වික්රමතුංගට එරෙහිව පවරන ලද නඩු පිළිබඳ විස්තරයක් ද ඊට ඇතුළත් විය.
කරුණු ගොනුකර තිබුණු ආකාරය තේරුම් ගැනීම පිණිස පැමිණිල්ලට ඇතුළත් අතුරු මාතෘකා පමණක් අනුපිළිවෙළ අනුව මෙහි සඳහන් කරමි. ඇමුණුම් සමග පැමිණිල්ල A4 ප්‍රමාණයේ පිටු 120ක් විය.
(1) ීඒඑපැබඑ දෙ එයැ Case
(2) ඔයැ ේජඑි දෙ එයැ ජ්ිැ ඉරසැකෙහ
(3) Admissibility දෙ එයැ ජදපපමබසජ්එසදබ
(4) ඔයැ ීමචරුපැ Court වමාටැපැබඑ
(5) ීඑැචි ඒනැබ ඉහ එයැ ්මඑයදර එද ැංය්මිඑ ්කක කදජ්ක රුපැාසැි
(6) ඡරදඩසිසදබි දෙ එයැ ජදඩැබ්බඑ ්කකැටැාකහ ඩසදක්එැා
(7) ඊ්ජනට ටරදමබා එද එයැ ජක්සප
(8) ඡරදිැජමඑසදබ දෙ ාැේප්එසදබ සබ එයැ ්‍යසටය Court ඉහ ාසරුජඑ සබාජඑපැබඑ
(9) ඊ්ජනටරදමබා එද ්පැබාසබට ්ජඑ භදග 52 දෙ 1980
(10) ඔයැ දචසබසදබ දෙ එයැ ීමචරුපැ Court දබ එයැ ජදමරඑ දබ එයැ චදඇර දෙ එයැ AG මබාැර එයැ ්පැබාැා චරදඩසිසදබි
(11) Failure දෙ එයැ Court එද ්චචකහ එයැ ්චචකසජ්ඉකැ චරසබජසචකැි එද එයැ ේජඑි දෙ එයැ ජ්ිැ
(12) ීඒඑැ චදකසජහ සබ ීරස ඛ්බන් සබ චරදිැජමඑසබට දෙර ජරසපසබ්ක ාැේප්එසදබ
(13) ෂපචකසජ්එසදබි දෙ එයැ ිඒඑැ චදකසජහ දෙ සිිමසබට ාසරුජඑ සබාසජඑපැබඑ එද එයැ ්‍යසටය Court
(14) ඛැට්ක ීමඉපසිිසදබි
සාපරාධී අපහාස නීතිය යටතේ මට එරෙහිව 1993 පෙබරවාරි 8 වැනි දින පවරන ලද දෙවැනි නඩුවට එරෙහිව පළවූ අභියාචනාධිකරණය වෙත ද ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ද යන්නට මට සිදුවිය. ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාගේ වාසියට හේතුවන තීන්දුවක් දෙන ලද්දේ 1996 මාර්තු 27 වැනිදාය. ඉන්පසු මට එරෙහිව සාපරාධී අපාහස නීතිය යටතේ ඒ වන විට ඇසෙමින් තිබුණු නඩු එකට ගෙන නැවත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියේ 1998 මාර්තුවලදීය. 50%ක් මාගේ වාසියට හේතුවන ලෙසත්, තවත් 50%ක් මාගේ අවාසියට හේතුවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 1998 අප්‍රේල් 3 වැනිදාය. එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරමින් ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත මගේ පැමිණිල්ල ඉදිරිපත් කළේ 1998 දෙසැම්බර් 17 වැනිදාය. මාගේ පැමිණිල්ල විභාගයට ගැනීමට තීරණය කර ඇති බව මා වෙත මානව හිමිකම් කමිටුව දැනුම් දෙන ලද්දේ 2000 ජනවාරි 20 වැනිදාය. මාගේ පැමිණිල්ල විභාගයට ගන්නවාට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව මූලික විරෝධයත් ඉදිරිපත් කළේ 2000 මාර්තු 17 වැනිදාය. එම මූලික විරෝධයට එරෙහිව මාගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කිරීම කරන ලද්දේ 2000 ජූනි 16 වැනිදාය. කමිටුව ආණ්ඩුවේ මූලික විරෝධය ප්‍රතික්ෂේප කරමින් අතුරු තීන්දුවක් දෙන ලද්දේ 2001 ජූලි 6 වැනිදාය. ඉන්පසු