මානසික ත්‍රස්තවාදය හා වාචික ත්‍රස්තවාදය

October 29, 2026
Publication:
Three media people in Ivan's house tell him an e-mail is circulating saying the president pays him two lakhs a month; he shows them the anonymous abuse on his own phone, sent from an untraceable number. From there he describes a smear published by an award-winning journalist who had not read the book she was writing about and did not ask him — and argues for an atmosphere in which governments can be changed without this kind of damage.

මීට සති දෙකකට පෙර සති අන්තයක මගේ නිවසට පැමිණි ජනමාධ්‍ය විෂයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු රටේ වත ගොත ගැන කතා කරමින් සිටියදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මට මසකට රුපියල් ලක්ෂ දෙකක මාසික ගෙවීමක් කරන බවට ඊ- මේල් පණිවුඩයක් හුවමාරුවෙමින් තිබෙන බව කීවේය. මා ඊට පිළිතුරු වශයෙන් මගේ ජංගම දුරකතනයට ලැබී තිබුණු එස්එම්එස් පණිවුඩයක් ඔවුන්ට පෙන්වීමට සිදුවිය. එහි සඳහන්ව තිබුණේ අසභ්‍ය භාෂාවෙන් කරන බැණ වැදීමකි. පුදුමයට මෙන් පණිවුඩය එවන පුද්ගලයා පණිවුඩය එවා තිබුණේ පණිවුඩය එවන ස්ථානය හඳුනාගත නොහැකි ආකාරයටය. පණිවුඩය එවන්නාගේ අංකය වශයෙන් එහි සටහන්ව තිබුණේ ිමබඑැක අදඅ-007 වශයෙනි. එය පාඨකයකුගෙන් හෝ සාමාන්‍ය පුද්ගලයෙකු විසින් එවන ලද්දක් නොව අතිවිශේෂ පුද්ගලයෙකු විසින් එවන ලද්දක් බව තේරුම් ගැනීම අමාරු නැත.

පසුගිය සති අන්තයේ උවිඳු සමග කරන ලද දුරකතන කතාබහකදී තමන්ට අලුත් කතා දෙකක් අසන්නට ලැබුණු බව ඔහු කීවේය. එක් කතාවකින් කියවෙනුයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අරමුදලෙන් මුදල් ගෙවා මාගේ පුතා ඇමරිකා එක්සත් ජනපදයට යවා ඇති බවය. අනෙක මා ගැන හුවමාරුවෙමින් තිබෙන ඊ-මේල් ග්‍රුෆික් චිත්‍රයක් ගැනය. ජනාධිපතිගේ පස්ස ලෙවකන දිවක් ඇඳ එය වික්ටර් අයිවන්ගේ දිවද යන ප්‍රශ්නය මතුකර තිබෙන බව ඔහු කියා සිටියේය. මා වෙත එවා තිබුණු නිර්නාමික නොවන ඊ-මේල් පණිවුඩයකින් අන් රාජ්‍ය නායකයින් විවේචනය කිරීමට බිය නොවූ මම මහින්ද රාජපක්ෂ විවේචනය නොකරන්නේ ඇයිද යන ප්‍රශ්නය මතු කොට තිබුණි. මම ඔහුට පිළිතුරක් යැව්වෙමි. ඒ මෙසේය. මහින්ද රාජපක්ෂ පිළිබඳව මා ලියන දේවල් සැර මදියි කියා ඔබට සිතේ නම් මහින්ද රාජපක්ෂ පිළිබඳව ඔබට තිබෙන සැර විවේචන ඔබේ නමින් මට එවන්න. ඔබ එවන විවේචන කොතරම් සැර වුවත් ඒවා කරුණු සහිත විවේචන වේ නම් ඒවා පළකරදීමට මම සහතික වෙමි. නුතන පුවත්පත් කලාව යනු කර්තෘ හෝ කර්තෘ මණ්ඩල සාමාජිකයන් පමණක් ලියන දේට පමණක් සීමා වූවක් නොවන බව කරුණාවෙන් සලකන්න. පුවත්පතෙහි පළවන දේවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මහජනයා ලියන දේවලින් සමන්විත වීම නූතන පුවත්පත් කලාවට ආවේණික සාමාන්‍ය ලක්ෂණයකි. ඒ නිසා මගේ අදහස් පළකිරීම්වලට සීමාසහිතකම් ඇත්නම් ඒ අඩුව ඔබ වැනි අයට සපුරාලිය හැකි බව සලකන්න.

