ප්‍රාථමික පාසල් ක්‍රමයට එරෙහිව නගන
ප්‍රාථමික පාසල් ක්‍රමයට එරෙහිව භාවිතවෙමින් තිබූ චක්‍රලේඛනයේ එන විධිවිධානවලින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව ප්‍රකාශ කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවක් පිළිගනිමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ක්‍රමයක් ඇති කොට ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන ලෙස ජනාධිපති ලේකම්ට නියෝග කළේය.
ඒ අනුව ජනාධිපති ලේකම්වරයා ඒ වගකීම ජාතික අධ්‍යාපන කොමිසමට භාර කළේය. ඒ අනුව ජාතික අධ්‍යාපන කොමිසම පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී දැනට සිදුවන දූෂණ හා අක්රමිකතාවලට ඉඩක් නැති, සියලු දෙනාට සමාන අයිතිවාසිකම් සහතික කරන නව ක්‍රමයක් සකස් කළේය.
ඒ අනුව ආණ්ඩුවේ පාසල් වර්ග තුනකට වර්ගීකරණය කෙරේ. 1-5 ශ්‍රේණි දක්වා ප්‍රාථමික පාසල් නමින් නව පාසල් ක්‍රමයක් ඇති කරේ. ඒ සෑම පාසලකටම නව විදුහල්පතිවරුන් පත් කෙරෙන අතර, සෑම ප්‍රාථමික පාසලකම අධ්‍යාපන මට්ටම එක සමාන මට්ටමකින් පවත්වාගෙන යෑමට අදහස් කෙරේ.
ඒ අනුව පළමු ශ්‍රේණියේ හැම දරුවකුටම තෝරා ගැනීමට සිදුවන්නේ තම ගමේ නිවසට ආසන්නම ප්‍රාථමික පාසලය. 6 වැනි ශ්‍රේණියේ සිට ඊළඟ පාසල තීරණය කෙරන්නේ 5 වැනි ශ්‍රේණියේ අවසානයේදී ප්‍රසිද්ධ විභාගයෙන් ලබා ගන්නා ප්‍රතිඵල අනුවය.
මා හිතන අන්දමට පාසල් ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීම සඳහා මෙතෙක් ඉදිරිපත් වී තිබෙන යෝජනාවලින් හොඳම යෝජනාව වන්නේ මෙම යෝජනාවයි. මේ විෂය පිළිබඳව මම ද දීර්ඝ වශයෙන් කරුණු සොයා බලා ඇත්තෙමි. ලියා ඇත්තෙමි. මා හඳුනාගෙන සිටි ක්‍රමය වනුයේ දැන් යෝජනා වී ඇති ක්‍රමයට තරමක් වෙනස් ලෙස ප්‍රාථමික, ද්විතීක හා උසස් යනාදී වශයෙන් වර්ග තුනකට පාසල් වර්ග කිරීමය. ඒ අනුව 1 සිට 5 ශ්‍රේණිය දක්වා වන පාසල් ක්‍රමයක් ද, 6 වැනි ශ්‍රේණියේ සිට 10 වැනි ශ්‍රේණිය දක්වා වන පාසල් ක්‍රමයක් ද, 11 වැනි ශ්‍රේණියේ සිට 12 වැනි ශ්‍රේණිය දක්වා වන පාසල් ක්‍රමයක් ද පවතිනු ඇත.
දැන් පවතින පාසල් ක්‍රමය අක්‍රමවත් සේ ම දූෂිතය. ළමුන් දහස් ගණනක් සිටින පාසලක් පාසලක් ලෙස සැලකිය නොහැකිය. දැන් පවතින පාසල් ක්‍රමය ඉතා තියුණු උස් පහත් භේදයක් ඇති කිරීමට හේතුවී තිබේ. ඒ භේදය විසින්ම උසස් ලෙස සැලකෙන පාසල් ක්‍රමයක් සේ ම ඉතා පහත් කමකට නැති පාසල් ක්‍රමයක් ද ඇති කිරීමට හේතුවී තිබේ.
