ඇමති මණ්ඩලයේ තරම රටට ගැලපේ ද?

October 29, 2026
Publication:
Taking eighteen opposition members into the government forced the cabinet up to what is now the largest in the world. Ivan totals the cost: 77 security personnel between three sacked ministers, seven vehicles not returned, five vehicles each, 65,000 rupees a month in salary, 75,000 in fuel, 20,000 for a telephone, and a pension after five years — and asks for a national policy on the size of a cabinet before anything else.

විරුද්ධ පක්ෂයේ 18 දෙනෙකු ආණ්ඩුවට එකතු කරගන්නට සිදුවීම නිසා කැබිනට් මණ්ඩලය විශාල කිරීමට ආණ්ඩුවට සිදුවිය. දැන් එය ප්‍රමාණයෙන් ලෝකයේ විශාලත ම ඇමති මණ්ඩලය බවට පත්වී තිබේ. එහිදී හිටපු ඇමතිවරුන්ට ලැබෙන තනතුරු කුඩාවීම නිසා හටගත් වාද විවාද දුරදිග යෑමෙන් කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකුට ද එක් නියෝජ්‍ය ඇමතිවරයෙකුට ද තමන් දැරූ තනතුරු අහිමි විය.

තනතුරුවලින් පහ කරන ලද ඇමතිවරුන් තිදෙනාට ලබාදී තිබූ ආරක්ෂකයින් සංඛ්‍යාව 77ක් බව කියනු ලැබේ. මංගල සමරවීර මහතා පරිහරණය කළ වාහන 07ක් ආපසු බාරදී නැති බව ද ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. ඇමතිවරයෙකුගේ ආරක්ෂක වියදම හා එක් ඇමතිවරයෙකු පරිහරණය කරන වාහන ගණන පිළිබඳ යම් චිත්‍රයක් ඇති කරගැනීමට එම තොරතුරු ප්‍රමාණවත් ය.

හැම ඇමතිවරයෙකුට ම පස්දෙනෙකුගෙන් යුතු පෞද්ගලික කාර්ය මණ්ඩලයක් ලබාදිය යුතු ය. ඔවුන්ට වැටුප් පමණක් නො ව වසර 05 ක සේවා කාලය සම්පූර්ණ කළ පසු විශ්‍රාම වැටුප් ද ගෙවිය යුතු ය.

එක් ඇමතිවරයෙකු පරිහරණය කරන වාහන ප්‍රමාණය 05 කට අඩු නැත. කැබිනට් ඇමතිවරයෙකුට රුපියල් 65,000 ක මාසික වැටුපක් ද, කැබිනට් නොවන ඇමතිවරයෙකුට රු. 63,500 ක මාසික වැටුපක් ද ගෙවිය යුතු ය. කැබිනට් ඇමතිවරයකුගේ මාසික ඉන්ධන දීමනාව රුපියල් 75,000 කි. කැබිනට් නොවන ඇමතිවරයකුගේ එය රුපියල් 50,000 කි. පෞද්ගලික දුරකතන දීමනාව රුපියල් 20,000 කි. ජංගම දුරකතන දීමනාව රුපියල් 10,000 කි.

අසල්වැසි ඉන්දියාවේ ජනගහනය බිලියනයකි. ඇමති මණ්ඩලයේ ප්‍රමාණය 20 කි. පාකිස්තානයේ ජනගහනය මිලියන 130 කි. ඇමති මණ්ඩලයේ ප්‍රමාණය 13 කි. බංගලිදේශයේ ජනගහනය මිලියන 150කි. ඇමති මණ්ඩලයේ ප්‍රමාණය 22 කි. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 19 කි. ඇමති මණ්ඩලයේ ප්‍රමාණය 108 කි. මෙය නොවැළැක්විය හැකි තත්ත්වයක් ලෙස සැලකිය යුත්තේ ඇයි?

ශ්‍රී ලංකාව මොනම දෙයක් ගැනවත් පිළිගත් ජාතික ප්‍රතිපත්තියක් නැති රටකි. අන් සියල්ලට පෙර ඇමති මණ්ඩලයේ ප්‍රමාණය ගැනවත් පිළිගත් ජාතික ප්‍රතිපත්තියක් ඇති කරගත යුතු ය. •