මගේ පැමිණිල්ලට අදාළව ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සිය කරුණු ගොනු කරන ලද්දේ 2002 අප්‍රේල් 4 වැනිදාය. මාගේ පැත්තෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් නගන ලද තර්කවලට පිළිතුරු දෙන ලද්දේ 2002 ජූනි 17 වැනිදාය. ශ්‍රී ලංකා ආණ්ඩුව සාපරාධී අපහාස නීතිය අහෝසි කර මට එරෙහිව ඇසෙමින් තිබූ නඩු ඉවත් කරගෙන ඇතත්, වසර 10ක කාලයක් තිස්සේ සිදුවී තිබෙන උල්ලංඝනයන්ට එය පිළියමක් නොවන බව මා මානව හිමිකම් කමිටුව වෙත දැනුම් දෙන ලද්දේ 2004 ජූනි 25 වැනිදාය. කමිටුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේ 2004 අගෝස්තු 26 වැනිදාය. තීන්දුව ප්‍රකාශ කරන විට ශ්‍රී ලංකා ආණ්ඩුව සාපරාධී අපහාස නීතිය ඉවත් කොට ඒ බව කමිටුව වෙත දැනුම් දී තිබුණු අතර, ඒ නිසා සාපරාධී අපහාස නීතියට එරෙහිව තීන්දුවක් දීමේ හැකියාවක් කමිටුවට නොතිබුණි. ඒ නිසා එහිදී සැලකිල්ලට ගැනුණේ මගේ මානව හිමිකම් උල්ලංඝනය පමණය. වෙනත් ආගමකට අයත් පුද්ගලයෙකු සමග විවාහ වීම නිසා ගීතිකා කණ්ඩායමකින් ඉවත් කළ කාන්තාවක් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ කමිටුව ඒ මගින් සිදුකර ඇති මානව හිමිකම් උල්ලංඝනයට වන්දි ගෙවන ලෙස නියම කිරීමෙන් නොනැවතී ඊට අදාළ නීතිය ප්‍රතිසංස්කරණය කොට කමිටුවට දැනුම් දෙන ලෙස කැනඩා ආණ්ඩුවට නියෝග කළේය. තීන්දුව ප්‍රකාශයට පත්වන විට සාපරාධී අපහාස නීතිය ඉවත් නොකර තිබුණේ නම් කමිටුව දෙන තීන්දුව ද ඒ හා සමාන වන්නට ඉඩ තිබුණි. සාපරාධී අපහාස නීතිය ඉවත් කරන අවස්ථාව වන විට මා විසින් ඊට එරෙහිව කරන ලද නෛතික අරගලය විසින් එම නීතිය තවදුරටත් ජනමාධ්‍යවලට එරෙහිව පාවිච්චි කළ නොහැකි තැනක හිරකර තිබුණු බව මා කීවේ ඒ නිසාය. එහෙත් ජනමාධ්‍ය අද්වකාත්ලා විසින් දියත් කරන ලද හාන්සි පුටු විප්ලවය උවිඳුට වඩාත් වැදගත් වී ඇත.
කර්තෘ සංසදයේ ආචාර ධර්ම පද්ධතිය ද හාන්සි පුටු විප්ලවයේම ඵලයකි. කර්තෘ සංසදයේ ආචාරධර්ම පද්ධතිය ද ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනිය. එය රටේ මූලික නීතිය වුවත් රාජ්‍ය පාලකයන්වත් එහි රැකවල් දේවදූතයා ලෙස ක්‍රියා කරන අධිකරණයවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගරු කරන්නේ නැත. ආචාර ධර්ම පද්ධතිය පිළිබඳව කර්තෘවරුන්ගේ ක්‍රියා කාරීත්වය ඊට වෙනස් නැත.
මා මේ විෂය පිළිබඳව කර්තෘ සංසදයේදී මගේ අදහස් පළකර ඇත්තෙමි. ආචාරධර්ම පද්ධතියක් ප්‍රකාශ කිරීම බරපතළ වගකීමක් බවත් ඒ ගැන පොදු එකඟතාවක් ඇති කරගැනීම සඳහා බැ?රුම් ලෙස එම ලියවිල්ලේ එන කාරණා සාකච්ඡාවට ලක්කිරීම සුදුසු බවත් මම කියා සිටියෙමි. කිසිවෙක් ඊට විරුද්ධ නූනත් එවැනි බැ?රුම් සාකච්ඡාවකට යාමේ වුවමනාවක් සංසදයට තිබෙන බවක් පෙනුණේ නැත.
