මිංගල පාර්ශ්වය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇති කරගත් ගිවිසුම එජාප හා ශ්‍රීලනිප කෙරෙහිත් පොදුවේ ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහිත් ඇති කරන්නට යන බලපෑමේ ස්වභාවය හා තරම කුමක් විය හැකිද?
මංගලගේ අපේක්ෂාව ඉක්මන් ආණ්ඩු පෙරළියකි. මංගල සිටින තැන අනුව එසේ සිතීම සාධාරණය. මංගල හා ශ්‍රීපතිගේ ආරක්ෂාව සඳහා ඉක්මන් ආණ්ඩු පෙරළියක් අත්‍යවශ්‍යය. මංගල තමන්ට හැමදාමත් හිතවත්ව සිටි ජේවීපීය වෙනුවට හැමදාමත් මංගලගේ වෛරයට හේතුවූ එජාප සමග ගිවිසුමක් ඇති කරගන්නේ ද ඉක්මන් ආණ්ඩු පෙරළියක් සඳහා යායුතු තැන යූඑන්පීය මිස ජේවීපීය නොවන නිසාය.
ආණ්ඩු පක්ෂයේ අතෘප්තියෙන් සිටින කණ්ඩායමක් විරුද්ධ පක්ෂයට ගෙන, පාර්ලිමේන්තු ආණ්ඩුවක් පිහිටුවා ගෙන එහි නියෝජ්‍ය අගමැති වී දෝෂාභියෝගයක් මගින් ජනාධිපති තනතුරෙන් පහකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වන විට තමා රටේ අගමැතිවීම මංගලගේ දේශපාලන සිහිනය වී තිබේ.
එහෙත් මංගලට තිබෙන කඩි කුලප්පුව රනිල් වික්‍රමසිංහට තිබිය නොහැකිය. රනිල් වික්‍රමසිංහ සිතන ආකාරයෙත් මංගල සමරවීර සිතන ආකාරයෙන් බරපතළ පරස්පර විරෝධයන් පවතී. අවශ්‍ය වුවහොත් ඉක්මන් ආණ්ඩු පෙරළියක් සඳහා වුවත්, තමන් සූදානම් බව සිය පාක්ෂිකයන්ට පෙනෙන ලෙස ක්‍රියා කරන්නට රනිල් වික්‍රමසිංහට සිදුවී ඇතත්, විධායක ජනාධිපති බලය මහින්ද රාජපක්ෂ අත තිබියදී පාර්ලිමේන්තු බලය අල්ලන වැඩපිළිවෙළකට එකඟවීමේ හැකියාවක් රනිල්ට නැත. වරක් රනිල් එවැනි අත්හදා බැලීමකින් අත පුච්චා ගත්තේය. ඔහු ඒ වැරැද්ද දෙවැනි වරටත් කරනු ඇතැයි සිතිය නොහැකිය. පක්ෂය තුළ සිය දේශපාලන පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා විප්ලවකාරී ස්වරයකින් කතා කරන තැනකට රනිල් තල්ලු වී සිටියත්, ඔහුගේ ඇත්ත දේශපාලන ඉලක්කය වී ඇත්තේ, වහාම බලය අල්ලා ගැනීමක් නොව රට තව කුණුවන්නට ඉඩහැර 2010 දෙසැම්බර්වලදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය ජයගෙන 2011 පැවැත්වෙන ජනාධිපතිවරණය ජයගැනීමය. ඒ කාලය වන විට ප්‍රශ්න උග්‍රවී මහජනයා අතිවිශාල ජනවරමක් තමන්ට ලබාදෙනු ඇති බව රනිල් වික්‍රමසිංහගේ තක්සේරුව වී තිබේ.
රටට හෙණ ගැහැව්වත් වහාම ආණ්ඩු පෙරළියක් ඇති කිරීමේ වුවමනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නැත. නැවත ඡන්දයකට යනවාට වඩා ධුර කාලය සම්පූර්ණ කරන ක්‍රමයක් තුළ ඉන් ලැබෙන වරප්‍රසාද භුක්ති විඳීමට ඔවුන් කැමතිය. රට පිළිබඳ තිබෙන හැඟීම් නිසා හෝ අතයට ලැබෙන මුදල් නිසා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් විපක්ෂයට එමින් ආණ්ඩු පෙරළියක් ඇති කළ ද ඒ නිසා ගොඩනැගෙන ආණ්ඩුවට දැන් රට තිබෙන තත්ත්වය තුළ මහජනයාගේ තෘප්තියට හේතුවන ආණ්ඩු පාලනයක් පවත්වාගෙන යෑමට හැකිවන්නේ නැත. ආණ්ඩු පෙරළියක් ඇතිවූ පමණකින් රටේ ආර්ථික තත්ත්වය වහා යහපත් අතට හැරෙන්නේ ද නැත. ජීවන මිල වහා පහළ බසින්නේ ද නැත. අවහිර කොට තිබෙන විදේශ ආධාර වහා රටට ගලා එන තත්ත්වයක් ඇතිවන්නේ ද නැත. ප්රභාකරන්ගේ හැසිරීම වහා වෙනස් වී ඔහු කීකරු පූසකු බවට පත්වන්නේ ද නැත. ව්‍යුහමය වෙනස්කම්වලින් තොරව මේ මොහොතේ ඇතිවිය හැකි ආණ්ඩු පෙරළියකින් රටේ පවතින අවුල් සහගත බව උග්‍ර කිරීමට මිස, සමනය කිරීමට හේතුවන්නේ නැත. පාර්ලිමේන්තු බලය අල්ලා ගැනීමෙන් පසු ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝගයක් මගින් ඔහු එම තනතුරෙන් පහ කොට අපේම ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමේ හැකියාව අපට ඇතැයි සිතන සිතුවිල්ල මෝඩ සිතුවිල්ලකි. දෝෂාභියෝග ක්‍රමය සකස් කර තිබෙන්නේ මිනිසුන් රැවටීමට මිස, බලයේ සිටින ජනාධිපතිවරයෙක් බලයෙන් පහ කළ හැකි ආකාරයට නොවේ. දැන් තිබෙන බෙදීම්වල ස්වභාවය අනුව මොනම කරුණක් සඳහාවත් පොදු එකඟතාවක් ඇති කිරීමට ඉඩක් නොපවතී.
