ඕප දූප තීරු රචනා දේශපාලනය

October 29, 2026
Publication:
A long piece on what the executive presidency cannot do without parliament's support. Ivan works through the defeat of Ranil Wickremesinghe's government, the LTTE's part in it, the peace talks, the president's turn to war, and where it all ends — and closes with a set of bulleted propositions, among them that Mahinda Rajapaksa can survive politically only by changing the system or by wearing its democratic robes convincingly.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ දේශපාලන ඕපාදූපවලට ලැබෙන වැදගත්කම අතිවිශාලය. ශ්‍රී ලංකාවේ ජනතාව ද දේශපාලන විග්‍රහයක් කියවන්නට වඩා දේශපාලන ඕපා දූප කියවන්නට කැමතිය. සෑම ඉරිදා පුවත්පතකම පාහේ දේශපාලන ඕප දූප තීරු ලිපියක් පළවේ. පුදුමයකට මෙන් ඒ සියලු දේශපාලන තීරු ලිපිවල පළවන ඕපාදූප තොරතුරු එක සමානය. දේශපාලන ඕපාදූප තීරු ලිපිවල පළවන්නේ දේශපාලනඥයින් එකතු වන විවිධ සම්භාෂණවල සිදුවූ කතාබහ, ඔවුහු ඇඳ පැළඳගෙන සිටි ආකාරය, කෑ බිව් හැටි, ටෙලිෆෝන් කතා වැනි දේවල් පිළිබඳ රස කතාය.

එහෙත් එම රස කතා නිර්මාණය වන්නේ එකම කේන්ද්‍රස්ථානයකය. හරියටම මදුරු කොයිල් වැනිය. වෙළෙඳපොළේ මදුරු කොයිල් රාශියක් ඇතත්, ඒ සියලු වර්ගවල මදුරු කොයිල් නිපදවන්නේ එකම ෆැක්ටරියකය. දේශපාලන තීරු රචකයින්ගෙන් ඔවුන් දන්නා තොරතුරු ලබාගෙන ඒවාට තමන් ළඟ තිබෙන තුනපහ, ලුණු ඇඹුල් හා කරපිංචා දමා ඒකමතියක් තිබෙන ආකාරයට හොද්ද පිසිනු ලබන්නේ එක කෝකියකු විසිනි.

එහිදී හොද්දට තමන් කැමති තරමක් ලුණු, ඇඹුල්, තුනපහ සේර, කරපිංචා දැමීමේ අයිතිය එම කෝකියා සතුය. මදුරු කොයිල් මෙන් බාහිර පැහැයේ වෙනස්කම් ඇතත්, ඉරිදා පුවත්පත්වල පළවන දේශපාලන තීරු ලිපිවල එන රස කතා බොහෝ දුරට එක සමාන වන්නේ ඒවා අවසාන වශයෙන් නිපදවන්නේ එක කෝකියකු අතින් වන නිසාය. එසේ පළවන ඕපාදූප රසකතාවලට ඇත්තට සිදුවූ දේවල් සේ ම, කෝකියා විසින් නිර්මාණය කළ රස කතා ද ඇතුළත්ය. එහෙත් මෙම රසකතා එක පුවත්පතක නොව, පුවත්පත් බොහෝ ගණනක පළවන නිසා රසකතා අතරට ඇතුළත් වන බොරු කතා ද ඇත්තටම දේශපාලන ලෝකයේ සිදුවූ ඇත්ත සිදුවීම් ලෙස මහජනයා සලකති.

අනුර බණ්ඩාරනායකගේ උපන් දින සාදය පිළිබඳ විස්තර සියලු දේශපාලන ඕපාදූප තීරු ලිපිවල පළවිය. එම උපන් දින සාදයට චන්ද්‍රිකා, රනිල් ඇතුළු ආරාධිතයින් සුළු පිරිසක් සහභාගි වූ බව ද සත්‍යයකි. එහෙත් අනුර එහිදී උපන් දින කේක් ගෙඩිය කැපුවා මිස, දේශපාලන ඕපාදූප තීරු ලිපිවල පළවූ ආකාරයට රනිල්ට, චන්ද්‍රිකාට හා පුවත්පත් කතුවරයෙකුට කේක් කැව්වේ නැත. එය තීරු රචකයන්ගේ ලොබියේ කෝකියා නිර්මාණය කළ කථාවකි. එම උපන් දින සාදයේදී ගන්නා ලද ඡායාරූප බොහෝ පුවත්පත්වල පළවුවත්, අනුර චන්ද්‍රිකාට, රනිල්ට හෝ පුවත්පත් කතුවරයෙකුට කේක් කවන ඡායාරූපයක් කිසිම පුවත්පතක පළවූයේ නැත. කේක් කැවීමක් සිදුවී නම්, එහි සිටි ඡායාරූපකරුවන්ගේ ලොකුම අවධානය යොමුවන්නේ එම කේක් කැවිල්ලටය. පුවත්පත්කරුවන් සිය මුල් පිටු සරසනු ඇත්තේ ද කේක් කවන දර්ශන ඇතුළත් ඡායාරූපවලිනි.

කේක් කැවීමක් සිදු නොවී කේක් කැවීමක් සිදුවූ බවට රස කතාවක් නිර්මාණය කිරීමට කෝකියාට අවශ්‍ය වූයේ ඇයි? ඊට දිය හැකි හරි පිළිතුර කුමක්ද?