ආචාර ධර්ම
ජනමාධ්‍ය විද්‍යාලයක් හා පැමිණිලි කොමිසමක් සහිත පුවත්පත් මණ්ඩලයක් ඇති කරගැනීම වැදගත් වුවත් එය තිබෙන්නේ එකතැන පල්වෙන තත්ත්වකය. පැමිණිලි කොමිසම දෙන තීන්දු බාරගැනීමට සූදානම් නැති පුවත්පත් තිබෙනවා සේ ම පැමිණිලි කොමිසමේ අධිකාරි බලය පිළිගන්නා තත්ත්වයක සිටිමින් එය විසින් දෙනු ලබන තීන්දු නොපිළිපදින පුවත්පත් ද පවතී. සහන ලබාගැනීමේ අරමුණින් පැමිණිලි ඉදිරිපත් කළ පැමිණිලිකරුවන්ගෙන් බහුතරයකට කිසිම සහනයක් ලබාදීමට කොමිසම සමත් වී නැති බව මගේ හැඟීමය.
පුවත් ආයතනයේ අයිතිය පුළුල් කිරීමට ද තවමත් සමත්ව නැත. තවමත් එහි අයිතිය කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා පුවත්පත් කතුවරුන්ගේ සංගමයට සීමාවී තිබේ. වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය තවමත් එහි කොටස්කාරයෙකු බවට පත් කොට නැත. පුවත් ආයතනයට ආවේණික ලොකුම දුර්වලතාව ලෙස මට පෙනෙන්නේ එය ගොඩනගා තිබෙන දැවැන්ත ස්වරූපය අනුව එය විදේශ ආධාරවලින් තොර පැවතිය නොහැකි තත්ත්වයක තිබීමය. එහි සේවකයන්ට ගෙවන වැටුප් අනවශ්‍ය තරම් ඉහළ මට්ටමක පවතී.
මෙම ආයතනය ගොඩනගන්නට පෙර ලෝකයේ පවත්නා ස්වයංනියාමන ආයතන ක්‍රම පිළිබඳව දකුණු අප්‍රිකාවේ පැවති සමුළුවකට සහභාගිවීම පිණිස කර්තෘ සංසදය විසින් යවන ලද්දේ මාය. තිබෙන ක්‍රම අතුරින් ලංකාවට ගැලපෙන සුදුසු ක්‍රමයක් පිළිබඳව වාර්තාවක් ලබාදීමට මට නියම කරන ලදි. ඒ අනුව මා කරුණු සොයා බලා ලෝකයේ තිබෙන විවිධ ස්වයං නියාමන ආයතන ක්‍රම පිළිබඳ හැඳින්වීමක් සමග දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වන ක්‍රමය ශ්‍රී ලංකාවට සුදුසු බව නිර්දේශ කරමින් ඒ ගැන වන වාර්තාවක් කර්තෘ සංසදය වෙත බාර දුනිමි. පුවත්පත් විෂයෙහි පැමිණිලි සලකා බැලීමට එහි ඉන්නේ ඔම්බුඩ්ස්මන්වරයෙකි.
කර්තෘවරුන්ට කතා කොට පැමිණිලිකරුවන්ට උපරිම සාධාරණය ඉටු කිරීම ඔහු වෙත පැවරී තිබෙන වගකීමයි. ඔහු සමග මුළු ආයතනයේම සේවා නියුක්තිය 03කි. එහෙත් දැන් ක්‍රියාත්මක වන ක්‍රමය හීන ඵලදායිත්වයක් සහිත වියදම් අධික ක්‍රමයක් යන්න මගේ විශ්වාසයයි. අනෙක් අතට ආචාරධර්ම තිබිය යුත්තේ ජනමාධ්‍යවේදීන්ට පමණක් නොවේ. ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන්ට ද ආචාර ධර්ම තිබිය යුතුය.
