වට ම ගොස් ගෙට ම ආ සර්ව පාක්ෂික යෝජනා

October 29, 2026
Publication:
Tissa Vitharana handed the Malwatte Mahanayake a set of proposals for the north and east, and the prelate replied that any settlement must stay inside a unitary framework. Ivan traces the two rival reports of the all-party expert committee and says the majority's proposals are caught in the same cycle that has turned every seven or eight years — war for peace, then fighting the war properly — and will likely end in the rubbish tip near the Temple of the Tooth.

පසුගිය මාර්තු 4 වැනි දා ඉරිදා මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවේ සිද්ධාර්ථ සුමංගල හිමියන් හමු වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය, සර්ව පාක්ෂික සමුළුවෙහි සභාපති තිස්ස විතාරණ මහතා උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීම සඳහා වූ යෝජනා කිහිපයක් එහිමියන්ට බාර දුන් බව මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිණ. ඊට ප්‍රතිචාර වශයෙන් දැක් වූ සුමංගල හිමියන්ගේ අදහස් ද ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කෙරිණ. ඒකීය රාමුවක් තුළ විසඳුම් ලබා දිය යුතු බව උන්වහන්සේගේ අදහස ය.

මහාචාර්ය තිස්ස විතාරණ සභාපතිත්වය හෙබ වූ සර්ව පාක්ෂික කමිටුවේ විද්වත් කමිටු බහුතරය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය හා සුළුතරය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය වශයෙන් යෝජනාවලී දෙකක් මුලින් ඉදිරිපත් විය.

බහුතරයේ යෝජනාවලිය ඉමහත් විවාදයට තුඩු දුන්නේ ය. රජයේ නිලධාරීන් වූ එහි ඇතැම් කමිටු සාමාජිකයන්ගෙන් නිදහසට කරුණු විමසන ලදු ව රජය එම යෝජනාවලිය හෑල්ලුවට ලක් කළේ ය. බහුතරයේ යෝජනාවලිය හා සුළුතරයේ යෝජනාවලිය සැලකිල්ලටගනිමින් පොදු යෝජනාවලියක් සකස් කරන බවට රජය ප්‍රකාශ කළේය. මෙය අරුම පුදුම තීන්දුවකි. විද්වත් කමිටුව පත් කරන ලද්දේ විදේශිකයන් විසින් හෝ ජාත්‍යන්තර සංවිධාන විසින් හෝ නොව ස්වදේශික පාලකයන් විසිනි. රජයේ මෙම තීන්දුවට හේතුව විද්වත් කමිටු බහුතර යෝජනාවලිය ජවිපෙ සහ හෙළ උරුමයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වීම ය.

සර්ව පාක්ෂික විද්වත් කමිටු යෝජනාවලියෙහි ජාතික අර්බුදය වටහාගැනීම මැයෙන් යුත් ඡේදයෙහි මෙසේ දැක්වෙයි. “ශ්‍රී ලාංකික රාජ්‍ය සංස්ථාවේ මේ අර්බුදය පැන නැඟී ඇත්තේ, රට බහුවාර්ගික හා බහු ආගමික වුව ද සංඛ්‍යාත්මක වශයෙන් සුළු වාර්ගික කොටස්වලට රාජ්‍ය බලයේ තමන්ට හිමි කොටස නොලැබී යෑම හේතුවෙනි. එසේ ලැබිණි නම්, ඔවුන්ගේ අදහස අනුව, එමගින් විශාල පරිමාණයේ ජාතික ඒකාබද්ධතාවක් ඇති වන්නට ඉඩ තිබිණ.” සුළුවාර්ගික කොටස්වලට රාජ්‍ය බලයේ තමන්ට හිමි කොටස නොලැබී යෑම සහ ජාතික ඒකාබද්ධතාව පිළිබඳගැටලුව සම්බන්ධයෙන් ජවිපෙ සහ හෙළ උරුමය සිටිනුයේ දැඩි අන්තවාදී ස්ථාවරයකය. එසේ හෙයින්, ඇත්ත වශයෙන් ම ඒකීය රාමුව නොඉක්ම වූ යෝජනාවලියක වුවද අඩංගු වූ උක්ත, කරුණු සමඟ එම පක්ෂගැටුමකට යෑම නොවැළැක්විය හැක්කකි.