සේකර

ජනාධිපති ක්‍රමයට පාර්ලිමේන්තුවේ

සහාය නැතිව පැවතිය නොහැකිය

පාර්ලිමේන්තුවට විධායක ජනාධිපති අවසාන වශයෙන් පරාජය කිරීමේ හැකියාවක් නැතත්, විධායක ජනාධිපති ක්‍රමයට ද පාර්ලිමේන්තුවේ සහාය නැතිව පැවතිය නොහැකිය. පවතින අනුපාතික ඡන්ද ක්‍රමය තුළ කිසිම තනි පක්ෂයකට පැහැදිලි බහුතර බලයක් ලැබිය නොහැකිය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් ලැබුණේ ආසන ඡන්ද ක්‍රමය යටතේ ලබාගත් ප්‍රතිඵලය සිය පාලන කාලය සඳහා ආදේශ කරගැනීම නිසාය. ඉතා බලවත් තත්ත්වයක් හිමිකර ගෙන සිටියදී පවා 1982දී පාර්ලිමේන්තු මැතිවරණයකට නොගොස් ජනමතවිචාරණයක් මගින් පාර්ලිමේන්තු කාලය දීර්ඝ කරගැනීමට ජේ.ආර්. ජයවර්ධනට අවශ්‍ය වූයේ ද අනුපාතික ඡන්ද ක්‍රමයක් යටතේ පවත්වනු ලබන පාර්ලිමේන්තු මැතිවරණයකින් ලැබෙන ප්‍රතිඵලය ගැන ජේ.ආර්. ජයවර්ධනට තිබුණු සැකය නිසාය. 1989දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට එක්තරා ප්‍රමාණයක හෝ බහුතර බලයක් ලබාගැනීමට හැකිවූයේ රටේ පැවති ලේ වැගිරෙණ වාතාවරණය සියුම් ලෙස ප්‍රයෝජනයට ගත් නිසාය. අවුරුදු 17ක එක්සත් ජාතික පක්ෂ පාලනයකින් පසුවත් විශාල මහජන ආකර්ෂණයක් සමග කරළියට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංගට පවා 1994 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලබාගත හැකිවූයේ පාර්ලිමේන්තුවේ එක වැඩි ඡන්ද බලයක් පමණය. විධායක ජනාධිපතිවරයකුට තිබෙන විශාල බලය නිසා එක වැඩි ඡන්දයකින් පමණක් වුවත්, ආණ්ඩුවක් පවත්වාගෙන යා හැකි යැයි චන්ද්‍රිකා පාලනය ආදර්ශයට ගෙන කෙනෙකුට තර්ක කළ හැකි වුවත්, රනිල් වික්‍රමසිංහ වෙනුවට ගාමිණී දිසානායක එජාප නායකයා වී නම්, චන්ද්‍රිකාකාගේ පාර්ලිමේන්තු ආණ්ඩුව පෙරළෙන්නට ඉඩ තිබුණේ 2002දී නොව ඊට පෙරය.

චන්ද්‍රිකා ආණ්ඩුව බහුතර බලයක් හිමි කරගෙන සිටියේ ද තනි පක්ෂයක් වශයෙන් නොව, තවත් කුඩා පක්ෂ කිහිපයක් එකතු කරගත් සභාගයක් වශයෙනි. සභාග ආණ්ඩුවකට තිබෙන වැඩි ඡන්ද ප්‍රමාණය විශාල නොවන විට කුඩා පක්ෂයක් හෝ දෙකක් එහෙ මෙහෙ කිරීමෙන් ආණ්ඩුවක් බිඳ දැමිය හැකිය. ප්‍රමාද වී හෝ රනිල් වික්‍රමසිංහ ඒ දේ කළේය. ඒ සඳහා තනතුරු ලබාදෙන බවට පොරොන්දු වනවාට අතිරේකව මුදලින් කෙරෙන ගෙවීම් ද සිදුවිය.

චන්ද්‍රිකාගේ පාර්ලිමේන්තු ආණ්ඩුව මුහුණ දී තිබුණු අර්බුදය අවස්ථාවක් කොට ගනිමින් ජවිපෙ චන්ද්‍රිකාගේ ආණ්ඩුව බිඳ වැටීම වළකා ගැනීම සඳහා ඇය සමග සභාග ආණ්ඩුවක් ඇතිකර ගත්තේය. කපුකම කළේ මංගලය. එසේ කිරීමෙන් මංගල අපේක්ෂා කළේ සිය අනාගත දේශපාලන ගමන් මග සකසා ගැනීමය. එහෙත් ඒ ආකාරයෙන් ආරම්භ වන එම පරස්පර විරෝධී සන්ධානය සමස්ත දේශපාලන ක්‍රමයම අලුත් වටයකින් අර්බුදයකට තල්ලු කිරීමට හේතුවිය. ජනතා විමුක්ති පෙරමුණේ පරිවාස ආණ්ඩුවට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් විරුද්ධ පක්ෂයට එකතුවීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට චන්ද්‍රිකාට සිදුවිය.

එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගැනීමට එජා පෙරමුණ සමත් වුවත්, ද්වන්ද්ව බලයක පරස්පර පැවැත්ම තුළ ආණ්ඩු බලය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය වෙනස්කම් ඇති කරගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට එම පක්ෂය අසමත් විය. එක් පක්ෂයකින් ජනාධිපතිත්, තවත් පක්ෂයකින් පාර්ලිමේන්තු ආණ්ඩුවකුත් බිහිවූ දෙවැනි අවස්ථාව එය විය. එය අනුපාතික ඡන්ද ක්‍රමයක් යටතේ ඇතිවිය හැකි ස්වාභාවික ප්‍රතිඵලයක් වුවත්, එවැනි ක්‍රමයක යහපැවැත්ම ස්ථාපිත කිරීමට රනිල් වික්‍රමසිංහ කැමති වූයේ නැත. ඔහුගේ ඉලක්කය වූයේ ජනාධිපතිකම ලැබීමය. පූර්ණ බලයකට ආශා කළ ඔහු තමන්ට ලැබෙන්නට තිබෙන ජනාධිපති ක්‍රමයේ තටු කැපීමට අකමැති විය. එය ජනාධිපති ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් වුවත්, එම අවස්ථාව ප්‍රශස්ථ ලෙස ප්‍රයෝජනයට ගැනීමක් සිදුනොවීය. එම අවස්ථාව ප්‍රයෝජනයට ගත්තේ නම්, තටු කපනු ලැබූ ජනාධිපති ක්‍රමයක ජනාධිපති වීමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහට හිමිවන්නට ඉඩ තිබුණු අතර, දිගින් දිගට අශෝභන දේශපාලන අර්බුද ඇති නොවන තත්ත්වයක් ගොඩ නැගෙන්නට ද ඉඩ තිබුණි.

රනිල්ගේ ආණ්ඩුව පරාජය කිරීම

ද්වන්ද්ව බලයක් ගොඩනැගී තිබුණු තත්ත්වය ඉදිරියේ චන්ද්‍රිකා කලක් සිය පෙනය සඟවා ගෙන සිට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට අවුරුද්දක් සම්පූර්ණවීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ ද සහාය ලබාගනිමින් එජා පෙරමුණු ආණ්ඩුවට දෂ්ට කළාය. ජවිපෙ සමග එකතු වී රනිල්ගේ ආණ්ඩුව පරාජය කළ යුතු ආකාරය චන්ද්‍රිකාට කියා දුන්නේ මංගලය. ශ්‍රීලනිපයේ ගුලට ජවිපෙ රිංගවා එම පක්ෂය කෙරෙහි ජවිපෙ ග්‍රහණය තර කොට චන්ද්‍රිකාගෙන් පසුව ජවිපෙ සහාය ඇතිව රජවීම මංගලගේ අභිප්‍රාය විය. ජවිපෙ සමග ඇති කරගත් සන්ධානය වෙනුවෙන් චන්ද්‍රිකා සිය දිවංගත සැමියා ද පාවා දුන්නාය. විජය කුමාරතුංග ඝාතනය කිරීමේ වගකීමෙන් ජවිපෙ නිදහස් කොට ඇය ඒ වගකීම ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මත පැටෙව්වාය.

ජවිපෙ කොන්දේසිවලට අනුව ජවිපෙ සමග ඇති කරගන්නා මැතිවරණ සන්ධානයෙන් ශ්‍රීලනි පක්ෂයේ පාර්ලිමේන්තු බලය හීන කොට ජවිපෙට අතිවිශාල කෘත්‍රිම බලයක් හිමිකර දෙන බව චන්ද්‍රිකා දැන සිටියාය. එහෙත් එවැනි ක්‍රමයකින් හෝ එජාප පරාජය කොට තම රජකම චිරාත් කාලයක් ආරක්ෂා කරගැනීම චන්ද්‍රිකාගේ උපාය මාර්ගික අරමුණ විය. ජවිපෙ සමග ඇති කරගත් සන්ධානය නිසා මැතිවරණයේදී එජාප පරාජය කිරීමට සමත් වුවත්, මූලික අදහස්වල ඇති පරස්පර විරෝධී ස්වරූපය නිසා ඉදිරියට යා හැකි ආණ්ඩුවක් ඇති කරගැනීමට එය අසමත් විය. ජවිපෙට එම මැතිවරණයෙන් ලැබුණු කෘත්‍රිම බලය එජාප හා ශ්‍රීලනිප අතර පැවති සමබරතාව ශ්‍රීලනිපයේ අවාසියට හේතුවන ලෙස වෙනස් කිරීමට හේතුවී සමස්ත දේශපාලන ක්‍රමය අලුත් වටයක දේශපාලන අර්බුදයකට තල්ලු කිරීමට හේතුවන වටාපිටාවක් ඇති කළේය.

ජවිපෙ චන්ද්‍රිකා ආණ්ඩුවෙන් වෙන්වීම නිසා ඇතිවූ දේශපාලන ව්‍යාකූලතාව මැද මහින්ද රාජපක්ෂ ජනාධිපති මැරතන් තරගයේ පොල්ල සියතට ගත්තේය. අකමැත්තෙන් වුවත් චන්ද්‍රිකා එය මහින්දට දුන්නේ ආපසු ගන්න බලාගෙනය. එහෙත් මහින්ද චන්ද්‍රිකාගේ දේශපාලන පැවැත්ම අහෝසි කිරීම මගින් ඇයට පොල්ල ආපසු ලබාගැනීමට තිබෙන හැකියාව නැති කළේය. ඒ තත්ත්වය ඉදිරියේ චන්ද්‍රිකා මහින්ද පරාජය කොට රනිල් රජ කරවන පිළිවෙතක් අනුගමනය කළ ද ජවිපෙට හෝ මංගලට ඒ මග ගැනීමේ හැකියාවක් නොතිබුණි. රනිල් සමග ඔවුන් තුළ පැවති වෛරසහගත ආකල්පය හේතු කොටගෙන මහින්දට ඇති නොකැමැත්ත හිතේ සඟවාගෙන මහින්ද රජකරවන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ඔවුන්ට සිදුවිය. මහින්ද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සිරකරුවකු බවට පත් කොට සිය අනාගත අරමුණු සපුරා ගැනීම මංගලගේ දේශපාලන උපාය මාර්ගය වී තිබුණි.