උසස් ලෙස සැලකෙන පාසල් සඳහා ඇති අතිවිශාල ඉල්ලුම නිසා එවැනි පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේදී මහා පරිමාණයෙන් අල්ලස් දිය යුතු ක්‍රමයක් නිර්මාණය වී තිබේ.
සියලුම ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන් දූෂිත යැයි කීම අසාධාරණ විය හැකි වුවත්, පවතින දූෂිත ක්‍රමය විසින් ඔවුන්ගෙන් අතිවිශාල බහුතරයක් දූෂිත බවට පත් කොට තිබේ යැයි කිව හැකිය. උසස් යැයි සම්මත පාසල් සඳහා තිබෙන ඉල්ලුම හා සැපයුම අතර පරතරය අතිවිශාල වන නිසාම පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය මහා පරිමාණයේ ජාවාරමක් බවට පත්වී තිබේ. රාජකීය විද්‍යාලයට පස්සා දොරෙන් ළමයෙක් ඇතුළත් කිරීමට වර්තමානයේ අය කෙරෙන මිල රුපියල් ලක්ෂ 05කි. හැම ජනප්‍රිය පාසලකටම ඊට අඩු වැඩි මිලක් ගෙවිය යුතුය. අධික ඉල්ලුමක් ඇති පාසල් අයත් වන ග්‍රාමසේවක කොට්ඨාසවල ග්‍රාමසේවක නිලධාරීන් පවා මේ දූෂිත ක්‍රමයෙන් විශාල ලෙස මුදල් හම්බ කරන බව රටට රහසක් වන්නේ නැත. මේ නිසා එවැනි ග්‍රාමසේවක කොට්ඨාස සඳහා ග්රාමසේවකයන් අතර ද මහා තරගයක් පවතී. හොඳටම මුදල් ඉපැයිය හැකි ග්‍රාමසේවක කොට්ඨාසයක් ලබාගැනීම සඳහා ග්‍රාමසේවා නිලධාරීන්ට ද විශාල මිලක් ගෙවන්නට සිදුවී තිබේ. පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී අත්‍යවශ්‍ය කූට ලිපි ලේඛන තනා දෙන කාර්යාල ක්‍රමයක් රට පුරා ක්‍රියාත්මක වේ. එවැනි ලිපිගොනුවක් සඳහා ද අතිවිශාල මිලක් ගෙවිය යුතුය. මෙම ක්‍රමයෙන් කෝටි ප්රකෝටිපතීන් බවට පත්වූ විදුහල්පතිවරු රටේ සිටිති. මේ ක්‍රමයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සේ ම දේශපාලනඥයෝ ද වාසි ලබති. දූෂිත විදුහල්පතිවරු තමන්ගේ ආරක්ෂාව සඳහා අධ්‍යාපන නිලධාරීන්ට සේ ම දේශපාලකයන්ට ද තමන් අයථා ලෙස උපයා ගන්නා ධනයෙන් කිසියම් කොටසක් කප්පම් වශයෙන් ගෙවති.
මේ ක්‍රමය යටතේ දඬුවම් ලැබීමේ බියකින් තොරව ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමට දෙමාපියෝද හුරු පුරුදු වී සිටිති. තමන් විසින් කරන ලද වරද හිරදඬුවම් විඳිය හැකි වරදක් බව ඔවුන් දන්නේම නැති තරම්ය. මෙම දූෂිත ක්‍රමය නිසා දක්ෂිණාංශික දේශපාලකයන් පමණක් නොව විප්ලවකාරී වාමාංශික දේශපාලකයෝ ද සිය දරුවන් හොඳම පාසල්වලට ඇතුළත් කිරීමේ වාසනාව හිමි කරගෙන සිටිති.
මේ ක්‍රමයෙන් අයුතු වාසි ලබන පිරිස් ක්රමයේ යහපත් වෙනසක් ඇති කිරීමට ලේසියෙන් ඉඩ දෙන්නේ නැත. ක්රමයේ යහපත් වෙනසක් ඇති කිරීමට දරනු ලබන ඕනෑම උත්සාහයකට එරෙහිව ඔවුහු බලවත් ලෙස නැගී සිටිති. දැන් රටේ සිදුවෙමින් පවතින්නේ ද එයයි.