ඒ නිසා ඉක්මන් ආණ්ඩු පෙරළියක් පිළිබඳ මංගලගේ අපේක්ෂා යථාර්ථවාදී නැත.
දැන් මංගල ඉක්මණින් දිව්‍ය ලෝකෙට යාමට උඩ යන අලියාගේ වලිගේ එල්ලී අවසන් බැවින් දිව්‍යලෝක ගමන ප්‍රමාද වුවත් අලි වල්ගය අතහැරීමේ හැකියාවක් මංගලට නැත.
ආණ්ඩුව සිටින්නේ සැහැල්ලුවෙන් ඉදිරියට යාහැකි තැනක නොව අවුල් ජාලාවකය. රාජ්‍යය තිබෙන්නේ එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි පරිපූර්ණ ඓතිහාසික අර්බුදයකය. මෙම අර්බුදයේ ගමන් මග වේගවත් කිරීමට මහින්ද රාජපක්ෂ පාලනයේ වැරදි ද බලපා තිබෙන මුත් අර්බුදය ආණ්ඩු පාලනයේ වරදින් පමණක් සිදුවූ දෙයක් නොව, ඓතිහාසික ගමනක තර්කානුකූල ඵලයක් ලෙස සැලකිය යුතුය.
මෙවැනි අර්බුදයක් ජයගැනීමට එක්කෝ විප්ලවයක් සිදුවිය යුතුය. නැතිනම් සියලු දේශපාලන නායකයින් එකට එකතු වී අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් ඇතිකර ගැනීම මගින් රාජ්‍ය ප්‍රතිනිර්මාණය කොට ඊට ඉදිරියට යාමට අවශ්‍ය හැකියාව ලබාදිය යුතුය.
අවාසනාවකට රටේ දේශපාලන විප්ලවයකට අවශ්‍ය වටපිටාවක් හෝ ඒ සඳහා සුදුසු නායකත්වයක් හෝ රටේ නොතිබෙනවා සේ ම මේ තීරණාත්මක මොහොතේදී එකට එකතු වී අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් ඇති කරගැනීමට සූදානම් දේශපාලන නායකයින් ද රටේ නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිතන්නේ රාජ්‍ය බලය තිබෙන නිසා අමාරුවෙන් හෝ රජය ඉදිරියට ඇදගෙන යෑමේ හැකියාව තමන්ට තිබෙන බවය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිතන්නේ කුණුවීමේ ක්‍රියාවලිය තවදුරටත් වර්ධනය වීමට ඉඩ හැර ඉදිරි ජනාධිපතිවරණයේදී බලය අල්ලා ගැනීමටය.
ව්‍යුහමය වෙනස්කම් ඇති කරගැනීමෙන් තොරව ඉදිරියට යා නොහැකි තත්ත්වයකට රාජ්‍යයක් පත්වූ විට ඊළඟට කුමකින් කුමක් වියහැකි දැයි කීම දුෂ්කරය. ඒකාධිපති තත්ත්වයක්, අරාජික තත්ත්වයක් පාලනය කළ නොහැකි තරම් අවුල් වියවුල්වලින් ගහන තත්ත්වයක් හෝ ඒ සියල්ලෙහි මිශ්‍ර ඵලයක් ඇතිවිය හැකිය.
මේ අවස්ථාවේදී රටේ සිටින දේශපාලන නායකයන් වගකීමක් ඇති අය නම් කළ යුතුව තිබෙන්නේ බල අරගලය කෙටි කාලසීමාවකට නවතා ව්‍යුහමය වෙනස්කම් ඇතිකර ගන්නා තැනකට යොමුවීමය. මෙම දේශපාලන ක්‍රමය තුළ බලයෙහි ඉක්මන් වෙනසක් ඇති කිරීමේ හැකියාවක් නැතිවා සේ ම, බලයේ එවැනි වෙනසක් ඇති කළ ද ව්‍යුහමය වෙනස්කම්වලින් තොරව සාර්ථක ලෙස රාජ්‍ය ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් ද නැත. •