එල්ටීටීඊ භූමිකාව

රනිල් පරාජය කොට මහින්ද දිනවීම සඳහා මංගල දියත් කළ වැඩපිළිවෙළේදී රනිල්ට එරෙහිව උපරිම මට්ටමෙන් එල්ටීටීඊ තුරුම්පුව පාවිච්චි කරන අතර, රහසේ එල්ටීටීඊය සමග ගනුදෙනු කරන වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක විය. එකල තානාපති අංශවල මතය අනුව ඒ සඳහා යොදා ගැනුණු අතරමැදියාවූයේ, මංගලගේ සමීප ආධාරකරුවකු වූ ටිරාන් අලස්ය.

ජනාධිපතිවරණයේදී සිය සහාය අවශ්‍ය නම් අන්තර්වාර පාලනයක් ලබාදිය යුතු බවට තමන්ට සහතිකයක් දිය යුතු යැයි එල්ටීටීඊය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය. එල්ටීටීඊයේ සහාය නැතිවත් ජනාධිපතිවරණය රනිල්ට ජයගත හැකි බව රනිල්ගේ සමීප පිරිස්වල මතය විය. ඒ නිසා රනිල් එවැනි සහතිකයක් ලබාදීම ප්‍රතික්ෂේප කළේය. රනිල්ගේ එම ප්‍රවේශය එල්ටීටීඊයේ සැකයට හා කෝපයට හේතුවී රනිල් පිළිබඳව වෛර සහගත ආකල්පයකින් ක්‍රියා කරන තැනකට එල්ටීටීඊය තල්ලු කළේය. එල්ටීටීඊයේ ඇතිවූ මෙම පෙරළිය තමා විසින් ඇති කරන ලද පෙරළියක් ලෙස පෙන්වා ටිරාන් අලස් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ තම තත්ත්වය ශක්තිමත් කරගත් බව තතු දත් සමහර අංශවල මතය වී තිබුණි.

එල්ටීටීඊයට ප්‍රසිද්ධියේ පහර දෙන අතර, රහසේ එල්ටීටීඊය සමග ගනුදෙනු කිරීම හැම ජනාධිපති තරගයකදීම දකින්නට ලැබෙන සුලභ දර්ශනයක් යැයි කිව හැකිය. 1988 ජනාධිපතිවරණයේදී එල්ටීටීඊ සහාය ලබාගැනීමේ අරමුණින් බණ්ඩාරනායක මැතිනිය කුමාර් පොන්නම්බලම් සමග අනුරුද්දධ රත්වත්ත හා අනුර බණ්ඩාරනායක වන්නියට යැව්වාය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1994 ජනාධිපතිවරණයට පෙර සාම කතා ආරම්භ කළේ ද ජනාධිපතිවරණයේදී එල්ටීටීඊයේ සහාය ලබාගැනීමේ උපාය මාර්ගික අරමුණිනි.

ජනාධිපතිවරණවලදී දේශපාලන පක්ෂ දකුණෙන් එවන නියෝජිතයින් ආදරයෙන් පිළිගෙන ඔවුන් සමග සාකච්ඡා කරන තැනකට එල්ටීටීඊය ගියත්, පාර්ලිමේන්තු මැතිවරණවලදී හැර ජනාධිපතිවරණවලදී සිය පාලන ප්‍රදේශවල වැසියන්ට ඡන්දය පාවිච්චි කිරීමට එල්ටීටීඊය ඉඩ දෙන්නේ නැත. එවැනි ප්‍රතිපත්තියක් එල්ටීටීඊය අනුගමනය කරන්නේ ඔවුන්ගේ රාජ්‍යයේ ජනාධිපති ප්‍රභාකරන් වන නිසාය.

1988 ජනාධිපතිවරණයේදීත්, 1994 ජනාධිපතිවරණයේදීත් එල්ටීටීඊය යාපනේ අර්ධද්වීපය පාලනය කළේය. 1988 ජනාධිපතිවරණයේදී යාපනේ දිස්ත්‍රික්කයේ ඡන්දය පාවිච්චි කළ අයගේ අනුපාතිකය 22%කි. මුළු දිස්ත්‍රික්කයෙන්ම ශ්‍රීලනිප අපේක්ෂිකාවට ලැබී තිබුණේ ඡන්ද 44,197 ක් පමණය. එජාප අපේක්ෂකයාට ලැබී තිබුණේ ඡන්ද 33,650ක් පමණය. ඡන්දය පාවිච්චි කළ ඒ සියලු දෙනාගෙන් වැඩි පිරිසක් පොලිසියේ හෝ ආරක්ෂක හමුදාවල සාමාජිකයෝ හා රාජ්‍ය සේවකයෝ වූහ. 1994 ජනාධිපතිවරණයේදී යාපනේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 566,366ක් වුවත්, චන්ද්‍රිකාට ඡන්දය පාවිච්චි කර තිබුණේ ඡන්ද 16,934ක් පමණය.

2005 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ එල්ටීටීඊයේ අන්තර් පාලන යෝජනා සඳහා එකඟත්වයක් ඇති කරගත්ත ද එල්ටීටීඊ පාලනය යටතේ පැවති කිලිනොච්චි ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමට ඉඩ දෙනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. එහෙත් එය එසේ වී නම් ඉන් බැහැර ප්‍රදේශවල දෙමළ ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමට ඉඩ දෙන පිළිවෙතක් අනුගමනය කරන්නට ඉඩ තිබුණු අතර, එසේ වී නම් සමහරවිට ළඟ ළඟ තරගයකින් රනිල් වික්‍රමසිංහ ජයගන්නට ද ඉඩ තිබුණි.