යෝජිත ක්‍රමයට එරෙහිව ජනමාධ්‍යවලට අදහස් පළකර තිබෙන අයගේ අදහස් මම කියෙව්වෙමි.
ජාතික අධ්‍යාපන කොමිසම යෝජනා කරන ක්රමයේ අසාර්ථකභාවය සනාථ කිරීමට ඒ කිසිවකුත් සමත් වී නැත. ඒ සඳහා යොදාගත හැකි වඩා යහපත් ක්‍රමයක් යෝජනා කිරීමට ද ඔවුන් සමත් වී නැත.
තිබෙන ක්‍රමය අක්‍රමවත් වනවා සේ ම දූෂිතය. තිබෙන ක්‍රමය ඒ ආකාරයෙන් තබාගනිමින් ක්‍රමවත් කළ නොහැකිවා සේ ම ඊට ආවේණික දූෂිතබව ද තුරන් කළ නොහැකිය.
යෝජනා කර තිබෙන ක්‍රමය සරලය. ක්‍රමවත්ය. පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් වන හැම ළමයෙක්ම නිවසට ආසන්නම ප්‍රාථමික පාසල තෝරාගත යුතු නිසා දූෂණයට ඉඩක් ඇත්තේම නැති තරම්ය.
ගොඩනගන ප්‍රාථමික පාසල් පළාත් සභා පාලනයට පවරනවා නම් එසේ කළ යුත්තේ මධ්‍යම ආණ්ඩුවේ දැඩි අධීක්ෂණයට හා පරීක්ෂාවට යටත්වය. සම්පත් බෙදාහැරීමේදී ද හැම පාසලකටම සමාන ලෙස සම්පත් බෙදාහැරෙන ක්‍රමයක් පවත්වාගෙන යා යුතුය. මේ ක්‍රමය එකවිට රට පුරා ක්‍රියාත්මක කරනවාට වඩා පළමුව එක දිස්ත්‍රික්කයක් හෝ පළාතක් තෝරාගෙන ඒ මගින් මතුවන ගැටලු හඳුනාගනිමින් දෙවැනි අධියරයකදී රට පුරා ක්‍රියාත්මක කරන ක්‍රමයක් වඩා ඵලදායී වනු ඇති බව මගේ විශ්වාසයයි.
මා කර තිබෙන ගණන් බැලීමක් අනුව ප්‍රාථමික පාසල් ක්‍රමයක් සඳහා අලුත් ගොඩනැගිලි අවශ්‍ය වන්නේ නැත. දැන් තිබෙන ගොඩනැගිලි ප්‍රයෝජනයට ගැනීමෙන් පමණක් ග්‍රාමසේවක කොට්ඨාස තුනකට ප්‍රාථමික පාසල් දෙකක් ලබාදීමේ හැකියාව පවතී. ප්‍රාථමික පාසලකට මිල අධික විද්‍යාගාර වැනි දේවල් අවශ්‍ය නොවන නිසා පිරිසිදු පරිසරයක් ඇති, ප්‍රාථමික පන්තිවලට ළමුන්ට ගැලපෙන වටාපිටාවක් ඇති ප්‍රාථමික පාසල් ක්‍රමයක් සඳහා දරන්නට සිදුවන වියදම රටට දරන්නට බැරිතරම් විශාල වියදමක් වන්නේ නැත.