සමාජයේ සිදුවන දේවල් පිළිබඳව සංවේදීභාවයකින් යුතු හොඳ උගත්කමකින් ද යුතු මාගේ මිතුරකු වර්තමානයේ මා පෑන හසුරුවමින් තිබෙන ආකාරය පිළිබඳව විවේචනයක් කළේය. මම ඔහු කියන දේට සාවදානව සවන් දුන්නෙමි. මංගල හා ශ්‍රීපති හොඳ මිනිසුන් නොවෙතත් මෙම විශේෂ මොහොතේදී මා ඔවුන් කරන අරගලයට අකුල් නොහෙළා ඔවුන්ට ආධාර කළ යුතුව තිබුණු බව ඔහු කියා සිටියේය. මා ඔහු පෙරළා ප්‍රශ්න කිරීමකට ලක් කළෙමි. ඔබ ඉතා උගත්, හොඳ ආර්ථික පසුබිමකින් යුතු සමාජ අරගල ගැන සංවේදී මනසක් ඇති පුද්ගලයෙකු වුවත්, අනුන් කරන සටන් පැත්තකට වී උද්යෝගීමත්ව බලා සිට ඔල්වරසන් දෙනවා හැරෙන්නට මොනම සමාජ අරගලයකටවත් ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී ඇත්ද යන ප්‍රශ්නය මතු කළෙමි. තමා අනුන් කරන සටන් බලා සිටින්නකු පමණක් බව ඔහු පිළිගත්තේය. ඔහු සටන් නරඹන්නෙකු පමණක් නම් සටන් කරන්නේ මා නම් නරක ප්‍රතිවිපාක වෙතොත් ඒවා විඳින්නට සිදුවන්නේ ද මට නම් සටන් කළයුතු මොහොත තීරණය කළ යුත්තේ මා ද නැත්නම් ඔබදැයි මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. එය තීරණය කළ යුත්තේ ඔහු විසින් නොව මා විසින් බව ඔහු පිළිගත්තේය.

දේශපාලන සටනක් යනු කුකුල් පොරයක් හෝ ගොන් පොරයක් වැනි දෙයක් නොවේ. ගොන් පොරය ස්පාඤ්ඤයේ ජාතික ක්‍රීඩාවකි. ශක්තිමත් අනින ගොනෙකු සමග පොරයට දමන්නේ තෝරාගත් ශක්තිමත් මිනිහෙකි. ගොනා හා මිනිසා අතර ඇතිවන පොරය නරඹා මහජනයා මහත් ආශ්වාදයක් විඳියි. ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන සටන් ද ගොන් පොරවලට සමාන කළ හැකිය. ඒවා, නරඹන මහජනයාගේ ආශ්වාදයට හේතු වනවා හැරුණු විට සමාජය කෙරෙහි ඇති කරන කිසිම යහපත් ප්‍රතිඵලයක් නැති තරම්ය.

ජනමාධ්‍යවේදීන් පෑනෙන් කරන බොහෝ අරගල තුළ ද ඒ හිස්බව දැකිය හැකිය. හැම ආණ්ඩුවක් යටතේම දූෂණයට හා භීෂණයට අදාළ ඇඟ කිළිපොලා යන කතා පුවත්පත් හෙළිදරව් කිරීම් ලෙස ඉදිරිපත් කරනු ලැබේ. කතා කොතරම් බරපතළ වුවත්, එහි රශ්මිය තිබෙන්නේ දින කිහිපයක් පමණය. මහජනයා පමණක් නොව එවැනි කතා පළ කළ පත්තරකාරයෝ ද සියල්ල දින කිහිපයකින් අමතක කරති. හෙළිදරව් කිරීම් නිසා එකම බලවත් පුද්ගලයෙකුටවත් දඬුවම් ලබා නැත. තමන් කරන හෙළිදරව් කිරීම් තර්කානුකූල අවසානයකට ගෙනයාමේ වුවමනාවක් පත්තරකාරයින්ට නැත. තමා දරුණු වංචාකාරයෙකු ලෙස හෙළිදරව් කරන පුද්ගලයා සමහරවිට තවත් කෙටි කාලයකින් ඒ පත්තරකාරයාගේ ම වීරයෙකු බවට පත්වේ.