රනිල්ගේ සාම කතා

රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුව යටතේ එල්ටීටීඊය සමග ඇති කරගත් සටන් විරාම ගිවිසුම හා සාම කතා අවස්ථාවාදී දේශපාලන නායකයින් දෙදෙනෙකු එකිනෙකාගේ කෙටිකාලීන වාසි අරමුණු කොටගෙන ඇති කරගත් තාවකාලික එකඟතාවක් වශයෙන් මිස, ප්‍රශ්න විසඳා ගැනීමේ අවංක අරමුණින් ඇති කරගත් එකඟතාවක් ලෙස සැලකිය නොහැකිය. රනිල් වික්‍රමසිංහට ඒ මොහොතේ අවශ්‍ය වූයේ ජනාධිපතිවරණයෙන් බලය අල්ලා ගෙන සිටීමට ආධාර වන උපාය මාර්ගික වැඩපිළිවෙළකි. සාම කතා ඒ සඳහා ඔහු තෝරාගත් මාර්ගය විය. සාම කතා හේතු කොටගෙන තමන්ගේ ආණ්ඩුව අස්ථාවර කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව ජනාධිපතිනියට ඉඩ නොදෙනු ඇතැයි ඔහු විශ්වාස කළේය. ඒ වෙනුවෙන් එල්ටීටීඊය සතුටු කරනු පිණිස ඔහු තමන්ට කළ හැකි හැම දෙයක්ම කළේය.

රනිල්ගේ වැඩපිළිවෙළ ගැන එල්ටීටීඊයට විවිධ සැක සංකා තිබුණ ද, ඔවුන්ට රනිල් පරාජය කිරීමේ වුවමනාවක් මුල සිට තිබුණේ යැයි කිව නොහැකිය. චන්ද්‍රිකා විසින් රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හරින ලද අවස්ථාවේදීත්, එල්ටීටීඊය ඒ ක්‍රියාව තරයේ හෙළා දැක්කේය. එහෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජයගෙන බලයට පත්වන්නේ නම් තමන්ට ගනුදෙනු කරන්නට සිදුවන්නේ චන්ද්‍රිකාගේ ජනාධිපති බලයට හිරවූ දුර්වල පාලකයකු සමග නොව, පූර්ණ විධායක බලතල ඇති ශක්තිමත් පාලකයකු සමග වන බව කල් තියා තේරුම් ගත් එල්ටීටීඊය බලයට එන්නට පෙර අන්තර්වාර පාලනයක් සඳහා ස්ථිර ගිවිසුමක් රනිල් සමග ඇති කරගන්නට උත්සාහ කළේය. එල්ටීටීඊයේ සහාය නැතිවත්, තමන්ට ජනාධිපතිවරණය ජයගත හැකි බව විශ්වාස කළ රනිල් එවැනි ගිවිසුමක් ඇති කරගැනීම ප්‍රතික්ෂේප කළේය.

රනිල්ගේ එම ප්‍රවේශය එල්ටීටීඊයේ කෝපයට හේතුවිය. රනිල්ගෙන් පළිගැනීම සඳහා ඔහු බලයට ඒම වැළැක්වීමට හේතුවන තරමට දෙමළ ඡන්දදායකයින් කෙරෙහි එය බලපෑවේය. එහිදී එල්ටීටීඊය අනුගමනය කළ ප්‍රතිපත්තිය 1988 ජනාධිපතිවරණයේදී ජවිපෙ අනුගමනය කළ ප්‍රතිපත්තියට සමානය. ජවිපෙ ඒ මගින් සියතින්ම සිය දේශපාලන මිනීවළ හාරා ගත්තේය. සමහර විට එල්ටීටීඊය අනුගමනය කළ පිළිවෙත තුළ ලබන ප්‍රතිඵලය ද ඊට සමාන විය හැකිය.

ස්වභාව ධර්මයේ ධර්මතා

අඥානකම රජයක දේශපාලන ලෝකයක දේශපාලන ගමන්මග තීරණය කරන්නේ දේශපාලන නායකයින් නොව, ස්වභාව ධර්මයේ ධර්මතාවන්ය. ඉබේ සිදුවන සමහර දේවල් රටේ යහපතට ද, තවත් සමහර දේවල් රටේ අයහපතට ද හේතුවිය හැකිය.

රනිල් වික්‍රමසිංහගේ සටන් විරාම ගිවිසුම සමහර අංශවලදී යහපත් ප්‍රතිඵල ලබාදීමට හේතු වුවද, එහි තර්කානුකූල අවසානයක් කරා ගමන් ගත්තේ නම්, ඉන් ලැබෙන ප්‍රතිඵල රටේ අයහපතට හේතුවන්නට ඉඩ තිබුණි. පෙඩරල් විසඳුමක් ගැන කතා වුවද ප්‍රභාකරන් අපේක්ෂා කළේ ආයුධ බලය සමග වෙනම රාජ්‍යයක් නොවේ නම්, ආයුධ බලය සමග කොන්ෆෙඩරේෂණ තත්ත්වයකි. එවැනි විසඳුමක් දීර්ඝකාලීන අර්ථයෙන් රටේ යහපතට හේතුවිය නොහැකිය. ආයුධ බලයක් නැති සැබෑ පෙඩරල් විසඳුමකට ආ හැකිවනු ඇත්තේ වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස හා කොන්ෆෙඩරේෂණයක් පිළිබඳ අදහස පරාජය කිරීමෙනි. දේශපාලන බලය වැඩෙන්නේ තුවක්කු කඳ තුළින් ය යන මාඕසේතුංගේ අදහස නූතන ලෝකයට ගැළපෙන්නේ නැත. මෙම අර්බුදයේදී සිංහල දේශපාලන භූමිකාව සේ ම, දෙමළ දේශපාලන භූමිකාව ද අන්තවාදිය. මෙම අන්තවාදී ධාරා දෙක බුද්ධිමය වශයෙන් පරාජය කළ නොහැකි අතර, දෙපාර්ශ්වයම ඒ බව පසක් කරගනු ඇත්තේ ඒ නිසා ඇතිවන විශාල විනාශයකින් පසුවය. සිංහලයින්ගේ පටු ලෝකය පමණක් නොව, දමිළයින්ගේ පටු ලෝකය ද වෙනස් විය යුතුය.

