දැන් ශ්‍රී ලංකා දේශපාලනයේ පහළ වී සිටින අලුත්ම වීරයා වී සිටින්නේ මංගලය. ජනාධිපති මහින්ද රාජපක්ෂ දකුණේ දේශපාලනය කෙරෙහි පරිපූර්ණ ආධිපත්‍යයක් ඇති කරගෙන තිබූ අවස්ථාවක ඔහු මහින්ද රාජපක්ෂට එරෙහිව බලවත් ලෙස අභියෝග කරන තැනකට ගියේය. ඔහු ජනාධිපතිට එරෙහි බරපතළ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය. අශ්වාරෝහක බලකායක හදිසි ප්‍රහාරයක් බඳු මංගලගේ එම ක්ෂණික කැරැල්ල නිසා රාජපක්ෂ ආණ්ඩුව වළපල්ලට ගියේ නැතත්, ඉන් ජනාධිපතිටත් ආණ්ඩුවටත් බරපතළ තුවාල සිදුවූයේය.
එහෙත් මංගල එසේ ආරම්භ කළ අධි විප්ලවකාරී අරගලය ඉදිරියට ගෙන ගියේ එක පියවරක් පමණය. ඔහු ඊළඟ ප්‍රහාරය ශ්රීපතිට එල්ල කරන්නට ඉඩහැර පියවර දෙකක් ආපස්සට ගත්තේය.
මංගල සිය කෑගැසීම නතර කරන්නට පෙර ප්‍රතිපත්තිමය කාරණා ගැන ද බොහෝ දේ කතා කළේය. තමන් ආණ්ඩුවට එකතුවන්නේ සිය ගමන් මග වෙනස් කරගැනීමට ආණ්ඩුව සූදානම් නම් පමණක් බව ඔහු කියා සිටියේය. රාජපක්ෂ සහෝදර සමාගමට පහරදෙමින් ගෝඨාභය හා බැසිල් ආණ්ඩු පාලන දර්ශනයෙන් ඉවත් කළ යුතු බව ද ඔහු කියා සිටියේය.
එහෙත් නැවත මංගල ආණ්ඩුවට එකතුවීම සඳහා කරන ලද සාකච්ඡාවලදී ඊට පෙර ඉදිරියට ගෙනා දැඩි කොන්දේසි ඉදිරියට ගත්තේ නැත. ඒ වෙනුවට වඩා වැදගත් කොට සැලකුවේ තමාට ලැබෙන දේවල් ගැනය. ශ්‍රීපති සූරියආරච්චි හා ටිරාන් අලස් සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්ති ගැනය. තමන්ට දෙන්නට යන්නේ තමන්ට ලැබී තිබුණු ගුවන් තොටුපොළ හා වරාය වෙනුවට ජලකළමනා කරණය බව තේරුම් ගත් විට මංගලට යකා නැග්ගේය. ආණ්ඩුවට එකතුවීමේ අදහස අතහැර ප්‍රසිද්ධ විවේචනයන්ගෙන් තොරව ආණ්ඩු පක්ෂයේම පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියාකරන තත්ත්වයකට ඔහු පත්විය.