ලසන්ත වික්‍රමතුංග චන්ද්‍රිකා පාලන යුගයේදී ඇගේ හොර මැරකම් හෙළිදරව් කළේය. රටේ ජනාධිපති වශයෙන් චන්ද්‍රිකා ප්‍රසිද්ධ කර තිබූ අධ්‍යාපනික සුදුසුකම් වංචාවක් බව ඔහු කරුණු සහිතව ඔප්පු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ඇගේ වෛරයට ලක්වී සිටියේය. ඇගේ මැරවරයින් ඔහුට ද, ඔහුගේ බිරිඳට ද පහර දුන්නේය. නිවසට වෙඩි තැබුවේය. අප දෙදෙනා ඝාතනය කරවීමේ වැඩපිළිවෙළක් ද ඇයට තිබුණේය. ලසන්ත හා මා මුලදී සිටියේ එක පැත්තක නොව දෙපැත්තකය. එහෙත් ඇගේ මැරවරයින් ඔහුට පහර දුන් විට චන්ද්‍රිකාට තිබුණු සබැඳියාව නොසලකා ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියෙමි. ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට එන ලෙස මංගල ඔහුට අභියෝග කළ විට ලසන්ත මාගේ සහාය ඉල්ලා සිටි විට මම ද ඔහු සමග එම විවාදයට සහභාගි වීමි. ඔහුගේ පුවත්පත හා මුද්‍රණාලය සීල් තබන ලද අවස්ථාවේදී පුවත්පත වෙනත් නමකින් පළකිරීමට අවශ්‍ය නම් රාවය මුද්‍රණාලය ප්‍රයෝජනයට ගන්නා ලෙස මම ඉල්ලා සිටියෙමි.

ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා හා රනිල් අන්‍යොන්‍ය අවබෝධයකින් ක්‍රියා කරන තැනකට ඒමත් සමග ඇය ලසන්තට සිටින හොඳ වීරවරිය බවට පත්විය. ලසන්ත ඇය බලයේ සිටියදී ඇය වෙත ලියා යවන ලද කරුණු විමසීමකට ඇය පිළිතුරු එවා තිබුණේ තමන් මිනිසුන්ට මිස පණුවන්ට පිළිතුරු නොදෙන බවය. පටු දේශපාලන වුවමනාවන් මත සියල්ල ආපසු කැරකී ලසන්ත ඇය වීරවරියක ලෙසත්, ඇය ලසන්ත වීරයෙකු ලෙසත් සලකන තත්ත්වයක් උදාවිය.

අතීතය ගැන කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව කොළඹ නගරය පුරා අලවන ලද පෝස්ටර් ව්‍යාපාරයත් සමග ලසන්ත පළ කරන ලද ඇගේ සම්මුඛ සාකච්ඡාව බලා මම ලසන්තට දුරකතනයෙන් කතා කළෙමි. එම සම්මුඛ සාකච්ඡාව ගැන මා කෙටි විවරණයක් ලියන බව කීවෙමි. විවරණය ලියන්නට පෙර එය ලසන්තට කියන්නට සිතුණේ එකම විෂය ක්ෂේත්‍රයක වැඩ කරන මිතුරකු වශයෙන් එසේ කිරීම අවශ්‍ය යැයි කල්පනා කළ නිසාය. සම්මුඛ සාකච්ඡාව අළලා ලියන ලද විවරණය සතුරු ආකල්පයකින් කරන ලද හැඩිදැඩි විවේචනයක් නොවීය. එය ලසන්තගේ කෝපයට හේතුවී පෙරළා පලිගත්තේ “චෞර රැජින“ පොත වෙනත් කෙනෙකුගේ වුවමනාවක් මත එම පුද්ගලයාගෙන් ලබා ගත් මුදලින් පළ කරන ලද පොතක් බව කියන කතාවක් සොනාලි සමරසිංහ ලවා ලියවා පළකිරීමෙනි.