ජනාධිපතිගේ යුදවාදී ප්‍රවේශය

එල්ටීටීඊයේ ඡන්ද වර්ජනය මංගලගේ අතරමැදියාගේ බලපෑම නිසා සිදුවූවක් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විශ්වාස කළේ නම්, ඡන්ද ජයග්‍රහණයෙන් පසු එල්ල වන්නට වූ ක්ලේමෝ බෝම්බ ප්‍රහාර එම විශ්වාසය අළු දූලි කිරීමට හේතුවන්නට ඇත. එල්ටීටීඊ ප්‍රහාර, ජේවීපී පීඩනය හා තවත් විවිධ හේතු එල්ටීටීඊ විරෝධී පූර්ණ යුද්ධයකට ජනාධිපතිවරයා තල්ලු කළේය.

එල්ටීටීඊයෙන් එල්ල වූ අවහිරතා නොසලකා ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ වෙනුවට රනිල් වික්‍රමසිංහ ජයගත්තේ නම්, යුද්ධයක් වෙනුවට සාමයක් ඇති වන්නට ඉඩ තිබුණේ යැයි ද කිව නොහැකිය. රනිල් ජයගත්තේ නම් තමා පරාජය කිරීමට එල්ටීටීඊය අනුගමනය කළ දැඩි පිළිවෙත රනිල් වික්‍රමසිංහ මහතා පහසුවෙන් අමතක කරනු ඇතැයි සිතිය නොහැකිය. අනෙක් අතට එල්ටීටීඊය රනිල් වික්‍රමසිංහ කෙරෙහි ඇති කරගෙන තිබූ වෛරසහගත ආකල්පය වහා අත්හරිනු ඇතැයි ද සිතිය නොහැකිය. ඒ අර්ථයෙන් ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත්, යුද්ධයේ විෂම චක්‍රයට හසුවිය යුතු තත්ත්වයකට පත්ව සිටියේය.

ජනාධිපතිවරයා ආරම්භ කර ඇති එල්ටීටීඊ විරෝධී යුද්ධයේ කෙළවර කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත. යුද්ධයෙන් ලබන පරාජය පමණක් නොව, ජයග්‍රහණයන් පවා පාලකයාගේ හොඳට සේ ම නරකට ද බලපෑ හැකිය. දෙවන ලෝක යුද්ධයේදී වින්සන්ට් චර්චිල් ඉතා වැදගත් හා බලවත් භූමිකාවක් රඟපෑවේය. යුද්ධය පවතින තෙක් එරට ජනතාව ඔහු වීරයෙකු කොට සැලකුව ද යුද්ධයෙන් පසුව පැවති මැතිවරණයෙන් එරට ජනතාව ඔහු පරාජයට පත් කළේය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචණ්ඩ බලයෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම අරමුණු කොටගෙන මුදාහළ කැරැල්ල අනුකම්පා විරහිතව මර්දනය කිරීමට සමත් වුවත්, ඒ ලැබූ ජයග්‍රහණය ඔහුගේ දේශපාලන පැවැත්ම දුර්වල කිරීමට මිස, ශක්තිමත් කිරීමට හේතු නොවීය. කැරැල්ලක් මර්දනය කිරීමේදී කැරලිකරුවන්ට එරෙහිව අනුකම්පා විරහිතව ක්‍රියා කරන දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට මර්දකයාට සිදුවේ. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල එක් අවස්ථාවක තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කරන තත්ත්වයකය. ඔවුහු සිය ආධිපත්‍යය තහවුරු කරගැනීම සඳහා නොපෙනී සිට සිය විරුද්ධවාදීන් තොග ගණනින් මරා දමන ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. එම තත්ත්වය ඉදිරියේ ජයග්‍රාහී බවක් දිනාගනිමින් සිටි කැරැල්ල පරාජය කිරීම සඳහා අනුකම්පා විරහිත තත්ත්වයකින් ක්‍රියා කිරීමට හා වඩා විශාල කෘෘරත්වයක් මුදාහැරීමට ආරක්ෂක හමුදාවන්ට සිදුවූ අතර, එක තීරණාත්මක මොහොතක ආණ්ඩුවේ එම දැඩි පිළිවෙත ජනතාව ද රහසේ අනුමත කළේය. ආණ්ඩුව එසේ නොකරන්නට සමහර විට ජවිපෙ ලබන ජයග්‍රහණයක් වඩා විශාල ජීවිත විනාශයක් ඇති කරන්නට ඉඩ තිබුණේය. කැරැල්ල මර්දනයේදී ආණ්ඩුව අනුගමනය කළ දැඩි අනුකම්පා විරහිත පිළිවෙත රහසේ අනුමත කළ ජනතාව කැරැල්ල පරාජය කිරීමෙන් පසු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සලකන ලද්දේ විනාශකාරී බිහිසුණු හා කුරිරු කැරැල්ලක් ජයගත් වීරයෙකු ලෙස නොව, අනුකම්පා විරහිතව අහිංසක තරුණයන් මරා දැමූ ගහලයෙකු ලෙසය. ඔහු එම කැරැල්ල පරාජය නොකළේ නම්, ඇතිවිය හැකි වඩා විශාල විනාශය එහිදී ඔහුට චෝදනා කරන ජනතාව සැලකිල්ලට ගත්තේ නැත.