මංගල හා ශ්‍රීපති විරුද්ධ පක්ෂයේ අසුන් ගන්නා තත්ත්වයකට යන්නේද හදිස්සියේමය. ආරක්ෂාව සඳහා කාගෙන් හෝ බලවත් සංඥාවක් ලැබීමෙන් පසුවය. ඒ සමග ඔහු උපාය මාර්ගික දේශපාලන වැඩපිළිවෙළක් ද ඉදිරියට ගත්තේය. ඒ අනුව ඔහු පිහිටුවා ගන්නේ ලලිත්- ගාමිණී ඉදිරියට ගෙනා වැඩපිළිවෙළට සමාන වැඩපිළිවෙළකි. ලලිත්-ගාමිණී පෙනී සිටියේ පිරිසිදු එක්සත් ජාතික පක්ෂයක් වෙනුවෙනි. මංගල-ශ්‍රීපති පෙනී සිටින්නේ පිරිසිදු ශ්රීලනිපයක් වෙනුවෙනි. රාජපක්ෂ පාලනය තුළ අපිරිසිදු වී අන්තවාදී ගමන් මගක ගමන් ගනිමින් සිටින ශ්රීලනිපය නැවත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාර නායකගේ මැදුම් පිළිවෙතට ගෙන ඒම සිය අරමුණ බව ඔහු ප්‍රකාශ කරයි. ශ්රීලනිපය නැවත අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදී නිදහසක් සහිත ප්රජාතන්ත්රවාදී පක්ෂයක් බවට පත් කිරීම සිය අරමුණ බව ද ප්‍රකාශ කරයි. ඒකාධිපතිත්වයකට ගමන් කරමින් සිටින රට ඉන් මුදවා ගැනීම සඳහා ප්රජාතන්ත්රවාදී බලවේග යන්ගේ එක්සත් පෙරමුණක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව ගැන ද කතා කරයි. අවංක ලෙස බලය බෙදාහරින වැඩපිළිවෙළක් මගින් ජනවාර්ගික අර්බුදය විසඳා ගැනීමේ අවශ්‍යතාව ගැන ද ඔහු කතා කරයි. සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කළ ලලිත්ට හා ගාමිණීට නැවත සිරිමා බණ්ඩාරනායක සමග එක්සත් පෙරමුණක් ඇති කරගැනීමට හැකිවී නම් තමන්ට එජාප සමග එක්සත් පෙරමුණක් ඇති කරගැනීමට බැරි ඇයි දැයි ප්‍රශ්න කරයි. මංගල හා ශ්‍රීපති යන දෙදෙනා තමන් ලලිත් හා ගාමිණීට සමාන කරගැනීමට විශේෂ කැමැත්තක් දක්වන බව ද පෙනෙන්නට තිබේ.
අංගුලිමාලට ද සිය වැරදි නිවැරදි කරගනිමින් උත්තම තත්ත්වයකට පත්වීමට හැකිවී නම්, මංගලට ද සිය වැරදි නිවැරදි කරගැනීමට හා ඒ මගින් හොඳ මිනිසෙකු බවට පත්වීමට අයිතියක් තිබෙන බවට සැකයක් තිබිය නොහැකිය. එහෙත් හුදෙක් පැති මාරුකිරීමෙන් පමණක් නරක මිනිසෙකු හොඳ මිනිසෙකු වන්නේ නැත. අධම තත්ත්වයක සිටි අංගුලිමාලට උත්තම තත්ත්වයක් හිමිකර ගැනීමට හැකිවූයේ ඔහු තමන් කරන ලද වැරදිවල බරපතළකම තේරුම් ගනිමින් ඒ වැරදි ගැන අවංක පශ්චාත්තාපයක් තම අභ්‍යන්තරයේ ඇති කරගත් නිසාය. එහෙත් මංගලගේ පැණි බේරෙන කතා තුළ ඒ ලක්ෂණය දැනට පෙනෙන්නට නැත.
අපට මෙම කරුණ සාකච්ඡා කිරීම වැදගත් වනු ඇත්තේ රට මුහුණ දී තිබෙන අර්බුදය තේරුම් ගැනීමට ඉන් ආලෝකයක් ලබාගත හැකි නිසාය.
මංගල හා ශ්‍රීපති තමන් ගනු ලැබූ පියවර ලලිත් හා ගාමිණී ගනු ලැබූ පියවරට සමාන කරගැනීමට උනන්දුවක් දක්වන බැවින්, ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ලලිත් හා ගාමිණී ඉදිරියට ගෙනා දෝෂාභියෝග ව්‍යාපාරය දෙස ආපසු හැරී බැලීමක් කිරීම වැදගත්ය.