මේ ලිපිය පළවන විට මා සිටියේ කැනඩාවේය. කැනඩාවේ සිට පැමිණීමෙන් පසු ලිපිය කියවන්නට ලැබුණේ ද දින ගණනාවකට පසුවය. ලිපිය කියවූ පසු පුදුමයකට වඩා මට ඇතිවූයේ පිළිකුලකි. ලිපිය ලියා තිබුණේ සම්මානලාභී ජනමාධ්‍යවේදිනියකි. ඇය හොබවන නිල තනතුරෙන් දෙවැනි වූයේ ලසන්තට පමණය. මෙම සම්මානලාභී ජනමාධ්‍යවේදිනිය පොතේ උත්පත්ති කතාව ලියා තිබුණේ අඩුම වශයෙන් පොතවත් නොකියවාය. එවැනි බිහිසුණු චෝදනාවක් එල්ල කරන අවස්ථාවක ඒ ගැන මගෙන් ද කරුණු විමසීමේ වගකීමක් හා පිළිගත් ආචාර ධර්මයක් තිබුණ ද, ඇය ඇගේ කතාව ලියා තිබුණේ මගෙන් කරුණු විමසීමක් පවා නොකරය.

මා චන්ද්‍රිකා ගැන පොතක් පළකරන්නට යන බව ලසන්ත දැන සිටියේය. මට ටවුන් හෝල් බෝම්බ සිද්ධිය පිළිබඳව වෙනස් විග්‍රහයක් ඇති බව දැන සිටි සුළු පිරිස අතර ලසන්ත ද කෙනෙකු විය. මා ඒ විෂය ගැන ඔහු සමග ද කතා කර තිබුණි.

මා සොනාලිගේ ලිපියට පිළිතුරක් ලියා යැව්වේමි. (එය අන් තැනක පළකර තිබේ.) එය පළකරනවා වෙනුවට විද්‍යුත් තැපෑලෙන් ඔහු මට කෙටි පිළිතුරක් එවා තිබුණි. (එය ද අන් තැනක පළකර තිබේ.) ලසන්තට මගේ පිළිතුර පළකිරීමේ ඇත්ත හැකියාවක් නොතිබුණි. ඒ නිසා දිග හැරෙන විවාදයකදී එහි සඳහන් චෝදනාව ඔප්පු කිරීමේ හැකියාවක් ඔහුට නොතිබුණි. එය හුදෙක් මා නින්දාවට ලක් කිරීම පිණිස නිර්මාණය කරන ලද කතාවක් පමණක් විය.

ලසන්තට තමන්ගේම දේශපාලන අපේක්ෂා පවතී. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී කැබිනට් ඇමතිවරයෙකු වීම ඔහුගේ අපේක්ෂාවයි. ඔහු එය සිය මිතුරන්ට සඟවන්නේ ද නැත. ඒ අපේක්ෂාවේ ඇති වරදක් ද නැත. එහෙත් තමන්ගේ පෞද්ගලික අපේක්ෂා ඉක්මණින් සපුරා ගැනීම සඳහා කරන දඩබිම් අරගලවලට අපි කොටස්කරුවන් විය යුත්තේ ඇයි?

ලසන්ත සටන් කරන්නේ යූඑන්පී ආණ්ඩුවක් සඳහාය. මා සටන් කරන්නේ ශිෂ්ටසම්පන්න දේශපාලන ක්‍රමයක් සඳහාය. අපි අතර තිබෙන මූලික වෙනස එයයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම දුරකතන සංවාදයක් නිසා ඇතිවූ ආරාවුල දුරදිග යන්නට නොදී සමනය කිරීමට අපි උත්සාහ කළෙමු. අපි කැමති වුණත් නැතත් මහජන ඡන්දයකින් ජනාධිපතිවරයෙකු බලයට පත්වූ වහාම ඔහු සමග රළු රණ්ඩු කරන තැනකට යාම සුදුසු නොවන බව මගේ මතය විය. ඒ මතය එදා ලසන්ත ප්‍රතික්ෂේප කළේ නැත. යථාර්ථවාදී දේශපාලන ඉලක්කවලින් තොර බව නැවත ඒ ඉලක්ක දිනාගැනීම සඳහා ඉදිරියට ගනු ලබන සංවිධාන හා සටන්ක්‍රම යථාර්ථවාදී නොවීම මංගල-ශ්‍රීපති අරගලයට පමණක් නොව ලංකාවේාදේශපාලන සටන්වලට ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