මේ ක්‍රමය යටතේ ප්‍රාථමික අධ්‍යාපනයට සුදුසුම ගුරුවරුන් හඳුනාගෙන ඔවුන් මෙම පාසල් අතර සාධාරණ ලෙස බෙදාහැරිය හැකිය. දැන් පවතින ක්‍රමය යටතේ ප්‍රාථමික පන්තිවලට ඉගැන්වීමට සුදුසුකම් ඇති ගුරුවරු උසස් පන්ති සඳහා ද උගන්වති. උසස් පන්තිවල ඉගැන්වීමට සුදුසුකම් ඇති ගුරුවරු ප්‍රාථමික පන්ති සඳහා ද උගන්වති. දැන් තිබෙන ක්‍රමය යටතේ පාසලේදී කුඩා දරුවන්ට ලැබෙන අවධානය ඉතාමත් අඩුය. දහස් ගණන් ශිෂ්‍යයන් සිටින පාසලක කුඩා දරුවන්ට නිසි පිළිගැනීමක් ලැබෙන්නේ නැත. නව ක්‍රමය යටතේ කුඩා දරුවන්ට තමන්ගේම ලෝකයකට හිමිකම් කියන්නට ඉඩ ලැබෙන්නේය. එක් ප්‍රාථමික පාසලකට වැටෙන ශිෂ්‍ය සංඛ්‍යාව උපරිම වශයෙන් 250ක් විය හැකිය. එවැනි පාසලක් කළමනාකරණය කිරීම පහසුය. පිරිසිදුව තබාගැනීම ද පහසුය.
ප්‍රාථමික අධ්‍යාපනයේදී සහභාගිත්වයේ අනුප්‍රාප්තිකය ඉහළම මට්ටමක පැවතුණත්, ප්‍රාථමික අධ්‍යාපනයේ ගුණාත්මක අගයේ පරිහානියක් පවත්නා බව ඒ පිළිබඳ සිදුකර තිබෙන අධ්‍යයනයන්ගෙන් තහවුරු වී තිබේ.
ප්‍රාථමික පන්තිවල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ගේ කියවීමේ හා ලිවීමේ හැකියාව පවත්නේ දුර්වල තත්ත්වයකය. අකුරු තුනේ හා හතරේ වචන කියවීමට තිබෙන නොහැකියාව, තම නම නිවැරදිව ලිවීමට තිබෙන නොහැකියාව ඒ අතර තිබෙන කැපී පෙනෙන කාරණා වේ. ඒ අතර ඔවුන්ගේ ගණිත දැනුම තිබෙන්නේ ද අසතුටුදායක තත්ත්වයකය. අඩු කිරීම, බෙදීම හා ගැටලු විසඳීම යන අංශ තුනේ දැනුමේ පහත වැටීමේ ප්රවණතා පැහැදිලිව දැකිය හැකිය.
මෙවැනි ක්‍රමයක් ඇති කළහොත් පාසල් ක්‍රමයට ආදි ශිෂ්‍යයන්ගෙන් ලැබෙන සහාය අහෝසි වනු ඇති බවට කෙරෙන බියගැන්වීම්වල කිසිම ඇත්තක් නොපවතී. තමන් අධ්‍යාපනය ලැබූ පාසලට ආදි ශිෂ්‍යයන්ට ඇති ලැදියාව නැති කළ නොහැකිය. එහෙත් ප්‍රාථමික පාසල් ක්‍රමය බලා ගනු ඇත්තේ ආදි ශිෂ්‍යයන් නොව එම පාසල අයත් ගමේ ජනයාය. පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා තමන්ගේ දරුවන් යවන්නට සිදුවන්නේ ගමේ පාසලට බව තේරුම් ගන්නා විට එම පාසලේ කටයුතු ගැන සොයා බලා ගන්නා තැනට ගමේ ජනයා තල්ලු වනු නොවැළැක්විය හැකිය. ඔවුනට එහිදී බලාගන්නට සිදුවනු ඇත්තේ ද ඉතාමත් සංකීර්ණ දැවැන්ත පාසල් නොව පුංචි සරල පාසලකි. මෙවැනි ක්‍රමයක් කුඩා දරුවන්ට ගමට ඇති බැඳීම ද තර කරයි. හොඳම පාසලකට ළමුන් යැවීමේ අරමුණින්ම ජීවත් වන ගම අතහැර නගරවලින් නිවාස මිලදී ගැනීමට දැන් දක්වන උනන්දුව ද හීන කරයි. පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී විශාල ලෙස අල්ලස් ගෙවීමේ ක්‍රමය ද මේ මගින් මුළුමණින් තුරන් වී යනු ඇත. පාසල් අතර පවත්නා උස් පහත් භේදය ද අහෝසි වනු ඇත.