පසුකලකදී හෙළිදරව් වී ඇති කරුණු අනුව ලලිත් ගාමිණී ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරියට ගෙනාවේ එවැනි ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අවම ඡන්ද ප්‍රමාණයවත් නැතිවය. ඒ අර්ථයෙන් එය ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව කතානායකගේ අනුග්‍රහය ඇතිව ක්‍රියාවට නගන ලද දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස සැලකිය හැකිය. කතානායක දෝෂාභියෝගය බාරගෙන තිබුණේ ව්‍යවස්ථානුකූලව එවැනි යෝජනාවක් භාරගැනීමට තිබිය යුතු අවම අත්සන් සංඛ්‍යාව පවා නොමැතිවය. දෝෂාභියෝග යෝජනාව විසින් ගොඩනගන නව වාතාවරණය තුළ අඩු පිරිස එකතු කරගැනීමට හැකිවනු ඇතැයි කතානායක සමග ලලිත් හා ගාමිණී ද විශ්වාස කළේය. එහෙත් ඒ වෙනුවට සිදුවූයේ අත්සන් කළ සමහර අය ද ජනාධිපති ප්‍රේමදාසට එකතුවීමය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ දෝෂාභියෝගය ව්‍යර්ථ වී එහි නියමුවන්ට සිය මන්ත්‍රී ආසන ද අහිමිවීමය.
ලලිත් හා ගාමිණීගේ දෝෂාභියෝග ව්‍යාපාරය ප්‍රේමදාස ආණ්ඩුව කෙරෙහි මහජනයා තුළ පැවති බිය තුනීකොට රටේ ප්රජාතන්ත්රවාදී අවකාශය, වර්ධනය කොට අවසානයේ ආණ්ඩු පෙරළියක් ද ඇති කිරීමට හේතු වුවත් දේශපාලන ක්රමයේ ව්‍යුහමය වෙනසක් ඇති කිරීමට හේතු නොවූ බව ද අප අමතක නොකළ යුතුය. රට සාම්ප්‍රදායික ආණ්ඩු මාරුවකින් ඔබ්බට ගෙනයාමට එය අසමත් විය. අවුලේ දෙපැත්තේම නායකයන්ගේ ජීවිත අහිමි වූ බව ද අපි අමතක නොකළ යුතුය. ඒ නිසා නායකයින් ලෙස සැලකිය හැකි දේශපාලන යෝධයන් තිදෙනෙකුගේ ජීවිත රටට අහිමි වී එතැන් සිට අඟුටුමිට්ටන් රජ කරන යුගයක් රටට උදාවිය.
දැන් අපට මංගලගේ ඊළඟ තර්ක සාකච්ඡාවට ලක් කළ හැකිය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ කේක් ගෙඩියෙන් වැඩි කොටසක් තමන් වෙත තබා ගනිමින් ඇමතිවරුන්ට නොවැදගත් සුළු පංගුවක් බෙදාදීම ගැන මංගල කතා කරයි. මංගල සමරවීරට අනුව අමාත්‍යාංශවලින් 70%ක් පාලනය කරන්නේ ජනාධිපතිය. ඇමතිවරුන් සිය ගණනාවකට ලැබී ඇත්තේ ඉතිරි 30%ක් පමණය. අප මෙම තර්කය මංගලට ආදේශ කළ විට ලැබෙන පිළිතුර කුමක්ද? අපට චන්ද්‍රිකා පාලන යුගයෙන් ආරම්භ කළ හැකිය. ඒ යුගයේ කේක් ගෙඩියෙන් ලොකුම කුට්ටියක් මංගලට ලැබී තිබුණේය. ඒ නිසා අන්‍යයන්ට වන අසාධාරණයක් ගැන මංගල එදා කතා කළේ නැත. රාජපක්ෂ යුගයේදීත් ලොකුම කුට්ටිය එනම් විදේශ කටයුතු, වරාය හා ගුවන් තොටුපළ ලැබී තිබුණේ මංගලටය. මංගලට කේක් සවලෙන් බෙදන විට වෙනත් අයට බෙදා තිබුණේ තේ හැන්දෙනි. තමන්ට වැඩියෙන් බර තබන අසමාන බෙදාදීමකදී ඒ නිසා අනුන්ට සිදුවන පාඩුව ගැන මංගල එදා එකම වචනයක්වත් කතා කළේ නැත. කේක් ගෙඩියේ ලොකුම පංගුව ජනාධිපති භුක්ති විඳින විට ඊළඟට ලොකුම පංගුව භුක්ති වින්දේ මංගලය. දැන් මංගල කතා කරන්නේ ජනාධිපති ගැන පමණය. තමන් ද ඒ දේ ම කළ බව දැන් මංගලට අමතකය.