මෙ බඳුගැටුම්කාරී අවස්ථා උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම් සෙවීමට උත්සාහගත් සෑම අවස්ථාවක ම ඇති විය. පෙඩරල් සංකල්පය ශ්‍රී ලංකාවේ දේශපාලනයට හඳුන්වා දුන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා දෙමළ ජනයාගේ දුක්ගැනවිලිවලට පිළියම් යෙදීම සඳහා එකඟ වූ බණ්ඩාරනායක චෙල්වනාය.ම්.ිවිසුම භික්ෂූන් ඉදිරියේ ඉරා දමන්නට ඔහුට ම සිදු විය.

එහෙත් පසුගිය යුගය පුරා ක්‍රියාත්මක වී ඇත්තේ, මුළුමනින් ම මධ්‍යගත පාලනයක් නොව, යම් පමණකට බලය විමධ්‍යගත කරන ලද පාලනයකි. පළාත් පාලන ආයතන ක්‍රමය වුව ඊට නිදසුනකි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය, රට බෙදීමේ වෑයමක් හැටියට හඳුන්වා එමගිවිසුම ඉදිරිපත් වූ මොහොතෙහි, රටගිනි තැබීමේ, වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වුව ද වර්තමානය වන විට, එමගිවිසුම යටතේ ක්‍රියාත්මක වන පළාත් සභාවල රට බෙදීමට විරුද්ධ ජවිපෙ නියෝජිතයෝ ද මන්ත්‍රීවරප්‍රසාද භුක්ති විඳිති. පළාත් සභා ක්‍රමයට එරෙහි ව වත්මනෙහි භික්ෂුහු පෙළ පාලි නොයති.

එපමණක් නොව 1997 රජයේ බලය බෙදීමට එරෙහි සම්පාදනය වූ සිංහල කොමිෂන් සභා වාර්තාව විසින් ද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවාගිය බලය බෙදීමේ රාමුවක් යෝජනා කර තිබිණ.

එසේ හෙයින් බලතල බෙදීම පිළිබඳව ඇති හුඹස් බිය බොරු බියක් වන්නා සේ ම එය දේශපාලන අවස්ථාවාදය සඳහා දැනුවත් ව පාවිච්චි කෙරෙන්නෙකි. “කා හටත් පිළිගත හැකි විසඳුමක්” යන්න මේ දිනවල ජනප්‍රිය මාතෘකාවක් ව ඇත්තේ මෙම දේශපාලන අවස්ථාවාදය හේතුවෙනි. පසුගිය අවධියෙහි පෙඩරල් ව්‍යුහය පිළිබඳ ව ප්‍රසිද්ධියේ සුබවාදීව කථා කළ ඇතැම් දේශපාලකයෝ මේ දිනවල පවතින යුදවාදයට සරිලන ලෙස වංචනික වාග්මාලාවල පැටලෙමින් සිටිනුයේ ද මෙම දේශපාලන අවස්ථාවාදය හේතුවෙනි. මේ අනුව සර්ව පාක්ෂික සමුළුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ නවත ම යෝජනාවලිය ද රැගෙන මල්වතු පාර්ශ්වයේ මහා නා හිමියන් බැහැදැකීම දේශපාලන අවස්ථාවාදය යැයි කීමට අපි ඉක්මන් නොවෙමු.

එහෙත්, වසර හත අටකට වරක් මේ රටේ යහමින් කැරකෙන ““සාමය වෙනුවෙන් යුද්ධය හා යුද්ධය හරියට කිරීම”” නමැති චක්‍රයට සර්ව පාක්ෂික විද්වත් කමිටු බහුතරයේ යෝජනාවලිය ද හසුව ඇතැයි අපි තරයේ කියමු. මේ යෝජනා ද මහනුවර දළදා මාළිගාවට නුදුරින් කුණු බක්කියකට වැටීමේ ඉඩ කඩ වැඩි ය.•