ප්‍රාථමික ශ්‍රේණියේ පාසල් ක්‍රමයක් ශ්‍රී ලංකාවට අලුත් විය හැකි වුවත්, එය දියුණු ලෝකයට අලුත් නැත. පළමුවැනි ශ්‍රේණිය සඳහා සුදුසු පාසලක් තෝරා ගැනීම පිළිබඳ ප්රශ්නයේදී විශාල ජනතාවක් අපේක්ෂා භංගත්වයට පත් කර තිබෙන කාලකණ්ණි ක්‍රමයට වඩා මෙවැනි සරල ක්‍රමයක් නරක් විය හැක්කේ කෙසේද?
මෙවැනි ක්‍රමයකින් සමාජයට ලැබෙන අතිරේක ප්‍රයෝජන රාශියක් ද පවතී. දැන් පවතින ක්‍රමය තුළ රැකී රක්ෂා කරන දෙමාපියන්ට රක්ෂාවලට යන්නට පෙර තම කුඩා දරුවන් නගරවල පාසල්වලට ඇරලන්නටත්, නැවත පාසල් ඇරෙන විට ඔවුන් රැගෙන එන්නටත් සිදුවී තිබේ. එහෙත් මෙවැනි සරල ක්‍රමයක් මහා මාර්ගවල ඇති තදබදය ලිහිල් කරයි. මේ ක්‍රමය යටතේ කුඩා ළමුන් මෝටර් සයිකල්වල තබාගෙන දෙමාපියන්ට නගරබදට යන්නට සිදුවන්නේ නැත. හැම ළමයෙකුටම ලැබෙනු ඇත්තේ තම නිවසට ආසන්නම ප්‍රාථමික පාසලය. ඒ පාසලට යාමට මෝටර් රථ අවශ්‍ය වන්නේ නැත. දෙමාපියන්ගේ පැමිණීම ද අනිවාර්ය අවශ්‍යතාවක් වන්නේ නැත.
කුඩා ළමයෙකුට වුවත් තමන්ගේ ප්‍රාථමික පාසලට තනිවම යා හැකිවනු ඇති අතර, පාසල අවසන්වීමෙන් පසුව තනිව ආපසු නිවසට ආ හැකිද වනු ඇත. ප්‍රාථමික පාසල් අධ්‍යාපනයේදී ළමුන් පාසලට ප්‍රවාහනය කිරීම සඳහා දෙමාපියන්ට යන වියදම ඒ මගින් අවම කෙරෙනු ඇත. එසේම මාර්ග තදබදය ද ලිහිල් කෙරෙනු ඇත.
පළමු ශ්‍රේණියට ඇතුළත් කරගැනීමේදී දැන් මුහුණ දෙන්නට සිදුවී තිබෙන තරගය නිසා දරුවකු ගැබ් ගන්නට පෙර සිටම දරුවාට ලබාදෙන පාසල ගැන හිතන්නට දෙමාපියන්ට සිදුවී තිබේ. මෙය ලෝකයේ වෙන මොනම රටකවත් නැති අශෝභන තත්ත්වයකි. පාසල පිළිබඳ ප්රශ්නය ජීවිතයේ විසඳා ගැනීමට තිබෙන දුෂ්කරම ප්‍රශ්නවලින් එකක් බවට පත්විය යුතු නැත. නව ක්‍රමය ඒ තත්ත්වය මුළුමණින්ම වෙනස් කර දරුවන්ගේ පාසල් ප්රශ්නය පහසුවෙන් විසඳා ගත හැකි ප්‍රශ්නයක් බවට පත් කරයි.
එහෙත් අවසානයේදී මුහුණ දෙන්නට සිදුවනු ඇති දුෂ්කරම ප්රශ්නය වනු ඇත්තේ පවතින නින්දාසහගත ක්‍රමයෙන් අයුතු වාසි ලබන පිරිස් මෙම නව ක්‍රමයට ඉඩදේද යන ප්රශ්නයයි. ඔවුන්ගෙන් එනු ලබන විරෝධතා ව්‍යර්ථ කිරීම සමාජ වගකීමකි. •