ඉලක්කය යථාර්ථවාදී නොවේ නම් එය දිනාගැනීම සඳහා යොදා ගැනෙන සංවිධානය හා සටන් ක්‍රමය කොතරම් හොඳ වුවත්, එය ඵලරහිත අරගලයක් වනු නොවැළැක්විය හැකිය. අනෙක් අතට ඉලක්කය කොතරම් හොඳ වුවත්, එය දිනාගැනීම සඳහා යොදා ගැනෙන සංවිධාන හා සටන් ක්‍රමය නිවැරදි නොවේ නම් එය ද ඵලරහිත අරගලයක් වනු නොවැළැක්විය හැකිය. ආණ්ඩු වෙනස් කරනවා හැරුණු විට ඵලදායී දේශපාලන ප්‍රතිසංස්කරණ ලබාදීමට අසමත් වී ඇති ප්‍රධාන ධාරාවේ දේශපාලන අරගල මොහොතකට අමතක කොට බලය අල්ලා ගැනීම සඳහා ජවිපෙ දියත් කළ කැරලි දෙක හා වෙනම රාජ්‍යයක් දිනාගැනීම සඳහා එල්ටීටීඊ ක්‍රියාත්මක කළ යුද්ධ ව්‍යාපාර විග්‍රහ කර බලන විට පෙනී යනුයේ මෙම ව්‍යාපාර දෙකම යථාර්ථවාදී ඉලක්ක ඇතිකර ගැනීමට සේ ම, යථාර්ථවාදී සංවිධාන ක්‍රම හා සටන් ක්‍රම යොදා ගැනීමට අසමත්වීම තුළ අසමත් බවට පත්වූ හා අසමත් බවට පත්වෙමින් සිටින දේශපාලන ව්‍යාපාර දෙකක් වන බවය. විජේවීරගේ කැරලි දෙක පරාජයෙන් කෙළවර වූවා පමණක් නොව, ඒවා අවසාන විග්‍රහයේදී කාලකණ්ණිභාවය හා විනාශය හැර කිසිම ජයග්‍රහණයක් සමාජයට ලබාදීමට ද අසමත් විය. ප්‍රභාකරන්ගේ යුද්ධ ව්‍යාපාරයට ආවේණික සුළු වාර්ගික ස්වරූපය නිසා එය දීර්ඝකාලීන වශයෙන් අල්ලා ගෙන සිටීමට හැකිවී ඇතත්, අවසාන විග්‍රහයේදී එය ද දෙමළ සමාජයට ලබාදීමට සමත්වී ඇත්තේ ද කාලකණ්ණිභාවය හා විනාශය පමණය. විජේවීරගේ ඉලක්ක මනෝරාජික වූවා සේ ම ප්‍රභාකරන්ගේ ඉලක්කය ද මනෝරාජිකය. මේ දෙදෙනාම සිය මනෝරාජික ඉලක්ක දිනා ගැනීම සඳහා යොදා ගත් සටන් ක්‍රම ද ඉතාමත් විනාශකාරිය. මාගේ ප්‍රතිවාදියා මට එරෙහිව පාවිච්චි කරන සටන් ක්‍රමය කෙරෙහි මා ඔහුට එරෙහිව යොදා ගන්නා සටන් ක්‍රමය බලපායි. මා මගේ ඉලක්ක දිනා ගැනීම සඳහා ආයුධ අතට ගන්නේ නම් මාගේ ප්‍රතිවාදියා මට එරෙහිව සටන් කරනු ඇත්තේ ද ආයුධවලිනි. මා මගේ විරුද්ධවාදීන් ඝාතනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි නම් ඔවුන් ද මට එරෙහිව ඒ සමාන ප්‍රතිපත්තිය යොදා ගනු නොවැළැක්විය හැකිය.

