කන්නංගර උරුමය වැළලීම

October 29, 2026
Publication:
C.W.W. Kannangara made a silent and enormous social revolution by creating free education, and Ivan quotes the close of his speech presenting the 1945 commission report. Against it he sets the new admission circular, which scores parents by their own education — a system that gives the children of the educated and the well-off a superior school and everyone else a school that does not matter.

රටේ බිහිවූ ශ්‍රේෂ්ඨතම දේශපාලකයා ලෙස සැලකිය හැක්කේ සී.ඩබ්.ඩබ්. කන්නංගරය. නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම මගින් එතුමා නිහඬ, එහෙත් දැවැන්ත සමාජ විප්ලවයක් ඇති කළේ ය. ඉතා ම පහළ ම සමාජ තත්ත්වයක සිටින දරුවකුට වුවත් අධ්‍යාපනය ඔස්සේ ඉහළ තත්ත්වයකට යා හැකි මාර්ගයක් එතුමා රටට උරුම කර දුන්නේ ය.

නිදහස් අධ්‍යාපන ක්‍රමයකට පදනම දැමූ අධ්‍යාපනය පිළිබඳ විශේෂ කොමිෂන් සභාවේ වාර්තාව 1945 ජූනි 06 වැනි දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරමින් කරන ලද කතාව එතුමා අවසන් කළේ මෙසේ ය.

““අධික වියදමක් ගෙවිය යුතු එකක් ලෙස ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව අධ්‍යාපනය හඳුන්වා ගත්ත ද දැන් එය නිදහස් එකක් බවට පත් කරන ලදි. ඔවුන් එය ජනතාවට අකැප ක්ෂේත්‍රයක් කොට සොයා ගත්ත ද දැන් එය ජනතාවට අයිති ක්ෂේත්‍රයක් බවට පත්කර තිබේ. අවසාන වශයෙන් ධනවාදයේ ප්‍රවේණියක් බවට පත්ව තිබූ අධ්‍යාපනය දුප්පතුන්ගේ උරුමයක් බවට පත් කරන ලදි.””

එහෙත් විවිධ අඩුපාඩුකම් මැද වුවත් වසර 62ක් තිස්සේ පවත්වාගෙන ගිය අධ්‍යාපනයේ කන්නංගර උරුමය පළමු වසර සිසුන් ඇතුළත් කරගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙන නිර්දේශ මගින් ඉතාමත් සාහසික ලෙස වළලා ඇති බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙන නිර්දේශ අනුව පාසලකට ළමුන් ඇතුළත් කරගැනීමේ දී ළමුන්ගේ බුද්ධියට හා අභියෝගතාවලට ලකුණු 50ක් දෙන විට ඉතිරි ලකුණු 50 දෙනු ලබන්නේ දෙමාපියන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළු සමාජ පසුබිමටය.

පළමුවැනි ශ්‍රේණියට ඇතුළු කරන පුංචි දරුවකුගේ බුද්ධිය හා අභියෝගතා මැනීමට යොදා ගැනෙන ක්‍රමය කුමක්දැයි අපි නො දනිමු. මුළු රට පුරා පාසල් දසදහසකට වැඩි ගණනක සාධාරණව යොදාගත හැකි එවැනි ක්‍රමයක් තිබිය නො හැකි ය. 1 වැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ දී එවැනි ක්‍රමයක් ලෝකයේ කොතැනකවත් යොදා ගන්නා බවක් අප අසා නැත.

සාධාරණ ලෙස යොදාගත හැකි එවැනි ක්‍රමයක් තිබුණ ද දෙමාපියන්ගේ අධ්‍යාපනික සුදුසුකම්වලට හා සමාජ පසුබිමට ලකුණු දෙන ක්‍රමයක් කිසිසේත් ම සාධාරණ විය නො හැකි ය. ළමයා තමන්ට තිබෙන බුද්ධිමය පරීක්ෂණයේ දී උපරිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත්ත ද, ළමයාගේ දෙමාපියන් සමාජ තත්ත්වයෙන් පහත් නම් සමස්ත පරීක්ෂණයෙන් අසමත්වූවකු බවට පත්වන්නට ඒ ළමයාට සිදුවේ. දෙමාපියන්ගේ නූගත්කම හා දුප්පත්කම නිසා හොඳ පාසලක් ලබාගැනීමේ හැකියාව තමන්ට අහිමි වුණා කියන්නට ඒ ළමුන්ට කවදා හෝ සිදුවේ. මෙය පන්ති භේදයට උඩගෙඩි දෙන නින්දිත ක්‍රමයක් ලෙස සැලකිය හැකි ය. මෙය උගත් හා පොහොසත් දෙමාපියන්ගේ දරුවන්ට සුපිරි පාසල් ක්‍රමයකුත්, දුප්පත් හා නූගත් දෙමාපියන්ගේ දරුවන්ට කමකට නැති පාසල් ක්‍රමයකුත් ඇති කිරීමට පදනම දමන දුෂ්ට ක්‍රමයකි.

මෙම චක්‍රලේඛය පාසල් අධ්‍යාපන ක්‍රමය අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවනු ඇති බව අපි නිබයව කියමු. සමාජයට විසකුරු ප්‍රතිඵල ගෙනදීමට හේතුවන මෙම චක්‍රලේඛය අවලංගු කරවා ගැනීමට නීත්‍යානුකූලව කළ හැකි හැමදෙයක් ම කිරීම සමාජ වගකීමකි.

මෙම අර්බුදයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කළ පළමු පියවර නිවැරදි ය. අයිතිවාසිකම් අහිමි කිරීම්වලට ඉඩ නැති සමාන අවස්ථා සහතික කරන ක්‍රමයක් ඇති කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය. ජාතික අධ්‍යාපන කොමිසම ඒ සඳහා සුදුසු ක්‍රමයක් ඇති කළේ ය. එහෙත් අවාසනාවකට ජාතික අධ්‍යාපන කොමිසමේ යෝජනා ශ්‍රේෂ්ඨාධිකරණයේ පැත්ත පළාතකටවත් නාවේ ය. අවසානයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කළ ක්‍රමය නිදහස් අධ්‍යාපන ක්‍රමයක තිබිය යුතු සියලු මූලධර්ම උල්ලංඝනය කරන්නකි. එය ජනතාවගේ මානව අයිතිවාසිකම් අහිමි කරන චක්‍රලේඛයක් ලෙස සැලකිය හැකි ය. •