දැන් උතුරු නැගෙනහිර පවතින්නේ ද 1988-89 කාලවකවානුවේදී දකුණේ පැවති තත්ත්වයට සමාන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. එකල දකුණේ රජ කළේ නීතියේ ආධිපත්‍යය නොව, කැලේ නීතියයි. උතුරු නැගෙනහිර දැන් පවතින්නේ ද ඒ හා සමාන තත්ත්වයකි. එදා රංජන් විජේරත්න රඟපෑ ඓතිහාසික භූමිකාව අද ගෝඨාභය රාජපක්ෂ රඟපාමින් සිටින්නේ යැයි ද කිව හැකිය. රංජන් විජේරත්නගේ දැඩි පිළිවෙත නොවන්නට ජේවීපී කැරැල්ල ජයග්‍රාහී වන්නට ඉඩ තිබුණා සේ ම, එය ජයග්‍රාහී වී නම් ප්‍රමාණයෙන් වඩා විශාල විනාශයක් ඇති වන්නට ඉඩ තිබුණි. කැරැල්ල මුදා හළ කෘෘරත්වයට ගැළපෙන ප්‍රති කෘෘරත්වයක් මුදාහැරීමෙන් ඔහු කැරැල්ල පරාජය කළ නමුත්, කැරැල්ල පරාජය කිරීමෙන් පසු ඔහුගේ නම ඉතිහාසයට එකතු වී ඇත්තේ විනාශකාරී කැරැල්ලකින් රට මුදා ගත් වීරයෙකු ලෙස නොව දහස් ගණන් අහිංසක තරුණ තරුණියන් අතුරුදහන් කළ වධකයෙකු ලෙසය. එල්ටීටීඊ විරෝධී ජයග්‍රාහී යුද්ධයකින් පවා සමහර විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද ලැබෙන ප්‍රතිඵලය ද එයම විය හැකිය.

කෙළවර කොතැනද?

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක විට යුද්ධ පෙරමුණේ කෙරෙන යුද්ධයකට ද, දේශපාලන පෙරමුණේ කෙරෙන දේශපාලන යුද්ධයකට ද මැදිවී සිටී.

විධායක ජනාධිපති ක්‍රමයෙන් ලැබී තිබෙන අතිවිශාල බලය නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලවත් හා ශක්තිමත් තත්ත්වයක් හිමි කරගෙන සිටිය ද පාර්ලිමේන්තු මට්ටමෙන් පවතින තත්ත්වය දුර්වලය. ජවිපෙට කෘත්‍රිම වශයෙන් ලැබී තිබෙන විශාලත්වය නිසා පාර්ලිමේන්තුවේ එජාප හා ශ්‍රීලනිප අතර පැවති සමබරතාව ශ්‍රීලනිපයට අවාසිදායක ලෙස වෙනස් වී තිබේ. මැතිවරණ ක්‍රමයේ ඇති කරන වෙනසකින් තොරව කිසිම මැතිවරණයකින් කිසිම පක්ෂයකට පැහැදිලි ජයග්‍රහණයක් ලැබිය නොහැකිය. මේ මොහොතේ මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට විරුද්ධ පක්ෂය ඉඩ දෙන්නේ නැත.

පාර්ලිමේන්තුවේ සිටින මහින්ද විරෝධී බලවේග (එජාප, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය හා මංගලගේ හා චන්ද්‍රිකාගේ හිතවතුන්) එකට ඒකරාශි කිරීම ඉතා දුෂ්කර විය හැකි වුවත්, ඒ සියලු දෙනා එකට ඒකරාශී වී ක්‍රියා කරන අවස්ථාවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආණ්ඩුවේ බිඳ වැටීමක් ඇතිවිය හැකිය. ජාත්‍යන්තර තලයෙන් එල්ල වී තිබෙන පීඩනය නිසි ලෙස කළමනාකරණය කිරීමට අසමත් වෙතොත්, සමහර විට ජාත්‍යන්තර මැදිහත්වීමක් ඇතිවීමේ අනතුරක් ද පවතී.