ලෙනින් ප්‍රචණ්ඩ අරගලයක් මගින් රුසියාව ජයගැනීමට සමත් වුවත්, තමන් අපේක්ෂා කළ ලෝකය ගොඩ නැගීමට සමත් වූයේ නැත. ගාන්ධි ප්‍රචණ්ඩ අරගල මාවත වෙනුවට අවිහිංසාවාදී අරගල මාවත තෝරා ගනිමින් සතුරන් ද නොමරා ඔවුන් අතින් සිය මිනිසුන්ට ද මැරෙන්නට ඉඩ නොදී මනුෂ්‍ය ගුණධර්ම ආරක්ෂා කිරීමට හා වැඩි දියුණු කිරීමට හේතුවන ලෙස ඉන්දියාව ජය ගත්තේය. නිදහස දිනාගන්නට යන්නේ හිංසාවෙන් නම් එසේ දිනා ගන්නා නිදහසේ අර්ථයක් නැති බව ගාන්ධි පුන පුනා කීවේය. ගාන්ධිට යථාර්ථවාදී දේශපාලන ඉලක්කයක් තිබුණා සේ ම, එම ඉලක්කය ජයගැනීම සඳහා තෝරාගත් සටන් ක්‍රමය ද මනුෂ්‍ය ගුණධර්මයන්ට ගැලපෙන්නක් විය. මැන්ඩෙලා සිය ව්‍යාපාරයේ පැරණි ඉලක්ක හා සටන් ක්‍රම වෙනස් කරමින් දකුණු අප්‍රිකාව ජය ගත්තේය. අයි.ආර්.ඒ. සංවිධානය ද සිය පැරණි මනෝරාජික ඉලක්ක වෙනස් කරමින් හා ඒ සඳහා යොදා ගන්නා සටන් ක්‍රම වෙනස් කරමින් සිය අයිතිවාසිකම් දිනාගන්නා අරගලය ජය ගත්තේය. අචේ ගරිල්ලන් ද සිය මනෝරාජික අරමුණු වෙනස් කරමින් සන්නද්ධ අරගල මාවත ද අත්හැර අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා කරන අරගලය සාමකාමී රාමුවකට ගෙනාවේය. එල්ටීටීඊයට ද සිය පැවැත්ම රැක ගනිමින් දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලය ජයග්‍රාහී තැනකට ගෙන ආ හැකිවනු ඇත්තේ වෙනම රාජ්‍යයක් කෙරෙහි හා ආයුධ කෙරෙහි තබා ඇති විශ්වාසය අත්හැරීමට සමත් වේ නම් පමණය. කොතරම් දුරක් ගෙවා ඇතත්, පාර වැරදී ඇත්නම් ආපසු හැරීමට අවශ්‍ය නිර්භීතභාවය නැති කිසිම ව්‍යාපාරයකට ජයග්‍රාහී විය නොහැකිය. ශ්‍රී ලංකා රජය මුහුණ දී තිබෙන අර්බුදය ජයගත හැක්කේ එල්ටීටීඊයට වෙනම රාජ්‍යයක් පිළිබඳ අරමුණෙන් හා ආයුධ සන්නද්ධ අරගලයෙන් වෙන්වීමට බලකරමින් දෙමළ අයිතිවාසිකම් පිළිබඳ ආරාවුලට සාධාරණ දේශපාලන විසඳුමක් ලබාදෙන අතර, රටේ සමස්ත දේශපාලන ක්‍රමය සියලු දෙනාගේ ගෞරවයට හේතුවන ලෙස ශිෂ්ටසම්පන්න කිරීමෙන් පමණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද තේරුම් ගත යුතුය. මහින්ද රාජපක්ෂ විරෝධීන් ද මේ මොහොතේ බර තැබිය යුතුව තිබෙන්නේ ආණ්ඩුව පෙරළන සටන්වලට නොව, දේශපාලන ක්‍රමය ශිෂ්ටසම්පන්න කරගැනීම සඳහා කෙරෙන අරගලවලටය. බරපතළ හානි ඇති කරගැනීමෙන් තොරව ආණ්ඩු වෙනස් කළ හැකි ශිෂ්ටසම්පන්න වටපිටාවක් දිනාගත හැකිවනු ඇත්තේ එවිටය. •