බෝඩ් ලෑලිවලට පමණක් සීමාවූ සංවිධාන විශාල ගණනක් තිබීම දියුණුවක් ලෙස සැලකිය නොහැකිය. අදහස් පළකිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ආයතන එම අරමුණ වෙනුවෙන් ක්‍රියාකළ යුතුය. සන්ඩේ ලීඩර් පුවත්පතට සීල් තබන ලද අවස්ථාවේදී නිවේදනයකින් විරෝධය පළකිරීමටවත් කර්තෘ සංසදය අසමත් විය. උසාවි අපහාස නීතිය යටතේ ලසන්තට හා ෆෙඩ්රිකාට එරෙහිව නඩු පවරන ලද අවස්ථාවේදී එම නඩුවේ කොටස්කරුවෙකු වීමේ වැදගත්කම මම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට අවධාරණය කළෙමි. ඉන්පසු අශෝක හඳගමට එරෙහිව නඩු පවරන ලදුව ඔහු එම ප්රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනගිය අවස්ථාවේදීත් ඒ නඩුවට සම්බන්ධවීමේ වැදගත්කම අවධාරණය කළෙමි. මා විසින් කරන ලද උසාවි අරගල අනුව උසාවිය මා දෙස බලන ආකාරයක් තිබූ නිසා ඒ හැම නඩුවකටම මැදිහත්වීමේ හැකියාවක් මට නොතිබුණි. අදහස් පළකිරීමේ නිදහසට අදාළව පැන නගින එවැනි නෛතික අරගල හුදකලා නොකොට ඒවාට මැදිහත්වීමේ වගකීමක් හා යුතුකමක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වැනි අද්වකාත් ආයතනවලට ඇතැයි මම විශ්වාස කරමි.
ඉන්නේ කොතැනද?
ජනමාධ්‍ය විෂයයේ තාක්ෂණික කාරණාවලදී ශ්‍රී ලංකාව දියුණු තත්ත්වයක සිටියද සංකල්පීය කාරණාවලදී සිටින්නේ නොදියුණු තත්ත්වයකය. එදිනෙදා මුහුණ දෙන්නට සිදුවන ක්‍රියාවලට ප්‍රතික්‍රියා දැක්වීම අවශ්‍ය වුවත් ක්‍රියාවලට දක්වන ප්‍රතික්‍රියාවලින් පමණක් චිත්රයේ යහපත් වෙනසක් ඇති කළ නොහැකිය.
ශිෂ්ටසම්පන්න රටවල පාර්ලිමේන්තුවේ ජනමාධ්‍යවේදීන්ගේ ගැලරිය පාලනය කරන්නේ කතානායක විසින් නොව ජනමාධ්‍ය සංවිධාන විසිනි. එහෙත් එවැනි තත්ත්වයක්වත් දිනාගැනීමට අප සමත්ව නැත. අනෙක් අතට ජනමාධ්‍යවේදීන් සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම්වල දොරවල් විවෘත කරවා ගැනීමටවත් තවමත් අප සමත්ව නැත. පොදු වැදගත්කමක් ඇති කාරණාවලදී සහයෝගයෙන් ක්‍රියා කරන සම්ප්රදායක් නැතිකම ජනමාධ්‍යවේදීන් ජයගත යුතුව තිබෙන තවත් ලොකු අභියෝගයක් ලෙස සැලකිය හැකිය.
ජනමාධ්‍ය විෂයට සම්බන්ධ සියලු ශ්‍රේණි එකට ඒකරාශි කරන සියලු සංවිධාන එකට ඒකරාශී කරන ඔවුන්ට සාකච්ඡා කළ හැකි වාද විවාද කළහැකි, සිය අඹුදරුවන් සමග යන්න එන්න හැකියාවක් ඇති පොදු ස්ථානයක් නැතිකම මෙම විෂයෙහි දක්නට ලැබෙන කැපී පෙනෙන අඩුවක් බව කිව හැකිය. ඉන්දියාව වැනි රටක පවා එවැනි පොදු ස්ථාන හැම ප්‍රධාන නගරයකම පාහේ ඇතත්, ශ්‍රී ලංකාවේ තවමත් ජාතික මට්ටමේ එක පොදු ස්ථානයක්වත් ඇතිකර ගැනීමට හැකිවී නැත. ජනමාධ්‍යවේදීන් අතර කට්ටිවාදී ස්වරූපය දුර්වල කොට පොදු බවක් ඇති කරලීම සඳහාත් ගෞරවය පිණිස එවැනි ආයතන ක්‍රමයක් ඇති කරගැනීම ඉතා වැදගත්ය. එහෙත් තවමත් ජනමාධ්‍ය ව්‍යාපාර තිබෙන්නේ අඳුරේ අතපතගාන තත්ත්වයකය.•