ශ්‍රීලනිප බණ්ඩාර නායකගේ මැදුම් පිළිවෙතින් බැහැර කොට අන්තවාදී පිළිවෙතකට තල්ලු කර තිබේය යන්න මංගල ජනාධිපතිවරයාට එරෙහිව එල්ල කරන තවත් ප්‍රධාන චෝදනාවකි. එහෙත් ජනාධිපතිවරයා සමග ශ්‍රීලනිප අන්ත ජාතිවාදී ගමන් මගකට තල්ලු කළ පළමු පුද්ගලයා වන්නේ ද මංගලමය. රනිල් වික්‍රමසිංහගේ එජාපයට පාර්ලිමේන්තු බලය ලැබුණු අවස්ථාවේදී එම ආණ්ඩුව අස්ථාවර කිරීම පිණිස ශ්‍රීලනිප ජවිපෙ හිරකරුවකු බවට පත් කළේ මංගලය. ජනාධිපතිනි චන්ද්‍රිකා සමග ශ්‍රීලනිප සිංහල ජාතිවාදයට බර තබා ගමන් කරන මගකට තල්ලු වූයේ එතැන් සිටය. ජවිපෙට කෘත්‍රිම බලයක් ලබාදී ශ්‍රීලනිප අඟුටුමිට්ටෙකු බවට පත් කළේ ද මංගලය. ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ඓතිහාසික ප්රවාහයේ තර්කානුකූල ඵලයක් මිස එම ප්රවාහයේ නිර්මාතෘවරයා වන්නේ නැත. එම ප්රවාහයේ නිර්මාතෘවරයා වන්නේ මංගලය.
අද රට මුහුණ දී තිබෙන අර්බුදය මුළුමණින් නොවෙතත් එහි වැදගත් පංගුවක් නිර්මාණය කිරීමේ වගකීම යා යුත්තේ මංගලගේ කර පිටටය. 2002දී විධායක ජනාධිපති බලය පොදු පෙරමුණ අත තිබියදී පාර්ලිමේන්තු බලය එජාපයට ගියේය. එය මෙම ආණ්ඩු ක්‍රමය යටතේ වියහැකි ස්වාභාවික හා තර්කානුකූල ඵලයක් ලෙස සලකා මේ ඵල දෙක අතර සංහිඳියාවෙන් වැඩ කරන තත්ත්වයක් ඇති කළේ නම් රටේ චිත්‍රය මේ තරම්ම අවාසනාවන්ත නොවන්නට ඉඩ තිබුණි. එජාප පාර්ලිමේන්තු ආණ්ඩුව පෙරළා දමන වැඩපිළිවෙළක් ඉදිරියට ගෙනාවේ මංගලය. ඒ වැඩපිළිවෙළ සාර්ථක ලෙස ඉදිරියට ගැනීම සඳහා ජාතිවාදී සටන් පාඨවලට ගැළපෙන ලෙස ශ්‍රීලනිප ගමන් මග වෙනස් කළේ ද මංගලය. ජාතිවාදී තත්ත්වයක තිබූ ශ්‍රීලනිප ඒ තත්ත්වයෙන් මුදවා ගත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමගම එම පක්ෂය නැවත ජාතිවාදී අන්තවාදයකට තල්ලු කළේ මංගලය. මංගලගේ උපාය මාර්ගික වැඩපිළිවෙළ තුළ කෘත්‍රිම ලෙස විශාල කෙරුණු ජවිපෙ සහාය නැතිව හා ඔවුන්ගේ ජාතිවාදී මතවාදයකට අනුගත නොවී පොදු පෙරමුණු ආණ්ඩුවට පැවතිය නොහැකි තත්ත්වයක් නිර්මාණය කළේ ද මංගලය. ශ්‍රීලනිප ජාතිවාදී නරාවළට තල්ලු කොට දැන් ශ්‍රීලනිප ජාතිවාදී වීම ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂට චෝදනා කරයි.