පාර්ලිමේන්තු ආණ්ඩුවේ බිඳ වැටීමක් ඇති වුවහොත් පාර්ලිමේන්තුව හා විධායක ජනාධිපති යන ආයතන දෙක අතර, මහා ගැටුමක් ඇතිවිය හැකිය. පවතින ව්‍යවස්ථාව යටතේ ජනාධිපති බලරහිත කිරීමට පාර්ලිමේන්තුවට තිබෙන ඉඩ ඉතා සීමාසහිත වුවත්, පාර්ලිමේන්තුවෙන් මතුවන කැරැල්ලක් පරාජය කිරීම ද එතරම්ම පහසු නැත. හදිසි අර්බුදයකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපති සතු වුවත්, ඉන්පසු මැතිවරණයක් නොපවත්වා සිටීමේ හැකියාවක් ජනාධිපතිට නැත. පාර්ලිමේන්තු මැතිවරණයකින් විරුද්ධ පක්ෂය ජයගතහොත් එම පාර්ලිමේන්තුවට අවුරුද්දක කාලය සම්පූර්ණ වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිට නැත. මෙසේ ආරම්භ වන ගැටුමක් ඉක්මන් අවසානයක් නැති කිසිම පක්ෂයකට අවසාන ජය පරාජයක් ලබා නොදෙන දෙපැත්තටම බරපතළ හානි හා තුවාල ඇති කරන දේශපාලන ක්‍රමයේ ගරා හැලීම වේගවත් කොට එය අවසානයක් කරා ගෙන යන ගැටුමක් දක්වා වර්ධනය විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ සේ ම, මහින්ද විරෝධී බලවේග ද තේරුම් ගත යුතුව තිබෙන දේශපාලන යථාර්ථය වනුයේ දේශපාලනයේ පවතින වෛරසහගත ගැටුම්වලට රටේ පවතින කැත දේශපාලන ක්‍රමය හේතුවී තිබෙන බවය. රටේ පවතින දේශපාලන ක්‍රමය මිනිසුන් අනවශ්‍ය තරමට පක්ෂය අනුව, වර්ගය අනුව, අදහන ආගම අනුව, කතා කරන භාෂාව අනුව, තමා අයත් කුලය අනුව බෙදී වෙන්වී එකිනෙකාට එරෙහිව වෛර සහගතව ඇණ කොටා ගන්නා තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. රටේ සියලු මිනිසුන්ට මේ භේද නොසලකා එකට ගෞරවයෙන් ජීවත් විය හැකි දේශපාලන ක්‍රමයක් සහිත රාජ්‍යයක් ඇති කරගැනීමට හැකි වේ නම් ශිෂ්ට සම්පන්න රටක් ලෙස ආත්ම විශ්වාසයකින් නැගී සිටීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත්තේය. මෙම අර්බුදය සියලු දෙනාගේ ගෞරවයට හේතුවන ලෙස විසඳා ගත හැකිවනු ඇත්තේ දේශපාලන වශයෙන් එකිනෙකාට එරෙහිව ඇණ කොටා ගන්නා තැනකට යනවා වෙනුවට දේශපාලන ක්‍රමයේ එවැනි වෙනසක් සඳහා දේශපාලන එකඟතාවක් ඇති කරගැනීමෙන් පමණය. •

මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන වශයෙන් පැවතිය හැකි වනු ඇත්තේ අවුල්සහගත දේශපාලන ක්‍රමය මුළුමණින් වෙනස් කිරීමෙන් හෝ එයට පළඳවා තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී සළු පිළි ඉවත් කිරීමෙනි. •

පාර්ලිමේන්තුවට විධායක ජනාධිපති අවසාන වශයෙන් පරාජය කිරීමේ හැකියාවක් නැතත්, විධායක ජනාධිපති ක්‍රමයට පාර්ලිමේන්තුවේ සහාය නැතිව පැවතිය නොහැකිය. •

ශ්‍රීලනිපයේ ගුලට ජවිපෙ රිංඟවා එම පක්ෂය කෙරෙහි වන ජවිපෙ ග්‍රහණය තර කොට තමා රජවීම මංගලගේ අභිප්‍රාය විය. •

රනිල් පරාජය කොට මහින්ද දිනවීම සඳහා මංගල දියත් කළ වැඩපිළිවෙළේදී රනිල්ට එරෙහිව උපරිම මට්ටමෙන් එල්ටීටීඊ තුරුම්පුව පාවිච්චි කරන අතර, රහසේ එල්ටීටීඊය සමග ගනුදෙනු කරන වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක විය. •

එල්ටීටීඊ ඡන්ද වර්ජනය මංගලගේ අතරමැදියාගේ බලපෑම නිසා සිදුවූවක් ලෙස ජනාධිපතිවරයා විශ්වාස කළේ නම්, ඡන්ද ජයග්‍රහණයෙන් පසු එල්ලවන්නට වූ ක්ලේමෝ බෝම්බ ප්‍රහාර එම විශ්වාසයන් අළු දූවිලි කිරීමට හේතුවන්නට ඇත. •

එල්ටීටීඊය ඇති කළ අවහිරතා නොසලකා ජනාධිපතිවරණයෙන් මහින්ද වෙනුවට රනිල් ජයගත්තේ නම්, යුද්ධයක් වෙනුවට සාමයක් ඇතිවන්නට ඉඩ තිබුණේ යැයි කිව නොහැකිය. •

ජේවීපී දෙවැනි කැරැල්ල අවසාන මර්දනයේදී ආණ්ඩුව අනුගමනය කළ දැඩි අනුකම්පා විරහිත පිළිවෙත රහසේ අනුමත කළ ජනතාව කැරැල්ල පරාජය කිරීමෙන් පසු ප්‍රේමදාස ජනාධිපතිවරයා සලකන ලද්දේ විනාශකාරී බිහිසුණු හා කුරිරු කැරැල්ලක් පරාජය කළ වීරයෙකු ලෙස නොව, අනුකම්පා විරහිතව “අහිංසක” තරුණයන් මරා දැමූ ගහලයෙකු ලෙසය. •

දැන් උතුරු නැගෙනහිර පවතින්නේ ද 1988-89 කාලවකවානුවේදී දකුණේ පැවති තත්ත්වයකට සමාන තත්ත්වයකි. •

එදා රංජන් විජේරත්න රඟපෑ ඓතිහාසික භූමිකාව අද ගෝඨාභය රාජපක්ෂ රඟපාමින් සිටී. •

මහින්ද විරෝධී බලවේග එකට ඒකරාශී කිරීම දුෂ්කර විය හැකි වුවත්, ඒ සියලු දෙනා එකට ඒකරාශී වූ දාට