රාජපක්ෂ පාලනය යටතේ සිදුවන දූෂණ හා නාස්තිය ගැන කතා කරන මංගල තමන්ගේ පාලනය යටතේ පැවති ආයතනවල සිදුවී ඇති දූෂණ හා නාස්තිය ගැන කියන්නේ කුමක්ද? මංගල වරාය ඇමතිව සිටියදී වරායේ අරමුදල් රුපියල් කෝටියක් යොදවා සිය මවගේ පරිහරණයට තැනූ ලිෆ්ට් එකක් ගැන රාවය චෝදනා එල්ල කළ අවස්ථාවකදී මංගල ජනමාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේ තමන් ඒ ලිෆ්ට් එක ගෙදර යන කලක අරන් නොයන බවය. තමාගේ මවගේ ප්‍රයෝජනය පිණිස වාරය අරමුදල්වලින් රුපියල් කෝටියක් යොදා ගැනීම දූෂිත ගණයේ වරදක් ලෙස මංගල නොසලකන්නේද?
රට අර්ධ පොලිස් රාජ්‍යයක් දිසාවට තල්ලු වී තිබෙන බවට ද මංගල චෝදනා කරයි. චන්ද්‍රිකාගේ පාලන යුගයේදී මංගලගේද අනුග්‍රහය ඇතිව විරුද්ධවාදීන් හිංසාවට ලක් කිරීම සඳහා පීඑස්ඩීය යොදා ගත් සාහසික ආකාරය දැන් මංගලට අමතකය. බැද්දගානේ සංජීව, ධම්මික පෙරේරා වැනි නමගිය කුලී මිනීමරුවන් තමාගේද අනුග්‍රහය ඇතිව රඟපෑ භූමිකාව දැන් මංගලට අමතකය.
දැන් මංගල ජනාධිපති මහින්ද රාජපක්ෂට දූෂණ චෝදනා එල්ල කරයි. එහෙත් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට එරෙහිව දූෂණ චෝදනා එල්ල වූ සෑම අවස්ථාවකදීම ඇගේ ආරක්ෂාව සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටියේ මංගලය. එහි තේරුම මහින්ද දූෂිත වන විට චන්ද්‍රිකා අදූෂිත වූ බවද? තමන් අකමැති පුද්ගලයාගේ දූෂණ හෙළිදරව් කරන හා තමන් කැමති පුද්ගලයන්ගේ දූෂණ වසන් කරන පිළිවෙතක් අවංක දූෂිත විරෝධී පිළිවෙතක් ලෙස සැලකිය හැකිද?
මංගලගේ වර්තමාන පිළිවෙත ත්‍රාසජනක විය හැකිය. එහෙත් අවංක නැත. මංගල පොදුවේ චෞරකමට විරුද්ධ නැත. විරුද්ධ වන්නේ තමන් අකමැති චෞරයන්ගේ චෞරකම්වලට පමණය.
මංගලට දේශපාලන වශයෙන් අවංක ලෙසට අරහත්වීමට අවශ්‍ය නම් මෙම මහා අර්බුදය කෙරෙහි පුද්ගලයාට වඩා දේශපාලන ක්‍රමය බලපා තිබෙන ආකාරය තේරුම් ගනිමින් ආණ්ඩු පෙරළන වැඩපිළිවෙළකින් ඔබ්බට ගිය දේශපාලන ක්රමයේ ව්‍යුහමය වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් හඬ නගන හා ක්‍රියා කරන තැනකට යා යුතුය. දේශපාලන ක්‍රමය තිබෙන්නේ අණ්ඩ දැමිය හැකි තැනක නොවන බව තේරුම් ගත යුතුය.
දේශපාලන ක්‍රමයත් එක්තරා ආකාරයක යන්ත්‍රයකට සමානය. දේශපාලන ක්‍රමය නමැති මෝටර් රථයේ බාහිර පෙනුම ගාම්භීර තත්ත්වයක තබා ගැනීම සඳහා අනවශ්‍ය තරමට වියදම් කර ඇතත්, නොකඩවා එන්ජිම නඩත්තු නොකරන තත්ත්වයක් තුළ දේශපාලන ක්‍රමය නමැති මෝටර් රථය තවදුරටත් ඉදිරියට ගෙනයා නොහැකි තත්ත්වයකට අබල දුබල වී ඇති බව තේරුම් ගත යුතුය. සිදුවිය යුතුව තිබෙන එම මහා වෙනස පහළින් වන සමාජ විප්ලවයක් මගින් සිදුවන තත්ත්වයක් රටේ නොපවතී නම්, ඒ වෙනස්කම් සිදුවිය යුතුව තිබෙන්නේ ඉහළිනි. එවැනි වෙනසක් ආණ්ඩුවකට පමණක් හෝ විරුද්ධ පක්ෂයකට පමණක් ඉටු කළ නොහැකිය. එවැන්නක් ඉටු කළ හැකිවනු ඇත්තේ සියලු දේශපාලන නායකයන් එකට එකතු වී තවදුරටත් පාවිච්චි කළ නොහැකි තරමට අබල දුබල වී යල් පැනගිය තත්ත්වයකට පත්ව ඇති මෝටර් රථය වෙනුවට නව මෝටර් රථයක් නිර්මාණය කරගැනීමෙනි. මෝටර් රථයේ සුක්කානම බාරදිය යුතු හොඳම රියදුරා කව්ද යන ප්රශ්නය විසඳා ගැනීම සඳහා වන තරග පැවැත්විය යුත්තේ ඉන්පසුවය. •
නායකත්වය හා ප්‍රඥාව
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ ස්වභාවය හා එය ගමන් ගනිමින් තිබෙන දිශාව නිවැරදි ලෙස තේරුම් ගැනීමට ආණ්ඩු පක්ෂය හෝ විරුද්ධ පක්ෂය සමත් වී නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කළමනාකරණ ප්‍රතිපත්තියේ බරපතළ දෝෂ ඇති බවට සැකයක් නැත. ඒ දෝෂ, අර්බුදය තීව්ර කිරීමට හේතුවී ඇති බව ද සත්‍යයකි. එහෙත් ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය තනිකරම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කරන ලද අර්බුදයක් ලෙස සැලකිය නොහැකිය. එය කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රමානුකූලව වර්ධනය වූ අර්බුදයකි. දේශපාලන ක්රමයේ හැම අංශයක්මත් ගරා වැටෙන තත්ත්වයකට පත්ව තිබෙන අතර, දේශපාලන ක්‍රමය උසුලාගෙන සිටින සියලු කුළුණු ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබේ. එය පාලකයා පිළිබඳ අර්බුදයකින් ඔබ්බට ගිය අර්බුදයකි. පාලකයා වෙනස් කිරීමෙන් පමණක් ජයගත නොහැකි අර්බුදයකි.
මෙවැනි අර්බුදයන්ට ගොදුරු වී එම තත්ත්වය ජයගත් හැම රටක්ම එසේ ජයගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය එකට එකතු වී දේශපාලන ක්‍රමය ව්‍යුහමය වෙනසකට ලක්කිරීමෙනි. එම ධර්මතාව අප රටට ද පොදුය. එහෙත් එම යථාර්ථය දැකීමට තවමත් අපි අසමත්ව සිටිමු.
මෙම විෂය පිළිබඳව කරන අදහස් හුවමාරුවකදී මගේ මිත්‍රයෙකු විසින් ඉදිරිපත් කරන ලද තියුණු නිරීක්ෂණයක් මෙසේය.
““ව්‍යුහමය වෙනස්කම් ඇති කරගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අපොහොසත්ය. අනෙක් අතට කිසිදු වෙනසක් ඇති කරනවා දකින්නට විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කැමති නැත.””
මෙම නිරීක්ෂණය නිවැරදිය. හිරවීම ඇත්තේ එතැනය.
රට අතිවිශාල අර්බුදයක තිබෙන බව පිළිගන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමති නැත. අනෙක් අතට මෙම අර්බුදය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇති කළ අර්බුදයක් ලෙස හුවා දක්වන්නට රනිල් වික්‍රමසිංහ මහතා කැමතිය.
““බලයේ සිටින නායකයා වශයෙන් තමන්ට ලැබී තිබෙන පරම බලය අත්හරින්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමති නැත. ඊළඟට බලයට එන්නට අපේක්ෂා කරන නායකයා වශයෙන් ජනාධිපතිවරයාට තිබෙන පරම බලයේ වෙනසක් ඇති කරනවා දකින්නට රනිල් වික්‍රමසිංහ මහතා කැමති නැත. මෙම නායකයන් දෙපළට ප්‍රඥාව පහළ වනු ඇත්තේ කවදාටද?””
රාජ්‍යයේ අධම ලක්ෂණ
රටේ වර්තමානයේ සේ ම අප දන්නා අතීතයේද කටයුතු සිදුවුණ හා සිදුවන ආකාරය පෙන්නුම් කරන අපූරු නිදර්ශන දෙකක් නිධාන කතාවක් ලෙස මතුවී තිබේ.
මොණරාගල සීනි කම්හලේ ප්‍රධානියා තමන්ට මුහුණ දෙන්නට සිදුවී තිබෙන අර්බුදයක් අධිකරණය ඉදිරියට ගෙනාවේය. ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ඔහු ඉල්ලා සිටින කප්පම දෙන තෙක් සීනි කම්හලේ වැඩ කරගෙන යෑමට ඔහුට ඉඩ නොදෙන්නේය.
ඔහුට උසාවිය සාධාරණය ඉටු කළේය.
එහෙත් මෙය මොණරාගල පමණක් පවතින විශේෂ තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. වෙනත් හැම පළාතකම පාහේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ අඩු වැඩි වශයෙන් ඊට සමාන ආකාරයකටය. ප්‍රාදේශීය මට්ටමේ ව්‍යාපාරවලදී එම ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා එම ව්‍යාපාරිකයන් ප්‍රාදේශීය දේශපාලන බලවතුන්ට කප්පම් ගෙවිය යුතුය. ප්‍රාදේශීය දේශපාලන බලවතුන් අපේක්ෂා කරන ප්‍රමාණයට කප්පම් නොලැබෙන අවස්ථාවලදී ඔවුන් එම ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික කටයුතුවලට අවහිර කරති. මෙම කප්පම් ගෙවීමේ ක්‍රමය ප්‍රාදේශීය සභාවේ සභාපති දක්වාම ක්‍රියාත්මක වේ.
මාවිල්ආරු වංචා නඩුව ග්‍රාමීය ජනතාවට ලබාදෙන සහනවලට සිදුවන කලදසාව පිළිබඳව කදිම චිත්‍රයක් අපට ලබාදෙයි. මෙම තත්ත්වය මාවිල්ආරු ප්‍රදේශයට පමණක් නොව රටේ සියලු ග්‍රාමීය ප්‍රදේශවලට අදාළය. ගසාකෑමට නිල බලයක් ඇති අය ඊට ඉඩක් ලැබෙන හැම අවස්ථාවකදීම අනුකම්පා විරහිතව ගසා කති.
අපි ඊ ශ්‍රී ලංකාවක් ගැන කතා කරමු. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කටයුතු පරිගණක ගත කිරීම සඳහා විශාල වියදමක් දරා ඇති බව ද කියනු ලැබේ. එහෙත් තවමත් ගුරුවරුන්ට ඔවුන්ගේ වැටුප් වර්ධක ස්වයංක්‍රීය ලෙස ඔවුන්ගේ වැටුපට එකතු වන ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැත. ගුරුවරුන් සිය වාර්ෂික වැටුප් වර්ධකය ලබාගැනීම සඳහා වාර සිය ගණනක්වත් අධ්‍යාපන කාර්යාලයට දැනුම් දිය යුතුය. වසර ගණනාවකට පසුව හිඟ මුදල ලබාගැනීම සඳහා හැම ගුරුවරයෙකුම අධ්‍යාපන කාර්යාලයට පගාවක් ගෙවීම අනිවාර්යය.
ගුරුවරුන්ට තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මසකට දින කිහිපයක් අධ්‍යාපන කාර්යාලවල රස්තියාදු වන්නට සිදුවී තිබෙන බව ගුරු වෘත්තීය සමිති නායකයකු රාවයට ප්‍රකාශ කර තිබුණි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව කර තිබෙන සමීක්ෂණයකට අනුව එක දිනකට වැඩට නොපැමිණෙන ගුරුවරුන්ගේ ගණන 50,000කි.
ගරා හැලීමේ ක්‍රියාවලිය එක තැනකට හෝ තැන් දෙක තුනකට සීමාවී නැත. එය හැම තැනකටම ආවේණික පොදු ලක්ෂණයක් බවට පත්වී තිබේ.
අසමත්භාවයේ පරිමාව පෙන්නුම් කරන මාර්ග ප්‍රතිපත්තිය
රිචඩ් පතිරණ මහතා බලවත් ඇමති ධුරයක් දරන කාලයේදී ලබුදූවේ සිට කරාපිටිය, කලේගාන හරහා ගිංතොට කොළඹ මාර්ගය වැටෙන පාරත්, කරාපිටියේ සිට බෙලිගම රිච්මන්ඩ් කන්ද හරහා කොළඹ මාර්ගයට වැටෙන පාරත් කාපට් ඇතුරූ නවීන මාර්ග බවට පත් කළේය.
මෙම මාර්ග නවීකරණ ක්‍රියාවලිය සිදුවූයේ 1997 වසරේ හෝ 2000 වසරේදීය. මාර්ග නවීකරණ ක්‍රියාවලිය ඉතා හොඳින් සිදුකර තිබුණු අතර, ඒ සඳහා රුපියල් කෝටි ගණනක් වැය වන්නට ඇතැයි සිතිය හැකිය. ඒ ආකාරයට නවීන කරන ලද මහ පාරක්, අවුරුදු 20ක් වත් පැවතිය යුතු වුවත්, අද වන විට එම මාර්ග දෙක වාහනයකින් ගමන් කළ හැකි තත්ත්වයකවත් නොපවතී. කාපට් ඇතිරීමෙන් පසු විදුලි සංදේශ රැහැන් සඳහා ජලය සඳහා ද විටින් විට මාර්ගය හෑරුවේය. ඉන්පසු ඒවා යථා තත්ත්වයට පත් කිරීමක් සිදු නොවීය.
පටු මාර්ගයක් වුවත්, කාපට් යොදා දෙපැත්තේ කාණු බඳ මාර්ගයක් නවීන කිරීමට එක් කිලෝමීටරයක් සඳහා යන වියදම රුපියල් කෝටියකටත් වැඩිය. එතරම් විශාල වියදමක් දරා තනන මාර්ග නැවත නැවත විවිධ හේතු නිසා කඩා බිඳ දමයි. මාර්ගවලදී මෙවැනි විනාශකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරන එකම රට ශ්‍රී ලංකාව විය හැකිය. විදුලි සංදේශ රැහැන් යැවීම හා ජල නල සඳහා අභ්‍යන්තර කාණු පද්ධතියක් සමග එක්වර ඉදිකිරීමේ හැකියාවක් ඇතත්, එවැනි ක්රමයකටවත් මාරුවීමට රට සූදානම් නැත. ජාතික ධනය කෝටි ගණනින් කාබාසිනියා කරන මෙම අධම ප්‍රතිපත්තිය වෙනස් කිරීමට දේශපාලකයින් පමණක් නොව එම විෂයෙහි ක්‍රියාකරන විද්වත් වෘත්තිකයන් පවා සූදානම් නැත. රටක් මේ තරම්ම මෝඩ නම් ඒ රට තව තව කාලකණ්ණිභාවයට යනවා මිස ගැලවීමක් උදා කරගත හැකිවනු ඇත්තේ කෙසේද? •